පරිපාලන පුහුනුව

පරිපාලන සේවාවට බැඳිල ගත කරන තිස්තුන්වැනි අවුරුද්දෙ ජනවාරි මාසෙ තිස් එක් වෙනිද සාමාන්‍ය දිනයක් වගේ ගෙවිල යන බව දැනුනට මට ටිකක් අමුත්තක් දැනෙන්න උනා. උදේ පාන්දරම මූණුපොතට එබිල බලනකොට දැක්කෙ විමල් ජයවර්දනගෙ උපන් දිනේ අද කියල. පෙරේද සන්ධ්‍යාවෙදි අසූපහේ කන්ඩායමේ කට්ටිය එකතුවෙලා “අපේගම” පරිශ්‍රයෙදි විමල්, ශාන්ත බන්ඩාර, ජයතුංග කියන අපේ සගයින් තුන්දෙනාට සුභපැතුවට ඒක බොහොම විනෝදජනක අවස්ථාවක් හැටියටයි ගෙවුනෙ. ඒත් අද මූනුපොතෙන් විමල්ගෙ උපන්දිනේ කියල දැන ගත්තම තමයි අද ඉදන් විමලුයි, ශාන්තයි, ජයතුංගයි තුන්දෙනාම විශ්‍රාම ගන්නව නේද කියල හරියටම හිතට දැනුනෙ. අපිත් එක්කම සේවයට එක්වෙලා සියලු කන්ඩායම් ක්‍රියාකාරකම්වල එකට හිටපු, රාජකාරියෙදි විවිධ ආයතනවලට සම්බන්ධවෙලා කටයුතු කරපු අපි, කණ්ඩායම ගැන පොඩි සමාලෝචනයක යෙදුනෙ නිදි ඇදේම ඉඳන්.

විශ්වවිද්‍යාල ජීවිතේ නිමකරල අවුරුදු එකහමාරකින් පරිපාලන සේවාවට එක්කහු වුනු කතාව මීට පෙර සටහන් කලා. පරිපාලන සේවාවෙ සේවාරම්භක පුහුණුව අපි පටන් ගත්තෙ 1985/5/2 ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනෙදියි. රාජ්‍ය සේවාවෙ අසමසම පෞරුෂය ලෙස අද දක්වාම නම සඳහන්වන ඩී බී අයි පී එස් සිරිවර්ධන නැත්නම් අකුරු පහේ සිරිවර්ධන නමින් හැඳින්වුනු රාජ්‍ය පරිපාලන ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වුනු ආරම්භක පුහුණු සැසියේදී එතුමා ප්‍රකාශකලේ අද දින ඔබ සියලුදෙනා පරිපාලන සේවාවට බඳවාගනු ලැබුවද එහි රඳවා ගැනීම සිදුවන්නේ ඔබේ ක්‍රියාකාරකම අනුව ඊට සුදුස්සකු බව සෑම වෙලාවකම ඔප්පු කරනාතාක් පමණක් බවයි. මගේ විශවවිද්‍යාලයේ සමකාලීන සගයන් වූ සුරේන් බටගොඩ, සුමනපාල කීරගල, ඩී ඇම් මාලනී, මල්කාන්ති හතුරුසිංහ, මල්කාන්ති ඒකනායක, කපිල ජයසේකර, ඩග්ලස් නානායක්කාර, ලලිත් ධර්මප්‍රිය, හෙලන් ප්‍රනාන්දු හා සරසවියේදී ජෙය්ෂ්ඨයින් වූ පුෂ්ප කුමාර, ස්වර්ණපාල, සන්ධ්‍යා දිනේශා, රේනුකා, කාන්ති, තිස්ස යන අය හැරුනුවිට සිටි අනිත් පිරිසේ දන්නා හඳුනන කෙනෙක් වූයේ විමල් ජයවර්ධන පමනයි.

ජී ඩී ඩබ්ලිව් ජයවර්ධන නැත්නම් විමල් ජයවර්ධන අපේ හැඩිගල්ල ජනපද වාසි පවුලක පුතෙක්. ඔහුගේ ගෙදර සිට කි මී දෙකක පමණ දුරකින් ගම්ගොඩේ මගුරුගඟබඩ මගේ නිවස තිබුනා. මම දන්නා හැටියට විමල් අධ්‍යාපනය ලැබුවේ ඔහුගේ මුල්ගම වූ අගලවත්තේදියි. අපොස උසස්පෙල හදාරන අවදියේ ඔහු පිලියන්දල මධ්‍යමහා විද්‍යාලයේත්, මම පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබුවා. අපේ ගම් ප්‍රදේශයෙන් 1979 වසරේ විශ්ව විද්‍යාලයට ඇතුලුවීමට සමත් වූ පස්දෙනෙකු සිටියා. ඉන් දෙදෙනෙකු උනේ විමලුත් මමත්. මේ නිසාම යම් දැන ඇඳුනුම්කමක් විමල් ගැන මට තිබුනා. පරිපාලන සේවාවේදී මේ අන්දමින් ගම්වාසියෙකු හමුවීම ලොකු සතුටක් උනා. තවදුරටත් දැනහඳුනා ගැනීම් වලදී ජයතුංගත් බදුරලියේ වතුරාන ප්‍රදේශයේ බව දැනගන්නට ලැබීමෙනුත් සතුටක් දැනුනා. බුදුන් වහන්සේත් “කිඹුල්වත් නුවර දෙසින් හමන සුලඟත් සැපයි ආනන්ද” යනුවෙන් දේශනා කලබව අසා ඇති අපට එකම ප්‍රදේශෙන් තිදෙනෙකු පරිපාලන සේවාවේදි මුනගැසීම සතුටක් නොවෙයිද?

මුලින්ම පරිපාලන සේවාවේ පුහුණු වැඩමුලුව තිබුනේ නයිවල පුහුණු මධ්‍යස්තානෙ. නයිවල නමින් ගමක් තියෙනබව බොහෝදෙනා දැනගත්තෙ මේ ගැන ඇහුවමයි. ඒත් නයිවල කෙනෙකුත් අපේ කන්ඩායමේ පරිපාලන සේවාවට ඇතුලුවී සිටියා. ඉතින් අපි එකිනෙකා පාර අහගෙන කොටුවෙන් දුම්රියට නැගල නයිවල ගියා. මමයි කීරගලයි දෙන්න එකට නයිවල ගියේ. කීරෙ විගණන අධිකාරිවරයෙක් හැටියට රාජකාරි කරන අතරතුරයි පරිපාලන සේවාවට ආවෙ. කලින් කරපු රස්සාවෙන් අයින් වෙලා පරිපාලන සේවෙට එන්න ගත්තු තීරණය හරිද යන්න කීරෙට තිබුනු ප්‍රශ්නයක්. කෝච්චියෙ යන ගමන් මේ ගැන කතා කරල තීරණේ හරි කියල කීරෙ නිගමනය කලා. කීරෙට ආයිත් ඔය ප්‍රශ්නය අහන්න හිතෙන්න පුලුවන් කියල මම දන්න හින්ද ආයි ඔය ගැන හිතන්න එපා කියලත් කිව්වා.

නයිවල ගතකරපු දින කීපයෙදි තමයි අපේ කට්ටිය එකිනෙකා අතර හඳුනා ගැනීම කලේ. නයිවලින්ම ආපු අපේ සගයා ස්වර්ණපාලට කියල හොයාගත්තු සංගීත කන්ඩායමත් එක්ක විවිධ ප්‍රසංගයකුත් කරලයි වැඩේ අහවර කලේ. මේ ප්‍රසංගෙට නාට්‍යක් ඉදිරිපත් කරන්න බටගොඩත්, මාත් තීරණය කරා. නාට්‍යක් පේරාදෙනියෙ සරසවියෙන් ආපු අය සූදානම් කරන හින්ද ජපුරෙ අපිත් මොනවහරි කරමු කියල බටය තමයි යෝජනාව දැම්මෙ. පිටපත හා නිෂ්පාදනය බටගොඩගේ. ප්‍රධාන නලු නිලියෝ සුනිල් කන්නන්ගර, මල්කාන්ති හතුරුසිංහ, ඩී ඇම් මාලනී ඇතුලු ජපුරෙන් ආපු කීපදෙනෙක්. නාට්‍යෙ නම “කිරිමුට්ටිය ගඟේ ගියා”. මහ ලොකුවට පිටපත රචනය බටගොඩ කියල ප්‍රකාශ කලාට ඌ ලියපු පිටපතක් නෑ. හැබැයි රාත්‍රි ආහාරයෙන් පස්සෙ කොරිඩෝවෙ බිම වාඩිවෙලා කතන්දර පොඩ්ඩක් මනසේ හදාගත්තෙ බටගොඩයි, මමයි, සරණ තිස්සයි එකතුවෙලා. පෙරහුරුවලදි කටට එන හැටියට කියාපු දෙබස් නෙවෙයි නාට්‍යෙදි කිව්වෙ, කතාවට ගැලපෙන්න එවෙලෙ කටට ආපුව. නාට්‍ය කපුවාගෙ චරිතය රඟපාපු මගේ අරමුණ වුනේ ප්‍රේක්ශකයා වැඩි වැඩියෙන් සිනා ගැන්වීම. බොහෝ දෙනා පස්සෙ අගය කල විදිය බැලුවම පිටපත රචනය හා නිෂ්පාදනය කරපු බටගොඩයත් රඟපාපු අපිත් මහ නාට්‍යකාරයො වෙලා තිබුනෙ අපිත් දන්නෙ නැතුව. කවදාවත් කඩදාසියක නොලියපු නාට්‍ය පිටපතක් රචනා කරල ආචාර්‍ය සුරේන් බටගොඩ ලෝක වාර්තාවක් නයිවලදි පිහිටෙව්ව කියල මිනිහ තවමත් දන්නෙ නෑ. නිලන්තිගේ මධුර මනෝහර හින්දි ගීත ගායනා, එල් පී ජයම්පතිගේ කලුවරතොටේ හමුවූ ළිය ගැනවූ කාව්‍ය ගායනා, සුමිත් සුරවීර හා සමන් ඒකනායකගේ නාට්‍යක්, කාන්ති සුනීතා පෙරේරාගේ මැජික් සංදර්ශනයක්, ඇතුලු අංග ගණනාවකින් සමන්විත විවිධ ප්‍රසංගයට සංගීතය සැපයුවේ නයිවල ස්වර්ණ පාල මහතාගේ අනුග්‍රහයන්. හැබැයි මේ සේරම අභිභවා අපි හැමෝම විස්මයට පත් කලේ “ආච්චි බේසමට බැහැල මූණ හෝදන දර්ශනය” ඕවර්හෙඩ් ප්‍රොජෙක්ට්ටරයෙන් පෙන්නපු කාන්ති තමයි. එහෙම විස්මයජනක දර්ශනයක් ගතවූ අවුරුදු තිස්තුනේදිම දැක්කෙ නෑ.

මීට පස්සෙ කොලඹ ඇවිත් විද්‍යා මාවතේ නරේසා ආයතනයෙ ශ්‍රවනාගාරෙ අංශක 15 උෂ්නත්වෙට සීතල කරල අපිව වාඩිකරල පරිපාලනය කරන හැටි උගන්නල ආපහු ගන්නොරුවෙ කෘෂිකර්ම පුහුණුවට අරගෙන ගියා. ගිය දවසට පස්සෙන්ද උදේ ආහාරය සැමන් සමග කිරිබත්. ඒකෙ ප්‍රතිපලේ දෙවනි රාත්‍රිය නුවර ස්ප්‍රිතාලෙ වැඩිදෙනෙක්ගෙ නවාතැන වීම. ඒත් මටත් බටගොඩයටත්, ඉහෙන් බහින රෝගයක් හැදුනෙ නෑ. ඒක ගැන බරපතල සාකච්ඡාවක් කරපු තිස්සත්, බටගොඩත්, මමත් අවසානයේ එලඹුන නිගමනය අපේ බඩවල් කලම්ඹන්න පුලුවන් ජරාවක් එතෙක් ලොවේ නිපදවා නොතිබීම නිසා එසේ සිදු උන බවයි. අපේ කන්ඩායමේ හිටපු එකම දමිල සගයා ෂන්මුගම් එක්ක අදහස් හුවමාරු කරගන්න පුලුවන්කම තිබුනෙ ශාන්ත බන්ඩාරට විතරයි. පස්ලුදීන් අපිට හිටපු එකම මුස්ලිම් සගයා. කාන්තාවො හරියටම විස්සයි. විද්‍යා, රෝහිනී, නීලමනී, ශීලා, ප්‍රේමා, මල්කාන්ති හතුරුසිංහ, මල්කාන්ති ඒකනායක, මාලනී, රේනුකා, ජානකී, සන්ධ්‍යා , නිලන්ති , කුසුම්, නන්දනී, හෙලන් ,කාන්ති ,දීපිකා ,හේමා ,සීතා ,චන්ද්‍රා,මේ කාන්තා පිරිසවුනා. මේ වෙන කොටත් අපිත් එක්ක හිටපු වික්‍රමසිංහ පරිපාලන සේවෙන් අයින්වෙලා සහකාර පොලිස් අධිකාරි තනතුරට ගිහින්. ගන්නොරුවෙදි කෘෂිකර්මාන්තෙ ගැන සති දෙකක පුහුණුවක් ලබාගත්තු අපි නුවරඑලියෙ රවුමක් එහෙම ගහල ආපහු එන්න කලින් නයිවලදි වගේ විවිධ ප්‍රසංගෙකුත් කලා. එතනදිත් සුපුරුදු නාට්‍ය ගීත ගායනා ආදී හැකියාවන් ප්‍රදර්ශනය කරපු අපි බොහොම සතුටින් ගන්නොරුවෙන් සමුගත්තා.

යලිත් කොලඹදී දේශන සමග පුහුනුවේ නිරතවූ අපිඋදේ හවසට නරේසා යන එන්නන් බවට පත් උනා.අපේ රංජිත් ධර්මපාල දේශකයන්ගෙන් ප්‍රශ්න ඇහුවෙ හරියට ප්‍රශ් න ඇහුවෙ නැත්නම් දඩුවම් කරයි කියන විශ්වාසයෙන්වගේ.මීට පස්සෙ කන්ඩායම් හැටියට දිස්ත්‍රික්ක වලට පිටත් කලා.දිස්ත්‍රික්පුහුනුවට කලින් හැමෝවම අතිරේක උපදිසාපතිවරු හැටියට පත්වීමක් දුන්නෙ රාජකාරියෙ යෙදෙන ගමන් පුහුනුවගන්න.මේ අනුව පුහුනුවට හැමතැනටම විසිරුනුඅපි කච්චේරිවල උපදිසාපති කාර්‍යාලවල පුහුනු උනා.ඊට අතිරේකව මාසයක් ගමක නතර වෙලා ඉඳගෙන වාර්තාවක් හදන්නත් උනා.දෙතුන්දෙනෙක් ඇරෙන්න අපි ඔක්කොම පිටිසර ගම්වලින් ආපු අය හිටියෙ.ඒ නිසා ගමේ පුහුනුව අපිට අරුම පුදුම දෙයක් වුනේ නෑ. මම, සුරෙන් බටගොඩ ,සරණතිස්ස,කපිල ,විමලෙ,රත්නායක ,ප්‍රේමා ,මාතලේ කච්චේරියට ගියා.මමයි බටගොඩයි තිස්සයි නතර උනේ උකුවෙල තවලම්කොය ගෙදරක.එවක මාතලේ මූලස්ථාන උපදිසාපති මාපිටිගම සර් ගෙදර හොයා දුන්නා.ඉස්සරහ කාමරේ ඇඳන් තුනක් දාල අපිට හදල තිබුන හැටි හිතට ඇල්ලුවා.අපියනකොට ගෙදර ඉස්සරහ කඩයක් වටකරල වහලෙ මට්ටමට බිත්ති බැඳිනවා.අපි තේ බීලා වටාපිටාවෙ ඇවිදින්න මිදුලට බහිනකොට වහලෙ ගහන්න හදනවා.ගෙදරතරුන පුත්‍රයගෙන් ඇහුවා අදම වහලෙ ගහන්න පුලුවන්ද කියල.ඔව් අදම වැඩේ ඉවරයක් කරහම ලේසිනෙ කිව්වා.අපි ඇවිදින්න ගිහින් පැයදෙකක්විතර ගත වෙලා හවස පහට විතර ආපහු එනකොට අර හදමින් හිටපු කඩේ ලඟ ඉතුරුව තිබුනෙ සුන්බුන්ගොඩක්.එකදවසෙන් බිත්ති බැඳල වහලෙ ගහල ෂීට් දැම්ම බරට ගොඩනැගිල්ල බිම .අර තරුන පුත්‍රයා ස්පිරිතාලෙ.රාත්‍රියෙමගිහින් මිනිහව බැලුව.මිනිහ අතක් බැඳගෙන ඇඳක් උඩ ඉන්නව.අපිව දැක්ක මිනිහට හිනා.එදාඉඳන් මාස තුනක් ඒගෙදර හිටපු අපිට සැලකුවෙ ගෙදර අයට වගේ.ඒගෙදර අම්මා අපිටත් අම්මා වගෙයි.නංගිලා දෙන්නයි මල්ලියි ඒඅයත් හරිම හොඳ අය.දෙවනිදවසෙ කච්චේරියට ගියා උදෙන්මගිය අපි අතිරේක දිසාපති කාමරේට හොටදාල බැලුවා .අතිරේක දිසාපති වීරහන්දි මහතා අපිටකතාකලා ගලේවෙල යන්න.අපි තුන්දෙනා එකපයින් කැමති උනා.ඩයිහට්සු ජීපෙකේ පිටිපස්සෙ වාඩිවෙලා ගලේවෙල ගිහින් උපදිසාපති කාර්‍යාලෙ පරීක්ශා කරල හවස බෝඩිමටම ජීප් එකෙන් ආවා.පස්සෙන්ද කච්චේරියට ගියෙ අනිත් අයට ගලේවෙල පම්පෝරිය කියන්න කියල හිතාගෙන.:”අපි ඊයෙ අතිරේක දිසාපතිතුමා එක්ක ගලේවෙල ගියා” කියල කපිලයට කිව්වෙ අපි උඹලවගේ නෙවෙයි අතිරේකදිසාපති එක්කයි ආශ්‍රය කියන්න වගේ ටෝන් එකෙන්.
“මචං ඊයෙ උඹල කෝ කියල මාපිටිගම සර් ඇහුව.කච්චේරියෙ කෙනෙක් කිව්වා අතිරේක දිසාපතිතුමාගෙ ජීපෙකට නගිනව දැක්ක කියල.මාපිටිගම සර් දිසාපතිතුමාට පැමිනිලි කලා උඹල ගැන වගකීම් භාර ගන්න බෑ කියල.එක එක්කෙනා එක්ක රවුම් ගැහිල්ල පුහුනුවක් වෙන්නෙ නෑ කියල අපි එක්කත් උඹලටදොස් කිව්ව”.කපිලය කිව්වම බොක්ක රත් උනා.ඊට පස්සෙ ආපු ප්‍රේමා විමලෙ රත්නායක තුන්දෙනාම මේ කතාව හැඩවැඩ දාල කිව්වම හොඳටම රත් උනා.තවටිකකින් ප්‍රධාන ලිපිකාරිනි නීරපොල නෝනා අපිව දැක්ක ගමන් “ආ සර්ලව ඊයෙ අපි හෙව්වා කොහෙදගියේ.දිසාපතිතුමාට හොඳටම කේන්ති ගිහින් ඉන්නෙ”කියල කිව්වා.දැන් නම් ඊයෙ ගමනෙ ලොකු කම ගිහින් කඩාවැටිල” අපිට වෙච්චදේ “රඟ පාන්නවෙලා.මේ කඩා වැටුනු කුන්ඩවාලියෙන් බේරෙන්නෙ කොහොමද කියල තුන් දෙනා කතාවුනා.අපි දන්නෙ නෑ කතාකල නිසා ගියා කියල කියමු කියල එකඟතාවය හදාගත්තා.මාපිටිගම සර් ආවගමන් අපි තුන්දෙනාගෙන් ඇහුවා කොහෙද ඊයෙ ගියෙ.අපි විස්තරේ කිව්වා.”හරි යමු ජී ඒ ලඟට ඊයෙ තව පොඩ්ඩෙන් මමත් බැනුම් අහනවා.ඔයාලව හරියට බලාගත්තෙ නෑකියල.”මාපිටිගම සර් අපිව මාතලේ මහ දිසාපති එස් එම් තෙන්නකෝන් මැතිතුමා ලඟට අරාගෙන ගියා.දිසාපතිතුමා අපිදිහා බලල මාපිටිගම සර්ගෙ විස්තරේ අහගෙන හිටිය.සර් කිව්වෙ අපි වැඩිවිස්තර දන්නෙ නැතුව වීරහන්දි මහත්තය කිව්ව නිසා ගමනට ගිහිල්ල කියලයි.අතර මැදදි ගලේවෙල මොකදකලේ කියල අපෙන් දිසාපතිතුමා ඇහුවා උපදිසාපති කන්තෝරුව පරීක්ෂා කලා කිව්වම ඔලුව වැනුව.මුලු ප්‍රශ්නෙම ඒ ඔලුව වැනිල්ලෙන් විසඳුනා.මාසයක් කච්චේරියෙ හිටපු අපිව තව මාසෙකට උප දිසාපතිකන්තෝරුවලට දැම්මා මට ලැබුනෙ පල්ලෙපොල කන්තෝරුව.පල්ලෙපොල උප දිසාපති චන්ද්‍රරත්න අයිය එයාගෙ කාමරේම මටත් මේසයක් දාලා මූලිකවිස්තර කියලදීල කාර්‍යාලය මගේ පාලනයට දීල මගේ පාලනය අධීක්ෂනය කලා.සමහරදාට පරීක්ෂන එහෙම පවත්වන්න එක්කගිහින් පියවරෙන් පියවර කියලදෙනවා.බොහොම කරුනාවෙන් රාජකාරි කියලදුන්න චන්ද්‍රරත්න අයියා දක්ෂ පුහුනුකරුවෙක් බව තේරුනා.උපදිසාපති නිලනිවසෙ නතර උන මම උපදිසාපතිතුමා එක්ක උයාගෙන කාගෙන හිටියා.කැකුලු හාල් බතේ වතුර තියන හැටි තක්කාලි සම්බෝලෙ හදන හැටි එහෙම කියල දුන්නෙත් චන්ද්‍ර රත්න උපදිසාපතිතුමා.උපදිසාපතිතුමාගෙ පොත් අල්මාරිය පොත් ගුල්ලෙක් උන මට ලොකුසම්පතක් උනා.අපේ බටගොඩ හිටියෙ නාඋල ගනේගල උප දිසාපතිතුමා ලඟ නිසා සති අන්තෙ නාඋල ගිහින් ගනේගල උපදිසාපතිතුමාගෙ ශිල්පයත් ඉගෙනගත්තා.ඊට පස්සෙ ගමක මාසයක් නතර වෙලා ඉන්න කටයුතු යොදල තිබුනා.මමනම් මාසෙ වෙනුවට පැය කීපයයි ගමේ හිටියෙ.ප්‍රාදේශීය පාලනේ ගැන අපිට අත්පොත් තිබ්බ වර්නන් මාපිටිගම ගාමිනී චන්ද්‍ර රත්න,ඩබ්ලිව් බී ගනේගල මහත්වරු දුන්න පුහුනුව වටිනාකම තේරුනේ අම්පාරෙ රාජකාරියට ගියාමයි.මසතුනකට පස්සෙ කෙලින්ම කලුතර පොලිස් අභ්‍යාස විද්‍යාලෙට එව්වා.ඒකෙ පුහුනුව වෙනම කතාවක්.

14 thoughts on “පරිපාලන පුහුනුව

  1. පුහුණු වලදි බත් පිගාන ලබන ආකාරයත් පඩිය ලබන අකාරයත් සංසාර ණය ගනුදනු පියවන ආකාරයත් කියල දනව නම් කච්චර හදද කියල හිතනව
    රාජ්ය පරිපාලන තරම් වරප්රසාද බලතල නැතිවුනාට එක කාලයක අපටත් පුහුණුව ලැබුන
    ඒව ප්රායා්ගිකව ප්රයා්ජනවත්වය අඩුයි මකද ද්ශකයන් හුගක් අය තනතුරුවල අැත්තටම වැඩ කරල තියන අය නවන නිසා
    එ් ගල්ලන්ග ගාණ බ් ර ගත්ත න් ද කියල පසුකාල හිතුන
    හැබැයි පුහුණුවට පැමිණි අය විසින් නමිල රෑ දගඩහරි වනකම් තියපු පුහුණු සැසි වලදිනම් රටපුරා තියන නියම රසවත් කුණුහරැප කතන්දර තගයක් ඉගන ගත්ත

    කාන්තාව ගඩක් ඉදල තියනව
    අද අද්යපනයත් හුගක් ඉන්නව
    කතාව විනීතයි
    නීතිගරුකයි
    පත්පත් ක්රමානුකූලයි
    ඉහල නිලධාරීන්ට ගරුසරුයි
    ඒත් ඉතින් කියන විදිහට යනව තමයි
    හැබැයි මම මුලින්ම පත්වීම ලබපු මහනුවර බාලිකා විද්යාලය මැඩම් එහම නැහැ තමන් වනුවට වැඩ කරන තමන්ග පඩියන් කටසක් සංවර්දන සමිතියට දාල එයින් වැටුප් ගවන විදිහට සුදුසුකම් ඇති උසස්පල සමත් ලමයක්ව හරි වැඩට නදා කාටවත් ප්රසූත නිවාඩු යන්න දුන්න නැහැ
    එහම නකර ගියානම් ඉතින් ඉස්කාලනුත් ගියා තමයි

    ලා්කට උපදින හැම සතක්ම තමන්ටම ආව්නික අශ්වාද සිහින ලා්කයක් හදාගන්නව මත්වූ ආස්වාද සැප විදින්න ගන්නව
    එක අැද එකට හිටියත් දන්නක් ඉන්න අස්වාද ලා්ක දකක
    යාලුවන් පැන්ෂන් යනකට එහම සිහින නිද්රාවන් ටිකකට අැහැරනව අායත් සිහින නිද්රාවට පත්ව මානසික නින්දට පත්වනව
    හිතවත් අයක් මරණයට පත්වුණ වලාවකත් සිහින නිද්රාවන් ඇහැඅැරන්න පුලුවන්
    ඒත් අවට අය කැමති නැහැ තමන් නිදාගන ඉන්නවිට තවඅයක් ඇහැඅැරගන ඉන්නවට
    එක එක ඒව කියල ඉක්මනටම නිදිකරවනව ටක්ගාල නිදා ගන්නව
    කල්යාණ මිත්තරයක් ම් සිහින නිද්රාවන් මිදන්න උදව් කරනව

    කල්යාණ මිත්ර කියන්න මයිත්රියන් කලස් අඩු කරගන්න උදව් කරන කියන අර්ථයි

    Liked by 2 people

  2. නිදහස් උත්සවේ වැඩ කටයුතු වලින් පසුව ඊලග දවසෙ පාන්දරම post එකක් දාන්න ඔබතුමාට වෙලාව තිබීම විශිෂ්ටයි. ඉතිරි කොටසත් ලියන්න.
    සර් මගේ ආයතනයේ වසර ගණනක් නිරවුල් කර ගන්න බැරි වෙලා තිබුන ගිනි අවි බලපත්‍ර ගැටලුවක් විසදා දී තිබෙනවා.

    Liked by 2 people

  3. ඔව්නෙ අපිත් දිස්ත්‍රික් පාලනේ ඉගෙන ගන්න ගියහම මිනින්දෝරු කන්තෝරුවෙ දවසක්ම ගත කරල පිඹුරු ගැන ඉගෙන ගත්තා.අපිටත් ඔය පිඹුර හරියට ඕනවෙනවනෙ.ඉඩම් ආරවුල් බේරන්න.ඒකහින්ද ප්‍රාදේශීය ලේකම්වරු අනිවාර්‍යෙන් මිනින්දෝරු දෙපාර්තමේන්තුවත් එක්ක බොහොම ඇගෑලුම් කමෙන් ඉන්න වෙනව.මමත් ප්‍රාදේශීය පාලනේ අවුරුදු 23ගතකල මනුස්සය නිසා මිනුම් මහත්වරු මහගොඩක් පුද්ගලිකවම මිත්‍රයො වෙලා ඉන්නෙ.අපි දෙගොල්ලො ජාඩියට මූඩිය වගේ ඉන්න ඕන.

    Liked by 1 person

  4. පහුගිය කාලෙ පරිපාලන සේවයට පත්වෙච්චි අලුත් නිලධාරී නෝනලා, මහත්තුරු කණ්ඩායම් දෙකක්ම පිඹුරු ගැන ඉගෙන ගන්න අපේ ඔපීසියට ඇවිත් තිබුණා. අපේ ලොකු මහත්තුරු තමා එ් අයට ඉගැන්නුවෙ. බොරු කියන්නෙ මොටද, වැඩියක්ම අපේ අවුරුදු දෙසියගානක මෙව්ව එක ගැන පුරාජේරුව කියන එකයි පිඹුරු, ඉඩං විස්තර ලැයිස්තු ගැන මහා බයානක විදිහට බය කරපු එකයි තමයි කෙරුනෙ. ඒ කාණ්ඩෙ දැක්කම නං මටත් පරිපාලන සේවාවට ඇතුල්වෙන්ට හිතුනා. ඒත් ඉතිං උපාදියක් නැති හංදා ඒ අදහස ඊළඟ ආත්මෙට කල් දැම්මා.

    කොහොමත් මං දන්නා කියන ඩීයාරෝ නෝනල මහත්තුරු කීපදෙනා (හතර දෙනයිද කොහෙද) නං හරිම හොඳා. එතුමන්ලා, තුමීලා කොයියම්ම වෙලාවකවත් මයෙ ටෙලිපෝන් කෝල් එකක් මගාරින්නෑ. ඒ විදිහෙං මනුස්සයිංගෙ ගැටළු බේරන්නත් ඒ වගේම ආයතන අතර කොටවන (බොරු විදින) අණ්ඩපාලයින්ගෙ කපටිකං වලින් කාර්යාල අතර නොහොඳ නෝක්කාඩු ඇතිවීමෙන් ගැලවෙන්නත් අපට හැකියාව ලැබුනා.

    Liked by 1 person

    1. ඉගෙනගන්න, උපාධියක් ගන්න කැමති නම් O/L පාස් නම් විවෘත විශ්වවිද්යාලයට එන්න.

      Liked by 1 person

  5. ශාන්ත බණ්ඩාර කියන්නේ උඩ රැවුල් ධාරි ධිවර අමාත්‍යාහයේ සමාජ සංවර්ධන අංශයේම දිගු කාලයක් හිටිය කොටින්ම කියනවානම් ඒතටම නාකි උන, පස්සේ රටේ බලවත් අමාත්‍යංහයක ලේකම් උන කෙනාද.. පස්සේ නම් කියන්න දන්නනේ නැහැ මුල් කාලයේදි නම් බොහෝ දෙනෙක් ගේ හිත දිනාගත්තු හරි ප්‍රසන්න මහත්තයෙක්.. ජිවිතේට ටයි එක්ක දානවා නම් දැකලා නැහැ.
    බැච් එකේ සමහරු ගැන රටේ කියෙන ඇතිවන ප්‍රතිරෑපය නම් හොද නැහැ.ඔබතුමා එසේ නොවිම බොහෝ වටින දෙයක්.
    පරපාලන පුහුණුව නම් අර සත්තිගුම්බ ජාතකය සිහිපත් කරවනවා. . මොකද පුහුණුවට ලැබෙන උසස් නිලධාරිය මිත්‍රශලි නම් , යටත් නිලධාරියා ට උද්වි කරනවානම් පුහුනුව ලබන නිලධාරියාත් ඒ විදිහටම හැඩගැසෙනවා.. ඒතට හොඳ උදා හරණයක් තමයි හොරව්පතානේ පලවන ඩි. ආර්.ඕ. ලියපු මහත්තයා . එතුමාට මුල් පත්විම බාරගන්න යන්න දිසාපතිගෙන් ජිප් එක ඉල්ලුවාහම අයිසේ යනවා බස් එකේ කිව්වාලු. පස්සේ කාලේක එතුමා කළුතර ප්‍රාලේ උනා. මගේ මිත්‍ර මූලස්ථාන සමාද්ධි කළමණාකරු කිව්වේ ගුණ…..කර මහත්තයා අඩු ගාකේ සප්‍රාලේටවත් වාහනය දෙන්නේ නැහැ කියලා..
    ඔබ තුමා යටතට පත්වන නිලධාරිනටවත් අඩුගානේ ඔබතුමා අනුගමන කරපු විදි කියලා දෙනවා නම් මිට වඩා දුක්ගැනවිලි රහිත රාජ්‍යසේවය ගැන තාප්තිමත් මිනිස්සු ටිකක් බිහිවේවි. මොකද චක්‍රලේඛ පාචිච්චි කරන්නේ වැඩේ කරලා දේනන නොමේ නොකර ඉන්න විදි හොයන්න. අර අතරුදහන් වූ විදුලි සේවකයා, . සක්‍රිය සේවයට කැඳවු හමුදා නිලධාරියා වගේ එහ්වායේ තියෙන්නනේ චක්‍රලේඛ මඟින් ප්‍රශ්ණ විසදිය හැකි විදිහ මිස නොකර හිටිය හැකි විදිහ නමි නොවන නිසා.. අඩු ගානේ ඔබ ක්‍රම සහ විධි අනුගමන්ය කරන 10ක් වත් බිහි උනොත් ඒක ගොඩක් දෙනෙකුට පිළිසරණක් වේවි.

    Liked by 1 person

    1. ඔන්න ඔය කිව්ව උඩුරැව්ල්ධාරිය තමයි අපේශාන්ත බන්ඩාර.එයා රටේ බලවත් අමාත්‍යංශෙක අතිරේක ලේකම් වෙලාඉඳල ඒඅමාත්‍යංශෙ අහෝසි වුනාම දැන්තියෙන අමාත්‍යංශෙක රාජ්‍ය ලේකම් වුනා.ලොකු ලේකම් කම ඇඟේ හැපි හැපි අනේ වරෙන් කියල වද කරද්දි ඒක එපා නිදහසේ ඉන්නඕන කියල කලින් විශ්‍රාම නිවාඩුව අරගෙන ගෙදර ගියා.අල්ලගෙන ඉන්න පොරකන සමාජෙක අතහැරීම කරන්න තරම් දියුනු මනසක් තිබුනු කෙනෙක් නරක කෙනෙක් කියන්න බෑනෙ.

      Liked by 1 person

  6. ඊයේ අපි ටිවියෙකේ දැක්කනේ දිසාපතිතුමාව.. මම ඉතිං අපේ උන්දැට බර කරලා කියුව..’තවත් බ්ලොග්කාරයෙක්’ය කියල.. අර කාන්තාවන්ගේ නම් ටික මතක තිබීමේ රහස මට හිතෙන්නේ ‘කණ්ඩායම් ක්‍රියාකාරකම්’ ගොඩක් කෙරෙන්නේ ඇති ට්‍රේනින් කාලේ.. ඒ වගේම රාජකාරි කරන කාලෙත් හැමෝ එක්කම සම්බන්දතාවය තියෙන්න ඇති. තිස් තුනක්ම නොවුනත් විසි එකකට පස්සේ මටත් මගේ බැච් එකේ උන් ඔක්කොගෙම මුලකුරු වලින් කියවෙන නම් එක්කම මතකයි ඔය හේතු දෙක නිසා..

    පොලිස් පුහුණුව ගැනත් ලියමු. :))

    Liked by 2 people

    1. නිදහස් උත්සවේ රාජකාරියෙ යෙදුනනෙ ඊයෙ කාන්තා නම් ටික මතකනොවී තියේවියැ .ඔයින් එක කාන්තාවක් දැන් අවුරුදු 29ක් තිස්සෙ ඉන්නෙ අපේ ගෙදර නොවැ.

      Liked by 3 people

      1. මටත් ඔක්කොටම වඩා ඇති වෙච්චි ලොකුම කුහුල තමයි අර ස්ත්‍රී පරාණ ටිකේ නම් ඔක්කොම මතක තියා ගත්තෙ කොහොමද කියන එක ?

        එක්කෙනෙක් සෑහෙන්න කල් ගෙදරයි කිව්වනෙ 😀

        Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s