ලබුවරණ හීන

ලබු වරණෙ ඉවර වෙලා ගෙදර ඇවිත් නින්දට වැටුනා. එකදිගට දවස් ගානක් නිදි නැතිව කඹුරලා තිබුනු මහන්සියට නින්දගියේ මලාවගේ. පැය අටක් දහයක් ඔයාකාරෙන් හොඳටෝම නිද්‍රෝපගතවෙලා හිටපු මාව ආපහු වඳුරු නින්දට වැටුනා කියමුකො. ඔය වඳුරු නින්දෙදි තමයි මනුස්සයින්ට හීන පේන්නෙ. එතකොට කවුරුහරි අසමජ්ජාතියෙක් අහන්න ඉඩ තියෙනවා එතකොට වඳුරට හීන පේන්නෙ මොන නින්දෙදිද කියලා. ඒක ඉතින් වඳුරෙක් ගෙන්ම අහගන්න කියල ඔන්න දැම්මම උත්තරේ දෙන්නෙ අහන්නත් ඉස්සරින්! හීනෙන් පේනවා මම පන්සලක ඉන්නවා. පංසලක් කිව්වට මේක එසේ මෙසේ පංසලක් නෙවෙයි. මහ විසාල පරණ පංසලක්. අවුරුදු දහස් ගානක් පරණැයි කිව්වෑකි. ගොඩනැගිලි, ගල් කනු, දාගැබ් තියන මේ පංසලේ වයසක, තලස්තානි, තරුණ, සාමනේර ආදී විවිධ වයස් වල හාමුදුරු වරුත් ඉන්නවා. මෙහෙනින්නාන්සෙලා වගේ කහපාට ඇදගත්තු ගෑනු කට්ටිය ඉන්නවා. ඒඅය දසසිල්ද, මහණ උපසම්පදාද, මෙහෙණි සස්නට අයිතිද දන්නෙ නෑ. මොක හරි එහෙම අයත් හිටියා. ගෑනු පිරිමි දායක කාරකාදීනුත්, රාශියක් ජනී ජනයාත් මෙතන ඉන්නව පේනවා. මේ හැමෝම මහ ලොකු කලබලේක එහෙට දුවනවා, මෙහෙට දුවනවා එක යමසුමේ. මමත් මේ පංසලේ කලබලේ දැකලා හාමුදුරු කෙනෙකුට කිට්ටු කලා.

“අවසර අපේ හාමුදුරුවනේ, පංසලේ මහ කලබලයක් වගේ පේනවා. මොකද දන්නෙ නෑ?”

“ඕව ඔහොම තමයි උපාසක ඇත්තො. පෘතජ්ජනයා කලබලයි නොවැ. මොකද ඒ ඇත්තො හැම වෙලාවෙම ඉන්නෙ බයෙන්නොවැ. ඕව ගැන නුවණින් බලනවා විනා ගණන් නොගත යුතුයි නොවැ”. හාමුදුරුවො දේශනා කරා.

මේ හාමුදුරුවන්ගෙන් මොකවත් දැන ගන්න බෑ නොවැ කියල හිතල ඉලන්දාරි පහේ ඇබිත්තයෙකුට කිට්ටු කරා.

“මොකෑ පුතා මේ කලබලේ?”

“මේ අපේ හේවිසි කන්ඩායමේ අවුලක් මාමෙ. දැන් ටිකවෙලාවක් වෙනව පටන් අරගෙන”කියල ඇබිත්ත ඉලන්දාරිය කිව්වා.

“හේවිසි කන්ඩායමේ අවුලක්? ඇයි ලමයො ඒකලා මෙච්චර කලබලයක්?”

“දන්නෙ නෑ මාමෙ, දැන් ගුරුන්නාන්සෙල තුන් හතර පැත්තට වෙලා බැණ ගන්නවා. කොයි වෙලාවෙ ගහ ගනියිද දන්නෙ නෑ”

“කොහොමද ඉතින් මේ රන්ඩුව පටන් ගත්තෙ? ඔය හේවිසි ගහන කට්ටිය ඉතින් එකට කාල බීල ඉන්න කට්ටිය නොවැ.”

“පහුගිය කාලෙ හේවිසි කන්ඩායමේ මහ ගුරුන්නාන්සෙගෙ බෙරේ පලල මිනිහව අයින් කරානෙ. ඒ වෙනුවට මහ ගුරුන්නාන්සෙ උනේ තම්මැට්ටම බැඳගෙන ආව ගුරුන්නාන්සෙනෙ. එදා ඉඳන් හිටපු මහ ගුරුන්නාන්සෙගෙ ගෝලබාලයො අලුත් මහ ගුරුන්නාන්සෙට කෝචොක් කර කර හිටියෙ. අලුත් ගුරුන්නාන්සෙත් ඇරියෙ නෑ. උන්නැහැ හොඳ කියමන් කාරයනෙ. පරණ ගුරුන්නාන්සෙ කටගහල බේරෙන්න බැරි පාර පොඩියට අලුත් බෙරයක් බඳින්න පටන් ගත්තනෙ. ඉතින් ඊයෙ පෙරේද ගිලන්පස පූජාවෙදි ඔය බෙර පොඩ්ඩ වාදනය කොලානෙ. එවෙලෙ ඉඳන් තමයි ඔය ගෝරිය.”

“ඇයි ඉතින් පරණ ගුරුන්නාන්සෙ වෙන බෙරයක් බැන්දෙ? පැලිච්ච බෙරේම බැඳ ගන්න තිබුනනෙ.”

“ඇයි මාම දන්නෙ නැතිද ඒ බෙරකඳ අලුත් මහ ගුරුන්නාසෙ අරගත්තනෙ. කඳ විතරක් නෙවෙයි වරපට ටිකකුයි හංකඩ ටිකකුයිත් ඒ එක්ක ගත්තනෙ.”

“එහෙනම් අලුත් ගුරුන්නාන්සෙ ඒ බෙරේ බඳින්නැති නොවැ.”

“මොන පිස්සුද! උන්නැහැ ඒකෙ වරපටයි, හංකඩයි දාල තම්මැට්ටම රෙපයාර් කරානෙ.”

“ඉතින් යෝදයො තම්මැට්ටමත් අපූරු වාද්‍ය භාන්ඩයක්නෙ! දෙන්න පුලුවන්නෙ ආලවට්ටං දාල කඩිප්පු දෙකෙන් නිකං බෙර කෙබෙර වෙන්න.”

“පුලුවන් තමයි. ඒ වුනාට අපේ අලුත් ගුරුන්නාන්සෙ තම්මැට්ටම ගැහුවෙ හවුලෙනෙ.”

“මොකක්! යෝදයො, තම්මැට්ටම හවුලෙ ගහන්නෙ කොහොමද? උඹ මේ මෝදකේවත් ගැහුවද?”

“මම ගහපු උලව්වක් නෑ. මහ ගුරුන්නාන්සෙ තම්මැට්ටම ගහන්න හොරණෑව ගහන ගුරුන්නාන්සෙවත් හවුල් කර ගත්ත නොවැ. එක කඩිප්පුවක් මහගුරුන්නාන්සෙ අතේ, අනික හොරණෑකාර ගුරුන්නාන්සෙ අතේ. ඉතින් දෙන්න එක්ක ගැහුවනෙ තම්මැට්ටම!”

“අපොයි ගහන්නම ඇති අපූරුවට එහෙනම්!”

“අපූරුව කියන්නෙ මාමෙ ඉතින්, තම්මැට්ටම ගහන්නෙ ඩංකුටු කුටු කුටු ඩකුටු ඩකුටු කියලනෙ. මේක දෙන්න ගැහුව හින්ද ඩං විතරයි. අපිට ඇහුනෙ දඩිං බිඩිං කියලයි. කිසි ගැලපීමක් නැතුව ගහනකොට ඔය වගේ වැදුන මිස කිසි පදයක් රසයක් නෑ නොවැ.”

“ඉතින් ඒකද දැන් පුරස්නෙ?”

“නෑ මාමෙ, පහුගිය ගිලන්පස පූජාව ජයට කොරා නෙවැ. කාලයක් ම පූජාව මඟඇරිල තිබුනු එකේ හාමුදුරුවරුයි, අවසේස අපියි හැමෝම මේ ගැන උනන්දු උනා. හැමෝම කතා උනේ මේ තම්මැට්ටමේ හවුල් වාදනේ අවුල් කියලනෙ. මේක තේරුණු මහ ගුරුන්නාන්සෙ පරණ බෙරකඳ කඩිමුඩියෙ බැඳගන්න දැගලුවනෙ. තම්මැට්ටමේ තිබුනු පරණ බෙරේ වරපටයි, හංකඩ කෑලියි අරගෙන බෙරේ බඳින්න හැදුවට එක පැත්තයි බැඳගන්න උනේ. පූජාව වෙලාව ආවා. මහගුරුන්නාන්සෙ තම්මැට්ටම අත ඇරල තනි ඇහේ බෙරේ ගැහුව නොවැ! ඇහැ දෙකක් තියෙන බෙරේ තනි ඇහැ විතරක් තියාන ගහන පදේ මොකක්ද? එතකොට පරණ මහ ගුරුන්නාන්සෙ අලුත් බෙර පොඩියක් බැඳගෙන ගැහුව. හොරණෑකාර ගුරුන්නාන්සෙටත් තම්මැට්ටම තනියම ගහන්න බෑනෙ. එයාත් තම්මැට්ටම අත ඇරල පුරුදු හොරනෑව පිඹින්න ගත්ත. හොරණෑව ඇතුලෙ කුඹල්ලු ගෙවල් හදල නිකං ෂූස් පූස් ගෑව. ඉතින් සද්දෙ අවුල්.”

“කිරි අප්පට බල්ලො පැනපි කිව්වලු! ඉතින් මොකෑ උනේ?”

“මොකෑ නෙවෙයි, කිරි කෑ උනේ. පරණ ගුරුන්නාන්සෙගෙ බෙර පොඩ්ඩ නැඟල ගියානෙ! අලුත්ම බෙර පොඩ්ඩ, බලාපල්ලකො හඬ විතරක්. මෙච්චර අලුත් බෙර පොඩ්ඩකින් මෙහෙම කවුරුවත් ගහල තියෙනවද කිය කිය කට්ටිය හරියට පාරට්ටු කරානෙ.”

“එහෙනම් හොඳ හොඳ පද ගහන්නෑතිනෙ උන්දැ? මොකද උන්දැගෙ අප්පොච්චිත් පරණ ගුරුන්නාන්සෙ කෙනෙක්නෙ”

“හොඳ තමයි, ඒ උනාට මාමෙ මට හිතෙන්නෙ තම්මැට්ටම හරියට ගැහුවෙ නැති වරදයි උනේ කියල. මොකද පරණ ගුරුන්නාන්සෙත් පරණ පදේම තමයි ගැහුවෙ. ඉස්සර උන්දැ ගහපු පදේ අපිට ඇතිවෙලනෙ තිබුනෙ. ඒ වුනාට කාලෙකට පස්සෙ ඇහුනම හොඳයි කියල හිතුනට අලුත් මොකුත් නෑ.”

“එතකොට අලුත් පද ගහපු අය හිටියෙ නැතිද?”

“මොකෑ නැතුව තාලම් පට ගහපු ගුරුන්නන්සෙ අලුත් විදියට සෙල්ලම් කලා. ඒ වුනාට තාලම්පටේ මොන සද්දද? කව්රුත් ගනන්ගත්තෙ නෑ.”

“තාමත් උඹ කිව්වෙනෑ ළමයො අලකලංචිය මොකක්ද කියල”

“හරි හරි, කෝ මාමත් මාර පොරක්නෙ. එක එක විච්චූරණ අහල හරස් කපද්දි කොහොම කියන්නද? ඔන්න දැන් ගිලන්පස පූජාවෙන් පස්සෙ පරණ මහ ගුරුන්නාන්සෙගෙ බෙරේ මුලට දාල උන්නැහෙට හේවිසිය භාරගන්න කියල උන්නැහෙගෙ කට්ටිය කියනවා. පරණ ගුරුන්නාන්සෙ කියනවා මගෙ බල්ලවත් ගන්නෙ නෑ ඕක කියල. මම ගන්නවනං ගන්නෙ බුද්ධපූජාවෙ තේවාව තමයි කියනව. පුලුවන්නම් දැන් තියාපිය බුධ පූජාව, ඒකත් ගහන්නෙ මේ වගෙයි කියල! ඒ අස්සෙ හොරණෑ ගුරුන්නාන්සෙට කිව්වලු කොහෙවත් යන්න හෙම හදන්න එපා කියල. අලුත් මහගුරුන්නාන්සෙ හොරණෑකාර ගුරුන්නාන්සෙව එලවන්න හදනවා. හොරණෑකාර ගුරුන්නාන්සෙ මෙලෝ වගක් නෑ. තාලම්පොට ගහන ගුරුන්නාන්සෙ පෙරලි කරනවා දෙන්නටම විරුද්ධව. ඔය පොඩි පොඩි සන්නම් වාදනය කරන අයත් තුන්පැත්තට බෙදිලා.”

“හොඳයි මමත් විහාරෙ පැත්තෙ බලල එන්නම්කො කොලුවො” කියල මම විහාරෙ පැත්තට ගිහින් හොට දාල බැලුවා. එතන එක යමසුමේ. පරණ ගුරා හීන් දිගටි බෙර පොඩ්ඩක් බඩේ බැඳන් අතගගා ඉන්නවා. ගෝලයො වටවෙල හොරණෑකාර ගුරුන්නාන්සෙට සැරදානවා. අලුත් ගුරා එකැස් බෙරේ පැත්තක තියල සූස්තරයක් අටෝනවා. ඒකෙ නූල්වලින් හොරණෑ ගුරු වටකරල තියෙන්නෙ. හොරණෑ ගුරා කන්දෙකේ ඇබ දෙකක් ගහගෙන වාඩිවෙලා ඉන්නවා. හැබැයි කකුල හොලෝ හොලෝ ඉන්නෙ. ඒ කියන්නෙ “ඔහොම දඟලපියව් බලන්න අන්තිමට බලමුකො” කියන්න වගේ. තාලම්පට ගහපු ගුරා අලුත් ගුරාටයි, හොරණෑකාර ගුරාටයි කෝචොක් කරන ගමන් පරණ ගුරාටත් ජාතිය දානවා. නාඟසලම ගහන වයසක ගුරා හොරණෑකාර ගුරා ලඟින් වාඩිවෙලා පරණ ගුරාට කියනවා “ඔහේ ගැහුවෙ පරණ පදේමයි. මම නම් ඔහෙත් එක්ක එන්නෙ නෑ” කියල. ලීකෙලි සෙල්ලමේම ඉන්න තොප්පි දාපු ගුරාල දෙන්න පරණ ගුරා දිහා බලනවා, අලුත් ගුරා දිහා බලනවා, හොරනෑ ගුරා දිහා බලනවා. “අපි ඕවට නෑ.”වගේ හැමෝටම පෙන්නනව වගෙයි. මට කටතියාගෙන ඉන්න බැරුව මෙහෙම කිව්වා.

“මේ ගුරුන්නාන්සෙලා ඔහොම කුළල් කාගෙන හරියනවද? මේ මහ පරණ පංසලේ තේවාකාරිය කරන්න කා කොටා ගන්න ඕනද? කට්ටිය තම තමන්ගෙ වාදක භාණ්ඩ හොඳට හදවල හොඳ හේවිසි පූජාවක් කරන්න ඕන නේද? ඔය ඔක්කොමල සාකච්ඡා කොරල හොඳ හේවිසි පූජාවක් එකතුවෙලා කොරන්න බැරි ඇයි? මේ බෙර, දවුල්, තම්මැට්ටම්, තාලම් පොටවල්, පංතේරු, නාගසලං, ලීකෙලි එකරටාවකට එකතු කරල මහ අපූරුවට ගිලන්පස බුද්ධ පූජාවල් ටික කොරානම් කොච්චර අපූරුද හැබෑටම! නාකිවෙනකම්ම කුලල් කාගෙන අපාගත වෙන්නද හදන්නෙ?”

මේක ඇහුන විතරයි කාවැටෙමින් හිටි ගුරාල කට්ටිය මට බැනගෙන එලවන්න ගත්ත රෙද්ද අතින් අරගෙන හරියට මූෂිකයෙක් දැක්ක බළල් තඩියො වගේ. බලා හිටියොත් මුං ඔක්කොම එකතුවෙලා මගේ අවසාන වාදනේ කොරන නිසා මම දුවගෙන ඇවිත් පංසල් තාප්පෙට ගොඩවෙලා බිමට පැන්න නොවැ. හත්වලාමයි, ඔන්න මම ඇඳ පල්ලෙ දෙරි ගහල! එතකොට තමයි මේ හීනයක් කියල තේරුනෙ. අපේ හාමිනේ කෑගහනව පංසිල් සමාදන්වෙලා නිදිය ගත්තනම් ඔය භූත හීන පේන්නෙ නෑනෙ කියල. අප්පච්චියේ මටමමයි වෙන්නෙ. ඔන්න අනම් මනම් පුරස්නනම් අහන්නනං එපා, හීනෙන් දැකපුවට උත්තර දෙන්න පුලුවනෑ!

7 thoughts on “ලබුවරණ හීන

    1. උඩ කමෙන්ට් එක මාත් හීනෙන් බය වෙච්චි පාර වැරදිලා වැටිච්චි එකක් වැඩිය ගණන් ගන්න කාරී නෑ 😀

      අළුත් ගුරුන්නාන්සේ හොර + නෑ කාරයව අල්ලාගෙන හවුලට බෙදාගෙන තම්මැට්ටන් ගහන එක හරි යන දෙයක් නෙමෙයි අර බෙර පළුවත් පලාගෙන තරමට නොගැලපෙන බෙර පොඩ්ඩක් උස්සන් දඟලන පරණ ගුරුන්නාන්සෙව වැඩේට හරි යන්නෙත් නෑ

      මේහෙම ගියොත් නටපු පදේකුත් නෑ බෙරේ පලුවකුත් නෑ කියල තමයි වෙන්නෙ 😦

      Liked by 1 person

  1. හිනා වෙන්නද අඬන්නද කියලා හිතාගන්න බෑ.රටට වෙන්න යන විලම්බෑසිය ගැන හිතන්කොට

    Like

  2. අම්මපා ලොකු උන්නෑහැ ඔහේටත් පෙන්නේ මාර හීන නොවැ. ඔවා මේ අබුද්දස්ස කාලේට පේන විපරිත හීන නොවැ. ආපහු හිනෙන් පෙනුනේ නැද්ද හොරනෑකාරයා අලුත් ගුරා එක්ක ආපහු තම්මැට්ටම වාදනේ කොරන්න හදනවා….

    Liked by 2 people

Leave a comment