බොරලුගොඩ රතනසාර ලොකු හාමුදුරුවෝ

බොරලුගොඩ රතනසාර ලොකු හාමුදුරුවෝ මගෙ ජීවිතේදි හමු උන සුවිශේශී චරිතයක් කියල කිව්වොත් නිවැරදියි.අපේ බොරලුගොඩ ගමේ උපන් උන්වහන්සේ මගේ ඤාතිමාමා කෙනෙක්.ක්‍රිස්තුවර්ශ 1902මැයි මාසෙ 22 බොරලුගොඩ ගමේ කුලසේකර කර්තේලිස් අප්පුහාමි හා පොඩිනෝනා අබේසිංහ යුවලගේ තුන්වන දරුවා ලෙස උපත ලබන කුලසේකර ඉගෝරිස් අප්පුහාමි නම් දරුවා ගමේම හැදෙන්නෙ වැඩෙන්නෙ බොහොම නිරෝගී අයෙක් විදියට.සිංහරාජ වනන්තරේ අවට තියන වාසනාවන්ත පරිසරේ මගුරුගංගාවෙ ජලයේ පහසත් එක්ක වැඩෙන ඉගෝරිස් තරුණයා අඩි හයක් ඉක්මවූ උසත් ඊට ගැලපෙන මහතත් ඇතිව ජවසම්පන්න තරුණයෙක් .ඉගෝරිස් තරුණයාගෙ මිත්‍රයා උනේ නුගකඳ කන්නන්ගර පරම්පරාවෙ බබුන්සිංඤෝ කන්නන්ගර.බබුන් සිංඤෝ ආත ඉගෝරිස් තරුනයාගෙ මාමා කෙනෙක් උනාට දෙන්න බොහොම සහෝදරයො වගේ ආශ්‍රය කලේ.දෙන්නගෙන් බබුන්සිංඤෝ මදක් වැඩිමල් උනාට මේ ආශ්‍රයට ඒක බාධාවක් උනේ නෑ.මේ යාලු කමට පලාත පුරාම දෙන්න කරක් ගැහුවෙ එකට.බබුන්සිංඤෝ ආත හොඳ සූදු කාරය.ඉගෝරිස් තරුනයා සූදුව නොකලත් තම මිත්‍රයා එක්ක හැමතැනම ගියා.බොරලුගොඩ අතලෙ වගේ ලඟපාත නෙවෙයි තිනියාවල දෙනිහේනවගේ ගම්වලත් තොවිල් පොලවල් මගුල්ගෙවල් මල ගෙවල් වල මේ දෙන්න ගියේ එකට.මේ යාලුවො දෙන්නගෙ සම්බන්දෙ න් වෙන් වෙන්න වෙන්නෙ හිටි අඩියෙ ඉගෝරිස් තරුණයාට මහණ වෙන්න ඕනෑකම ඇතිවීමෙනුයි

.ගමරට පුරා කරක් ගහමින් ඕනෑ වැඩකදී නොපැකිලව ඉදිරිපත් වෙන මේ ගජ ඉලන්දාරියට හදිසියේ මහණ වෙන්න හිතුනෙ ඇයි කියන්න නම් දන්න කෙනෙක් නෑ.අපේ තාත්තවත් මේගැන යමක් දන්නෙ නැත්තෙ මේ මහණවීම සිදුවෙනකොට අවුරුදු දෙකක වයසෙ තාත්ත හිටි නිසයි.හරියටම 1931මාර්තු මාසෙ03වෙනිද අවුරුදු විසි නමයක ගජ ඉලන්දාරිය අපේ බොරලුගොඩ මහ පංසලේ විහාරාධිපතිව වැඩවිසූ ලත්පඳුරේ රේවත විහාරාධිකාරි බොරලුගොඩ පියරතන යන මහ තෙරවරුන්ගේ සිසුවෙක් ලෙස බොරලුගොඩ රතනසාර නමින් පැවිදි බවලබනවා.ගුරු හාමුදුරුවන්ගේ ඇසුරේ මද කලක් රැදී මහරගම විවේකාරාමයට වැඩම කරන රතනසාර හාමුදුරුවෝ දෙහිකුඹුරේ මංගල නම්වූ පැවිදි සහෝදරයා සමග වැඩවසනවා.විද්‍යෝදය පිරිවෙනේ කෙටි කලකුත් බොරලැස්ගමුව පරම ධම්ම නිවාස පිරිවෙනෙනුත් ආධ්‍යාපනය ලබන උන්වහන්සේ වැඩිදුර ධර්ම විනය ශබ්ධ ශාස්ත්‍ර පිලිබඳ අධ්‍යාපනය ලැබුවේ පන්නිපිටිය මොරකැටිය පරමධම්ම විහාරාධිපති අතිපූජ්‍ය පන්නිපිටියේ පියදස්සි හාමුදුරුවන්ගෙනුයි.මේකාලයේ පිංහේනනායක හාමුදුරුවෝ මේ තරුන හාමුදුරුවන්ව මාකුඹුරේ වර්තමාන පුරාන විහාරස්තාන භූමියේ නතර කරවනවා.

එදා මාකුඹුරගම ඉතා කුඩා ගම්මානයක්.දුප්පත් ගොවීන් කීපදෙනෙක් විතරයි ගමේ හිටියෙ.ගමේ යංතං ඔලුව උස්ස ගත්තු දෙතුන්දෙනෙක් හිටිය.රතනසාර හාමුදුරුවෝ මේ කුඩා ගම්මානයේ මිනිස්සුන්ට පංසල සම්බන්ධ කරන්න පටන්ගත්තෙ පින්ඩපාත වැඩම කිරීමෙන්.උදේටත් දවල්ටත් පින්ඩපාතෙන් ලැබෙන දේකින් යැපෙමින් ක්‍රමානුකූලව මිනිස්සුන්ව පංසලට සම්බන්ද කර ගනිමින් හාමුදුරුවෝ කරපු කාර්‍යනිසා වැඩිකලක් නොගොහින් මිනිස්සුන්ට පංසලක අගය තේරුනා.පංසලේ තිබුන ආවාසගේ දිග ස්තෝප්පුවයි මැද සාලෙයි පිටිපස්සෙන් කාමර දෙකයි.එකකාමරයක් කුස්සියට පාවිච්චි කරා.හාමුදුරුවෝ සැතපුනේ ස්තෝප්පුවෙ එක පැත්තක තිබ්බ ඇඳේ.හිරිකඩ එනඑක වලක්වන්න පරන සිවුරකින් එක පැත්තක් ආවරණය කරගෙන තිබුනා.ගලක් උඩට ගියත් පැලයක් හිටවන්න හදන එක අපේ බොරලුගොඩ පරනමිනිස්සුන්ගෙ පුරුද්දක්.රතනසාර හාමුදුරුවෝත් බොරලුගොඩනෙ.ඉතින් උන්වහන්සේත් අරපුරුද්දට පොල් රඹුටන් අඹ වගේ පැල පංසල් වත්ත පුරා හිටෙව්වා.මේ විදියට මාකුඹුරෙ ගමේ මිනිස්සුන්ට ස්ථාවර පංසලක් තියෙනවය කියන හැගීම ඇති කරන්න හාමුදුරුවන්ට පුලුවන් උනා.

මේකරපු දේවල් වෙනත් පැත්තකින් බලපු අයගෙ කේලාම් බස් නිසා පිංහේනෙ නායක හාමුදුරුවො රතනසාර හාමුදුරුවොත් එක්ක අමනාප ගතියක් ඇතිකර ගන්නවමෙම ස්ථානෙ පිංහේනෙ නායක හාමුදුරුවො මුදලට ගත්තු ස්ථානයක්.පැරනි විහාරස්ථානයක් හැටියට පටන්ගත්තු තැනක් තමයි මුදලට නායක හාමුදුරුවො ගන්නෙ.රතනසාර හාමුදුරුවෝ මෙතන කරන වැඩපිලිවෙල නිසා මේක පොදු ස්ථානයක් උනොත් ගැටලුවක් වෙන නිසාදෝ කොහෙද නායක හාමුදුරුවෝ රතනසාර හාමුදුරුවන්ට කියනව මගෙ ඉඩම විකුනන්ඩ ඕන ඒකනිසා භුක්තියෙන් ඉවත් වෙන්න කියල.රතනසාර හාමුදුරුවෝ මේ ගැන කතා කරන්න නායක හාමුදුරුවෝ මුන ගැහෙනව.නායක හාමුදුරුවෝ මුලුමහත් සල්පිටි කෝරලේම ප්‍රසිධ මහා බලවන්තයෙක්.උන්වහන්සේට ගිහි පැවිදි ජනතාව අතර මහ පිලිගැනීමක් තිබුනා රජයේ ලොකු ලොක්කො මහාව්‍යාපාරිකයො විතරක් නෙවෙයි සාමාන්‍ය පංතියෙ මිනිස්සුත් නායක හාමුදුරුවන්ගෙ වචනෙට පිටින් ගියෙ නෑ.මිල මුදල් යානවාහන ඉඩකඩම් අඩුවක් නැතිව නායක හාමුදුරුවන්ට තිබුනා.අහල ගම්හතකම චන්ඩි පහේ මිනිස්සුත් නායක හාමුදුරුවන්ගෙ වචනෙට සැලකුවා.මෙන්න මේවාගෙ බලවන්ත නායක හාමුදුරු කෙනෙක් එක්ක උන්වහන්සෙගෙ තීරණයට විරුද්ධව කතාකරන්න ගියෙ ඔය කියාපු මොකවත් නැතිහැබැයි මහසෝන්‍ යක්ෂයටවත් බයක් නැති නැතිවෙන්න කියල මොකුත් නැති අපේ රතනසාර හාමුදුරුවෝ තනිවමයි.

“ආ උන්නාන්සෙ ආවද?මොකද මම එවාපු පණිවුඩේ ලැබුනද?දැන් කවදද මාකුඹුරෙ ස්ථානෙ භාර දෙන්නෙ?”නායක හාමුදුරුවෝ ඇහුවා.

“නායක හාමුදුරුවනේ මාකුඹුරෙ පංසල ඉඩම විකුණලා කොහොමද ?ගමට පංසලක් නැතිවෙනව නේද?”රතනසාර හාමුදුරුවොත් උත්තර දුන්නෙ ප්‍රශ්න දෙකකින් මයි.

“මගේ ඉඩම විකුණන එක ගැන මොකක්ද උන්නාන්සෙට තියෙන රුදාව.උන්නාන්සෙතමයි ඔතන මගෙ ඉඩම පංසලක් කරන්න එකඑකා එක්ක වැඩකරන්නෙ.ඒක හින්ද තවත් කිසිකතාවක්නෑ මගෙ යකා අවුස්සන්නෙ නැතුව ඔතනින් පිටවෙනව හොඳයි.”

“නායක හාමුදුරුවනේ මේස්ථානෙ අවුරුදු ගණනාවක්තිස්සෙ විහාරස්ථානයක්.ඒකහින්ද මට මෙතැන අමුතුවෙන් පංසලක් හදන්න දෙයක් තිබුනෙ නෑ.මම ඉල්ලන්නෙ මේ පංසල මාකුඹුරට ඕන.ඒකවෙනස් කරල ඉඩමක් හැටියට විකුනන්න එපා කියලයි.”

“උන්නාන්සෙ මගෙත් එක්ක හැප්පෙන්නද හදන්නෙ එහෙනම් දැනගන්නව හොඳයි කලුගලේ ඔලුව ගහ ගන්න හොඳ නෑකියල.”

“නායක හාමුදුරුවනේ කලුගල් කඩන්න ඔලුව ගහන්නෙ මෝඩයෝ. ඔලුව නොගැහුවට කලුගල් කඩන්නත් ක්‍රම තියෙනව.”

“එහෙනම් කඩල බලනවකො” කියල නායක හාමුදුරුවෝ පංසල ඇතුලට ගියා.

රතනසාර හාමුදුරුවෝ ආපහු මාකුඹුරට වැඩිය.හිතවත්ම දායක මහත්වරු හතර දෙනාට තත්වය කිව්වා.ඒ ඇත්තෝ හාමුදුරුවෝ ගන්නා ඕන පියවරකට කැමතියි කිව්වා.හාමුදුරුවෝ රාත්‍රිය පුරාම කල්පනා කලා.නායක හාමුදුරුවෝ තමන් මේ ස්තානයට එවීමෙන් උදව් කලාබවත් ඒත් මේගමට තියෙන විහාරස්තානය නැතිවෙන විදියට ඉඩම විකුනුවොත් කිසිදවසක මේ ගමට පංසලක් නොහැදෙන බවත් සිහියට ආවා.අනිත් අතට නායක හාමුදුරුවෝ සල්පිටි කෝරලේද ඇතුලු මුලුකොලඹ දිස්ත්‍රික්කෙටම ඉන්න බලවන්තයෙක්.සල්ලි ඉඩකඩම් පංසල් වගේම මහාසංඝරත්නයත් ගිහියොත් අතර නායක හාමුදුරුවන්ට උඩින් ක්‍රියා කරන්න කෙනෙක් නෑ.උසාවියෙපෙරකදෝරු මහත්වරුත් නායක හාමුදුරුවන්ට සහයෝගය දෙන්නෙ.එහෙම කෙනෙක් එක්ක හැප්පෙනඑක ලේසිනෑ.අනික තමන් මේමොකුත්ම නැති සාමාන්‍ය හාමුදුරුකෙනෙක්.මාකුඹුර ගමේ උදවියටත් පංසලක් ඕන උනාට මේවාගෙ අයත් එක්ක හැප්පෙන්න හයියක් නෑ.ඒත් එක්කම හාමුදුරුවන්ට හිතුනා අසාධාරන දේට විරුද්ධව තමන් හැමදාම කටයුතුකලානේද කියන එකත් එලිවෙන ජාමෙ වෙනකොට හාමුදුරුවො තීරණය කරනව මාකුඹුර ගමට පංසලක් වෙනුවෙන් නායක හාමුදුරුවො එක්ක නඩු කියන්න.පස්සෙන්දම නායක හාමුදුරුවො චන්ඩි පහේ කන්ඩායමක් මාකුඹුරට එව්වෙ රතනසාර හාමුදුරුවො බයකරන්න.හාමුදුරුවන්ට තර්ජනය කරපු චන්ඩිදෙන්නෙක් ඉස්තෝප්පුවෙන් මිදුලට පෙරලෙන්න පයින් පාර දුන්නම සේරමචන්ඩි පැනල ගියා.

රතනසාර හාමුදුරුවෝ මාකුඹුර පංසල් ඉඩම පුද්ගලික ඉඩමක් සේ සලකා විකිණීමට නායක හාමුදුරුවන්ගේ උත්සාහයට විරුද්දව සාංඝික අයිතිය වෙනුවෙන්නායක හමුදුරුවන්ට එරෙහිව දිසා අධිකරණයේ නඩු පවරනව.මේ නඩුකරයට මාකුඹුර විහාරස්ථානයේ සාංඝික අයිතිය අවුරුදු සීයක් තිස්සේ එන බවට සාක්ෂි අමුනලා නඩුපවරන්න හාමුදුරුවෝ කටයුතු කලා.මේ නඩුවට පෙනීසිටිය පෙරකදෝරු මහත්තයව අල්ල ගන්න නායක හාමුදුරුවන්ගෙ පැත්තෙන් උත්සාහකලාට හරිගියේනෑ.නායක හාමුදුරුවන්ට එරෙහිව නඩුකියන එක ලේසි වැඩක් උනේනෑ බොහෝ නායක හාමුදුරුවරු අපේ හාමුදුරුවොත් එක්ක අමනාප උනා.ගිහි බලවන්තයො අමනාප උනා.නායක හාමුදුරුවන්ට හිතවත් ගිහිඅය අමනාප උනා.මාකුඹුර ගමේ සියදෝරිස් මුදලාලි ප්‍රධාන කීපදෙනෙක් අපේ හාමුදුරුවොත් එක්ක හිටිය.හාමුදුරුවෝ තමන්ගෙ උත්සාහය අත ඇරියෙ නෑ.නායක හාමුදුරුවෝ සල්ලි මිටිගනන් නඩුවට වියදම් කරනකොට අපේ හාමුදුරුවෝ පින්ඩපාතෙ කරල ලැබුනු තෙල් ටිකපවා පිරිම්මහගෙන පොලත්තවියල ගත්තුසල්ලි එහෙම නඩුවටම යටකලා.බොහෝ බලවන්තයො උසුලු විසුලු කරද්දි ඒවත් දරාගෙන හිටියා.හිතවත්ම අයගෙන් ලැබුනු ආරංචි නිසා ස්තෝප්පුවෙ ඇඳේ රාත්‍රි සැතපෙන එක නතර කලේ ජීවිතය ආරක්ෂා කරගැනීමටයි.ස්තෝප්පුවෙ ඇඳේ කොට්ට දිගට තියල සිවුරකින් වහලා රාත්‍රියට පංසල් වත්තෙගහක්‍යට පැදුරක නිදියන්න ගත්ත.එක දවසක උදේ බලන කොට කොට්ට ගොඩට පිහියෙන් ඇනලා තිබුනා.

ඊලඟ තර්ජනේ පොලිසිය පැත්තෙන් ආවෙ.එකදවසක් හවස පහට විතර පොලිසිය පස් හය දෙනෙක් පංසලට ආවා.

“හාමුදුරුවනේ අපි මේ රාජකාරියකට ආවා”.කන්ඩායමේ ලොක්ක උප ඉන්ස්පැක්ටර් කිව්වා

“ඔව් ඉස්පැක්ටර් මහත්තයා රාජකාරි නම් වෙලාවක් තැනක් නෑනෙ කරන්නම එපායැ.නේද?”

“එහෙමයි හාමුදුරුවනෙ ඔබවහන්සෙ අමනාපවෙන්න එපා අපිට පංසල් ගේ සෝදිසි කරන්න ඕන.”

“ඇයි ඉතින් පංසල් ගේ සෝදිසි කරන්නෙ?”

“නෑ පැමිනිල්ලක් ලැබිල තියෙනවා ඔබවහන්සෙ පිස්තෝලයක් පාවිච්චි කරනව කියල ඒකයි.”

“ආ පිස්තෝලයක්ද ?දැනට නම් එහෙම එකක් නෑ කෝක උනත් කමක් නෑ මහත්තය පංසල් ගේ බලන්න හැබැයි ගේ ඇතුලට යන්න ඉස්සෙල්ලා මම මහත්තයලව සෝදිසි කරල බලලයි යවන්නෙ.නැත්නම් දැන් නැති උනාට පිස්තෝල හම්බු වෙන්න ඉඩ තියනවා ඇතුලෙන්”.හාමුදුරුවෝ කිව්වා.

පොලිසියෙ දෙන්නෙක් ගේපරීක්ෂාවට ඇතුලු උනේ හාමුදුරුවෝ ඒදෙන්නගෙ ශරීරය පරීක්ෂා කරල පිස්තෝල නැතිබව තහවුරු කර ගත්තට පස්සෙයි.එදායින් පස්සෙ ඒආපු පොලිස් පරීක්ෂකවරයා හාමුදුරුවන්ගෙ ගජ මිත්‍රයෙක් වෙනවා.

හාමුදුරුවො පවරපු නඩුව නායක හාමුදුරුවන්ට පරාජය අත් කරමින් අවසනුනා අපේ බොරලුගොඩ රතනසාර හාමුදුරුවෝ ජය ගත්තා මාකුඹුරට පංසලක් ලැබුනා.පංසලට යාබද කුඹුර නඩුව අතරත් කෙරෙව්වෙ නායක හාමුදුරුවෝයි.නඩුව ඉවර උනහම කුඹුර වැඩ කරන්න ආපු චන්ඩි ටික ට අපේ හාමුදුරුවෝ කුඹුරට බහින්නවත් දුන්නෙ නෑ.දෙන්නෙකුට කන හරහා ගැහුවම උන් දිව්ව්වාකුඹුරත් පංසලටම අයිතිඋනා.ඉන් පස්සෙ ජයසිරිමා බෝධීන් වහන්සෙගෙ ශාඛාවක් රෝපණය කරලා බෝධිය ස්ථාපිත කරා.විහාර මංදිරයක් ඇම්සී පෙරේරා මහත්තය හැදුවා..ධර්ම ශාලාවක් මාකුඹුරෙ සිල්ලප්පු බාස් උන්නැහැගෙ මූලිකත්වයෙන් හදල රතනසාර දහම් පාසැල පටන් ගත්තා.මාකුඹුර ගමේ අකුරු උගැන්මක් නොතිබුනු අයගෙන්නගෙන අකුරු කියා දීල අධ්‍යාපනයක් දුන්නා.බොරලුගොඩ ඇතුලු අපේ අහලගම් හතකම අයගෙ කටයුතු වලටත් හාමුදුරුවො පිහිට උනා.අසනීපෙන් හිටපු උදවිය එක්කගෙන ඇවිත් ප්‍රතිකාර කරල සනීපකරා.මාකුඹුරෙ පංසලේ බොරලුගොඩ උරුමය තහවුරු කලේ අපේ බොරලුගොඩ ඉන්දරතන හාමුදුරුවන්ව පැවිදි කිරීමෙනුයි.ඊලඟට බොරලුගොඩ ජිනාලංකාර හාමුදුරුවෝ පැවිදි කරල ඒඋරුමය තවත් තහවුරු කරා. අපේ ඉන්දරතන හාමුදුරුවන්ගෙ නායකත්වයෙන් ජිනාලංකාර හාමුදුරුවන්ගෙ කැපවීමෙනුයි පංසල බොහෝ දියුණු උනා.කොච්චර ගොඩනැගිලි අලුතෙන් හැදුනත් සුපුරුදු විදියට ධර්මශාලාවෙ කාමරේ ඇදේ සැතපීගෙන ඉන්නයි රතනසාර ලොකුහාමුදුරුවො කැමැත්තෙන් භිටියෙ.මුලු පලාතම උන්වහන්සෙගෙ පෞරුෂයට සැලකුවා.හිරිපිටිය පැත්තෙ මිනිස්සු සමහරු බීලා කවි කියාගෙන යන කොට මාකුඹුරෙ හංදියෙදි පලමු කවි පදේ කියල දෙවෙනි කවි පදේ කියන්නෙ වෙලෙන් ගොඩවෙලයි .කොච්චර බීල හිටියත් මාකුඹුර පංසල ලඟදි නිශ්ශබ්දතාවය රකිනවා.මේවිදියට බොරලුගොඩ උපන් අපේ කෙනෙක් මාකුඹුරට කරපු මහා මෙහෙවර ගැනත් ඒ පරපුරේ සේවාව දිගටම ඉස්සරහට ගෙනියන හැටිත් දැක්කම අපිටත් මහ ආඩම්බරයක් දැනෙනවා.අපේ බොරලුගොඩ රතනසාර හාමුදුරුවෝ2003/12/10වෙනිද අවුරුදු 102ආයුෂවිඳල අපවත් උනේඅවරුදු හැත්තෑවක උපසපන් පැවිදි ජිවිතයක් නිමා කරමිනුයි.උන්වහන්සෙ දිවියලෝකෙ ඉඳන් මේ අපි ගැන හොයා බලමින් ඇති.

14 thoughts on “බොරලුගොඩ රතනසාර ලොකු හාමුදුරුවෝ

  1. මෙම ලිපිය කියවීමෙන් පසුව මම බොරලුගොඩ පියරතන හාමුදුරුවන් ගැන කරුණු ටිකක් සොයා ගත්තා

    බොරලුගොඩ පියරතන ස්වාමීන්වහන්සේ
    උන්වහන්සේ පැවිදිකල ගුරු ස්වාමීන්වහන්සේ – විනයාචාර්ය ලත්පඳුරේ රේවත ස්වාමීන්වහන්සේ
    උපත – 1872
    ගම – ඉගුරුදළුව
    ගිහි වාසගම – පැලවත්ත හෙට්ටිගේ
    පැවිදිවූ වර්ෂය – 1881 වයස අව්රුරුදු 9 දී
    අද්යාපනය – කළුතර දර්මවිජය පිරිවෙන
    බොරලුගොඩ පන්සල ප්‍රතිමා මන්දිරය තැනවීම – 1937
    බොරලුගොඩ ශ්‍රී පියරතන ක වි ආරම්බය – 1939
    අපවත්වීම – 1975 වයස අවුරුදු 103 දී
    ගෝල ස්වාමීන්වහන්සේලා
    1 දෙහිකුබුරේ මංගල ස්වාමීන්වහන්සේ – ගිහිකල අබේසිංහ පරම්පරාවේ කෙනෙක්
    2 බොරලුගොඩ රතනසාර ස්වාමීන්වහන්සේ – ගිහිකල පැලවත්ත හෙට්ටිගේ පරම්පරාවේ කෙනෙක් බවය් මට කියපු අය කිව්වේ
    3 අතලේ දේවරක්කිත ස්වාමීන්වහන්සේ
    4 දෙමටගොඩ පියරතන ස්වාමීන්වහන්සේ
    බොරලුගොඩ පන්සල ප්‍රතිමා මන්දිරය තැනවීම සම්බන්ද වාර්තා පොතක චායාරුප මෙහි දමන්නට නොහැකි නිසා මගේ අනංමනං
    sasara333.blogspot.com එකට දැම්මා එතනින් බලන්න පුළුවන්

    Like

    1. පියරතන ලොකු හාමුදුරුවෝ අපවත් උනේ 1976දී කියලයි මට මතක.පියරතන හාමුදුරුවන්ගේ ජෙය්ෂ්ඨ ශිෂ්‍යයා මංගල හාමුදුරුවෝ උනාට උන්වහන්සේ පසු අවස්තාවක උපැවිදි වී යලිත් පැවිදිඋන නිසා රතනසාර හාමුදුරුවෝ ජේය්ෂ්ඨ ශිෂ්‍යායා බවට පත්වෙනව.රතනසාර හාමුදුරුවො කුලසේකර පරපුරේ .අද ඒපරපුර බොරලුගොඩින් අතුරුදහන්වෙලා.රතනසාර හාමුදුරුවන්ගේ අයියා කුකුලේගම පදිංචිවූනිසා අද කුලසේකර පරපුර ව්‍යාප්තවී ඇත්තේ කුකුලෙගම මුල් කරගෙනයි.තවත් හාමුදුරු කෙනෙක් පියරතන ලොකු හාමුදුරුවන්ගේ ගෝලයො අතර හිටියා ඉඟුරුදලුවේ පියනන්ද නමින් උපාදිදාරි ගුරුවරයෙකු වූ උන්වහන්සේ පසුව උපැවිදි උනා.බදුල්ල පැත්තේ පදිංචි බවයි දැනගන්නට ඇත්තේ.

      Like

    2. ඔබ ජායාරූප පලකර ඇති පොත අපේගෙදර තියෙනවා.1937අවුරුද්දේ ප්‍රතිමා ගෘහයට ආධාර කල අයගේ නාමලේඛනය එහිතියෙනවා.එමනාමලේඛනයේ කන්නන්ගර අරනෝරිස් අප්පුහාමි යනුවෙන් සඳහන් වෙන්නේ අපේ ආතායි.

      Liked by 1 person

    3. දෙමටගොඩ රතන ජෝති ස්වාමින්වහන්සේ අපේ පියරත්න හාමුදුරුවන්ගෙ හතරවෙනි ශිෂ්‍යයා .තුන්වෙනි ශිෂ්‍යයා උන අතලේ දේවරක්ඛිත ස්වාමීන්වහන්සේ.

      Like

  2. බොරලුගොඩ පියරතන හාමුදුරුවෝ1933දී පමන බොරලුගොඩ ගංගාරාමයේ හා මහරගම විවේකාරාමයේ විහාරාධිපති දුරයට පත් වෙනවා.උන්වහන්සේ එක්දහස් අටසිය ගනන්වල ඉපදුනු කෙනෙක්.මගේ මතකය හැටියට එක්දාස්නමසිය හැත්තෑ අටේදීවිතර බොරලුගොඩ ගංගාරාමේදි අපවත් උනා.ඒවනවිට වයස අවුරුදු අසූහතක් විතර.මම කුඩා කාලෙදිත් වයසක හාමුදුරු කෙනෙක් .උන්වහන්සේ පුංචි සිරුරක් තිබුනු හැබැයි මහා පෞරුෂයකින් හෙබි කෙනෙක්.උන්වහන්සේ පාරෙවඩිනකොට ගෙදරක ඇතුලෙවත් කෙනෙක්වාඩිවෙලා හිටියෙනෑ.හැමෝම හිටගෙන උන්වහන්සේට නමස්කාරකරා.පුන්චිඅපි පාරෙවඩින හාමුදුරුවන්ට වඳින්න ලඟට ගියහම සුවපත්වෙත්වා කියලකියනවා.අපේමුලුගම් පලාතක කිසිම කෙනෙක්හිටියෙනෑ හාමුදුරුවන්ට බය නැති.බය කිව්වටලොකු ගෞරවයක් තිබුනා.ඒක ප්‍රදර්ශනය උනේ බයක් හැටියටයි.

    Liked by 2 people

    1. // අපේ මුලුගම් පලාතක කිසිම කෙනෙක්හිටියෙනෑ හාමුදුරුවන්ට බය නැති.
      බය කිව්වට ලොකු ගෞරවයක් තිබුනා. ඒක ප්‍රදර්ශනය උනේ බයක් හැටියටයි //

      අපේ ගමේ පන්සලත් මිනිස්සුන්ගෙන් ඈත්ව අභාවයට යනව අපි තරුණ කාලය වෙනකොට ගෞරවයක් දක්වන්න හාමුදුරුවරු නැහැ … වෙළෙන්දෝ නම් ඒමට ඇත 😦

      Like

  3. මෙම ලිපිය අනුව තේරුම් යන දෙයක් තමය් බොරලුගොඩ පියරතන හාමුදුරුවෝ හුගක් පැරණි ස්වාමීන්වහන්සේ නමක් බව
    මෙම ලිපිවල හුගක් පැරණි බොරලුගොඩ ගම ගැන සදහන් වෙනනිසා මම එම පැරණි බොරලුගොඩ ගමේ වර්තමාන තත්වය චායාරූප ටිකක් මගේ sasara333.blogspot.com එකට දැම්මා බලන්න කැමති කෙනෙකුට එම මගේ අනංමනං බ්ලොග් එකට ගොස් එම චායාරුප බලන්න පුළුවන්

    Like

  4. හොඳම ධනය සප්තාර්ය ධනයයි. රතනසාර ලොකු හාමුදුරුවන්ට ඒ ධනය නො අඩුව තිබුනු බව පේනව.

    Like

    1. අනිවාර්‍යෙන්ම.ගමක් හදා රටක් හදන්න පංසල යොදාගත්තු අපේ පැරණි පරපුරට අයත් මහා පුරුෂයෙක්.

      Like

  5. දිසාපති තුමා මේ මාකුබුර කොට්ටාවේ මාකුඹුර ද?

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s