ජපුර සරසවිය.

අද හවස් වරුවෙ බොහොම සිත් ඇඳ බැඳ ගත්තු තැනකට යන්න අවස්ථාව ලැබුනා.ඒ අපි ඉගෙන ගත්තු ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලෙට.හා හාපුරා කියල මේ පින්බිමට පයතිබ්බෙ 1979/9/15වෙනිද හැන්දෑවෙ.හවස තුනට විතර පොඩි පොද වැස්සක් මැද්දෙ විජේරාම හන්දියෙන් බස් එකෙන් බැස්ස මම අපේ ඉන්දරතන හාමුදුරුවන්ගෙ අක්කගෙ පුතා හිච්චි මහත්තය නැත්නම් සුනිල් සමරසිංහ ත් එක්ක බෑග් එකකුත් කර ගහගෙන විශ්ව විද්‍යාලෙ ගේට්ටුව ලඟට ආව.හිච්චි මහත්තය ආවෙ මාව ඇරලවල යන්න.ගේට්ටුවෙ කාකි ඇදුම් ඇඳගෙන ඉන්න ආරක්ෂක නිල ධාරි මහත්වරු ලඟට ගිහින් කැඳවීම් ලිපිය දුන්න.ඔහුන් බොහොම උනන්දුවෙන් ලියාපදිංචි කරන තැනට මග පෙන්නුව.නන්නාඳුනන තරුන තරුනියො රාශියක් පෝලිම් ගැහිල ලියාපදිංචි වෙනව.මමත් පෝලිමට එක්කාසු උනා.හිච්චි මහත්තය මගෙ බෑග් එකත් උස්සගෙන මගෙ පිටිපස්සෙ හිටගත්තා.පෝලිමේ ගිහින් ලියා පදිංචි උන මට නවාතැන හම්බු උනේ විමල ධර්ම නේවාසිකාගාරෙ 29කාමරේ.මම විමලධර්ම නේවාසිකාගාරෙ හොයාගෙන සෝරතමාවත පැනල අනිත් පැත්තට ගියා.හිච්චි මහත්තය බෑග් එකත් උස්සගෙන පස්සෙන් ආවා.විමල ධම්මෙ පහල තට්ටුවෙ එහාකෙලවර කිට්ටුව තිබුනු 29කාමරේට ගියා.මම යනකොට දෙන්නෙක් කාමරේ ඉන්නවා.ඒ අනුරාධපුරේහොරොව්පතානෙ ඥානපාල ඒකනායකයි.රුවන්වැල්ලෙ නිමල් ගුනසිරියි.කාමරේ එක පැත්තක කොන්ක්‍රිට් තට්ටු දෙකක් බිත්තියට හයි කරල අඩි හතරක පලලට කාමරේ දිගටම හදල ඒව මැද්දෙන් වෙන්කරල කොන්ක්‍රිට් ලෑල්ල උඩ මෙට්ටදාල ඇඳන් හතරක් හදල තිබුනා.මමත් උඩින් තිබුනු ඇඳකින් බෙඩ් සීට් එක දාගත්තා.හිච්චි මහත්තය අපෙන් සමු අරගෙන ගියේ මාව බලාගන්න කියල ඥානයට භාර දීලයි.ටිකවෙලාවකින් තවත් කෙනෙක් කාමරේ පදිංචියට ආවා.ඒ මතුගම කරන්නාගොඩ රත්නසිරි වීරක්කොඩි.කලින් දැන ඇඳුනුම් කමක් නැතිව හිටපු අපි හතරදෙනාම තොරතුරු කතාබහ කරල ගොඩක් සතුටු උනා.ඥානෙ කලමනාකරන පීඨෙටත් නිමල් විද්‍යා පීඨෙටත් රත්නසිරිත් මමත් ශාස්ත්‍ර පීඨෙටත් තේරී හිටියා.අල්ලපු කාමර වල හිටපු අයත් අඳුන ගත්තා.ලඟින්ම තිබුනු කාමරේ මොනරාගලින් බටගොඩ,අම්පාරෙන් සිරිසේන බිබිලෙ ඩීජී කරුනාසේන ඉස්සරහ කාමරේ අනුරාධපුරේ ජයවර්ධන,රෝහන නිකවැරටියෙ ජිනදාස ආදී අය හිටියා.මම මූන පොඩ්ඩක් හෝද ගන්නනාන කාමර පැත්තට යනකොට මූනපිහදදා ඉස්සරහට එනව අමිත් ගුනරත්න.පන්නිපිටියෙ ධර්මපාලෙ අපේ පංතියට පහල පංතියෙ ඉගනගත්තු අමිතයව ත් මේ විශ්ව විද්‍යාලෙට තේරිලා කියල දැනගත්තෙ එතකොටයි.මාවදැකපු අමිතයටත් සතුටුයි.මුල්ම දවසෙ අපි මහා කන්ඩායමක් එක කාමරේට රැස්වෙලා කයිවාරු ගැහුවෙ පාන්දර එක විතර වෙනකම්.

අපිව විශ්ව විද්‍යාලෙට ඇතුල් කරගත්තෙ ජේය්ෂ්ඨ ශිෂ්‍යයො හැමෝටම විශ්ව විද්‍යාලෙට ඇතුලුවීම තහනම් කරලයි.මාසෙක කාලෙකට බල පවත්වපු මේ තහනම් කාලෙ තුල නවක අයට ඉංග්‍රීසි පාඨමාලාවක් පැවැත්වීමට පාලන අධිකාරිය තීරනය කරල තිබුනා.අපි හැමෝම ඉංග්‍රීසි පාඨමාලාවට සහභාගි උනා.මුලින්ම කියලදුන්න වාක්‍ය අදත් මතකයි.Nathuram winayak godse assassinated Gandhi.මේ වාක්‍යෙ assassinated කියන වචනයකොච්චර හොඳින් විග්‍රහ කරල ඉගැන්නුවාද කියනවනම් සුමානයක් විතර යනකම් හොස්ටල් එකේ ඇහුනු වචනෙ ඒකයි.ඊලඟ සුමානෙදි Rawana abducted Sitha. කියන වාක්‍යෙ abducted කියන කොටස හොස්ටල් එකපුරාම ඇහුනා.ඔයවිදියට පරණ එවුන්ට තහනම් සරසවි භූමිය තුල අපි හිතේ හැටියට ගතකරද්දි උපකුලපති මහාචාර්‍ය ජිනදාස පෙරේරා මැතිතුමා පරන ශිෂ්‍යයො දහදෙනෙක් අපිට උදව්වට එව්වා.දවසක් අපේ කාමරේට ආපු එක්කෙනෙක් අපි එක්ක හොඳට කතාකරල ඕනදෙයක් කියන්න කියල නාන කාමරෙන් නාගෙන මිනිහ ඇදගෙන හිටපු ෂර්ට් එක වෙනුවට මගේ ෂර්ට් එකක් ඉල්ලගෙන ඇඳගෙන ගියා ආපහු මිනිහව දැක්කෙ මාස හතරකට විතර පස්සෙ.අපරාදෙ කියන්න බෑ මිනිහ මාව හොයාගෙනම ඇවිල්ල මගෙ ෂර්ට් එක දීලගියා.මිනිහගෙ ෂර්ට් එක මමලොන්ඩරියෙ දම්මල හෝදවල මද්දල තියල තිබුන .ඊලඟ දවසෙ මම ඒක ගෙනත් දුන්න.මිනිහ ගෙනත්දීපු මගෙ ෂර්ට් එක මම හෝදල තමයි ලොන්ඩරියට දුන්නෙ.මොකද ලොන්ඩරියට ඒවිදියට දුන්නනම් මට ලොන්ඩරි කාරය ගහනව.ලොන්ඩරියෙ හෝදලත් ආයෙ අඳින්න පුලුවන් තත්වෙක ඒෂර්ට් එක තිබුනෙ නෑ.

අපි තනියම රැඳී හිටපු මාසයක කාලෙ පරණ ශිෂ්‍යයො කිප දෙනෙක් හවසට සෝරතමාවත දිගේ ඉන්නවා.විජේරාම හංදියට යන අපේ එවුන්ව මගදි අල්ලගෙන රැග් එක දෙන්නයි ඒවිදියට හිටියෙ.බොහෝ දෙනෙක් උන්ට අහු උනා.මම දවස් දෙකකට සැරයක් කොට්ටාවෙ මාමලගෙ ගෙදර ගිහින් එනවා.මාව පරන උන්ට අහු උනේ නෑ.ඒ මම යන්නෙ තනියම කමිසෙ උඩ බොත්තම් දෙකම නොදා බාට සෙරෙප්පු දෙකක් දාගෙන සාමාන්‍ය විදියට.එහෙම ගියාම මාව පේන්නෙ ඒඅවට ගමේ කෙනෙක් වගේ.මේ නිසා කිසිදින මගෙන් විමසීමක් කරන්න පරණ අය ආවෙ නෑ.එක දවසක් හවස මම එලියට එන්න හදද්දි ඥානය ඒ එක්කම එන්න ලැහැස්ති උනා.

“ඒයි උඹ විජේරාමෙ පැත්තෙ යනවනම් මාත් එනව හරිද?”ඥානය මම ලෑස්ති වෙනකොට කිව්ව.

“මේ මචං උඹ වෙනම තනියම පලයං මමත් තනියම යන්නම්.නැත්නම් දෙන්න එකට ගියොත් පරන උන්ට අහුවෙනව ෂුවර්.”මම කිව්වා.

“නෑ මචං දෙන්න එකට ගියහම හොඳයි .අනික අපි දෙන්නම ඒරියාඑක දන්නවනෙ “ඥානය කිව්වා.මිනිහ මහරගම බැංකුවක වැඩකරල තිබුනා කැම්පස් එන්න ඉස්සෙල්ල.මම පන්නිපිටියෙ ස්කෝලෙ නිසා මහරගම විජේරාම දෙල් කඳ පැත්තෙ යාලුවො එහෙම හිටියා.

“හරි යමං එහෙනම් හැබැයි අරුං හිටියොත් කතානැතුව ගනන් නොගෙන සාමාන්‍ය විදියට යන්න ඕන හරිද?.”මමකිව්වා.

“හරිබං යමුකො.”කියල ඥානය මාතෙක්ක එලියට බැස්සා. සෝරත මාවත දිගේ විජේරාම පැත්තට එනකොට පාසැල් මාවතට හැරෙන කඩේ ලඟ පරන උන් රංචුවක්ම ඉන්නවා.උන් අපි දෙන්න දිහා බලන කොටම මම හැරිල කඩේට ගොඩවෙලා උන් ලඟින්ම ගිහින් මුදලාලිගෙන් සිගරැට් එකක් අරගෙන පත්තුකරගෙන දුම් පාරකුත් ඇරගෙන එලියට බැස්සා.මුන්ටික මගෙන් මොනවත් ඇහුවෙ නෑ.මම එනකම් ඥානය නැවතිල බලාගෙන ඉන්නවා..

“යකෝ උඹ මාර වැඩක් නෙ කරේ අරුං හිටපු තැනටම ගිහින් සිගරැට් ගත්තෙ බොට පිස්සුද?” ඥානය ඇහුව.

“කෑනොගහ හිටු එතකොට උන් හිතන්නෙ මම එගොඩවත්ත පැත්තෙ එකෙක් හිතලයි .උඹ මගුලටද නැවතුනේ.දැන් ඕකුන් සැක හිතනවා.”මම කිව්වා.

ආපහු හැරිල බලපු ඥානය “යකෝ අරුන් දෙන්නෙක් එනවා.”කිව්වා.

“ගනන් ගන්න එපා.ඔහොම යමං” මම හැරෙන්නෙත් නැතිව කිව්වා.

අපේ පස්සෙන් ආපු දෙන්නා අපිව පහු කරා.

“හරි මචං උන්ගියා “ඥානය කිව්වා.”කෑනොගහ යම “.මම කේන්තියෙන් කිව්වා.අපිව පහුකරල ඉස්සරහට ගිය දෙන්න නැවතිල පිටිපස්සබලල මගෙන් ගින්දර ටිකක් ඉල්ලුවා මම කතාවක් නැතිව නැවතිලා සිගරැටෙක දික් කරා.ඒකෙන් සිගරැට් එකක් පත්තුකරගෙන ආපහු දෙන ගමන්

“කැම්පස් එකේද” කියල ඇහුවා.ඥානයා හිනාඋනා.ඒකෙන්ම අරුංට තේරුනා අපි කැම්පස් එකේ බව.

“අඩෝ තොපි ලොක්කො වගේ යන්නෙ මේ කුනු ප්‍රෙශාලනෙ.තොපිට කවුද ඔහොම යන්න කිව්වෙ”.මුන් අපිට බනින්න ගත්ත.එතකොට පස්සෙන් ආපු තව එකෙක් මුන්ට සෙට් උන.

“ඒයි අපි හිතුව හරි මුන් මේ කුනු ප්‍රෙශාල.බලපන්කො මුන්ගෙ තියෙන ඝනකම.මුන්ට අද දෙමු රිඹ යන්න.වරෙව් දෙන්නම.”කියල කොලඹ බස් හෝල්ට් එකට එක්කගෙන ගියවිජේරාමෙ හංදියෙ කොලඹ බස් හොල්ට් එකේ තියාගෙන ජේෂ්‍යඨ උත්තමයො තුන්දෙනා අපි දෙන්නට පස් පඩංගුවේ බනිනවා.වැඩිය බනින්නෙ මට මොකද මම හැසුරුනු විදිය අනුව ගමේ කෙනෙක් කියල රැවටිලා තිබුනු නිසා.ඥානයට හිනා යනකොට පනාව කපාගන කියල බනිනවා.බස් හෝල්ට් එකේදිම කන්දෙක අල්ලගෙන උඩ පනින්න නියෝගයක් ලැබුනා.මේවෙලාවෙ එතන කිට්ටුවෙන් හිටපු තරුනයොදෙන්නෙක් අපේ ජේෂ්‍යඨ උත්තමයින්ට විරෝධය පෑවා.

“මොනවද හලෝ ඔයගොල්ලො කරන කැත වැඩ මේ අලුත් ලමයින්ට හිරිහැර කරන්නෙ” කියල එක්කෙනෙක් කියන කොට ජේෂ්‍යඨයෙක්

“ඒක ඔයාට වැඩක් නෑනෙ.”කිව්වා.

ඒතෙක්කම තවතුන් දෙනෙක් විතර අපිව වටකරගත්තා.

“මොකද හලෝ අපිට වැඩක් නැත්තෙ මේවාපේ ගම් රටවල් තමුසෙලා මේරටවටෙන් ඇවිල්ල අරක අස්සටවෙල කරන බලු වැඩ අපි දන්නවා.හැබැයි ඒව මේ අපේ ගමේදි කරන්න දෙන්නෙ නෑ හරිද.?”හතරරියන් කොල්ලෙක් කියල දැම්මා.

“මේ මල්ලිලා ඔය දෙන්න යන්න මේ ගොල්ලන්ට බයවෙන්න එපා “අපි දෙන්නට කිව්වා.අපේ ජේෂ්‍යඨයො වැඩේට කල බල වෙලා තවපොඩ්ඩෙන් මේ අයියලගෙන් සබ්බුව කන්න වෙන බව පෙනුනා.මම කට ඇරියා.

“නෑ අයියෙ ඔයාලට පුංචි වැරදීමක් අපි මේ යාලුවො මේ පොඩි විහිලුවක් කරේ.අපි දෙන්න අලුත් අය බව හැබෑව මේ අපේ යාලුවො අපේ ගමේ අය.අපි මේ නුගේගොඩ යන්න බඩුවගයක් ගන්න.ඒ අතර මේ රැග් එක කෙරෙන හැටි අපිට කියල දෙන්නයි මේ අය මේක කරේ” මම කිව්වා.

ගෝරියකට බරවෙන්නගිය අවස්තාව මගේ කතාවෙන් වෙනස් වුනා.අපේ ජේෂ්‍යඨයින්ටත් මගෙ කතාව අනුමත කරනව ඇර වෙන මොකවත් කරන්න බෑ.උනුත් ඔලුව වනල හිනා උනා .

“හරි හරි එහෙනම් යාලුවො යාලුවො අදාල ගමන යන්න අපි එහෙනම් මාරු” කියල විජේරාමේ අයියල අයින් උනා.ඊට පස්සෙ අපේ ජේෂ්‍යඨයො අපි දෙන්නට පිංසෙන්ඩු උනා මචං මේගැන කැම්පස් එකේදි කියන්න එපා හෙන නෝන්ඩියනෙ කියල.අපි උන්වත් උන් අපිවත් අඳුරගෙන දෙපැත්තට ගියා.

මේ අතර දවසක මහාචාර්‍ය ස්ටැන්ලි කල්පගේ ප්‍රතිපාදන කොමිසමේ සභාපති තුමාගෙ ප්‍රධානත්වයෙන් අලුත් සිසුන්ට රැස්වීමක් තිබුනාමේකට ශිෂ්‍ය සංගම් නායකයින්ටත් එන්න ඉඩ දීල තිබුනා.මේ රැස්වීමෙදි මූනපුරා රැවුල වවාගෙන හිටපු කෙට්ටු සිසු නායකයෙක් තමන්ට අදහස් දක්වන්න ඉඩකඩ ඉල්ලුවා.මහාචාර්‍ය කල්පගේ මැතිතුමා කෙලින්ම ප්‍රතික්ෂේප කලා ඉල්ලීම.ඒත් එසේ කිරීම අසාධාරනයි කියමින් හිටගෙන තම විරෝධය පාපු සිසු නායකයව වාඩිවෙනව අයිසේ තමුන්ගෙ නෙවෙයි මේරැස්වීම මගෙයි කියල වාඩිකරවන්න මහාචාර්‍ය කල්පගේ මැතිතුමා ක්‍රියා කරා.අපි සේරම පස්සෙ කතාඋනේ ජනතා විමුක්ති පෙරමුනේ ශිෂ්‍ය නායකය තමයි මේ කියල.මොකද අපි අහල තිබුනු හැටියට එහෙම ලොක්කො එක්ක ගැටෙන්නෙ ජේවීපී කාරයො තමයි. හැබැයි ජේෂ්‍යඨශිෂ්‍යයන් එක්ක එකට ඉදිද්දි අඳුන ගන්න පුලුවන් උනේ ඒ රැවුලා සමවාදී ශිෂ්‍ය පෙරමුනේ නායක(එක්සත් ජාතික පක්ෂයේ ශිෂ්‍ය සංගමය) සිසිර ජයවර්ධන කියලයි.

.ඔය විදියට සරසවියට පිවිසුනු අපිට අපේ කාලයේ මහා උගතුන් වූ චරිත දැක බලාගන්න ඇසුරු කරන්න ලැබුනෙ එතනදි තමයි.මහාචාර්‍ය කේ ජිනදාස පෙරේරා,මහාචාර්‍ය ටීබී කාංගහ ආරච්චි,මහාචාර්‍ය මැන්දිස් රෝහන දීර,මහාචාර්‍ය සිරිසේන තිලකරත්න මහාචාර්‍ය හේම එල්ලාවල,මහාචාර්‍ය එස් බී හෙට්ටි ආරච්චි මහාචාර්‍ය නන්දසේන රත්නපාල මහාචාර්‍ය ගතාරේ ධම්මපාල හාමුදුරුවන් වැනි උගතුන් දැක ගන්න ලැබීමත් ලොකු භාග්‍යක් කියලයි මටනම් එදා හිතුනෙ.විශ්ව විද්‍යාලෙදි මට ලොකුම මග පෙන්වීම දුන්නෙ මම හදාරපු විෂයකට සම්බන්ද ගුරුතුමෙක් නොවෙයි.අපි නන්නත්තාරෙ රස්තියාදු ගහනකොට ගෙදරට එක්ක ගිහින් කන්න බොන්න පවා දෙමින් යායුතු මග කියා දුන්නු එතුමා මමවගේ තව ගෝලයො රැසකට මග පෙන්නුවා.එතුමට සාහිත්‍ය සූරි උපාධිය පිරිනමන උපාධි ප්‍රදානෝත්සවයේදී උපාධි ප්‍රදානෝත්සව දේශනය කරන්න මට අවස්තාව ලැබීමත් එතුමට පුරාවිද්‍යාඥයින්ගේ සභාවෙන් ස්වර්ණ මුද්‍රිකා සම්මානය ප්‍රධානය කරපු වෙලාවෙ ඒ සභාවෙ ආරාධිත දේශනය කරන්න මට ලැබීමත් මගේ ජීවිතයෙ ලැබුනු වටිනාම අවස්තාවන් කියලයි මට හිතෙන්නෙ.ඒ මගේ ගුරුතුමා තමයි මහාචාර්‍ය ටීජී කුලතුංග මැති තුමා.මේවගේ වටිනා කියන මහා පුරුෂයෙක්ගෙ උපදේශනය රැකවරනය ලබන්න පුලුවන් උනේ ජය වර්ධන පුර විශ්ව විද්‍යාලෙට ඇතුලු උන නිසානෙ.අද ඇතුලුවෙන අයටත් මම කියන්නෙ ඔබට ජීවිතය සාර්තක කරගන්න ඕන කරන සියල්ල අපේ ජපුරෙ තියනවා.ප්‍රයෝජනය ගැනීම ඔබේ කාර්‍යක් කියලයි.

One thought on “ජපුර සරසවිය.

  1. මොනම ආකාරයකින්වත් රැග් කරනවට මම නම් විරුද්ධයි, ඒ හැම දේම හීනමානෙ කරන දේවල්. ඒවා සාධාරණීකරණය කරන්න සමහරු දෙන උත්තර එයිට එහා බොහොම විනෝදජනකයි.

    හොඳ වෙලාවට කැම්පස් යන්න ලකුණු කිහිපයක් (150 – 200ක් වගේ පොඩි ගාණක්) මදි වුණේ, ගියානං එක්කො රැග් කරපු එකෙක් මැරුන් කනව එහෙම නැත්තං මම 😀

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s