ගමට හොරෙක්

අවුරුද්දට ගමේ ගිය අතරෙදි ආපහු සැරයක් හිතෙන් ලමා කාලෙට ගියා .මේවිදියට ලමා කාලෙට යන්න හේතු උනෙ අපේ ඉඟුරුදලුව කනිෂ්ට විද්‍යාලෙ ලකුනු පොත බලා ගන්න පුලුවන් උන නිසයි.අපේ පුංචි ස්කෝලෙ ඉන්න දුවාදරුවො බුදු මැදුරක් හදා ගන්න කියල ගුරුවරුන්ගෙ මග පෙන්වීමෙන් අලුත් ව්‍යාපෘතියක් කරල.ඒ තමයි වෙසක් කාඩ් හැදිල්ල.මේවෙසක් එකට විකුනන්න ලමයි වෙසක් කාඩ් එකක් හදල.ස්කෝලෙ දරුවො නිර්මානයකරපු චිත්‍ර කවි භාවිතා කරල වෙසක් කාඩ් ගහල ස්කෝලෙට බුදු මැදුරක් හදාගන්න පුංචි උන් දරන උත්සාහයට උදව්වක් හැටියට වෙසක් කාඩ් පනහක් මිලදී ගත්ත.අපේ ගෙදර ඔක්කොම එකතුවෙලා වෙසක් කාඩ් එකසිය පනහක් විතරම ගත්ත.ඔය වෙසක් කාඩ් ස්කෝලෙන් ගේන්න ගිය ගමන් ස්කෝලෙ ලකුනු පොතත් බලන්න පුලුවන් උනා.මම මේස්කෝලෙට ඇතුලුවෙලාතියෙන්නෙ 105වෙනි ශිෂ්‍යයා හැටියටයි.ඒලකුනු පොතේ පහල බාලාංශෙ ඉදන් මම ගත්තු ලකුනු තියෙනවා.මුලින්ම මම මුහුන දීල තිබුනු වාර පරීක්ෂනේ 1964මාර්තු මාසෙ තිබිලතියෙන්නෙ.මම මුලු ලකුනු දෙසිය හැට එකක් අරගෙන පංතියෙ හතරවෙනිය වෙලා.ඊට පස්සෙ තිබ්බ වාර පරීක්ශනවල බොහෝකොට එක දෙක ස්තානවල ඉදලතියෙනවා.බොහෝ වෙලාවට මගෙ ලඟම තැන ඉඳල තියෙන්නෙ මගෙ පාසැල් මිත්‍රයා සෝමපාල.ඉස්කෝලෙ අටපංතිය සමත් වෙනකම් ඔයවිදියට ආපු මම එකමඑක අවස්තාවක පංතියෙ පස්වෙනිය වෙලා තියෙන බවත් පෙනුනා.අටෙන්පස්සෙ ගිය අතලෙ ස්කෝලෙදි සෝමපාලත් මාත් දෙන්න එක්ක තරඟෙට අතලෙ ස්කොලෙ ඒයුගයෙ සමාන්තර දක්ෂයා උන රත්නසේන රණතුංග සම්බන්ද උනා.එතන ඉඳන් අපි තුන් දෙනා අතර එක දෙක තුන ස්තාන බෙදිල ගියා.අපි තුන්දෙනාම විශ්වවිද්‍යාල උපාධි ලබාගත්ත.මමත් රත්නෙත් අභ්‍යන්තර ශිෂ්‍යයො හැටියටත් සෝමෙ බාහිර ශිෂ්‍යයෙක් හැටියටත් එක කාලසීමාවෙ උපාධි ධාරින් වෙලාමම පරිපාලන සේවාවටත්,සෝමෙ ගුරු වෘතියටත් රත්නෙ බැංකු සේවාවටත් සම්බන්ධ වුනා.මගෙ මිත්‍රයො දෙන්නම අද විශ්‍රාම සුවය භුක්ති විඳිනවා මම ලාබාලය හින්ද තවම රාජකාරියෙ ඉන්නවා.

ලකුනු පොතෙන් පෙනුන අතීතෙ ගැන තවටිකක් හිතන කොට මතක් උනේ ඒකාලෙ පාසැල් ශිෂ්‍යයො හැටියට අපිට තිබුනු විෂයයන් ගැනයි.පරිසරය ආශ්‍රිත ක්‍රියාකාරකම් කියල විෂයකට ලකුනු දීල තියෙනවා ලොකු පංතිවලට එනකොට අත්වැඩ කියල විෂයක් තිබුනා .ලණු ඇඹරීම ඉදල් කොසු සෑදීම ආදී දෑතින් කරන කර්මාන්ත හුරුකිරීම සඳහා මේ විෂය සකස් කරල තිබුනා.කෘෂි කර්මය කියන විෂයට සම්බන්ධව වතු වැඩ තිබුනා.ස්කෝලෙ වත්ත කොටස්වලට බෙදලා පංතිවලට වගාව භාරදීල තිබුනා.දවසකට එක කාල පරිච්චේදයක් වතුවැඩවල නිරතවිය යුතුයි.උදේ ස්කෝලෙ යනකොට ගොම කොලපොතක අරගෙන යාමත් නියම කරල තිබුනා.ඒ අනුව අපි වතුවැඩ කිරීම බොහොම සාර්තකව සිද්ද කලා.අනික ඔය වතුවැඩේ මග ඇරියනම් අනිවාර්‍යෙන්ම වේවැල් කසාය ලැබෙනවා.ඉඟුරුදලුවෙ ස්කෝලෙ යන කාලෙම 1970අවුරුද්දෙ පාර්ලිමේන්තු චන්දෙන් යූ ඇන් පී ආන්ඩුව පැරදිලා සමගි පෙරමුනේ තුන් හවුල් ආන්ඩුව බලයට පත් උනා.මේ ආන්ඩුවට තුන් හවුල් ආන්ඩුව කීව්වෙ ශ්‍රීලංකා සමසමාජ කොමියුනිස්ට් පක්ෂ තුනම ආන්ඩුවෙ කොටස් කාරයො උන හින්දයි.සමගි පෙරමුන ආන්ඩුවෙ ප්‍රධාන ප්‍රති පත්තියක් උනේ ආනයන ආදේශන ප්‍රති පත්තිය.මේරටේ වගාකරන්න පුලුවන් හැමදෙයක්ම මේරටේ වගාකිරීමටත් ආහාර ද්‍රව්‍ය ආනයනය දැඩිසේ සීමා කිරීමටත් ආන්ඩුව තීරනය කරා.හාල් සීනි මිරිස් පරිප්පු උම්බලකඩපාන්පිටි වගේ ආහාර ද්‍රව්‍ය සලාක ක්‍රමයට පවුල් වලට සමුපකාරයෙන් ලබා දෙන්නත් කටයුතුකලා.මේ ආහාර විවුර්ත වෙලඳ පලෙන් මිලදී ගැනීමට පාරිභෝගිකයින්ට හැකියාවක් තිබුනෙ නෑ.අනිත් අතට හාල් වී ප්‍රවාහනය සඳහා බලපත්‍ර ලබාගතයුතු වූ බැවින් කලුකඩ මිලට විකිනීමත් අපහසු උනා.මේනිසාම ආහාර වර්ග පුද්ගලික කඩවලින් මිලට ගැනීමටත් අපහසු උනා.ඒත් එක්කම ආහාර ද්‍රව්‍ය නිෂ්පාදනය දිරි ගැන්වීමට විශාල ව්‍යාපාරයක් රට පුරා ක්‍රියාත්මක කෙරුනා.ගම්වල ඉඩකඩ තිබූ සෑමතැනකම මොනවාහෝ වගාකිරීමට මිනිස්සු පෙලඹුනා.මඤ්ඤොක්කා බතල ඉන්නල කිරිඅල මිරිස් එලවලු අදිය වගාකිරීමට ලොකු උනන්දුවක් ඇතිඋනා.අපේ තාත්තා ලොකු උනන්දුවකින් වගාකටයුතු කරා.ගේ ලඟම තිබුනු කන්දෙ බට වැවිලතිබුන කැලෑව ඉඩම් අක්කර දෙකක් ආහාර වගාව සඳහා වාර්ෂික බලපත්‍ර මත ලබා ගත්තු තාත්තා හේනක් කොටලා ඒ ඉඩම වගාකලා ඊට අතිරේකව දොලවල් වලට අත් හැර තිබූ ඉඩම් වලින් කොටස් එලිකර මඤ්ඤොක්කා එලවලු එහෙම වැව්වා.රාබු නෝකෝල් බීටෲට් එහෙමත් වගාකරල අථදා බැලීම් කරා.බීට් රූට් වල ලොකු අල හැදුනෙ නැති උනාටසාමාන්‍ය තරමේ අල හැදුනා.ලමයින් වුන අපිටත් තාත්තගෙ වගාබිමේ කොටස් වෙන්කරල වගාකෙරෙව්වා.ගමේ හෑම කෙනෙක්ම වගාවට යොමු උන නිසා සියලුම ඉඩම් වගා කෙරුනා.මේකාලෙ අපිට තිබුනු ලොකුම වාසිය අපේ වත්තේ කිතුල් මල් කීපයක්ම තිබීමයි.ඒනිසා පැනි හකුරු නිෂ්පාදනය ජයටම කෙරුනා.හකුරු මුලක් රුපියල් පහක විතර මුදලකට අලෙවි කරන්න පුලුවන් උනා.සලාක සීනි රාත්තල සත හැත්තෑදෙකක් වූ ඒකාලෙ රුපියල් පහ ලොකු මුදලක්.බස් එකේ බදුරලියට එන්න සත හතලිහයි ගියේ.ගමේදි පොල්ගෙඩියක් සත පහලොවක් විතර උනා.බනිස් ගෙඩියක් ශත පහයි. තේ හකුරුත් එක්ක සත පහයි.කොටින්ම ඔය කාලෙ බදුරලියෙ තිබුන චිත්‍රපටි කූඩාරමේ චිත්‍ර පටියක් බලල එන්න යන්නෙ සත අනූ පහයි.මම බසෙකේ බාගෙ ටිකට් එකට යන හින්ද බසෙකේ එන්න සත විස්සයි.ගැලරියෙ වාඩිවෙලා චිත්‍රපටිය බලන්න සත පනස් පහයි.පස්සෙන්ද පාන්දර බස් එකේ ගමට එන්න සත විස්සයි.දවසක් කැත්තෙ උදැල්ලෙ වැඩට කුලියට කෙනෙක් ගන්න යන්නෙ රුපියල් 2.50/3.00විතර.මම ගෙදර මිදුලෙ හොඳට ගොම පෝර දාල හදල තිබුන අමු මිරිස් ගහෙන් එකවර කරල් සීයක් කඩාගන්න පුලුවන් උනා.ඔයකාලෙ තිබුන ලොකුම සල්ලිකොලේ රුපියල් සීයකොලේ.හකුරු ආදායම නිසා සීයෙ කොලත් අපේ ගෙදර ගැවසෙන්න උනා.

මේකාලෙ අපේ පොඩිමාමයි කට්ටාඩිලොකු අප්පලගෙ ගෙදර මහතුන් අයියයි මගුරු ගඟ අයිනේ හොලිජ්ජා ඕකන්ද කියන ඉඩමෙ හවුල් හේනක් කරා.මේ හේනවී අස්වැන්න අරගෙන ඉවර උනහම ලොකු මඤ්ඤොක්කා වගාවක් කරා.බොහොම සරුවට වැවී තිබුන මේවගාබිමට හොරෙක් රාත්‍රියක ඇවිත් මඤ්ඤොක්කා උදුරගෙන ගිහින් තිබුනා.සාමන්‍යෙන් එකවේලකට හදිසියේ කවුරුහරි ගහක් ගලව ගත්තත් වැඩියෙන් ගනන් නොගත්තට මඤ්ඤොක්ක ගස් විසිපහක් තිහක් ගලව ගැනීම අනිවාර්‍යෙන්ම පිට ගමකින් ඇවිත් කරපු හොරකමක් බවයි හැමෝගෙම අදහස උනේ.මේ සිද්දියෙන් පස්සෙ හැමදාම රාත්‍රියෙ හේනට ගිහින් බලන්න පටන්ගත්තා.ඊලඟ සතියෙමේවාගෙ රාත්‍රියෙ බලන කොට ඒ මොහෙතෙම වාගෙ මඤ්ඤොක්ක පඳුරු විස්සක් විතර ගලෝලතියෙනව දැකපු පොඩිමාම හූවක්තියල අනිත් අයට දැන්නුවා.වහාම පන්දම් පත්තුකරගෙන පොලු අරගෙන හේනට දුවගෙන ආපු මහතුන් අයිය දයාරත්න අයිය ලොකුමාම තාත්තා වගේ කට්ටිය ගලෝපු ගස් පරීක් ෂාකරල හොරාට ඒහරියෙන් පිටවෙන්න වෙලා නැතිබව පෙනිලහේනෙන් ගමට එන පාර රකින්න තීරනය කරා.මේ හේනෙන් උඩහට රූනකන්ද රක්ෂිත කැලෑව.එතනින් එකපැත්තක ගඟ.අනිත් පැත්ත කන්ද ඒත් කැලේ.ආපහු යන්න තියෙන්නෙ දකුනට තියෙන පාරෙ විතරයි.කට්ටියම මේපාරෙ මුර කරා.එලිවෙනකම් පාරෙ රැකපු කට්ටිය පාන්දර හයට විතර ගෙවල්වලට ගියා.රාත්‍රියෙම ආපහු ආපු තාත්ත ඉස්තෝප්පුවෙ ඉඳගෙන තේ බොනකොට ලොකු ගෝනියක් ඔලුව උඩ තියාගත්තු හොඳ උස මහත මිනිහෙක් උඩහ පැත්තෙ ඉඳන් එනව දැක්ක.තේකෝප්පෙ පැත්තක තියපු තාත්ත මිදුලට බැහැල.

“මේ කොහේ යන ගමන්ද පාන්දරම මුන්නැහැ?”කියල අරමිනිහට කතාකලා.

මිනිහ යන ගමන්ම “මමමේ පහල පැත්තට යනව “කිව්ව.

“පොඩ්ඩක් නවතිනව බලන්න තමුසෙ කවුද ?මොනවද ඔය ෆෝනියෙ තියෙන්නෙ?” කියල ඇහුවෙ මිනිහට කිට්ටු කරන ගමන්මයි.

“මේකෙ එකඑකජාති තියෙනව මම මේ වෙලඳාමෙ යනව”මිනිහ ගමනෙ යන ගමන්ම කිව්වා. තාත්තත් මිනිහ පස්සෙන් යන ගමන්ම හයියෙන් හූවක් තිබ්බා.ඒත් එක්කම පිලිතුරු හූවකෙක්ක ලොකුමාම දොලලඟින් පාරට බැස්සා.දැන් මිනිහට ඉස්සරහින් ලොකු මාම පිටිපස්සෙන් තාත්ත.ඒතෙක්කම නවතිනව ගුටිනොකා කියල තාත්ත ගෝනියෙන් අල්ලගෙන මිනිහව තල්ලු කරා.ගෝනියවෙනමයි මිනිහව වෙනමයි බිමවැටුනා.වහාම නැගිට්ට මිනිහට ලොකු කනේ පාරක් තාත්තගෙන් ලැබුනා ඒක කාගෙන ඉස්සරහට දිව්ව මිනිහට ලොකුමාම දීපු පාරෙන් ආයෙ බිම .මේවෙන කොට හූ සංඥාවෙන් ගමේ පහල කට්ටිය උඩහට දුවනවා.මිනිහ පැනල යන්න දඟලනකොට ආපු කවුරුත්මිනිහට සංග්‍රහ කරා.ඒත් එක්කම මිනිහව අල්ලල රබර් ගහේ බැඳල රාලහාමිට පනිවුඩයක් යැව්වා.මිනිහ ගෙනාපු ගෝනිය මඤ්ඤොක්කා පුරෝලතිබුනා.එතකොටම පොඩිමාමයි මහතුන් අයියයි දෙන්න දුවගෙන ආවෙ ලොකු පොලු දෙකකුත් අරගෙනයි .හැමෝම එකතුවෙලා ඒදෙන්නව අල්ලගත්තෙ ඒපොලුවලින් ගැහුවොත් හිරේ යන්න වෙන්නෙ හොරාව මැරුව වරදටයි කියල .ඒත් පොඩිමාම හීන් කෝටුවක් කපාගෙන මිනිහගෙ කකුල්වලට පාරදෙකක් ගැහුවෙ එලිවෙනකම් නිදිමරන්න උන කේන්තියටයි කියල.පැයභාගයක් යනකොට විශාල පිරිසක් එකතු උනා.සෙනග වැඩිවෙන්න වැඩිවෙන්හොරාගෙ කෙඳිරි ගෑම වැඩි උනා.බොරලුගොඩ පල්ලෙහා හේනෙ මාමලගෙ ගෙවල් තියෙන හරියෙන් ආපු දෙන්නෙක්

“අපොයි අප්පුහාමි මේමිනිහට හොඳටම අමාරු වගෙයි.මේමිනිහ මලොත් එහෙම අප්පුහාමිල අමාරුවෙ ඔන්න ඕක ලිහල එලවල දාමු” කියල කට්ටියට කියනවා.කීපදෙනෙක්ම මේ කතාවට හූමිටිතිබ්බා.මේකසු කුසුව ඇහුනු අපේ ලොකු මාමා

“මොකක්ද ඔය කසු කුසුව?” කියල සද්දෙට ඇහුවා.

“නෑ අප්පුහාමි මේ මිනිහට නොසෑහෙන්න ගහලනෙ .පේන්නෙ නැද්ද මිනිහගෙ කෙඳිරිය මූ මලොත් අප්පුහාමිල ඔක්කොම අමාරුවෙනෙ.මමනම් කියන්නෙ දැන් බඩු හම්බු උන නිසා මූව එලෝලදාමු.එතකොට කවුරුත් අමාරුවෙ වැටෙන්නෙ නෑනෙ”.කියල අර හේනෙ මාම කිව්වා.

“නෑ නෑ තව ටිකකින් ආයෙ මූට මැරෙන්නම ගහනවා. වෙන කවුරුත් නෙවෙයි මේ මම.මූට මේ හොරකමට එන්න උදව් කරපු එවුන්ගෙ විස්තරටික අහගන්න ඕනනෙ.ඒක නොකිව්වොත් මූ මැරෙන්නෙ මගේ අතින් .මම ඊටපස්සෙ රාලහාමිට භාරවෙනවා.උඹට ඕනෙනම් බලාගෙන හිටපන්” කියල ලොකුමාමා සද්දයක් දැම්මා.හේනෙමාමා පසුබැහැල ගියා.දහය විතරවෙනකොට අපේ රාල හාමි එනවා.රාලහාමිගෙ තුවක්කුව අරගෙන ගෝලය පිටිපස්සෙ.

“හා කවුදමේ මිනිහ.මෙතියෙස් සිංඤෝ ලිහල ගනිංමූව මෙහාට.”කියල රාලහාමි රබර්ගහ යට හිටගත්ත.අපේ ගෙදරින් පුටුවයි ටීපෝඑකයි ගෙනැල්ල රාලහාමිගෙ අසුන් පැනෙව්වා.ලොකු මාමා හොරාව ගහෙන් ලිහන ගමන්

“රාලහාමි මූ පනින්නමයි හැදුවෙ.දැන් මුගෙ අතපය ලිහල පනියිද දන්නෙ නෑ”.කිව්ව.

“හා පනින්න ලිහපන් ඕකව .පැනපිය පුලුවන්නම් .එහෙම පැන්නොත් තෝ තියාපිය මුගෙ ඉස්කට්ට කුඩුවෙන්න”.කියල රාලහාමි ගෝලයට කිව්වා.ගෝලයත් තුවක්කුව කඩල පතුරමක් දාගත්තා.

මිනිහ ඇවිල්ල බිම වාඩිඋනා රාලාහාම් මිනිහගෙ නම ගම මෙහේ ආපුවිස්තර ප්‍රශ්නකරල මඤ්ඤොක්කා ගෝනිය ලැබුනු විදිය ප්‍රශ්න කරා.කවුදෝ මිනිහෙක් තමන්ට සල්ලිවලට මඤ්ඤොක්කා විකුනූ බවයි මිනිහ කිව්වෙ .මේ අතර ගෙදරින් තේ වක්කරල ගෙනාවා.කට්ටියම තේබොන කොට තාත්තා

“ආ උඹත් බීපන් තේ වතුර” කියල හොරාටත් තේ කෝප්පයක් දුන්නා.

පස්සෙ රාලහාමිගෙ උපදෙස් මත පරීක්ෂනය අපේ ගෙදරට ගත්තා.එදා හවස් වෙනකම් ප්‍රශ්න කරත් හොරා කිව්වෙ මඤ්ඤොක්කා දුන්කෙනා කවුදැයි නොදන්නා බවත් මේගමේ කවුරුත් තමන් අඳුනන්නේ නැති බවත්‍ තමන් වෙලඳාමට බඩු හොයාගෙන පිටිගල සිට පැමිනි බවත් කියන විස්තර පමනයි.දවල්ට හොරාටත් කන්නදී එදාරාත්‍රියටත් හොරාට කෑමබීමදී රත්‍රියේ කෙඳිරිගානකොට වෙනිවැල් ගැටත් තම්බාදී අත් අඩංගුවේ තියාගෙන හොරාට සැලකූ තාත්තා පසුදා උදේ පාන්දර බස් එකේ රාලහාමිත් පොඩිමාමාත් මහතුන් අයියාත් සමග හොරාව මීගහතැන්න පොලිසියට භාරදීමට යැව්වා.එවක බොරලුගොඩ ගමට අදාල පොලිසිය මීගහතැන්නයි.බෙල්ලන දක්වා බසෙකේ ගෙනගිය හොරා සහ මඤ්ඤොක්කා ගෝනිය එතැන සිට කුලී කාරෙකකින් මීගහතැන්න දක්වා ගෙනගියා.මීගහතැන්න පොලිසිය ඉදිරිපස මාර්ගය අයිනේ කුලී කාරෙකෙන් බැස්ස විගසම හොරා අසුරු සැනෙන් පැනදිව්වා.කිසිදෙයක් කරගැනීමට නොහැකිවූ රාලහාමිත් අනිත් අයත් පොලිසියට විස්තරේ කිව්වත් කරන්න දෙයක් තිබුනේ නෑ.මඤ්ඤොක්කා ගෝනිය පොලිසියේ අයටම තම්බාගැනීමට භාරදී කට්ටිය ආපහු ආවා.

“මොකද පොඩි මල්ලියෙ උනේ?” කියල අහපු අම්මට පොඩිමාම දුන්නෙ මෙන්න මෙහෙම උත්තරයක්.

“මොනව වෙන්නද අක්කෙ.එක දෙයක් ගැන විතරයි දුක.ඒ හොරාට තැලුම් තෙල් කුප්පියක් අරංදෙන්න බැරිඋන එක.ඇයි අපේ මඤ්ඤොක්ක හොරකම් කලාට ගුටිකාපු එකට වෙනිවැල්ගැටත් තම්බල දීල දවසක් කෑමබීම නවාතැන් දීල බස් ගාස්තුවත් දරාගෙන ඒමදිවට කාරෙකකින් බෙල්ලන ඉඳන් මීගහතැන්නට වෙනකම් ගමන් පහසුවත් සලස්වල හොරාට කරපු සත්කාරෙ හැටියට බැරිඋනේ තැලුම් තෙල් කුප්පියක් අරන්දෙන්න විතරනෙ”.කියල පොඩිමාම හිනාඋනා.

පස්සෙ ආරංචි උනේ හොරාව ගමට ගෙනැල්ල මේවැඩේ කෙරෙව්වෙ හේනෙමාමලගෙ ගොඩේ කෙනෙක් කියලයි.

13 thoughts on “ගමට හොරෙක්

  1. මේක කිව්වම මතක් උනේ 89 රතු කලබල කාලෙ අපේ කුකුළු කොටුවට හොරු පන්න අනෝරා වැස්සක් තිබ්බ දවසක මහා දවල්. තැත තාත්ත එනවා දැකල උන් පැනල ගියාට තාත්ත එකෙක් අඳුර ගත්ත අපේ පාරේම හිටිය පවුලක සහෝදරයෙක් කියල. ඒ නිසා වැඩිය මොකුත් වැඩිය දුරදිග අරං ගියේ නැහැ. නමුත් එයිට සති කිහිපෙකට පස්සෙ රතු සහෝදරවරු අර හාදයව තවත් කසිප්පු කාරයෙක් එක්ක ගස් බැඳලා තිබ්බ.

    වටේටම මිනිස්සු වට වෙලා බලන් හිටියත් පොලිස්සියෙන් ඇවිල්ල ලිහනකන් කවුරුවත් ලිහන්න ගියේ නැහැල්ලු.

    Like

  2. තාමත් ඒ පැත්තෙ ගෝන දඩයම තීන එක
    පරිසර හිතකාමියෙක් විදියට දරාගන්න අමාරුයි මටනම්😨😨😨

    Like

  3. මල් රස්සාව හැඩිගල්ලෙ හුගක් දෙනෙක්ගෙ රස්සාවනෙ. අපේ ආතත් ඔය මහ ගේ හැදුව කියන්නෙ සම්පූර්ණෙම්ම මල් කැපිල්ලෙම්මලු. මයියොක්කා ගෝනියක් උගුල්ලගන්න අර තරං දුර ආවයි කියන්නෙ ඒ කාලෙ බදුල්ලිය, කඹුරාවල, බෙල්ලන, අගලවත්ත දිහාවෙ හරි හමං වගාවක් තිවිලම නෑ නෙවැ.

    Like

    1. පැලවත්තෙ ඉදන් අපේගමට ගොඩේ පාරෙන් දුර ඇතැක්ම හයක්විතර.පැය දෙකකදී දෙකහාමාරකදී පැලවත්තටපයින් කොටන්න පුලුවන්.එතන ඉදල පිටිගලට තවහැතැක්ම හතරක් පහක් ඇති.හොරා ආවෙ ඒපැත්තෙන් පයිනපේ කට්ටිය බසෙකෙන් මීගහතැන්නට එන්න ගිහින් තමයි රවුම් ගහන්න වුනේ.අදනම් පැලවත්ත බොරලුගොඩ කාපට් පාර විනාඩි විස්සකින් පැලවත්තෙ.
      පබිලිස් අයිය නම් දරාපු මල්කැපුම් කාරය ඔය ගේ හදන කාලෙ මගුරුකන්දෙ කැලේ කිතුල්මල් කැපුව.මම කොල්ල කාලෙ පබිලිස් අයියත් එක්ක දඩයම් චාරිකාවෙ ගිහින් තියෙනවා.සුදු අක්ක උයලදෙන රතු කැකුලු බතුයි වෑංජනයි එක්ක බඩපුරාකාල හඳ බහිනකම් ඉස්සරහ කාමරේ නිදාගෙන ඉඳල පබිලිස් අයියත් එක්ක පුස්සෙ ගහමුල කන්දෙ ගෝන දඩයමේ ගිය හැටි අදවගේ මතකයි.අපොයි එහෙම සුන්දර කාලයක්.

      Liked by 1 person

    1. හොරාවගේම අල්ලපු අයත් මරුනෙ.අල්ලගන්න හොඳට නෙලල කෙඳිරිගානකොට වෙනිවැල්ගැට තම්බල දෙන එක කොහොමද?එහෙම සංවේදී මිනිස් පරපුරක උරුමෙම මදෑ අපිට.

      Liked by 2 people

  4. //මගෙ මිත්‍රයො දෙන්නම අද විශ්‍රාම සුවය භුක්ති විඳිනවා මම ලාබාලය හින්ද තවම රාජකාරියෙ ඉන්නවා.//
    එක පන්තියේ ඉදලා කොහොමද එහෙම වෙන්නේ

    Like

    1. මම ස්කෝලෙ ගියෙ අවුරුදු හතරෙන්.අනික දෙකේපංතියෙ නැතුවකෙලින්ම හෝඩියෙන් තුනට ප්‍රමෝෂන් එකක් ලැබුනනෙ මට.

      Liked by 1 person

  5. තමාගෙ දේ හොරා ගත්ත හොරෙකුටත් තේ,කෑම බීම,බෙහෙත් හේත්,දෙන්න පුළුවන් කියන්නෙ මනුෂ්‍යත්වය ඉහවහා ගිය අයෙකුට පමණයි..
    සිද්ධිය මැවිලා පේන්න තරම් සටහන ප්‍රබලයි .

    Liked by 2 people

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s