පලමු විදේශ ගමන.

ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියෙ පරිපාලන අධ්‍යක්ෂ හැටියට ඉන්න කොට බොහෝ පිරිසකට විදේශ සංචාරවලට යන්න අවස්ථාව දෙන්න මට හැකියාවක් ලැබුනා. සභාපතිතුමා මට උපදෙස් දුන්නෙ පුලුවන් තරම් තරුණ අයට අවස්ථාව හදන්න විදේශ සංචාරවලට කියලයි. විශේෂයෙන් පුහුණු නිලධාරින්, උපාධිදාරි තරුණ නිලධාරින් ට, සහකාර අධ්‍යක්ෂවරුන්ට වැඩි අවස්ථා දුන්නෙ ඒ අනුවයි. ලොකුම ප්‍රශ්නෙ උනේ තරුණ නිලධාරින්ගෙ ඉංග්‍රීසි දැනුම දුර්වල තත්වෙක තිබීම. හොඳටම භාෂා හැකියාව දුර්වල අයව මිටියක් අස්සෙ ගහල යවන්න කියල සභාපති තුමා උපදෙස් දුන්නා. ඒ කිව්වෙ කණ්ඩායමක් එක්ක යවන්න කියලයි. ඒ අනුව වෙනත් ආයතන වලිනුත් නිලධාරින් සහභාගි වෙන කෙටි කාලීන වැඩසටහන් වලට භාෂා හැකියාව නොබලා තරුණ අයට අවස්ථාව හැදුවා. පරිපාලන සේවාවට බැඳිල අවුරුදු 13 උනාට මට විදේශ පුහුණුවකට එතෙක් අයදුම් පතක් දාන්නවත් අවස්ථාව ලැබිල තිබුනෙ නෑ. මේ අතර බෙල්ජියමේ පැවැත්වෙන මාසයක පුහුණුවකට සභාපතිතුමා මාව නිර්දේශ කලා. බෙල්ජියම් පුහුණු ආයතනයෙන් එවූ අයදුම්පත්, වෛද්‍ය සහතික ආදී සියල්ල යැව්වම පුහුණුවට තෝරාගත්බව දන්වා තිබුනා. ඒ උනාට ඒ පුහුණු වැඩසටහන අවලංගුවීමක් වෙන නිසා ඊට සහභාගි වෙන්න ලැබුනෙ නෑ. මම හිතාගත්තා මගෙ රාහු ලබල නැතුව ඇති තවම කියල!

මෙහෙම ඉන්න අතර සභාපතිතුමා මාව නම් කරා ජපානෙ පැවැත්වෙන මානව සම්පත් සංවර්ධනය පිලිබඳ පුහුණු පාඨමාලාවකට. වැඩි විශ්වාසයක් නැතුව අයදුම්පත සම්පූර්ණ කරල දැම්ම. සති දෙකක් තුල තෝරාගත් බව දන්වල තිබුනා. ඒ වගේම වීසා ලබාදීම සඳහා ගමන් බලපත්‍ර ජයිකා කාර්‍යාලය වෙත ලබාදෙන ලෙසත් දන්වා තිබුනා. මේ අනුව මෙදානම් ටක්කෙටම රාහු ලබා ඇති බව දැනුනා. නියමිත දිනයේ ගමන් බලපත්‍රය ජයිකා ආයතනයට ගෙනගොස් භාරදුන්නා. වීසා සටහන් කල ගමන් බලපත්‍ර ආපසු ලබාදීමට දිනයක් හා වෙලාවක් ලබාදුන් ජපන් ජයිකා ආයතන නිලධාරින් එදිනට ගුවන් ටිකට් පත් ඇතුලු අනිකුත් දේද ලබාදෙන බව පැවසුවා. නියමිත දින නියමිත වෙලාවටම ජයිකා ආයතනයෙන් ගුවන් ටිකට් පත් හා වීසා සටහන් කල ගමන් බලපත්‍ර නිකුත් කරා. ජපානයේ විවිධ වැඩසටහන් වලට යාමට නියමිත කීපදෙනෙක්ම පැමින සිටියා. ජපානයේදී කටයුතු කලයුතු ආකාරය පිලිබඳ උපදෙස් ලබාදීමක්ද සිදුකලා. මේ සඳහා ජයිකා ආයතනයේ සේවය කරමින් සිටි ආචාර්‍ය පුංචි බන්ඩා මැතිතුමා ද සහභාගි උනා. ගුවන්ටිකට්පත් ලබාදී තිබුනේ ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමටයි. හා හාපුරා කියල විදේශ ගතවෙන කොට ගුවන් යානයේ ව්‍යාපාරික පංතියේ ගමන් කරන්න ලැබුනු එක ලොකු චාන්ස් එකක් කියලයි දන්න අය කිව්වෙ. ගුවන් ටිකට් පරීක්ෂා කරල බැලුවම කටුනායක ඉඳන් සිංගප්පූරුවට එමිරේට්ස් යානයකින් ගිහින් එතනින් ජපානයේ නරීතා ගුවන් තොටුපලට ජපන් ගුවන්සේවාවෙ යානයකින් ගමන් කිරීමට නියමිත බව පෙනුනා. ගුවන්ටිකට් පත් අද වගේ නෙමෙයි, එක එක ගමනට අදාල කොටස ස්ටිකර් ආකාරයෙන් ගලවා ගැනීමට හැකි අන්දමටයි තිබුනේ.

මාස දෙකකට කිට්ටු කාලයක් ජපානයේ නතරවී සිටීමට වන නිසා ඇදුම් පැලදුම්, හා වියලි ආහාර වර්ග, තේ පැකැට්, සීනි, මිරිස්, නූඩ්ල්ස් පැකැට් ආදී දේවල් මිලදීගෙන බෑග්වල ඇසිරීම, විශේෂයෙන් ටින්කල ආහාර වර්ග සොයමින් කඩසාප්පුවල සැරිසැරීම, තෑගි හා සිහිවටන මිලදීගැනීම, ආදී බොහෝ දේ කරන්න තිබුනා. මේ සියල්ල අවසානයේ කිලෝ තිහක ලොකු බෑගයකුත් කිලෝ හයක පොඩි බෑගයකුත් අරගෙන ටයි කෝට් සහිත අංග සම්පූර්ණ යුරෝපීය ඇඳුමෙන් සැරසුනු මම 1999 ඔක්තෝම්බර් විසිඅට වගේ දිනක පලමුවෙනි විදේශ සංචාරය ට ගෙදරින් පිටත් උනා. ඊට කලින් මාමා, නැන්දා, දියගම ආච්චී ඇතුලු අයටත්, ගමේ ගිහින් අම්මා, තාත්තා, අක්කා, ලොකු අයියා, පොඩිමාමා වගේ වැඩිහිටියන්ට වැඳ ඔහුන්ගේ ආශිර්වාදය ලබාගැනීමත් කලයුතුව තිබූ යුතුකමක්. ඒ සියල්ල සම්පූර්ණ කර ලොකු හා පොඩි දියණියන් දෙදෙනාත්, බිරිඳත්, මගේ මල්ලීත් ගුවන් තොටුපොල ගමනට එකතුකර ගත්තා. ගුවන්තොටුපලට ඇතුලුවන විට ගුවන්‍ යානය පිටත් වීමට පැය තුනහමාරක් පමන තිබුනු නිසා පැයකට වඩා කාලයක් කට්ටියත් එක්ක ගුවන්තොටුපලේ අසුන්ගෙන කතාකර කර හිටියා. ඉන්පසු ඇතුලට ගොස් ගුවන් ටිකට් පත් පරීක්ෂා කරන කවුන්ටරයෙන් අවශ්‍ය ගුවන්‍ යානයට ඇතුලුවීමේ අවසර පත්‍ර ලබාගෙන ආගමන විගමන කවුලුවෙන් පිටත් වීමේ මුද්‍රාව ගමන් බලපත්‍රයේ සටහන් කරගෙන තීරුබදු රහිත වෙලඳ සංකීර්ණයට ආවා. මේ සියලු ක්‍රියා අලුත්ම අත්දැකීම් උනත් කිසිදු අපහසුතාවයක් නොදැනී සියල්ල සිදු උනා. අද කටුනායක ගුවන්තොටුපලේ ගුවන්‍ යානයට පයින් ඇවිදගෙන පිවිසීමට හැකි උනත් එදා ගුවන් මගීන් බස්‍ රථවලින් ඈත නතර කර ඇති ගුවන් යානා වලට රැගෙන යනවා. ව්‍යාපාරික පංතියේ ගමන් ගන්නා මගීන්ට ලැබෙන ප්‍රමුඛතාවය මත කීපදෙනෙකුට මුලින්ම ගුවන් යානයට රැගෙන ගියා. ඒ පිරිස පහක් හෝ හයක්. ගුවන් යානයට පිවිසි විගස ආසන පෙන්වාදුන් ගුවන්සේවිකාව මගේ කෝට් එක වෙනම එල්ලා තැබිය හැකි බැව් දන්වා ඉල්ලාගෙන ගියා. ව්‍යාපාරික පංතියේ පස් හයදෙනෙකුට වැඩිය මගීන් හිටියෙන් නෑ. පිරිමැසුම් පංතියේ වෙනස කුමක්දැයි මා දැන නොසිටි නිසා මට අමුත්තක් දැනුනෙ නෑ. පැය භාගයක විතර කාලයක් තුල ගුවන්‍ යානයට මගීන් නංවාගනු ලැබුවා. නියමුවා ගුවන්ගමන ගැනත්, අඩි හතලිස් දහසකට ඉහලින් පියාසර කරන බවත්, පැය හතරහමාරකින් සිංගප්පූරුවේ චන්ගි ගුවන්තොටුපොලට ගොඩ බසිනු ඇති බවත් නිවේදනය කරා. ක්‍රමයෙන් ධාවන පථයට ගමන් කල ගුවන්‍ යානය ධාවන පථයේ වේගවත් ගමනකින් පසු අහසට එසවූවා. තප්පර කිහිපයකින් අහසට එසවුනු ගුවන් යානය වලාකුල් දක්වා සීග්‍රයෙන් එසවීමේ දී දැනුනු හැගීම උනේ මෙය කඩාගෙන වැටුනොත් වන්නේ කුමක්දැ යන්නයි. විනාඩි දෙක තුනක් ඉහලට එසඋනු යානය ක්‍රමයෙන් නැගෙනහිර දෙසට මුහුනලා ගමන්කරන්න උනා. ඉහලට නගිමින්ම ගමන් කල යානය අඩි දස දහස පසුකර ඉහල නගින බව ඉදිරි තිරයේ දැක් උනා. දැන් ළමයි කුමක් කරනවා ඇතිද? පොඩි දුව ඇඬුවාද? ආදී දේ සිතට දැනුනා. මාස දෙකකට ආසන්න කාලයක් යනතුරු ගෙදර නෑ නේදැයි සිතුනු විට ලොකු කනගාටුවක් දැනෙන්න උනා. මධ්‍යම කඳුකරය පසුකල යානය නැගෙනහිරට ලංවෙද්දී නැගෙනහිර වෙරල දැකබලා ගැනීමට සෝදිසි කරා කල්මුනේ මඩකලපුව අතර හරියට ඉහලින් යානය ගමන් කරන බව දැනුනා. එතැන සිට මහ සාගරේට ඇතුලු උන ගුවන්‍ යානයෙන් පිටත බලාසිටීම වෙහෙසකර කාර්‍යක් උනා.

මේ අතර සුරූපී ගුවන්සේවිකාව මා අසලට විත් බන්දේසියක තැබූ මත් පැන් වර්ග කිහිපයක් පිලි ගැන්වූවා. මා මත්පැන් භාවිතා නොකරන බව ඇයට පැවසූ පසු අවශ්‍ය සිසිල් බීම මොනවාදැයි විමසුවා. ඇයට දැනුම් දී දොඩම් යුෂ වීදුරුවක් පානය කල මා ඉන්පසු දිවා ආහාරය ලබා ගත්තා. මම කිසිවක් නොඉල්ලන නිසාදෝ ඇය මගෙන් බොහොම කාරුනිකව කුමක් හෝ ප්‍රශ්නයක් තිබේදැයි විමසීමටත් අමතක කලේ නෑ. ඇයට ස්තූති කර කිසිදු ගැටලුවක් නොමැති බව පැවසූ පසු ඇය ඉවතට ගියා. පැය හතර හමාරක ගුවන් ගමනකින් පසු සිංගප්පූරුවේ චන්ගි ගුවන්තොටට යානය ගොඩ බැස්සුවා. අති දැවැන්ත චන්ගි ගුවන්තොටුපල මා විස්මයට පත් කල ස්ථානයක්. මගේ ඊලග ගුවන්‍ යානය සින්ගප්පූරු වෙලාවෙන් රාත්‍රි 11ට ආරම්භවන නිසා මට පැය හතක් පමන ගුවන් තොටුපලේ ගත කිරීමට සිදු උනා..කටුනායකදී ගුවන් යානයට ඇතුල්වීමේ අවසර පත්‍රය නිකුත් කල අවස්ථාවේ චන්ගි ගුවන්තොටුපලේ ජපන් ගුවන්සේවා සත්කාරක මධ්‍යස්තානයට ඇතුලුවීමේ අවසර පත්‍රය ලබාදුන් බැවින් එයට ගොස් තේ පානය කරා. රාත්‍රි 9.30 වනතුරු ගුවන්තොටුපල පුරා තනියම ඇවිදින් ගතකල මා නියමිත වෙලාවට ජපන් ගුවන්සේවාවේ යානයට ගොඩ වුනා. ජපන් ගුවන්සේවාවේ ව්‍යාපාරික පංතියේ සත්කාරත් අතිශය ඉහල මට්ටමක තිබුනා. ජපානයේ ඉදිරි කාලය ගත කිරීමට පෙරහුරුවක් ලෙස ජපන් ආහාර වට්ටෝරුවෙන් ආහාර ඇනවුම් කලා. මිරිස් තුනපහ රස නැති, ගම්මිරිස් හා සෝස් වලින් රස ගැන්වුනු ආහාරවේල එතරම් හිතට ඇල්ලුවේ නෑ. කෙසේ වුවත් රාත්‍රි ආහාරයෙන් පසු හොඳ නින්දක් ගුවන්‍ යානය තුලදී ලබා ගත්තා. පැය හත හමාරක ගුවන් ගමනකින් පසු පසුදා උදේ හතට පමන නරීතා ගුවන්තොටුපලට ගොඩ බැස්සා.

ගුවන් යානයෙන් පිටවී ආගමන කවුලුවෙන් රටට ඇතුලුවීමට අවසරය ලබාගෙන ගමන් බඩු පථයෙන් ගමන් බෑගය ලබාගෙන රේගුව හරහා පැමින ගුවන්තොටුපලෙන් පිටවුනා. ගුවන්තොටුපලෙ පිටත ජයිකා කාර්‍යාලය සොයමින් එහාට මෙහාට ගියත් එය සොයාගත නොහැකි උනා. කලබලෙන් යන කෙනෙකුගෙන් ජයිකා ඔෆිස් එක ගැන විමසුවා. ඔහුට ඉංග්‍රීසි බස කිසිවක් නොතේරෙන බව පෙනුනත් ඔහු මට උදව් කිරීමට ඉදිරිපත් උනා. මා විමසන්නේ කුමක් දැයි ඕනෑකමින් බලා සිට ජපන් බසින් මගෙන් යමක් විමසුවද මට එය තේරුනේ නෑ. ඔහු හදිසියේම මගේ කෝට් එකේ අමුනා තිබූ ජයිකා ලාංචනය දැක්කා. එයට ඇගිලි දිගුකර මගෙන් යමක් විමසූ විට මම හිස ඉහල පහල සෙලෙව්වා. මගේ බෑග් ඇති ට්‍රොලිය තල්ලු කරගෙන ඔහු පසු පසින් එන ලෙස මට අතින් කියමින් ඔහු ගුවන්තොටුපල තුලට ගියා. මමත් ඔහු පසුපසින් ගියා ආරක්ෂක නිලධාරියාට මාව පෙන්වා යමක් පැවසූ ඔහු නතර උනේ ජයිකා කාර්‍යාලය ලඟයි. ඒ වනවිට මම එතනට නොපැමිනීම ගැන ඔහුන් කලබල වී තිබුනා. ගුවන් යානයේ මගී ලැයිස්තුව පරීක්ෂා කර මම පැමිනි බව තහවුරු කර ගත්තද මම ජයිකා කවුන්ටරයට නොපැමිනීම ඔහුන්ට ගැටලුවක්ව තිබුනා. මට එම ස්තානය මග හැරුනු බව දන්වා මගපෙන්වූ අයට ස්තූති කරා. ඔහු හිස පහත් කර කුමක්දෝ පවසා සමු ගත්තා.

එතැන් සිට ලිමුසීන් බස්‍ රථයකින් ටෝකියෝ නගරයට පැමිනි මා නගරයේදී පිලි ගත්තේ හොඳින් ඉංග්‍රීසි කතාකරන ජපන් ජාතිකයෙක්. මා යායුතු උනේ හචි ඕජි පුහුනු මධ්‍යස්ථානයටයි. ඒ සඳහා තවත් දෙදෙනෙකු සිටින බව පවසා මට හඳුන්වා දුන්නා. මැලේසියානු ජාතික හෂිමි මහතා හා මියන්මාර් ජාතික මියන්ට් මියන්ට් තූ නම් තරුනිය ඒ දෙදෙනායි. ඒ දෙදෙනාම මගේ පාඨමාලාව සඳහාම පැමිනි අය වීම විෂේෂයක් උනා. අපි තුන්දෙනාව නංවාගත් ටැක්සි රථයක් පැය තුනක පමන ගමනකින් පසු හචි ඕජි ජයිකා පුහුනු මධ්‍යස්ථානයට පැමිනියා. පුහුනු මධ්‍යස්තානයේ නේවාසිකාගාරයේ 315කාමරය මට ලැබුනා. කාමරය කුඩා උවත් සියලු පහසුකම් සහිත වූවා. කාමරය තුල ඉඩකඩ මැනවින් ප්‍රයෝජනයට ගෙන තිබුනා. නිදාගන්නා ඇඳ යට ලාච්චු සකසා බඩු භාහිරාදිය තැන්පත් කිරීමට භාවිතා කල හැකි පරිදි සකසා තිබුනා. ගමන් බෑග් අස්පස් කර ඇඟ සෝදාගෙන තේ එකක් බීමට සූදානම් වෙද්දී දුරකථනය නාද උනා.

“හලෝ ඔයමිස්ටර් සුනිල් කන්නන්ගරද?”කවුදෝ සිංහලෙන් විමසුවා.

“ආ ආ ඔව් ඔව් ඔය කවුද?”මම ඇහුවා.

“මමත් ලංකාවෙ කෙනෙක්.මෙහෙ කෝස් එකක් කරනවාදැන් මාස තුනක් තිස්සෙ ඉන්නවා.ඔයාගෙ නම මෙහේ බුලටින් එකේ දැක්කට පස්සෙ එනකම් බලා හිටිඅපේ කෙනෙක් නැතුව තනියම ඉඳල එපාවෙලා ඉන්නෙ.හරි මම දැන් එන්නද?”

“එන්න එන්න මම තේ වක්කරන්න හදන්නෙ.මමකිතුල් හකුරුත් ගෙනාවා.කහට එකකුත් බොන්න පුලුවන් එන්න.”

“හරි මම ටක් ගාල එනවා.”

විනාඩි තුනකින් විතර දොරට තට්ටු කරනව ඇහුනා.බොහොම සතුටින් දොර ඇරියා.මෙන්න දැකපුරුදු මූනක් කන්නාඩිදෙක දාගෙන.හිනාවෙලා ඇතුලට ඇවිත් ඇඳේ වාඩි වුනා.මගේ මතකය කෙලින්ම ගමන් කලේ විශ්ව විද්‍යාලෙ හිටපු කාලෙට.අපේ බැච් එකේ කලමනාකරණ පීඨයට ඇතුලූන කන්ඩායමේ එකටම හිටපු දෙන්නෙක් තමයි අම්බලන්ගොඩ සිල්වා සහ ගුරුගේ.වෙනම පීඨයක අයනිසා ලඟ ඇසුරක් නොතිබුනාට ඒඅවදියේ කතාබහ කර තිබෙනවා.මේ ඉන්නෙ ගුරුගේ.හැබැයි මූට මාගැන මතකයක් නෑ.දැන් මගේ සංතෝසෙ ඉහවහා ගියා.විශ්ව විද්‍යාලෙන් පිටවෙලා අවුරුදු දාසයකට විතර පස්සෙ ඒකාලෙ එකෙක් හමු වීම.කොච්චර සතුටක්ද?

“උඹ කොහේද මචං?” ගුරා අහනවා.

“මම පද්ංචි කොට්ටාවෙ.ගමනම් අගලවත්ත පැත්තෙ”.මමතේ එකහදල කිතුල්භකුරු කෑලක් එක්ක යාලුවට පිලි ගැන්නුවා.

“තෑන්කිව් මචං බොහොම කාලෙකින් හකුරුත් එක්ක කහට එකක් බොනවා”.කියල මිනිහ කිව්වා.

තේ බොන ගමන් මම ප්‍රශ්නයක් ඇහුවා.

“කෝඅර ඒකාලෙ උඹත් එක්ක හිටපු අම්බලන්ගොඩ සිල්වා කොහේද ඉන්නෙ.?අනික උඹ කොහේද වැඩ කරන්නෙ”?

“මොනව යකෝ උඹ මාව දන්නවද ඒ කොහොමද?” ගුරා ඇඳෙන් නැගිට්ටා.

“මොකද මම නොදන්නෙ උඹ අම්බලන්ගොඩ.සිල්වත් එහෙ.උඹ 79-83ජපුර මැනේජ්මන්ට් කරේ.වැරදිද?”

“හරි යකෝ උඹ කොහොමද මෙච්චර දන්නෙ කොහෙද උඹ හිටියෙ.?”

“යකෝ මමත් තොපේ බැච් එකේ ජපුර ආට්ස් පැකල්ටියෙ.දැන් වෘතීය පුහුනු අධිකාරියෙ වැඩ කරන්නෙ.මම එස් එල් ඒ එස් ගියා.”

“මරුනෙ මචං උඹ කියාගෙන යන කොට මාව හොල්මන් උනා.මම ඉන්ලන්ඩ් රෙවිනිව් එකේ ඇසෙසර්. දැන් වැඩ මාතර.සිල්වා කොලඹ බිස්නස් .”

“එහෙනම් උඹලත් එක්ක දේශීය ආදායම් එකේ හිටපු කීපදෙනෙක්ම අපේ බැච් එකට එස් එල් ඒ එස් ආවනෙ.ලලිත් මල්කාන්ති සරණතිස්ස. “මම කිව්වා.

“ඔව් මචං අපි එකට දේශීය ආදායම් එකට ගිය අය.”

එදා දවසම අපි දෙන්නගෙ කතාබහෙන් ගත උනා.මගෙ අල්ලපු කාමරේට ආව උගන්ඩාවෙ මයිකල් අපේ පාඨමාලාවටම ආපුකෙනෙක්.මිනිහවත් අඳුන ගත්තා.පුහුනු මධ්‍යස් තානෙ ගැන විස්තර නදුන් ගුරුගේ කියාදුන්නා.

එදින රාත්‍රියේ මම භෝජනාගාරෙන් කෑම කෑවෙ ගුරා සහ මයිකල් එක්කයි.රාත්‍රි දහයට විතර නින්දට ගියා.
මහරාත්‍රියේ කවුදෝ ඇගට අතතියා කතාකරනවා දැනුනා.නිදි මරගාතේම අවදි වී ඇඳමත වාඩිවූ මාදුටුවේ ජපන් ජාතිකයින් දෙදෙනෙක් කාමරේ ඉන්නවා.මම සෑහෙන්න බයවුනා.ඒසැනෙන් එක් අයෙක්

“Are you ok?”(ඔබ හොඳින්ද?)යනුවෙන් විමසුවා.

“Yes i,m ok.no any problem .why?”(ඔව් කිසි ප්‍රශ්නයක් නෑ ඇයි?)කියා මා ඇසුවා.

“We have actiwated warning system for erathqueck.all of the residences vacaated tothe ground.exept you .we came to see what has happend to you?.(“අපි භූමිකම්පා අනතුරු ඇඟවීම් පද්ධතිය ක්‍රියාත්මක කරා.සියලුම නේවාසිකයින් පිට්ටනියට ආවාඔබ හැර.අපි ආවේ ඔබට වූදේ බලන්නයි.)

“Or sorry.iwas in a deep sleeping untill your touch”.(කණගාටුයි මම තදනින්දක හිටියේ ඔබ ඇඟට අත තබනකම්ම.)කියල මම එලියට යන්න සූදානම් උනා.

“No no now you need not go out.the reharsal is over.here after pay your attention to warning elarm”.(නෑ නෑ ඔබ එලියට යන්න අවශ්‍ය නෑ පෙරහුරුව අවසන්.මීට පස්සෙ අනතුරු සීනුව ගැන අවධානෙන් ඉන්න)මෙහෙම කියල ඒඅය යන්න ගියා.පස්සෙන්ද උදේ මුලු හොස්ටලෙකේම කතාව මගේ නින්ද ගැන.භූමි කම්පාවක් ආවත් අවදි වෙන්නෙ නැතුව නිදා ගන්න පුලුවන් කෙනෙක් කියල හැමෝම හිනාඋනා.

පසුවදා ඉඳලම පුහුනුව ආරම්භ කෙරුනා.රටවල් දහයකින් දහ දෙනෙක් අපේ පුහුනුවට හිටියා.උගන්ඩාවෙ මයිකල්,මැලේසියාවෙ හෂිමි,බහරේන්වල හනාන්,පීරුවල ලිට්ස්,පැරගුවේ මරීනා,මියන්මාරයේ තූ,යූ ඇන් ඕ එකේ ලමීස්,පලස්තීනයේ මොහොමඩ්,මැක්සිකෝවේ අල්හන්ද්‍රෝ, සහ මම අපේ පාඨමාලාව හැදෑරුවා.මේ පාඨමාලාවෙ වුන ඒව පසුවට තියල අරවගේ මරනින්දක් ස්කෝලෙ යනකාලෙත් ගිහින් තියන බවත් සටහන් කරල අදට නවතිනවා.

7 thoughts on “පලමු විදේශ ගමන.

  1. දැඩි තෙහෙට්ටුවට වෙන්න ඕන අර විදිහට නින්ද ගියේ, පැය ගානක ගමනක් නෙව. මිල සසඳනකොට ව්‍යාපාරික පන්තිය කෙටි ගමන් වලට තේරුමක් නැති උනත් මේ වගේ දිගු ගමන් වලදි ලැබෙන පහසුව සැලකුවාම අගේ කියා නිම කරන්න බැහැ, කොයි තරම් වාසනාවක්ද 🙂

    ව්‍යාපාරික පන්තියේ ගුවන් සේවිකාවන් බලෙන්ම පෙන්වන ලීලේ ඇල්ම බැල්ම පිරිමැසුම් පන්තියට කොහෙත්ම නැහැ 😀

    ඒ වගේම ඔබතුමා මත් පැන් පානයෙන් තොර උනත්, අඩියක් ගහන කෙනෙකුට නම් ව්‍යාපාරික පන්තිය බොහොම රස විඳින්න පුළුවන් අත්දැකීමක් !

    Liked by 1 person

  2. දිසාපතිතුමාගේ මතකය නම් විශේෂයි……. මට නම් හිතාගන්නවත් බැරි තරම්…මගේ විශ්වාසය අනුව දෙවියන් වහන්සේගේ වරප්රාසදයක්ම වෙන්න ඇති නේද?
    වෙසක් සුභ පැතුම් ඔබතුමාට

    Like

    1. මීට පෙරත් ස්කෝලෙ යනකාලෙ ගමේ ඉඳ ආපු දවසක මාමලගෙ ගෙදරදිඔයවාගෙම නින්දක් ගියා.වෙසක් කූඩු බලන්නගිය මාමල ආපහු රාත්‍රියෙ ඇවිත් මට කතාකරල තියෙනවා.ඇහැරුනේ නැහැ.කාමරේ ජනෙල් වලට ගහමින් කතාකලත් ඇහැරුනෙ නැතිහින්දජනේලයක් ඇරෙනතුරු ගැහුව.ඇරුනු ජනේලෙන් පොල්ලක් දාල ඇගට තට්ටු කලාම තමයි ඇහැරුනෙ.හේතුවනම් දන්නෙ නෑ.

      Like

  3. හොඳ වෙලාවට ඒක සෙල්ලං භූමිකම්පාවක් උනේ. ඇත්ත එකක් උනානං එහෙම තව හොඳට නින්ද යනව.

    ගිරෙං පුවක් කපනවා වගේ ජපන්නු කොච්චරවත් සැරිං සැරේ දෙකට නැමෙන එකනෙ බලන්න වටින වැඩේ.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s