ජපන් ජීවිතය.

ජපන් රටේ ගත කරපු පලමු රාත්‍රියෙ ගිය මරනින්ද ගැන කියල නතර කරපු ජපන් සංචාරෙ ඉතුරු ටිකත් කිව්වොත් හොඳයි කියලයි හිතෙන්නෙ. ඒ මර නින්දෙන් උන යහපත තමයි මුලු හොස්ටල් එකම එක රැයෙන් අඳුන ගන්න ලැබීම. ජපන් ජීවිතේ ගැන ගුරුහරුකම් ගන්න අපූරු සගයෙක් හමුවුන එකත් ඒ වගේම හොඳ දෙයක් උනා. සැබවින්ම නඳුන් ගුරුගේ මිත්‍රයා ඒ වනවිට මාස තුනක් විතර ආයතනෙ ගතකරල තිබුනු නිසා ඔහුට ආයතනයේ කටයුතු ගැන වගේම ජපානය ගැනත් බොහෝ දේ දැන සිටියා. ඔහු නිර්ලෝභීව ඒ සියල්ල මා සමඟ බෙදා හදාගත්තා.

අපේ පුහුණු පාඨමාලාව පසුදාම ආරම්භ උනා. ජපානයේ මානව සම්පත් සංවර්ධනය පිලිබඳව අවධාරණය කරමින් මානව සම්පත් සංවර්ධන ක්‍රමෝපායන් පිලිබඳ සහභාගිවන්නන් දැනුවත් කිරීමත් ඒ ඒ රටවල දැනට පවතින මානව සම්පත් සංවර්ධන ප්‍රතිපත්තින් පිලිබඳ සමාලෝචනයන් සිදු කිරීමත් පාඨමාලාවේ අරමුණු වුනා. අපේ පාඨමාලාවේ ප්‍රධාන සම්බන්ධීකාරක වුනේ සෙන්සේ ඉෂිකාවා මහතායි. ඒ වනවිට වයස අවුරුදු හැත්තෑවක් පමණ වූ ඔහු ඉතා කාරුණික කෙනෙක්. ඔහු අපි ගැන කොතෙක් අවධානය යොමු කලාදැයි කියන්නේනම් සහභාගිවන්නන් එකිනෙකාට හැඟී තිබුනේ සෙන්සෙ ඉෂිකාවා තමාට විශේෂ සැලකිල්ලක් දක්වන බවයි. අවසාන ඇගයීමේදී කතාකල සැමදෙනාම සෙන්සෙ සතු මේ වටිනා ගුණය බොහෝ සේ අගයකලා. ජපානයේ “සෙන්සෙ” නමින් හැඳින්වෙන්නේ ගුරුවරයායි. ඉෂිකාවා මැතිතුමා සැබෑ ගුරුවරයෙක්. පාඨමාලාවේ සම්බන්ධීකරන නිලධාරින් ලෙස දෙදෙනෙකු කටයුතුකරා.ඒ තරමක් වැඩිහිටි කාරුනික කාන්තාවක් වූ කවායි මහත්මිය හා භද්‍ර යෞවන වයසේ සිටි සුරූපී කොබයාෂි මෙනවියයි.මේ දෙදෙනා අප සමග ඉතාමත් සමීපව කටයුතු කලා.සෙන්සෙ ඉෂිකාවා සහ මේ දෙදෙනා ගැන අපට හුරු උපමාවකින් කිව්වොත් තාත්තයි ලොකු අක්කයි නංගියි වගේ තමයි මේ අය අපි සැම සමගම කටයුතු කලේ.

මේ පිරිසගේ සංවිධායකත්වයෙන් සකසා තිබූ පාඨමාලාවේ මුල් දින දහයෙන් වැඩි කොටසක් වෙන්කර තිබුනේ ජපන් භාෂාව ඉගැන්වීමටයි.ජපානයේ ගතකරන කාලය තුල කරදරයකින් තොරව තම කටයුතු කර ගැනීම සඳහා අවශ්‍ය භාෂා දැනුම ලබා දීම සඳහා සකස් කර තිබූ මේ භාෂා ඉගැන්වීම ඉතාම ප්‍රිය ජනකඅවස්තාවක් උනා.ජපන් අකුරු ඉගැන්වීමට වඩා සරලව ජපන් වියරණ නීති කියාදී ඒ ඒ අවස්තාවල භාවිතාකරන වාක්‍ය කියාදීම හාජපන් වචන කියාදී සරල වාක්‍ය ගොඩ නැගීමට හුරු කරවීමත් ජපන්බස ප්‍රායෝගිකව භාවිතා කිරීමටත් පුහුනු කිරීම මෙහිදී කරා.මේ භාෂා පුහුනුවේ වැදගත් කම දැනුනෙ මුල මාසෙ සති අන්තයක අකිහබරා නගරෙ සංචාරයකට මයිකලුයි මමයි හෂිමියි ගිහින් එනකොට ඇතිඋන සිද්දියකින්.හචි ඕජි දුම්රිය නැවතුමේ සිට අකිහබරා ඉලෙක්ට්‍රොනික් නගරෙට එන්න ෂින්ජුකු දුම් රිය නැවතුමට ඉස්සෙල්ල එන්නඕන.එතනින් බැහැල වෙනත් ටර්මිනල් එකකට ගිහින් අකිහබරා වලින් බහින්න පුලුවන් දුම් රියකට නගින්න ඕන.ඉන්පසුව ජපන්බසින් දෙන නිවේදන ගැන අවධානයෙන් ඉඳල සෙන්දගයා,ඉෂිගයා ආදී දුම්‍ රිය නැවතුම්පලවල් කීපයක් පහුකරල අකිහබරා නම කියවුනාට පස්සෙ නවත්වන දුම් රිය නැවතුමේ බැහැ ගන්න ඕන.අපි තුන්දෙනා සති අන්තෙ නිවාඩු දවසෙ අකිහබරා ගියා ඔය කිව්ව විදියට.ආපහු ෂින්ජුකු ඇවිත් හචි ඕජි දුම් රිය වේදිකාවට ඇවිත් ඊලඟට ආපු විදුලි දුම් රියට නැග්ග.දුම්‍ රිය සුපුරුදු විදියට පිටත් උනා.සෙනග අඩුනිසා නිදහසේ කතාකර කර ආවත් මම සෑම දුම් රිය නැවතුමක් ආසන්නයේ දී කියවන නිවේදනය ගැන අවධානය අඩුකලේ නෑ.දුම් රිය නැවතුම් කීපෙකට පස්සෙ නිවේදනයේ කියවෙන නම් වල නුහුරු බවක් දැනෙන්න ගත්තා.තවත් නැවතුම් පොලවල්දෙකතුනක් පහුකරා .දැන්නම් මටහොඳටම ෂුවර් අපි නැගල තියෙන්නෙ වැරදි කෝච්චියට කියල.මම මයිකල් ට කතාකලා.මිනිහ හෂිමිට උගන්ඩාව ගැන දේශනයක්.

Mayikal i things that we have got into the wronged train.(මයිකල් මට හිතෙනවා වැරදි කෝච්චියට අපි ගොඩවෙලා කියල)

මිනිහ ගත්කටටම ඇහුවෙ කොහොමද දන්නෙ කියල.මම කිව්ව දුම් රිය නැවතුම් පොලවල් අපි හචි ඕජි ඉඳන් ෂින්ජුකු ගිය පාරෙ තිබුනු ඒව නෙවෙයි කියල.තවදුම් රිය නැවතුම් පොලක් පහු උනා.දැන් හෂිමියි මයිකලුයි එලිය පැත්ත බලාගෙන.මයිකල් ලඟහිටපු ජපනෙක්ට කතාකරල ඉංග්‍රීසියෙන් ඇහුවා මේ හචි ඕජි දුම් රිය පාරද කියල.ජපන කනේ ගහගෙන හිටපු ඉයර් පෝනෙ ගලෝල හොඳින් ඇහුම්කන් දුන්නට මයිකල් අහපු දේ තේරුනේ නෑ.තව කීපදෙනෙකුටම මයිකලුත් හෂිමිත් මමත් කතාකර විමසුවාට ඔහුන්ට ඉංග්‍රීසි භාෂාව තේරුනේ නෑ.මට ජපන් භාෂා පුහුනුව මතක් උනා.දුම් රියස්තානයකදී මතුවෙන ගැටලු වලදී යොදා ගන්නා වාක්‍ය කීපයක් උගන්වා තිබූ බැවින් ඒවා මතක් කරගෙන සරල වාක්‍යක් හිතෙන් හදාගෙන මම ජපනෙක් ගෙන් මෙහෙම ඇහුවා.

“සුමිමසෙන්,කෝනෝ දෙන්සුවා හචි ඕජි කේ ඉකිමස්කා?”(සමාවෙන්න,මේ දුම්‍ රිය හචිඕජි දක්වාගමන්කරනවාද?)

අර ජපනා හිනාවී “ඊයැ” (නැහැ)කියා හිස දෙපසටවනා තව මොනවදෝ කිව්වා.

මම “අරිගතෝ ගොසයි මස්”බොහොම ස්තූතියි) කියා හිසපහත් කර මයිකල්ට කෑගැහුවා.

“Mayikal we have missed the train. we,ll getdown next station.and take other train to shinjuku”.(මයිකල් අපිට දුම් රිය වැරදුනාඅපි ඊලඟ දුම්‍ රිය පොලේ බැහැල වෙන කෝච්චියක ශින්ජුකු යමු.)

“O my god .we ,ll do it.”(ඕ මගෙ දෙයියනේ!හරි අපි එහෙම. කරමු)

අපි තුන්දෙනාම ඊලඟ ස්ටේසමෙන් බැස්සා.අනිත් වේදිකාවට ගොඩවී ඊලඟට පැමිනි කෝච්චියට ගොඩ උනා.ලඟම හිටපු ජපනාගෙන් අර වාක්‍යම කියලා හචිඕජි කියපු තැනට ෂින්ජුකු දාල ඇහුවා.

“හයි ඉකිමස්කා” කියල උත්තරේ ලැබුනා.දැන් හොඳටම ජපන්භාෂාව පුලුවන් කෙනෙක් වගේ “අරිගතෝ ගොසෛමස්” කිව්වෙ ඉනෙන් දෙකට නැවිලයි.ආපහු ෂින්ජුකු ස්ටේසමෙන් බැහැල හචි ඕජි කෝච්චි වේදිකාව හොයාගෙන හරි දුම් රියට නැග හචිඕජියට ගියා.එවෙලෙ ඉඳන් මයිකල්ටයි හෂිමිටයි මම ජපන් භාෂා විශාරද කෙනෙක් උනා.මේදෙන්නම ශොපින් යනකොට මාත් එක්ක යන්න පටන් ගත්තා.මමත් හොදට පාඩම් කරගෙන සාප්පුවකදී අහන ප්‍රශ්න ඉගෙනගෙන ගිහින් කතා කරන්න පටන් ගත්තා.

සති තුනකින් සියලුම දේශන අවසන්වී ක්ශේස්ත්‍ර චාරිකා ඇරඹුනා.මුලින්ම ටෝකියෝ විදුලි සමාගම.ටොකියෝ නගරයට විදුලිය සපයන ප්‍රධාන සමාගම් හතරෙන් එකක් වූ මෙමෙ සමාගම සපයන සේවාව හා මානව සම්පත් සංවර්ධනය ට ලබාදෙන දායකත්වය ගැන ඉදිරිපත් කිරීමක් සමාගමෙන් කෙරුනා.ප්‍රශ්නවෙලාවේ මම ඇහුවේ හදිසි විදුලිය බිඳවැටීමක් සිදු උනොත් කොපමනවෙලාවකින් එය යතාවත් කර හැකිද ?ඒසඳහා ඇති සැලසුම් මොනවාද?යන්නයි.පසුගිය අවුරුදු පහතුල එකවරක් විදුලිය කුඩා ප්‍රදේශෙක බිඳ වැටුනු බවත් එය තප්පර තිහක් තුල යථාවත් කල බවත් පිලිතුරෙන් කියවුනා.විදුලිය හදිසි බිඳවැටීමක් සිදු වුවහොත් පරිගණක පද්ධතිහරහා ගැටලුවට අදාල ඒකකය වෙන්කර වෙනත් ඒකක මගින් සැපයුම ස්වයංක්‍රීයව යථාවත් වීමට යොදාඇති සැලසුම් විස්තර කෙරුනා.මම බයවුනේ අපේරටේ එහෙම උනොත් මොකද වෙන්නෙ ඇහුවනම් උත්තරේ කියන්න වෙන්නෙ සති හෝ දිනවලින් නිසා.වෙලාවට එහෙම ඇහුවෙ නෑ.ඊලඟ චාරිකාව හිරෝශිමා වලටයි.ෂින්කන්සෙන් බුලට් දුම් රියේ ගමන් කිරීමට පහසුව සලසා තිබුනා.එක් අයෙකු වෙනුවෙන් ටිකට් පතක වටිනාකම ඒවක ලංකා රුපියල් පහලොස් දහසක් විතර උනා.ඒකාලෙ මගෙ පඩිය රුපියල් දහාට දාහයි.පෙරවරු නමයට හචි ඕජියට කිට්ටුව තිබූ දුම් රිය පොලකින් බුලට් දුම් රියට ගොඩවී අසුන් ගත් පසු දුම් රිය පිටත් උනා.පැයට කිලෝමීටර් තුන්සිය පනහක වේගයකින් ධාවනය වූ දුම් රියේ යන අයට ගුවන් යානයක අසුන්ගෙන සිටින්නාක් වැනි හැඟීමක් තමයි එන්නෙ.දුම් රිය ධාවනයේ යෙදෙන අතර ඉල්ලාගත් වතුර වීදුරුව ආසනය ඉදිරිපස කෑම ට්‍රේ තබන ස්තානයේ තැබූ විට සිහින් රැල්ලක් පමනක් වතුර වීදුරුවේ ජල මතුපිට දකින්න පුලුවන් උනා.පැය තුන හමාරක විතරගමනකින් හිරෝෂිමා නගරෙට යන්න පුලුවන් උනා.නගරයේ තරු පහේ හෝටලයක නවාතැන් ගත්තු අපි හවස සුප්‍රසිධ පරමානු බෝම්බය වැටුනු ස්තානය බැලීමට ගියා.බෝම්බයෙන් ලක්ශ ගනනක් මිනිසුන් මියගොස් තවත් ලක්ෂ ගනනක් ආබාධිතයින් වී තවමත් ඇතැම් ප්‍රතිවිපාක සහිතව මිනිසුන් පීඩාවට පත් වෙද්දී වෛරය වෙනුවට සාමය ගැන කතාකරන්න ජපන් ජාතිය ඒවිනාශය යොදාගැනීමෙන්ම ඔහුන් උසස් මිනිසුන් බවට පෙන්නුම් කරන බවයි මගේ හැගීම.හැම තැනකින්ම කියවුනු පනිවුඩය සාමය ගැනයි.සිදුවූ විනාශයේ චායාරූප ඉතිරි වූවන්ගේ ප්‍රකාශ විපතේ ස්වරූපය හැගවෙන සංගීතය සහිත වාර්තා මේසියල්ල සමග යුධයකින් ජයගන්නෙක් නැති බවත් මනුෂ්ශත්වය ට විනාශයක් පමනක් යුධයෙන් ගෙනෙන බවත් හිතේ සටහන් වෙනවා.එක් ස්තානයක අසුන්ගෙන මේගැන කල්පනා කරන්න පටන්ගත් මට වෙලාව ගතවෙනව දැනුනෙත් නෑ.කොබයාෂි සං ඇවිත් කථාකලපසුයි දැනුනේ අනිත් අය ගොඩනැගිල්ලෙන් එලියටත් ගොස් ඇතිබව.මම එච්චර සංවේදී උනත් මලයාසියාවේ හෂිමිගේ මතය උනේ පරමානු බෝම්බය නොදැමුවානම් තම ජාතිය තවමත් ජපනුන්ට යටත් ජාතියක් වනු ඇති බවයි.මයිකල්ගේ මතයත් ප්‍රචන්ඩත්වයට විරුද්දවයි තියෙන්නෙ ඔහුට අනුව ඇමරිකාවත් ජපානයත් දෙපාර්ශවයම වැරදියි.මේ විදියට හිරෝෂිමා බලපු අපි අතර ලොකු සංවාදයකුත් කෙරුනා.

මේ අතර නොවැම්බර් මාසෙ විසිහත් වෙනිද දවස උදාඋනා.මගේ හතලිස් වෙනි උපන්දිනය.එදා අනපේක්ෂිත උපන්දින සාදයකට සහභාගි වෙන්නත් උනා.අපේ පාඨමාලාව හැදෑරූ එක්සත් ජාතින්ගේ සංවිධානයේ පලස්තීනයේ සේවයකල කාන්තාවක් වූ ලමීස් මහත්මියගේ උපන් දිනයත් එදාටම යෙදී තිබුනා.උදේ පාඨමාලා කන්ඩායමේ හමුව උපන්දින සාදයක් ලෙස සංවිධානය කර තිබුනා.අනපේක්ෂිත සාදයහා මිතුරු මිතුරියන්ගේ සුභ පැතුම් මා ඉමහත් ප්‍රීතියට පත් කල එකක් උනේ එදාමෙදාතුර මාගේ උපන්දිනය වෙනුවෙන් පවත්වා ඇති එකම උපන්දින සාදය මෙයවීම නිසයි.

මීට අතිරේකව යොකොහාමා වරාය නගරය ටෝකියෝ නගරය වගේ ස්ථානවලට චාරිකා සූදානම්කර තිබුනා.මේ සියල්ල සම්පූර්නකරා.මේ අතර අපි කන්ඩායම් ලෙස ඉඩකඩ ඇති වෙලාවල හචි ඕජි නගරයේ සංචාරය කිරීමත් කරා.ජයිකා පුහුනු මධ්‍යස්ථානයේ සිට නගරයට ෂටල් බස් සේවාවක් තිබුනා.උදේටත් හවසටත්තිබුනු මේ බස්සේවාව බොහොම සංවිධානාත්මකව කෙරුනා.හචි ඕජි දුම්‍ රිය පොල බස්‍රථ සේවාවෙ ගමනාන්තය උනා.පාඨමාලාවල කටයුතු නිමවීමෙන් පසුප.ව 4.00ටපලමු නිවේදනය නිකුත් වෙන්නේ මෙන්න මෙහෙමයි.

“ඇටෙන්ෂන් ප්ලීස් ද බස් ෆොර් හචි ඕජි ස්ටේෂන් විල් ලීව් ෆිෆ්ටීන් මිනිට්”

මේ නිවේදනය ඊලඟපාර ඉවරවෙන්නෙ “ටෙන් මිනිට්” කියලයි.අවසාන නිවේදනය “සූන්” කියල ඉවර කරල විනාඩි පහෙන් බස් එක පිටත් වෙනවා.අපි ටවුමටගිහින්හතර අතේ ඇවිදලඑන්න වෙලාවට බස් නෑ.ඒවෙලාවට ටැක්සියක එනවා.මගේ මිත්‍ර නඳුන් ගුරුගේ ගෙ මිත්‍රයෙක් සෙනසුරාදාට ලංකාවෙ ක්‍රමෙ බත් එකක් ගෙනත් දෙනවා.ඒක දිව්‍ය භෝජනේ වාගෙ රසයි.නඳුන් හැම දාම ගෙදරට කෝල් ගන්නවා.හොස්ටල් එකේ ඉඳන් ලංකාවට විනාඩි තුනක් කතාකරන්න ලංකා සල්ලි වලින් රුපියල් 800/=වියදමක් යනවා.මේනිසා අවශ්‍යම දේකට ඇර මම ගෙදරට කතාකරේ නෑ.දවස් දෙක තුනකට සැරයක් කෝල් එකක් අරගෙන දුක සැප අහල තියනවා.නඳුන් ගුරුගේ මම ආපහු එන්න සති තුනකට කලින් ලංකාවට ආවා.එන දවසෙ මිනිහ මට රහසක් කිව්වා.

“මචං සුනිල් මම ලංකාවට කෝල් ගත්තෙ මෙහෙ ඉන්න මගෙ යාලුවෙක් කිව්ව ක්‍රමෙකට.ඒකට පුංචි වියදමක් යන්නෙ.කාටවත් කියන්න එපා කිව්ව නිසා මම මෙච්චර දවසක් කිව්වෙනෑ.මෙන්නමේ ජාතියෙ කාඩ් එකක් යෙන් 1000/=යි.ඒක ගෙනැල්ල කාමරේ පෝන් එකෙන් මෙන්නමේ නම්බර්ස් ගහල කාඩෙකේ පින් නම්බරේ ගහපන්.ඊටපස්සෙ අපේරටේ කෝඩෙක ගහල නොම්මරේ ගනින්.ඕනවෙලාවක් කතා කරාට ලෝකල් කෝල් එකකවිනාඩි තුනක කාලයක් තමයි වියදම.හැබැයි කාමරේ පෝන් එකට පල්ලෙහා මැෂින් එකේ යෙන් 1000/=ඩිපොසිට් කර තියන්න අමතක කරන්න එපා.”

“අනේ මචං බොහොම ස්තූතියි.මම වැඩේ කරල බලන්නම්.”

මම මේ වැඩේ අත් හදාබලන්න කලින් හුඟක් කල්පනා කලා.මෙහේ තියෙන ක්‍රමය අනුව පහලමැෂින් එකට සල්ලි දාල කාමරේ නොම්මරේ ගහල ආවම ඒ දාපු සල්ලි ගානට කෝල් කාමරේ ඉදන් ගන්න පුලුවන්.ආපහු මැශිනෙකේ කෝඩෙක ගහල ඉතුරු සල්ලි ආපහු ගන්නත් පුලුවන්.අනික මේ පද්දතිගතකල ක්‍රමයක් නිසා වැරැද්ද උනේ කොතනින්ද හොයන්න පුලුවන් ඒකනිසා මේවැඩේ කරන්න ඉස්සෙල්ල යෙන් විසිදාහක් මැශිමේ තැන්පත් කරා.අරකිව්ව ජාතියෙ කාඩ් එකක් ගෙනැල්ල නදුන් කිව්ව විදියට කරා.කෝලෙක ආවා.විනාඩි දහයක් කතාකරල තියල පහලට ගිහින් මැශිම චෙක් කරල ඉතුරු ගාන බැලුවා කෝලෙකට යෙන් තිහක් ගිහින් තිබුනා.එදා ඉදන් එන කම්ම ගෙදරට යාලුවන්ට කෝල්ගත්තා.කතාකරා.දැන් මමත් දිනපතා ගෙදරට කතාකරනවා.මේ විදියට කතාකරල ආයෙ ඉතුරුව බැලුවෙත් නෑ.කොහොමෙන් හරි ජපානෙ පාඨමාලාව නිමවෙලාආපසු ගමන සූදානම් කරගන්න උනා.එතනදි මෝටර් රත දෙපාර්තමේන්තුවෙ මෝටර් රථ පරීක්ෂකයෙකු වූ ප්‍රේමරත්න මහතාත් ටෝකියෝ ජයිකා ආයතනයේ තම පාඨමාලාව නිමවී මාසමග එන්න නියමිත උනා.අපි දෙන්නම කථාවෙලා දිනක් සිංගප්පූරුවේ නවතින්න පුලුවන්විදියට ගුවන්ගමන යලි සංශෝධනය කර ගත්තා.මම සියලු කටයුතු නිමකර කාමරේ යතුරත් භාරදී දුරකතන යන්ත්‍රයේ ඉතිරි මුදල් ආපසු ලබාගත්තා.ඒමුලු කාලෙටම යෙන් දෙදාහක්විතර වියදම් වී තිබුනා.මේසේරම හමාර කරල ටෝකියෝනගරෙදි ප්‍රේමරත්නවත් එක්කාසු කරගෙන නරීතා ගුවන්තොටෙන් සිංගප්පූරුවට පිටත් උනා.සිංගප්පූරුවේ දවසක් ගතකරල එමිරේට්ස් යානයකින් කටුනායකට ගොඩ බැස්සා.ආගමන විගමන කටයුතු කරගෙන බෑග් අරගෙන එනකොට හැම තැනම කසුකුසු කෙරෙනවා පේනවා.රේගු ව හරහා එද්දි පාස්පෝට් එක බලපු රේගුනිලධාරි මහතා එලියේ ඇඳිරිනීතිය දමා ඇතිබැවින් ගොඩබැසීම් අවසරපත්‍රය ප්‍රවේසම් කරගන්න කිව්වා.ඇයි ඇඳිරිනීතිය කියා විමසූවිට “ඇයිදන්නෙ නැතිද රාත්‍රි නමයටවිතර ජනාධිපතිතුමියට සුසයිඩ් බොම්බ කාරයෙක් ඇටෑක් කරානෙ නගරසභා පිට්ටනියෙදි.ජාඇලත් මේවගේම බෝම්බයක් පුපුරෝල ජෙනරාල් ලකී අල්ගම මැරිලානෙ”.කිව්වා.”ඉතින් ජනාධිපතිතුමියට මොකද?” මම ඇහුවා.”එතුමියට තුවාලයි.ජීවිත හානියක් නෑ” පිලිතුරු ලැබුනා. ඔන්න මගේ පලමු විදේශ චාරිකාව.

5 thoughts on “ජපන් ජීවිතය.

  1. මගේ මවගේ සහෝදරියගේ පවුලේ උදවිය දසවසක් පමණ ජපානයේ විසූ නිසා ජපානය ගැන ලොකු ආසාවකින් ඉගෙන ගත්ත. ටෙරියාකි, සුෂී එහෙම කෑවෙ නැතෙයි.

    ජපන්නු අද බොහොම ආචාරශීලි දියුණු ජාතියක් උනත් දෙවන ලෝක යුධ සමයේ ජර්මානුවන් තරමටම අතිශය දරුණු කෘරකම් වල යෙදුණු උදවිය, එහෙම බලනකොට ඔය පරමාණු බොම්බේ දිට්ට ධම්ම වේදනීය කර්මයක්ද කොහෙද 😦

    ටෙලිෆෝන් කතාව කිව්වම මතක් උනේ අර අවුරුදු ගානක් හොර බොරු නැතිව පාවිච්චි කරපු එංගලන්තෙ ටිකට් මැසිමක් ලංකාවෙ CTB කොන්දොස්තර කෙනෙක් බ්ලේඩ් තල කෑල්ලකින් හොර කරාලුනේ .. අපේ අය කොහේ ගියත් සිස්ටම් එකෙන් රිංගන්න තැන් හොයා ගන්න දස්සයි 😀

    ලිපියට අරිගතෝ ගොසයිමස් සුනිල් සං !

    Liked by 1 person

  2. ලස්සනට ලියල තියෙනවා. මටත් ජපානේ ගත කල මාස තුනක කාලය සිහිපත් උනා. ස්තුතියි . මමත් ලෝකය දන කියා ගත්තෙ විද්‍යොදය විශ්ව විද්‍යාලයෙන් තමයි

    Like

  3. හුඟක් ජපං වාක්‍යවල අගට ඉකිමස්කෑම තියෙනවා. මටත් ඉස්කෝලෙ අට වසරෙ ඉඳං උසස් පෙල වෙනකං ඉගෙන ගන්න ජපං සිස්සත්වෙ ලැබුනා. ඒ හංදා මං ජපානෙට ණයයි. ඒ කාලෙ පන්සලේ හාමුදුරුවො ජපං බාසාව අපට ටිකක් ඉගැන්නුවා. දැනට ‘වතෂිවා අසුවලා දෙස්‘ කියාගන්න මතකයි. ලොකු වෙච්චි කාලෙක ජපානෙ ‘ජුන්සා‘ කියන පොලිස්කාරයො ‘එන්පිත්සු‘ කියන පැන්සල් ‘කුරුම‘ කියන කාර් එහෙම බලාගෙන එන්ට යන්න ඕනැ. ජපන්නු හපන්නු කියන්නෙ අර හෝඩි තුනයි ගනං කරන ඉලක්කං වර්ග හැටහුටාමාරයි පැටලෙන්නැතුව මතක තියාගෙන ඉන්න හංද වෙන්නැති. අපේ ආතා කියාදීපු හැටියට නං ඉස්සර ‘මහ යුද්දෙට‘ පස්සෙ කාලෙ එහෙම ජපන්නුං හදපු බඩු මුට්ටු හරියට හෑල්ලු වුනාලු. ඒ කාලෙ ඉහල බඩු නං ‘ඉංග්ලිස්‘ බඩු තමාලු.

    මේ සටහන ලියා මගෙ ජපං මතකෙ ඇවිස්සුවාට ඔබතුමාට ‘අරිගතෝ ගොසයිමස් වේවා‘!

    Like

  4. දැන් යෙන් එකක් 1.45 ක් විතර. රුපියලට සාපේක්ෂව ( ප්‍රතිශතයක් ලෙස ) වැඩියෙන්ම ඉහල ගිය ඒකකය මං හිතන්නෙ.

    ලෝක යුද්ධෙන් පස්සෙ ජපානෙ අති බහුතරයට යුද්ධ එපා වුනා නේද? ජර්මන්කාරයන්ට වගේම ජපන් අයටත් ගිල්ට් එක ( පර්ල් හාබර් ඇටෑක් එක, ආසියාවේ රටවල ජපන් හමුදා කල යුද අපරාධ සහ තමන්ගේ රටට වුන විනාසය පිලිබඳව )සෑහෙන කාලයක් තිබුනා නේද?
    චීනයේ බලය හා උතුරු කොරියාවේ අවදානම නිසා ජපානය ආයිත් යුද ශක්තිය වැඩි කර ගන්නවා.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s