මහතුන් අයියා

දෙදාස් දහ අටේ මැයි මාසෙ විසිවෙනි ඉරිදට එලි උනා.බේත් ගැනීම මිනිබිරියගේ විවාහ මංගල්‍යට සහභාගි වීම වගේ රාජකාරි කීපෙකට ගමේ සිට කොට්ටාවට ඇවිත් සුපුරුදුලෙස මල්ලිගේ නිවසේ සති තුනක් ගත කිරීමට සිදුවූ අපේ තාත්තාව තවදුරටත් රඳවා ගැනීම බොහෝ අපහසු කාර්‍යක් වී ඇතැයි මල්ලී ඊයේ කිව් අවස්තාවේදී අදදින තාත්තා සමග ගමේ යනබවට පොරොන්දු වී තිබුනු බැවින් මම උදේ හයට අවදි උනා.තවත් පැය භාගයක් යහන් ගතව සිටිමින් අලස සුවය විඳිනා අතර අද ගමන සිතින් සැලසුම් කලා .වසර විස්සක් තිස්සේ මගේ විශ්වාසවන්තරියදුරුලෙස සේවාව සලසන ජයසේන සමග උදේ අටට පමන පිටත් වී තාත්තාත් සමග ගෙදර ගොස් ආපසු දොලහට පෙර පැමිනීමට සැලැස්ම සකසා වර්ෂාවේ තත්වයත් හොයා බැලිය යුතුයැයි සිතමින් සිටිනවිට මගේ යක් පැටියා බෙරිහන් දෙන්න උනා.කවුදමේ හය හමාරට කියා යක් පැටියාගේ මූනත් තහඩුව බැලූවිට දැක්කෙ ගමෙන් ඇමතුමක් බව.කතාකලේ මගේ බාල මල්ලි සාන්ත.

“සුදු අයියෙ අද තාත්තව එක්ක එනවද?”

“ඔව් සාන්ත මල්ලි දවල්වෙල එන්න ඉන්නෙ ඇයි?”

“නෑ මේ දික් හේනෙ මහතුන් අයිය නැතිවෙලාඊයෙ.මරනෙ කටයුතු හෙටලු .දැන් සිරිසේන අයිය කිව්වෙ.”

“ඈ මොනව වෙලාද?”

“අසනීපෙන්නෙ හිටියෙ.ඒක නිසා වෙන්නැති.”

“හරි මම එනවනෙ. අද ඒ ගමන් මලගෙදරටත් යන්න පුලුවන්නෙ.”

කියල මම කතාව ඉවර කරා.ඒවුනත් එක දිගට මහතුන් අයිය ගැන මගේ මතකයන් අවධි වෙන්න පටන් ගය්හ්තා.මුලින්ම මතක් උනේ දැන් අවුරුද්දකට විතර ඉස්සෙල්ලා තම පුත්‍රයා ලේලිය සහ මුනුබුරු මිනිබිරි දෙපල සමග මගේ නිල නිවසට නෑගම් ආපු මහතුන් අයියව.අපේ ගමේ පැරැන්නො නෑගමන් යන කොට දැන් වගේ විච්චූරන දේවල් අරගෙන ගියේ නෑ.බොහොම ප්‍රයෝජනවත් දේවල් අරගෙන තමයි ගියේ.මහතුන් අයියත් මාව බලන්න ආවෙ පොල් කොහිල අල කොහිල දලු,ගමේ එලවලුකෙසෙල් ගෙඩි ඇතුලු වැලිතලප වාගේ දේවල් රාශියක් අරගෙන අලුත් ක්‍රමෙට බිස්කට් ටින් එකකුත් තිබුනට ගෙදරකට පිරිමහන දේවල් අරගෙන තමයි මහතුන් අයිය මාව බලන්න ආවෙ.

“ඔන්න මල්ලියෙ මගෙ හිතේ තිබ්බ ලොකු ආසාවක් ඉෂ්ට කරගන්න පුලුවන් උනා මල්ලිව බලන්න ඒමෙන්” කියල තමයි මාව දැක්ක ගමන්කිව්වෙ.

“මල්ලියෙ කොලඹ ඉන්න මල්ලිට පොල් නැතුව ඇතෙයි කියල හිතල පොල්ගෙඩි ටිකකුත් දාගත්ත.ලෙලිපිටින්ම.බැලුවම මල්ලි ඉන්නෙ පොල් වත්තකනෙ.මේ තියන පොල්ගස් ටිකට හොඳ පෝර ටිකක් දැම්මනන් පොල්විකුනන්නත් පුලුවන්නෙ”කියල මහතුන් අයිය හිනැහුනා.

මහතුන් අයිය අපේ තාත්තගෙ අක්කගෙ ලොකු පුතා.අපි ට යම්තම් තේරෙන වයස වෙනකොට මහතුන් අයිය ගජ ඉලන්දාරියා. ඒකාලෙ මහතුන් අයිය ආච්චි බලන්න ආවහම අපි එකතුවෙන්නෙ මහතුන් අයිය කියන කතා අහන්න.අපි අවුරුදු හතාටේඑවුන් උනාට මහතුන් අයිය අපිට සැලකුවෙ සමවයසෙ අයටවගේ.කටපුරා මල්ලියේ කියල කතාකරල අහන ඕනෑම දේකට උත්තර දෙනව.මට ඕනවෙන්නෙ මහතුන් අයියට කියල දුන්නක් හදෝගන්න.

“මහතුන් අයියෙ මට දුන්නක් හදල දෙනවද?”මම කෙඳිරි ගානවා.

“හරි මල්ලියේ හදමුකො මම වෙද ආතලගෙ ගෙදර ගිහින් එන්නම්කො.”කියල ගිහින් ඇවිත් ආච්චිගෙන් මන්න පිහියත් අරගෙන මටත් අපේඅයියටත් කතා කරගෙන ගඟ ලඟට යන මහතුන් අයිය ගඟට නැවුන ගම්බි ගස් ගොන්නට රිංගනවා.

“මල්ලිලා ගඟට බහින්න එපා මම හොඳ ගම්බිගස් දෙකක් කපාගෙන එන්නම්”කියන මගතුන් අයිය ගම්බි ගොල්ලෙ ඇතුලට යනවා.ගම්බි ගස් දෙකක් කපල ගඟට දාන මහතුන් අයියා ගම්බි ගාල උඩ ඉදගෙන ගම්බි ගොල්ල හොලෝලා ගඟට පනිනවා.ගඟෙන් ගොඩවෙලා ගම්බි කෝටු සුද්දකරගෙනඒවත් අරගෙන ආච්චිලගෙ ගෙදරට එනවා.ඉස්සෙල්ලම පොඩි ගම්බි කෝටු දෙකක් නවල හීන් වැල්පටක් බැදල දුනු දෙකක් හදල මටයි අයියටයි දෙනවා.

“ඔහොම ඉමු දෙන්නම තව ඕකට ඊතල හදන්න තියෙනවා”

මහතුන් අයියා අපිට ඊතල හදල දෙන්නෙ උණ ලී පතුරුවලින ඉවර කරල ලොකු ගම්බි කෝටුවක් නවල බැඳල ලොකු දුන්නක් හදල ඒකට හොඳ කෝටුවල් අරගෙන ඊතලේකුත් හදන මහතුන් අයියා මිදුලට බැහැලා අරලොකු දුන්නෙ ඊය තියල කොස්ගහේ උඩම අත්තක තියන කොස්ගෙඩියට ඉලක්කෙ අරගෙන දුන්න හොඳට ඇදලා ඊය මුදා හරිනවා.දේවතාඑලිය ගමන් කරන තරම් වේගෙන් යන ඊය කොස්ගෙඩියෙ ඇමිනිල නවතින කොට අපේ කටවල් ඇරිල තියෙන්නෙ පුදුමෙන්.

“හා දැන් විදිමු බලන්න මම විද්ද වගේ කොස්ගෙඩියට”.

අපි දෙන්නම අපේ පුංචි දුනු වලින් උණලී පතුර ඉලක්කෙට විද්දම අඩි විස්සක්විතර ගිහින් වැටෙනවා.

“කෝ ඉතින් මහලොකු දුනු කාරයො දෙන්න.තකහනියක් මාව ගම්බිගාලෙ රිංගෝල දුනු හැදෙව්වට වැඩක් නෑනෙ.” කියල හිනාවෙන මහතුන් අයියා ඊලඟට යන්නෙ ආච්චිගෙ බතල පාත්තිය හාරන තලප මීයට හබකක් අටවන්න.ඒක කරන්නෙ ආච්චිටත් හොරෙන්.හබකෙ අටවන්න ගන්නෙ පරන ලී ජනෙල් පියනක්.තවලීකෑලිකීපයක් අවටින් කපාගෙන හබකෙ අටෝල පොල්කෑල්ලක් පුච්චල ලනුවෙ බැඳල ලෑල්ල පැත්තකින් උස්සල ලොකු ගල්ගෙඩි දෙකතුනක් පටෝල ඇටවුම ඉවර කරනවා.පසෙන්ද උදේට හබකෙවැටිල තලපමීය ලෑල්ලයට මැරිල තියෙනවා.මහතුන් අයියගෙ නම අපි අදත් දන්නෙ නෑ.පුංචි කාලෙ අපි මේ ගැන අහනවා.

“මහතුන් අයියගෙ නම මොකක්ද?”

“වෙනමොකක්ද ඉතින් මහතුන් නෙ.”උත්තරේ මහතුන් අයියගෙන්.

“නෑ එහෙම නම් නෑනෙ ඇත්ත නම.”

“ඇත්තනම තමයි මහතුන් ඇයි ඒක නරකද?”

“ඒමොකක්ද ගෙදරට කියන නමනෙ ඒකෙ තේරුමකුත් නෑනෙ.”

“නෑ මල්ලියෙ මහතුන් කියන්නෙ මහ උතුම් කියන එකනෙ ඉතින් ඒක නරකනෑනෙ.හාමුදුරුවො උනත් මට කතාකරන්නෙ මහ උතුන් ලමය කියලනෙ .වෙන කාගෙවත් නමටම උතුම් කියල තියෙනවද?”

මහතුනයියගෙ කතාවට අපිට උත්තර නෑ..

ඔය මොන වැඩේ කරත් ආච්චි මහතුන් අයියට මොකුත් කියන්නෙ නෑ.මොක ද පොඩිකාලෙ අයිය ආච්චි ලඟ ඉඳගෙන ස්කෝලෙ ගිහින් තියෙන්නෙ.ඒ කාලෙ ස්කෝලෙ තිබුනෙ ඉඳුරුපිටියෙ බොරලුගොඩ මහ පංසලත් පහු කරල ගිහින් ස්කෝලෙට යන්න ඕන.මහතුන් අයිය ආච්චි ලගෙ ගෙදර ඉඳල පාන්දරින් එගොඩගොඩේ අපේ අම්මලගෙ ගෙදරට ගිහින් අපේ මාමල එක්ක ස්කෝලෙ යනව.ස්කෝලෙ යන කාලෙමැරෑටි වැඩ කරන්නත් මහතුන් අයිය හපනා.ඒකාලෙ බොහොම ප්‍රසිද්ද මැරෑටි වැඩක් උනේ වෙලෙන්ද්‍යියගෙ කදේ වාඩිවීම කියලයි අපේ ලොකු මාම කියන්නෙ.ගමට බඩු අරගෙන වෙලඳාමෙ එන වෙලෙන්ද වෙලඳ බඩු ගේන්නෙ කදක දාගෙනයි.මේ කදක බඩු ගෙනයාම බොහොම අපූරු දෙයක් කද කියල කියන්නෙ බොහොම සුමටව ගාල මැදල නැවෙනසුලු ලීයක දෙපැත්තෙ එල්ලගත්තු ලෑලි තට්ටුවක් උඩ සමබරව දෙපැත්තෙ බඩු දාගෙනකත් ලීය කර මත සමබරව තියාගෙන ගෙනයාමට.මේසමබර තාවය රැක ගන්න කත්ලීය නැවුම් දෙන තාලෙට අඩිය තියමින් යන්න ඕන.කදක් කරගහගෙන වේගෙන් යන කෙනෙක් දැක්කම පේන්නෙ කද පැද්දෙන කොට මිනිහ ගමන්කෙරෙනව වගෙයි.මේවිදියට පැද්දෙන කද අරංගිය වෙලෙන්ද පස්සෙන් ගිය කොල්ලො කන්ඩායමේ හිටපු මහතුන් අයිය කරේ පැද්දෙමින් ගමන්කරන කදේ පස්සෙබඩු ගොඩ උඩින් පැනල වාඩි උන එකයි.කදේසමබර බව වෙනස්වී වෙලෙන්දා ඇද වැටෙනව.කොල්ලො ටික පැනල දුවනව.පැමිනිල්ල විදුහල්පති කොතලාවල මහත්තයට යනව.මහතුන් අයිය වේවැල් පාර කනව මදී නොකියන්න.

මෙහෙම මැරෑටි වැඩ කරාට ස්කෝලෙ යන කාලෙ ඉඳන් බොරලුගොඩ පරන ගෙමිදුලේ තිබුන සිංහල උලු වැද්දාකන්දට ඇදල මහතුන් අයිය තනියම ආච්චිට ගෙවල් පොඩ්ඩක් හදනව.නවරියන් යටලී තියල වරිච්චි බිත්ති බැඳල මහතුන් අයියතනියම ආච්චිට හදපු ගෙයි තමයි අපිට තේරෙන වයසෙ ආච්චි හිටියෙ.ආච්චිත් බොහොම ලොකු ආඩම්බරේකින් තමයි කියන්නෙ “මේ මට අපේ පල්ලෙ කුඹුරෙ මුනුපුරා හදාදීපු ගේපොඩ්ඩ” කියල.මහතුන් අයිය කරපු අනිත් හපන්කම තමයිඅපේ ගේලඟ මැදදොලයි හීන් දොලයි එකතු කරල ගොඩැල්ලෙ ගහ ලඟින් ඒදන්ඩක් තනියම දැමීම.අද බැලුවත් අඩිතිහක් විතර උසින් අඩි පනහක් විතර දිගට ඒදන්ඩක් එතැනට දැමීම අමාරු වැඩක්.ඒත් ඒඅමාරු වැඩේ මහතුන් අයිය තනියම කරා.ස්කෝලෙට සමුදුන්න මහතුන් අයිය පල්ලෙ කුඹුරට ගිහින් ගෙදරට වෙලා නිකම් හිටියෙ නෑ.එදා කිරිමැටිවලත් පල්ලෙ කුඹුරත් අතර තිබුන ඝන වනන්තරේ හේන් කොටන්න පටන් ගන්නවා.මේ ඝන වනන්තරේ මැද්දෙ ලොකු දෙනියක්තිබුනු තැනක මහතුන් අයිය තනියම හේනක් කරනවා.මේහේන ඉවරවෙන කොට ඒකෙ හදපු වාඩියෙ ඉඳගෙන අපේතාත්ත නැත් නම් මහතුන් අයියගෙ ලොකු මාම එක්ක දෙනිය අස්වද්දන්න පටන් ගන්නවාමෙතනදි අපේතාත්ත කොටසකුත් අනිත් කොටස මහතුන් අයියත් මේවිශාල දෙනිය අස්වද්දනවා.මේවිශාල දෙනිය මැද තිබුනු ගොඩැල්ලෙ තමයි වාඩියතිබුනෙ.අවුරුදු පහක විතර වයසෙ හිටපු මම තාත්තත් එක්ක මහතුන් අයියගෙ වාඩියට ගිහින් තියෙන්නෙ ඔය කාලෙදියි.මට අවුරුදු හතක් විතරවෙනකම් අපේ තාත්ත ඔය කුඹුරවැඩකලා ඊටපස්සෙ එක කන්නෙක කුඹුර වපුරන්න ගියවෙලේ ඇතිවුනපුංචි සිද්දියකින් මහතුන් අයියයි තාත්තයි අතර පොඩි අර්බුදයක් ඇතිවෙලා තාත්ත කුඹුර දමල ඉවත් වෙනවා.ඒතමයි මමත් මහතුන් අයියගෙ දික් හේනට ගිය අන්තිම සැරේ.තාත්තයි මහතුන් අයියයි දුරස් උනාට අපිත් එක්ක වෙනසක් උනේ නෑකොහෙදි හම්බු උනත් මහතුන් අයිය මල්ලියේ කියල කතා කරනවා.ආච්චි ජීවත්ව ඉන්නකාලෙ ආච්චි බලන්න එනවා.අපේ ගෙදරටත් ඉඳහිට ගමේ ආවහම එනවා.ඒඅතර කාලෙ අරදෙනියයි හේනයි ඒඅවට ප්‍රදේශයයි මහතුන් අයිය මහාවගාබිමක් බවට පත් කරනව.රබර් කුරුඳු වී ආදී බෝගවවල ලොකු ප්‍රදේශයක් වගාබිමක් බවට පත් කරන මහතුන් අයිය විවාහවෙලා දරු මල්ලො ලබනවා.1980විතර දික් හේනව්‍යාපාරෙ ගොඩනැගෙන්නෙ මහතුන් අයියගෙ ජයභූමියවටේ.විවිධ පලාත්වල අය ඇවිත් අවට තේවවන්න පටන් ගත්තත් මහතුන් අයිය තේවගාවට හැරුනෙ නෑ රබර් කුරුඳු පොල් වී වගේ දේවල් වවමින් දික් හේනෙ තම භූමියෙ අනසක පතුරුවාගෙන මහතුන් අයියජීවත් උනා.මහවිශාල කුඹුර තනියම වගාකරපු මහතුන් අයිය ඇගේ අමාරුව යන්න ලොකු කසාය මුට්ටියක් තම්බගෙන බොන එක පුරුද්දක් හැටියට කලා.මේ මුට්ටිය බැබිල පොල්පලා වෙනිවැල් ගැට ඉරමුසු ආදී දේවල් දාල ඇලුමිනියම් මුට්ටියෙ තම්බල උදේ හවස පානයකලා.කිතුල් මැදල රා ටිකක්බොන එකත් කලා.ශරීරය බොහෝ වෙහෙසා වැඩ කල මහතුන් අයිය තේවගාවනම් කලේ නෑ.අවුරුදු හතේදි විතර මහතුන් අයියගෙ භූමියට ගියාට පස්සෙ ආයිත් යන්න ලැබුනෙ නැති වුනාට වෙනත් අවස්තාවල අපිව හම්බු උනහම ආ මල්ලියේ කියල බොහොම ලෙන්ගතුව කතාබහ කරල විස්තර අහනව.මම කොලඹට ඇවිල්ල ස්කෝලෙ යනකාලෙ ගමේ දිමහතුන් අයිය හමු වුනහම මල්ලි දැන් කොලඹ ලොකු බාප්පලගෙ ගෙදරලු ඉන්නෙ නේද කියල අහනවා.ඔය ලොකු බාප්පයි මමයිඑකට ස්කෝලෙ ගියේ.කියලත් කියල තියෙනවා.ආයිත් දවසක රතනසාර හාමුදුරුවන්ගෙ ආදාහනේ දවසෙ මාකුඹුර පංසලේදි හම්බු උනා

“කොහොමද අයියෙ දැන් තේවගාව්‍යාපාරෙ කොහොමද?”

“මොනවද මල්ලියෙ ඔය හැම මිනිහම තේගහේ බැන්ද වගේ ඉන්නෙ.මමනම් තේ කියන ජරාව වවන්නෙ නෑ”

.දික් හේන පැත්ත පලාතක තේ නොවවවන කෙනෙක් ඉන්නව කියන එකත් පුදුමයක්නිසා මම ඇහුව

“ඇයි අයියෙ තේවගාව හොඳ නැද්ද ?”

“මොන හොඳක්ද මල්ලියේ තේවවන මිනිහ තේගහ බදාගෙනම ඉන්න ඕනනෙ.කිසිම නිදහසක් නැති ජරාවගාවක්නෙ ඕක.මටනම් කෝටියක් හම්බු උනත් ඔය නිදහසක් නැති වගාවනම් ඕනෙනෑ”

පුංචි කාලෙ ඉඳන් නිදහසේ තමන්ට හිතෙන දේ කරපු මහතුන් අයියව නම්ම ගන්න තේ වගාවට බැරි උනා.රබර් කුරුඳු වගේ බෝග තමන්ගෙ පාලනයෙ තියෙන්නෙ.රබර් ගහ කිරි නොගත්ත කියල ප්‍රශ්නයක් වෙන්නෙ නෑ කුරුඳු ගහත් එහෙමයි.ඒකනිසා මහතුන් අයියගෙ නිදහස රැකෙනව කියල තමයි කිව්වෙ.බොහෝ පැරණි වීවර්ග මහතුනයිය ලඟ තියාගෙන හිටිය.බොහොම ශක්ති සම්පන්නව මහවිශාල වනාන්තර භූමියක් සාරවත් ගොවිපලක් බවට පත්කරල බොහොම නිදහසේ හිටපු මහතුන් අයිය අසනීප උනේ එයාවත් හිතපු නැති විදියට.අසනීපෙ හොයාගන බැලුවම වකුගඩු නරක් වෙල.අක්මාවත් දුර්වලවෙල.එකදිගට පොල්පලාවෙනිවැල් ගැට ඉරමුසු බැබිල වගේ දේ ඇතුලත් කසාය ඇලුමිනියම් මුට්ටියේ තම්බා බීම මීට හේතුව විය හැකියි කියලයිදොස්තර මහත්වරු කියල තියෙන්නෙ.අවුරුදු හැත්තෑතුනක වයසෙදි මේඅසනීපෙන් අපේ මහතුන් අයිය ජීවිතෙන් සමු ගන්නව.

ඉතින් මේ සේරම මතක් වෙලා මලගෙදර යන්න මම තාත්තයි මල්ලියි අපේ මාමයි එක්කකොට්ටාවෙන් පිටත් උනා.මහා ධාරණිපාත වැස්සෙ අධිවේගී පාරෙන් ගිහින් මතුගම පාරෙ යනකොට වැලි මානාන පාර යටවෙලා.අමාරුවෙන් එතැනපහු කරා.බදුරුගල්ලට යනකොට හැඩිගල්ලදොල දෙගොඩතලා ගිහිල්ල බදුරු ගල්ලෙ උකුලක් විතර වතුර ගලලා.එතනින්‍යන්න බැ.සීලදොල හංදියෙන් බොල්ලුන්නට යන්න පාරක් තියෙනව කියල දැනගෙන අනෝරා වැස්සෙ ඒපැත්තෙන් ගිහින්මහා කඳු හරහා දුෂ්කර මාර්ගෙක ගිහින් බොල්ලුන්න හරහා හරක් ගැටගැහු හේනට ගිහින්එතනින් කිරිමැටිවලහරහා ගල්තුන්දොල දික් හේනට ගිහින් මහතුන් අයියගෙ රාජධානියට ගියා.මේ හරියටම අවුරුදු පනස්දෙකකට පස්සෙ.බොහොම නිහඬව උඩුකුරුව වැතිරී සිටි මහතුන් අයියට ගෞරවයදක්වල ටිකවෙලාවක් ගෙදර ගතකලා.අපේතාත්තත් හරියට අවුරුදු පනස්දෙකකට පස්සෙ මහතුන් අයියගෙ ගෙදරට ගොඩවුන එකත් බොහොම වැදගත් සිද්දියක්.හැබැයි ඒගැන වැඩියෙන්ම සතුටුවෙන්න හිටිය කෙනා අපෙන්සමු අරගෙන.ආපහු ගමන ගියාටත් වැඩිය අමාරු උනා.බදුරුගල්ලවත්ත පාරෙන් ඇවිත් මොරපිටියෙන් පැලෑඳ හරහා ලත් පඳුරට එන්නතරම් ගංවතුර අපිට බාධා කරා.සේරම බාධක දිනාගෙන හොරන කොට්ටාව පාරෙ ඇවිල්ල ගදරට කිලෝමීටර් හතරක් ලංවෙන කොට ජම්බුගස්මුල්ල හංදිය ගංවතුරට යටවෙලා. ආයිත් තලගල හංදියෙන්හෝමාගමට ගිහින් ගෙදර ආවා.අවුරුදු පනස් දෙකකට පස්සෙ පුංචි කාලෙ ගිහින් තිබුනු දික් හේන මුල්ම වාසස්තානෙට ආපහු යන්න ලැබීමේ සතුට විඳින්න බැරි උනේ මහතුන් අයියගෙ වියෝවෙ කණගාටුව ඊට වැඩිය වැඩි නිසයි.

12 thoughts on “මහතුන් අයියා

  1. මහතුන් අයියට නිවන් සුව !

    ඔබතුමා කොට්ටාව කිට්ටුව වාසය කරන බව දැනුයි දන්නෙ, කැමති ආපහු ලංකාවට ආපු දවසක හම්බ වෙලා යන්න, මත්තේගොඩ ඉඳන් කොට්ටාවට හූවයි බල්ටි දෙකයි නෙව 😀

    Liked by 1 person

      1. හප්පොච්චියේ එහෙම බැලුවොත් හූව සම්පූර්න කරන්න වෙන්නෙත් නැතිවා. ඉස්සර අපේ අම්මලගෙ පැත්තෙ උදවිය හිටියෙ බ්‍රහ්මණගම, ඒ කියන්නෙ දොලේ කඩේට අල්ලපු හන්දිය. ආයෙත් ආපු දවසක අනිවාර්යෙන් ඔබතුමාව හම්බ වෙන්න එන්නම් 😁

        Liked by 1 person

  2. ආයුර්වේද වය්දය විද්‍යාව ලෝකයට හඳුන්වා දී ඇත්තේ ඉර්ශිවරුන් විසින් බවය් දැනගන්නට ඇත්තේ
    ආයුර්වේද බෙහෙත් සාදා ඇත්තේ ඉර්ශිවරුන් විසින්ලු
    ඉර්ශිවරුන් යනු විවිධ භාවනා ක්‍රම විවිධ වත්පිළිවෙත් ප්‍රගුණකර විවිධ ශක්තීන් ලබාගත් අය
    එයට බෞද්ධයෙක්වීම අවශ්‍ය නැහැ
    ඉසිපතනයට එම නම ලැබී ඇත්තේ ඔවුන් වැඩිවශයෙන් හිමාල අඩවියේ සිට පැමිණ එහි පතනය වූ නිසාලු
    ඔවුන් කසාය ආදිය සකස් කර ඇත්තේ විවිධ ශාකයන්ගේ ඇති ගුණයන් ගැන ඖෂධමය ශක්තීන් ගැන මනා අවබෝදයකින් යුක්තව වියයුතුය්
    ධන්වන්තරී මහා නාරායන ආදී ඔවුන්ගේ නම් තැබූ ආයුර්වේද බෙහෙත් රාශියක් ඇතිබව බොහෝදෙනා දන්නා කරුණක් ආයුර්වේද බෙහෙත්වලින් ශරීරයට අගුණයක් නැතය් දැනගන්නට ඇතත් සාමාන්‍ය අය විසින් කසාය සාදා පරිහරණය කිරීම ගැන එම වය්දය ශාස්ත්‍රය දන්නා කෙනකුගෙන් අසාදැනගතයුතු දෙයක්

    Like

  3. ඇලුමිනියම් විස වෙනබව බොහෝ දෙන විස්වාස කලත් එය්න් වැඩි වශයෙන් ඇතිවිය හැක්කේ මොලය ආශ්‍රිත රෝග බවය් දැනගන්නට ඇත්තේ
    නමුත් එම රෝග සහ ශරීරගතවන ඇලුමිනියම් අතර සම්බන්දයක් ඇතිබව විද්‍යානුකූලව සනාතවී නැහැ
    තක්කාලි බිලින් වැනි ආහාර පිළියෙළ කිරීමට ඇලුමිනියම් භාජන සුදුසු නැහැ

    නමුත් බාල ඇලුමිනියම් සදා ඇති භාජන සම්බන්දව තත්වය ඉතාම වෙනස්
    බාල ඇලුමිනියම් වල ඊයම් අඩංගුව තිබෙනවා ඊයම් ඉතාම විෂ සහිතය්
    ඇල්ලීමෙන් පවා ශරීර ගතවිය හැකිය් පත්තර කොලවල ඇති තීන්ත වලින් පවා ශරීර ගතවිය හැකිය්
    මොලයට ස්නායු වලට වකුගඩු වලට හානි සිදුවනවා එම හානි නැවත හදන්නට බැහැ
    කුඩා ළමුන්ට බිත්තිවල ගා ඇති තීන්ත වලින් සෙල්ලම් බඩුවල ගා ඇති තීන්ත වලින් පවා ශරීර ගතවිය හැකිය්
    එය්න් ඔවුන්ගේ මොලයට ස්නායු වලට වකුගඩු වලට හානි සිදුවනවා එම හානි නැවත හදන්නට බැහැ
    මැටි භාජන තමය් කෑම හදන්නට කසාය තම්බන්නට වැඩියම හොඳ

    Like

  4. මරණය කියන්නේ මොකක්ද මාරයාගේ ණය බවට පත්වෙන එකනෙ
    මාරය පස් ආකාරය්ලුනෙ 1 දේවපුත්ත මාර 2 මච්චු මාර 3 ක්ලේශ මාර 4 ඛණ්ධ මාර 5 අභිසංචා මාර යනුවෙන්
    මේ ලෝකෙ ඉන්න හැමෝම මාර බලයට යටත්
    එතකොට බුදු පසේබුදු මහ රහතන්වහන්සේලා
    ඒ අය මේ ලෝකෙට අයිති අය නොවෙය්නෙ ඒ අය ලෝකයෙන් එතෙර වුන අය ඒ අය මාරයට යටත් නැහැ මාරයට ණය නැහැ මරණයට පත්වීමක් නැහැ විද්‍යා උදපාදී ප්‍රඥා උදපාදී අලෝකෝ උදපාදී කියලනෙ තියෙන්නෙ
    ඉතින් ඔය මාර බලය හුගක් බලවත්ද
    දුසී මාරයා කොලුවෙකුට ආවේස වෙලා ගලකින් ගස්සවල විදුර මහ රහතන්වහන්සේගේ හිස පලවල තියනව
    මුගලන් මහ රහතන්වහන්සේගේ බඩට රිංගල කරදර කරල තියනව
    වස් වසන්න ආරාධනා කරපු වේරන්ච බමුණට ඒ බව අමතක කරවල බුදුරජාණන්වහන්සේ ඇතුළු මහා සංඝයාවහන්සේලාට වස් තුන්මාසය පුරාවට අශ්වයන්ට දෙන යව හාල් බත් කන්න සලස්වල තියනව
    ඕවගේ හුඟක් තියනව
    ඉතින් මාර බලය ගැන ටිකක් තේරෙනව ඇතිනෙ
    ඉතින් මරයාගේ ප්‍රදාන කාර්යය මොකක්ද මරයාගේ ප්‍රදාන කාර්යය තමය් සියලු හොඳ වැඩට සියලු කුසලයන්ට බාධා කිරීම දිගින් දිගට සසර ගමන් කරවන එක
    හරි ඉතින් මාරය කොහොමද සිල්වත් හාමුදුරුවන් වහන්සේ නමකට කරදර කරන්නෙ උන්වහන්සේව ගරු සැලකිලි වලට ආශා කරවනව සාස්තර කියන්න වෙදකම් කරන්න දේශපාලනයට යොමු කරවනව බැරිම උනොත් පන්සලට හොරට යනඑන ගෑණියෙක් හරි සෙට් කරනවා මිනිස්සුන්ටත් ඒ වගේ තමය් ඉතින්
    ඉතින් මේ මුළු ලෝකෙම මාරයට අය්තිද මාර බලයට යටත්ද ඔව් එක දෙයක් හැර මේ මුළු ලෝකයම අය්ති මාරයට මොකක්ද මාරයට අය්ති නැති දෙය නිර්වාණය පමනය් මාරයට අය්ති නැති මාරයට යටත් නැති එකම දෙය
    ඉතින් නිවන් සැප ලැබේවා කියල ප්‍රර්ථනා කරහම හරිනේද
    නැහැ
    බුද්ධ ධර්මයේ වැඳුම් පිදුම් යැදුම් පැතුම් නැහැ

    Like

  5. අපේ කාලෙ ග0වල මහතුන්ලා දෙතුන් දෙනෙක්වත් හිටිය.. අපි තමයි අවසාන මහතුන්වරු.. අපේ අයියා ලොකු මහතුන් මම පොඩි මහතුන්..අප අතරින් වියෝ වූ ඒ මහතුන් තුමාට නිවන් සුව වේවා..

    Like

  6. මහතුන් අයියා ගැන කියව්වාම මට මතක්වුනේ කේ ජයතිලක සුරින්ගේ චරිත තුනක් කතා පොතේ ඉසා. ඔහුත් ඒවාගේ වෙන්න ඇති. මහතුන් අයියාට නිවන් සුව පතනවා.

    Like

    1. මහතුන් අයියලටම වෙන්කරපු වැසිකිලියක් දැක්කා ගොවොකටයුතු පර්‍යේෂණ හාපුහුනු ආයතනෙදි.ඒකෙ තිබුනෙ බෝඩ් එක මහතුන්ගේ වැසිකිලිය කියලයි.අන්න බලන්න මහතුන්ලට කොහෙත් සලකනවා.

      Like

  7. මහතුං ආත කිව්වත් වගේ තේ ගහ කියන්නෙ ගොං බඳින කනුවක්ම තමයි. දැං සබර වගාවත් වගතුවක් නෑ.

    සෑහෙන කලක් කසාය බීම වකුබඩු දෙකට බොහොම අගුනයි කියල සිංහල වෙද මහත්තෙක්ම කිව්වා.

    මියගිය මහතුන් ආතා සුගතියක උපදීවා.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s