දහ අට සන්නිය.

“ඔය ඕන නැති ඒවට ආවොත් දහ අට සන්නිය නටලයි නවතින්නෙ ආයි නොකිව්වයි කියන්න එපා”මේ අපේ ගම්පැත්තෙ වැඩිහිටියෙකුට කේන්ති ගියහම කියන කියමනක්. කතාවට ඔහොම කිව්වට අද කතාකරන්න හදන දහඅටසන්නිය කියන එක නම් කේන්ති ගිහින් නටන්න පුලුවන් එකක් නෙවෙයි.

දහ අට සන්නිය නටන්නෙ ගෙදරක ලෙඩෙක් ඉන්න කොට සෙත් ශාන්තියක් විදියටයි. මේ ශාන්ති කර්මය අපේ ගම් පලාත්වල අපි පුංචි එවුන් කාලෙ සුලභව සිද්ද කෙරුනු එකක්. මේ ශාන්ති කර්මෙ කලේ සන්නි රෝගවලට. කෙනෙකුට බේත් හේත් කරත් හරිහැටි සනීපයක් නැතුව අසනීපෙ අල්ලල හිටිනවනම් ඉතින් සන්නිය යකුමක් නටන්න වෙනවා. එහෙම නැත්නම් සාස්තරේට කියනවා සන්නි යකුම් ශාන්ති කර්මයක් කිරීමට. මේ සන්නි යකුමෙදි ප්‍රධාන තැන ගන්න සන්නි යක්කු අපේ රටේ අය නෙවෙයි. අනිත් බොහෝ යක්කු වගේම සන්නි යක්කු ඉන්දියාවෙ කට්ටිය. ලිච්ජවි පරම්පරාවෙ සංඛපාල රජ්ජුරුවන්ගේ බිසව වූ අසූපාල කුමාරිකාවට දාව උපන් බවයි කියවෙන්නෙ. සන්නි යක්කු දහාටදෙනෙක් ගැන කියවෙනවා. ඉන් ප්‍රධාන යකා මහා කෝලසන්නි යක්ෂයා නැත්නම් රාජමුලු සන්නි යකා නමිනුයි හැඳින්වෙන්නෙ. මේ කියන සන්නි යකුන්ගේ බල පෑමෙන් හට ගන්නා රෝගාබාධ වලදී සන්නි යකුමක් නැත්නම් දහ අට සන්නියක් නැටීමයි අපේ වගේ ගම්වල එදා සිරිත උනේ.

සන්නි යකුන්ගේ උපත ගැන කියවෙන්නේ සංඛපාල නම්වූ ලිච්චවි රජ්ජුරුවන්ටදුරුරටක යුධයකට යාමට සිදුවීමත් ඒවනවිට ඔහුගේ බිසවවූ අසූපාල කුමාරිටදරු ගැබක් පිලිසිඳී තිබීමත් මුල් කරගත්තු කතාවකින්.රජ බිසවට මීඅඹ කෑමේ දොලදුකක් හටගෙන මී අඹවලඳමින් සිටියදී පැමිනෙන ගැබ්බර සේවිකාවක් තමාටත් මීඅඹ දෙනලෙස ඉල්ලා සිටියත්‍ රජබිසව එම ඉල්ලීම ඉටු කරන්නේ නෑ.මෙයින් බිසව සමග අමනාපවෙන මෙහෙකාරිය ආපසු පැමිනිරජ්ජුරුවන්ට බිසව මහ ඇමති එක්ක සම්බන්ධවී දරු ගැබක් හටගෙන ඇතැයි බොරුවක් කියනව.මෙයින් කිපෙන රජ්ජුරුවො බිසව අල්ලල දෙපලු කරලගහක එල්ලනවා.මේදෙපලු කරපු බිසවගෙ ශරීරය දරුගැබේ හිටපු දරුවගෙ බලය එකතුවෙලා දරුගැබ මෝරනවා.මේ දරුවා බිහිවෙන්නෙ ඒ ශරීරෙන් බලගතු යක්ෂයෙකුහැටියටයි.මේ යක්ෂයා ආහාරයට ගන්නෙ මවගෙ ශරීරය .මේයක්ශයා වනන්තරේ සැරිසරලාවිෂවර්ග දහ අටක් හොයාගෙන ගුලි හදනවා.මේගුලිවලට ශක්‍රයා මීයුෂ එකතු කිරීම නිසා ඒවා යක්ශයින් දහ අටක් බවට පත් වෙනවා.මේයකුන් දහ අට දෙනා රාජමුලු සන්නි යක්ෂයාගේ පිරිවර හැටියට තියාගන්නවා.පසුව මේ යක්ෂ පිරිස විශාලා මහානුවරට ඇවිත් මව් මැරූ පලිය ගන්න මුලු නුවරම විනාශ කරන්න පටන් ගත්තෙ ලෙඩ රෝගහදමින්.බුදු හාමුදුරුවෝ වැඩම කරල විශාලා මහානුවර තුන්බිය රතන සූත්‍රය දේශනාකරල නැති කරනව.එදා මේයකුන්ට බලි බිලි දීමක් වූබවටත් විශ්වාස කරනවා..එදාඉදන් රාජමුලු සන්නි යකා නැත්නම් මහාකෝලසන්නි යකා තම දහ අටපිරිවරසමග රටපුරා යමින් ජාමවෙලාවල මිනිස්සු දිහාබලල ඉඩක් ලැබුනම ලෙඩකරල පුදපූජා භාරදුන්නම අතඇරල යනවා.මේතමයි සන්නි යක් උත්පත්තිය.මේ විදියට සන්නි යකුන්ගේ බැල්මෙන් ඇතිවුන අසනීප සුව කර ගැනීම සඳහා යකුන්ට පුද දීම සඳහා සන්නි යකුම නැත්නම් දහ අට සන්නි ශාන්ති කර්මය කරනවා.දැන් අපේ ගමේ සන්නි යකුමක් කරන්න ඕන නොත් ඒකට ගුරුන්නාන්සෙල ගෙන්න ගන්නෙ බෙන්තර පලාතෙන් .පහතරට ශාන්තිකර්මවල තියෙන ප්‍රධාන සම්ප්‍රදායන් දෙකක් තමයි මාතර හා බෙන්තර සම්ප්‍රදාය දෙක.මෙයින් මාතර සම්ප්‍රදාය ශාස්ත්‍ර්රිය පැත්තට වැඩි නැඹුරුවකුත් බෙන්තර සම්ප්‍රදාය අලංකාරමය පැත්තට වැඩි නැඹුරුවකුත් දක්වනව කියල අපි විශ්ව විද්‍යාලෙ ඉගෙන ගන්න කාලෙකවුරුන් හරි කිව්ව මතකයි.කොහොම උනත් අපිට දකින්න ලැබුනෙ බෙන්තර සම්ප්‍රදායෙ ශාන්ති කර්ම තමයි.බෙන්තර මීගම සරනේලිස් ගුරුන්නාන්සෙ,වැලි පැන්නෙ සයිමන් කට්ටඩි ආත්තවගේ නන්දරාපු ගුරුන්නාන්සෙ කෙනෙක් හමුවෙලා සන්නියකුමට දින වෙන්කර ගන්න ඕන.මේ දිනේ වෙන්කිරිල්ලත් එක්ක තොවිල් තුන්ඩුව දෙනව.මේතුන්ඩුවෙ තියෙන බඩු එකතු කරල ගන්න එක තොවිල්ගෙදර අයගෙ කාරියක්.අපේ ගම ඇතුලෙන් සපය ගන්න බැරි දෙයක් මේ තුන්ඩුවෙ නෑ.කෙසෙල් කොට කෝටු වල්ලපට්ට(මේ කිව්වෙ වල්ල ගස්වලින් ගලවගෙන වේලපු පට්ට)බුරුල්ලකොල පුවක්මල් පොල්මල් විවිධ මල් වර්ග ඇට ඇටි දියගොඩමස්කපුරු හදුන්කූරුදුම්මල පිනිදිය ගොකතු ඔයවගේ නානාප්‍රකාරජාති පොල්,මොහොල් දිවිකදුරු ලී සීරැස් තොලබෝ සහල් මේවත් ඕන වෙනවා.මේසේරම හෙවිල්ල තොවිල් ගෙදරවටේ ඉන්න කොල්ලන්ට පැවරෙනවා.කෝටු,පට්ට වගේ ඒවකලින්ම හොයාගන්නවා.ගමේ පැහුනු එසෙල් කැනෙකතුකරනවා.මේව එකතු කරනකොට තොවිලෙ පිලිබඳ ආරංචිය ගමපුරාම යනවා.තොවිලෙට දවස්තුනහතරකට ඉස්සෙල්ල මඩු හැදිල්ල කරනවා.පුවක් ගස්කපාගෙන ඇවිල්ල ගෙදරමිදුලෙ ලොකු මඩුවක් හදල පොලතු හෝ පුවක් අතු හෙවිල්ලලා මඩුව වටේ වතුර ඇතුලට නොඑන්න කානුවක් බේරලා වැඩේ අහවර කරන්නෙ වටාපිටාවෙ මිනිස්සු එකතු වෙලයි.තොවිල් ගෙදරට දවස් හතර පහකට කලින් ඉඳල ගෙදරට ගෑනු පිරිමි ලමා ලපටි රාශියක් එකතු වෙනවා ගැනු උදවිය වීකෙටීම පිටිකෙටීම දර ගෙනඒම කැවිලි පෙවිලි වර්ග සැදීමගේඅස්පරස් කිරීම ආදී වැඩකටයුතු කරද්දි පිරිමි උදවිය මඩු හැදීම,වටේපිටේවත්තශුධකිරීම පොල්කැඩීම පොල්ලෙලිගැසීම,කෙසෙල්කැන් වලදැමීම දුම්මලඇඹරීම වගේ බරසාර වැඩ ටික කරනවා.පොඩි එවුන් ලොකු උන්කියන කතන්දර අසාසිටීම, බුලත් හෙප්පුව එකඑකා ලඟට ගෙනිහින්දීම ,බොන්නවතුරවීදුරුවක් ගෙනත් දීම හදිසි පුංචි දේවල් කඩෙන්ගෙනඒම,පනිවුඩ ගෙනයාම,කැවුම් කොකිස් හදන කුස්සියට දරකෝටු හොයාදීම, ගෑනුන්ගෙ ඕපදූපවලට කන්දීම, සෙල්ලම් කිරීම ,වාගෙ බරපතල රාජකාරි ටිකක් භාරව කටයුතු කරනව.තොවිලෙට දවසකට කලින්මහ ගුරුන්නාන්සෙ ගෝලයො දෙතුන් දෙනෙකුයි තොවිල් ගෙදරට එන්නෙ ලොකු බෑග් උස්සගෙන.මේ අය ඇවිල්ල තොවිලෙ මූලික කටයුතු සූදානම් කරනවා.කෝටුටික අරගෙන මඩුවෙ කොනක සන්නි වීදිය සෑදීමත් අවශ්‍යකරන අනිකුත් පිදේනිතටු ,මල්‍ යහන් ,ආදීදේසකස්කිරීමත් මේ මූලික වැඩවල කොටසක් ඊලඟට තොවිලෙට ඕනකරන පිරුවට පන්දම් විලක්කු සැපයීම හේනෙ මාමලට පැවරෙන කාරියක්..තොවිල්දවසෙ උදේ අනිත් ගුරුන්නාන්සෙල බෙරගහන ගුරුන්නාන්සෙලත් එන්නෙ.බෑග් බෙර ගෙඩි අරගෙනයි.සන්නිවීදිය සැරසීම මල්‍ යහන් සැරසීම තටු සැරසීම ආදීදේවල් කරන්නෙ කෙසෙල් පතුරු ගොක්කොල පුවක් අතු බුරුල්ල අතු පාවිච්චි කරමිනුයි.මේ කටයුතුවලට ගමේ ඉන්න අයත් අත් උදව් දෙනවා.ගුරුන්නාන්සෙල වෙනත් පලාත්වල තොවිල්වලදි දරුණු යක්ෂාවේශයන් සනීපකරපු හැටි හොල්මන් අවතාර ගුරුකම්වලින් මර්දනය කරපු හැටි කතාකර කර තමයි මේවැඩ කරන්නෙ.මේව අහගෙන ඉන්න පොඩි උන්ට විතරක් නෙවෙයි මහ උන්ටත් ඉතින් ගුරුන්නාන්සෙ ල මහ වීරයො වෙනව.ඒ කතාබහ අස්සෙ අර මඩුවෙ කොනක සන්නිවීදිය හැදිල ඉවරයි .සන්නිවීදියෙ උඩ පුවක අතු බුරුල්ල අතුවලින් සරසල කැලෑවක් වගෙයි.සන්නිවීදිය කෙසෙල් පතුරුවලින් අලංකාර කරල තොරන් හතක් ඉස්සරහට පේන විදියට.ඒ එක්කම වීදිය ඉදිරියේ කැරකෙන්න සන්නිකූඩුව කියල එකක් හදල.පැත්තක දෙවියන්වෙනුවෙන් මල්‍ යහනක් හදල.පිදේනි තටු ගණනාවක් හදල ඒව ගොක්කොල කෙසෙල් පතුරු වලින් සරසල සන්නි යකුමට ඕනෑකරන සැරසීලි ටික හදල ඉවරයි.මේවිවීධ පිදේනි තටු අතර කෝටු හතර හරි මැදදි එකතුකරල තැඹිලි ගෙඩියක් ඒක උඩතියන්න පුලුවන්විදිහෙ අමුතු පිදේනි තටුවක් හදලතියෙන්නෙ මල පෙරේතයින්ටයි.මේසේරම අහවර කරල ගඟෙන් නාගෙන ගුරුන්නාන්සෙල හවස තේපැන්සංග්‍රහය භුක්ති විඳින්නෙත් තමන්ගෙ හපන්කම් කියකියයි.මේගුරුන්නාන්සෙල අතර හත්තක අන්තෝනි,වැලිපැන්නෙ පියදාස ජයනෙත්ති ප්‍රේමදාස ජයනෙත්ති,ඒඩින් වීරසිංහ,දානියෙල් ගුරුන්නාන්සෙ,පොඩි මහත්තයා,වගේ නැට්ටුවොත් කඹුරාවල දාවිත් ,මහතුන් ,මාටින් ,ටිපොස්,කියන සුප්‍රකට බෙරවාදන ශිල්පීන් තව බෙන්තර ගඟබඩ සුප්‍රකට තාල වාදන නර්තන ශිල්පීන් ඉන්නවා.හත්තක අන්තෝනි ගුරුන්නාන්සෙ ඉතින් සන්නි නැටුමට බොහොම හපන් කෙනෙක්.කලු උස ශරීරයක් තිබ්බ අන්තෝනි ගුරුන්නාන්සෙට බොහොම ගැඹුරු කට හඬක් තිබුනා.

සවස හත වෙනකොට රාත්‍රි භෝජනය නිමවා තොවිලය ආරම්භ කරනවා. මුලින්ම කරන්නෙ ආතුරයව පැදුරෙන් වාඩිකරව ගන්න එක. ඒකට ප්‍රධානගුරුන්නාන්සෙ මහා හෑල්ලක් කියවනවා ඒක මට මතකේ හරියට නැතත් කියවෙන්නෙ තුනුරුවන් සිහිකරල දෙවියන්ගේ දේවාරක්ෂාවෙන් අදදින මේකරන යාගසෝම ශාන්තියෙන් තමන්ට වැලඳී තියෙන අට අනූවක් රෝග නව අනූවක් ව්‍යාධි දෙසියතුනක් අතුරු අන්තරාවල් හිරු දුටු අඳුරු මෙන් දූරින්භූතවේවායි හිතාගෙන පැදුරෙ වාඩිවෙන්න කියන එකයි.මේ වෙන කොට බෙරකාර ගුරුන්නාන්සෙල බෙර වලට තට්ටු කරමින් බෙර පදම් කරනවා.තොවිල්පොලට ආලෝකය සපයන්නෙ පැට්‍රෝ මැක්ස් ලාම්පු හත අටකින්.ඒවා ගමේ හැමගෙදරකින්ම එකතු කරපුවා.මේ ලාම්පු භාරව ඒගැන දන්න කෙනෙක් ඉන්නවා.එයා ඒවට හුලංගැසීම පින් එක ගැසීම තෙල් දැම්ම දැල්වීම එහෙම කරනවා.ඒක තොවිල් ගෙදර වැදගත් කාරියක්.ඉතින් ආතුරයව පැදුරෙ වාඩිකිරීමත් එක්කම මල් ආසනයෙ පහන් දැල්වීමත් කරවනවා.තුනුරුවන් ප්‍රධානවවිෂ්ණු ,කතරගම නාථ ,පත්තිනි යන දෙවිවරුන්ට සතරවරම් දෙවියන්ට පහන් දල්වා මලස්නට ආරාධනාකරල කෝල්මුර කවි මල් යහන් කවි කියා නැටුමෙන්ද දෙවියන් පුදනවා.මේ විදියට තුනු රුවන් මුල්ව දෙවිවරුන්වෙනුවෙන් කටයුතු අවසන්කර යකුන්වෙනුවෙන් දිෂ්ඨි මන්ත්‍ර කියා අඬ ගැසීම කරනවා.මේ දිෂ්ඨි මන්ත්‍ර කියන්නේ සියලුම පිදේනි තටු ආතුරයා ඉදිරියේ තබා කඩතුරාවකින් ආවරණයකර කුකුලා පිදේනි තටු අසල තබා දුම්මල දුම් අල්ලමිනුයි.මේවෙලාවේදී බෙර කාරගුරුන් නාන්සේලා” ගුන්ද ගත්ත ගතිත ගුන්ද ගුන්ද ගත්ත ගතිත ගුන්ද “තාලෙට එකසීරුවට බෙරවාදනය කිරීමත් වමතින් ගත් පන්දමත් සුරතේ දුම්මල අහුරකුත් තබාගෙන එහාට මෙහාට බෙර තාලෙට පැද්දෙමින් වරින්වර නලාවක් පිඹිමින් ගුරුන්නාන්සේ ශබ්දනගා කියන දිෂ්ඨි මන්ත්‍ර ශබ්දයත් එක්ක එකතුවී දුම්මල දුම්වලා මැදින් දකින මේදර්ශනයත් කෙනෙකු තුල අද් භූත හැගීම් ඇති කරවනවා.මෙතන කියවෙන මංත්‍ර වලට පෙරාතුව මහාමේරුව අටකොනේ සිටින්නේයැයි විශ්වාස කරන යක්ශයින් පිලිබඳ විතර වර්ණනා සැහැලිද කියවනවා.මේ සැහැල්ලක කොටසක් මෙසේයි

“තවදභූතනම් දෙකෙළක් යක්ෂයෝය.අභූත නම් දස කෙළක් යක්ෂයෝය.පිසාචනම් නවකෙළක් යක්ෂයෝය.මුනෙය්යනම් සත් කෙළක් යක්ෂයෝය.අරෝච නම්භූත යක්ෂ සෙනවියාය.සුචිරෝම නම් අභූත යක්ෂ සෙනවියාය මුනෙය්ය නම් අපස්මාර යක්ෂ සෙනවියාය.යනමේ සියල්ලන්ට අධිපති වන්නාවූ වෛශ්‍රවනදිව්‍ය රාජෝත්තමයානන්වහන්සේ සත්කෝටි සයානූ සත් බිම්බරක් යක්ෂ සේනාව පිරිවරාගෙන මහමෙර උතුරුදිග් භාගයෙහි වැඩවාසස්ථානය කරන්නේය.නොහොත් මේ යක්ෂ සේනාව අටකොන සොලොස් කොන වරම්ගෙන වාසභවනය කරන්නේය.”…….

දිෂ්ඨි මන්ත්‍ර අවසන්වී කඩතිර හැරීමේ කවි ගායනා කොට ඉන්පසු හැන්දෑ සමයම නම්වූ කොටස ආරම්භ කරනවා.හැන්දෑ සමයම ආරම්භ කරන්නේ ආතුර යාගේ දෙපයට තොලබෝ සීරැස් පොල් මොහොල් ඇල්සහල් දිවිහිස් දෙහි ආදී දේ තැබීමේ කොටසින්.මේකොටසේ ගායනා නර්තනවලින් අලංකාරයි.ඊලඟට පන්දම් නැටීම නම් කොටස සඳහා යහන් දැක්මක් නටා දෙවියන්ගෙන් අවසරගෙන පන්දම් පද නැටීම කරනු ලබයි.පන්දම් පද හත නැටීමට පෙර ගුරුන්නාන්සේ කෙනෙක් පන්දම අතට ගෙන බෙරකාර ගුරුන්නාන්සේසමග සංවාදයක් මගින් හැන්දෑසමයම නැටීම ගැන විතරයක් කරනවා.ඒඅවසානයේ පන්දම් පද හත නටා ආතුර අඩව්ව අල්ලා සව්දම් සුරල් පද සභාවේ ප්‍රභූන් වෙනුවෙන් නටා තෑගි බෝගත් ගෙන හැන්දෑ සමයම නිමා කරනවා.මේවෙලාවේ මහ තේවතුර නමින් හඳුන්වන ප්‍රධාන තේපැන් සංග්‍රහය ගුරුන්නාන්සේලාටත් නරඹන්නන්ටත් දෙනවා.එයත් අවසන්වී බෙන්තර සම්ප්‍රදායේ විෂේශයක් වූ හැන්දෑ සමයමේ පුදගන්නා යකුන්ගේ පැමිනීම නිරූපණය කරනවා.කලු යකා නිරූපණය කිරීමට නැටුම් ශිල්පියෙක් වෙස්මුහුණ පැලඳ නියමිත වස්ත්‍රාභරණයෙන් සභාවට කැඳවා බෙර ගුරුන්නාන්සේත් සමග සංවාදයක් කරනවා.මේ සංවාදය බොහෝ හාස්‍ය රසය ගෙන එන්නක්.දෙපිට කැපෙන පිලිතුරු හාස්‍ය නංවන කොටස් ඇතුලත් සංවාදය අවසානයේ තමන් “කලුකන්දදේසේ කලු කූට පරුවතේ කලු මාඉලුක් පඳුරේමුදුන්මල් රේණුවේ රන් කොතලේ කිරිකොතලේ රුදුරු විමානේ වැඩවාසස්ථානය කරන්නාවූ විජය රජ්ජුරුවන්ට ජාතකව කරඬුබානා බිසවගේ කුසෙන් උපන්මහබාගේ දෙවොල් බාගේ කෙලි පිදේනි ගැනීමට වරම් ගත්තාවූ සිද්ද කලු යක් දේවතාවන් “යැයි හඳුන්ව දී තමුන්ගෙන් පැමිනි ලෙඩදුක් නිවාරණය සඳහා පිදේනියක් භාරගෙන නර්තනයකින් සභාවෙන් පිටත සන්නි වීදිය තුලට කලු යක්ෂයා පිටව යනවා.ඉන්පසුව රීරි යකා ද මෙලෙසම පැමින හාස්‍ය ජනක සංවාදයකයෙදී තමන්”සෞරාෂ්ටදේශයේ ලේරීරි විලේ උපන් රීරි යක්ෂයා “බවකියා පිදේනිය රැගෙන ලෙඩ සුවකරන බව පොරොන්දුවී නික්ම යනවා .ඉන් අනතුරුව සූනියම් යක්ෂනී තරුනියක් ලෙසද ගැබිනියක් ලෙසද දරුවෙකු සහිත මවක් ලෙසද අවස්තාතුනක් නිරූපනයක් කර පැමින හාස්‍යජනක සංවාදකර පිදෙනි රැගෙන යනවා අවසානයේ අබිමාන යකා ද පැමින එලෙසම පිදේනි ගන්නවා.මේ කොටස අවසන් වීඅවමංගල්ලේ දැපවිල්ල කරනවා.මෙහිදී ආතුරයාවෙනුවෙන් ඇදුරෙක් පැදුරේ දපා මරු යක්ෂයාසේ පැමිනෙන යක් නිරූපණයකට බිල්ලක් සේ ලබාදෙනවා.මේ කොටස භයානක රසය උපදවන්නක්.

මේසියල්ල නිමවීමෙන් පසුවසන්නි යකුමේ තවත් දර්ශනීය නර්තන කොටසක් වන ලිච්චවි නැටුම නැත්නම් කුමාර පෙලපාලිය රඟ දක්වනවා.ලිච්චවි උපත ඇතුලත කවි ගායනා කරමින් නටන මෙයින් පසුව පාලි රඟදැක්වීම කරනවා.මෙහිදී පාලි දොලහක් එනම් පන්දම් පාලිය ,කඩු පාලිය,දූප පාලිය කෙන්ඩි පාලිය තැඹිලිපාලිය,කලස් පාලිය ,මුගුරු පාලිය,දුනු පාලිය,කුකුලු පාලිය,මාලු පාලිය,දලුමුර පාලියහා සලු පාලිය රඟ දැක්විය යුතු උනත් කාලවේලාව පිලිබඳ ගැටලු නිසාදෝ පාලි කිහිපයක් පමනක් රඟ දක්වා භූතසන්නිය කැදවා නටා පාලි නැටීම අවසන් කරනු ලබයි.අනතුරුව දෙකොන විලක්කුව නම්වූ මහසොහොන් සමයම නම් භයානක නර්තනයක් සිදු කෙරේ.මෙහිදී ගෙයපුරා දුම්මල ගසන දෙකොන විලක්කුව පැලඳ මහසොහොන් යක්ෂයාසේ වෙස්ගත් ඇදුරෙක් අවසානයේ එලියේමංසලක හෝ සොහොනක යේ ඉදිකර ඇති පුරාලයට ගොස් නැටුම අවසන් කරනු ලබයි.මෙයින් පසුව මරු සන්නියෙන් ආරම්භ ව සන්නි දැක්වීම කෙරේ.මරු සන්නිය,ජල සන්නිය,වාතසන්නිය,සෙලෙස්මා සන්නිය,බිහිරි සන්නිය ,වෙඩි සන්නිය,බූත සන්නිය ,ගොලු සන්නිය,පිත් සන්නිය ,නාග සන්නිය,කණ සන්නිය කොර සන්නිය,ගුල්ම සන්නියදෙමල සන්නිය,අමුක්කු සන්නිය පිස්සු සන්නිය,දේව සන්නිය කෝල සන්නිය යන සන්නි වලින් කීපයක් නැටීම සිදු කෙරෙනවා.එලිය වැටීමට පෙර මහා කෝලසන්නි යක්ෂයාගේ පැමිනීම නොහොත් කෝල සන්නිය නැටීමට අවශ්‍ය නිසා කාලවේලාවේ හැටියට සන්නි හයහතක් රඟ දැක්වෙනවා.කෝල සන්නියෙන් නිරූපණය වෙන්නේ සන්නි යකුන් අතර ප්‍රධාන රාජමුලු සන්නි යක්ෂයයි.ඔහුගේ පැමිනීමේදී කඩවතක් සේ හැගවෙන පරිදි දෙදෙනෙකු මෝල්ගස් දෙකක් රැගෙන මග හරස් කර සිටිනවා.මෙතන පසු කිරීම සඳහා කඩවතේ සිටින අයට කැවුම් කෙසෙල්ගෙඩි ආදිය ලබාදී පොලඹවා ගැනීමට උත්සාහ කිරීම බොහෝ හාස්‍ය ජනකයි.මේ කිසිවකින් කඩවත පසු කිරීමට බැරි වූපසු බුදුන් ගෙන්ලබාගත් සන්නස් පත්‍රය පෙන්වා කඩවත පසු කරන බව පෙන්වනවා.අවසානයේ සන්නි යකුන්ගෙන් පැමිනි සියලු දෝශ නිවාරනය සඳහා පුදලබා කෝලසන්නිය නික්ම යනවා.අවසානයේ දෙවියන්ට පිංදී සන්නි යකුම නිමා කරනවා.

මේවිදියට තුන්‍ යම් රාත්‍රිය මුලුල්ලේ පැවති සන්නි යකුම නිමාවෙන්නේ ගම්වාසීන් සියලු දෙනාට විනෝදයත් රෝගප්‍රාප්ත ආතුරයාට මානසික තෘප්තිය හා සැනසිල්ලත් ඇති කරමින්.දේශීය සංස්කෘතියේ වටිනා අංගයක් වූ මේ ශාන්ති කර්ම වර්තමානයේ ගම්වල දැක ගැනීම අපහසුයි.වර්තමානයේ මේශාන්ති කර්මවල අංග විවිධ අවස්තාවල වේදිකාවලරඟ දැක්වූවද සම්පූර්න ශාන්ති කර්මයක් නිවසක කෙරෙනවා දැකීම අපහසුවී තිබෙනවා.මේ දේවල් මිත්‍යාවන් ලෙස හඳුන්වමින් ගැරහීමත් නිවැරදි ශිල්පය දන්නා ඇදුරුන් අඩුවීමත් අධික වියදමත් නිසා මේ වටිනා සංස්කෘතිකාංග දක්නට ලැබෙන්නේ නෑ.නමුත් එදා ගැමියන් මේතුලින් සතුට සැනසුම විනෝදය මානසික සහනය ලැබුවා.අපෙන් තුරන්වීයන මේදේවල් රැක ගැනීමට උනන්දුවක් අනාගතයේදීවත් ඇතිවෙයිද?

12 thoughts on “දහ අට සන්නිය.

  1. නියම වැඩක්. ගොඩක් පින් මේක පල කරාට.මං ඔය උඩ තියෙන comment වලට උත්තරයක් කවියකින් කියන්න

    පව් කල දැයක ඉපදීමයි පව ලොකුම
    හෙළ දැය උවමනා නැහැ හෙළයා හටම
    .

    Like

  2. මට හිතෙන්නේ විද්‍යාව නොදියුණු වූ යුගයක ඇති වූ ලෙඩ රෝග සහ නස්පැත්ති වලට හේතුවක් දකින්නට හදා ගත්තු දේවල් තමයි මේ සන්නි නැටුම් සහ තොවිල් පවිල්. අද නම් තනිකරම බඩගොස්තරේ රැක ගැනීම උදෙසා අහිංසක මිනිස්සු රවට්ටන ජාවාරමක් විතරයි.

    මෙවන් දේ තව තවත් සමාජගත් කරන දේට මම එක පැත්තකින් සපුරා විරුද්ධයි, හේතුව මෙවන් දේ ලෙඩාගෙ පවුලේ සැමට ආර්ථිකව සහ මානසිකව සිදුකරන හදිය ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්නාට හපන්. මගේ පියා අසනීප වූ අවස්ථාවේ බෙන්තර ගඟෙන් එහා බේබද්දන් රැලක් පැමිණ කුට්ටුය කඩාගෙන ගිය හැටි අත්දැකීම් සමගයි මම මේ අදහස දැක්වුවේ.

    නමුත් කිසි විදිහකින් විරුද්ද වෙන්න බැරි අනුමත කරන දේ තමයි මෙහි තියන කලාත්මක සහ සංස්කෘතික වටිනාකම, එයට මම ඉහ මුදුනින්ම එකඟයි. නමුත් මේ දේශීය තොවිල් කලාවට සියලු දේට ආයුෂ තව බොහොම කාලයයි. එක්කෝ ඒවා නැත්තටම නැති වී යාවි එහෙමත් නැති නම් හක්ගෙඩි, ෆෙන්ග්ශුයි වගේ මෝස්තරේට යන මිත්‍යාවන් ඒ තැන අර ගනීවි.

    කොහොම උනත් කවදාවත් දහ අට සන්නියක් දැකපු නැති කොළඹ කාක්කෙක් වෙච්චි මම පලවෙනි වතාවට හිතෙන් දහ අට සන්නියක් බැලුව, ඔබට බොහොම ස්තුතියි !

    Liked by 1 person

  3. 1 මේ කරුණු ස්වල්පය ලියන්න හේතුව මේ දහ අට සන්නි ශාන්ති කර්මය තේරුමක් නැති දෙයක් කියන්නම නෙවෙය් මමත් රස විඳපු දෙයකට එහෙම කියනවද පොඩිකාලේ ඉදල යක්කු ගැන මතවාද පිළිගත්ත අයට මේ වගේ වැඩ වලින් යම් සහනයක් ලැබෙන්න පුළුවන් ඒත්මේවා ඉන්දියාවේ යක්කු ලංකාවට ගෙනත් ලංකාවෙ අහිංසක මිනිස්සු රවටමින් බඩ ගොස්තරය රැකගන්න කරන රැවටිල්ලක් බව කියන්නය් අනිත් කාරණය තමය් මේවා බෞද්දයන්ට අය්ති දේවල් නොවෙය් දීග නිකායෙ සාමඤ්ඤඵල සූත්‍රයේ බුදුහාමුදුරුවෝ සියලු ශාන්ති කර්මයන් තිරශ්චීන විද්‍යා නමින් බැහැර කරල තියනව
    1.2 සාමඤ්ඤඵල සූත්‍රය
    යම්සේ ඇතැම් පින්වත් මහණබමුණෝ සැදැහැයෙන් දුන් බොජුන් වළඳා, අංගශාස්ත්‍රය, නිමිත්තශාස්ත්‍රය, උත්පාතලක්ෂණය, ස්වප්නශාස්ත්‍රය, ලක්ෂණශාස්ත්‍රය, මූෂකච්ඡින්නවිද්‍යාව, අග්නිහෝමය, දර්වීහෝමය, තුෂහෝමය, කණහෝමය, තණ්ඩුලහෝමය, සර්පිෂ්හෝමය, තෛලහෝමය, මුඛහෝමය, ලෝහිතහෝමය, අංගවිද්‍යාව, වාස්තුවිද්‍යාව, ක්ෂාත්‍රවිද්‍යාව, ශිවවිද්‍යාව, භූතවිද්‍යාව, භූරිවිද්‍යාව, අහිවිද්‍යාව, විෂවිද්‍යාව, වෘශ්චිකවිද්‍යාව, මූෂකවිද්‍යාව, ශාකුනවිද්‍යාව, වායසවිද්‍යාව, පක්වධ්‍යානය, ශරපරිත්‍රාණය, මෘගපක්ෂය යන මෙකී හෝ මෙබඳු වූ හෝ තීරශ්චීනවිද්‍යායෙන්, මිත්‍යාජීවයෙන් දිවි පවත්වත්ද, ඒ මහණ තෙමේ එයින් වැළැක්කේ වෙයි.

    ලිපියේ තියන කරුණු ටිකක් සලකල බලමු

    2 දෙපලු කරපු මවකගෙ මැරුණ ශරීරයක දරුගැබක් මෝරන්නෙ නැහැ මව මැරිල ටික වෙලාවකින් දරුගැබත් මැරෙනව හැබය් දරුගැබ කල්පිරිලා තිබුන නම් දරුව එලියට අරන් ජීවත්කරවන්න පුළුවන් ඉතින් එහෙමනම් මේ ලිපිය අනුව මුල්ම සිසේරියන් සල්‍යකර්මය කරල තියෙන්නෙ ලිච්චවි පරම්පරාවෙ සංඛපාල රජ්ජුරුවො

    3 දෙවියන් යක්ෂයන් ප්‍රේතයන් ආදීන් මව්කුසයෙන් බිහිවන අය නොවෙය් ඕපපාතිකව උපදින අය එහෙම නොවෙය් කියන අය බවුද්දයෝ නොවෙය් වෙන ආගමක අය

    4 දෙදෙව්ලොවට අදිපති ශක්‍රයා කියන්නෙ යකෙක් හදපු විස ගුලි වලට මීයුෂ එකතු කරල තව යක්කු හදනව වගේ තුට්ටු දෙකේ වැඩ කරන කෙනෙක් නෙමෙය් අනිත් එක තමන්ගේ අකුසල කර්ම අනුව යකෙක් වෙලා ඉපදුනොත් මිසක කාටවත් යකෙක් උපද්දවන්න බැහැ එහෙම නොවෙය් කියන අය බවුද්දයෝ නොවෙය්

    5 අටනාටිය ආදී සුත්‍ර වලට අනුව වෛශ්‍රවන කියන්නෙදිව්‍ය රාජෝත්තමයානන්වහන්සේ කෙනෙක් නොවෙය් යක්ෂ සේනාදිපති කෙනෙක් විතරය් හරි අපි ගනිමු වෛශ්‍රවන කියන්නෙදිව්‍ය රාජෝත්තමයානන්වහන්සේ කෙනෙක්මය් කියලම එතකොට අටනාටිය සුත්‍රයෙ තියනව ඔවුන් සතුන් වාහන කරගනිමින් ගමන් යති මිනිසුන් වාහන කරගනිමින් ගමන් යති කුමාරයන් වාහන කරගනිමින් ගමන් යති කුමාරිකාවන් වාහන කරගනිමින් ගමන් යති ආදී වශයෙන් ඉතින් වෛශ්‍රවන දිව්‍ය රාජෝත්තමයානන්වහන්සේ කෙනෙක් නම් එයාට මොකටද සත්ව වාහන කුමර වාහන කුමරි වාහන යන දේවාලෙක අහසින් යනව මිසක්

    6 ඉස්සර අපේ ගම්වල මිනිස්සු පොඩිකාලේම යක්කු ගැන කියල ලම්ය් බය කර ගන්නව ඉතින් පහුකාලේදී ඒවා විවිධ බයවලට හේතු වෙනව සන්නි නැටුම්වලදි හුගක් වෙලාවට කරන්නෙ අර යක්කුන් වගේ ඇඳගත්තු අය ගෙන්වල ඔවුන්ව හාස්‍යට ලක්කරවල එම බය දුරුකරන එකය් මම මෙහි ආසම කොටස තමය් අර ගුරුන්නසේලා අහන දෙපිට කැපෙන කුණුහරුප ප්‍රශ්න ඒවාට දෙන දෙපිට කැපෙන කුණුහරුප පිලිතුරු ආදී හාස්‍ය නංවන කොටස් ඇතුලත් සංවාදයන් ඒවානම් හරිම අපුරුය්

    7 මෙහි තියන වැදගත්ම දෙය තමයි ගමම සමගිව එකතැනකට එක්රැස්කරවන එක අද මොන විදියකින්වත් ඒක කරන්න බැහැ අද මායිම් තියන නිරවුල් ගම් ඇත්තෙත් නැහැනෙ

    8 ඉතින් අපෙන් තුරන්වීයන දහ අට සන්නිය වගේ මේදේවල් රැකගන්න මොකක්ද කරන්න ඕන මමනම් කියන්නෙ යක්කු ටික මාරුකරලා අදට ගැලපෙන මන්ත්‍රී යකා පොලිස් යකා ග්‍රාමසේවක යකා ඩී ආරෝ යකා අඩවි වන නිලදාරී යකා ආදී අලුත් යක්කු ටිකක් දාගන්න ඕන කියල යක්ෂණියෝ ඕන්නම් ඔය ඕන තරම් ඉන්නෙ දේශපාලනයට ආපු ගෑනු දේශපාලන උදව්වෙන් රැකියාවට ඇවිත් ඉන්න ගෑනු ආදීන්
    ඒ වගේම අපිට ඔය කල්පැනල තියෙන මරු සන්නිය,ජල සන්නිය,වාතසන්නිය,සෙලෙස්මා සන්නිය ආදිය අතහැරලා අදට ගැලපෙන ඩෙස්ක් ටොප් සන්නිය ලැප්ටොප් සන්නිය පේස්බුක් සන්නිය බ්ලොග් සන්නිය ඉන්ටර්නෙට් සන්නිය එස් එම් එස් සන්නිය ආදී අද තියන සන්නි දහඅටක් පහසුවෙන් හදා ගන්න පුලුවන් වැඩ එය් ඉවරයක් නැතුව

    9 කොහොම වෙතත් මේක දහ අට සන්නිය ගැන ඔක්කොම වාගේ කරුණු ඇතුලත් කරල සාරාංශ වශයෙන් හොඳට ගලපල ලියල තියනව තව විස්තරාත්මකව කරුණු පැහැදිලිකරලා පර්යේෂණ නිබන්දයක් වගේ ලිව්වොත් ඔය මොකක්හරි මණ්ඩපයකින් ආචාර්ය උපාදි පට්ටමක් ගන්න බැරිවෙන එකක් නැහැ

    ගුරුන්නාන්සේ
    ඔව් ඔව් ගුරුන්නාන්සේ
    ඊයේ හවස මොකද කලේ
    ඊයේ හවස සැන්ටිපොර්ට් මහත්තය ඇවිත් අපට කින්ඩම් දුන්නනේ
    මුස්න මිටට දාල කින්ඩම් පාවිචිචි කරන හැටිත් කියල දුන්නනේ මමත් ඉතින් දැන් නිදාගන්න යනකොට එකක් මුස්න මිටට දාල තමය් ඇඳට යන්නෙ
    ගුරුන්නාන්සේ
    ඔව් ඔව් ගුරුන්නාන්සේ
    ගුරුන්නාන්සේ මුස්න මිටට දාල ඔය කියල දීල තියෙන්නෙ කින්ඩම් පාවිචිචි කරන හැටි නොවෙය්
    එහෙනම් ගුරුන්නාන්සේ ඒ මොකක්ද සැන්ටිපොර්ට් මහත්තය අපිට කියලදුන්නේ
    ගුරුන්නාන්සේ ඔය කියල දීල තියෙන්නෙ කොන්ඩම් පාවිචිචි කරන හැටි

    ගුරුන්නාන්සේ
    ඔව් ඔව් ගුරුන්නාන්සේ
    මොකද උදේ නිකම් තරහෙන් වගේ කෑගහනවඇහුනේ
    මේකනෙ ගුරුන්නාන්සේ මම උදේ තේ කහට එකක් විතරක් බීල කුඹුරට ගියානෙ ඉතින් බලාගෙන හිටිය හිටිය මගේ මුණුපුරා වෙලාවට හීල ගෙනාවේ නැහැනෙ
    ඉතින් ඉතින් මම ඇහුව මොකෝ තෝ මෙච්චර පරක්කු කියල
    ඉතින් ඉතින් ඌ කිව්වේ නැතේ ඌ අන්තර්ජාලෙ බ්ලොක්ගල් කැපුවා කියල
    ගුරුන්නාන්සේ
    ඔව් ඔව් ගුරුන්නාන්සේ ඔය ඒ පොඩි එකා කියල තියෙන්නෙ අන්තර්ජාලෙ බ්ලොක්ගල් කැපුවා කියල නොවෙය්
    එහෙනම් ගුරුන්නාන්සේ
    ගුරුන්නාන්සේ ඔය කියල තියෙන්නෙ ඌ උදේ අන්තර්ජාලෙ බ්ලොග් එකක් ඒ කියන්නේ තමන්ගෙ දැනුම කුසලතා ආකල්ප අන්‍ය වූ හුදී ජනයන්ට නොමිලේ දෙන්න තමන්ගෙ පම්පෝරියත් ටිකක් දාල ලිපියක් ලිව්වා කියන එකය්
    ඒකය් පරක්කු වුනේ කියන එකය්
    ඒකත් එහෙමද ගුරුන්නාන්සේ
    හා හා එහෙනම් ආවඩා ආයිබෝවේවා

    Liked by 1 person

    1. මේ දේවල් අපේ සංස්කෘතියෙ කොටස්.මේවා සත්‍යද? බුදුදහමට එකඟද?යක්කු කියල ජාතියක් ඉන්නවද?මේදේවල් කවුරුහරි බඩගෝස්තරේට පාවිච්චි කරනවද කියල හිතන්න ගියොත් මේවා රස විඳින්න අමාරු වෙනව.බොහෝ විට දැන්වගේ සූක්ෂමව කරුනු හොයාගන්න බැරි ඈත අතීතයේ ලෙඩරෝගවලට හේතුව යකුන් ගේ බල පෑම විය හැකියැයි සිතා ඊට ප්‍රතිකර්ම ලෙස මේදේවල් පටන් ගත්තා විය හැකියි.මේදේවලින් බොහෝ සැනසුම ලබාගත් ගම්වාසින් එදාහිටිය.අපිට අදනම් භෞතික හේතුවලට දෙන දියුණුම ප්‍රතිකාරත් අල්ලන්නෙ නැත්තෙ මානසිකව අපි ඒවා අවිශ්වාස කරන නිසයි.මට හිතෙන්නෙ.මෙච්චර දියුණු දැනුමක් නොතිබුනු අතීතයේ බොහෝ අය අවුරුදු සීයෙ කඩ ඉමට ගියේ ඔය මිත්‍යා විශ්වාස එක්කෙ ජීවත් වෙලයි.අද එහෙම නෑනෙ.

      Liked by 1 person

      1. // ඊට ප්‍රතිකර්ම ලෙස මේදේවල් පටන් ගත්තා විය හැකියි
        18 සන්නියෙන් සුව කිරීමට තැත්කල රෝග සියල්ල අදටත් පවතින බවත් මහා කෝලසන්නි මුහුණේ ගරා යකාව පාගාගෙන
        නිරූපනය වන්නේත් එබැවිනි.අද කාලේ විදියට කියතොත් ගරා ඇවිල්ලා ක්ලීනර්.තැන අපිරිසිදු වුනාම ලෙඩ හැදෙන එක අහන්නත් දෙයක්ද.

        Like

  4. සන්නියක් නටනව කියන්නෙ ඉඩමක් කඩමක් උගසට තියනව කියන එක තමා. අපේ ගමේ නං තිබුණෙ නාවලවත්තෙ කට්ටඩි මාමා ඇවිල්ලා තනියම බෙර පදයක් ගහල නටන තොවිල් විතරයි. එව්ව අවසානෙටත් රුපියල් දෙතුන් දහක පඬුරක් දෙන්න ඕනැ. තොයිලෙට ගේන කුකුලව නං ආයි කාටවත් දෙන්න අමාරුයි. හැමෝම හිතන්නෙ කුකුලගෙ ඇඟේ යක්කු ඉන්නව කියලනෙ. ඌව ඉතිං වත්තෙ දෙමලෙක්ටවත් තමා දෙන්න වෙන්නෙ.

    Like

    1. බොටයි මායියටයි හැදිලා තියෙන්නෙ “බිලාළ සන්නිය”, එකට තොවිල් ඕන නැහැ කුප්පමේනිය ටිකක් කෑවනම් අහවරයි 😀

      අර කිව්වා වගේ ගන් කුකුලෙක් නම් ඉතින් බයිට් එකටවත් ගන්න කියලද ?

      Liked by 1 person

  5. දහඅට සන්නියක් බැලුවා වගෙයි ..
    තොවිල් ගෙයක් ආසාවකට නෑ..
    කොහෙද දැන් ඉන්න උන්ට යකා ගහන්නෙ නෑනෙ..තවත් අපූරුම සටහනක්…
    ජයවේවා ..

    Like

    1. ඔය නම්වලින් කිහිපයක් නම් අපේ ගම්වල අයට තවමත් මතකයි කියල කියනව අටං……….

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s