කවියේ කතාව.

මේ මූනු පොත කියනඋපකරණෙත් හරි අපූරුයි.අපිව එකඑක කල්පනාවලට ගෙනියන්න පුලුවන් සටහන් ඕක අස්සෙ දැක ගන්න ලැබුනම හරි අපූරුදේවල් සිද්දවෙනවා.මේ ටික නමො විත්තියෙන්ම කිව්වෙ මේ අපේ ගමේ බුද්දික අතුකෝරල ඉලන්දාරිය දාපු සටහනක් දැකලයි.කොහොමටත් ඔය ඉලන්දාරිය ටිකක් අමුතුදේවල් හොයල මූනුපොතට දාන කෙනෙක්.අද බැලුවම මේ යෝධය කොහෙන්දෝ හොයාගෙන එකදාස් නමසිය හැත්තෑතුනේ අතලෙ මාටින් වීරසිංහ ආතා විසින් කලුගල ආරණ්න්‍ය ගැන ලියාපු අපූරු කවි පංතියක්.කවි කිව්ව්ම ඉතින් අපිටත් නලියන ගතියක් එනවා.මොකද ඔය අපි බුද්දික ඉලන්දාරියට ත් බාල පරම්පරාව වගේ ගමේ පොඩි උන්ගෙ චරිත රඟපාන කාලෙ කවියට බොහොම ලොකු තැනක් තිබුනා ඒකාලෙ කවි කාරයො ගමේ එක් රැස්වෙන අවස්තාවල් තිබුනා.හිටිවන කවි කීමේ හැකියාව සැලකුවෙ බොහොම ලොකු හපන් කමක් හැටියට.හිටිවනකවියො එක්‍ රැස්වුනේ පංසලේ පිංකම් වලට.බොරලුගොඩ මහ පංසලේ පිංකම් වගේම ඉගුරුදලුව ස්කෝලෙ පිංකම් පුවක්දොල ලඟ බෝධිය අභියස කරපු පිංකම් වලදි අනිවාර්‍යෙන්ම අවශ්‍ය දේවල් වෙන්නෙ ලවුඩ්ස් පීකරේ,යි හිටිවන කවියො දෙතුන්දෙනෙකුයි.ගමේ හිටිවනකවි කාරය උනේ අපේ නන්දසේන අයිය.කවියෙක් උනහම ඔය දිගනම් තියාගෙන බෑ.රටේ ලෝකෙ ප්‍රසිද්ද වෙන්න නම් කෙටි නමක් ඕනෙ.ඒ න්‍යාය අනුව හපුහෙට්ටිගේ නන්දසේන වුනු අයිය ඉඟුරුදලුවේ සේන නම කවි ලෝකෙට භාවිතා කරන්න පටන් ගන්නව.අල්ලපු හැඩිගල්ල ගමේ ඔය වාගෙම විමලසේන වික්‍රම ආරච්චි හැඩිගල්ලෙ සේන වෙනව.ඔය අතර තවත් අපූරු කවියෙක් ගමට සම්බන්ධ වෙනව.අපේ ලොකු මාමා බැදල හිටි ඩොල්පි නැන්දගෙ නංගි දීග දීල හිටියෙ ගාලුකෝරලේ හිනිදුම් පත්තුවෙ හබරකඩට.මේ නැන්දගෙ පුතෙක් තමයි ප්‍රේමසිරි ගුනවර්ධන.මිනිහත් හොඳ කවිකාරය.එයා හබරකඩ ප්‍රේම සාගර නමින් ප්‍රසිධ උනා.දැන් ඔය සාගර කවියත් අපේ මැල්ලගහවිල හංදියෙ සැලුන් එකක් දාගත්ත නිසා ගමට සම්බන්ධ උනා.ඔය විදියට බැලුවම අපේගමේ සල්පිල් වෙන්දේසියක් පිංකමක් පැවැත්වුවොත් සම්බන්දවෙන තරුණ කවියො තුන්දෙනෙක්ම හිටියා.

දැන් අපි පොඩි උන්කාලෙ ඔය හිටිවන කවියන්ගෙ කවි රස විඳිද්දි ගමේ වැඩිහිටි පරම්පරාවත් කවියට ලොකු ඇල්මක් දැක්කුවා.වැඩිහිටියො අරවගේ පිංකම්වල හිටිවන කවි කිව්වෙ නෑ.හැබැයි අපි ආච්චි කියල හඳුන්වපු පරපුරේ කාන්තාවො නෙලුම්කවි ගොයම් කවි තලමල් කවි පත්තිනි හෑල්ල විදුර ජාතකය සසජාතකය සඳකිදුරු ජාතකය තුන්සරණය, වාගෙ කවි කට පාඩමෙන් දැන ගෙන හිටියා.ඒවිතරක් නෙවෙයි අවස්තාවට අනුව මේකවිතාලෙට කිව්වා.මගේ උඩහ ගෙදර ආච්චි මේවගේ කවි සම්භාරයක් දැනගෙන හිටියා.අපි ආතා කියල කිව්ව පරපුරේ පිරිමි උදවිය වෙස්සන්තර ජාතකේ,පැල්කවි පාරු කවි,ඔන්චිලි වාරම් තොවිල් කවිවාගෙ දේවල් දැනගෙන හිටිය.ඊලඟටහිටපු අපේ තාත්තා අම්මා ඇතුලත් අපේවැඩිහිටි පරපුරත් ඔය විවිධාකාර කවි දැනගෙන හිටියා.අපි අයියෙ කියල නෑ කමට කතාකරාට අපිට උඩින් පරම්පරාවට වයස අනුව අයත් උන පබිලිස් අයිය ගුණදාස අයිය,මාටින් අයිය,පියසේන අයිය වගේ අයත් තොවිල් පවිල් කවි තුන්සරණෙ කවි පැල්කවි එහෙම අපූරුවට දැනගෙන හිටියා.එහෙම බැලුවම මුලු ගමේ හැම පරම්පරාවක්ම කවිය ගැන හොඳ වැටහීමක හිටපු බව කිව්වෑකි.

දැන් ඔය බුද්දික ඉලන්දාරිය හොයාගෙන තියෙන්නෙ අපේ මහා ගම්මානයේ කොටසක හිටපු වැඩිහිටියෙක් උන මාටින් වීරසිංහ ආතා රචනාකරපු කවි පංතියක්.මාටින් වීරසිංහ ආතා හිටියෙ අතලෙ ඔපිසර ගෙදර.ඔපිසර ගෙදර කියන්නෙ ඉස්සර පොලිස් මුලාදෑනියගෙ ගෙදර.දොන් ජොහානිස් වීරසිංහ කියන පොලිස් මුලාදෑනි තුමාගෙ ගෙදර තමයි ඔය .මුලු මහත් පස්දුන් කෝරලේම ඔය පොලිස් මුලාදෑනිය ප්‍රසිද්දවෙලාතිබුනෙ අතලෙ රැවුල් ඔපිසර කියලලු.කලුතර උප ඒජන්ත හැටියට වැඩකරපු බ්‍රිතාන්‍ය ජාතික නිලධාරියා පස්දුන්කෝරලේ වෙන ගම්වල උනත් දරුණු අපරාධකරුවො අත් අඩංගුවට ගන්න යවන්නෙ රැවුල් ඔපිසරවලු.අතලෙ රැවුල් ඔපිසර එනව කිව්වම අපරාධකාරයො මාර බයක්ලු තිබුනෙ.මේ අපේතාත්ත ඒකාලෙ අපිට කියපු දේවල්. පස්සෙන් පහු මොකක්දෝ තමන්ට කෙරුනු අසාධාරනයකින් කිපුණු රැවුල් ඔපිසර තුමා “තියාගන තොපේරෙද්ද” කියල උපඒජන්ත උන්නාන්සෙටත් ඔට්ටුවෙලා ඔපිසර කම දමල ගහල ගෙදර ආවලු.ඔන්න ඔය ඔපිසර රාලහාමිගෙ පුතෙක් තමයි මාටින් වීරසිංහ කියන්නෙ.මාටින් ආතා පංසල් අධ්‍යාපනයෙන් දැනුම වඩාගත්තු බොහෝ ඇසූපිරූ තැන්තිබුනු ගැමියෙක්.මුඛරි කමත් කවිකමත් එක්ක එකතු උන බුද්දිමත් කමත් එක්ක එදිනෙදා ජීවිතේ ප්‍රශ්න වලට මුහුන දුන්න කෙනෙක්.දවසක් බස් එක එනකම් මැල්ල ගහවිල කඩේ ඉඳන් කියපු කතාවක් මේ.තමන්ගෙ අයිතිය තිබුනු කොස් ගහකට තවත් කාන්තාවක් එක්ක හබේකට පැටලිල හිටපු මාටින් ආතා ඒගහේ කොස් කැඩුව හැටිකිව්වා.මේගහතිබුනු අල්ලපු වත්තේඅර කාන්තාවගේ නිවස.මාටින් ආතා කොස්ගහට ගොඩවෙලස උඩින්ම තිබුනු ගෙඩිය කැඩුවෙ මෙන්න මේ කවිය කියමිනුයි.

කෝ බොල එ ඕමිස්

ගල්කඩු ගෙදර ඔහනිස්

පැණිගල සිදාරිස්

මෙගස සිටවූ දොන් ජොහානිස්

මේ කවියෙනවිරුද්ධ පාර්ශවයට උදව් කරන බලවතුන් කොහේදැයි විමසමින් ඔහුන්ටත් අර කාන්තාවටත් අභියෝග කරමින් තමන්ගේ අයිතියත් කියමින් පලමු ගෙඩිය කඩනවා.දෙවනි ගෙඩිය කැඩුවේ මේ කවියෙන්

ඉංගි රිසි බැරුවට

හුණු පුච්චන්න බැරුවට

මෙගසෙ කොස් කන්නට

හැකිය මාටින් වීරසිංහට

මේවිදියට කොස්කඩාගෙන එනකොට කිසිම විරෝධයක් ආවෙ නෑ කියලයි මාටින් ආතා කිව්වෙ.ඒ එක්කම ඒකාලෙ මෝස්තරේ වෙච්ච කෙටි ගවුම් ඇඳගෙන හිනාවෙවී යන ගෑනු ලමයි දෙන්නෙක් දැක්ක මාටින් ආතා කතාව ඒපැත්තට හැරෙව්වා .”ඉස්සර අපේ රටේ කාන්තාවන්ට දීපු උපදෙස උනේ

” නාභිය නොදක්වා

සලු ඇඳ බොලට දක්වා” කියලයි දැන් මුන් අඳින හැටි දැක්කම කියන්න ඕනා

“නාභියද දක්වා

සලු හැද කලව දක්වා

උගුර කට දක්වා

සිනාසෙන් කොක් හඬ පවත්වා” කියලයි කියල මහ දේශනාවක් කරා.

මාටින් ආතා තවත් දවසක ලොකු විවාදෙකට පැටලුනේ සුදුවැලිපත මරණාදාරසමිතියෙදි.මරනාධාර සමිතියේ ලේකම් ගුණරත්න අයිය .මාටින් ආතා සාමාජික මුදල් මාස කීපයක්ම ගෙවල නෑ.ව්‍යස්ථාව අනුව මාස තුනක් සාමාජික මුදල් නොගෙව්වම සාමාජිකත්වය අහෝසි වෙනවා.මාටින් ආතාගේ සාමා ජිකත්වය අහෝසි වෙලාමේක ගැන දැනගත්තු ආතා සමිතියෙ රැස්වීමට ආවා.තමන්ගේ සාමාජිකත්වය පිලිබඳව මාටින් ආතා ප්‍රශ්න කරා.

“සභාවෙන් අවසරයි මට දැන ගන්න කාරනයක් තියෙනවා ලේකම් මහත්තයගෙන්.මගේ සාමාජිකත්වය අහෝසි කරන්න ලේකම්ට පුලුවන්ද?ඒකයි මගේ ප්‍රශ්නය”.

“මේ සමිතියේ ව්‍යවස්ථාව අනුව අඛන්ඩව සාමාජික මුදල් ගෙවිය යුතුයි .පිටපිට තුන්මසක් සාමාජික මුදල් නොගෙව්වොත් සාමාජිකත්වය අහෝසි වෙනවා.”ගුනරත්න අයියා පැහැදිලි කරා.

“හරි ඒ උඹේ නීතියනෙ.දැන් මගේ සාමාජිකත්වය නැතිද?”

“ආතා සාමාජික මුදල් මාස හතරක් ගෙවල නෑ.ඒඅනුව සාමාජිකත්වය අහෝසිවෙලා.”

“එහෙනම් ඇයි ලේකම් ඒගැන මට දැන්නුවෙ නැත්තෙ.?”

“ඉතින් දන්වන්න දෙයක් නෑනෙ.ව්‍යවස්ථාව සාමාජිකයො ඉස්සරහ කියෙව්වනෙ සමිතිය පටන්ගත්තු දවසෙ.ඉතින් හැමෝම දැන ගන්න ඕනනෙ.”

“ආ ඔව් ඔව් ව්‍යවස්ථාවෙ තියෙනදේගැන අලුතින් කියන්න ඕනයැ.”තවත් කෙනෙක් නැගිටල ලේකම් තුමාට උදව්වට කතාකලා.

“මේලමයි බොලා එන්න එපා සමිති සමාගම් කොරන හැටි මට උගන්නන්න.බොලගෙ ඔය නීතිය අසාධාරණයි.එහෙම සාමාජිකයෙක් නෙරප්පන්න බෑ”

“ඇයි බැරි මේ අපි කරපු දෙයක්‍යැ.මුදල් නොගෙවීම නිසා සාමාජිකයම කර ගත්තු දෙයක්නෙ.”තවත් කෙනෙක් කිව්වා.

“මේ බොලා දැන ගන්න ඕන මාව එහෙම නෙරප්පන්න බෑ.සාමාජිකයාට නොදන්වා කොහොමද නෙරපන්නෙ.නෙරපීම බරපතල කාරණයක්.ඒක නොදවා කරන්න බෑ.”ආතගෙ සද්දෙ වැඩිඋනා.දැන් සමිතියෙ එක ගාල ගෝට්ටියයි.වැඩිදෙනා ආතගෙ මතේට විරුද්දවයි ඉන්නෙ.

“අපේසමිතියෙ ව්‍යස්තාවෙ තියෙන විදියට වෙච්චදේ පිලිගන්න එපායැ.”

“සාමාජික මුදල් නොගෙව්වම වෙනදේ කියන්න ඕනද.?”

“මුන්දැගෙ පන්ඩිතකමනෙ වෙච්චවැරැද්දට වෙන අයට දොස් කියන්නෙ”

මේසමිතියෙ තැන තැන කියවුනදේවල්.මේව ඇහුනු මාටින් ආතා බංකුවෙන් නැගිට්ටා.

“බොලා දැන ගනිල්ල සමිති සමාගම් කරන හැටි .බොලාට ඕන නීති සමිති සමාගම් වලට දාන්න බෑ .ඕව සේරම ලෝක නීතියට යටයි.ලෝක නීතිය අනුව මාව නෙරපන්න බෑ.ඒක අසාධාරණයි අයුක්ති සහගතයි.අශික්කිතයි.ලෝකනීතියක් දන්නැති තොපිත් එක්ක මොනසමිතිද ?”කියල දේශනාවක් කරපු මාටින් ආතා පිටවෙලා ගියා.

“මටත් බොහොම කණගාටුයි මේදේට.ඒත් සමිතියේ සම්මත ව්‍යවස්තාව්ට පිටින් මම කොහොමද වැඩ කරන්නෙ දැන් ආතා මගෙ එක්ක තමයි වැඩියෙම තරහ” ගුණරත්න අයිය විස්සෝප උනා

අපි “මාටින් ආතගෙ ලෝකනීතිය” කිය කියා ටිකදවසක් හිනාවුනා ඊට පස්සෙ ඒක අමතක වෙලාගියා..හැබැයි මේපරිපාලන සේවාවෙ පුහුණුවෙදි නීතිය ගැන ඉගෙන ගන්න කොට ස්වභාව යුක්තියේ මූලධර්ම ගැන ඉගෙන ගන්න කොට තමයි.තේරුනේ කිසියම් වරදක් සිදුකල කෙනෙකුගෙන් කරුණු නොවිමසා දඩුවම් කිරීම ස්වභාවික යුක්තියට පට හැනි බව.ඒ අනුව එදා මාටින් ආතගෙ සාමාජිකත්වය අහෝසිවීම උන්දැගෙන් කරුනු නොවිමසා කලහැකි විදියට තිබුනු ව්‍යස්තා විධිවිධානෙ යුක්ති සහගත නැතිබව තේරුනා.වෙනත් විදියට කිව්වොත් ඒක ලෝකනීතියට පට හැනියි.ඔන්න ඔහොමයි එදා අපිට තේරුනේ නැතත් මාටින් ආතා හොඳින් දැනසිටි ස්වභාව යුක්ති මූලධර්මය.

ඔයකාලෙ අපේ ගැමියො තමන්ට කරදර ලෙඩදුක් වැඩියෙන් එනවනම් සෙත්කවියක් කියවගන්නවා.ඒඑක්කම තමන්ට අකටයුක්තක් උනොත් ඒක කරපුඑකාට විරුද්දව වස්කවියක් කියෝල සැනසෙනවා.තවසමහරවෙලාවට කැලෑ පත්තරයක් කවියෙන් ලියල ගහල දානවා.අපේ ආච්චි අපිට කියලතියෙනව අපේ ආතා තමන්ගෙ කොටුවෙ මංඤ්ඤොක්කා උදුරපු ලොක්කෙකුට විරුද්දව ලියාපු කවියක් ගැන.මේ හොරකම කරේ ගමේ හිටපු ගම්මුලාදෑනියා.ආතාඒකදැනගෙන මෙන්න මෙහෙම කවියක් ලියල ගහක ඇලෙව්ව.

“හොරවප්පිටියේ මහ ලොක්කා

ඉදුරුවේ හොරෙන් මඤ්ඤොක්කා”

මේ විදියට තමන්ගෙ හැගීම් කවියෙන් ඉදිරිපත් කිරීම අපේ වැඩිහිටියො කරේ බොහොම සතුටෙන්.ඔයවිදියට කවිය ගැමි ජනතාව අතර ජනප්‍රිය වෙලා තිබුනු නිසා ඔයකාලෙ පොලේ කවිපොත් කවිකොල විකුනන්නත් තිබුනා.රටේ සිද්දවුනු බිහිසුනු සිදුවීමක් ආලලා ලියවුනු කවිකොල විකුනන්න පොලේ කවිකොලකාරයො දෙතුන් දෙනෙක් හිටියා.බොහොම සිත් ඇදබැඳ ගන්නා ස්වරූපෙන් මහ හයියෙන් කවි ගායනා කරන කවිකොල කාරයගෙන් කවි කොලයක් ගන්න එකත් අනිවාර්‍යෙන්ම මිනිස්සු කරා.මේ කාලෙ බොහොම ප්‍රසිද්ද කවි කොල වුනේ ගාල්ලේ පද්මිනී කුලරත්න මිනී මැරුම,සතාසිවම් මිනි මැරුම හාර ලක්ශෙ මංකොල්ලෙ.වගේ ඒවාමේවාගෙ කවිකොල රචනා කරපු ප්‍රසිද්ද කවියෙක් තමයි මීගහතැන්නේ වැදිවත්තේ පී ජී මාටින් අප්පුහාමි කවියා.මුලුමහත් ලංකාවේම ප්‍රසිද්ද කවිකොල රචකයෙක් උන මෙතුමාව මම දැක්කේ බොරලුගොඩ මහ පංසලේ පිංකමකට කවි කියන්න ආපු කවියො අතරෙදියි.ජාතික ඇඳුම අඳින සිහින් මිටි සිරුරක් සහිත මාටින් අප්පුහාමි කවියා එදා හිටපු කවියො හත්දෙනාගෙන් වැඩිමහල්ම තැනැත්තා හැටියට අනිත් කවීන්ගෙ ගෞරවයට පාත්‍ර උනා.උදේ පිංකම අවසන් උනහම මේ කවියො ටික පිටිපස්සෙන් බොරලුගොඩ ඉඳන් වැද්දාකන්දෙ අපේ සේන ඉඟුරුදලව කවියාගේ ගෙදරට එන්න මට ලැබුනා.බොරලුගොඩ පංසල ලඟ අම්බලන් ඕවිට ඇලේ ඒදන්ඩෙන් ගොඩ වුනාට පස්සෙ මාටින් අප්පුහාමි කවියාව පෙරමුනට දාල කොහොලානේ සේන,ඕමත්තේ තිලක ,හබරකඩ ප්‍රේම සාගර,හැඩිගල්ලේ සේන,ඉඟුරුදලුවේ සේන,හා මාටින් අප්පුහාමි කවියාගෙ පුත්‍රයෙකු වූ කවියකු ,යන කවිපෙර හැරේ පිටිපස්සෙන් තමයි මම ආවෙ.ඒදන්ඩෙන් ගොඩවූ විගස ගඟ අයිනෙ පාරෙ එනගමන් මගුරු ඟගේ වරුණාව ගැන කවි කියන්න කවියෙන්ම පෙරමුනේ ජේෂ්‍යඨ කවියාවූ මාටින් අප්පුහමිට ආරාධනා කලේ අපේ ඉඟුරුදලුවෙ සේන කවියා.ඉන්පසුව බොරලුගොඩ ගමේ ඉස්මත්තෙ කන්නන්ගර ගොඩ ලඟින් මොරගහ කැටේ තොටපලෙන් ගොඩවෙනකම් මේ කවියො හත් දෙනා මඟුරු ගඟ ගැන හිටිවන කවි සංවාදයක් කරා.මගෙ ජීවිතේ වැඩියෙන්ම රස විඳි කාවයමය අවස්තාවතමයි ඒ.ඔය කවිසංවාදෙට බොහොම ප්‍රයෝජනවත් උනේඅතර මගදි දන්සැලක් වාගෙ සංවිධානය කරල තිබුනු කිතුල් රා සංග්‍රහය.යි.අවාසනාව ඒකවි එදාරසවින්ද මිසක් මතකයේ තියා ගත්තෙ නැති එකයි.

ඔය කාලෙ වෙනකොට මම අපො ස සාපෙල පංතියෙ.පද්‍ය සාහිත්‍යට සැලලිහිනිය ගුත්තිලය අපිට නියමවෙලාතිබුනා.මමගෙදර සැලලිහිනියෙ කවි පොත බලාගෙන කියනව අහගෙන හිටපු ලොකු මාමා

“හා පුතේ බොට හිතේ හැටියට කවි පාඩම් කරන්න ඕනෙනම් වරෙන් මාත් එක්ක මහ ඕකන්දෙ පැලට යන්න”. කියල කතා කරා.ඒකට විරුද්දව තාත්තගෙන්වත් අම්මගෙන්වත් මොකුත් කියවුනේ නැති හින්ද මමත් කැමති උනා.හවස සැලලිහිණි සංදේශෙ පොතත් අරගෙන ලොකු මාම පස්සෙන් හේනට ගියා.මගුරුගඟ අයිනෙ මහ ඕකන්දෙ වනන්තරේ කපල හදල තිබුනු හේනෙ පැලේ මැස්සෙ හරි බරි ගැහිල බොහොම සද්දෙට සැලලිහිනිය කියෙව්වා.පැලේ රාත්‍රි ආහාරය කොලපත් මුලේ බත් එක රාත්‍රි අටට විතර කාල රෑදහය විතර වෙනකම් මගේ සැල ලිහිනිය ගායනය හේනෙ රැව් පිලි රැව් දුන්නා.ඉන් පස්සෙ මම නිදාගත්තා. මට නින්ද ගියේ ලොකු මාමාගෙ පැල් කවි ගායනය මධ්‍යයේයි.

“ලස්සන හිම වතේ මාවී පැසෙන්නේ

දුක්දෙන වන සතුන් පලවා හරින්නේ

රැක්මෙන දෙවියනේ වෙල්බත් බුදින්නේ

දුප්පත් කම නිසයි මම පැල් රකින්නේ”

මේ වාගෙ කවි වලින් පටන් අරගෙන පතල්කවි ඔංචිලි වාරම්,තුන්සරණෙ තලමල් කවි ආදිය බොහොම සද්දෙට ගායන කරන ගමන් අතරින් පතර “චෝ හොයි” ගාල සතුන් බය කරන්න කෑගහන ලොකු මාමගෙ ගායන මැද මට නින්ද ගියා.මහ රාත්‍රියෙ මට ඇහැරෙන කොට ගායනයෙ වෙනසක් දැනුනා.

මුනිපුතුන් ඇසුර සිප්සත දත් රුවැති

ගජනමින් පතල අඟනක් ලඟම ඇති

හැම සතුන්ගේම සිරිතක් වූ පැවති

හොර හිමින් ගැනුම අත් නෑරම කරති

සායේ වැඩීලා විත් මෙපුර කිවිවරු

මීයේ වදය මෙන් රසකර කියති බොරු

ලීයේ ඇදය හරිතත් හුයලා ගැඹුරු

වෑයේ කුදය බැලුවම ඊටත් නැඹුරු

මේ කවි ඇහෙන කොට තේරුනා මේ පැල් කවි නෙවෙයි කියල.හොඳට අහගෙන හිටිය

වටිනා කියන මේ මගෙ තුරුණු තුනුවිල

සිටිනා මලුවෙ සමිඳුට පුද කලෙමි බොල

සිටිනා මෙගම සහ දන අවට ගම්වල

තුටිනා එපින් අනුමෝදන් වව් සියල

මේකවිය ඇහුන විතරයි මට බුකුස් ගාල හිනාගියා.ඒ එක්කම මම බොරුවට කැස්සා.

“සුදු පුතේ උඹඇහැරිලාද? ” ලොකුමාම කතාකලා මම නිස්සද්ද උනා.ආපහු ලොකුමාම ටිකකින් පටන්ගත්තෙ කරත්ත කවියක්.

මේ විදියට සති ගණනාවක් මහඕකන්දෙ පැල හවස මගේ සැලලිහිණිය ගුත්තිල කාව්‍ය වගේ කවිවලිනුත් දහයෙ ඉදන් පැයක් හමාරක් ලොකුමාමගෙ පැල් පාරු තලමල් පතල් කවිවලිනුත් මධ්‍යම රාත්‍රියෙ මට නින්දගියාට පස්සෙ ගජමන් නෝනගෙයි ඇලපාතමුදලිගෙයි කවිසංවාද ලොකුමාමගෙ ගැඹුරු හඬිනුත් ගිගුම් දුන්නා.මධ්‍යම රාත්‍රියෙ යන ගායනා වෙනස්වෙන්නෙ මට ඇහැරුනා කියල දැනුනොත් විතරයි.මමත් රෑ මැදජාමෙ ඇහැරිලා එහෙමම නිහඬව ගජමන් ඇලපාත කවි ලොකුමාමාගෙ ගායනාව රසවින්ඳෙ බොහොම සතුටෙන්.යම්තම් වත් මට ඇහැරිලා කියල දැනුනොත් ලොකු මාම පැල්කවියට හරි පතල් කවියට හරි මාරුවෙනවා.අදටත් සැලලිහිණිය ගුත්තිලය කටපාඩමේ තියෙන්නෙ එදා පැලේදි පාඩම් කරපු නිසයි.ගජමන් නෝනා ගැන හොයාබලන්න පෙලඹුනේ ලොකු මාමගෙ කවි ගායනය නිසයි.

මේ කවියෙ කතාව ඉවර කරන්න තව අපූරු සිද්දියක් කියන්න ඕන.අපේගමේ පුංචි මරනාධාර සමිතියක් 1975දි විතර පටන් ගත්තෙ මැදවත්තෙ ජුලියන් බාස් ආතල ජස්ටින් බාප්පල එකතුවෙලා.1975දි විතර.මේ සමිතියට ආධාර ගන්න සල්පිලක් මල්වට්ටි වෙන්දේසියක් ඉඟුරුදලුවෙ ස්කෝලෙදි පැවැත්තුවා.මේ සල්පිලේ මල්වට්ටි වෙන්දේසිය බොහොම උනුසුම්ව නැගල ගියා.දෙපැත්තක වෙලා මල්වට්ටියට තරඟ කල එක පාර්ශවයක් උනේ සයිමන් ආත්තා.සාමාන්‍යෙන් කවිකියන දෙන්නෙක් ඔය දෙපාර්ශවයට බෙදිලා අර තරගෙට උල් පන්දම් දෙන්නෙ මල්වට්ටිය වැඩිම ගානකට වෙන්දේසි කරන්න.මෙතනදිත් අපේ ඉගුරුදලුවේ සේන කවියා සයිමන් ආතගෙ විරුද්ද පාර්ශවයට උදව් කලා කවි වලින්.හැඩිගල්ලෙ සේන කවියා සයිමන් ආතට උදව් කලා.තරඟය උනුසුම්ව යනකොට ඉගුරුදලුවේ සේන කවියා කිව්ව කවියක අවසාන පදේ උනෙ

“ලන්සුව ඇහිලා සයිමන් අයියගෙ ඇස්දෙක බාගෙට පියවෙනවා. ” කියලයි.

මේක ඇහුනු සයිමන් ආතට මාර ජුවල් ගියේ සයිමන් ආතට විහිලුවට සයිමන් කණා කියල ගමේ අය කියන නිසා වෙන්නැති.මේකෙන් පටන්ගත්තුගෝරිය ඉවර උනේ මරණා ධාර සමිතිය කඩාගෙන අලුත් සමිතියක් බිහිවීමෙනුයි.අදටත් අපේගමේ තියෙන්නෙ එහෙම කඩාගෙන ගිහිල්ල පටන්ගත්තු සමිතිය තමයි පස්සෙ කාලෙක මුල්සමිතිය නැතිවෙලා ගියා.බලාගෙන ගියහම කවියට කොරන්න බැරිදෙයක් නෑනෙ හැබෑටම.

14 thoughts on “කවියේ කතාව.

  1. ඔය හුගක් පන්සල්වලට නම් පට බැදෙන්න හේතුව රටේ තියන අපවිත්‍ර බමුණු බුද්ධාගම නිසාවෙන්න පුළුවන්
    පන්සල අපවිත්‍ර වනවිට හොද දායකයො හැදෙන්නෙත් නැහැනෙ
    එබැවින් කලයුත්තේ එය නිවැරදි කරවා ගැනීමය්
    පන්සලට අපහාස කරලා එය කරන්න බැහැ මොකද මේ රට හැදිලා තියෙන්නෙ යැපිල තියෙන්නෙ ප්‍රදාන වශයෙන් පන්සලේ මූලිකත්වයෙන් මගපෙන්වීමෙන් නිසය්
    ගමනක් යනකොට හාමුදුරුකෙනෙක් මුණගැහුනොත් මූසලය් කියන තැනට සුද්ද රට ගෙනාව
    මහදැනමුත්තය් ගෝලයො රොත්තය් කතා හදල රටේ සිංහල ගම් ප්‍රදනීන්ව අවමානයට ලක්කරලා අවලංගු කරලා දැම්ම
    පෝෂ්‍යදායී කොස් පිගාන හංගගෙන කන්නත් පාන් රොඩ්ඩ ආඩම්බරෙන් කන තැනටත් රට පත්කලා
    උන් වගේ පෙනුමට ඉන්න දක්ෂ වන්දිභට්ට කම් කරන්න දක්ෂ උන්වම අනුගමනය කරන උපාදිධාරීන් ඇතිකර ගත්ත
    අද උනත් හුගක් මිනිස්සුන්ට පෙනෙන්නේ රටේ තියන දේසපාලන අර්බුදය විතරය්
    රටේ තියන ආගමික අර්බුදය රටේ තියන ආර්ථික අර්බුදය දකින්නෙ නැහැ
    ආණ්ඩුවට අමතරව රට වියාපාරිකය්න් විසින් පාලනය කරන හැටි දකින්නෙ නැහැ
    තේරුමක් නැති සමහර මිනිස්සු හාමුදුරුවරු දකින්නේ අනුන්ගෙන් යැපෙන්නො කියල විතරක් වෙන්න පුළුවන් ඒත් ඔව්න්ගෙන් වැඩිදෙනෙක් දන්නේ නැතුව ඇති ඔය හැම පල්ලියක්ම මිනිස්සුන්ගෙන් සල්ලි එකතු කර ගන්නාබව
    පන්සල්වලට නම් පටබඳින අය සර්වබලධාරී ඒත් යුද්ද නවත්වන්න බැරි ශුද්ධෝත්තම ඒත් මලපහකරන අය ඉන්න පල්ලි වලට නම් පටබදින්නේ නැත්තෙ මොකද කියලත් හොයල බලනව නම් හොදය්

    Like

  2. අපේ ගමේ තියෙන පංසල් දෙකට ඉස්සර කිව්වෙ කොරෝධාරාමය සහ විරෝධාරාමයලු !

    Like

  3. මෙයට මොනවා හරි ලියන එක හොදයි කියල හිතුන
    ගමකට තියෙන්න ඕන එක පංසලය් කියල නීතියක් නැහැ ඒවගේම එක පන්සලකට තියෙන්න ඕන එක ගමය් කියල නීතියකුත් නැහැ සමහර පන්සල් වලට ගම් හතරක් පහක් හෝ වැඩි ගනනක් තියෙන්නත් පුළුවන්
    වැදගත්වෙන්නේ පන්සලේ කියාදෙන්නේ බුද්දාගමද බුද්ධ ධර්මයද කියන කාරනයය්
    බුද්ධ ධර්මය කියාදෙන පන්සල් අතර බේදයක් හටගන්නේ නැහැ බුද්දාගම කියන්නෙ බුද්ධ ධර්මයම නොවෙය් අපේ රටේ වැඩිය ඉන්නෙ බුද්දාගමේ අය බුද්ධ ධර්මය අය නොවෙය් හැබය් එතරම් නුවන නැති අයට ඒ අය නුවණැතිවනතුරු බුද්දාගම ටිකක් කමක් නැහැ පොඩි ළමයෙකුව වැටකඩුලුදාල ආරක්ෂා කරගෙන ඉන්නවා වගේ
    බුද්දාගමේ සමාජ යහපැවැත්ම දෙවි මිනිස් සැප ආදිය තමය් තියෙන්නේ
    නමුත් බුදුවරයන්වහන්සේ නමක් බුද්ධ ධර්මය දේශනා කරන්නේ ඒ සදහාම නොවෙය්
    පරම්පරා ගණනකින් බුද්ධ ධර්මය අහල නැති අයට තේරෙන්නෙ නැහැ තමන් බුද්ධ ධර්මය දන්නේ නැතිබව බුද්දාගම කියන්නෙ හින්දු බමුණු ආදී මත මිශ්‍ර වුනු අපිරිසිදු බුද්ධ ධර්මය එය ආගමක් මිස ධර්මයක් නෙවෙය් එය සමහර හාමුදුරුවරු තමන්ගේ වාසියට හදාගත්ත දෙයක්
    බුද්ධ කියන්නෙ නාම පදයක් නොවෙය් ක්‍රියා පදයක් එහි අදහස බව උදුරා දමන කියන අදහසය් එවිට බුද්ධ ධර්මය කියන්නෙ බව උදුරා දමන ක්‍රියා පිළිවෙල කියන අදහසය්
    එය නිවැරදිව ඉගෙනගෙන ක්‍රමය හොදින් මතකතියාගෙන ක්‍රමය හොදින් භාවිතා කලයුතු ක්‍රියා පිළිවෙලක් හොදින් ඉගෙනගෙන හොදින් මතකතියාගෙන හිටියටම වැඩක් නැහැ හොදින් භාවිතා නොකලොත් ප්රෝයෝජනය අඩුය්
    අනිත් කරුණු බැලුවහම සමහර ආගම්වල ගෙවල් පහකට පල්ලියක් හදන්න දෙනකොට බෞද්ධ ගමකට පන්සල් දෙකක් හදන එක කොහොමද වරදක් වෙන්නෙ
    මේ ලිපිවල නිතර කියවෙන ඉගුරුදළුව හරියෙත් දැන් ශය්ලපබ්බතාරාමය කියල අලුතින් පන්සලක් තියනව කියල ආරන්චිය් අව්ලක් නැතිලු

    Liked by 1 person

  4. මේක දැකලා බුද්ධික අතුකෝරල මාමාවත් බුකියෙන් අල්ලාගෙන එක්කහු කරගන්න පුළුවං වුනා.
    මාත් පුංචි කාලකෙලුගල ආරන්නෙ දානයක් දෙන්න ගිහිං තියෙනවා. ඒ කාලෙ නං මට හිතුනෙ හාමුදුරුවො කැලේට වෙලා මොකක් කරනවද කියලා. ඒ දවස්වල ආරන්නෙ හදාපු යෝධ ශක්තියක් ඇති රාලහාමි කෙනෙක් ගැනත් කවුදෝ කියනවා මං අහගෙන.

    කවි නං කවි කොළ තමයි. මිනීමැරුමක් උනොත් ඉතිං කවිකොළයක් ෂුවර්. ඉස්සර සෙනසුරාදා පොලෙං ගේන රුපියල් දෙකේ කවි කොලේ පස්සෙ රුපියල් පහ දක්වා වෙලා නැවතුනාද කොහෙද. රෑ කෑමෙං පස්සෙ අපේ අම්මා උලුවස්ස ගාව බිම ඉඳගෙන කුප්පි ලාම්පුව අල්ලාගෙන ඒ කවිකොලේ ගායනා කරනව. මැද හරියෙ කැත්තෙං කොටන, පිහියෙං අනින කොටස වගේ කියවද්දි කවි පදයක් පාසා නවත්තලා හූල්ලලා අපරාධකාරයට ‘සහ ගහනව’, ‘කුඩු කෙටියං’, ‘හැඳිගෑවියං’ වගේ සාප කරනව.

    Liked by 1 person

    1. ඔය රාලහාමි කියන්නෙ ආරන්‍යයෙ නිර්මාතෘ බ්‍රහ්මචාරි සමරදිවාකර රාලහාමිනෙ.සබරගමුවෙ ඇහැලියගොඩ පලාතෙ කෙනෙක්.

      Liked by 1 person

  5. මම පොඩිකාලේ අහපු කවියක් තියනවා තවම ඒකෙ හරි තේරුම හොයාගන්න බැරි වුනා

    නව නව හේන්වල නව නව පඳුරු ඇතා
    නව නව පඳුරුවල නව නව කූඩු ඇතා
    නව නව කූඩුවල නව නව පැටව් ඇතා
    මෙතුන් පදේ තේරුවහොත් ඔහු සමතා
    දැන් ඉතින් ලිපිය ගැන මුලින්ම කියන්න ඕන මේ wordpress එකේ ලියන ඒවා පසුව edit කරන්න delete කරන්න බැරි අඩුපාඩුව තියනවා ඒවුනත් මේකේ හොඳ ලක්ෂනත් තියනවා එකක් තමය් මේකේ තියෙන්නේ comments නෙවෙය් thoughts ඉතින් ඕන දෙයක් ලියන්න පුළුවන්
    වීරසිංහ මහතා ඔය කවිපෙළ ලියල තියෙන්නේ කළුගල ආරණ්‍යය ගැනනේ හැබය් පහුගිය වස් පින්කම් දවසක එහි සිද්දවුන රණ්ඩුව දැක්ක නම් එයා ඔය කවි පෙළ අයින් කර ගන්නවා මම ඒ රණ්ඩුව වෙලාවේ එහි සිටියත් ඒ ගැන ලියන්නේ නැතිව ඉන්නවා
    අපි පොඩිකාලේ හුගක් පින්කම්වලදි අපේ පන්සලේ කවි කිව්වේ පොල්ගම්පොල සිරි සමරනායක කියල මුදලි කෙනෙක් වගේ අමුතු ඇඳුමක් ඇඳපු කෙනෙක්
    මම නම් හොඳ කවි කියන්නේ නිරායාසයෙන් කියපු ලියපු කවි වලටය් හුඟක් ජනකවි නිරායාසයෙන් කියපු ඒවා විමලරත්න කුමාරගම ඩී ආර් ඕ මහත්මය ලියල තියන ඔක්කොම වගේ කවිවල මේ ලක්ෂණය තියනවා
    කවි කිව්වහම එක එක ජාති වල කවි තියනවනේ
    රසවත් කුණුහරුප කවි ඉතින් මුඛ පරම්පරාගතව තමය් පවතින්නේ පැතිරෙන්නේ ඒවා හුඟක් වටින හුඟක් රසවත් කවි ඒව අභාවයටයන්න නොදී රැකගන්න ඕන කවි වර්ගයක්
    ප්‍රශ්නෙ තියෙන්නේ ඒවා ප්‍රසිද්දියේ පල කරන්න බැහැනෙ
    ලිපිය කවිගැන හින්ද මේකට කවි දෙකකුත් නිකමට ඇතුලත් කරන එක හොඳය් කියල හිතුන
    කවි අංක 1 ගැබුරු අර්තයකින්යුත් සරසවි කවියක්
    තමා
    නිසා
    තෙමේ
    විදිය්
    කවි අංක 2 මේකේ ලියන්න පුළුවන් තත්වෙ කවිමඩුවක කියපු කුණුහරුප කවියක්
    අන්ඩක් උඩ තබා සරසවි මඩුලු කොනේ
    සංගක්කාර තෙම කවිරස විඳිනු පෙනේ
    වට්ටක්කා ගෙඩිය මත තැබූ පරිදි වනේ
    බණ්ඩක්කා කරලා කවි තාලයට වැනේ
    අපි පොඩිකාලේ සාහිත්‍ය පාඩම් තිබුනට දැන් ඒවා අයින් කරලා ඉතින් කොහොමද රටක් හැදෙන්නේ ජාතීන් අතර සමගිය ඇති කරනවානම් එය කරන්න පුළුවන් හොඳම පාලම සාහිත්‍ය බව තේරුම් අරගෙන නැහැ අතීතය වමාරලා කනකොට රසවත් උනාට අනාගතය කොහොම වෙය්ද කියන ප්‍රශ්ණය තියනව
    ඔක්කොටම හරියන්න ගැබිණි මාතාවන්ට නිල ඇඳුමක් දීල තියෙන්නෙ ඒ මදෑ හැබය් අලුත් රේසර් තල දෙකකුය් ඕනවුනොත් 7 කට් එක කපන්න හොඳ කතුරකුය් ළඟ තියාගත්තනම් සමහරවිට දරු ප්‍රසූතිය සම්බන්දව ලමයින්ට ආදර්ශ පාඩමක් තියන්නත් වෙලාවක් එන්න පුළුවන් ඒ අලුත් නීතිය විතරක් මදි ළමය් හම්බුවෙන්න ඉන්න ගැනු ලම්ය්න්ට ඉස්කෝලේ එන්න දෙන්නත් ඕන දැන් කරන්නේ වහාම ඉස්කෝලෙන් අස් කරලා දන එකනේ ඒක හරිම අසාධාරනය් එහෙම ඉඩ දුන්නහම ටීචර්ට ඕනනම් අර ගුරුතුමී මම සිසුවියය් ඔබ එත් අපි එක පන්තියේ කියන සින්දුව කියන්නත් පුළුවන්නෙ
    ඉතින් සිංහල බෞද්ධ අපට මේ රට දැන් පිට රටක් වෙනඑක ගැන හිතෙන එක ගැන කරන්න දෙයක් නැහැ අපිට වැඩිය හුගක් ලොක්කෝබක්කෝ ඔය ධනිය ගෝපාලලා වගේ බකන් නිලාගෙන ඉන්නේ අපි ඉතින් රුපියල් අස්සේ අලුක්කාල් ගහන්න යන්න ඕන නැහැනේ වෙන දෙයක් වෙන්න ඇරලා ඔහේ බලා ඉන්න එකය් දැන් තියන තත්වේ හැටියට කරන්න තියෙන්නේ දැන් කව්ද කැලෑ පත්තරවලට බය ඔය ප්‍රසිද්ද පත්තර වල තියෙන්නේ ඕන තරම් දේවල්
    රාජ්‍ය සේවකයකුගේ මාසික වැටුප සමහර දොස්තර කෙනෙක් එක හවසකට හොයනවා ඇති
    රාජ්‍ය සේවකයකුගේ මාසික වැටුප සමහර වියාපාරිකයෙක් එක ගනුදෙනුවෙන් හොයනවා ඇති අපි නගරෙ මහා බිල්ඩින් අතරින් ඇවිදගෙන යනවිට අපි මේ රටේ මිනිස්සු උනාට මේ රට අපේ නෙවෙය් කියල හොඳට දැනෙනවා අර සත්‍යජිත් රායි මහත්මයාගේ මහා නගර් චිත්තරපටියේ වගේ රටේ හැම දෙයක්ම බිස්නස් එකක් වෙලා ඉස්පිරිතාලේ ආණ්ඩුවේ උනාට බාරකාරයෙක් නැතිව ලෙඩෙක් ඇතුලත් කර ගන්නේ නෑ වැඩිහිටි නිවාස හැටහුටහමාරක් තිබුනට බාරකාරයෙක් නැතිව අසරණයෙක් ඇතුලත් කර ගන්නේ නෑ කව්ද ඒවගේ අසරණයෙකුට බාරකාරයෙක් වෙන්නේ ග්‍රාමසේවක වෙනවද ඩී ආර් ඕ වෙනවද දිසාපති වෙනවද මාසෙකට සැරයක් දෙන රුපියල් 900 ගන්න වයසක මිනිස්සු තැපැල් කන්තෝරුවට වෙලා වරුවක් බලා ඉන්නවා
    ඉතින් මොන කවි ද
    මේ ප්‍රේම කතා නවතා අපි මොහොතක් අවට බලමු ඇහැ ඇරලා
    නැති බැරිකම් පාවෙනවා හතරවටේ හුළඟ වගේ
    ආයිත් මුලට ප්‍රදාන කරුණට නැත්නම් ඒක අමතක වෙනවනේ
    මම පොඩිකාලේ අහපු කවියක් තියනවා තවම ඒකෙ හරි තේරුම හොයාගන්න බැරි වුනා

    නව නව හේන්වල නව නව පඳුරු ඇතා
    නව නව පඳුරුවල නව නව කූඩු ඇතා
    නව නව කූඩුවල නව නව පැටව් ඇතා
    මෙතුන් පදේ තේරුවහොත් ඔහු සමතා

    Liked by 1 person

    1. මං දන්නා තරමිං ප්‍රාදේශී්‍ය ලේකම්වරයාට අසරණ (කාත්කවුරුත් නැති) අය වෙනුවෙන් කළ හැකි රාජකාරිමය වැඩ කොටසක් තිබෙනවා. ඔවුන් ඒවා ඉටු කරනවා. නමුත් පත්තරේ, ප්‍රවෘත්ති හෝ අන්තර්ජාලෙ එව්වා වැටෙන්නේ නැහැ.

      Like

    2. පොල්ගම්පල සිරි සමර නායක කියන්නෙ හොඳ කවියෙක්.කිතුල්ගොඩ ඩේවිඩ් මහත්තයලගෙ මස්සිනා කෙනෙක් නෑ කමට.ඒවුනාට සම සමාජ කාරය.සමසමාජ වේදිකාව දෙදරවමින් කවිකියූ කවියෙක්.එක්දාස් නමසිය හැත්තෑහතේ චන්ද රැස්වීමක බෙල්ලනදි එයාකිව්ව කවියක අන්තිම පද දෙක තවම මතකයි.

      වෙනදාමෙන් ම මේ පාරත් දෙනව බැටේ
      වල් අලියත් හිරවෙනවා යතුරු කටේ

      ඒවුනාට චන්දෙදි අලියා දිනුවා යතුර පැරදුනා.

      Liked by 1 person

    3. නව නව හේන්වල නව නව පඳුරු ඇතා
      නව නව පඳුරුවල නව නව කූඩු ඇතා
      නව නව කූඩුවල නව නව පැටව් ඇතා
      මෙතුන් පදේ තේරුම බඩ ඉරිඟු වෙතා

      Like

    1. ඉස්සර පන්නිපිටිය පැත්තෙ ගමක තිබුනු පංසල් තුන හැඳින්නුවෙ ඉරිසියාරාමය ,ක්‍රෝධාරාමය,අපටමොකවාරාමය, කියන නම් තුනෙන්.

      Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s