කඩේලඟ කතා-හඳට යෑම

අපේ පුංචි කාලෙ කඩේලඟ සිද්දවෙච්ච කතාබහ අපිට ලොකු දැනුමක් ලබාදුන්නා කියල මම කලිනුත් කියල ඇති.කඩේලඟදි හවසට එකතුවෙන ගමේ වැඩිහිටියො විවිධ දේගැන කතාකරා.ගමේරටේ තොරතුරු ගැමියො දැනගන්නෙ ඔය කඩේලඟ කතාබහෙන් තමයි .ගමේ උදවියට මුහුනදෙන්න වෙන අත්දැකීම්, නගරෙට ගිය කෙනෙකුට ලැබෙන තොරතුරු, කුඹුරුවලට සිද්දවෙන හානි,.චන්දෙ ,රබර් මිල ,විතරක් නෙවෙයි ඇමරිකන් කාරයයි වියට්නාමෙයි යුද්ධ කරන හැටි පවා මේ කතාබහට ඇතුලත් වෙලා තිබුනා.ඔය ඇමරිකාවයි වියට්නාමෙයි අතර යුද්ධෙදි අපේ කඩේ ආතාගෙ සහාය කොන්දේසි විරහිතව ලැබුනෙ ඇමරිකාවට.කඩේ ආත විතරක් නෙවෙයි යූඇන්පී උදවිය කවුරුත් ඇමරිකාවට සහයෝගෙටයි කතාකලේ.වියට්නාමෙ පැත්තට සහයෝගෙට කතාකල ප්‍රධාන කෙනා පහල ගෙදර වෙදලොකුඅප්ප,ඊට අතිරේකව උපාසක ලොකු අප්ප,කරෝලිස් බාප්ප වගේ සමසමාජ කාරයො වියට්නාමෙ පැත්තට කතාකලා.ඔලීගොඩ සුදුමාම දෙපැත්තෙම හපන්කම් ගැන අදහස් පලකරා.අපේ ලොකු මාම උපාසක ලොකු අප්පට විරුද්ධව හැම වෙලාවෙම කතා කරන නිසා උපාසක ලොකු අප්ප ඉන්න තැනදි ඇමරිකාවට සහයෝගෙටත් අනිත් වෙලාවට වියට්නාමෙට සහයෝගෙටත් කතාකරා.කඩේ ආත්ත දිලෙස්මාමා වගේ අය ඇමරිකන් බෝම්බවලින් වියට්නාමෙ සුන්නත්දූලි වෙලා යන හැටි කියද්දි වෙදලොකු අප්ප කියන්නෙ ජන බලය ඒසියල්ලට වැඩිය බලගතුයි කියලයි.මේ අතර ඔලීගොඩ වෙදලොකු අප්ප ඉන්නවනම් කියන්නෙ යුද්ධෙන් ලබන ජයක් නෑ කොයි කවුරුවත් කියලයි.එහෙම කතාව හැරෙනකොට උපාසක ලොකු අප්පත් ඒකට එකඟවෙලා අසාධාරණ යුද්ධයකට මුහුණදීම සඳහා වියට්නාමෙට ඇති අයිතිය ගැන කියනව.අපේ සිරිමාවෝ මැතිනිගෙ ආණ්ඩුව වියට්නාමෙට සහයෝගෙට කතාකරන නිසා ඇමරිකන් ආධාර නවතියි කියල කියන්නෙ කඩේ ආතා.එතකොට මද්දහෙට්ටි මහත්තය කියනව එහෙම උනොත් ස්කෝලෙ ලමයින්ට දෙන බිස්කට් එකත් නැතිවෙනවනෙ කියල.මේ ආරංචිය පොඩි උන් වෙච්ච අපිට මහ ප්‍රශ්නයක්.මොකද බිස්කට් කෑම අපේ ස්කෝලෙ ගමනෙ ප්‍රධාන කාර්‍යක් .අපේ ලොකු මාම උපාසකලොකු අප්ප නැත්නම් කියන්නෙ මක් වෙනවද ඔය පුස්කාච්ච ඉස්කෝතු දීල කොල්ලන්ව ඕන්නැති කෑම බීමවලට හුරු කෙරිල්ල නවතින එකමයි හොඳ කියල.එහෙම උනාට අපි පොඩිඋන් හරි බයකින් හිටියෙ ඇමරිකන් ආධාරෙ නැවතිලා අපිටදෙන බිස්කට් නතර කරයි කියල.

ආතගෙ කඩේට යාබදව හදපු කාමර කෑලි දෙකේ ආතගෙ පුතාඋන මද්දහෙට්ටි මහත්තය හිටිය.එතුම අපේගමේ විදුහල්පති තුමානෙ.ගමට තිබුන රේඩියෝ දෙකතුනෙන් එකක් තිබුනෙ මහත්තය ලඟ.මේරේඩියෝ එක විශාල එකක්.කොස්ගහ මුදුනෙ හයිකරපු උනගහකුයි රබර්ගහක් මුදුනෙ හයිකරපු උනගහක් අතර ඇදප කම්බිය ඉඳන් ගෙනාපුකම්බියක් ඒරියෙල් එක කියලයි කිව්වෙ.තව පිලිකන්න පැත්තෙ පොලවයටට බස්සපු අඩිහත අටක් දිග යකඩ පයිප්පෙ කට හයිකරපු කම්බියක් රේඩියො එකට සම්බන්ද උනේ අර්ත් එක නමිනුයි.තවබැටරිය කියල තරමක් ලොකු පෙට්ටියකින් වයර් එකකුත් රේඩියෝ එකට සම්බන්ද කරලා තිබුනා.මේරේඩියෝ එක ක්‍රියාත්මක කලේ මහත්තය විතරයි.හැබැයි ඕක අහන්න විශාල පිරිසක් සම්බන්ද උනා.බොහෝදවස් වලට ඔය රේඩියෝ ඇහිල්ලට සෑහෙන පිරිසක් කඩේට එකතු උනා.රේඩියෝ එකේ එලිවෙනකම් පිරිත් තියෙන දවස්වලට කට්ටිය එකතුවෙලා පිරිත් අහනව.අනිවාර්‍යෙන්ම මුවන්පැලැස්ස අහන්න කවුරුත් එනව.මේ කාලෙ සිද්ද උන වැදගත්ම සිද්දිය උනේ 1969 ජූලිමාසෙ 21වෙනිද වගේ දවසක .ලෝකයේ මනුස්සයෙක් හාහපුරාකියල හඳට ගොඩ බහින එක මේ වැදගත් සිද්දිය උනා.මේ සිද්දියට සති ගනනාවක ඉඳන් කඩේ සාකච්චාව උනේ මින්සා හඳට යාම පිලිබඳ මාතෘකාව.රේඩියෝ එකේ ප්‍රවෘතිවලට මේගැන ගමන් විස්තරය කියන නිසා ඒක අහන්නත් සෙනග පිරුනා.අන්තිමේදී මිනිසා හඳට ගොඩ බැසීම ගැන ගුවන්විදුලි ප්‍රචාරයක් ඇමරිකාවේ හූස්ටන් අභයාවකාශ මධ්‍යස්ථානය එක්ක සූදානම් කලා.දැන් මේ වෙලාවට කඩේ පිරෙන්න සෙනග එන්න පටන්ගත්තමමත් අවුරුදු දහයක් විතර වයසෙ හිමිහිට තාත්තගෙ පස්සෙන් කඩේ ලඟට ගියා මිනිසා හඳට යන හැටි අහන්න.

මුලුකඩේ ස්තෝප්පුවම පිරිලා.මිදුලෙත් සෙනග.වෙනද කාමරේ කබඩ් එක උඩ තියෙන රේඩියෝඑක ඉස්තෝප්පුවෙ කොනක ටීපෝඑක උඩ.බැටරිය ඒලඟින් බිම.රේඩියෝඑකේ චරබරසද්දෙට මොනවදෝකියවනවා.මෙලෝදෙයක් තේරෙන්නෙ නෑ.ඒහූස්ටන්වලින් එන විස්තර ප්‍රචාරය.ටිකකින් හූටන් ප්‍රචාරයවෙනුවට සිංහලෙන් කතාව ඇහෙන්න ගත්තා.ඇපලෝ එකොලහයානයෙන් මිදුනු චන්ද්‍රිකා යානය නීල් අම්ස්ට්‍රෝන්ග් එඩ්වින් ඔල්ඩ්‍රින් එක්ක හඳමතුපිටට කෙමෙන් පහත් කරමින් සිටින බව රේඩියෝවෙන් නිවේදනය කෙරුනා.මේවිදියට කෙරුනු විස්තර ප්‍රචාරයෙන් හඳමතුපිටට නීලාම්ස්ට්‍රොන්ග් ගේ ගොඩබැසීම වාර්තාකරා.මේවෙනකොට නිශ්ශබ්දව මුලු සභාවම මේ විස්තරේ අහනවා.මේවිස්තරේ සජීවීව ගියාද නැතිනම් පසුවකෙරුනු ප්‍රචාරයක්ද කියල තේරුමක් මටනම් තිබුනෙ නෑ.කොහොමහරි නීල් ආම්ස්ට්‍රෝන් හඳට ගොඩ බැස්සට පස්සෙ අපේ කඩේලඟ සභාව බොහොම උනුසුම් අතට හැරුනා.

“චන්ද්‍ර දිව්‍ය රාජයගෙ පිටට මේ මනුස්සයෙක් පය ගැහුවා කියල පිලිගන්න මේ මම නම් ලැහැස්ති නෑ ඔන්න. “රැල්බුරුල් ඇරල ඔලීගොඩ වෙදලොකු අප්ප කතාව පටන්ගත්තා.

“එහෙම කිව්වට ඔය මුලු ලෝකෙටම විස්තර කරකර ගොඩ බැස්සෙ කොහාටද එහෙනම්?”.ඔලීගොඩ සුදු මාම හීන් අඩින් කිව්වෙ වෙදලොකු අප්පට කෙලින්ම විරුද්ධ නොවී වගෙයි

“ඕකත් මේ අපි පය ගහල ඉන්න පොලව වගෙයි කියලනෙ මේ විස්තර කරන්නෙ.පස්වලින් හැදුනු වෙනම ලෝකයක් කියලනෙ විද්‍යඥයො කියන්නෙ” මද්දහෙට්ටි මහත්තයත් කතාවට සම්බන්ද උනා.

“ඔය විද්‍යාඥයො මොනව කිව්වත් ලෝකෙට මේසියලු ශිල්පශාස්ත්‍ර හොයාදීපු ඉරිසින්වහන්සේලා කියල තියෙන්නෙ රවි චන්ද්‍ර ආදී ග්‍රහ දේවතාවුන් වහන්සේලා කියලයි.ඒඇත්තන්ගෙන් සිද්දවෙන අපල උපද්‍රව එහෙම විස්තර කරල තියෙන්නෙඔය ඉරිසින්නාන්සෙලානෙ.දැන් අපි කොහොමද ඒඇත්තො දේශනා කරපුව බොරුයි කියන්නෙ.”ආයිත් වෙදලොකු අප්ප උත්තර දුන්න

“ඔව් වෙද මහත්තය කියන්න වගේ රවි චන්ද්‍ර කුජ බුධ ආදී වශයෙන්නවග්‍රහයින් ගැන ජ්‍යෝතිෂ විද්‍යාව කියවෙනව.ඒග්‍රදේවතාවන්ගේ ගමන අනුව පුද්ගලයින්ට ඵල අපල සිද්දවෙනව.ඒවාගෙ ග්‍රහයින් පිලිබදව බුධ දේශනාවෙනුත් කියවෙනව.ඔය රාහු කියන ග්‍රහය චන්ද්‍ර සූර්‍ය ග්‍රහයින් අල්ලා ගැනීම ගැන පිරිත් සූත්‍රවලත් කියවෙනව.” ජ්‍යෝතිෂය ගැන ගමේ ප්‍රවීනයා උන කඩේ ආතා සම්බන්දවුනේ එහෙමයි..

“හැබැයි බාප්පෙ ඔය චන්ද පරිත්ත සූරිය පරිත්තෙ සඳහන් වෙන්නෙ මේතියන චන්ද්‍ර සූරිය දෙන්නයි කියල හිතන්න බෑ මොකද ඒ සූත්‍තරේ බොහොම පැහැදිලිව කියන්නෙ රාහු කියන අසුරයෙක් ගැනයි චන්ද්‍ර කියන දෙවියෙක් ගැනයිනෙ ඔය සුර අසුර දෙගොල්ලන්ගෙ ගැටුම හැමදාමතියෙන එකක්නෙ.ඕක මනනම් හිතන්නෙ චන්ද්‍ර කියල නමතියෙන දෙවි කෙනෙකුයි රාහු කියන අසුරයෙකුයි අතර වෙච්ච හබයක් කියලයි.” උපාසක ලොකු අප්ප බොහොම හොඳට පැහැදිලි කරා.උපසම්පදා ලොකු හාමුදුරු කෙනෙක් හැටියට ඉඳල සිවුරු ඇරි කෙනෙක් උන උපාසක ලොකු අප්ප බොහොම ගැඹුරු අවබෝධයක් ධර්මෙ ගැන තිබුනු කෙනෙක්.

“ඔන්න කිව්ව අම්මප මේ හොර උපාසකයින්ට ඕන එකක් ගැන උත්තරයක් තියෙන හැටි බල පල්ලකො .මටනම් ඔය ඇමරිකන් කාරය හඳට බැරිනම් ඕන මගුලක ගියාට කමක් නෑ.මොකෝ උන් හඳට ගියෑ කියල අපිට සත පහක වැඩක් ඇතෑ.මේ එකඑකා කොයි මගුලෙ ගියත් අපි හම්බුකරගත්තොත් අපි කෑව එච්චරයි “අපේ ලොකු මාම හයියෙන් කිව්වෙ උපාසක ලොකු අප්පගෙ විරුද්ධ පාර්ශවය වෙමින්.

“මේ මෙතියෙස් සිංඤො උඹට වගේම අනිත් අයටත් මේ හඳට ගියා කියන එකෙන් ප්‍රෝජනයක් නැති එක ඇත්ත.අපි අපේ ගම්‍ රටවල සාධාරනව ධාර්මිකව ජීවත් වෙන එක ඊට වැඩිය වටිනවා.මොකද වෙද මහත්තයො කියන්නෙ?” කඩේ ආත කිව්ව.

“ඒක ඇත්ත බාප්පෙ.ඇමරිකන් කාරය චන්ද්‍රයා උඩට ගොඩ බැස්සත් එකයි නැතත් එකයි.ඒකෙන් මේ අපිවාගෙ මිනිස්සුන්ට මහලොකු දෙයක් වෙන්නෙ නැති එකනම් හැබෑව.”වෙදලොකු අප්ප ඇදල පැදල කිව්වා.

“ඒක නෙමෙයි වැඩේ ඇමරිකන් කාරය මිනිහෙක් හඳට ගොඩ බස්සන අතරවාරෙ රුසියන් කාරය මිනිස්සු නැති රොකට් එකක් හඳට ගොඩ බාල පස් අරගෙන ආපු එකනෙ”. සුදුමාම අලුත් කතාවක් කිව්වා

“අම්මප එහෙනම් රුසියන් කාරය ත් මාර වැඩක්නෙ කරල තියෙන්නෙ.ඇබැයි අර ගොඩ බැස්ස ඇමරිකන් කාරයට රුසියන් රොකොට් එක හඳේදි අහු උනානම් ඒක ආපහු එවන්නෙ නෑ.”දිලෙස් මාම ත් කතාවට එකතු උනා.

“ඔය රුසියන් යානාව ලුනා 15 කියල එකක්ලු.ඒව ගොඩබිම ඉඳන් අබ්‍යවකාශගත කරල ආපහු ගොඩබිමටම ගෙන්න ගන්නවලු.රුසියාවෙ ක්‍රමෙයි ඇමරිකාවෙ ක්‍රමෙයි ලොකු වෙනස්කම් තියනවලු”. සුදුමාම විස්තර කරා.

මේවිදියට මිනිහා හඳට යෑම ගැන ලොකු සාකච්චාවක් අපේ ගමේ වැඩිහිටියො කරා.මෙතනදි මේ කාරනේ වෙන්න බැරි දෙයක් හැටියට කතාකලේ චන්ද්‍රයා ග්‍රහයෙක් ලෙස සලකන වෙදලොකු අප්ප කඩේ ආතාවගේ වැඩිහිටියො.සුදුමාම වගේ වඩා තරුනවයසෙ හිටපු අයයි මද්දහෙට්ටි මහත්තයවගේ අයයි මේ ගමන පිලි ගත්තා.උපාසකලොකු අප්ප මේගැන බොහොම මධ්‍යස්ත මතයක් තමයි දැරුවෙ.අපේ ලොකුමාමා ජෝන්මාමා වගේ අය මේක එවෙලාවෙ කතාවට විතරක් හොඳ වෙනගතයුත්තක් නැති දෙයක් හැටියටයි සැලකුවෙ.අපේ තාත්ත බොහොම යතාර්තවාදී විදියට මේ හඳට යාම පිලිගත්ත විතරක් නෙවෙයි.ඔය දෙවිදේවතාවුන් හැටියට ග්‍රහවස්තූන්ට අධිපති ව යම් යම් ජීවිකොට්ටාශ හිටියට හඳ කියන්නෙ පොලව වගේ දෙයක් වෙන්න පුලුවනි කියන එකත් පිලිගත්තා.ඔය උනුසුම් සාකච්චාව නිම උනේ අපේ රාලහාමි කඩේට ගොඩ වුනාට පස්සෙයි.

“හා කට්ටියම හඳට යාම ගැන කතාව වගෙයි.මේකෙන් අපේ රටේ ලොකු වෙනසක් වෙනවා.ඒකනිසා කවුරු කවුරුත් මේගැන කතා කරන එක හොදයි” කියලයි රාලහාමි වාඩි උනේ.

“අනේ ඉතින් ඕකෙන් මේ අපේ රටට මොනව වෙන්නද රාලහාමි” .දිලෙස් මාම හිනාවෙලා කිව්වා.

“එහෙම කියන්න එපා බං දැන් බලපං අපේ මේ වෙදයියට දැන් ග්‍රහ පූජාව කරනකොට නීල් ආම්ස්ට්‍රෝන්ග් ටත් ශ්ලෝකයක් දෙකක් කියන්න වෙනව.චන්ද්‍රාෂ්ඨක බලිය කරනකොට ඔය ගගන ගාමියෙක් වත් අඹන්නවෙනව.ඊලඟට මේ බාප්පට රවිචන්ද්‍ර කුජ බුධ ගුරු ශුක්‍ර ශනි රාහු කේතු ග්‍රහයින්ගෙ පලාඵල හොයනකොට ඇමරිකන් රුසියන් රොකට්වලින් වෙන පලාඵලත් එක්ක ගලපන්න වෙනව.දැන්ම ඔන්න ආරංචියක් යනව ඇමරිකන් කාරය හඳේ බැටරිය ගලවගත්තය කියල.දැන් ලබන පහලොස්වකට හඳේ එලිය අඩුවෙන්න ඉඩ තියෙනව. ” ඔයවගේ විහිලු කතාටිකක් කියල සභාව විනෝදමත් කරපු රාලහාමි සාකච්චාවෙ උනුසුම සිසිල් කරල දැම්ම.

මේ අදින් අවුරුදු හතලිස්නමයකට එහා ලෝකෙ සිද්දවෙච්ච පෙරලියකට මිනිස් සංහතියේ යෝධ පිම්මකට අපේ වැඩිහිටියො ප්‍රතිචාරෙ දක්වාපු අන්දම.බලාගෙන ගියාම නරකමත් නෑ නේද?

9 thoughts on “කඩේලඟ කතා-හඳට යෑම

    1. තර්කෙ ගෝරියට යනකොට කඩේ ආත්ත ,වෙද ලොකුඅප්ප,මද්දහෙට්ටි මහත්තය වගේ ගමේ ප්‍රභූ කෙනෙක් මැදිහත් වෙනනිසා උනුසුම් උනාට පුපුරන්නෙ නෑ.

      Liked by 1 person

  1. කඩේ ගාවට ගියා වගෙයි …
    ඒ කතාබහ හරිම අව්‍යාජයි..
    මැවිලා පේනවා ..ලියැවිල්ල කියෙව්වහම ..
    දෙයියනේ කී දෙනයිද දැන් ඔය කියපු කට්ටිය අතරින් ජීවත්වෙලා ඉන්නෙ….
    ඊයෙ හොරවකේ නාන්න කියලා ගියහම ඔය කඩේගාව කතාබහට සම්බන්ධ වෙච්ච චරිතයක් හම්බුණා..
    ආ..මාමෙ කොහෙද ගියේ?
    මම ඇහුවා…
    මම ගියා මේ මද්දහෙට්ටිව පොඩ්ඩක් හම්බෙලා එන්න..කියලා මාමා කිව්වා..
    කවුරුවත් නෙවී..ඒ ඔබගේ ආදරණීය පියා..
    ගුණපාල කන්නන්ගර මාමා..💟

    Liked by 1 person

    1. අමේ හැම කඩයක් ලඟම එදා ඔහොම හමු තිබුනා.ලොකු පොඩි බේදයකින් තොරව ඔය හමුව රසවින්දා.එකඑක්කෙනාගෙ කතාශෛලිය, හඬ,වචන උච්චාරණය, සේරම තාමත් හොඳට මතකයි.අදඑහෙම කඩත් නෑ.ඒවිදියෙ චරිතත් නෑ.ඉන්න අයට එන්නවෙලාවක් නෑ.

      Liked by 1 person

    1. වයර්ලස් එක අහපු පරම්පරාව අඩුවෙමිනුයි යන්නෙ.අදනම් අහනවට සල්ලිත් දෙනවා.එදා අපි වෑරලැසෙක අහන්න ගමේ දෙතුන් පොලකට එකතු උනා.

      Like

  2. heh.
    ඇමරිකාවෙත් ලුනටික් ෆ්‍රින්ජ් එකේ කොන්ස්පිරසි තියරිස්ට්ලා සමහරු දැනුත් කියන්නෙ හඳට ගියෙ නෑ කියලා.

    Liked by 2 people

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s