කහඳගමගේ මහත්තයා.

ඒ 1993 අවුරුද්ද. මම අම්පාරෙ බින්තැන්නෙ උතුරෙ පලමුවැනි ප්‍රාදේශීය ලේකම් කමේ රාජකාරි කරන කාලෙ.

උදේ අම්පාරෙන් එන මම රාජකාරිය කරල හවසට ආපහු අම්පාරට යනව බොහෝ දවස් වලට. උදේ වරුව කාර්‍යාල රාජකාරි කරල හවස්වරුව ක්ශේස්ත්‍රයෙ ඇවිදින්න යාම මගෙ පුරුද්ද වෙලා තිබුනෙ. කාර්‍යාලෙ මගෙ සහායක වැඩේ කරන බැදි රැක්කෙ සෙනවිරත්න දවසක් දහයට විතර මගෙන් ඇහුව “සර්, අද හවස් වරුව ඔෆිස් එකේ ඉන්නවද ?” කියල.

මමත් දිනපොත පෙල්ලල එලියෙ වැඩක් නැති නිසා “ඔව් ඉන්නවා ඇයි?” කියල උත්තරේ දීල ප්‍රශ්නයක් ඇහුවා.

“නෑ සර් හමුවෙන්න කාටදෝ මහත්තයෙකුට ඕන කියල ගේට්ටුවෙ ඉන්න අයගෙන් හරස්ගල කෙනෙක් අහල තියෙනවා. ඒක නිසා ගේට්ටුවෙ රාලහාමිල තමයි ඇහුවෙ” කියල උත්තරේ ලැබුනා.

“හරි මම ඉන්නවයි කියන්න” කියල මම මගෙ වැඩවල නිරත උනා. දවල් වෙලා තේ කෝප්ප දෙකක් තුනක් බීලා (මහඔයදි මම දිවා ආහාරය ගන්නෙ හතරෙන් පස්සෙ) දිගටම වැඩ කරද්දි හවස දෙකට විතර ජාතික ඇඳුම ඇඳපු කලු, මඳක් කෙට්ටු, උස කෙනෙක් මගෙ කාමරයට ඇතුලු උනේ කාර්‍යාල බෑග් එකක් අතකින් එල්ලගෙනයි. දුටු සැනින් මට මතක් උනේ මම හෝඩියෙ පංතියෙ ඉගෙන ගන්නකොට ස්කෝලෙ හිටපු දෙවනි මහත්තයා! මේ නම් ගුරුවරයෙක් වෙන්නැති කියල හිතල වැඩිහිටියෙක් බව පෙනුන නිසා පුටුවෙන් නැගිටල අත්දෙක එකතු කරල “ආයුබෝවන් එන්න වාඩිවෙන්න” කියල කතාකරා. එහෙම කියනවත් එක්ක මගේ අමුත්ත කාලවර්ණ මූනෙ පොල්කෑල්ලක් වගේ සුදට දත් පේන්න හිනැහීගෙන බෑග් එක බිම තියල “ආයුබෝවන් සුනිල් මහත්තයා, මම පියසේන කහඳගමගේ” කියල මට ආචාර කරල ඉදිරිපස පුටුවෙ වාඩි උනා.

“කහඳගමගේ මහත්තය, හරිම සතුටුයි හමුවීම ගැන.ඔබතුමා ගැන කොච්චර අහල තියෙනවද? අද තමයි ඉතින් දැක ගන්න පුලුවන් උනේ.”

“මමත් ඔබතුමා ගැන අහල තිබුනට හමු වෙන්න විදියක් උනේ නෑනෙ. මේ සැරේ මම කිව්ව කෙනෙකුට අද හවස් වරුවෙ ඉන්නවද කියල හොයාතියන්න කියල. ඉතින් පනිවිඩ කාරය හරියටම කිව්ව අද හවස්වරුවෙ කන්තෝරුවෙ ඉන්නව කියල.”

“කහඳගමගේ මහත්තය මම අහල තිබුනු හැටියට උහන නේද ගෙවල්? ඉතින් මම අම්පාරෙ කච්චේරියෙ හිටියනෙ ගොඩක් කල්. හමු උනේ නැති එක පුදුමයි!”

“මම උහන වැරන්කැටගොඩ. ඒ උනාට පහුගිය කාලෙ මෙහෙන් පසු බැස්ස ගාල්ලට. මොකද හිටියනම් ජීවිතේ බේරා ගන්න බැරිවෙයි කියල හිතුනා. දැන් ගාල්ලෙ බද්දෙගම පදිංචිය.”

මෙහෙම පටන්ගත්තු අපි දෙන්නගෙ කතාව පැයක් දෙකක් ඇදිල ගියා. අම්පාරෙ මම ඉන්න ගෙදර ඇඩ්‍රස් එකත් අහගෙන දෙන්න එක්කම මහවැලි සංචාරක බංගලාවෙන් කෑමත් කාල, කහඳගමගේ මහත්තය පදියතලාවෙ හෝලිකේට යන්න පිටත් උනා. මම අම්පාරට ආවා. එදා හමුවීමෙන් මගේ කල්‍යාණ මිත්‍රයෙක් උන ඔහු ජීවිතයෙන් සමුගන්න දින දෙකකට ඉස්සෙරියන්ද කරාපිටියෙ රෝහලේදී අවසන් වරට කතාකරපු මොහොත දක්වා මට “කහඳගමගේ මහත්තය” උනා. ඔහුට මාව “සුනිල් මහත්තයා”උනා. ඔහුගේ සමීප මිත්‍රයො ඇමතූ “කගේ” කියන ඇමතුමෙන් මට ඔහුව අමතන්න හිතුනෙ නැත්තෙ ඒ ඇමතුම මට වඩා වැඩිහිටියෙක් වගේම මම පාසැල් වයසෙ ඉන්න කොට ගුරුවරයෙක් හැටියට සේවය කරපු ඔහුට මගෙන් සිදු නොවිය යුතුයි කියල මට හිතුන නිසයි. දුරකතනෙන් කතාකරන කොට “සුනිල් මහත්තයො මම කග” කියල කිවට මම කවදාවත් එහෙම කතා කරේ නෑ. මේ විදියට පටන්ගත්තු අපේ මිත්‍රත්වය නිසා අම්පාරට පැමිනි හැම මොහොතකම මගේ නිල නිවාසෙට ගොඩ වෙන්න අමතක කරේ නෑ.

අම්පාර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය රිචඩ් පෙරේරා, සහකාර මැතිවරණ කොමසාරිස් බංදුල මද්දුමගේ, දිස්ත්‍රික් සණස සංගමයේ සභාපති කොහොඹානේ ධර්මපාල වගේ ස්තාවර මිත්‍රයො කීපදෙනෙක් හැමදාම හවසට අපේ නිල නිවාසෙට ගොඩවෙනවා. මේ කණ්ඩායම එක්වීම ලොකු සාකච්ඡා සභාවක ආරම්භය! කහඳගමගේ මහත්තය අම්පාරට ආපු දවසට මේ සාකච්ඡා සභාව බොහොම අලංකාරවෙන්නෙ පැරණි ගුරුසටන් අත්දැකීම් ආදියෙන් මේ සභාව රසවත් වෙන නිසයි. එහෙම දාට ලේඛක ගුණසේකර ගුණසෝම, විදුහල්පති ජයසේන මහත්තය හෙමත් එක් වෙනවා. අම්පාරෙ ගුරුසටන් ඉතිහාසෙ ගුරුවෘතීය සමිති කෙරුවාව අධ්‍යාපන ලොක්කො එක්ක කෙරුණු වාද විවාද බොහොම රසවත්ව අපිත් එක්ක බෙදාගන්න කහඳගමගේ මහත්තය කටයුතු කරා.

එක අවස්තාවකදි අම්පාරෙ අධ්‍යාපන බලධාරියෙක් ගෙන් මට ඉල්ලීමක් ආවා තමන්ගෙ නිල නිවාස භූමියෙ තියෙන තේක්ක ගස් තුනක් කපාගන්න දෙන්න කියල. මම මේ බලධාරියට පැහැදිලි කරා එහෙම නිල නිවාස වල තියෙන ගස් පුද්ගලික ප්‍රයෝජනයට දෙන්න බෑ කියල. ඒත් මිනිහ මේක පිලිගන්නෙ නෑ. දිගටම කරදර කරා. මම අන්තිමට කිව්වා මේ ගස් කපන්න කිසිම හේතුවක් නැති නිසා බෑ කියල. ඒ ගමන මිනිහ කාගෙන්හරි උපදෙස් අරගෙන නිල නිවාසෙට අනතුරුදායක නිසා තේක්ක ගස් තුන කපා ඉවත් කරන්න අවසර ඉල්ලල ලියුමක් මගෙ කාර්‍යාලෙට එව්ව. මටත් මේ කියනදේ අහන්නෙ නැති එකට කේන්තියෙන් හිටියෙ. මම වහාම දැව සංස්තාවට දැන්නුවා අධ්‍යාපන බලධාරියගෙ නිල නිවාසෙ තියෙන අනතුරුදායක තේක්ක ගස්තුන කපලා ඉවත් කරගෙන යන්න කියල! දැවසංස්තාව කියන පරක්කුවෙන් වැඩේ කරල ගස්ටික අරගෙන ගියා. දැන් අධ්‍යාපන ලොක්කට කරන්න කිසිම දෙයක් නැතුව ගියා. කහඳගමගේ මහත්තය ආපු දවසක හවස ඉස්තෝප්පු සාකච්ඡාවෙදි මම ඔය සිද්දිය කිව්වා. ඊට සුමාන දෙකකට පස්සෙ කහඳගමගේ මහත්තය පත්තරේකට ගුරුසේවයේ රස කතාවකට ඕක ලියල. තේක්ක ගස්තුන පිල්ලි අරින්න ගිය බලධාරියාට හෙවණට තිබුනු ගස් තුනත් නැති කරගන්න උනා කියල බොහොම රසවත්ව කතාව ලියල තිබුනා. මේක බොහොම රසවත් උනේ මුලු අම්පාරම සිද්දිය කහඳගමගේ මහත්තයගෙ කතාවෙන් දැන ගත්තු නිසයි. අධ්‍යාපන ලොක්කා ඊට පස්සෙ ඒවගේ යෝජනා කලේ නෑ!

ඔයවගේ කහඳගමගේ මහත්තය අපේ ඉස්තෝප්පු සාකච්ඡාවක දවසක් කිව්ව ගල් ඔය සංවර්ධනය ගැන අන්තවාදී ද්‍රවිඩ සංවිධාන ගෙනියන මතය දෙමල අයගෙ නිජ බූමියෙ බලහත් කාරයෙන් සිංහලයො පදිංචි කලාය කියන එකයි කියල, මේ ගැන යම් තොරතුරු හොයාගෙන යනව ඒ මතය සත්‍ය නොවන බවට කරුනු රාශියක් තියෙනව කියල. ඒ ගැන පොතක් ලිවීම තම අදහසයි කියල හෙලි කරා. මමත් මගෙ ලග තිබුනු ගල් ඔය බෝඩ් එකේ පැරණි වාර්ෂික වාර්තා ටික ඔහුට පරිශීලනයට දුන්න. මේ සියලු තොරතුරු එකතු කරල “දිගාමඩුලු දනව්ව” කියන වටිනා ග්‍රන්ථය එලිදක්වන්න කටයුතු කරා.

අන්තවාදී දෙමල මතයට එරෙහි කහඳගමගේ කිසිදවසක ජාති වාදියෙක් උනේ නෑ. ඔහු සිංහල දෙමල මුස්ලිම් කාටත් සහෝදරත්වයෙන් සැලකුවා. කොයි ජනවර්ගෙත් දේශපාලන බලය යොදා මිනිස්සු රවටන දේශපාලකයින් එක්ක ඔහුට ලොකු අරගලයක් තිබුනා. ඒත් එක්කම මිනිස්සු රවට්ටන ඕනෑම පුද්ගලයෙක් එක්ක ගැටෙන්නත් ඔහුන්ට අභියෝග කරන්නත් කහඳගමගේ මහත්තය පැකිලුනේ නෑ. ලෙනාඩ් වුල්ෆ් කියන ලේඛකයා එක්ක ගිය ගමනක් හැටියට ප්‍රසිද්ද පුද්ගලයෙක් ලියල තිබුනු පොතක යටි අරමුණ උනේ යම් කිසි දේශපාලන නායකයෙක්ගෙ පරපුරට අපහාස කරන්නය කියල තේරුම් ගත්තු කහඳගමගේ මහත්තය අරපොත ලියූ පුද්ගලය ලියල තියෙන කරුණු ගැන ලොකු අධ්‍යනයක් කරල ඒවායෙ තියෙන නොමඟ යවන සුලු අසත්‍ය තොරතුරු ඔප්පු කරල වෙනම පොතක් ලියල එලි දැක්කුවෙ අර කරපු අයුක්ති සහගත බාල වැඩේට විරුද්දත්වය ප්‍රසිද්දියෙ පෙන්වමිනුයි. ඔහු ජීවත්ව ඉන්නා තුරුකිසිවෙක් ඔහු දැක්වූ කරුණුවලට අභියෝග කරන්න ආවෙ නෑ.

පියසේන කහඳගමගේ මගේ මිත්‍රයා ගොවි ජනපදවාසියෙක්, ගුරුවරයෙක්, වෘතීය සමිති නායකයෙක්, ප්‍රගතිශීලී දේශපාලන ක්‍රියාකාරිකයෙක්, පුවත්පත් කලාවේදියෙක්,ලේඛකයෙක් හැටියට තම ජීවිත කාලය තුල ඉටුකල සෑම කාර්‍යභාරයක්ම පරිපූර්ණව ඉටුකිරීමට ක්‍රියාකල මිනිසෙක් හැටියට ඔහු ගැන ඇසූ දුටු සෑම කෙනෙක්ම අවිවාදයෙන් පිලිගන්නා කරුණක්. මිල මුදල කෙතෙක් අවශ්‍ය වුවද එය උදෙසා තම හිතට එකඟ නොවන කිසිවක් කිරීම ඔහු දැඩිව ප්‍රතික්ෂේප කලා. තමා අනුගමනය කල ප්‍රතිපත්ති වෙනස් නොකල ඔහු, එසේ ප්‍රතිපත්ති වෙනස්කල, මුදලට ඇලීගැලී ජීවත්වූ අයව එලිපිටම ප්‍රතික්ෂේප කලා. ඔහු විසින් රචනා කරන ලදපොත පත කියවීමෙනුත්, ඔහුගේ සාහිත්‍ය උත්සව දේශන රාශියකට සවන්දීමෙනුත්, ඔහුගේ පර්‍යේෂන වල කරුණු එක්‍ රැස්කිරීම් පිලිබඳව සංවාදවල යෙදීමෙනුත්, ඔහුගේ අත්දැකීම්වලට සවන්දීමෙනුත්, ඔහු තුල ස්තාපිත කරගෙන සිටි ජීවිත දර්ශනය තේරුම් ගැනීමට උත්සාහ කිරීමෙනුත්, මම තවත් උපාධියක් හැදෑරූ තරම් දැනුමක් හා අවබෝධයක් ගොඩ නඟා ගැනීමට සමත් වූ බව බොහොම ගෞරවයෙන් සටහන් කරනවා.

මේ මගේ කල්‍යාණ මිත්‍රයා අවසාන කාලයේ මුණ ගැසුනු වෙලාවක මට පැවසුවේ “සුනිල් මහත්තයො, මට නම් දැන් ටිකට් එක එන ලකුණු දැනෙනවා. ලිඳ ලගට ගිහින් ආවත් බොහොම අමාරුයි” කියලයි. “පිස්සු කියවන්නෙ නැතුව දොස්තර මහත්තයෙකු හමුවෙලා බෙහෙත් ගන්න කහඳගමගේ මහත්තයා” මම කිව්වා. මාසෙකට දෙකකට පස්සෙ දුරකතනෙන් කතාකරේ බොහොම කලකිරිල. ඒ මුණගැසුනු වෛද්‍යවරයා කියල තියෙන්නෙ ජීවකය ආවත් සනීප කරන්න බෑ කියල. ඒ වෛද්‍යවරයගෙ කතා විලාශය ගැන ඔහු තම කලකිරීම ප්‍රකාශ කලා. ආයෙත් සතියකින් දෙකකින් බොහොම සතුටින් කතා කලේ බෙහෙත් ගැනීම සඳහා හෘද ශල්‍ය වෛද්‍ය නාමල්ගමගේ මහතා මුනගැසීමෙන් පසුවයි. මේ කීර්තිමත් වෛද්‍යතුමා කහඳගමගේ මහත්තයගෙ පොත්පත් හොඳින් පරිශීලනය කල පාඨකයෙක් බව එතුමාගෙන්ම දැන ගැනීමෙන් ඔහු ඉමහත් සතුටට පත්ව සිටියා. එමෙන්ම නාමල් ගමගේ වෛද්‍යතුමා ඉතා ආදරයෙන් අවශ්‍ය උපදෙස් ලබාදීමත්, බෙහෙත් ලබාදීමත් එතුමාගේ නිහතමානී ගුණයත් අපේ මිත්‍රයාගේ ඉමහත් ඇගයීමට ලක් උනා. තවත් කෙටි කලකින් කහඳගමගේ මහතා අසනීප වී ප්‍රතිකාර ගැනීම සඳහා කරාපිටිය මහ රෝහලේ හෘදරෝග අංශයට ඇතුලු වූ බව ඔහුගේ ආදරණීය බිරිඳ රත්නා කහඳගමගේ මහත්මිය දුරකතනයෙන් මට දැන්වූවා. මම කොලඹ සිට ගාල්ලට ගියේ ගුනසේකර ගුනසෝම ලේඛකයාවත් කැඳවගෙනයි.

දහවල් රෝගීන් බලන වෙලාවේ කහඳගමගේ මහත්තය හිටපු හෘද රෝග අංශෙ වාට්ටුවටට ගියා. ඇඳේ හාන්සිවී සිටි ඔහු මා දුටු විගස ඉමහත් සතුටින් කතාකරන්න පටන්ගත්තා. ඔහු මා සමඟ කතාබහ කරන අතර මගේ ඇස යොමූනේ ඇඳ අසල ඇති සටහනකටයි. වැඩිදුර කතාබහ කිරීමෙන් රෝගියා නොවෙහෙසන ලෙස එහි සඳහන්ව තිබුනා. මම “කහඳගමගේ මහත්තය වැඩිය කතාකරන්න හොඳ නෑ නේද?” කියල දෙතුන් සැරයක් මතක් කරා. ඒත් කතාබහ අඩුවුනේ නෑ. රෝගීන් බලනවෙලාව නිමවූ නිසා මම කිව්වා “කහඳගමගේ මහත්තය මම හවස පහට එන්නම්. දැන් ටිකක් විවේක ගන්න” කියල. “ඇඳ උඩ ඉන්න මම ඉතින් කොහොමත් විවේකෙන්නෙ ඉන්නෙ. එහෙනම් සුනිල් මහත්තයො හවස එන්නකො” කියල සුපුරුදු ස්වරෙන්ම මට සමුදුන්නා. මම රෝහලෙන් එලියට ඇවිත් ගුණසේකර ගුණසෝමට කිව්වා “ගුණසෝම කහඳගමගේ මහත්තයට හුස්ම ගැනීම පිලිබඳ ගැටලුවක් තියෙන නිසා කතාකරන්න හොඳනෑනෙ. ඒත් අපි ආවහම කතාකරනවනෙ. ඒ නිසා හවස එන්නෙ නැතුව ඉමු” කියල. එහෙම කියල අපි හිමිහිට කොලඹ ආව.

දවස් දෙකකින් පනිවුඩේ ලැබුනා මගේ මිත්‍රයා අපි ඔක්කොම අත ඇරල ගියා කියල. මම මිත්‍රයට අවසාන ගෞරවය දක්වන්න බද්දෙගම දුන්වත්තෙ පන්හිඳ නිවසට ගියා. මගේ මිත්‍ර පියසේන කහඳගමගේ කියන අසහාය පුද්ගලයා කවදක්වත් නැති විදියට දෑත් බැඳගෙන උඩුකුරුව සාලේ මැද සැතපී ඉන්නවා. ගෙට ඇතුලුවෙනකොට හැඬූ කඳුලෙන් මා පිලිගත් රත්නා කහඳගමගේ මහත්මිය “අනේ සර්, මහත්තයා එදා හවස පහට ඔබතුමා එනකම් බලා හිටියා. මට ලොරියක දේවල් සුනිල් මහත්තය එක්ක කියන්න තියෙනවා කිව්වා” කියල මට කිව්වා. මගේ ජීවිතේ මට මේ දක්වා මුනගැසුනු විශිෂ්ඨතම මිනිසා කියල මම අපේ පියසේන කහඳගමගේ මිත්‍රයව හඳුන්වන්න කැමතියි. එදා හවස පහට ආපහු කහඳගමගේ මහත්තය හමුවෙන්න ගියානම් කියල තාමත් දුක්වෙනවා. ඒත් එහෙම නොයන්න තීරණය කලේ ඔහුගේ සුව පහසුව ගැන හිතූ නිසා කියල හිතල හිත සනස ගන්නවා.

8 thoughts on “කහඳගමගේ මහත්තයා.

  1. මේ වගේ උදවිය රටේ නැති වීමේ අඩුව නිසා තමයි රටට හේන් ගැහිලා තියෙන්නෙ, පොළවේ පය තියල ඔලුව කෙලින් තියන් මිනිස්සුන්ට සේවය කරන්න පුළුවන් පරම්පරාවක් ආයෙත් එන එකක් නැහැ !

    Like

  2. මමත් එතුමාගේ පොත් වලට ගොඩක් කැමතියි…
    එතුමා ගැන මෙවැනි සටහනක් තැබූ ඔබටත් බොහොම ස්තුතියි…

    Like

  3. හුඟක් මිනිස්සු සිහින නිද්‍රාවකය් ඉන්නෙ නමුත් ඔව්න් දන්නෙ නැහැ ඔවුන් ඉන්නෙ සිහින නිද්‍රාවකය් කියල ප්ර්ජ්නාවෙන් යුක්ත අය තමය් තරමක් හරි අවදියෙන් ඉන්නෙ ප්ර්ජ්නාව කියන්නෙ දැනුම නොවෙය් උපාදි නොවෙය් බුද්ධිය නොවෙය්
    නමුත් අනිත් අයත් සමහර වෙලාවට සිහින නිද්‍රාවෙන් අවදි වෙනව එහෙම වෙලාවට හුඟක් අය අන්දමන්ද වුනා වගේ වෙනව තමුන් නොදන්න හුඟක් දේවල් තියනව කියල එවිට ඔවුන්ට තේරුම් යනව නමුත් තමුන්ගෙ ආචාර්ය මහාචාර්යකම් වලට උපාදියට දරන තනතුරුවලට එය නොගැලපෙන බැවින් වහාම ආයිත් පුරුදු නිද්‍රාවට පත්වෙනව
    මිනිස්සු සිහින නිද්‍රාවෙන් අවදිවෙන එක වෙලාවක් තමය් තමන්ට හිතවත් කෙනෙකුගෙ මරණය දැනගත්වෙලාව
    නමුත් හුඟක් අයගෙ ඒ අවදිවීම තාවකාලිකය්
    එය ප්ර්ජ්නාවෙන් අවදි වීමක් නොවෙය් එය වේදනාකාරී අවදිවීමක්
    එවිට නැවත නිද්‍රාවට පත්වෙලා සුපුරුදු සිහින ලෝකයට යන්නය් හුගක් අය පෙලබෙන්නෙ
    අවට ඉන්න අයත් නොයෙකුත් ආකාරයෙන් ඔවුන් නැවත නිද්‍රාවට පත්කරන්න උනන්දුවෙනව
    කරන සුළු පෙළඹවීමකින්ම ඔව්න් නැවත නිද්‍රාවට පත්වෙනව
    මොකද නිදාගෙන ඉන්න අය කැමති නැහැ තමුන් නිදාගෙන ඉන්න අතරෙ තවත් කෙනෙක් අවදිවෙලා ඉන්නවට

    Like

  4. දිසාපති තුමා
    මමත් කහදගමගේ මහත්තයාගේ පොත් වගේම ගුරු සේවයේ රස කතාත් නොවරදවාම කියවපු කෙනෙක්.
    කොයි තරම් නිර්ව්‍යාජ අවංක මනුස්සයෙක්ද කියල දැනගත්තේ අද.
    මිල මුදල් වලින් අග හිගකම් කොතෙකුත් තිබ්බත් , තමන්ගේ ප්‍රතිපත්ති පවා නොදෙන මේ වගේ සරල ජීවිත
    අපේ සමාජය තුල දැන් ඉතාම විරලයි.
    මගේ පියාත් කවියෙක් , මගේ විවාහයේ දෙවෙනි දවසේ ඔහුට ඕනෑ උනා කවි මඩුවක් කරන්න.
    ලක්ෂ ගණන් වියදම් කරපු මගුලට වඩා , බොහොම ඈත පළාත්වල ඉදල ඒ ඇවිත් උන්න නිර්ව්‍යාජ මිනිස්සුන්ගේ හිටිවන කවි අහල මම වින්ද සන්තෝෂය අප්‍රමාණයි .

    Like

  5. පියසේන කහඳගමගේ මහත්මයා ගල්ඔය මුල් ජනපද වාසීන්ගේ ජීවන අරගලය ඉතාම අපුරුවට තමන්ගේ අත්දැකීමෙන්ම අපිට ඉදිරිපත් කරලා තියෙනවා.
    බොහොම දුෂ්කර පරිසරයක, අඩු පහසුකම් යටතේ ජීවත් වෙමින් රටටම බත සපයන මිනිසුන්ගේ පෑන වුනු කහඳගමගේ මහත්මයා වෙනුවෙන් සටහනක් වෙන්කිරීම ගැන ඔබතුමාටත් බොහොම ස්තුතියි.

    Liked by 1 person

  6. ඔය නැගෙනහිර රුහුණෙ ඉඳන් ලිව්ව ලේඛකයන්ගෙ පොත් හරි අපූරුයි සුනිල් මහත්තය. හරිම සිත්ගන්නාසුලුයි..කග, ගුනසේකර ගුණසෝම මායා රන්ජන් මේ හැම කෙනෙක්ම අපේ හිත්වලට හරි ලඟයි

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s