චන්ද්‍රතිලක සහ රියදුරු මිතුරෝ

මම අවුරුදු තිස් තුනක් ඉක්මවා රාජ්‍ය සේවාවෙ යෙදිල තියෙන්නෙ. තවත් අවුරුදු එක හමාරකට කිට්ටු කාලයක් මේ ගමන යන්න පුලුවන් කම තියෙනවා. මේ රාජකාරියෙදි මම ගුරුහරුකම්, මඟපෙන්වීම් ලබාගත්තු මගේ ජේෂ්ඨයො ගැන වරින්වර සටහන් කරල තියෙනවා.

අපි රාජ්‍ය සේවාවෙදි ඉගෙන ගන්නෙ ජේෂ්ඨයින්ගෙන් විතරක් නෙවෙයි. අපිත් එක්ක වැඩ කරන අපේ මඟපෙන්වීමෙන්‍ රාජ්‍ය සේවාවෙ යෙදෙන පිරිස බොහෝයි. මාණ්ඩලික නිලධාරියෙක් හැටියට කාර්‍යාලෙක ගිහින් වාඩි උනහම තමන්‍ යටතෙ සේවය කරන විශාල කණ්ඩායමක් එක්ක වැඩ කරන්න වෙනවා. මුලින්ම රාජ්‍ය සේවෙට යන මාණ්ඩලික නිලධාරියාට අයිතිවෙන කණ්ඩායම රාජ්‍ය සේවාවෙ පහලම ශ්‍රේණියට අයත් කාර්‍යාල සහකාර සේවාවෙ ඉඳන් රාජ්‍ය කලමණාකාර සේවාව දක්වා විහිදිලා තියෙනවා. ඉස්සරනම් කාර්‍යාල කම්කරුවො, මුරකරුවො, රියදුරො, පොත් බැදුම්කරුවො, දුරකතන ක්‍රියාකරුවො, පනිවුඩකරුවො, සරප්වරු, සාමාන්‍ය ලිපිකරුවො ,අංශ ප්‍රධානීන් ලෙස කටයුතුකල ජ්‍යෙෂ්ඨ ලිපිකරුවො, පරිපාලන නිලධාරින් නැතිනම් අධිශ්‍රේනියේ ලිපිකරුවො කියල මහ පිරිසක් මුලින්ම යන මාණ්ඩලික නිලධාරින් යටතෙ වැඩ කලා. මේ සියලුම දෙනාගෙන් යම් යම් දේවල් ඉගෙන ගන්න පුලුවන්. ඒ උදවිය නිලයේ වගකීම්වලින් අපට වැඩිය පහල උනාට රාජ්‍ය සේවෙ අත්දැකීම් බහුල අය. අනික තමයි අපි භද්‍ර යෞවනයේ ඉන්නකොට අපිත් එක්ක වැඩ කල මේ නිලධාරි නිලධාරිනියන් අපේ වැඩිහිටියන්ගෙ වයසෙ උදවිය. මේ අය ජීවිතය තුලින් අත්දැකීම් ලබාගත්ත උදවිය නිසා ප්‍රායෝගික භාවයෙන් අගතැන්පත් බොහෝවිට.

අද මේ ටික පූර්විකාව හැටියට ලිව්වෙ රාජ්‍ය සේවාවෙදි මාත් එක්ක කටයුතු කරපු අපේ යටත් නිලධාරි ගනයේ සේවය කරපු විශ්වාසවන්තයො ගැන සිහිපත් වෙලයි. මම අම්පාර කච්චේරියෙ උපදිසාපති හැටියට රාජකාරි ආරම්භ කරන කාලෙ අද වගේ පහසුකම් රාජ්‍ය සේවාවට තිබුනෙ නෑ. බොහෝකොට නිල නිවාසවල ඉදල කාර්‍යාලෙට උදේ පයින්ම තමයි ගියෙ. දවල් කෑමටත් පයින් ඇවිත් ආපහු යනව. හවසටත් බොහෝකොට පයින්ම තමයි ගමන. දිස්ත්‍රික්කෙ ඇතුලෙ රාජකාරි වලට වාහනයක් ලැබෙන්නෙ බොහොම අඩුවෙන්. දිස්ත්‍රික්කෙන් පිට කොලඹ එන්න වෙන්නෙ අනිවාර්‍යෙන් බස් එකේ. මොනවහරි බඩු ගේන්න තියෙනවනම් ජීප් එකක් හම්බු වෙනවා. බොහෝ වෙලාවට බඩු ගේන්න එන්නෙ ගබඩාව භාර ලිපිකරු නිලධාරියා. ලිපිකරු නිලධාරිය කොලඹ බඩු ගේන රාජකාරියට ජීප් එකක එද්දි උපදිසාපති කම කරපු මම රැස්වීම්වලට කොලඹ එන්නෙ සීටීබී බස් එකේ හරි සමන් බස් එකේ හරි. සමහර දාට සමුද්‍ර සිරි බස් එකෙනුත් එනවා. අද එහෙම රාජකාරියකට අම්පාරෙ ඉඳන් කොලඹට මාන්ඩලික නිලධාරියෙක්ව එවන්න පුලුවන්ද?

මෙහෙම ගමන්බිමන් යන්න ඒ කාලෙ මුලු කච්චේරියටම තිබුනෙ වාහන දෙක තුනයි. දිසාපතිතුමාගෙ නිල වාහනේ, අතිරේක දිසාපතිතුමාගෙ නිල වාහනේ ඇරුනම තව මිට්සුබිෂි ජීප් දෙකකුයි, ඩයිහට්සු ජීප් කබලකුයි තිබුනා. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙන් ඉඩම් අංශෙට දීපු මිට්සුබිෂි ජීප් එකක් ඒ අංශෙ තිබුනා. තව වතුර බවුසරයකුත් ඉඩම් අංශෙ තිබුනා. සැලසුම් අංශෙ වැඩවලට දීපු දොරවල් නැති ජීප් කොටේකුත් තිබුනා. මිල පාලන අංශෙ රෙනෝල්ට් කාර් එකක් තිබුනා. මුලු කච්චේරියටම වාහන ඔච්චරයි. මේ වාහනවල වැඩ කරපු රියදුරු මහත්වරු කීපදෙනෙක් හිටියා.

දිසාපතිතුමාගෙ රියදුරු වීරසිංහ. සුදු කලිසම කමිසය අඳින වීරසිංහ බොහොම පිලිවෙලට වැඩ කරපු කෙනෙක්. වාහනේ බොහොම පරිස්සම්න් එලවන වීරසිංහ දිසාපතිවරු ගණනාවකට රියදුරු ලෙස කටයුතු කරල පුරුදු කෙනෙක්. නන්දිසේන දිසාපතිතුමා එක්ක මහඔය ඉදන් අම්පාරට එනකොට අරංතලාවෙදි වාහනෙත් එක්ක එල් ටී ටී ඊ එකෙන් අල්ල ගෙන බිමට බස්සවල පෝලිම් ගස්සපු වෙලාවෙ “වාහනේ ආපු මහත්තය කවුද?” කියල වීරසිංහගෙන් කොටි ඇහුවම, “මහඔය ඉදල අම්පාරට යන්න නග්ග ගත්තු මහත්තයෙක් ඔය. මම හරියට දන්නෙ නෑ කවුද කියල” කටේ තොලේ නොගෑවි බය නැතුව කියාපු බොරුව නිසා දිසාපතිතුමාගෙ ජීවිතේ බේරුණා. ඒ වගේ අවස්ථාවට අනුව කටයුතු කරල තමනුත් බේරිලා තම ප්‍රධානියවත් බේරගන්න ඒ රියදුරු මහත්තයට පුලුවන් උනා. වාහනේ කොටි අරං ගියේ තව වාහන නමයකුයි මංගලගම නායක හාමුදුරුවො උන ඇකිරියන්කුඹුරේ ඉන්දරතන හාමුදුරුවන්වයි එක්ක. අද වෙනකම් වෙච්ච දෙයක් නෑ.

ඊලඟට කොලඹ එන්න පුලුවන් මිට්සුබිෂි ජීප් එක උන 31 ශ්‍රී 2112 වාහනේ රියදුරු මොහොමඩ් ටී. ඇෆ්. මොහොමඩ් මැලේ ජාතිකයෙක්. කොලඹ නගරෙ ටැක්ෂි එලවල පලපුරුදු කෙනෙක්. වාහනේ බොහොම හොඳට තියාගෙන හිටපු රියදුරෙක්. ඕනෑම වෙලාවක ඕනෑම තැනකට යන්න පුලුවන් සිංහල, දෙමල, ඉංග්‍රීසි, මැලේ භාෂාවලින් අදහස් හුවමාරු කරගන්න අපූරු මනුස්සයෙක්. විශ්‍රාම ගිහින් අවුරුදු විස්සක් විතර ඇති අද වෙනකොට. මේ ලඟදිත් මට කෝල් එකක් දීල කතා කලා. දැන් ත්‍රීවීල් එකක වැඩ කිව්වෙ. එදා වගේම හිනාවෙන ගමන්. ඕනෑම දුරක් වේගෙන් නිහඬව වාහනය එලවගෙන යන එක මොහොමඩ් රියදුරු මහත්තයගෙ පුරුද්ද.

අතිරේක දිසාපතිතුමාගෙ නිලවාහනේ රියදුරු විමලරත්න පෙරේරා සුවිශේෂ රියදුරෙක්. කරාටේ ක්‍රීඩාවෙ කලු පටිධාරියෙක් උන විමලරත්න පෙරේරා පසුව කරාටේ ක්‍රීඩාවෙන් දේශීය සටන් කලාවෙ අක් මුල් හොයාගෙන ගිය කෙනෙක් උනා. ඉපැරණි දේශීය සටන් ශිල්පයේ අංගම් පිලිබඳව ගුරුකුල ඇසුරු කරල අංගම් ශිල්පයේ ප්‍රවීනත්වයක් ලබන්නත් ඔහුට හැකිඋනා. සංගීත ශිල්පයේ හොඳ හැකියාවකුත් තිබුනු ඔහු බුදු දහමේ අභිධර්මය පිලිබඳවත් හොඳ අවබෝධයක් ලබා ගෙන සිටියා. මේ සියල්ල පිලිබඳ තම දැනුම ඔහු “මැකීගිය සටන් ක්‍රම” නම් වූ පොතක් ලියා පල කිරීමෙන් අන් අයටත් දැන ගැනීමට සැලැස්සුවා. ඔහු සමඟ ගමන් බිමන් යාමේදී මේ සියල්ල පිලිබඳව ගැඹුරින් සාකච්ඡා කරන්න මට පුලුවන් උනා. ඔහුගේ අදහස උනේ මනස නිරවුල්ව තබා ගැනීම සඳහා සටන් ශිල්පයන් ප්‍රගුණ කිරීමත්, බුදු දහමේ එන ගැඹුරු දාර්ශනික කොටස් පිලිබඳ අවබෝධයත්, සංගීතයේ හැකියාවත් ප්‍රයෝජනවත් වූ බවයි. මේ සියලු ශිල්පයන් වල ප්‍රවීණත්වය තිබුනත් ඉතාම තැන්පත් සාමකාමී පුද්ගලයෙක් විමලරත්න පෙරේරා. පසුව අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලයේ බවුසර් රියදුරු ලෙස සේවය කර විශ්‍රාම ගිය විමලේ මම දිසාපති ලෙස සේවය ඇරඹූ මුල් කාලයේ මියගියා.

මේ සියලු දෙනාටම වැඩිය අම්පාරේදී මාත් සමග බොහෝ සමීපව වැඩකල රියදුරු උනේ චන්ද්‍රතිලක රියදුරු මහතා. වීරසිංහ, මොහොමඩ් වැනි පැරණි රියදුරන් හැර අම්පාර කච්චේරියේ වැඩකල බොහෝ රියදුරන් චන්ද්‍රතිලක ගේ ගෝලයෝ. ජේ. ඒ. චන්ද්‍රතිලක රියදුරු මහතා ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ රියදුරෙක්. ඔහුගේ පියාත් එම දෙපාර්තමේන්තුවේ සේවය කර ඇති කෙනෙක්. අපි අම්පාරට යනකොට ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවේ බවුසර් රථයේ සේවය කල චන්ද්‍රතිලක රියදුරු මහතාව හැදින්වුනේ “බවුසර් චන්දරේ” නමින්. දීර්ඝ කාලයක් බවුසර් රථයේ සේවයකල ඔහුගේ බවුසරේ සහායක ලෙස සේවය කල තරුණයින්ට මැනවින් රිය පැදවීම උගන්වා රියදුරන් කිරීමටත් චන්දරේ කටයුතු කලා. විමලරත්න පෙරේරා, ආරියදාස, වෝල්ටර් ආදී රියදුරන් ගණනාවක් චන්දරේගේ ගෝලයින් ලෙස කටයුතු කල අය. අම්පාර දිසාපතිවරුන් පවා චන්දරේ හැදින්වූයේ “බවුසර් චන්දරේ” යන නමින්. බවුසර් රථයේ සේවය කරන අතර තුර සිනමා වෑන් එකේ චිත්‍රපටි පෙන්වීම සඳහා රාත්‍රියේ යන චන්දරේ පසුවදා උදයේ යලිත් බවුසරයෙන් වතුර බෙදීමට යනවා.

අම්පාරේ නියං කාලයේ වතුර බෙදීම ලේසි කටයුත්තක් උනේ නෑ. වතුර බවුසරේ එනකම් මඟ බලා සිටින ගම්වාසීන් ට වතුර නොදී වී මෝල්හිමියන්ගේ ටැංකිවලට වතුර පුරවා මුදල් ගන්න රියදුරන් අතර චන්දරේ මිනිස්සුන්ට දෙවියෙක් උනා. ඔහු කිසි දින බවුසරයෙන් වතුර විකුනුවේ නෑ. අහිංසක ගම්වාසීන්ට වතුර ලබාගත හැකිවන පරිදි ලිංවලට වතුර පුරවා තම බෙදාහැරීම් ප්‍රදේශයේ මහජනතාවගේ ගෞරවයට පාත්‍ර වෙන්න ඔහුට පුලුවන් උනා. බවුසරයෙන් වතුර බෙදීමට යාමට පෙර ඇතැම් දිනවලට ජීප් එකක් අරගෙන අපේ චමරියට ඇවිත් අපිව කාර්‍යාලෙට ගිහින් දාන්නත් චන්දරේ අමතක කලේ නෑ. මේ අතර කොට මොඩල් එකේ පැජරෝ ජීප් එකක් ඉඩම් කොමසාරිස් එකට ලැබුනා. මේ වාහනේ රියදුරු උනේ චන්ද්‍රතිලක.

චන්ද්‍රතිලක එක්ක මේ වාහනෙන් සිකුරාදාට අම්පාර නාමල් ඔය හරහා මහියංගනයට හොර ගමනක් යන්න අපි පුරුදුවෙලා හිටියා. ඒ මහනුවර ගලගෙදර පදිංචිකරුවෙක් උන ඩී. ඇල්. ඕ. වීරසේකර මහත්තයව ගිහින් ඇරලන්න. අද නම් මේ පාර කාපට් දාපු පාරක්. එදා ශ්‍රමදානෙන් හදාගත්තු මඩ වුනු පාරක්. ස්තාන දෙක තුනක වාහන එරෙනවා. එතකොට බැහැල තල්ලු කරන්න ඕන. මේ කටුක දුෂ්කර මාර්ගයේ කිලෝමීටර් හැත්තෑවක් විතර බිබිලට එන්න ඕන. බොහෝ අමාරුකම් විඳගෙන එන මේ ගමන ඇවිත් ආපහු යනකොට චන්ද්‍රතිලක රියදුරු මහත්තය මගෙ රිය පැදවීම් පුහුණු කරන ගුරුන්නාන්සෙ වෙනවා.

මුලින්ම දවසෙ ඇක්ස්ලේටරයෙ බ්‍රේක් ක්ලච් ගැනත් ගියර් ගැනත් න්‍යායාත්මක පුහුණුව දීල, රියදුරු අසුනෙ වාඩිවෙන්න කියල වාහනේ ස්ටාර්ට් කරවල හිමිහිට ගෙනියන්න කිව්වා. ගියර් මාරුකිරීම එහෙම හුරු උනහම නතර කිරීම තමයි පුරුදු කරේ. සාමාන්‍ය වේගෙන් යනකොට අඩි හතලිහක විතර දුරකින් තියෙන ගහක් පෙන්නලා එතනට යන්න ඉස්සෙල්ල නතර කරන්න කියනවා. ඔය විදියට ගියරයෙන් වේගය පාලනය කර තිරිංග යොදාගෙන වාහනේ නතර කිරීම ගැන කියා දුන්නා. මේ ගුරුතුමාගෙ දක්ෂකම කොච්චරද කියනවනම් සිකුරාදා දෙකකදී මට වාහන එලවීම සම්පූර්ණයෙන් පුහුණු කරන්න ඔහුට පුලුවන් උනා. ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවෙ රියදුරුකම කරන ගමන් මගේ රිය පැදවීමේ පුහුණුකරු වුනු චන්ද්‍රතිලකට පස්සෙ කාලෙක මම කච්චේරියෙට ලැබුනු ලෑන්ඩ්රෝවර් ජීප් එකක් වැඩකරන්න දුන්නා.

චන්ද්‍රතිලක හැමෝ එක්කම බොහොම විනෝදෙන් ඉන්න පුලුවන් කෙනෙක්. කිසිදවසක කේන්ති ගිහින් ඉන්නව දැකල නෑ. ලෑන්ඩ් රෝවරේ මා එක්කම වැඩකරපු ඔහු ලංකාව පුරා මා සමඟ ගමන්බිමන් ගියා. අපේ ගෙදර අම්ම, තාත්ත ඇතුලු සියලු දෙනාම චන්ද්‍රතිලක ඇසුරුකලේ ලඟම ඥාතියෙක් වගේ. මම පේශකර්ම සහකාර අධ්‍යක්ෂ හැටියට කොලඹ, ත්‍රිකුණාමලේ, වවුනියාවෙ ප්‍රදර්ශනවලට ගියෙ චන්දරේගෙ වාහනේ. බිහිසුණු යුධකාලෙ වවුනියාවෙ කච්චේරි ඉඩම කූඩාරමක් ගහගෙන, උයාගෙන කාගෙන දවස් පහක් ගතකරපු කාලෙ තුල අපේ අලෙවිසැලේ ආදායම හැටියට ලැබුනු ලක්ෂ ගානක මුදල් පොට්ටනිය වාහනේ කබිහෝලෙකේ තියාගෙන මම නිදියපු කූඩාරමේ ආවරණය වෙන්න ජීප්පෙක ගහගෙන මගෙ ආරක්ශාවට චන්දරේ නිදි මැරුව. ත්‍රිකුනාමලේ මැකයිසර් ක්‍රීඩාංගනේ ක්‍රීඩාගාරෙ පඩිපෙල උඩ මෙට්ටයක් දාගෙන රාත්‍රියෙ නිදාගත්තු මගෙ ආරක්ෂාවට චන්දරේ පහල පඩියෙ වාඩිවෙල තේ වක්කරගෙන බිබී, බුලත් විට හප හපා නිදි මැරුව. මේ හැමවෙලාවකම ඇහුවම කිව්වෙ “නින්ද යන්නෙ නෑ සර්” කියල. හැබැයි අපි හැමෝම දන්නවා ඔහු අපේ ආරක්ෂාවට නිදි මරනව කියල.

චන්ද්‍රතිලක රියදුරු මහත්තය වාහනේ තාක්ෂණික පැත්ත ගැන හොඳ වැටහීමක් තිබුන. චීන අඩි ශිල්පයත් හොඳින් දැන හිටිය. තබ්ලා වාදනේ කරා. සිංදු කිව්වා. බයිසිකල් අලුත් වැඩියාව හොඳට කරන්න පුලුවන්. බුදු දහම ගැන හොඳ අවබෝධයක් තිබුනා. කිසිම දවසක කනස්සල්ලෙන් හිටියෙ නෑ. මොන ප්‍රශ්නයක් ආවත් හරිම සැහැල්ලුවෙන් තමයි මූණදෙන්නෙ. ගෙදරත් හරිම විනෝදෙන් හිටිය. කා එක්කවත් තරහ උනේ නෑ. ළමයින්ට හරිම ආදරෙයි. සුනාමි එනකොට විශ්‍රාම ගිහින් හිටිය. ආපහු ඇවිත් ලෑන්ඩ්‍ රෝවරේ ස්ටාර්ට් කරගෙන මාස කීපයක් නොමිලේ සේවය කරා. මම දිසාපති වෙලා අම්පාරට ගියහම චන්දරේට බොහොම සතුටුයි. දවස් දෙකක් තුල කච්චේරියට ඇවිත් මගෙ කාමරේට ඇතුලුවෙලා හිනාවෙලා “මම යන්නම් සර්” කිව්වා. “චන්දරේ ඇයි ඉක්මනට යන්නෙ” කියල ඇහුවම, “සර් දිසාපති පුටුවෙ ඉන්නව බලන්න හිතුනා, ඒකයි ආවෙ” කියල ආපහු ගියා. සතියකට දවසක් දෙකක් හවසට නිල නිවාසෙට එන්නෙ මට බුලත් විටක් අරගෙන. ටික වෙලාවක් කතාකර කර ඉදලා යනවා. අපේ ගෙදර කට්ටිය ආව කියල දැනගත්තම දුවලට චොකලට් එකකුත් සාක්කුවෙ දාගෙන බලන්න එනවා. ඒ අයත් චන්ද්‍රතිලක අංකල්ට බොහොම ආදරෙයි.

2011අවුරුද්ද වෙනකොට චන්දරේ අසනීප උනා. රෝහලේ නැවතිල ප්‍රතිකාර ගත්තා. ක්‍රමයෙන් දුර්වල උනා. අවසානයේ කාටත් වෙනදේ චන්දරේටත් උනා. ඔහු ගතකල ජීවිතය අනුව ඔහුට ඉතාම ඉහළ භවයක් හිමිවෙන්න ඇතියි කියන එකයි මගෙ අදහස. විශිෂ්ට මිනිසෙක් උන ජේ. ඒ. චන්ද්‍රතිලක රියදුරු මහත්තයගෙ දේහය පිටිපස්සෙන් ඔහුගේ නිවසේ සිට පයින්ම සුසාන භූමියට ගොස් ගෞරවය දැක්වීම කරා. ළඟින්ම හිටි ඥාතියෙකුගේ වියෝගයක් මෙන් අදත් ඔහුව සිහි කරනවා.

මේ අන්දමින් අපිත් එක්ක වැඩකල බොහෝදෙනෙකු ගෙන් අපි බොහෝ දේ ඉගෙන ගත් නිසා අදත් පොලොවේ පය ගසා ජීවත් වෙනවා. පහුගිය සතියේ මේ වගේම වටිනා සේවාවක් කල මා සමග අම්පාරේ සේවය කල ජෙය්ෂ්ඨ ලිපිකරු නිලධාරිනියක්ව විශ්‍රාමලත් සෝමා බමුණුසිංහ මහත්මිය දිවියෙන් සමුගත්තා. මේ සෑමකෙනෙක් ගැනම හැම වෙලාවෙම සිහිපත් කරනවා.

ලෝකේ හමුවීම් බොහෝ තිබෙනවා. මේ හමුවීම් වලින් යමක් ගන්න බැලුවොත් ජීවිතේ පුරවගන්න පුලුවන්. මේ කියාපු වටිනා චරිත වලින් මම බොහෝ දේ ගත් එක ගැන සතුටුයි.

13 thoughts on “චන්ද්‍රතිලක සහ රියදුරු මිතුරෝ

  1. අප යන මාවතේ හමුවූ අපට මග කියාදුන් ඔටුනු නොපලන් රජවරුන් ගැන සිහිකිරීම කොපමන වටිනේද?

    Liked by 1 person

  2. හරිම රසවත් කතාවක්
    මම මුලින්ම වැඩ කරපු හිඟුරක්ගොඩ කලාප කාර්යාලයට තිබුනේ එක කැබ් එකක් විතරය් අපි ඉතින් ඔය තරම් ලොකු මුදල් ප්‍රතිපාදන පරිහරණය කරපු අය නොවෙය්නේ අද්යාපන කලාපයක් කියන්නෙ සාමාන්‍යයෙන් පාසල් 130ක 140ක විතර එකතුවක්නෙ හිඟුරක්ගොඩ කලාප කාර්යාලෙට තිබුනෙ කැබ් එකක් විතරය් එහි රියදුරු වික්ටර් අය්යව අදටත් මතක් වෙනව මම හුගක්වෙලාවට දවල් ට කෑම කාපු සාමාන්‍ය මුදලකට ගෙදර හදපු කෑම වගේ කෑම දීපු හිඟුරක්ගොඩ නුවර හෝටලය මතක් කරන්නම ඕන තැනක් මතුගම තිබුනෙ වාහන දෙකය් එකක් ජංගම පුස්තකාලය හදල තියන ලොරිය අනිත් එක කැබ් එක පරක්කුවුන වෙලාවට අනිත් වාහන අස්සෙන් ඉස්සර කරගෙන ආරක්ෂිතව වේගයෙන් යන කීර්තිව අදටත් මතක් වෙනව මතුගම නම් ඉතින් ලිපිකාර කෙනෙක්වත් පියන් කෙනෙක්වත් තරහ නොකර ගෙන ඉන්න ඕන තැනක් තරහ කරගත්තොත් වෙන්නෙ අනවශ්‍යලෙස වැඩ ප්‍රමාද වීමය්
    මේ නවක නිලධාරි එකපාරටම උතුරු නැගෙනහිර පළාත්වලට යවන එක මම නම් අනුමත කරන්නෙ නැහැ මොකද මමත් එහෙම ගිය නිසා මටනම් තේරුනේ ඒ පළාත්වලදී නීතිරීති ඉගෙන ගන්න ලැබෙනව අඩුබවය් බස්නාහිර පලාතෙ අවුරුදු පහක් විතර හිටියට පස්සෙ තමය් යවන්න ඕන
    මේ ලියල තියන කතාව වැදගත් වෙන්නේ ඒකේ අම්පාරේ කාර්යාල ජන ජීවිත විවරණයක් තියන නිසය් බස්නාහිර පළාතේ ඉන්න අපි ඒව ගැන දන්නව අඩුය්නෙ මටනම් වැඩියෙන් වැදගත් වෙන්නෙ ඒවගේ දේවල් අම්පාර මඩකලපුව වගේ පැතිවල ඉන්න මුස්ලිම් මිනිස්සු ඇත්තටම මේ රටට සිංහල බෞද්ධයන්ට ආදරෙය්ද ඉමිතියාස් වගේ අය දේසපාලනයෙන් අයින්වෙලා ඉන්නේ මොකද ඒ පළාත්වල සිංහල මිනිස්සුන්ට තමුන්ගෙ ප්‍රශ්න සිංහලෙන් කියන්න අඩු තරමින් සිංහල ග්‍රාම සේවක කෙනෙක්වත් නැති බවට පත්තරවල පලවෙන කතා ඇත්තද නිලාර් වගේ අය දැන් කවි ලියන්නෙ නැද්ද ඒ පැතිවල දෙමල මුස්ලිම් මිනිස්සුන්ට තියන ප්‍රශ්න වල ආකාරය කොහොමද මගේ සිහිනය වන ඔවූන් හැම දෙනාවම සිංහලයින් කරගන්න එකට ඔවුන්ගෙ ප්‍රතිචාරය කොහොමද ආදී කරුණු රාශියක් දැනගන්න තියනව
    ඒ වුනාට දවසක් තිස්සේ එකතු කරලා රෑ තිස්සේ මිටි බැඳලා පොලට ගෙනියන ගොටුකොල මුකුණුවැන්න මිටි ටික විකුණා ගන්න බැරුව ඉන්න මිනිස්සුන්ව දකිනකොට පැහෙනකම් මාස තුන හතරක් බලා ඉඳල කිලෝ මීටර් ගණනක් දුර ගෙනිහිල්ල ගෙනියපු කෙහෙල් කැන කුණු කොල්ලෙට දීල එන්නවෙන මිනිසුන්ව දකිනකොට දුප්පත් අපිට බලපාන ප්‍රශ්න විසදන්නෙ නැතුව බොරු ප්‍රශ්න ඉස්සරහට දාගෙන දඟලන මේ රටේ බොරු දේසපාලනය ආදිය දකිනකොට මාසෙකට සැරයක් දෙන රුපියල් නමසීය ගන්න යන්තමට ඇඳගෙන බෝතල් අඩිවගේ කන්නාඩි දාගෙන හැරමිටි වාරුවෙන් ඇවිත් වරුවක් විතර තැපැල් කන්තෝරුවට වෙලා බලා ඉන්න මේ රටේ ඇත්තටම රටට ණය නැති පුරවැසියන් දකිනකොට ලක්ෂයක් විතර පඩි ගන්න අතරෙ අමතර දීමනා වශයෙන් තව පනස් දාහක් විතර ඉල්ලන නිලධාරි ගැන දැනගන්න ලැබෙන කොට මොන බ්ලොග් ද කියල හිතෙනව

    Liked by 1 person

    1. ඔය අපි කරපු සේවාවල පංගු කාරයො තමයි අපේ සහායක කාර්‍ය මංඩලය.මට අම්පාරෙදී හමූන වැඩිදෙනා මනුස්සයො අමනුස්සයො එකෙක් දෙන්නෙක් හිටිය.මනුස්සයො සමහරු කතාකලේසිංහල සමහරු දෙමල කතාකරේ.පංසල් පල්ලි කෝවිල් වල ආගම අදහපු මනුස්සයොඅමනුස්සයො ත් හිටිය හැම බාසාවම කතා කරන.හැම ආගමම අදහන.

      Like

  3. දැන් රියදුරුවරු ඊට වඩා දියුණුයි. තෙල් සංස්ථාව ළඟට ඉන්ධන වලින් වැඩිම ලාභ ලබන්නෙ රියදුරුලා. ඒ අතින් හුඟක් අය වචනේ අර්ථයෙන්ම රියදුරුලා. (රිය = වාහනය, දුරු = නැතිබංගස්තාන කිරීම). වාහනේ ලෙඩක් මවන්න ඔවුන්ගෙ ඇති දක්ෂකම අති විශිෂ්ඨයි. ගැට්ටක් උඩ ලාවට නග්ගල තියල ටයර් වල හුලං අරින්න, ඇන්ජිමේ සද්ද මවන්න හරි දස්සයි. මං දන්නා එක රියදුරෙක් ස්ථාන මාරු අරං ගිය ගමන්ම කලේ තමුන්ගෙ වාහනේ කඩාපු එක. තවමත් ඒක හදල ඉවර නෑ. මාස පහකට වැඩියි. උදේ අස්සන් කරල තමුන්ගෙ වැඩක් කරගෙන ඇවිල්ලා හවසට අස්සන ගහන්න විතරයි තියෙන්නෙ.

    Like

    1. බොහොම හරි මේ පස්සෙ කාලෙක මමත් දන්න රියදුරෙක් හිටියා තමන්වැඩ කරපු වාහනේ ඕල්ටර්නේටරේ ගලෝලා විකුණගත්ත.උන්දැට මම දෙමව්පියො සිහිවෙන්න කියෝලා පරීක්ෂණය කරා.පරීක්ෂණය අතරතුර හදිසි අනතුරකින් මියගියා.

      Liked by 1 person

      1. හදිසි අනතුරක් කිව්වෙ ?

        ඔබතුමා ඔහුව ඕල්ටනේටර් පෙන්වන්න එක්ක ගියාදෝ කියල සැක හිතෙනව අද කාලෙ අනුව 🙂

        Liked by 2 people

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s