ගඟේ ගැරිල්ල.

පන්හිඳට කතා ලියාගෙන යද්දි සමහරවෙලාවට කාලවකවානුව අනුව අනුපිලිවෙලට ලියන එක වෙනස් වෙන වෙලාවල් තියෙනවා.එහෙම වෙන්නෙ සමහර වෙලාවට අතීතෙ සිද්දවෙච්ච සමහර සිද්දි හදිසියේ මතක් වීම නිසයි.මේදවස් ටිකේ වැඩස්කෝලෙ රාජකාරි බහුලත්වය නිසා පන්හිඳ අමතකවෙලා හිටියෙ.ඒ අතර හදිසියේම මූනු පොතේ එහාමෙහා යනකොට දැකපු කතාවක් නිසා මේ අතීත සිද්දිය මතකෙට ආවා.මේ වෙනකොට මම ස්කෝලෙ ගමන නතර කරල විශ්වවිද්‍යාලෙට ඇතුලුවෙලා නිවාඩු කාලෙ ගමට ඇවිත් හිටියෙ.අපේ මල්ලි එතකොට උසස්පෙල පංතියෙ ඉගෙන ගන්නවා.මම කොලඹ ඉදන් ගමේ ගියෙ ටික දවසක් ගමටවෙලා ඉන්න.මේදවස් වල කුඹුරු වැඩ එහෙම තියෙන නිසා ගමේ ඕනවටත් වඩාවැඩ තිබුනා.ගමේ ඔය කාලෙ කුඹුරුවැඩ කරේ අත්තම් ක්‍රමයට.ඒ කිව්වෙ එක්කෙනෙකුගෙ කුඹුරු වැඩවලට අනිත් අය ඇවිත් ශ්‍රමයෙන් උදව් කරනවා.ඒ උදව්කරන අයගෙ වැඩට අපිත් ඒවගේ යන්න ඕන.ඔය ශ්‍රම හුවමාරුවට කන්ඩායම සංවිධානය වෙලයි ඉන්නෙ.ඒඅනුව අපේ වැඩට පොඩිමාම ලොකුමාම මද්දුම මාමා කලු අයිය විමලෙ අයිය ජෝන්මාමා ලොකු මාම විලියම් අයිය තෝමස් අයිය වගේ කට්ටිය එනවා.මේ ඔක්කොම එකතූනහම දවසින් අපේ කුඹුරෙ මඩ කොටල ඉවර කරතෑකි.ඊලඟට අනිත් හෑම කෙනෙකුගෙම කුඹුරුවැඩට මේ කන්ඩායම එනවා.මේ විදියට සාමුහිකව හැමෝගෙම කුඹුරුවැඩටික කෙරුනා.මේ අත්තන්වලට තාත්ත මම අපේ මල්ලි එහෙමත් යනවා.මේ කුඹුරුවැඩ සෑහෙන්න අමාරු වැඩ උනාට කට්ටිය බොහොම විනෝදෙන් කතාබහ කරමින් කරන නිසා ඒක දැනුනෙ නෑ.කුඹුරුවැඩ කරල හවසට ඇඟේ අමාරු යන්න කිතුල් රා ටිකක් හෙම බොන එක අපේ කට්ටියගෙ සිරිතක්.අපේ තාත්තා මත්පැන් වර්ග දුම්වැටි කිසිවක් භාවිතා නොකරන කෙනෙක් උනාට ගෙදර කිතුල් ගහේ කුඹුරු වැඩ දවස්වලට මන්ඩි මුට්ටිය එල්ලල රාමුට්ටියක් හදාගත්ත එකට මොකවත් කිව්වෙ නෑ.අපේ ගෙදර කිතුල්මල් කැපිල්ල පොඩිමාමා හරි කලු අයිය හරි තෝමස් අයිය හරි කරේ.කුඹුරුවැඩ කාලෙට ඔය කිතුල්මල්වලින් එකක දෙකක රා මුට්ටි පැහෙන එක ගැන තාත්ත නොදන්නව වගේ හිටිය.කුඹුරුවැඩ කරල ඇවිල්ල රා බීම හරි අපූරුවට සංවිධානය වෙලා තියෙන චාරිත්තරයක්. රාමුට්ටිය තියෙන්නෙ ගෙයි පිටිපස්සෙ හරි කන්ඩිය උඩහරි කාටවත් නොපෙනෙන තැනක.කුඹුරුවැඩ කට්ටිය ගෙදර ඉස්සරහ මිදුලෙ බංකු ලෑලිදෙක පුටු කීපෙක වාඩිවෙලා සාමාන්‍ය කතා බහක යෙදිල ඉන්නවා.ඔතන හවසට කඩේ පැත්තෙ යන කවුරුහරිත් බොහෝවෙලාවට ගොඩවෙනවා.ගෙදර අයත් වටේපිටෙන් වෙනවෙන සුලු අවශ්‍යතාවලට එන අය ඇතුලු දහයක්විතර ඉන්න කට්ටිය එක්ක කුඹුරු වැඩකල අයත් කතාබහේ ඉන්නවා.

මේ කතාබහ යන අතර මුලින්ම පොඩිමාමා අතුරුදහන් වෙනවා.පිලිකන්නෙ රාමුට්ටිය ලඟට ගිහින් රා කෝප්පයක් බීල හිමිහිට ඉස්සරහට එන පොඩිමාමා කලු අයියට ඇහෙන් සිග්නල් එකක් දෙනවා.හිමිහිට පිලිකන්නට යන කලු අයිය රාකෝප්පෙ බීල ඉස්සරහට එනකොට තෝමස් අයිය පිලිකන්නට යනවා.මේවිදියට කාටවත් දැන නොගන්න එක රවුමක් රාවඩිය බොන්නෙ බොහොම රහසෙ.මුලින් ඔය සිග්නල් එක තේරෙන්නෙ නැතිනිසා කලු අයිය මගෙ ලඟට ඇවිත් “සුදුමල්ලි පොඩ්ඩක් පිලිකන්න පැත්තෙ ගිහින් එන්න” කියල හිමිහිට කියනවා.පිලිකන්නට යන මට ඒවෙලාවෙ එතන ඉන්න කෙනාගෙන් රා කෝප්පයක් ලැබෙනවා.ඔය රාබීම කරන විදියත් අමුතුයි.කෝප්පෙ පිරෙන්න රාවක් කරන්නෙ මුට්ටිය හිමින් ඇලකරලා මන්ඩි අහුනොවෙන්න බොහොම සීරුවෙන්.ඊට පස්සෙ කෝප්පෙ කටතියල එක හුස්මට රා කෝප්ප්පෙ බොන්න ඕනා.හැබැයි අවසානෙට කෝප්පෙ රාපොඩ්ඩක් ඉතුරු වෙන්නත් ඕන.අවසානෙ කටේ රැදෙන රා උගුර තූහ් කියල එලියට වීසිකරන ගමන් කෝප්පෙ ඉතුරු පොඩ්ඩත් එලියට විසිකරන්න ඕන.ඔහොම නොකොරන අයට රාදෙන්න කිතුල් මදින අය කැමති නෑ.එහෙම වෙන්නෙ රාවලට පෙරේත එවුන්‍ බිව්වොත් මල හරියන්නෙ නෑ කියල විශ්වාසයක් කිතුල් මදින අය ලගතිබීමයි.ඔයවිදියට වට තුනක් හතරක් රා බොන එක පලපුරුදු රා කාරයින්ගෙ සිරිතක්.හැබැයි ආධුනික අපිවාගෙ අය වැඩිම වටදෙකයි සහභාගිවෙන්නෙ.ඔයවිදියට රා පානයයි කතාබහයි බොහොම රසවත්ව යනව.ඉස්සරහ ඉන්න අය සමහර වෙලාවට දන්නෙත් නෑ සමාන්තර තවත් වැඩක් මෙතනවෙනව කියල.සභාව විසිරෙන්නෙත් ඒවගේ එක එක්කෙනා ඉවත් වෙනව.මොනව හරි දෙයක් කියාගෙන.හවස හත වෙනකොට සභාව විසිරිලා.

මෙහෙම කාලෙ ගෙවිල යද්දි අපේ බාප්ප අලුත් වැඩක් තනියම පටන් ගත්තා කවුරුවත් දන්නෙ නැතුවම.ඒ අපේ ගෙවල්වලට උඩින් නුගකඳ ඇල මෝදර දූව පැත්තෙ ගඟේ උදැල්ලෙන් ගැරීම.එකඩවසක හවස්වරුවක මෙතන වතුරට උදැල්ලක් අරගෙන බැහැල වතුරෙ යටින් මඩ හූරල උදැල්ලට අරගෙන බලල වීසිකරන වැඩේට දවසක් හමාරක් යනකොට නාන්න ගඟට ගිය අපේ මල්ලි මේක දැකල බාප්පගෙන් මේගැන ඇහුව.

“බාප්පෙ ඔතන ඉල්ලම තියනවද?”

“මොන පිස්සු ඉල්ලමක්ද බං මේ නිකංඉන්නවට නාන්න ආපු ගමන් මේ මඩටිකක් ඇදල බැලුව”.

“එහෙනම් මොන එහෙකට ඔය මාන්සි වෙනවද?තෝරමල්ලිවත් හම්බුවෙනවද ?”මල්ලි අර වැලි හූරල වීසිකරන තැන අතගාන ගමන් කිව්ව.

“මේ ඕක අතගාන්නදෙයක් නෑ .හෙට ඉඳන් උඹත් අයියවත් අඬගහගෙනවරෙන් මෙතන පොඩ්ඩක් හෝදල බලන්න.මම අපේ බාසුන්නැහැටත් කියන්නම්.”බාප්ප කිව්ව.

එදා හවස බාප්පලගෙ මිදුලෙ සාකච්චාව සූදානම් උනේ.රාමුට්ටිය පිලිකන්නෙ ක්‍රමානුකූලව හිස්වෙද්දි බාප්පයි කලු අයියයි මමයි මල්ලියි අපේ මද්දුම මාමයි අතර.බාප්ප ගැරිල්ලෙ නියම තත්වය කිව්වෙ බොහොම හිමිහිට.එක උදලුපාරට හොඳ තෝරමල්ලි හත අටක් අහුවෙන ඉල්ලමක් ගඟ මැද්දෙ පාදගන්න බාප්පට පුලුවන් වෙලා.මේගැන කිසිදු ප්‍රසිද්දියක් නොදී වහාම මේඉල්ලම කඩාගෙන සේදිය යුතුයි.මේකට මැනික් ගැරීම හොඳට පුරුදු වැලිපැන්නෙ මාමව ඒකිව්වෙ බාප්පගෙ මස්සිනාව සම්බන්දකර ගතයුතුයි.කට්ටිය ඕන නිසා අපි හයදෙනා මීට සම්බන්ද විය යුතුයි.මෙතන ඉල්ලම ගැන ආරංචි වෙන්න කලින් අපි මැණික් ටික ගරාගත යුතුයි.මේසාකච්චාව අනුව පහුවෙනිද උදෙන්ම වැඩේ පටන් ගත්තා.ගෙදර ඉදන් හයියෙන් කතා කරහම ඇහෙන දුර නිසා කිසිකරදරයක් නෑ.පොලීසිය පැන්නොත් ගංකන්ඩියෙන් දූවට ගොඩවෙලා දිව්වෑකි.හරියට ගඟ මැද්දෙ වැටිදෙකක් ගහල වතුර බාල්දිවලින් ඉහල ඉල්ලම පාදගත්තෙ හවස.එදාඉල්ලම් ටිකක් හෝදගත්ත.තෝරමල්ලි කලුකට්ට පදියම් ආදී මැනික් ලකුනු එමට.දෙවනිවර තුන්වෙනිදවස්වල මේවලේ ඉල්ලම් ගනිමින් ඉල්ලම් පාර විහිදෙන අත හොයා බැලුවෙ ගැරීම් විශේෂඥයා උන වැලි පැන්නෙ මාමා.එයාගෙ නිගමනය ඉල්ලම් පාරගඟ පහලට තිබෙන බවයි.ඊලඟට පැරණි වලට අඩි එකහමාරක් පහලින් ඊලඟ වල බැස්සා.ඒකෙ අරිටත් වැඩිය තෝරමල්ලි පිරිලා.දැන් මැනික් ආශාව උග්‍රවෙලා.දවසම මැරීගෙන වැඩකලත් ඇගේ අමාරුවක් දැනෙන්නෙ නෑ.දැන් මැනික් ලැබෙයි දැන් මැනික් ලැබෙයි කියන තණ්හාව නිසා අමාරු දැනෙන්නෙ නෑ.වැඩේ ලොකුම අමාරු හරිය මල්ලියි මමයි කරන්නෙ.උදේපාන්දර හයට විතර බාල්දි දෙකක් අරගෙන වල ලඟට යනකොට වලෙන් එකක් වතුරපිරිල ඉතිරිලායනවා.මේමහාවතුකඳ ඇදලාවලේ ඉල්ලම පාදගන්න පැය තුනක් විතර එක දිගට වතුර ඇදීම මල්ලියි මායි කරනවා.පැය දෙක හමාරක් විතර යනකොට අපේ අනික් හවුල්කාරයො උන බාප්ප, මද්දුම මාමා, වැලිපැන්නෙ මාම, කලුඅයිය ,එහෙම එන්නෙ උදේ රා පානය එක්ක සාකච්චාව හමාර කරලයි.අපේ බාප්ප මිනින්දෝරු දෙපාර්තමේන්තුවෙ මිනුම් පාටියක වැඩකරපු රජයේ සේවකයෙක්.ඒ මිනුම්පාටිය ගමකිට්ටුව වැඩකරනවනම් බාප්ප ගෙදරවැඩ.පඩිගන්න තමයි මිනුම්පාටියට යන්නෙ.හැබැයි අනිත් ඈත පැතිවලවැඩකරනකොට මාසගානක් ගමේ එන්නැතුව වැඩ.මේදවස්වල බාප්ප වැඩකල මිනුම් පාටිය ගම කිට්ටුව වැඩකලේ. මේකට්ටිය ඇවිල්ල අපි දෙන්නට පොඩි විවේකයක් දෙනවා වැලි පැන්නෙ මාම ඉල්ලා කඩන්න පටන් ගන්නවා.මද්දුමමාම කඩන ඉල්ලම් ටික කූඩෙට දාල උඩටදෙනවා කලුඅයිය ඉල්ලම් හෝදන බාප්පගෙ වට්ටියට ඉල්ලම්ගිහින් දානවා.අපි විවේකෙ.අපේ විවේකෙ හමාරවෙන්න යන්නෙ ටිකවෙලාවයි වතුරෙන් ඉල්ලම් වැහෙනකොට මද්දුම මාමා කෑගහනවා.මැනික් තියෙන ඉල්ලමටයටින් තියෙන්නෙ මාලාව.සමහර තැන්වල මාලාවට තියෙන්නෙ කිරිමැට්ට.මේ කිරිමැට්ටෙ වලක් හෑරුවම වතුර ඒවලට පිරෙන නිසා ඉල්ලම වතුරට වැහෙන්න ටිකවෙලාවක් යනවා.එතකොට වතුර අදින අපිට විවේකෙ.හැබැයි ඉල්ලමට යට මාලාව පාරුගල උනොත් වලවල් හෑරිලි බොරු.එතකොට අඛන්ඩව වතුර ඇදියයුතුයි.

.කොහොමහරි ඉල්ලම් කූඩ දාහතරක් හෝදල නාම්ඹුව බලනවා.නාම්ඹුවබලනවා කියන්නෙ එතෙක් මැනික් වට්ටිය දියේ දාගෙන දෑතින් කරකවමින් වැලි හෝදායවමින් ලොකු ගල් ඉවත් කරමින් කල සේදිල්ල අවසානයේ වට්ටියේ තැන්පත්ව ඇති ශේෂය පරීක්ෂා කිරීමයි.ගොඩටවට්ටිය ගෙනැල්ලා පැත්තකට ඇලකරල තියල වට්ටියට වැඳලා හිමි හිට ඉතිරිකොටස් අතින් පාදමින් බලන්නෙ මැනික් කැට තියෙනවද කියලයි.මේවෙලාවට කලුකට්ට වෙනත් කට්ට ගල් තෝරමල්ලි රබහ දියතරිප්පු වාගෙ ගල් හමු වෙනවා.අපේ ගැරිල්ලෙ මේමැනිකෙක්ක හමුවෙන දේවල් බහුලව හමුවෙන්න පටන්ගත්තා.මේකෙන් ඇඟවෙන්නේ ලොකු මැනික් ගල් මේ ඉල්ලමේ තියෙන බව කියලයි වැලිපැන්නෙ මාම කිව්වෙ.අපි දිගින් දිගටම මේකාර්‍ය කලා.එකදවසක නාම්ඹුව බලද්දී කුඩා රතු කැටයක් හමු උනා.නියම මැනික් ගලක් හමුවූ මුල්වතාව. කුඩා උනත් නියම රතු කැටයක් බවයි වැලි පැන්නෙ මාමා කිව්වෙ.ඒත් එක්කම කුඩා වෛරෝඩිවර්ගයේ ගලක් හමු උනා.ඒකෙ පැත්තක් විතරයි වැඩකලේ.මේවා එ ච්චර වටිනාකමක් නැතිබවත් මද්දුම මාමත් වැලි පැන්නෙ මාමත් කිව්වා.මල්ලියි මායි බදුරලියෙ විජේපාල මහත්තයා ලඟට මේගල් දෙක අරගෙන ගියා.විජේපාල මහත්තය මැනික් බිස්නස් කල කෙනෙක්.මිනිහ මේමැනික්ගල්දෙක බලල අපිදෙන්නට මැනික් ගැනලොකු පාඩමක්කියල දුන්නා.ඔහු කිව්වේ අපිට හමුවී තිබෙන කුඩා රතුකැටය ලංකාවේ රක්වාන ප්‍රදේශයේ හැර වෙනත් ස්තානවල හමුනොවෙන වර්ගයේ රතු මැනික් ගලක්.එමරතු මැනික් වල පැහැය පරවියන්ගේ රුධිරයේ පැහැය හාසමාන බවත් එය මෙතෙක් හමුවීඇත්තේ රක්වාන ප්‍රදේශයේ බවත් ඔහු කීවා.අනිත් කුඩා වෛරෝඩිය භාගයකටත් වඩා කට්ටවී ඇතිනිසා වටිනා කමක් නැතිබවයි ඔහු පැවසුවේ.රතු කැටය සඳහාරුපියල් 500/=දීමට ඔහු සූදානම් උවත් මම එය මුද්දකට අල්ලාගන්නා බවකිව්පසු ඒගැන කතාකලේ නැහැ.ඔහු දිගටම කිව්වේ මේස්තානයේ දිගටම මැනික් ගරන ලෙසයි.මින් පසුවත් දිගටම මේස්තානයේ මැනික් ගැරීම අඛන්ඩව කරා.එක්දිනක් ලොකු වෙරලුගෙඩියක ප්‍රමානයේ රෝස පැහැති මැනික්ගලක් හමූනා.එහි කුරුස හැඩයටකලුපැහැති කුඩා ලපවලින් බෙදී තිබුන.මැනික ආරනූලක් බවත් එහි ඇති පලුදු “දිමි ඇස්”නමින් හදුන්වන පලුදුවර්ගයක් බවත් වැලිපැන්නෙ මාමා කිව්වා.ඒවා නොතිබුනානම් ලක්ෂ ගානක් වටින ගලක් බවත් ඔහු කිව්වා.ඒත් දැනුනත් කිසියම් මුදලක් ගත හැකි බවයි ඔහුගේ අදහස උනේ.මේවනවිට අපේ ගැරුම්පොල ගැන ආරංචිවී තව කට්ටි ඇවිත් මේස්තානයේ ගැරුම් ආරම්භ කලා.මේඅතර අපිට ලොකු පුස් ඇටයක ප්‍රමානයේ විශාල කොලපැහැති ගලක් ලැබුනා.එය තෝරමල්ලියක් සේ පෙනුනත් පසිංගල් නම් මැනික්ද ඊටසමාන බැවින් මේගැන බැලිය යුතු බවතීරනය කලා.

අපි හයදෙනාම ගැරුම නවත්වා මැනික්විකිනීමට ගියා.පාන්දර බස් එකේගොස් කලවානේ මානාන නගරයට ගියා.නගරයේ මැනික් ගන්නා ස්තානයට ගියවිට මුලින්ම අපි හයදෙනාටම අල්ලපු හෝටලෙන් උදේ ආහාර සූදානම්කරදී අවශ්‍ය ඕනෑමකෑමක් ගන්නා ලෙසට ඇරයුම් කලා.අපි මැනික්මුදලාලි ගනනේ උදේ ආහාරය ගෙන යලි ඔහුලඟට ආවා.ඔහු අපේ මැනික් ගල් ටික පරීක්ශා කර බලා හොඳගලක් ඇත්තේ කුඩාරතු කැටය පමනක් බවත් ලොකු ගල තෝරමල්ලියක් බවත් ආරනූල දිමි ඇස් නිසාත් පැහැය රෝසවීම නිසාත් වටිනාකමක් නැතිබව පැවසුවා.යලිත් එනලෙසත්කියා මගවියදමකියා රුපියල් දෙසීයකුත් දුන්නා.අපි එතනින් මතුගමට ඇවිත් කලුතර ට ගියා.කලුතර මැනික් කඩ කීපෙටම ගියත් රතු කැටය හැර අනිත් ගල් කවුරුවත් ඉල්ලුවේ නෑ.රතුකැටයට රුපියල් 500/=දිය හැකි බව හැමෝම කිව්ව.අපි ඊට කැමති උනේ නෑ.කලුතරින් පයාගලට ගියත් වැඩක් උනේ නෑ.මල්ලිත් මාත් ඇරෛතුරුහතරදෙනාම පොල්‍ වත්තකින් පොල්‍ රා සප්පායමක් වී ආපහුගෙදර ආවා.මේතෙක්ක වැස්ස ඇවිත් ගඟේවතුරවැඩිඋනා ගැරිල්ල නිම උනා.ඔය අතර හදිසියේ දිනක ආපු රත්නපුරේ වැඩකල කඹුරාවල වෛද්‍යවරයෙක් අපේ මැනික්ගල්ටික රුපියල් 5000/=කට මිලදීගත්තා.ඒමුදලින් මටත් රුපියල් 825/= ලැබුනා.ඒකෙන් කලිසම්දෙකකුයි කමිස දෙකකුයි ගත්තා.ඉනුත් එක කමිසයක් පලමුසතියේම ස්ත්‍රික්කෙට පිච්චුනා.එදා මෙදාතුර ආපහු මැනික්ගරන්න මට බැරිඋනා.අපේ මල්ලිනම් සෑහෙන කාලයක් හවසට ඉල්ලම් කූරත් වට්ටියත් අරගෙන දොලවල් ගානේ ගිහින් මැනික් හෙව්වා.හමූනේ නෑ මද්දුමමාමට කිරිමැටිවලදී මැනික් හමු උනා.ඒදවස්වල ජයට කාලබීල නෑගමන් ගිහින් විනෝදෙන් හිටිය එක විතරයි එයත් කලේ .ටිකදවසකින් ආපහු පරණ විදියට කිතුල්මලක් කපාගෙන ජීවත් උනා.මේකට සම්බන්ද මල්ලිත් මාත් ඇරෛතුරු හතරදෙනාම අද අපෙන් වෙන්වෙලා ගිහින්.ඒත් මැනික් සංස්කෘතියේ පාඩම් ඉගෙනගත්තුඑකවිතරක් මතකයේ ඉතුරු උනා ඒමදෑ.

4 thoughts on “ගඟේ ගැරිල්ල.

  1. ඇයි ඉල්ලම් කූඩ දාහතරක් එකතු වෙනකම් ඉන්නෙ ? ඒකට යම් විශ්වාසයක් බලපානවද ?

    මුදලාලිලා ඉල්ලපු ගාන වගේ දහ ගුණයක් හම්බ වෙලා තියෙන්නෙ 🙂

    Like

  2. මටත් මගුර ගඟේ තිබිල පොඩි දියතරිප්පු කියන මෙලෝ වටිනාකමක් නැති මැණික් ගලක් හම්බ උනා නාන්න ගියපු වෙලාවක…
    එතනදීම මගේ මැණික් ගලක් අල්ලපු රිදී මුද්දක් නැති උනා ඊට අවුරුදු 20 කට විතර පස්සේ…

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s