බස් වල ගමන.

අම්පාරෙ ගිය හැටි ලිව්වහම සමහරුන්ට පුදුමෙ උපදිසාපති කෙනෙක් බස් එකේ ගිය එක ගැන. ඒක ගැන අහන අයට උත්තර දෙන අතරෙ බස්වල ගමන් යාම ගැන බොහොම අපූරු මතකයන් අවදි වෙන්න පටන් ගත්තා. අනික ඔය බස්වල ගමන්‍ යන කොට තමයි අපි අපේ රටේ මහපොලොවෙ ජීවත්වෙන මිනිස්සුත් එක්ක ඉන්නව කියල තේරෙන්නෙ. මොකද ඔය බස්වල යාචක උන්නැහෙලගෙ ඉඳන් සෑහෙන දුරකට ඉහලට යනකම් මිනිස්සු ගමන් කරනවා. ලොකුවට සල්ලි තියෙන අය ඇරෙන්න අනිත් මධ්‍යම පංතියෙ ඉහල පහල උදවිය, ගැමියො, ස්කෝලෙ ළමයි, තරුණ තරුණියො, වෙළහෙලඳාම්වල නිරත උදවිය, ගොවියො, කම්කරුවො,රෝගීන් ඔය ආදී කාගෙත් නිලවාහනේ වෙන්නෙ ඉතින් බස් රථය නොවැ! ඕකට නැගගත්තම බහිනකම් බොහොම දේවල් ඉගෙන ගන්න පුලුවන්.

හැබැයි මම ඔය අම්පාරෙ මුලින් ඉන්න කාලේ බස් එකේ ගමන් බිමන් ගියෙ ආයි මේ ඉගෙන ගන්න හිතාගෙන නෙවෙයි. වෙන යන්න වාහන නැති නිසයි. හැබැයි දැනුත් මම ත්‍රීවිල්වල, බස්වල යනවා ඉඳල හිටලා. ඒ වාහනේ යනවට වැඩිය එහෙම යන එක පහසුයි කියල හිතෙන වෙලාවල් වලට. සමහරවිට දැන් ඉන්න අපේ පරිපාලන සේවාවෙ මහත්වරු හිතයි මේ බොරු කියනවය කියල.

එහෙම නෙවෙයි, මම 1986දි අම්පාරට යන කොට කච්චේරියෙ තිබුනෙ වාහන කීපයයි. පර්ජෝ 504 කාර් එක දිසාපතිතුමාගෙ නිල රථය. 32ශ්‍රී 1642 අතිරේක දිසාපති තුමාගෙ නිලරථය. ඔය වාහන දෙක ඇරුනම සංචිතේ තිබුනෙ 31 ශ්‍රී 2111, 31 ශ්‍රී 2112 මිට්සුබ්ශි ජීප්දෙක විතරයි. ඉඩම් අංශෙ ඉ.කො.දෙ කියල ගහපු 31 ශ්‍රී 5224 මිට්සුබිෂි ජීප් එක තිබුනා. ඉ. කො. දෙ. කියන්නෙ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව කියන එකනෙ. ඒත් ඔය ඉ. කො .දෙ .කියල ගහල තියෙන්නෙ “ඉඩම් කොහොම දෙන්නද?” කියල සාමාන්‍ය මිනිස්සුන්ට දැන ගන්න කෙටි කරල ගහපු පණිවුඩයක් කියලයි රියදුරු චන්ද්‍රතිලක නැත්නම් අපේ ආදරණීය බවුසර් චන්දරේ හිනාවෙවී කියන්නෙ. මේවට අතිරේකව තව ඩයිහට්සු ජීප්කොටයක් සංවර්ධන අංශෙ තිබුනා 31ශ්‍රී 3529 කියල. ඒක අම්පාරෙන් පිටට යන්න පුලුවන් එකක් නෙවෙයි. කාටහරි ලඟකට යන්න ඕන උනහම අර පිංගොනාව වගේ අරගෙන ගිහින් ගෙනත් දාන ජාතියෙ එකක්.

මේ වාහන දෙකක් විතරක් තිබුනු නිසා දිසාපතිතුමාගෙ ස්ථාවර නියෝගයක් තිබුනා කොලඹ යන්න වාහනයක් දෙන්නෙ කොලඹින් බඩු ගේන්න තියෙනව නම් විතරයි කියල. ඉතින් අපිට කොලඹ රැස්වීම්වලට එන්න වාහනයක් හම්බු වෙන්නෙ නෑ. කොලඹ අමාත්‍යංශවල රැස්වීම් බොහොමයක් යෙදෙනවා. ප්‍රධාන ඒවට දිසාපතිතුමා යනවා. එතුමාට යන්න බැරි රැස්වීම් වලට අතිරේක දිසාපතිතුමාට යන්න කිව්වට එතුමා කොලඹ එන්න බොහොම අකමැතියි. බොහොම සැහැල්ලුවෙන් ඉන්න අතිරේක දිසාපතිතුමා හැන්දෑවට පොඩි පානයක් කරල තම්ෂයර් සුරුට්ටුවක් බීල නිදහසේ ඉන්න කැමති කෙනෙක්. ඊලඟ ලොක්කා මූලස්ථාන උපදිසාපති සිරිවර්ධන මහත්තය. උදේ හවස එතුම කාර්‍යාලෙට එන්නෙ එතුමගෙ පුද්ගලික කාර් එකේ. වාහනයක් නැතුව බස් එකේ කොලඹ යන්න මට නම් බෑ කියල එතුම කෙලින්ම කියනවා. “අපි ඔය රැස්වීමට සුනිල්ට යන්න කියමු, මිනිහට කොලඹ ගියාම ඉන්න තැනුත් තියනවනෙ ” කියල විකල්ප යෝජනාවකුත් ඉදිරිපත් කරන්නෙ සිරිවර්ධන මහත්තයා තමයි. එතකොට දිසාපතිතුමා අර රැස්වීම් කැඳවීමේ ලිපියෙ අයිනක “උ .දි කච්චේරිය” කියල සටහන් කරල ඉරක් ගහල “කරු. මීට සහභාගී වී වාර්තා කරන්න” කියල ඒ යටින් ලියල මට එවනවා.

මම ඉතින් බෑග් එකත් අහුරගෙන හවස බස් එකට අම්පාරෙන් ගොඩවෙනවා. අම්පාරෙන් හවස එන්න තිබුනෙ සී.ටී.බී බස් එකයි, සමන් බස් එකයි. සමන් බස් එක අම්පාරෙ සමන් මෝටර්ස් අයිති සමන් මුදලාලිගෙ. සී.ටී.බී එකට වැඩිය සීට් හොඳ හින්ද හවස පහට සමන් බස් එකට ගොඩවෙනවා. ඉඩ තියන හැටියට වාඩිවෙනවා. හරියට හවස පහට බස් එක පිටත් වෙන්නෙ ඇඟිල්ලක් ගහන්නවත් ඉඩක් නැතුව සෙනඟ පටෝගෙන. අම්පාරෙ ටවුමෙ කෙලවරේ ඊසීසී හන්දියෙ බැරියර් එකේ බැහැල බෑග් එකත් උස්සගෙන පොලිස් කාරයින්ට බෑග් එකට අතදාල මැදල අහුරපු කලිසම් කමිස ටික පොඩිකරන්න ඉඩ දීල “ක්ෂාන්ති පාරමිතාව” පුරමින් බැරියර් එකෙන් එහා පැත්තට පයින් කොටල ආපහු බස් එකට නඟිනවා. ගල්මඩුව හංදියෙන් මුවන්ගල පැත්තට තියෙන පාරෙන් ගිහින් හිඟුරාන හදියට එනවා. එතනින් මොනරාගල පාරෙ ඇවිත් ආපහු දමන පොලිස් බැරියර් එකේදි පොලිසියට මෛත්‍රීය වඩල බෑග් එකේ ඇඳුම් ටික මිරිකවාගෙන සක්මන් භාවනාවෙන් මීටර් එකසිය පනහක් පහු කරල බස් එකට ගොඩවෙනවා. ආපහු ගමන! ටිකක් එකලාසයක් වෙන්න හදන කොට බස් එක වඩිනාගලට ලංවෙනවා.

“ඔය හමුදා කට්ටිය ඇර ඉතිරි පිරිමි ඔක්කොමල බැහැල බෑග් අරගෙන ඉස්සරහට යන්න. ඉක්මන් කරන්න”

කොන්දොස්තරතුමා උස් හඬින් නිවේදනය කරනවා. හැමෝම බොහොම කීකරුව ආපහු බැහැල ශ්‍රී ලංකා පොලිසියට මෛත්‍රීය වඩමින් ඇඳුම් බෑග යලිත් අතපත ගා ගනිමින් සක්මන් භාවනාවෙ යෙදිල බස් එකට ගොඩවෙනවා. සමහර වෙලාවට හීන් අඩියක් දාගත්තු මැදිවයසෙ කෙනෙක්,

“මේ මොන මළ කරදරයක්ද යකෝ! එක හැටියට ගමනක් යන්න නෑනෙ. අඩියෙන් අඩියට බස්සෝල බෑග් මිරිකවන්නෙ මූල අපි කොටි කියල හිතාගෙනද? ”

කියල ආටානාටිය සූත්‍රය දේශනා කරන්න පටන් ගන්නෙ කොන්දොස්තර එක්කයි. කොන්දොස්තර උන්නැහැ සුදුසු ප්‍රති උත්තරයක් දෙනවා. වැඩේ සද්දෙට යන්න හදනව නම් බිම ඉන්න පොලිස් රාලහාමිල,

“කවුද ඔය බහින්නැතුව කෑගහන්නෙ? ඉක්මන් කරනවලා!! නැත්නම් මුලු බසෙකම ඉගිනියාගල පොලිසියට යවාගන්න තමයි වෙන්නෙ” කියල සද්දයක් දානවා.

“ආ, මේ අපේ රාල හාමිලනෙ! ඕං එහෙනම් අපි බැස්සා. නෑ මේ එක එකාට බයේ අපි බහින්නෙ නෑ, හැබැයි මේ රාලහාමිලට අපි ගරුකරනවා” කියල රාලහාමිට ඔලුව පාත්කරල සක්මන් භාවනාවෙ යෙදෙන්නෙ ආලවක සූත්‍රය හිතෙන් ආවර්ජනය කරමිනුයි.

ඊලඟට සියබලාණ්ඩුවෙ පොලිසිය ලඟ බැරියර් එකේදිත් ඔය විදියටමයි. ඊලඟට ලියන්ගොල්ල පොලිස්මුරපොල ලඟ, මොනරාගල බිබිල හන්දිය, වැල්ලවාය ආමි කෑම්පෙක ලඟ, ඊලඟට කුඩාඔය පාලම ලඟ පොලිස් මුරපොල. බොහෝවට අතර මගදි රාත්‍රි කෑමටත් කඩයක නවත්වනවා. එතනදි පිඟන්වලට බෙදල බතුයි අනික් එලවලුයි එක්ක බත්පිඟාන මේසෙට ගෙනත් දෙනවා. මාලු බිත්තර වගේ දේවල් වෙනම ගන්න ඕනා. ඔය දෙන දේවල් පින්ඩපාතෙ කියල හිතාගෙන වළඳල, කඩේ මුදලාලිටත් මෛත්‍රීය වඩලයි ආයිත් බසයට ගොඩවෙන්නෙ. ඉතින් කුඩාඔය පාලමෙන් පස්සෙ උඩවලව පාරෙ මැද තැනක ආයිත් බහින්නෙ පොලිස් මුරපොලක් තියෙන නිසා. ඉන් පස්සෙ ආයිත් කිරි ඉබ්බන් ආරෙ පොලිස් මුරපොල. ඔතනින් පස්සෙ ආපහු ස්ථිර මුරපොලක බහින්න වෙන්න පල්ලෙ බැද්දෙ කන්ද උඩ. එතනින් පස්සෙ තිරුවානා කැටිය හංදියෙ. ආපහු ඇහැලියගොඩ පොලිසිය ලඟදි. ඔතනින් පස්සෙ හෝමාගම, ගොඩගම හංදියෙදි. ඉන් පස්සෙනම් ආයි පිටකොටුවට යනකම් කරදරයක් නෑ. මේ සේරම යමසුමේ ඔක්කොම ඉවර කරල පිටකොටුවට එන්නෙ පාන්දර පහට විතර. පිටකොටුවට ආපුවම දුෂ්කර ක්‍රියාව අවසානෙ දිව්‍යලෝක සම්පත්තිය ලැබුව වගේ හැඟීමක් තමයි ඇති වෙන්නෙ.

බොහෝ දවස්වලට පිටකොටුවටම මට යන්න වෙන්නෙ කොට්ටාවෙදි නින්ද ගිහින් තියෙන හින්දයි. පිටකොටුවට ගියොත් ආපහු හෝමාගම බසෙකේ ඇවිත් මාඹුල්ගොඩ මාමලගෙ ගෙදරට ඇවිත් නිදාගන්නවා. වරුවකින් අවදිවෙලා, නාලා කෑම කාලා හවස්වරුව යාලු මිත්‍රයො බලන්න ගිහින් එදා රෑ මාමලගෙ ගෙදර ගතකරලා පස්සෙන්ද රැස්වීමට යනවා. රැස්වීමෙන් පස්සෙ දවස අම්පාරට යාමට නියමිත දවසෙ දවල් කොලඹ ගතකරලා රෑ බස් එකේ අම්පාරෙ යාම කරනවා. රාත්‍රි බස් එකේ ගමන කොලඹ ආපු ගමන වගේමයි. හැබැයි දවල් ගමන ඊට වෙනස්. උදේට පාන්දර පහටයි, හයටයි සමුද්‍ර සිරි බස්දෙකක් අම්පාරට පිටත් වෙනවා. ඒ වගේම අම්පාරෙනුත් සමුද්‍රසිරි බස් දෙකක් කොලඹට පිටත් වෙනවා. මම හය හමාරවෙන කොට ගෙදරින් බෑග් එකත් උස්සගෙන පයින්ම මාකුඹුරෙ පංසල හංදියට (වර්තමාන අධිවේගිමාර්ග හංදිය) එනවා. හයිලෙවල් පාරෙ සමුපකාරෙ ලඟ එනකොට සමුද්‍රසිරි බස් එක එනවා. අත දැම්මම කොච්චර සෙනඟ හිටියත් බස් එක නවත්වන්නෙ බෑග් එක දැකල අම්පාරටම යන කෙනෙක් කියල දන්න නිසා වෙන්නැති. බස් එකේ ඉඩ නෑ! හිටගෙනම බෑග් එකත් කකුල් දෙක අස්සෙ ගහගෙන. රත්නපුර හරියට යනකොට වාඩිවෙන්න ඉඩ ලැබෙනවා. රාත්‍රියට වගේ හැම පොලිසියක් ලඟම නවත්තන්න ඕන නෑ. ඒත් තිරුවානා කැටිය හංදියෙ බහින්න ඕන. වැඩිය කරදරයක් නෑ. කහවත්ත පහුකරන කොට බෙන්ස් කාරෙකක් බස් එකට ඉස්සර කරනවා. බස් එකේ ඩ්‍රැයිවර් තුමා බස් එක අයින් කරල නවත්වනවා. සෆාරි සූට් එකක් ගහගත්තු මහත කෙනෙක් බෙන්ස් එකෙන් බැහැල බස් එකට ගොඩවෙනවා. මිනිහ ටිකට් පරීක්ෂා කරනව. පිටිපස්සෙ හරියෙ ඉන්න අය හිමිහිට කියනවා “ඔය සමුද්‍රසිරි මුදලාලි” කියල. මුදලාලි බොහොම ආචාරශීලී ලෙස කතාකරල ටිකට් ඉල්ලල හරි දාල දෙනවා.

“කරුණාකරල මහත්මයා ටිකට් එක දෙනවද?” මගෙන් ටිකට් එක ඉල්ලුවා.

“ආ ආ මෙන්න. මොකද මුදලාලි මහත්තයා බස් එකේ ගෝලයින්ව ඔච්චරම සැක ද ටිකට් බලන්නෙ?” කියල මමත් ඔලොක්කුවට කිව්වා.

“නෑ නෑ මහත්මයා අපේ දේවල් අපි හොයල බලන්න ඕනනෙ. නැතුව ගෝලයින්ව සැක හින්ද කරන දෙයක් නෙවෙයි.” මුදලාලි ටිකට් එක හරිදාල ආපහු දෙන ගමන් මට උත්තරත් දුන්නා.

මුලු බසෙකේම ටිකට් පරීක්ෂාව කරපු මුදලාලි බසෙකෙන් බහින්න ඉස්සෙල්ල “ඔක්කොටම බොහොම ස්තූතියි. කරදරයක් උනානම් සමාවෙන්න” කියල බැහැල ගිහින් බෙන්ස් එකට ගොඩවුනා.

සමුද්‍රසිරි බස් එක යන්නෙ දවල් නිසා වලවෙ හංදියෙන් හරෝල උඩවලව හරහායි යන්නෙ. උඩවලව පොලිසිය ලඟ බැහැල සුපුරුදු බෑග් මිරිකීම කර ගන්නම වෙනවා. කොහොම ගියත් සමුද්‍රසිරි බසෙක අම්පාරට යන්නෙ හැන්දෑවෙ පහමාරට විතර. දෙවෙනි සමුද්‍රසිරිය හය හමාරට විතර අම්පාරට යනවා. මේ වෙලාවල් වෙනස්වෙන දවසුත් එමටයි. එක දවසක් කොලඹ ඉඳන් අම්පාරට යන්න උදේ හයේ සමුද්‍රසිරියට නැග්ගෙ මාකුඹුර හංදියෙන්. සාමාන්‍ය විදියට උඩවලව හරියට බස් එක ගියා. උඩවලවෙ වැව පහු කරල ටිකදුරක් ගියහම බස් එක වෙව්ලන්න ගත්තා. රියදුරුතුමා බස් එක නවත්තල බැහැල බැලුවා. ටයර් එකක හුලං බැහැල. ස්පෙයාර් වීල් එක දාගන්න විනාඩි හතලිස්පහක් ගතකරල ආයිත් ගමන පටන් ගත්තා. දැන් හැමෝගෙම කතාව තණමල්විලට යන්න ඉස්සෙල්ල තව ටයර් එකක් ගියොත් මොකද වෙන්නෙ කියල! තණමල්විලට හැතැක්මයක් දෙකක් දුරින් බෝදාගමදි බස් එකේ ඇන්ජිම කැහැල නැවතුනා. රියදුරුතුමා බස් එක ස්ටාර්ට් කරන්න බැලුවා. එන්ජිම කැහැල නිහඬවෙනවා. කොන්දොස්තර ගෝලයා ගිහින් බාස්කෙනෙක් එක්ක ආවා. බාසුන්නැහැ එන්ජිම අතපතගාල බලල ගරාජ් එකට ගිහින් ගලවන්න ඕන කිව්වා. කොන්දොස්තරතුමා අම්පාරට යන්න මුදල් ආපහු දීල පුලුපුලුවන් හැටියට යන්න කිව්වෙ මූන බෙරි කරගෙන. සමහරු කොන්දොස්තරටයි, ඩ්‍රයිවර්ටයි, ආන්ඩුවටයි බැණ බැණ පයින්ම තණමල්විලට ගියා. මම සද්දනැතුවම තණමල්විලට පයින් කෙටුවෙ බස් එකේ ආපු තව කෙනෙක් එක්ක කතාබස් එකෙනුයි. මිනිහගෙ සිංහල උච්චාරනේ වෙනසක් දැනිල කොහේද කියල ඇහුවම අක්කරපත්තුවෙ කියල කිව්වා. මම කොහෙද ඇහුවම අම්පාරෙ කිව්වා. ගම එහෙද ඇහුවම නෑ කච්චේරියෙ වැඩ කරන්නෙ කිව්වා. එවෙලෙ ඉඳන් මිනිහට මම “ෂර්” වුනා. තණමල්විලට ඇවිත් කඩේකින් තේ බීල දෙන්න එක්ක පාරෙ වැල්ලවාය පැත්තට යන වාහන වලට අත දාන්න පටන් ගත්තා. අපේ බස් එකේ ආපු විශාල පිරිසක් මෙතන හිටිය ඉඳල හිටල ලොරියක් නැවැත්තුවම කට්ටිය පොරකාල නගිනවා. පොරකන්න බැරි හින්ද මම මගෙ අලුත් මිත්‍රයත් එක්ක වීරවිල පැත්තට පයින් ගිහින් වාහන එනකම් බැලුවා. හවස හය හමාරට විතර ආපු ලොරියක් නැවැත්තුවා. රියදුරුතුමාට කතාව කිව්වම “වැල්ලවායට වෙනකම් ගිහින් බස්සන්නම් පුලුවන්නම් පිටිපස්සෙන් නගින්න” කිව්වෙ ඉස්සරහ තුන් දෙනෙක් හිටපු නිසයි. කිසිකතාවක් නැතුව රියදුරු තුමාට ස්තූති කරල ලොරිය පිටිපස්සෙන් නැග්ගා. ලොරිය පිටත් උනා. ලොරියෙ තියෙන ගඳ නිසා විපරම් කරල බැලුවම ලොරියෙ තියෙන්නෙ කරෝල ලෝඩ් භාගයක්! මගේ මිත්‍රය කරෝල මිටියක් පෙරලල මිනිහගෙ බෑග් එක ඒක උඩින් තියල මට ආසනයක් පනෝල දුන්නා. මිනිහ තව කරෝල මිටියක් උඩට ගොඩ උනා. විනාඩි හතලිස් පහක් විතර ගිහින් වැල්ලවායට ආවා. අපි දෙන්න ලොරියෙන් බැහැල රියදුරුතුමාට ස්තූතිකරා.

මුලු ඇඟම කරෝල ගඳයි. දාඩියත් එක්ක මිශ්‍රවෙලා දරාගන්න බැරි තරමට ගඳයි. බෑග් එකත් ගඳයි. මගේ මිත්‍රයට මම කිව්වා හෝටලේකට ගිහින් ඇග හෝද ගන්න පුලුවන්ද කියල බලමු කියල. වතුර හිඟය නිසා හෝටල් දෙක තුනකින්ම ඇහුවට වැඩේ හරිගියේ නෑ. මගේ මුස්ලිම් මිත්‍රයා ඇරියෙ නෑ! මුස්ලිම් හෝටලයෙ මුදලාලිත් එක්ක දෙමලෙන් කතාකරල, මාව පෙන්නල අම්පාර කච්චේරි කියල මොන මොනවද කිව්වම මුදලාලිගෙ බාත් රූම් එකේ බැරල් එකක තිබුනු වතුරෙන් ඇග හෝදගන්න දුන්නා. ඒ වතුරෙන් යම්තම් ඇඟේ වතුර උලල පිහදාගත්ත. බෑග් එකෙන් වෙන කලිසමකුයි ෂර්ට් එකකුයි අරගෙන ඇඳගත්ත. මගෙ මිත්‍රයා මූනයි, අත්දෙකයි, කකුල්දෙකයි හෝදගත්ත. ඊටපස්සෙ මුස්ලිම් මුදලාලිගෙ කඩෙන්ම පාන් කාලා තේ බිව්වා. මුදලාලි කිව්වා කොලඹ අක්කරපත්තුව බස් එක රෑ දොලහ පහුවෙනකොට එනව ඒකෙ අම්පාරට යන්න පුලුවන් කියල. තවත් රෑවෙන කොට කෝපි බිබී කතා කර කර හිටියා. මගේ මිත්‍රයා මගෙ නම ඇහුවා. කච්චේරිය වැඩකරන අංශෙ ඇහුවම “එක එක දාට වෙනවෙන අංශවල වැඩකරන්න වෙනවා. වැඩියෙන් ඉන්නෙ පාලන අංශෙ” කියල කිව්වා. රාත්‍රි දොලහමාරට විතර ආපු අක්කරපත්තු බසෙකේ ඇවිත් සියඹලාන්ඩුවේ නතර වෙන්න උනේ පාන්දර පහවෙනකම් වාහන යවන්නෙ නෑ කියල පොලීසියෙන් කිව්ව නිසයි. බසෙකේ පාන්දර පහවෙනකම් ඉඳල අම්පාරට පිටත් උනා. හය හමාරට අම්පාරෙ චමරියට ගියා.

මගේ මිත්‍රයා ට්‍රැක්ටර් එලවන්න ලැයිසම ගන්න දවසක එනව කිව්වා. මිනිහට එන්න කියලත් කිව්වා. චමරියට ඇවිත් පැයක් විතර හොඳට නාලා තමයි ඇඳ පැලඳගෙන කච්චේරියට ගියේ.

මාස දෙකකට විතර පස්සෙ අපේ කච්චේරියෙ ආරච්චි මහත්තයා මගේ කාමරේට එක්ක ආවෙ මගේ අක්කරපත්තු ගමන් සගයාවයි. මාව දැකපු මිනිහ හොඳටම කලබල උනේ ටයි එකක් ඇඳගෙන මේ ලොකු කාමරේක මේසයක් පිටිපස්සෙ වාඩිවෙලා ඉන්නෙ තමන් එක්ක කරෝල මිටියක් උඩ වාඩිවෙලා තණමල්විල ඉඳන් වැල්ලවායට ලොරියකින් ආව මනුස්සය නේද කියල හිතිල වෙන්නෑති! මම වහාම මෝටර් රථ පරීක්ෂක බෙනට් මහත්තය කැඳවල මගේ මිත්‍රයෙක් කියල අඳුන්වල දීල මිනිහගෙ රියදුරු බලපත්‍රේ හදවල දුන්නා. මෝටර් ප්‍රවාහන අංශෙ බාරව අම්පාර කච්චේරියෙ එවක කටයුතු කලේ මමයි. ඔන්න ඔයවගේ අපූරු සිද්දි වලට මූණ දෙන්න පුලුවන් කම ලැබුනේ ඔය බස් එකේ ගමන නිසානෙ!

පස්සෙ අවස්තාවක දිසාපතිතුමා අතිරේක දිසාපතිතුමා මූලස්තාන උපදිසාපතිතුමා එවක බ්‍රිගේඩියර් රොහාන් දලුවත්ත,ජේයෂ්ඨ පොලිස් අධිකාරි නූර්දීන් වාරි මාර්ග නියෝජ්‍ය අධ්‍යක්ෂ සෙන්තිල්නාදන් වගේ දිස්ත්‍රික්කෙ ලොක්කො කොලඹ යාමේ අමාරුව ගැන ඇඟට තියෙන මහන්සිය කොලඹ වාහන නතර කිරීමේ අමාරුව ආදිය ගැන දීර්ඝ කතාබහක් කරද්දි මම කිව්වා,

“මට නම් ඔය කිසි අමාරුවක් නෑ. මට කොලඹ යන්න දීල තියෙන වාහන දෙක නම් බොහොම සුවපහසුයි. කොලඹ නැවත්වීමේ ගැටලුවත් ඒ වාහන වලට නෑ. මම ඔය කාටත් වැඩිය කොලඹ යන්නෙ ඒ නිසයි ” කියල.

සිරිවර්ධන මූලස්ථාන උපදිසාපති තුමා මගෙන් ඇහුව.”මොකක්ද ඔච්චර පහසුකම් තියෙන ඔයා කොලඹ යන වාහන දෙක?” කියල.

“සමුද්‍රසිරි කියල ගහල තියෙන එකයි, සමන් ට්‍රැවල්ස් කියල ගහල තියෙන එකයි තමයි ඒ වාහන දෙක. ඔය වාහන දෙකේ තියෙන පහසුකම් හින්දනෙ මටම හැම රැස්වීමකටම කොලඹ යන්න කියන්නෙ” කියල මම සැනෙන් උත්තර දුන්නා .

දිසාපතිතුමා කට කොනකින් හිනාවෙනව දැක්කා. කතාබහ වෙන මාතෘකාවකට යොමු උනා. දවස් දෙකකට පස්සෙ සිරිවර්ධන මහත්තය මට එතුමගෙ කාමරේට එන්න පනිවුඩයක් එව්වා. මම ගියා.

“සර් මට එන්න කිව්වද?”

“ආ ඔව් ඔව් අන්න වාසියක් වෙලා ඒක ගැන කියන්නයි එන්න කිව්වෙ.”

“මොකක්ද වාසියක් ?”

“ඔව් ඔව් අන්න ජී ඒ කිව්ව මීට පස්සෙ කොලඹ යන රැස්වීම්වලට ඔයාට වාහනයක් දෙන්න බලන්න කියල.”

“ලොකු දෙයක් සර්! එදා මට අරහෙම කිය උනේ වෙනම වාහනවල කොලඹ යන ලොක්කො ඒකෙ අමාරුව කතාකරන කොට අපේ අමාරුවත් අඟවන්න ඕන නිසයි.”

එදා ඉඳන් කොලඹ රැස්වීම්වලට එන්න වාහන දෙන්න පටන් ගත්තා. කොලඹ රැස්වීම්වලට වාහන නොදීමේ ප්‍රතිපත්තිය වෙනස්වෙන්න පටන් ගත්තෙ ඔන්න ඔහොමයි. පස්සෙන් පහු අලුත් වාහන ගෙනැල්ලා වාහන සංක්‍යාවත් වැඩි උනා. දැන්නම් වාහනේ නැත්නම් එලියට බහින්නෙ නෑ. බස් එකේ රැස්වීම්වලට යන්න කිව්වොත් ස්ට්‍රයික් කරනව ෂුවර්!

12 thoughts on “බස් වල ගමන.

  1. මේ ලිපිවල වාහන පර්මිට් ගැන ලියවිල තියන හින්ද ඒ ගැනත් යමක් ලියන්න හිතුන මම මේ කියන්නෙ රජයේ මාණ්ඩලික සේවයේ කෙනෙකුට වාහන පර්මිට් එකක් දෙනඑක වැරදියි කියන්න නෙවෙයි මමත් වාහනයක් ගත්තෙ එහෙමනෙ අව්රුදු පහකට ඉස්සෙල්ල ලැබුන වාහනය පර්මිට් එක විකුණන එක වැරදියි කියන්න මේ වාහනය දෙන්නෙ වෘත්තීය ගරුත්වය රැකගෙන රස්තියාදු නොවී වෙලාවට රාජකාරි වලට යන්නනෙ ඉතින් මේ අය ඒ පර්මිට් එක විකුණල පුරුදු විදිහට බස්එකේ යනව ඔය ඉංජිනේරුවො ඩී ආර් ඹ් ල දොස්තරල අධ්‍යාපන අධ්‍යක්ෂකවරු ගණකාධිකාරිල ඇතුලු මාණ්ඩලික ශේරේණියෙ නිලධාරි හැමෝටම සාමාන්‍යයෙන් අව්රුදු පහෙන් පහට වාහන පර්මිට් ලැබෙනව ඒ කියන්නෙ බදුරහිතව අලුත් වාහනයක් ගන්න දෙනව අඩුමිලට හැබැයි අව්රුදු පහක් යනතුරු විකුණන්න තහනම් හැබැයි ඒ තහනම ගණන් නොගෙන වාහනය නොගෙනම පර්මිට් එක විකුණනව දැන් ඹ්කෙ අඩුම තැන වන මම දන්න තැනින් අධයාපන කාර්යයාලයයෙන් පටන් ගම්මු බලන්න දැන් පහුගිය සැරේ වාහන බලපත්රය විකුණුනු අඩුමගාන ලක්ෂ දොලහයි මහන්සි වෙන්න දෙයක් නැහැ කාර්යාලයටම ඇවිත් සල්ලිදීල අරන් යනව දැන් විකිණෙන අඩුම ගාණ ලක්ෂ විසිතුනලු අව්රුදු පහට ලක්ෂ විසිතුනක් කියන්නෙ අව්රුද්දකට හාරලක්ෂ හැට දාහක් අව්රුද්දකට හාරලක්ෂ හැට දාහක් කියන්නෙ මාසෙකට තිස්අටදාස් තුන්සිය තිස්තුනක් නරකද වැඩේ දැන් ගුරුවරුන්ට මොනවද ලැබෙන්නෙ අඩුගානෙ අඩුවට මෝටර් බයිසිකලයක්වත් ලැබෙනවද නැහැ වැඩය කරන එක්කෙනාට නැහැ හැබැයි වැඩය බලන්න යන එක්කෙනාට දෙනව
    හරි දැන් බලමු අර ලක්ෂ විසිතුන අරගෙන සියයට හතේ පොලියට බැංකුවෙ දැම්මොත් මොකද වෙන්නෙ කියල බැංකුවෙ දැම්මොත් ගාණ හදල බලන්න මාසෙකට දහතුන්දාස් හාරසිය දාසයක් ලැබෙනව කොහොමද වැඩේ ඇත්තටම මේක වාහන පර්මිට් දීමක්ම නෙවෙයි මේක තමයි රාජ්‍ය මට්ටමේ නම්බුකාර අල්ලස් දීම මන්ත්රීලට එහෙම ඒ අයගන්න ලොකු වාහන පර්මිට් එකකට මිලියන ගාණක මුදලක් ලැබෙනවලු වැඩි විස්තර ඹ්නනම් යූ ටියුබ් එකේ නාගානන්ද කොඩිතුවක්කු කියල ගහල බලන්නකො නම් ලැයිස්තු සමග වංචාකරපු මුදල් ප්රමාණය සමග විස්තර තියනව
    ඉතින් තේරෙනව නේද මේ සමහර අය ශාන්තුවරයො වගේ හිටියට රටේ විනිමය වංචා කරපු අය බව හැබැයි මේ රටේ මැති ඇමතිවරුන්ගෙ ඉදල සියලු මාන්ඩලික නිලධාරීන්ට මේ වරප්රසාදය ලැබෙන හින්ද හැමෝම නිස්සද්දව සද්ද නැතුව වැරැද්ද තියෙන්නෙ මේ වරප්රසාදය ගන්න එකේ නොවෙයි එයින් විනිමය වංචා කරන එකෙයි හුගක් මන්ත්රීවරුනුත් මේ විනිමය වංචාව කරණ හින්ද එහෙම කරන නිලධාරීන්ට දොස් කියන්නත් බැහැ
    රටේ ඇති නැති පරතරය හුගක් වැඩිවෙලා තියනව ඒ අනුව හිතනවිටයි අඩු ආර්තික මට්ටමේ අයට මේව වැරදිවගේ පෙනෙන්නෙ නමුත් පුද්ගලික අංශයෙ මාණ්ඩලික නිලධාරියෙකුට ලැබෙන වැටුප් දීමනා සහ වරප්රසාද ආදිය ගැන බලනකොට මේව මොනවද කියල හිතෙනව අද ඹක්කොම බිස්නස් එකක් වෙලා තියනව ඉතින් ඇයි ඡන්දෙ විතරක් නිකං දෙන්නෙ මේ අනුව අද ඡන්දෙ දෙන්න ඹ්න අඩුගානෙ රුපියල් දොලොස් දාහක්වත් අතට දෙනකෙනෙකුටයි හරිද වැරදිද
    මෙහෙම වාහන බලපත්ර දුන්නත් කව්රුවත් දැකල තියනවද තමුන්ගෙ පුද්ගලික වාහනයෙන් රාජකාරි වැඩට යන ඩී ආර් ඹ් කෙනෙක් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක කෙනෙක් මන්ත්රී කෙනෙක් එහෙම

    Like

  2. ගොඩගම හංදියෙ මුරපොළේදී මට සහ තවත් යහළුවෙකුට වෙච්චි ඇබැද්දියක් තමයි ඔය යටින් දාල තියෙන්නෙ

    ඩප්පියාගේ ගිණි අවි සහ ගිණි කෙළි !

    හප්පොච්චියෙ පිටකොටුව ඉඳන් මාඹුල්ගොඩට එන්න තවත් පැය එකහමාරක් රස්තියාදු වෙන්න එපැයි ? මට ඉස්සර ඕකෙම අනිත් පැත්ත වෙනව කොළඹ ටවුන්හෝල් ඉඳන් අවිස්සාවේල්ල, බදුල්ල බස් වල මහ රෑ නැගල කොට්ටාවෙන් බහින්නේ නැතිව අවිස්සාවේල්ල හරියෙන් බැහැල බස් හෝල්ට් එකේ නිදාගෙන පහුවදා පාන්දර ආපහු කොට්ටාවට ඇවිල්ල තියනව. හොඳ වෙලාවට බදුල්ලෙදි ඇහැරුණේ නැත්තෙ 😀

    ඔය මාකුඹුරෙ පංසල හංදියට ඉස්සර කියන්නෙ “බෙල්ල කපාපු හන්දිය” කියල, මිනී මැරුමක් නිසා වෙන්න ඕන. ලයිසන් නැති කාලෙ බ්‍රාහ්මණගම ඉඳන් පොලෝසියෙ රාළහාමිලාගෙන් බේරිලා ගොඩගම කිට්ටුව තිබ්බ අපේ ගෙදරට යන්නෙ දොලේකඩේ හරහා ඇවිත් ඔය හන්දියෙන් ගිහින් මාලපල්ල හරහා පරණ පාරෙ 😀

    කරනකොට නම් ලේසියක් නැති බව තෙරුණට කියවනකොට නම් අර කරවල ලොරියෙ කතාව නම් මරු !!!

    Liked by 1 person

    1. මම ජීවත්වෙන්නෙ දොලේකඩේ හංදියට මීටර් සීයක් විතර දුරින්.බෙල්ල කැපූ හංදිය කිව්වෙ ඉස්සරවුනු මිනීමැරුමක් නිසාලු.අපේ බොරලුගොඩ රතනසාරලොකු හාමුදුරුවෝ තමයි ඕක පංසල හංදිය කලේ.

      Liked by 1 person

  3. ඔබතුමාට කියන්න තවමත් ඉන්නව එහෙම වෙස් වලාගෙන බස් එකේ හරි නැත්තං අනුංගෙ නිදහස් දුම්රිය බලපත්‍රයකින් හරි කොළඹ යන උත්තමයො. හැබැයි එතුමන්ලගෙ ගෙවල්වල පැළවෙන පුද්ගලික වාහනේට මාසික ප්‍රවාහන වියදං තෙල් වියදං එහෙම ආණ්ඩුවෙං ගෙවනව. ඒකත් ලස්සෙට පොඩ්ඩක් එහෙමෙහෙ වෙන සුලු මුදලක්.

    Like

    1. ඔයවගේම ආන්ඩුවෙන්දෙන වාහනේවෙනුවට සල්ලි අරගෙන ටයිඑක ගලෝගෙන බසෙකේ යනාපේ කට්ටිය කොලඹත් ඉන්නව.

      Like

  4. මේක හරියට උපන්දිනේ ඇහුවහම උප්පැන්න සහතිකේ පෙන්නනව වගේ ලිපියක් හොදයි දැන් හැමෝම දන්නව ඒ කාලේ බස්එකේ ගිහින් තියනබව හැබැයි ඒ දවස්වල අම්පාරෙ උප දිසාපති තුමාට රාජකාරි හැදුණුම් පත්තරයක් එහෙම දීල තිබුනෙ නැද්ද දන්නෙ නැහැ
    තව දෙයක් ගැන යන්තමට හරි මොනවහරි ලියනඑක හොදයි කියල හිතුන ඒ කරුණුටිකක් තමයි දැන් ලියන්නෙ
    අපේ රටේ සමහර අය බුද්ධධර්මයට සම්බන්ද වචන අනිසි විදිහට භාවිතා කරනව හරි තේරුමක් නොදැන එහෙම කරන්නෙ නොදැනුවත්ව හරි පුරුද්දට හරි වෙන්න පුලුවන් එය අපට අනුමත කරන්න බැහැ සමහරු මේ විදිහට අපොයි ඹ්ව නම් මට අරහං කියනව බණද කියන්නේ කියල අහනව මෙය සුලු දෙයක් වගේ පෙනුනට මෙය එහෙම සුලුපටු දෙයක් නෙවෙයි මේක තමයි බුද්ධ ධර්මය විනාශ කරන හරියටම හරියන අත්දුටුවයි ෂුවර් ක්රමය උදාහරන වශයෙන් ඉන්දුනීසියාව කොරියාව ජපානය වගේ රටවල් පෙන්නන්න පුලුවන් දැන් ඒ රටවල් වල බවුද්දයො හාමුදුරුවරු එක්කො රබානකට ගගහ යයි නැත්නම් බම්බු ටිකක් කරකවයි නැත්නම් ලී කොටේකින් දෝංකාරෙ එන්න වහන්තරාවකට ගහයි ඒ රටවල් වල බුද්ධධර්මය යටපත්වෙලා ගිහින් දැන් ඒ රටවල්වල තියෙන්නෙ බුද්ධධර්මය නොවෙයි පූජා බුද්ධාගමක්

    මේක තමයි සිංහල ගැමි සමාජය විනාශ කරන්නත් පරදේසීන් භාවිතා කරපු එක ප්රදාන ක්රමවේදයක් වෙලා තියෙන්නෙ ඉස්සර කාලෙ ගම්වල හිටපු ගම් නායකයො වැඩි හිටියො තමන්ගෙ ගම් රටවල් ආරක්ෂා කරල තියනව ඒ ගම් නායකයන්ට ගමේ හොද පිලිගැනීමක් තිබිල තියනව එම ගම් ප්රදානින් ගම් වැසියන්ගෙ සිංහල කමට නොගැලපෙන දෙයක් හැසිරීමක් දැක්කොත් දැන්වගේ අහක බලාගෙන යන්නෙ නැතුව එයට එරෙහිව ප්රසිද්දියෙ බැන වැදිල එය හරිගස්සල තියනව මේක සුද්දන්ගෙ වැඩවලට බාධාවක් වෙලා තියනව ඒක බිදින්න හදල දාපු මහදැනමුත්තයි ගෝලයො රොත්තයි වගේ ගම් ප්රදානීන් ඇතුලු අය සමච්චලයට ලක්කරන කථා ගෙනත් සමාජයට දාල තියනව ඒව නියමෙට වැඩ කරල තියනව හාමුදුරුකෙනෙක් කියන්නෙ මූසල වස්තුවක් ගමනක් යන්න පිටත් වෙනකොට හාමුදුරු කෙනෙක් මුණ ගැහුනොත් අසුභයි කියන කථා නියමෙට වැඩ කරල තියනව උදැල්ලයි යකඩෙයි එකවර අරන්යනඑක මිණිවල හාරන්න යනව වගේ අසුබ දෙයක් කියනව වගේ සමාජයට හදල දාපු විවිධ කථාත් නියමෙට වැඩ කරල තියනව

    අද ඉස්කෝලවල ටියුෂන් නොදී පාසලේ දක්ෂලෙස උගන්නන ගුරුවරයෙක් හිටියොත් ඒ අයටත් ටියුෂන් කාරයො ටික එකතුවෙලා හුගක් වෙලාවට මේවගේ වැඩ කරනව තමන්ගෙ පන්තිවලදි ඒ ගුරුවරයගෙ අඩුපාඩුවක් පෙන්නල ලමයින්ව බිදවනව අඩුගානෙ අපහාස වෙනවිදිහට නමක්හරි දාල අර ගුරුවරයව සමච්චලයට ලක්කරල විනාස කරල දානව හුගක් ලමයින්ට හොද ගුරුවරය කව්ද කියල තේරෙන්නෙ අව්රුදු ගණනක් ගිහිල්ල

    යක්ෂ ගෝත්රයෙ සමහර හිතුවක්කාර අකීකරු යක්ෂයො තමන් නිරතුරුව වන්දනාමාන කරන සිල්වත් බවුද්ධ භික්ෂුන් වහන්සේලාට හිරිහැර කරනවට එම ගෝත්තරයෙ නායකයො කැමතිවෙලා නැහැ ඉතින් මෙය වලක්වන්න එම නායකයො බලවත් යක්ෂ සේනාධිපතිවරුන් හතලිස් දෙනෙක් පත් කරල ඹවුන්ගෙ නම් ප්රසිද්ධ කිරීමයි ආටානාටිය සූත්රයෙ ප්රදාන වශයෙන් කරල තියෙන්නෙ එම යක්ෂ සේනාධිපතිවරුන් හතලිස් දෙනාගෙම නම් එහි ඇතුලත් කරල තියනව ඹ්න කෙනෙකුට කියවල බලන්න පුලුවන් ආටානාටිය සූත්රය කියන්නෙ එම අකීකරු යක්ෂයින්ට දඩුවම් කරන්න ගෝත්ර නායකයො හතරදෙනා ආටානාට නුවරට රැස්වෙලා හදපු ව්‍යවස්ථාව එය හදල තියෙන්නෙ බුදුහාමුදුරුවො නෙවෙයි එය හදල තියෙන්නෙ ගෝත්ර නායකයො විසින් එය හදල බුදු හාමුදුරුවන්ට ඉදිරිපත් කලහම බුදුහාමුදුරුවො එය පිලිගත් නිසයි එය සූත්රයක් වශයෙන් භාවිතයට අරගෙන තියෙන්නෙ මින් ඉදිරියට එවැනි සුලු හෝ හිරිහැරයක් කලොත් එම අවස්ථාවෙදිම එය එම කුමන හෝ යක්ෂ සේනාධිපතිවරයෙකුට කියන්න කියලයි එම සූත්රයෙ කියල තියෙන්නෙ එහෙම කිව්ව ගමන් දැන්වගේ නීතිය නව නව ඉන්නෙ නැතුව නියමෙට දඩුවම් කරල තියනව ආයිත් නොකරන්න එහෙම එකක්වන ආටානාටිය සූත්රය මෙතෙන්ට ගැලපෙන්නෙ කෙහොමද කියල තේරෙන්නෙ නැහැ

    ඒවගේ තමයි ආලවක සූත්රය එහි ප්රදාන වශයෙන් තියෙන්නෙ ආලවක යක්ෂ ගෝත්රිකයා විසින් එයාට කොහෙමටවත් පිළිතුරු හොයාගන්න බැරුව තිබුනු ගැඹුරු ප්රශ්න කීපයක් බුදුහාමුදුරුවන්ගෙන් අහල බුදුහාමුදුරුවො ඒවට දීපු නිවැරදි ගැඹුරු පිළිතුරු ඉතින් ආලවක යක්ෂ ගෝත්රිකයා එම නිවැරදි පිළිතුරු සැනින් තේරුම් අරගෙන තියනව එයින් තේරෙනව ආලවක යක්ෂ ගෝත්රිකයා බොහොම නුවණැති කෙනෙක් කියල ඊට පස්සෙ ආලවක යක්ෂ ගෝත්රිකයා කියල තියනව මීට පස්සෙ මම යන යන තැන්වලදි ඹබවහන්සේගේත් බුද්ධධර්මයේත් ගුණ වර්ණනා කරනව කියල ඉතින් ආලවක සූත්රය නරක සූත්තරයක්ද

    දැන් ලංකාවෙත් බුද්ධධර්මය විනාසකරන වැඩේ 90% විතර නියමෙට හරි ගිහිල්ලයි තියෙන්නෙ අසූහාර දාහේ පහන් පූජාවල් පිච්චමල් දස ලක්ෂයේ පූජාවල් මහා පලතුරු පූජාවල් තමයි දැන් ලංකාවෙ පන්සල් බවුද්දයන්ගෙයි අසපු බවුද්දයන්ගෙයි ලොකු වැඩවෙලා තියෙන්නෙ හැබැයි මෙතන කියන්නෙ මල්පූජා කරන්න එපා පින්කම් කරන්න එපා කියන එක නෙවෙයි ඒව තමයි කරන්න තියෙන ප්රදාන වැඩ කියල ඒවට බවුද්ධ ජනතාව පොලඹවන එක නෙවෙයි බුද්ධධර්මය කියන්නෙ කියන එකයි මේ සම්බන්ධව මම යන්තමට බ්ලොග් ලිපියක් ලියල තියනව බුද්ධධර්මය සහ බුද්ධාගම අතර වෙනස කියල මගේ sasara333.blogspot.com එකේ කැමති අයට එයට ගිහින් බලන්න පුලුවන්වෙයි
    දැන් ලංකාවෙ නිවැරදි සද්ධර්මය දේශණා කරන ස්වාමීන්වහන්සේ නමකට බණ දේශණා කරන්න ඉඩ නොදෙන තත්වයක් තියනව එක එක සල්ලිකාර උන්නාන්සෙල ඒ ඒ ගොල්ලන්ගේ ටීවී චැනල් වලින් පහර දෙන්න බනින්න පටන් ගන්නව එහෙම බණ කියන ස්වාමීන් වහන්සේලාට දැන් බුද්ධධර්මයටත් බිස්නස්කාර අයිතිකාරයො ඇතිවෙලා තියනව රටේ නායකයො කියල ඉන්න උනුත් වගේ වගක් නැතුව ඉන්නව ඇයි උනුත් වැඩිදෙනෙක් මේව ගැන දන්න දෙයක් නැහැනෙ
    අනුරාදපුරයෙ තියන මහමෙව්නාව වෙනුවට ඩුප්ලිකේට් මහමෙව්නාවක් දැනටමත් ඹය පොල්ගහවෙල පැත්තෙ තියනවලුනෙ තවතව ඇතිවෙයි මහනකමත් රස්සාවක් කරගෙන තියනව පොඩිකාලෙ පල්ලි ගිය හින්දද කොහෙද ගීතිකා කියන විදිහට තමයිලු සමහර ඒව කියන්නෙත් පිළිම වලත් ලව් ලක්ෂණ තියෙන්න තමයිලු හදල තියනව කියන්නෙ බුදුහාම්දුරුවො හාමුදුරුවරුන්ට සිල්වත් මහණෙනි කියල කථා කල බවලු නිතරම වදාරන්නේ බුදුහාමුදුරුවො කොහේවත් එහෙම දීන බවකින් යුතුව හාමුදුරුවරුන් ආමන්ත්රනය කරල නැහැ උන්වහන්සේ හාමුදුරුවරුන්ට ආමන්ත්රණය කරල තියෙන්නෙ මහණෙනි කියල සිංහ ස්වරයෙන්
    දැන් යසෝදරා කියල චිත්තර පටියක් හැදුවොත් ඒකට කෑල්ලක් දානව දේවදත්තගෙ රංඩු ගැන ඒව දාල බුද්ද ශාසනයට සංඝ සමාජයට අවමන් කරනව යසෝදරාගෙ පතිවත ගැන කියන්න ගිහිල්ල දේවදත්තගෙ සංඝ බේදය ගැන කියන්නෙ මොනවටද අවශ්‍ය නැහැනෙ ඒ වුනත් ඒක තමයි ඹවුන්ට කියන්න ඹ්න එක ප්රදාන කෑල්ල ඒකට තමයි අන්‍යාගමික එවුන් පිටරැටියන් කැමති අතයටින් සල්ලි දෙනවද දන්නෙත් නැහැ ඒ කෑල්ල තියන හින්ද තමයි චිත්තරපටිය පිටරට තරගවලට පෙන්නුවහම සම්මාන ලැබෙන්නෙ මම මේ ගැන යසෝදරා සහ දේවදත්ත කියල ලිපියක් මගේ sasara333.blogspot.com එකේ ලියල ඇති

    එයිට අමතරව සමහරු දැන් පොත් ලියනව බුදුන්ගෙ රස්තියාදුව වගේ නම්දාල කව්ද ලියල තිබුන බුදුන්ගෙ රස්තියාදුව නෙවෙයි පොතට නම දාපිය තොගෙ අම්මගෙ රස්තියාදුව කියල එහෙම වෙලාවක තමයි තෝ වගේ එකෙක්ව ජාතකවෙලා ඇත්තෙ කියල බුදුන්ගෙ රස්තියාදුව ලිව්ව වගේ පුලුවන්නම් ලියපන්කො අර අනිත් ආගමක එකෙක්ගෙ නමදාල ඒ අහවලාගෙ රස්තියාදුව කියල පොතක් හිටිය තැනක්වත් හොයාගන්න බැරිවෙයි කියල

    තව එකෙක් ලියල තිබුන බුදුන්ගෙ බොරුව කියල එකක් කිසාගෝතමී මල දරුවව අරගෙන බුදුහාමුදුරුවො ලගට ආවහම බුදුහාමුදුරුවො කිව්වලු කෙනෙක් නොමල ගෙයකින් අබ මිටක් ගෙනාවොත් පන දෙන්න පුලුවන් කියල ඒ කියල තියෙන්නෙ බොරුවක්ලු තේරුම්ගන්න පුලුවන් තරම තමා බුදුහාමුදුරුවො කියල තියෙන්නෙ දරුව සනීප කරන්න කෙනෙක් නොමල ගෙයකින් අබ මිටක් ගේන්න කියල මිසක් ගෙනාවොත් සනීප කරනව පණ දෙනව කියපු තැනක් පුලුවන් නම් ඉදිරිපත් කරන්න

    නාට්‍ය හදනවලු නිර්වස්ත්රන් පරමං සුකං කියල පැන්ෂන් ගිය රාජ්‍ය නෝන කෙනෙකුත් එයට සම්බන්ධයි කියලයි කියන්නෙ මේ ඔක්කොම එක වැඩ පිළිවෙලක වෙනස් වෙනස් කොටස් වෙන්න පුලුවන්

    මේ බුද්ධදර්මයෙ කෑලි දාල ජොලියට හරි පුරුද්දට හරි ලියන කියන එකත් අර වැඩ පිලිවෙලේම කොටසක් වෙන්න පුලුවන් ඒක හින්ද මෙය සුලු දෙයක් නොවෙයි මේක ලිව්වෙ චෝදනා පත්තරයක් විදිහට නොවෙයි මේව හුගක් දෙනෙක් නොදැනුවත් කමින් හරි අනුන්ට රැවටිලාහරි කරන වැඩවෙන්න පුලුවන් ඉතින් අපිට ඹ්නවුනේ සුලු වශයෙන් හරි මේ ගැන දැනුවත් කමක් ඇති කරන්න නමුත් දැනුවත්ව හරි නොදැනුවත්ව හරි මේ අය මේ කරන්නෙ හරි දෙයක්නම් නොවෙයි

    Like

    1. ආටානාටිය සූත්‍රය දේශනා කරන්නෙ හාමුදුරුවරු අටදෙනෙක් හතරහතර දෙපස ඉදන් එය සංවාදයක ස්වරූප ගන්නා දේශනාවක්.සංවාදය ක් ඇතිකරගන්න හැදීම තමයි මෙතනදි පෙන්වන්නෙ.
      ආලවකසූත්‍රයෙ තියෙනවා බුදුන්වහන්සේට නිවසින් දොට්ට බැහැපන් කියල ආලවක යක්ෂයා අණ කරන බවත් බුදුන්වහන්සේ ඒඅණ පිලිගෙන ගෙයින් එලියට වැඩම කල බවත් .මේත් එබඳු අවස්තාවක් බවයි කියන්නෙ.අර ගැමියා ආවර්ජනය කරන්නේ බුදුන්වහන්සෙත් නපුරු යකා කියපු දේ අහල එලියට බැස්සනම් මමත් ඔන්නොහෙ මේනපුරු පොලිස්කාරයකියනදේ අහල බැහැල යනව කියන එකයි.
      මේවා ලියන අදහස අනුවයි තේරුම්ගන්න ආකාරයයි එකිනෙකාගෙන් වෙනස් වෙනඑකනිසයි ඔහොම හිතෙන්නෙ.යමක් කතාවක් හැටියට ලියනකොට බාවිතා කරන වචන යෙදුම් උපමා නිසා වෙනදෙයක් ඒ.

      Like

    2. විද්‍යා පන්හිද තුමාගේ දීර්ඝ අදහස් දැක්වීම ඉතා අමාරුවෙන් කියවීමි.
      විද්‍යා පන්හිද තුමා, බුදුන් වහන්සේගෙ දේශනාවේ තිබෙනවා නේද ‘සියළු දේ අනිත්‍යි’ කියා.
      ඉතින් මම වෙනත් කිසිවක් කියයුතු නැහැ නේද?
      ඔච්චර සිත් අමනාප කරගන්ඩ එපා. සන්සුන් වන්න!
      ජය වේවා

      Myself Hattor

      Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s