නිවාස කොමසාරිස් ලෙස…

නිවාස අමාත්‍යංශෙ නිවාස අධ්‍යක්ෂ තනතුරයි නිවාස කොමසාරිස් තනතුරයි දරමින් රාජකාරි කරමින්විවිධ වැඩසටහන්වලට සම්බන්ධ උනා.අමාත්‍යංශෙ ලේකම්තුමිය මල්ලිකා කරුනාරත්න මැතිනිය බොහොම උනන්දුවෙන් වැඩ කරන්න දිරිය දීපු කෙනෙක් .අතිරේක ලේකම් සෙනවිරත්න මැතිතුමා මට කලින් නිවාස අධිකාරියෙ ගොඩනැගිල්ලෙ ඉන්න කාලෙ හමුවෙලා මගේ කාමරේ බෙදාහදාගෙන දවස්කීපයක් හිටපු කෙනා.එතුමත් වැඩකරන අපිවගේ අයට උපරිම සහාය දීපු කෙනෙක්.ඒ ඇරුනම මගේ ප්‍රාදේශීය ලේකම් සමයේ දිසාපතිතුමා ඒ අයි වික්‍රම මැතිතුමා විශ්‍රාම අරගෙන අපේ අමාත්‍යංශෙ උපදේශක හැටියට වැඩකලේ මගේ අල්ලපු කාමරේ.පාලන පැත්තෙ ජෙය්ෂ්ඨ සහකාර ලේකම් තුමිය පියසීලි දයාරත්න මැතිනියත් මගේ මිත්‍රයෙක්.අමාත්‍ය තුමිය අපි කාටත් නිදහසේ වැඩ කරන්න ඉඩ දීල තිබුනා.නියෝජ්‍ය අමාත්‍ය තුමා චන්ද්‍රසිරි ගජධීර මැතිතුමා නිලධාරින් එක්ක සහයෝගෙන් වැඩ කලා.මේ නිසාම වැඩි කරදරයකින් තොරව වැඩ කරගෙන යන්න ඉඩ තිබුනා.මේ කාලෙ සම්බන්ද උන විශේෂ කටයුත්තක් තමයි නිවාස කොමසාරිස්තනතුරේ වැඩ බලන්න හමු වෙච්ච එක.ලංකාවෙ තිබුනු ප්‍රධාන දෙපාර්තමේන්තුවක් වුනු ජාතික නිවාස දෙපාර්තමේන්තුව පස්සෙදි නිවාස සංවර්ධන අධිකාරිය පිහිටුවීමත් එක්ක වසා දැමීමට තීරනය කෙරුනා.ඒවුනත් 1973දි රජය සම්මත කල නිවස දේපල උපරිම පනත ක්‍රියාත්මක කිරීමේ කාර්‍යෙ අවසන් නොවූ කටයුතු මුලුමනින්ම අවසන් කරනතුරු දෙපාර්තමේන්තුව වසා දැමීම කල නොහැකි වුනා.ඒනිසා දෙපාර්තමේන්තුව නාමිකව පවත්වාගෙන යමින් ආරම්භ කල කටයුතු ටික අවසන් කිරීමේ කාර්‍ය කරගෙන ගියා.

නිවාස දේපල උපරිම පනත යටතේ පුද්ගලයෙකු සතුව තබාගත හැකිවූයේ නිවාස ඒකක තුනක් පමනයි.ඊට අතිරේකව තිබූ නිවාස රජයට පවරාගැනීම හෝ කුලීපදනම මත සිටිඅයට අයත් වීමේ විධිවිධාන මේනීතියෙන් පනවා තිබුනා.කුලී පදනමට සිටි අය තමන් කුලියට සිටි නිවසේ අයිතිය ඉල්ලාසිටීමත් එමනිවස පනත අනුව අතිරික්ත නිවසක් නොවන බවට නිවෙස් හිමියා කරුනු ඉදිරිපත් කිරීමත් බොහෝවිට සිදුවී තිබෙනවා.ආදායම් මාර්ගයක් ලෙස නිවාස හදා කුලියට දීමේ ව්‍යාපාර කල අයට මේ නීතියෙන් වැදුනේ මරු පහරක් .ඔහුන්ගේ කුලී නිවාස රජයට පවරා ගත්තේ තක්සේරු ගත වටිනාකම වංදි ලෙස දෙමිනුයි.මේ සියලු තීරණයන්ට එරෙහිව අභියාචනා විභාග කරන මංඩලයකුත් තිබුනා.ඒමංඩලේ තීරනවලට විරුද්ධව අභියාචනාධිකරනයට යාමේ හැකියාවත් අවසානයේ ශ්‍රේෂ්ඨාධිකරනයට යාමේ හැකියාවත් තිබුනා.තමනිවස බේරා ගැනීම සඳහා නිවාසහිමිකරුවන් මේ යාන්ත්‍රණය භාවිතා කල අතර කුලියට හිටි නිවසේ පරම අයිතිය ලබා ගැනීමේ අටියෙන් කුලී පදිංචි කරුවන්ද මේ අයිතිය බාවිතා කරන්න ගත්තා.මේත් එක්ක විශාල පරීක්ෂන ප්‍රමානයක් සමාලෝචන මංඩලයේත් අභියාචනාධිකරනයේත් ශ්‍රේෂ්ඨාධිකරනයේත් ගොඩගැහුනා.මූලික පරීක්ෂන නිවාස කොමසාරිස් ලඟත් ගොඩ ගැහුනා.මේ පනත අනුව අතිරික්ත නිවාසයක් හෝ කුලී නිවාසයක් පිලිබඳ ඉල්ලීමක් කොමසාරිස්වරයා වෙත ලැබුනු පසු ඔහු ඒ පිලිබද පරීක්ෂනයක් පවත්වා තීන්දු ගතයුතුයි.පරීක්ෂනය දෙපාර්ශවයේම නීතීඥයින් ගේ සහභාගිත්වයෙන් කෙරෙනවා.නිවාස දේපල නීතිය ගැනම වැඩකරපු නීතීඥ පිරිසක් මේ වනවිට හිටියා.මේ පරීක්ෂන වලදී බොහෝ වෙලාවට මූලිකවිරෝධතා නීතිඥවරුන් මතු කරනවා.මේ මූලිකවිරෝධය ගැන කරුනු විභාග කරලා තීන්දුවක් දුන්නම ඒකට විරුද්ධව සමාලෝචන මංඩලයට ගිය හැකියි.සමාලෝචන මංඩලය ඉදිරියේ කෙරෙන දීර්ඝ විභාගයකින් පසුව තීන්දුව දුන්නම ඇතැම්විටක ඒතීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත්වෙනවා.ඒගැන තීන්දුවක් එනකම් නිවාස කොමසාරිස්ගේ පරීක්ෂනය නවතිනවා.අවුරුදු තුනක් හතරක් ඔයවිදියට පරීක්ෂනය නැවතිලාතියෙනවා ආපහු පටන්ගන්නවා.ආයිත් අරචක්‍ කරේ යනවා.

1978 අවුරුද්දෙදි ජාතික නිවාස සංවර්ධන අධිකාරි පනත ගෙනැවිත් නිවාස කොමසාරිස් දෙපාර්තමේන්තුව අහෝසිකරත් ඒදෙපාර්තමේන්තුව යටතේ ආරම්භ කරතිබූ නිවාස දේපල උපරිම නීතිය යටතේ ඒවනවිට විසඳී නොතිබුනු ගැටලු විසඳා අවසන්කිරීමේ කාර්‍ය සඳහා පමනක් දෙපාර්තමේන්තුව නෛතිකව පවත්වාගෙන යායුතු උනා.මේවිදියට තිබුනු නිවාස කොමසාරිස්තනතුර තමයි අවසානයේ මගේ කරට වැටුනේ.මම ඒතනතුරේ වැඩ බලන්න පත්වෙනකොට ලිපිගොනු 300ක් පමන නොවිසඳුනු ගැටලු හැටියට තිබුනා.ලොකු ලේඛනාගාරයක් තිබුන නිසා මීට අතිරේකව තවත් නොවිසඳුනු පයිල් තිබුනද කියන්න කවුරුවත් දැනගෙන හිටියෙ නෑ.කොහොම හරි මම මේපයිල් කීපයක් අධ්‍යනය කලා.මෙයින් එකක් ගැනයි මේකතාව.

මර්තේලිස් මහත්තයා ගුරුවරයෙක්.කොලඹට ආසන්න නගරෙක ජීවත් වුනු කෙනෙක්.උන්නැහැගෙ උපත සිද්දවුනෙත් ඒගමේමයි.තමන් උපන්න මහගේ ලඟම ඒවත්තෙම නිවසක් තනාගත්තු මර්තේලිස් මහත්තය විවාහවෙලා පදිංචි උනේ තමන් හදා ගත්තු නිවසෙයි. මහගෙදර අම්මයි තාත්තයි ජීවත් උනා.දෙමව්පියන්ටත් සලකගෙන හොඳින් ජීවත් වුනු මර්තේලිස් මහත්තය හොඳ බෞධාගමිකයෙක්.තමන්ගෙ වෘතියෙ සාර්තක උන උන්නැහැ විදුහල්පතිවරයෙක් වෙනවා.ඉන්පස්සෙ පොත් පත් ලිවීමටත් පටන්ගන්න එතුමා බෞධ පොත්පත් අධ්‍යාපන පොත්පත් ලියල විශාල නමක් හදාගන්නවා.උන්නැහැට විවාහයෙන් දායාද හැටියට ගෙයක් ලැබෙන්නෙ කොලඹ නගරෙ ආසන්නයෙන්මයි.මහගෙදරයි මහගෙදර ආසන්නයේම තිබුනු පැරනි වරිච්චි බිත්ති සහිත කාමර දෙකක නිවසයි එකම ගෙයක් ලෙසයි සැලකුවේ.දෙමව්පියො දෙන්නට හොඳින් සැලකුව මර්තේලිස් විදුහල්පති තුමා ඒදෙන්නගෙ මරණින්පස්සෙ මේ සියලු දේ අයිති කෙනා බවට පත් වෙනවා.දෙමව්පියො ඉන්න කාලෙම මහගෙදරට ආසන්න පැරනි කාමරදෙක කුලියට දෙන්නෙ නෙවෙයි පාලුවට තියෙනනිසා.ඒහිටපු කට්ටියත් බොහොම මිත්‍ර ශීලි පවුලක්.දෙමව්පියන්ගෙ මරනින් පස්සෙ මහගෙදර පාලුවට තියෙනවා.මේගේ කුලියට ඉල්ලගෙන එන පිරිස් ටිකෙන්ටිකවැඩි වෙන්නෙ.ප්‍රධාන නගරෙක ඇතුලෙ තියෙන නිවසක් නිසා.තමන් උපන් මහගෙදර කුලියට දෙන්න මර්තේලිස් මහත්තයට ඕනෙකමක් නැතත් අවසානයේ දන්න අඳුනන මිත්‍රයෙක් ගෙන් බේරෙන්න බැරි වෙනවා.නිකම් පාලුවට තියෙන මහගේ තම හිතවතෙකුට දුන්නම හොඳයි කියල හිතන උන්නැහැ මේගේ කුලියට යාලුවට දෙනවා.මේවිදියට මර්තේලිස් මහත්තයගෙ ගෙවල් තුනක් කුලියට දීල තමන් හදාගත්තු ගෙයි ආගමික ශාස්ත්‍රීය කටයුතු කරමින් සතුටෙන් ජීවත්වෙන කාලෙදි තමයි නිවාස දේපල උපරිම නීතිය බලාත්මක වෙන්නෙ.

මේනීතිය බලාත්මක වුනාට මර්තේලිස් මහත්තය ඒගැන කලබල උනේ නෑ.තමන්ගෙ මහගෙදරයි තමන් හදාගත්තු ගෙයයි දෙක යි දෑවැද්දට හමු උන ගේයි විතරක් තිබුනු නිසා මේගැන ගනන් නොගෙන හිටියෙ මහගෙට අල්ලල තිබුනු කාමර දෙක ඒවෙනකොටත් හිස්ව තිබුනු නිසාත් ඒක මහගෙයි කොටසක් විදියට සලකපු නිසා එය වෙනම ගෙයක් හැටියට හිතුනෙ නැති නිසයි.කොහොමහරි මේදිරා පත් උන කාමරදෙක අලුත් වැඩියාවෙන් තොර නිසා අබලන්වෙලා ඉවත් කරනවා.මේ අතර මරතේලිස් මහත්තයගෙ මහගෙදර කුලියට ඉන්න යාලුවා තමන් කුලියට ඉන්න ගේ මර්තේලිස් මහත්තයගෙ අතිරික්ත ගෙයක් කියල අයිතිවාසිකම ඉල්ලල අයදුම් පතක් නිවාස කොමසාරිස්ට ඉදිරිපත් කරනවා.නිවාස කොමසාරිස් අදාල පනත අනුව ප්‍රකාශයක් කරන්න කියල මර්තේලිස් මහත්තයට ආකෘති පත්‍ර එවනවා.මර්තේලිස් මහත්තයා තමන්ට අයත් නිවාස හැටියට මහගේයි තමන් හදාගත්තු ගේයි සදහන් කරලා නිවාස කොමසාරිස්ට පිලිතුරු හැටියට ප්‍රකාශය යවනවා.මේ පිලිතුරත් එක්ක දීර්ඝ පරීක්ෂනයක් නිවාස කොමසාරිස් ඉදිරියේ ඇරඹෙනවා.

තමන් කුලියට පදිංචි නිවස අයිතිවාසිකම ඉල්ලා මර්තේලිස් මහත්තයගෙ යාලුව ඉදිරිපත් කරපු ඉල්ලීම නිවාස කොමසාරිස් ඉදිරියේ පරීක්ෂනයට ගැනෙනවා. පරීක්ෂනය අතරතුර සමාලෝචන මංඩලය අභියාචාධිකරනය ශ්‍රේෂ්ඨාධිකරනයට අවස්තා ගනනාවක ගිහින් අවුරුදු විසි පහක් තිහක් මේ විභාගය පැවැත්වෙනවා.මර්තේලිස් මහත්තය මුලු රටේම ඉන්න බලවතුන්ට පෙත්සම් ලියමින් නිවාස කොමසාරිස්ට පිටපත්‍ යොමුකරමින් තමන් උපන් නිවසේ අයිතිය ආරක්ෂා කරගන්න දඟලද්දී නීතිය අනුව තමන්ට අයිතිවියයුතු නිවස ලබාගැනීමට කුලී පාර්ශවය උපරිම ශක්තියෙන් වැඩකරනවා.අවාසනාවට මේ ආරවුල මධ්‍යයේ මර්තේලිස් මහත්තයගෙ එකම දියණිය පවුලට නොගැලපෙන හිතුවක්කාරවිවාහයක් කරගෙන පවුලෙන් ඉවත් වෙනවා.මේඅතරදී මහගෙට අල්ලා තිබූ පැරනි කාමරදෙකේ නිවස ගැනත් දෑවැද්දට හිමිවූ නිවස ගැනත් පරීක්ෂන යේදී එලියට එනවා .නීතිය සම්මතවනවිට තිබූ නිවාස සංඛයාව හතරක් බැවින් කුලියට සිටිඅයට අතිරික්ත නිවාසය හිමිවෙනවා.මේ තීන්දුවත් ශ්‍රේෂ්ඨාධිකරනය දක්වා ගොස් සම්මතවෙනවා.නිවස අහිමි වීමත් සමග මර්තේලිස් මහත්තය ජීවිතෙන් සමුගන්නවා.ඉන්පසු නිවසට ඔප්පුවක් සැකසීමේදී අයිතිය හිමිවූ පාර්ශවය පර්චස් විස්සක් ඉල්ලා සිටිනවා.මර්තේලිස් මහතාගේ උරුමකාරිය දියණිය ඊට විරුද්ධවෙනවා.මෙයින් අලුත් ආරවුලක් ඇරඹෙනවා.

මේ කාලෙදි මම නිවාස කොමසාරිස් හැටියට වැඩ බලන්න පත් කෙරෙනවා.මේවනවිට කුලියට හිටි පාර්ශවය බොහෝ බලවත්. බලවන්තයින් රැසක් ඔහුන්වෙනුවෙන් පෙනීසිටිමින් ඒ ඉල්ලීම ඉටුකර දෙන ලෙස ඉල්ලනවා.රටේ ප්‍රබලම තැනිනුත් ඉල්ලීම එන්න ගත්තම මුලු කතාන්දරයම අධ්‍යන ය කිරීමට මට සිදු වුනා.මුලු කතාවම බැලීමේදී මර්තේලිස් මහතා ගැන ලොකු කණගාටුවකුත් අසාධාරණ නීතියගැන කේන්තියකුත් ඇති වුනා.මේ ආරවුල විසඳීම සඳහා සාකච්චාවක් තැබීමට සූදනම් කර දෙපාර්ශවයටම දන්වා කැඳවාගත්තා.මේවගේ සාකච්චාවක් තියනවට අකමැත්ත මුලින්ම පලකරේ නිවාස කොමසාරිස් කාර්‍යාලයේ නීති නිලධාරියයි.ඔහු කීවේ මේ සාකච්චාවෙදි කොමසාරිස්වරයා ප්‍රකාශ කරන අදහස් ඉදිරි පරීක්ෂණවල ස්වාධීනත්වයට බලපෑ බවට පාර්ශව වලට තර්ක ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් ගොඩනැගිය හැකි බවයි.මම ඒක ප්‍රතික්ෂේපකරා.ඒත් නීති නිලධාරිතුමා කියන කරුන ගැන ප්‍රවේසමෙන් කටයුතු කල යුතු බවපිලිගත්තා.දෙපාර්ශවය පැමිනි පසු මම කතාව ආරම්භ කලා.

“මේ සකච්චාව කිසිසේත්ම පනතේ සඳහන් ක්‍රියාවලියට සම්බන්ද දෙයක් නොවෙයි.දැනටමත් අවුරුදු32ගතවී ඇති මේ ආරවුල කඩිනමින් විසඳීම සඳහා එකඟතාවයක් ඇති කරගැන්න පුලුවන්ද බලන්න නිලනොවන වශයෙන් දෙපාර්ශවයම ඉදිරියේ විවෘතව කරන්න බලා පොරොත්තු වන්නක්.මේසඳහා දෙපාර්ශවයේම එකඟතාවය අවශ්‍යයි.කවරහෝ පාර්ශවයක් විරුද්ධ නම් මේ සාකච්චාව පැවැත්වීමේ හැකියාව නෑ.එහෙම විරෝධයක් තිබෙනවාද?”මම ඇහුවා.දෙපාර්ශවයම සාකච්චාවට එකඟ උනා.

“මේසාකච්චාව පනතේ ක්‍රියාවලියට අදාල නොවනනිසා මෙහිදී පලකරන අදහස් යෝජනා හෝ මතවාද කිසිවක්මේ සාකච්චාව අසාර්තක වුනොත් ඉදිරි පරීක්ෂණවලදී යොදානොගැනීමට දෙපාර්ශවයම එකඟද?”මම විමසුවා ඊටත් දෙපාර්ශවයම එකඟ උනා.

මම මේ ආරවුල පිලිබඳ විස්තරයක් ඉදිරිපත්කර දෙපාර්ශවයම අධිකරණවලට ගියවාර ගනන පැහැදිලිකර ඊටගතවූකාලය අවුරුදු 32ක්බවත් පෙන්වාදී ඊට වියදම් වූමුදල පිලිබඳව දෙපාර්ශවයම හොඳින් දන්නවා ඇතැයි පවසා එසේ එක් එක් පාර්ශවයට වියදම් වූ මුදල් ප්‍රමානය නිසැක වශයෙන්ම මේනිවස පිහිටි ප්‍රදේශයෙන් තමන් දිනා ගැනීමට හා ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන ඉඩම මෙන් දෙගුනයක් විශාල ඉඩමක් මිලදී ගැනීමට ප්‍රමානවත්වන මුදලකට සමානවනු ඇතැයි මම සිතන බවත් එක පාර්ශවයකින් දැනටමත් ඊලඟ පරපුරට ආරවුල භාරදී ඇති අතර මේ අන්දමට ගතවුවහොත් ඊලඟ පාර්ශවයෙන්ද ඊලඟ පරපුරට ආරවුල යොමුවිය හැකි තත්වයක් ඇතිවිය හැකියැයි කිව්වා.එනිසා මේ ආරවුල දැනට නතරවී ඇති තැනින් අවසන් කිරීමට එකඟතාවයක් අවශ්‍යවන බව පැවසුවා.මේ එකඟතාවය අවශ්‍ය කරුනු මේ විදියට සාරාංශ ගත කරල පෙන්නුවා.

“දැනට මේ දීර්ඝ පරීක්ෂන ක්‍රියාවලියෙන් කුලී නිවස අතිරික්ත නිවසක් බව සනාතවී ඇති නිසා එහි අයිතිය කුලියට සිටි අයට ලබාදීම කලයුතුයි.එහිදී නිවස සමග ආබද්ධ පරිශ්‍රය වෙන්කර දිය යුතුයි.ආබද්ධ පරිශ්‍රය පිලිබදව දෙපාර්ශවය අතර එකඟතාවයක් අවශ්‍යව ඇත.කුලියට සිටින පාර්ශ්වය ඉල්ලා සිටින ප්‍රමානය වෙනස් කිරීමටත් අනිත්පාර්ශවය දීමට සූදානම් ප්‍රමානය වෙනස්කිරීමෙනුත් මේගැටලුව විසඳිය හැකියි.උදාහරණලෙස කුලියට සිටි පාර්ශ්වය මුලු ඉඩමෙන් භාගයක් ඉල්ලාසිටීම වෙනස්විය යුතුයි.නිවාස අයිති පාර්ශවය පර්චස් හයකට වඩා දීමට විරුද්ධවීමත් වෙනස්විය යුතුයි.මෙම ඉඩමතුල නිවාසඒකක තුනක් පැවති බව පරීක්ෂණවලදී තහවුරු වීතියෙනවා.එනිසා එඅයිතිය හිමි වූකුලීයට සිටි පාර්ශවයට මුලු ඉඩමෙන් තුනෙන් පංගුවකටවඩා ඉල්ලා සිටීම සුදුසු නෑ.මුල් ඉඩම හිමි පාර්ශවය ත් තමන්සිටින ස්ථාවරයෙන් ඉවත් වී පර්චස් 13ක්පමනවන ප්‍රමානයක් දීමසඳහා හිත හදාගැනීම සුදුසුයි. මීට එකගත්වය දෙපාර්ශවයෙන් ලබා දුන්නොත් සති දෙකක් තුල මේ ගැටලුව නිම කරන බවට සහතික විය හැකියි.”

මේසඳහා එකඟතාවයට ඒමට මාසෙක කාලයක් වාචිකව දුන්නා.ඒමාසයතුල එකගත්වය ලබානොදුන්නොත් ආබද්ධ පරිශ්‍රය තීරණය කිරීම සඳහා නව පරීක්ෂණයක් ආරම්භ කරන බවත් පැවසුවා.නියමිත කාලය තුල දෙපාර්ශවයම එකගත්වයකට කැමැත්ත දුන්නේ නෑ.ඒඅනුව යලිත් පරීක්ෂණ ඇරඹුනා.මම දිසාපති තනතුරට පත්ව එතනින් ඉවත් වෙන කොට නව පරීක්ෂනය ආරම්භ වුනා පමනයි.ඇතැම්විට තවමත් ඒක්‍රියාවලිය අවසන්ව නැතිව ඇති

මේ සිද්දියෙන් පැහැදිලි වුන කරුණ උනේ බොහෝ මිනිසුන් නඩුහබ කියන්නේ තම ජයග්‍රහණය සඳහා නොව විරුද්ධ පාක්ෂිකයා පරාජය කිරීම සඳහා බවයි.තම විරුද්ධවාදියා පරාජය කිරීම සඳහා ඕනෑම වියදමක් දැරීමටත් ඔනෑම තරම් දීර්ඝ කාලයක් ගතකිරීමටත් මිනිසුන් සූදානම් බවත් එහිදී තමාට අහිමිවනදේ ගැන තැකීමක් නොකරන බවත් මින් පැහැදිලි වෙන බවයි මගේ අදහස.ඒත් එක්කම අපි භද්‍ර යෞවනයේදී මහා ප්‍රගතිශීලී කාර්‍යන් ලෙස දුටු නිවාස දේපල උපරිම නීතියේ අසාධාරණ කමත් හොඳින් පැහැදිලි උනේ නිවාස කොමසාරිස් කම කිරීමෙනුයි.අදත් කුලී නිවාස ඉදිකිරීමට මුදල් ඇති අය බියවන්නේ මේ නීතිරීති අතීතයේ ක්‍රියාත්මකවූ අන්දමට බියෙනුයි.මදිද ඉගෙනගත්තු ටික.?(මේකතාවේ විදුහල්පතිගේ නම සත්‍ය නම නොවන බව සලකන්න.)

9 thoughts on “නිවාස කොමසාරිස් ලෙස…

  1. 1973 දී තිබුනේ සංවෘත ආර්ථික ක්රමයක් එම ක්රමය යටතේ කෙරුන දේවල් අද තියන විවෘත ආර්ථික ක්රමයට අනුව බලනවිට වැරදි වගේ පේන්න පුලුවන් එබැවින් මම මුල් ලිපියෙත් සදහන් කර ඇති ආකාරයට 1973 දී තිබුන අගනා රජය අයහපත්යයි නිශ්චිතව තීරණය කරන්නට එම කරුණු පාදක කර ගැනීම සුදුසු නැහැ

    මෙවැනි අතුරු ඵලයක් මතුවීමට මෙම ලිපියේ සදහන් කරුණු හේතුවේයයි එය ලිවීමේදී හිතුවාද නැද්ද දන්නේ නැහැ නමුත් එය සිදුව තිබෙනවා

    එම සමහර ප්රතිපත්තිවල ප්රදාන අරමුණ වුනේ අනුන්ගේ දේ කඩා වඩා ගන්න පුළුවන් නීතිමය රාමුවක් ඇති කරන එක නොවෙයි එමගින් සමාජ සාධරණත්වයක් ඇති කිරීමයි ඒක ඒ කාලයේ ඒ රජයේ දර්ශණය

    තමන්ගේ ශ්රමය අඩු මුදලට ලබා ගන්නාබව හුගක් මිනිසුන්ට තේරෙන්නේ නැහැ එයත් අනුන්ගේ දේ කඩාවඩා ගැනීමක් තමයි

    හැමෝටම හාල් පොතක් තිබුන බයිසිකලයටත් රේඩියෝ එකටත් ලයිසන් ගන්න වුනා කෝල් එකක් ගන්න තැපැල් කන්තෝරුවට ගිහින් කලුතරට බුක් කරල බලාඉන්න වුනා ඉතින් ඒ කාලෙගැන අද විදිහට බලල හිතන එක එතරම් හරි නැහැ එහෙමනම් ඇමෙරිකාව වගේ රටවල අප්රිකානු රට වලින් අල්ලගෙන ආපු මිනිස්සු වෙන්දේසි කරල විකුණපු ඒව කොයිතරම් වැරදිද අනිත් එක අද හොදද

    පිටරටින් ඉගෙනගෙන ආ සමාජවාදය එවැනි සමාජයක් නොතිබුන මේරටට ඉදිරිපත් කිරීමේ සහ එම ක්රම ඒ විදිහටම යොදන්න යාමේ වැරැද්දක් තිබෙනවා 1973 රජය බිද දැමීමට උපයෝගී කර ගත්තේද එයයි

    ලෝකයේ වාමාංශික අදහස් මැරිල ගිහින් නැහැ එම වාමාංශික දර්ශණයන් අද ධනවාදී රටවල් විසින්ද භාවිතා කරනවා එම සමහර ප්රතිපත්ති ඔවුන්ගේ දර්ශණයන් බවට හරවා ගනිමින් ඒවා භාවිතා කරමින් ක්රියාත්මක කරමින් තමයි අද බොහෝ ධනවාදී රටවල් සමාජ සාධාරණත්වය ඇතිකරනු ලබන්නේ එම රටවල්වල එම සමාජවාදී ප්රතිපත්ති අනුගමනය කරන පක්ෂ තියනවා

    දුප්පත් රටක් සමාජවාදී චින්තනයට අනුව ගොස් පොහොසත් රටක් බවට පත්වූවිට කෙනෙකුට එය ධනවාදී රටක් වගේ පෙනෙන්න පුලුවන් එහි ධනවාදී ලක්ෂණද ඇතිවන්නට පුලුවන් පෙර කාලයේ සමාජවාදී ආණ්ඩු ක්රම තිබුන රටවල අද සිදුවී ඇත්තේ එයයි සමාජවාදී දර්ශණයකින් වැඩකර රට දියුණුවූ පසු මුල් කාලයේ අනුගමනය කල පිලිවෙත් එලෙසම අනුගමනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ දුප්පත් කෙනෙක් පොහොසත්වූ පසු දුප්පත් කාලයේ සිටි ආකාරයටම සිටිය යුතුයයි නියමයක් නැහැනෙ දැන් එම රටවල් පෙරට වඩා දියුණුයි ඹවුන් ලෝකයේ ධනවාදී රටවලට අභියෝග කරන තත්වයට පත්වෙලා තියනවා

    එම රටවල් අද සමාජවාදයෙන් බැහැරව ගොස් ඇතිබව දකිනවානම් ඉස්සර තිබුන ධනවාදී රටවල්ද අද බොහෝ දුරට ධනවාදයෙන් බැහැරව සමාජවාදී වී ඇතිබවද දැකිය යුතුව තියනවා

    එම 1973 රජයට විවේචන ඉදිරිපත් කරන බොහෝ අයත් එම රජය ඇතිකල යහපත්බවින් ප්රයෝජනගත් අය වන්නට පුලුවන් කොහොම වෙතත් මේවාට වැඩි කරුනු ලියා පලක් නැහැ සැණකෙලියක් බවට පත්වී ඇති සරුව පිත්තල වෙළද සමාජයක ඉන්න එමෙන්ම එදාට වැඩිය පහසුවෙන් ඉන්න අද සමාජයේ බොහෝ අය ඒ අතීතය නොදන්න නිසයි දන්න අය බොහෝ අයටත් ඒවා අමතකව ඇති නිසයි

    Like

  2. මම හිතුව වම බදාගත්ත කෙනෙක් තමයි කියල. ඒත් වම මැරිල ගියේ හේතුවක් ඇතිව බව නොතේරෙන අය තවමත් ඉන්නව 🙂

    Like

  3. ගෙයක් දොරක් නැති වුණු පලියට තව කෙනෙක්ගෙ දේ කඩා වඩා ගන්න පුළුවන් නීතිමය රාමුවක් හදනවා කියන්නෙ මහා තකතීරු වැඩක් නෙව. කවුද මේ පනත ගෙනාවේ ?

    Like

  4. කුලි නිවසක අවුරුදු 5 කට වඩා හිට්යොත් ඒ ගේ කුලි නිවසයියනට අයිති වෙනවා කිහලා නිතියක් තියනවද

    Like

    1. දැන් එහෙම නීතියක් නැත.නිවාස දේපල උපරිම පනත අහෝසි කර ඇත. කුලී පනත තිබූ බොහෝ විධිවිධාන බලරහිත කර ඇත.

      Like

  5. ගුණසේකර මහත්තයාගෙ හොරොව්පොතානේ පළවෙනි ඩීයාරෝ පොත කියවනවා මේ දවස්වල..ඔබත් ඔබේ අත්දැකීම් පොතකට ගොණුකලයුතු යැයි සිතේ..අළුත් පරිපාළන නිලදරුවන්ට අත්පොතක් වේවි..

    Like

  6. නිවාස දේපල උපරිම නීතියේ අසාධාරණ කම පැහැදිලියි ඒ වගේම අර හොදට තිබුනු වතු ජනසතුකිරීම ඒවත් අසාධාරණයි නේද
    එතකොට අර ආණ්ඩු ක්රම ව්‍යවස්ථාවක් හදල ලංකාව ශ්රී ලංකාව කරපු එක සිංහල කියන ජාතිය අහකට දාල ජනමතවිචාරණයක් තියන්නෙ නැතුව සිංහලයො ශ්රී ලාංකිකයො කිරීම ඒකත් හරිම අසාධාරණයි නේද

    එතකොට මහජන බැංකුව පිහිටුවීම ලංකා බැංකුව රජයට ගැනීම රක්ෂණ සංස්ථාව ඇතිකිරීම ඉන්දුලංකා ගිවිසුම ක්ර්යාත්මක කිරීම උත්තර මන්ත්රී මණ්ඩලය අහෝසිකිරීම ජාතික ඉතිරිකිරීමේ බැංකුව ඇති කිරීම රාජ්‍ය මැණික් සංස්ථාව ඇතිකිරීම රාජ්‍ය මිනිරන් සංස්ථාව ඇතිකිරීම රාජ්‍ය වානිජ නීතිගත සංස්ථාව ඇතිකිරීම රාජ්‍ය නැව් සංස්ථාව ඇතිකිරීම රාජ්‍ය කජු සංස්ථාව රාජ්‍ය රබර් නිෂ්පාදන සංස්ථාව ඇතිකිරීම පොල්ගොල්ල වේල්ල ඉදිකර මහවැලි ගග රජරටට හැරවීම රාජ්‍ය වී අලෙවි මණ්ඩලය ඇතිකිරීම ජාතික ජලසම්පාදන මණ්ඩලය ඇතිකිරීම රාජ්‍ය අවුසද නීතිගත සංස්ථාව ඇතිකිරීම ආදීවූ සංස්ථා මණ්ඩල ගණනාවක් ඇති කරමින් රට නව මාවතකට යොමු ක්රීම ඒ ආදි පෙර නොතිබුන වැඩ කටයුතු රාශියක් කරමින් රට ලෝක බැංකුවට ගැති නොවී සිටීමට යොමු කිරීම කටයුතු කිරීම පුද්ගලික පාසල් රජයට පවරා ගනිම්න් අධ්‍යාපනය ක්රමවත් කිරීම රටේ දියුණුවට හේතුවන ඒ කාලයේ ඇති කරනලද දේශීය නිෂ්පාදන ක්රියාවලියට සහයවීමට අවශ්‍යවූ ශ්රමිකයන් බිහිකිරීම සදහා පාසල්වල විද්‍යා අධ්‍යාපනය වැඩි දියුණු කිරීමට ඹ්නෑකමින් කටයුතු කිරීම අල්ලාගත් 71 කැරැල්ලේ අයව නොමරා පුනුරුත්තාපනය කිරීම කච්චතිවු දුපත ලංකාවට අයිතිකර ගැනීම ලංකාවේ අනවසරයෙන් පදිංචිව සිටි ඉන්දියානුවන් පන් ලක්ෂයකට වැඩි පිරිසක් ඉන්දියාවට යැවීම සිරිලකදේ සිරිසැපදේ ප්රතිපත්තිය ක්රියාත්මක කරමින් රටපුරා පාරවල් අයිනේ පවා ආහාරභෝග කුඹුරු වවන්නට වවන්නට සැලැස්වීම පිටරට රෙදිපිලි අඩුකර දේශීය රෙදිපිලි කර්මාන්තයට තැනදීම යුනික් රේඩියෝ එකේ ඉදල පියට් කාර් එක දක්වා ලංකාවේ හැදීම නොබැදිජාතීන්ගේ සමුලුව ප්රයෝජනයට ගනිමින් පිටරට රැකියා දොර ඇරීම ඒවත් අසාධාරණයි ද

    එතකොට අර මිරිස් රතුලූනු සබන් කිරිපිටි ආදී බොහෝ ආහාර ද්රවය සගවා ඒවාවල නැති හිගයක්මවා මෝඩ මිනිස්සු රවටා ආණුඩුව කෙරෙහි කලකිරවීම ඒව සාධාරණයිද අර පස්සෙ කාලෙ අගමැතිකමට පත්වෙච්ච අගමැති ජනධිපතිවරනයක් නැතිවම ජනාධිපතිවීම ඒවගේම අර ජාතික ලැයිස්තුවෙන් මන්ත්රීල ගන්න ක්රම හැදීම විවෘත ආර්ථික ක්රමය හදල ලෝකෙම තියන දහජරාව බාල බඩු ලංකාවට එන්න දොර හැරීම ඒව සාධාරණයිද උසාවි නඩුතීන්දුවක් නැතිව තමන්ම පත්කරපු විශේෂ ජනධිපති කොමිසමකින් මුලුරටක් ගොඩනගන්න වැඩකරපු ලෝකයේ ප්රතම අගමැතිනියගේ ප්රජා අයිතිය නැතිකිරීම ඒව සාධාරණයිද සුදු රෙද්දක තියන පුංචි කුණු ටිකක් වුනත් පැහැදිලිව පේන එක ඇත්ත ආංඩුවට රිංගල හිටපු සමහරු පිටරටවල ඉගෙනගත්තු සමාජවාදියො සමාජවාදය බලෙන් පොම්ප කරන්න ගිහින් රටට ඇත්තටම ආදරෙන් වැඩ කරපු ඒ වටිනා ආංඩුවෙ අර අය එකතු කරපු ඒ සමහර ප්රතිපත්ති රටේ මිනිස්සුන්ට පීඩාදායකවුන එකත් ඇත්ත ඒත් ඒ සමහර අඩුපාඩු අරගෙන ඒ වටිනා ආංඩුව අසාධාරණ ප්රතිපත්ති සහිත ආංඩුවක් කියල ඉගිකරන එක හරි නැහැ වැරැද්ද වැරදිබව කිව්වට කමක් නැහැ නමුත් ඒ කාලයෙ හොද ආංඩුවක් තිබුන ඒත් මෙහෙම අඩුපාඩුත් තිබුන වගේ තරමක්හරි සාධාරණය කරල ලියන්න ඹ්න කියලයි මගේනම් අදහස ඒවගේම පහුකාලෙ කුණු පිරුණ රෙද්දක් වගේ හින්ද කුණු අඩුවගේ පෙණෙන ආංඩු එයට වඩා සාධාරණයි කියල එමගින් ඉගිකරණ එක හරි නැහැ

    මේවයින් නොමග යන්නෙ හරියාකාරව කරුණු දන්නෙ නැති අය මම මෙය ලියන්න හිතුනෙ අන්න ඒ අනිත් පැත්ත නොදකින අයට මේවයෙඅනිත් පැත්තත් බලන්න කියන්න නැතුව වෙන දේකට නෙවෙයි උකුස්සෙක් ලමයෙක් උස්සගෙන අරගෙන යනව මිනිස්සු කෑගහගෙන දුවනව මොන අසාධාරණයක්ද අනේ අපේ ලමය දියෝ දියෝ කියල කෑගහගෙන පස්සෙන් පන්නව උකුස්ස අහනව එතකොට මගෙ ලමයින්ට කන්න දෙන්නෙ මොනවද කියල ඉතින් මොකද කියන්න තියෙන්නෙ දැන් ඉතින් කෝකද අසාධාරණ කෝකද සාධාරණ මිනිහෙක් ඉන්න ගුහාවකට අරාබි ඔටුවෙක් රිංගල සම අයිතිය ඉල්ලනව මිනිහත් ලෝකෙ ඉන්න සතෙක් මමත් මේ ලෝකෙ ඉන්න සතෙක් මේ ගුහාව මටත් අයිතියි කියනව මොකක්ද එහෙම ඹටුව සාධාරණයක් ඉල්ලන එකේ තියන වැරැද්ද ඔටු අධිකරණයට ගියොත් ඹටුව දිනුම් මිනිහ පරාදයි මිනිස් අධිකරණයට ගියොත් මිනිහ දිනුම් ඹටුව පරාදයි සවුදියෙ ගිය ගෑණු කෙනෙක් ලග බුද්ධ රූපයක් තිබුනොත් වැරදියි ලංකාවෙ ඉන්න අරාබි ගෑණියෙක් ලග ඒඅයගෙ ආගමේ මොනව තිබුනත් වැරදි නැහැ එකම ලෝකෙ දෙවිදිහක් තියනඑක සාධාරණද ඉතින් එහෙම අයට සමාජ සාධාරණ අසාධාරණ ගැන කථාකරන්න අයිතියක් තියනවද
    හරි දැන් මේ අනුව ඒ තිබිල තියන නිවාස දේපල උපරිම නීතිය පට්ට වැරදියිනෙ ඒබව හැමෝටම තේරෙනවනෙ මෙතන මේ වෙලා තියෙන්නෙ මේ රටේ මේ ප්රජාතන්තරවාදෙ අස්සෙ සමාජවාදෙත් කරන්න යනඑකනෙ සමාජවාදෙ අස්සෙ ප්රජාතන්තරවාදෙත් කරන්න යනඑකනෙ අන්තිමට බැලුවහම දෙකෙන් එකක්වත් නැහැ වගේ හැබැයි එක අතකට ඒක හොදයි වාසියට වැඩකරන අයට කොයි පැත්තකට හරි හේත්තුවෙලා බේරිලා ඉන්න පුලුවන්

    හරි ඉතින් අපි බලමු මේ කතාව අනිත් පැත්තෙන් ඒකෙ මට නොතේරෙන තැනුත් තියනවනෙ මේ කතාවෙ තියන කරුණු අනුව දැන් මේ කියන ගෙදර ලමයත් එක්ක තුන්දෙනෙක් ඉදල තියනවනෙ ඉතින් ඕන්නම් ගෙවල් නමයක් තියාගන්න තිබුනෙ නැද්ද එක්කෙනෙකුට තුනගාණෙ එක පාරටම හදිසි නීතිය දානව වගේ නීතිය දැම්මද දන්නෙ නැහැ වැරදි හදාගන්න වෙලාවක් දුන්නෙ නැද්ද දන්නෙ නැහැ අර දෑවැද්දට හම්බුවෙච්ච ගේ හරි මහගේ හරි දුවට හරි නෝනට හරි ලියල ප්රශ්ණෙ ගොඩින් බේරගන්න බැරිවුනේ ඇයි ඒක පැහැදිලි නැහැ එහෙම බැරිවුනේ රජයේ වැරැද්ද හින්දද එහෙම නැත්නම් ඒගොල්ලන්ගෙ පුද්ගලික ප්රශ්ණ හින්දද පැහැදිලි නැහැ අනිත් එක අර මිත්රත්වයට බලෙන් ගේ කුලියට ඉල්ලගත්ත මිත්තරයගෙ මිත්රත්වයත් හරි අපූරුයි නේද ඒවගැන මොකුත් ලියල නැහැනෙ ඉතින් මෙතන තියෙන්නෙ පුද්ගලික ප්රස්නයන් නිසා ඇතිවුන අර නීතියටත් පටලැවුනු ප්රස්නයක්ද එහෙම නැත්නම් තනිකරම නිවාස දේපල උපරිම නීතිය හින්ද ඇතිවුන ප්රස්නයක්ද පැහැදිලි නැහැ

    හැබැයි මේකෙ හොද තැන් තියනව අර ඇතැම්විටක ඒතීන්දුවට එරෙහිව අභියාචනාවක් ඉදිරිපත්වෙනවා.ඒගැන තීන්දුවක් එනකම් නිවාස කොමසාරිස්ගේ පරීක්ෂනය නවතිනවා.අවුරුදු තුනක් හතරක් ඔයවිදියට පරීක්ෂනය නැවතිලාතියෙනවා ආපහු පටන්ගන්නවා.ආයිත් අරචක්‍ කරේ යනවා. ඒටික නියමයි
    හැබැයි අතීතය ගැන කරුණු දන්නෙ නැති මේ අලුත් පරම්පරාවෙ අය මේව වැරදියට තේරුම් ගනියි කියල හිතල මම මේ කරුණු ටිකක් ලිව්වට උන් වැඩි දෙනෙකුට ඕවමේව ගාණක්වත් නෑ උන් වැඩිදෙනෙක් ඉන්නෙ ගෝලීය කරණය වුන උන්ගෙ ලෝකයෙනෙ ඩිජිටල් ලෝකයකනෙ දැන් ඩිජිටල් ලෝකයෙ ආංඩුවෙ වැසිකිලියකට යන්න ගියත් ඉදිරියෙදි එහෙම වෙයිද දන්නෙ නැහැ ගිහින් දොර ඇරගන්න අරින අංකෙ එබුව ගමන් අපගේ වැසිකිලි පරිස්රයට පැමිනිඹබ සාදරයෙන් පිළිගනිමු මුත්රා කිරීම සදහා අංක එකද කක්ක දැමීම සදහා අංක දෙකද දෙකම එකවර කිරීම සදහා අංක තුනද ඹබන්න ඊළගට සාමාන්‍ය වැසිකිලිය තෝරාගන්නේ නම් අංක එකද කොමෝඩ වැසිකිලිය තෝරාගන්නේ නම් අංක දෙකද ඹබන්න ඊළගට වතුර පාවිච්චි කරන්නේ නම් අංක එකද ටිෂූ පාවිච්චි කරන්නේ නම් අංක දෙකද දෙකම පාවිච්චි කරන්නේ නම් අංක තුනද ඹබන්න ඊලගට මේ මොහොතේ අපගේ සියලුම වැසිකිලි පාවිච්චිකරන්නන් කාර්ය බහුල බැවින් මදක් රැදීසිටින්න වගේ ඹබඹබ ඉන්න වෙයිද දන්නෙ නැහැ ඉතින් ඹහොම ඩිජිටල් වෙනරටක ඉන්න එවුන්ට අපි හිතුවට මේවයෙ අගයක් ඇති කියල උන්ට ඒවයෙ වගේ වගක් නැතුව ඇති එක අතකට ඒක හොදයි

    සද්දයක් ඇහෙනවට බැලුවෙ මොකක්ද කියල රෙහැරක් එනව වගේ පාරදිගේ රන්ජන් මහත්තය කස ගහමින් අංගම්පොර සටනක් පෙන්නමින් මුලටම එනව සුගන්දිකා නෝන ජාතිතුනම කලවම්කරමින් ශල්සා කතක් මනිපුරි ඩිස්කෝ නැටුමක් නට නටා ඊළගට එනව ඊළගට නාගානන්ද මහත්තයල වගේ කට්ටියක් කස්තිරම් අඩවු අල්ලමින් එනව ඊළගට ගෑණු කට්ටියක් රබන් කරකවමින් කලගෙඩි සෙල්ලම් කර කර එනව කොල්ලො කාංඩයක් නටනටා එනව දෙන දේ කන්නං කාල නටන්නං කිය කියා
    ලොකු බෙරකාරය බෙරේ ගහනව වැඩිදෙනෙක් වැඩිදෙනෙක් වැඩිදෙනෙක් කියල හුරප්පට්ටු කාරය ගහනව කරප්ටඩ් කරප්ටඩ් කරප්ටඩ් කියල වයසක නලාකාරය අපි ඹ්වට නෑ ඕව ඹ්න්නෑ කියල නලාව පිඹිමින් සැරෙන් සැරේ ඇකිලිච්ච ඉපිය හදහදා එනව
    පස්සෙන් කාංඩයක් එනව පෙලපාලියක් මේ රටේ නම ශ්රී ලංකා නොව ශ්රී අසාධාරණ ලංකා යනුවෙන් වෙනස් කරව් කරව් කරව් කියල කෑගගහ ඇයි මොකුත් කරන්න බැහැනේ කලොත් අසාධාරණයිනෙ හැමෝම කියන්නෙ අපිට තරම් අසාධාරණයක් වුන අය තවත් නැහැ කියලනෙ අනේ මන්ද කවද මේ රට හැදෙයිද කියල

    Like

  7. නිවාස උපරිම දේපල නීතියේ ප්රගතිශීලි භාවය ගැන තරැණ කාලයේ මටත් තිබුණ හැගීම් වෙනස් වුනේ ඒ අමාත්‍යාංශය භාරගෙන වෙලා තිබුණ දේවල් දැක්කමයි.
    නීතිය ⁣අගනා එකක් වුවත් රජයේ සේවකයන් පවා අසරණ නුගත් බයවුන අයගේ නිවාසවලටයි ඒ සම්බන්ධ පරණ ලිපි ගොනුවලටයි කරලා තිබුණ අපරාධ ගැනත් තව පැහැදිළි කළොත් නේද හොද.
    දේශපාලනයට බැන බැන ඉන්න අයට ඔබතුමා වැනි අයවත් ඇත්ත කිව යුතුයි නේද?
    මහ ජාතියට අයත්වන නිසා කියන දේ ඇත්තක් කියලවත් භාරගනීවි නේද?
    මෙහෙමවත් අපේ රටේ සිදුවන අයුක්තිය පිළිබදව කරැණ හෙළිදරව් කළයුතුයි නේද
    තරහක් ඇතිවනවා සුනිල් මහත්තයෝ ඒ සමහර දේවල් මතක් වෙනකොට.
    ග්රේශන්ව හමුවුනා හුග කලකට පස්සේ ආචාර්ය කුලසිංහ මැතිතුමා හා සම්බන්ධ වෙලා කරපු වැඩ ගැන මතක් කලා………අමතක වෙලා තිබු ඒ සිද්ධින් මතක් වෙලා ඇතිවෙලා තියෙන තරහයි දුකයි එක්කයි මේක ඔබේ සටහනත් කියෙව්වේ!
    දුකයි සුනිල් මහත්තයා මගේ නොහැකියාව ගැන. බල බලා ඉන්න වෙලා තියන එක ගැන….. . .!!

    Liked by 2 people

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s