බිහිසුණු යුගයක මතකය

අම්පාරෙ මුලදි ගත කරපු කාලෙ ගැන තව බොහෝදේ ලියන්න තියෙනවා.පුරා අවුරුදු දොලහක් තිස්සේ රාජකාරි කල අම්පාරේ සේරම කතා කියල ඉවරයක් කරන්න බෑ.ඒවුණත් අපි රාජකාරිකල යුගයෙ රටේතත්වය සිහිපත් වෙන්නත් එක්ක සමහර දේවල් සටහන් කරන්නම වෙනවා.අපි අම්පාරෙ කටයුතුකල ඒයුගය බොහොම බිහිසුණු කාලයක්.එක පැත්තකින් වෙනම රාජ්‍යක් ඉල්ලමින් සටන් කල සන්නද්ධ දෙමල තරුණ තරුණියන්ගේ අරගලය.කිසිම පැකිලීමකින් තොරව ඕනම කෙනෙක්ව ඝාතනය කරන්න පුලුවන් තිරස්චීන ව්‍යාපාරයක් තමයි ඒ ව්‍යාපාරය.ඒක විසඳන්න ලංකාවට ගෙන්නපු ඉන්දියන් හමුදාව රටතුල සිටීමට එරෙහිව දකුනේ ආරම්භ කල දේශප්‍රේමී ජනතාව්‍යාපාරය.එයත් සන්නද්ධ බලය යොදමින් රජයේ කටයුතුවලට උපරිම ශක්තියෙන් බාධා කරා.මේ ව්‍යාපාරෙට සම්බන්ධ බොහෝ නායකයො මම හොඳින් හඳුනන යාලුවො.අපිත් සමග විශ්ව විද්‍යාලෙ සමකාලීනව අධ්‍යාපනය හැදෑරූ එච් බී හේරත්,එච් ඊ දයානන්ද,කේ ඩබ්ලිව් එස් අමරසිරිඇතුලු තව බොහෝ පිරිසක් මේ අරගලයෙ නායකයො හැටියට ක්‍රියා කලා.එච් බී හේරත් සහෝදරය මම මාතලේ පුහුණුවෙ ඉන්න කාලෙදි දවසක් හමු උනා.මාතලේ ටවුමෙදි හමු උන ඔහු මාත් එක්ක බෝඩිමට ඇවිත් එදා රාත්‍රිය ගතකල ඔහු පහු වෙනිද සමුගත්තෙ “අපේ ජීවිත කොයි වෙලවෙ විනාශ කරයිද දන්නෙ නෑ සහෝදරය, ජීවත්ව සිටියොත් ආයිත් හමුවෙමු” කියල සමු ගත්තා.ඒ තමයි එච් බී හේරත් සහෝදරය මුන ගැහුනු අවසන් අවස්තාව.හැබැයි අවස්තාවක දෙකක මම රාජකාරිකරන පලාත්වලට ඔහු ඇවිත් ගිය බව දැන ගන්න ලැබුන ඒ වගේමයි කේ ඩබ්ලිව් එස් අමරසිරි මිත්‍රයා.ඔහු මටවඩා එක අවුරුද්දක් ජේෂ්‍යඨ සිසුවෙක්.රැග් කාලපරිච්චේදයේදි හමුවෙන ජේයෂ්ඨ යො වගේ නෙවෙයි.ඔහු ඒකාලපරිච්චේදිත් අපිට බොහොම ලොකු සහෝදරත්වයකින් සැලකුවා.හැම වෙලාවෙම හිනාවක් මූනෙ තියාගෙන හිටියෙ.ඔහු දේශපාලනයට කැපවෙලා හිටියෙ .හේරත් සහෝදරය වගේ අය පිටවෙනකොට නායකත්වය ගන්න හිටපු එක්කෙනෙක්.ඔහුත් සරසවියෙන් පස්සෙ ඔහු නිවැරදියැයි විශ්වාසකල දේශපාලනයට කැප උනා.මම අම්පාරෙ යන්න පිටකොටුවෙ බස්ස්ටෑන්ඩ් එකට යමින් හිටපු හැන්දෑවක පිටකොටුවෙ බෝගහ ලඟ කොටුව පැත්තට එමින් හිටපු සියගානකසෙනග මැද්දෙන් හිටිගමන් මගේ ඉස්සරහ ට ආවෙ අමරෙ.ඒවනවිට යටි බිම් ගතව හිටි අමරෙව දැක්ක මට පුදුමහිතුනෙ ඒතරම් ජනා කීර්ණ තැනක ඔහුව දකින්න ලැබෙයි කියල හිතුනෙ නැති නිසයි.

“කොහොමද සහෝදරයා දැන් කොහේද රාජකාරි?”අමරෙ ඇහුවෙ කිසිවෙනසක් නැතිව.

“මම අම්පාරෙ ඉන්නෙ මේ එහෙ යන්න “මම උත්තර දුන්නා.

“ඇයි දැන් මාතලේ නැතිද?කවදද අම්පාරට ගියේ”කියල අහන කොට තමයි තේරුනේ හේරත් මිත්‍රයා මංගැන කතාකරල තියෙන බව.

“ඒ ට්‍රේනිං කාලෙ මාස තුනයි එහෙ හිටියෙ තේ එකක්වත් බොන ගමන් කතා කරමු” මම කිව්වා.

“බෑ සහෝදරයා දැනටත් මේ හිටිය ඇති.බාප්පල ඉන්නවද දන්නෑ .යන්නම් “කියල මාරූ උනා.

“අනේ පරිස්සමින් “මට කිය උනා.ඒක ඇහිල ද කොහෙද හැරිල ඔලුව වනල ගියා.ඒ අමරෙගෙ අවසාන හමුවයි.

මේ විදියට අපෙන් හොරෙන්ම සමුගත්තු පිරිස කොච්චරද කියල අපි කවුරුවත් දන්නෙ නෑ.අම්පාරෙ සිංහල ජනතාව ජීවත්වෙන පලාත්වල දේශප්‍රේමී ජනතාව්‍යාපාරයෙ ක්‍රියාකාරකම් බොහොම තදින් සිද්ද වුනා.මේ විදියට කටයුතු සිද්දවෙන අතරතුරේ එක් ඉරිදාවක හවස තුනට විතර මම අම්පාරෙ චමරියෙ නාන කාමරේ නාමින් ඉන්න කොට මගේ මිත්‍ර සේම සිංහ මහත්තය දොරට තට්ටු කලා.

“මචං ඉක්මනට නාල වරෙන් උඹ හම්බු වෙන්න කවුද ඇවිල්ලා.”

හරි මම එන්නම් .වාඩිවෙලා ඉන්න කියපං කියල මම නෑම කඩිනම් කරා.නාල ඉවරවෙල තුවායෙන් ඔලුව පිහින ගමන්ම ස්තෝප්පුවට ආවා.වේවැල් පුටුවෙ වාඩිවෙලා පත්තරයක් බලමින් ඉන්නෙ අපිට සමකාලීනව වෙනත් විශ්ව විද්‍යාලෙක ශිෂ්‍ය සංගම් නායකයෙක් හැටියට කටයුතුකරපු කෙනෙක්.ශිෂ්‍යව්‍යාපාරෙ විවිධ අවස්ථාවල රැස්වීම් උද්ගෝෂණ සම්මන්ත්‍රණවලදි මුන ගැහිල තිබුනු නිසා දුටුවිගසම මම මිනිහව අඳුනගත්තා.ඒත් එක්කම මට සිහිපතුනේ මම දැන් දේශපාලනයට සම්බන්ද කෙනෙක් නෙවෙයි රජයේ නිලධාරියෙක් නිසා කතාබහෙදි පරිස්සම් වියයුතුයි කියන එකයි.

“මාව අඳුනන්න පුලුවන්ද?”අමුත්ත මගෙන් අහනවා.

“මට එහෙම මතකයක් නම් නෑ කොහේද?”මම ඇහුවෙ කටට ආපු මොකෝ මතක නැත්තෙ කියන උත්තරේ ගිලගෙනයි.

“මම ……………..විශ්ව විද්‍යාලෙ ඉගෙන ගත්තෙ.අපි ජපුරෙදි හමුවෙලා තියෙනවා.මගෙ නම ………………”.

“ඇත්තද මටනම් ඔහොම කෙනෙක් මතක නෑ.මම ජපුරෙ තමයි.”

“මට ඔයා මෙහෙ ඉන්නව කියල ගිහින් කතා කරන්න කිව්වෙ හේරත් සහෝදරය.”

“ඒ කවුද?” මම ඇහුවා.

“ජපුරෙ හිටපු හේරත් සහෝදරයා ඇයි මතක නැතිද?”

“එයාවනම් දන්නවා හැබැයි ඔයාව මට මතක නෑ.”

“එහෙනම් මාකුඹුරෙ ජයතිලක මතකද?”

මේකියන්නෙ මගෙ ලඟම මිත්‍රයෙක් ගැන.මිනිහත් 1971කැරැල්ලට අහුවෙලා හිරබත් කාපු කෙනෙක්.කොට්ටාවෙ මාකුඹුර හංදියෙ ඉලෙක්ට්‍රෝ ප්ලේටින් වැඩපොලක් දාගෙන හිටිය ජයතිලක ගෙ වැඩ පොලේදි බොහෝ දේශපාලන චරිතහමුවෙන්න මට අවස්තාව ලැබුනා. මට සෑහෙන සැකයක් ගොඩ නැගිල ඉවරයි මේ මමත් ඒ දේශපාලනයට සම්බන්දද කියල හොයන්න සීඅයිඩී එකෙන් මේහාදයව එවල තියෙන්නෙ කියල.මිනිහාඅපිත් සමග සරසවි දේශපාලන වැඩකල කෙනෙක්.එහෙම අය පරණ උදවිය ලඟට යවල ඒඅය තවදුරටත් දේශපාලනය කරනවද කියල හොයන එකයි මේවෙන්නෙ කියල මම නිගමනය කරා.

“ඔය කියන අය මට සම්බන්ද අය නෙවෙයි.ඔයාට වෙන මොනවහරි වැඩක් තියනවද මගෙන් කෙරෙන්න”.කියල මම නැගිට්ටා.

“නෑ නෑ මම නිකම් කතාකරල යන්න ආවෙ මෙන්න මේකත් කියවන්නකො” කියල” එහෙනම් මමයනව” කියල මට පත්‍රිකාවක් දීල මිනිහ ගියා.

ඒ දීලගිය පත්‍රිකාව ඉන්දු ලංකා ගිවිසුම හා ඉන්දීය හමුදාව ගෙන්වීම ගැන තද විවේචනයක් කරපු පත්‍රිකාවක්.මම කෝකටත් කියල මේ පුද්ගලය පිලිබඳ හොයන්න තීරණය කලා.මේ ගැන අහන්න මාත් එක්ක විශ්වවිද්‍යාලෙ එකටහිටපු අය හොයාගන්න ඕන.එතකොට තමයි .එච් ඊ දයානන්ද මිත්‍රයාව මතක් උනේ.එච් ඊදයානන්ද පූර්ණ කාලීනව දේශපාලනය කලේ නෑ.ඔහු බැංකු සේවකයෙක්.ඒවගේම මාධ්‍යවේදියෙක්.වමේ කතාව නමින් ශ්‍රීලංකාවේ වමේ ව්‍යාපාරය පිලිබඳ බොහොම සාරගර්භ ලිපි පෙලක් දිවයින පත්‍රයට ලියූ ඔහු එයින් රටේ ප්‍රසිධ වුනා.දයාත් තමන් නිවැරදියැයි විශ්වාස කල දේශපාලනය වෙනුවෙන් පෙනී සිටියෙ බොහොම නිර්භයවයි.කොලඹ ආපු වෙලාවකදි මිනිහ හමු වෙලා කතන්දරේ කිව්වා.ඇස්වාට්ටුවෙ කඩේක තේබොන ගමන්කරපු කතාබහේදී අදාල තැනැත්තා ඔහුන්ගේ දේශපාලන පක්ෂයෙන් ඒ පලාතට පත්කර ඇති ප්‍රධානියා බවත් ඔහු ගැන අවිශ්වාස නොකරන ලෙසත් දයා කිව්වා.ඔහුන්ගේ දේශපාලන කටයුතු සඳහා මට මැදිහත්විය නොහැකි බවත් පුද්ගලික උපකාරයක් හෝ රාජකාරියට සම්බන්ද කටයුතුවලදී ඕනෑම අයෙකුට උපකාර කිරීම හැරවෙන යමක් කිරීම අසීරු බව දයාට පැහැදිලි කරා.

“සී ඒ එස් කාරයෙක් වෙච්ච උඹට දේශපාලනේ තහනම් බව අපි දන්නවා. ඒක නිසා අපි දේශපාලනේ කරගන්නම්. අපේ මිනිස්සු මේ කැපවෙලා ඉන්නෙ රටවෙනුවෙන්.ඒනිසා උන්ට පුලුවන් උදව්වක් දීපන් මචං” මේ දයානන්දයගෙ උත්තරේ.එදා තේ බීල සමුඅරගෙන මාස තුන හතරකට පස්සෙ පත්තරේ ප්‍රවුර්තියක් දැක්කා “මාධ්‍යවේදී එච් ඊ දයානන්ද ඝාතනයට විරෝධය” කියල පලවෙච්ච.ඒ කෙන් දැනගත්ත දයා අපිට අහිමු උන බව.

ඉන් පසුවඅදාල අපේ මිත්‍රයා වරින්වර මුන ගැසුනා.යම් යම් තොරතුරු කතාබහ හා මගේ විමසීම්වලට පිලිතුරු දීමහැර දේශපාලන මාතෘකාව කතා උනේ නෑ එමයුගයේ අදාල සටන්කාමී ව්‍යාපාරවලින් නිකුත් කල මහජන නිවේදන විශේෂ ප්‍රවුර්ති තැපැල් මගින් හෝ උදෑසන නිවසේ දොරට යටින් දමා තිබීමෙන් මට කලින්ම දැන ගන්නලැබීම සිදුවුනේ මේ හමුව නිසයි.මේ අතර අපේ කාර්‍යාලයේ මේ ව්‍යාපාරයට සම්බන්ද පිරිස් ඉන්නා බව මට කිව්වේ නිශ්ශංකයි.සහකාර මැතිවරණ කොමසාරිස්වරයාවූ ඔහු හමුවී කාර්‍යාලයේ මීට සම්බන්ද අය සාකච්චා කල බව මට කීව්වේ රහසින්.මම ඔහුට උපදෙස් දුන්නේ කිසිම අයෙක් සමග සම්බන්දතා නොපවත්වන ලෙසටයි.කා සමගත් කන බොන කෙනෙක් වුනු ඔහුට එම ඇසුර නතර කිරීම අපහසු උනා.මේ අතර දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය අඛන්ඩ හර්තාලයක් ආරම්භ කිරීමට යන බව මට ලැබුනු දැනුම්දීමක සඳහන් උනා.එය ආරම්භකිරීමට නියමිත දින මුලු දිසාපතිකාර්‍යාලයම කච්චේරි මිදුලට බස්සවා පෙලපාලියක් සංවිධානය කිරීමට මීට මුල්වූ කච්චේරියේ අය කටයුතුකලා.එක් ලිපිකරුවෙක් සියලු දෙනාට නියෝග දෙමින් පෙලපාලිය සංවිධානය කලා දිසාපති තුමාටත් පෝස්ටරයක් දී පෙලපාලියේ මුලට ගොස් පෝස්ටරය අල්ලාගෙන යනලෙස මේ තරුණ ලිපිකරුවා නියෝග කිරීම බොහෝ දෙනාගේ පිලිකුලට හේතුවූ කරුණක් උනත් කිසිවෙක් ඊට එරෙහිව කතා කරන්න තරම් එඩිතර නොවුනු තත්වයේදී අතිරේක දිසාපති ජයසුන්දර මහතා ඉදිරියට පැන දිසාපතිතුමා අතේ වූ පෝස්ටරය බලෙන්ම අරගෙන ඉවත්කරා.දිසාපතිතුමාට කාර්‍යාලයට යන ලෙසත් තමා ඔනෑම කාර්‍යකට එන බවත් දිසාපතිතුමාට කරදර නොකරන ලෙසත් ජයසුන්දර මහතා මහ හඬින් කියා හිටියා.සටන්කාමී නායක ලිපිකරුටත් ඊට කිසිවක් කිව නොහැකි උනා.දිසාපතිතුමා ඇතුලට යාම ප්‍රතික්ෂේප කරමින් පිරිස සමග රැදී සිටියා.මිනිත්තු කීපයක් තුල සන්නද්ධ හමුදා සෙබලු කාර්‍යාලය වට කරා.එවක ප්‍රදේශය භාර හමුදා අණදෙන නිලධාරියාත් පැමින හමුදාවසමග ගේට්ටුව අසල රැඳී හිටියා.ගේට්ටුව අසල ඇතුලු පැත්තේ අපේ කාර්‍යාල පිරිස සටන් පාඨ කියද්දී හමුදා අණදෙන නිලධාරියා සිනාසෙමින් එලියේ බලා සිටියා.

“පුතා මට පොඩ්ඩක් ඔයා එක්ක කතාකරතැකිද? “ඉතාමත් කාරුණිකව හා ආචාරශීලීව සටන්කාමී ලිපිකරු නායකයා ගෙන් හමුදා අණදෙන නිලධාරියා විමසුවා.

“ඔව් මොකක්ද දැන ගන්න ඕන.?” සටන් කාමී නායකයා උස් හඬින් පිලිතුරු දුන්නේ හමුදා ජෙනරාල්වරයෙක්ගෙ හඬින්.

“නෑ පුතා ඔයාල මේ කරන වැඩේ හොඳ නෑ.වැඩවර්ජනය කිරීම ඔයාලගෙ වැඩක් .මට ඒක අදාල නෑ.හැබැයි පාරට ඇවිත් පෙලපාලි ගියොත් හදිසි නීතිය යටතේ අපිට ඒක විසුරුවන්න වෙනවා.අපි සිවිල් ක්‍රමෙට නෙවෙයි හමුදා ක්‍රමයට වැඩ කරන අය. ඒකනිසා ප්‍රශ්න ඇති කර ගන්නෙ නැතුව කරන සටන ඇතුලෙම කරන්න.මොනවහරි කතාකරන්න ඕනෙනම් කෙනෙක් එන්න අපි එක්ක ගිහින් කතාකරමු.” බොහොම ආචාරශීලීව හමුදා නිලධාරිය අපේ මිනිහට කිව්වා.

“හරි කවුරුත් නෙවෙයි මමම එන්නම් කතා කරන්න යමු.” කියල අර නායකයා එලියට ගියා.

මිනිහව තමන්ගෙ වාහනේටම නග්ගා ගත්තු අණදෙන නිලධාරියා හමුදා කන්ඩායමත් අරගෙන යන්න ගියේ මෙයාගැන බයවෙන්න එපා මම මෙයාව ආපහු එක්ක එනවා කියලයි.. අපි සියලු දෙනා විසිරී ගියා.වැඩවර්ජනය මෙහෙයවූ නායකයා පසුදින නොපැමිනීම නිසා වැඩ වර්ජනය එතනින්ම අවසන් උනා.දින දෙකකට පසුව සටන්කාමී නායකතුමා තමන්ට වැඩවර්ජනයට උදව් කල මිතුරන් හමුවීමට හමුදා වාහනයකින් ගොස් තමා කරදරයකින් තොරව ඉන්නා බවත් තම සටන් ක්‍රියා මාර්ගවල සාධාරණත්වය හමුදාවට අවබෝධකරදීමට තමාට හැකිවූ බවත් කියා සිටියා.එම සංචාර සඳහා සහායදුන් හමුදා අණදෙන නිලධාරියාට කච්චේරියේ වැඩවර්ජනය සංවිධානයට උදව් දුන් සියලු දෙනා හඳුනා ගැනීමට හැකිඋනා.මේ හැමටම අණදෙන නිලධාරියා දැන්වූයේ යලිත් මෙබඳු ක්‍රියා නොකරන ලෙසයි.කිසිවෙක් අත් අඩංගුවට ගැනීමට වත් කටයුතු නොකල බුද්ධිමත් හමුදා නිලධාරියා සටන්කාමී තරුණයා සති කීපයකින් නිවසටම ගෙනැත් ඇරලුවා.ඒ වනවිට ඔහු පිරිසක් අහිමිහිටපු නායකයෙක් වෙලා ඉවරයි.කච්චේරියේ යලිත් කිසිදු සිද්දියක් ඇති උනේ නෑ.

අර යුධ හමුදා නිලධාරියා සටන්කාමී තරුණයාට රාජකාරියට අතිරේකව ව්‍යාපාරයක් ආරම්භ කිරීමටත් උපකාර කලා.ඔහු එමව්‍යාපාරයේ කටයුත්තකට කොලඹ යන අතර පදියතලාවේ පොලිස් මුරපොලකදී පොලිසිය ඔහුව බසයෙන් බස්සා ගත්තා.එම පොලි මුරපොලේ වෙනත් බසයක් නතර කර මගීන් පරීක්ෂා කරන අතරතුරඑම බසයෙන් පැමිනි සමුපකාර කාර්‍යාලයේ නිලධාරියෙකු අසලට මුරපොල ඇතුලේසිට පැමිනි මේතරුණයා තමන්ව පොලි මුරපලේ නතර කරගත් බව නිවසට දන්වන ලෙසට කියා තිබුනා.ඔහු වෙනත් අයෙකු අත පනිවුඩය තරුනයාගේ නිවසට දැන්වූවා.තරුනයාගේ ගෙදර උදවිය අදාල පොලිස් මුරපොලට ගියත් ඔහුන්ගේ පිලිතුර උනේ එහෙම කෙනෙක් ගැන නොදන්නා බවයි.තරුනයාගේ මිත්‍ර හමුදා නිලධාරියා මේවනවිට වෙනත් ප්‍රදේශෙක රාජකාරි කලා ඔහුට දැනුම් දුන්පසු ඔහුත් බොහෝ වෙහෙස මහන්සිවී තරුනයාට වුනුදේ හොයා බැලුවත් අදාල පොලිස් මුරපොලේ පිලිතුර වෙනස් වුනේ නෑ.පොලිස් මුරපොලේ සිට තරුනයා පනිවුඩය ලබා දුන් නිලධාරියා ගැන සඳහන් වූ පසු පොලිසිය ඔහුගෙන් ප්‍රශ්න කලා.ඔහුගේවාසනාවට ඔහු 1971දී පොලිස් අතඩංගුවේසිට පුනරුත්තාපනයවී අත්දැකීම් සහිත කෙනෙක් .ඔහු පොලිස් ප්‍රශ්න කිරීම්වලදී පුනපුනා කිව්වේ ඔහුට එබඳු අයෙක් මුන නොගැසුනු බවයි.පොලිසියේ විවිධ අංශ ඔහුගෙන් විමසුවත් ඔහු දිගටම කිව්වේ එකම පිලිතුරයි.එම නිසාම අතුරුදහන් වීම අර තරුනයාට පමනක් සීමා වුනා.

මේඅවාසනාවන්ත තරුණයා පිලිබඳව මම අපේ මුලින් කිව් මිත්‍රයාගෙන් හමුවූවෙලාවක විමසුවා.ඔහු තමදේශපාලන ක්‍රියා කාරියෙකු නොවන බවත් යම් සම්බන්දතාවයක් තිබූ අයෙකු පමනක් බවත් ඔහු පැවසුවා.ඔහු හරහා කච්චේරියේ වැඩවර්ජනය සංවිධානය කරීමට තම පක්ෂයේ ක්‍රියාකාරින් කටයුතු කල බවත් අදාල තරුනයාගේ ප්‍රදර්ශන කාමී කටයුතු නිසා විහින් අමාරුවේ වැටුණු බවත් ඔහු පැවසුවා. මේ සිද්ධියේදී එය මැඩ පැවැත්වීමේ වගකීම කරට ගත් බුද්ධිමත් දක්ෂ හමුදා අණදෙන නිලධාරියාගේ දක්ෂතාවයෙන් වැඩවර්ජනය අක්‍රිය කිරීමටත් සහායදුන් අය හෙලිකර ගෙන ඔහුන් යලිත් එබඳුක්‍රියාවලට යොමු නොවීමට පෙලඹවීමටත් ප්‍රදර්ශන කාමීත්වයෙන් දැගලූ මෝඩ තරුනයෙකු ට නිවැරදි මග පෙන්වීමටත් සමත් උනා.එහෙත් අරතරුනයා නිසිමගට ආවත් ඔහුට නිදහසේ ඉන්න ඉඩ නොදෙන බලවේගත් අම්පාරෙ ක්‍රියාත්මක වුන නිසා ඔහු අතුරුදන් අයෙක් උනා.

අර බුද්ධිමත් දක්ෂ හමුදා නායකයා පසුව මේජර්ජනරාල් වරයෙක් වශයෙන් හමුදාවෙන් විශ්‍රාම ලැබුවා. කර්නල් වරයෙක් වශයෙන් අම්පාරට පැමින බ්‍රිගේඩියර්වරයෙකුලෙස අම්පාරෙන් සමුගත් ආනන්ද වීරසේකර නම්වූ ඒවටිනා හමුදා නිලධාරියා මේජර් ජෙනරාල් වරයෙක් ලෙස විශ්‍රාම ලබාමම අම්පාරේ දිසාපතිවරයා ලෙස රාජකාරිකරද්දී බුද්දංගල ආනන්ද නමින් පැවිදි දිවියට පත්ව අදත් බුද්ද්ංගල ආරණ්‍ය සේනාසනයේ වැඩසිටිමින් දහස් ගණන් වූ පිරිස්වලට සසරමග කෙටිකර ගැනීම ගැන පහදා දෙමින් වටිනා මෙහෙවරක් රටට කරමින් සිටිනවා.

3 thoughts on “බිහිසුණු යුගයක මතකය

  1. ඔබතුමා ඔය කියන වකවානුවට චූට්ටක් පස්සේ කාලයක සිදු වීමක් මේ …………….අපේ ඉස්කෝලේ හිටියේ විදුහල් පති හාමුදුරුනමක් ……….. ආනන්ද මැතිතුමා ගේ සමිප හිතවතෙක් ………… පාසලට බෙහෙවින් උදව් කලා විතරක් නෙමෙයි , හැකි හැම විටම විශේෂ අවස්තාවලට සහබාගි උනා ………… එහෙම කෙනෙක් එන එකත් මහා ලොකු දෙයක් බස්නාහිර පලාතේ දුප්පත් ඉස්කෝලයකට , මොකක්හරි උත්සවයක් තිබුන දවසක … අපිට වැඩිමහල් පන්තියක අය වලියක් ඇදලා , දිගින් දිගට ගිය කාලයක් ගිය වලියේ වාඩුව එදාට ගන්ඩ තීරනය කරලා …………… අවශ්‍ය අය තනි තනිවම අල්ලාගන සබ්බුව දෙන්ඩ මග රැකලා ඉන්නවා , ඉස්කෝලේට එන්න තියන පාරවල් දෙකෙන් එකක , එකෙක්ව අල්ලාගන කට්ටිය ගහනවා , මම සහ කිහිප දෙනෙක් ලගට වෙලා ඉන්නවා ………… කාර් එකක් ඇවිත් නැවැත්තුවා ……….. කට්ටියට වගේ වගක් නෑ …………… හැමෝටම කතා කරලා අවවාද කලා ………… රංඩු නොවී ඉස්කෝලයට යන්න කියුවා …………… අර කතාවට කියන්නේ හුජ්ජ යනවා කියල …………. අපි බයේ හිටියා පින්සිබල්ට කියයි කියලා ……………. නැ ……….. එදත් මළල ක්‍රීඩයෙකුට සහ ක්‍රීඩිකාවකට ………. සපත්තු ඇරගන ආයේ එන්නං කියල ……….. ගිහින් තිබුනා ………………. සමහරවිට උන්වහන්සේට මේවා මතක ඇති.

    Liked by 1 person

  2. මාත් ආන්නද වීරසේකර මහත්මයා නැත්නං ආන්නද හාමුදුරුවෝ ගැන අහල තියෙනවා. පහුගිය දොහක බුද්ධංගල ගියපු වෙලාවේ ඒ ගැන හොයා බැලුවත් කිසිම හාමුදුරු කෙනෙක් ඒ ගැන කිව්වේ නෑ. මේ වගේ නිලධාරීන් හිටියනං අපේ බුද්ධිමත් තරුණයෝ විශාල ප්‍රමාණයක් බේරෙන්න තිබුනා. කොහොම අනත් අනවශ්‍ය ප්‍රදර්ශනකාමී බව නං මරණයට අත වැනීමක් තමා. ජය වේවා.

    Like

    1. සමහර විට කරදර නිසා හමුවීම ප්‍රතික්ෂේප කරනවා ඇති

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s