දිසාපති පැටිකිරිය.

මෙතෙක් කාලයක් දිසාපති පන්හිඳෙන් ලියුවෙ දිසාපතිවරයෙකුගෙ කෙරුවාව නෙමෙයි. දිසාපතිකම දක්වා ආපු ගමනෙ වෙච්ච දේවලුයි. ඒ ගමන ලේසි ගමනක් උනේ නෑ. බොහොම අසීරුතා මැද ආපු ගමනක්. හැබැයි ඒකෙදි නොකිව්ව කාරණාත් තියෙනවා. ඒවා කියන එකට හොඳම වෙලාව මේක නෙවෙයි කියල හිතුන නිසා සමහර දේවල් අත හැරියා. වෙනම පංහිඳක් හිඳෙනතුරු ලියන්න තියෙන කතාවල් තිබුනා. ඒවත් තව ටිකක් පස්සෙ ලියනවා කියල හිතාගත්තා. ඒ අතරම හිතුනා දැන් සැබෑවින්ම දිසාපතිවරයෙකුගේ භූමිකාවට අදාලව තියෙන අත්දැකිම් ලිවීම හොඳයි කියල.

මම දැන් ලංකාවෙ ඉන්න පරණම දිසාපති. මේ දිසාපති කියන තනතුර ගැන මුලින්ම කියල හිටියොත් හොඳයි. නැතිනම් එක එක නාමයෙන් හඳුන්වන තනතුරු ජාලයක් මැද්දෙ අපේ උදවිය අතරමං වෙන්න ඉඩ තියෙනවා. ඒ නිසා මම දිසාපතිවරයෙක් උන කතාව කියන්න ඉස්සෙල්ලා පූර්විකාව හැටියට ඒ තනතුර ගැන පොඩ්ඩක් හොයල බලමු.

ලංකාව ඇතුලෙ අවුරුදු ලක්ෂයකටත් එහා ඉඳන් මානවයො හිටපු බවට සාධක හොයාගෙන තියෙනව. ප්‍රාග් ඓතිහාසික මානවයා පිලිබඳ පරීක්ෂණ කරපු ආචාර්‍ය දැරණියගල වගේ විද්වතුන් මේ කාරණය ගැන බොහෝ අධ්‍යනයන් කරල තියෙනව. ආචාර්‍ය දැරණියගලයන් රත්නපුරේ කුරුවිට එක්නැලිගොඩ වලව්වෙ පාරම්පරික අයිතිකරු. එතුමා මිත්‍රයෙක් හැටියට ඇසුරු කරන්න අවස්ථාවක් ලැබීම මට ලැබුණු ලොකු භාග්‍යයක්. මේ විෂය ගැන කතා කරපුවම ඔහු ඉතා පැහැදිලිව කියනව අප්‍රිකාවෙ සම්භවය උන මානවයා සංචාරයේ යෙදෙමින් ලංකාවෙ දකුණු වෙරළ තුලින් රටට පිවිසි බව විශ්වාස කරන්න පුලුවන් කියල. අවුරුදු ලක්ෂයකට එහායින් වුනු මේ සිද්දියෙන් පස්සෙ මේ රටේ මානව පරිණාමය ඇතිවෙනවා. මේ මානවයො අවුරුදු විසි අටදාහකට විතර එහා ගතකරපු ජීවිතේ වැලිගෙපොල හඳගිරියෙන් ලැබුනු සාධකවලින් හොයාගෙන, මිනිහට බලංගොඩ මානවය කියල නමකුත් තිබ්බෙ අපේ ආචාර්‍ය දැරණියගල උන්නැහෙයි. මේ කියන බලංගොඩ මානවය පාහියංගල, කිතුල්ගල, බෙලිලෙන, කුරුවිට බටදොඹලෙන හරහා සිය පරම්පරාව පතුරුවාගෙන හිටපු බවත්, ඒ අතර කාලෙ දඩයම වෙනුවට ගොවිතැන ප්‍රධාන ආහාර සම්පාදන ක්‍රමේ බවට පත් කරගෙන ගම් ගොඩැලි හදාගෙන තියෙන බවත් විශ්වාස කල හැකියි. ගල් ගුහාවෙ ජීවත්වෙන කාලෙදිත් නායකයෙක් ප්‍රධාන කරගෙන දඩයමේ ගිය මේ මානවයො, ගම් ගොඩැල්ලෙදිත් ගොවිතැන්, සත්ව පාලනේ වගේ දේවල් කරේ නායකයෙක්ගෙ රැකවරණය යටතේ කියලත් හිතන්න පුලුවන්.

මේ විදියට ඉස්සරහට ආපු මානවයා වලං හදාගැනීම, ආහාර සකසා ගැනීම, නිවාස තනා ගැනීම, ආබරණ පැලඳීම, ගල්ගුහාවෙ හිටපු යුගේ දඩයමට හදාගත් ආයුධ ගොවිතැනට හරියන ලෙස සංවර්ධනය කර ගැනීම වාගේ බොහෝ දෙයින් දියුණුවෙලා, වර්ගයා පැතිරීම අනුව ගම්ගොඩැලි ව්‍යාප්ත කරමින්, ගම්වලට වඩා විශාල ප්‍රදේශවලට නායකයො ඇතිකරගනිමින් ආපු මේ ගමනෙ, විශාල ප්‍රදේශ පාලනය දක්වා වන නායකත්වයක් හදා ගෙන තියෙනවා. ක්‍රිස්තු පූර්ව තුන්වන ශතවර්ෂෙ වෙන කොටත් අපේ මේ දියුණු මානවයො යම් පාලනයක් රටේ කරගෙන ගිහින් තියෙන බවට සාධක අපේ වංශ කතාවෙම තියෙනවා. මේ වනවිට ඉන්දියාව ඇතුල ආසන්න රටවල් සමඟ නාවික ගමන් බිමන් වලින් සම්බන්ධතා ඇති වීමත් එක්ක ජන සංක්‍රමණත් සිදුවෙලා මේ සමාජය වඩා සංකීර්ණ වී තියෙනවා.

මේ කාලෙ අර ගම්වල හිටපු නායකයො “ගමික” කියන නමින් හැදින්වූ බව සෙල්ලිපි වලින් හෙලිවී තිබෙනවා. ඊට අතිරේකව “පරුමක” කියල තනතුරකුත් මේ කාලෙටම අදාල සෙල්ලිපි වල තියෙනවා. ඒත් එක්කම “ගමණි “කියල හදුන්වන අය ගැනත් සෙල්ලිපිවල තියෙනවා. මේ විදියට ගම් මට්ටමේ හිටපු ගමිකල ඒ ගම් පාලනය කල අය හැටියට සැලකිය හැකියි. ගමට වඩා විශාල ප්‍රදේශවල පාලනය කරපු අය පරුමකලා වෙන්න පුලුවන්. මොකද ඔය දුටුගැමුණු රජ්ජුරුවන්ගෙ මහ සේනාපතියො දස දෙනාගෙන් මුලටම කියවෙන නන්දිමිත්‍ර පරුමකවරයෙක් බව සෙල්ලිපි වල සඳහන් වෙලා තියෙනවා. ඒ කියන්නෙ ගමකට වඩා විශාල ගම් ඒකක කීපයකින් සමන්විත ප්‍රදේශ ඔවුන් පාලනය කලා වෙන්න පුලුවන්. ගාමණී කියල සඳහන් අය පැහැදිලිවම රජවරුයි. කාවන්තිස්ස, මහානාඝ, ගෝඨාභය, සද්ධාතිස්ස, දුටුගැමුණු, වලගම්බා යන රජවරුන් මේ ගාමණී යන විරුදාවලිය භාවිතා කල බව සෙල්ලිපිවලින් හෙලිවී තිබෙනවා. රටපුරා සිටි සියලු ගාමිණීවරුන් අභිබවමින්, විදේශ ආක්‍රමණිකයෙක් වූ එළාර පරාජය කරල, රට පළමු වතාවට එක් රාජ්‍යක් බවට පත්කල “ගමණි අභය”ව සියලු ගමණි වරුන්ගේ නායකයා යන අර්ථයෙන් “දෙටු ගැමුණු” ලෙස හඳුන්වපු එක පස්සෙ දුටුගැමුණු වුනා වෙන්න පුලුවන්නෙ! මේ විදියට බැලුවම රාජ්‍ය විශාල වීමත් එක්ක සමස්ත වගකීම මහ රජු දැරුවට, ප්‍රාදේශීය රජවරු නැත්නම් ගාමණීවරු තම ප්‍රදේශ පාලනයේ සෑහෙන නිදහසකිනුත්, ගාමණීවරු යටතේ පරුමකවරු ප්‍රදේශ පාලනයේදිත්, ගමිකවරු ගම්පාලනයෙදිත් සැලකිය යුතු ස්වාධීනත්වයකින් කටයුතු කරන්න ඇතැයි සිතෙනවා. ගමිකවරු ගම්ලද්දන් බවටත්, පරුමකවරු රට ලද්දන් ලෙසත්, ගාමණිවරු පස්ලද්දන් බවටත් මහරජවරුන් යටතෙ පත්වෙන්නට ඇති. පසුව ගම්ලද්දන් දකපති, බොජකපති, වණික්, ග්‍රාමම්, මහාග්‍රාමම් ආදී තනතුරු නාමයන් බවටත්, ගම් විශාල ප්‍රමාණයක් අයත් කොටස් ඈපා, මාපා, දණ්ඩනායක, රටනායක ආදී තනතුරු නාමයන්ටත් පරිවර්තනය වී ඇවිත් ඇති බවයි පේන්නෙ.

ඔය විදියට වෙනස්වෙවී ආපු තනතුරු අතරෙ ගම් ඒකක පාලනය කරපු, ගම් කීපයකින්‍ යුතු විශාල ප්‍රදේශ පාලනය කල අයගේ තනතුරු වගේම කරන ලද කාර්‍ය අනුව හදුන්වපු තනතුරුත් තිබුණ. සිංහලේ අවසන් රාජ්‍යයෙ තිබුනු නිලධූරාවලිය බ්‍රිතාන්‍යන් විසින් ලිඛිතව සටහන් කරල තියෙනව. ඒ අනුව ප්‍රධානියා රජතුමා. එතුමා යටතෙ ප්‍රධාන කොටස් තුනකට රාජ්‍ය සේවෙ බෙදිලා තිබුනා.

1 මහවාසල සේවාව

2 බද්ද සංවිධාන සේවාව

3 ප්‍රාදේශීය පාලනය

මහවාසල සේවාවෙ නිරත උනෙ රජ්ජුරුවන්ගෙ කටයුතු කරපු අය. දියවඩන නිලමේ රජ්ජුරුවන්ගෙ පැන් පහසුව සැපයීම බාරව හිටියා. බත්වඩන නිලමේ රජ්ජුරුවන්ගෙ ආහාර පාන පිලිබඳ කටයුතු කලා. හැතපෙනගෙයි මුහන්දිරම් රජ්ජුරුවන්ගෙ නිදා ගැනීමට අදාළ පහසුකම් බාරව හිටිය. මාලිගාවෙ ලොකු ලොකු නිල වගේම සුලු මුලාදෑනින් හිටියා. සට්ටඹි කියන්නෙ එහෙම සුලු මුලාදෑනින් වගයක්. නමින් සුලු වුනාට උන්නැහෙලට පැවරිලා තිබුනෙ රජ්ජුරුවො නාන කොට රාජකීය ශරීරයෙ කුණු අතුල්ලන රාජකාරිය! අප්පුහාමිල තමයි රජ්ජුරුවන්ගෙ ආරක්ෂක භටයො. අප්පුහාමිලට රාජකීය පෙරහැරේ බිසෝවරුන් පහුකරල ගමන් කරන්න ඉඩ තිබුන. ඒ රජ්ජුරුවො ලඟින්ම ඉන්න ඕන නිසා. දිවි නොතකා රජුගේ හා රජ පවුලේ ආරක්ෂාව වෙනුවෙන් අප්පුහාමිල කටයුතු කලා. දුක් ගන්නා රාල හැටියට වැඩ කලෙත් මේ අප්පුහාමිලගෙන් කෙනෙක්. රාජාධි රාජසිංහ කාලෙ අප්පුහාමිල 110ක් හිටියට අන්තිම රජ්ජුරුවො ඒක අඩුකලා. අන්තිම රජ්ජුරුවන්ට අප්පුහාමිල 48 දෙනෙක්ගෙ ආරක්ෂාවක් තිබුනා. අප්පුහාමි කෙනෙක් අන්තිමවරට රජ්ජුරුවන්ගෙ ආරක්ෂාව වෙනුවෙන් ජීවිතේ දුන්නෙ මැදමහනුවර උඩුපිටියෙ ආරච්චිගෙ ගෙදරදි අපේ රජ්ජුරුවන්ව අල්ලගත්තු වෙලාවෙදියි. රජ්ජුරුවො හිටපු ගෙදර දොරවහල, මිදුලෙ හෙල්ලයක් අතදරාගෙන මුර සක්මනේ හිටපු ඒ හැතපෙන ගෙයි අප්පුහාමි එක්නැලිගොඩ දිසාවට හෙල්ලෙන් දමල ගහනව. ඒ වෙලාවෙ හෙල්ල පහරින් බේරුනු දිසාවගෙ මිනිස්සු අර අප්පුහාමිව ඝාතනය කරනව. ඒ තමන්ගෙ රාජකාරිය අකුරට කරන්න ගිහින් අප්පු හාමිකෙනෙක් ජීවිතේ දීපු හැටි. මේ එක්කම රජ්ජුරුවන්ගෙ කවිකාර මඩුවෙ නිලමෙ, සුදලියේ මරුවලියෙ මුහන්දිරම්ල ආදී නිලතල රාශියක් තිබුන ඒ තමයි මහවාසල සේවාව.

බද්ද සංවිධාන කිව්වෙ අද විදියට බැලුවොත් දෙපාර්තමේන්තු වගෙයි. ඒ ඒ කාර්‍යන් සඳහා ගොඩනඟා තිබූ සංවිධාන. දැන් රාජ්‍යයේ ආරක්ෂාව ඇතුලු අනිකුත් අවශ්‍යතා සඳහා අවි ආයුධ නිෂ්පාදනය වෙනම සංවිධානයක්. ඒකට කිව්වෙ “කොට්ටල් බද්ද”. කොට්ටල් බද්ද භාරව නිලමෙ කෙනෙක් රජ්ජුරුවො පත් කලා. මේ නිලමෙ තමයි කොට්ටල් බද්දට අයිති ගම්මාන පාලනය කලේ. මේ ගම්මානවල කොට්ටල් බද්දෙ විදානෙල මඟින් නිලමෙ ඒ ගම් පාලනය කලා. රජ්ජුරුවන්ගෙ නියමය පරිදි යුද්ධෙට ඕන අවි ආයුධ මේ ගම්වල හැදුවා. කෘෂිකර්මෙට අවශ්‍ය කැති උදලු හැදීමත් මේ ගම්වල කරා. හැබැයි අද වගේ සල්ලිවලට නෙවෙයි, භාණ්ඩ හුවමාරුවට. රජ්ජුරුවො මේ ගම්වල ඉඩම් වලින් බදු අයකලේ නෑ. ඒ වෙනුවට මිනිස්සු රජ්ජුරුවන්ගෙ අවශ්‍යතාවයට භාණ්ඩ හදල දුන්නා. “මඩිගෙ බද්ද” තව දෙපාර්තමේන්තුවක්. ඒකට භාරවෙලා තිබුනෙ රාජ්‍යයෙ වෙළඳ හා භාණ්ඩ ප්‍රවාහන කටයුතු. මේ බද්ද භාරවුනේ මුස්ලිම් අයෙකුට. මුස්ලිම් අය තමයි භාණ්ඩ ප්‍රවාහනයයි, වෙළඳ කටයුතුයි කරේ. ඒ බද්දට වෙන් කල ගම්වල අය තවලම් ගොනුන් සැපයීම, භාණ්ඩ ප්‍රවාහනය වාගෙ කටයුතු කරා. මඩිගෙ බද්දෙ ප්‍රධානියා යටතෙ ඒ ගම්වල විදානෙල මේ කටයුතු හා ඒ ගම් පාලනය කලා. “කුරුවෙ බද්ද” තව දෙපාර්තමේන්තුවක්. ඒකට භාරවුනේ අලි ඇතුන් ඇල්ලීම ආදී කටයුතු. කුරුවෙ බද්දට අයිති ගම්වල උදවියට පැවරිලා තිබුනු ඒ රාජකාරිය ඔවුන් විදානෙ හෝ දුරයා යටතෙ සිදුකලා. “රදා බද්ද”ට භාරවුනේ රෙදි පෙරෙදි පිරිසිදු කිරීම, වියන් බැඳීම වාගෙ කටයුතු. මේ විදියට බද්ද සංවිධාන රාශියක් පාලනය උනා.

අනික් ප්‍රධාන සේවාව ප්‍රාදේශීය පාලනේ. සිංහලේ රාජ්‍ය දිසාවන් දොලහකටයි රටවල් නමයකටයි කියල කොටස් විසිඑකකටබෙදලයි පාලනය වුනේ.මෙයින් දිසා දොලහ ඌව මහ දිසාව මාතලේ මහ දිසාව හතර කෝරලේ මහ දිසාව හත් කෝරලේ මහ දිසාව සබරගමුව තුන්කෝරලේ නුවර කලාවිය තමන්කඩුව වෙල්ලස්ස බින්තැන්න වලපනේ උඩ පලාත ලෙසත් රටවල් නමය උඩුනුවර යටි නුවර තුම්පනේ හාරිස්පත්තුව දුම්බර හේවාහැට කොත්මලේ උඩ බුලත්ගම පාත බුලත්ගම ලෙසත් හැදින්නුවා.මෙයින් මුලදිසා හතර මහදිසා ලෙසයි හැදින්වුයේ.මේ දිසාවන් දොලහ පාලනයට දිසාවනම්වූ තනතුරු දොලහක් රජතුමා විසින් පත් කරනවා.‍රටවල්නම් ඒකක පාලනයට රටේ මහත්තයා නමින් අයෙක් එක් එක් රටවසමට පත් කෙරෙන්නෙත් රජු විසින්මයි.මේ දිසාව වරුන් ඒතමන්ට අයත් දිසාවල ඉඩම් හා ජනයා පිලිබඳ පාලන බලය දැරුවා.එමෙන්ම “දිසාවෙ මොහොට්ටාල” ” වලව්වෙ මොහොට්ටාල” “අතපත්තු මොහොට්ටාල” ” කෝරාල “වන්නියා” රටේරාල” ආරච්චි” මුහන්දිරම් “අතුකෝරාල” දුරයා” වගේ තනතුරුවලට මිනිසුන්ව පත් කලෙත් දිසාවවරුන් විසිනුයි.මහවාසල ට අයත් ගබඩාගම් හා බද්දසංවිධානවලට අයත් මිනිසුන්හැර අන්සියලු මිනිසුන් හාදේපල පාලනය දිසාවේවරුන් සතු උනා.මේ දිසාපතිවරු තම දිසාවට ඇතුලුවීමේදී හාඉන් පිටවීමේදී මෙන්ම තම තානායමට ඇතුලුවීම හා පිටවීමේදී කොඩිතුවක්කු වෙඩිමුර ආචාරයක් පවත්වනවා. මහනුවරින් පිට පල්ලැක්කි වලගමන් කරන්න පුලුවන්.තමදිසාව තුල අසුහෝඇතුපිට ගමන් කරනවා.ඔහුන්ට පෙරටුව බෙරදවුල් හා සේසත් ගෙනයතවා.ඔහුන්ගේ මේකටයුතු සඳහා රාජකාරි නියමවූ මිනිස්ස්සු සිටියා.දිසාව තනතුර කොතරම් ප්‍රබලව සැලකුනේද යන්නට උදාහරණ අදිකාරම්වරුන්ටද එමතනතුර ලබාදී තිබීමෙන් පේනවා.දිසාවෙ සතු අධිකරණ බලතල රාශියක් තිබුනා.මේඅනුව මරණදඩුවම් නියමකලහැකි වැරදි හැර ඉතිරි අපරාධ නඩු හාඉඩම්පිලිබඳ දේපලපිලිබඳ නඩු ඔහු විභාග කලා.මේකියන දිසාවෙලා යටතෙ වූ දිසාව කෝරල පත්තු හා ගම් වලට බෙදා තිබුනා.කෝරලවල කෝරාල ,වන්නියා,හෝ රටේ රාල,යනුවෙන් ප්‍රදේශ අනුව තනතුරුනාමය වෙනස්වූ අයෙක් දිසාව යටතේ කටයුතු කලා.පත්තුවල පත්තු මුහන්දිරම්, හෝවෙනත් නමකින් හැඳින්වූනිලධාරින්ද ගම්වල දුරයා, ආරච්චි ,විදානෙ , වගේ නමකින් හැදින්වුනු නිලධාරින් හිටියා.යුධ කාර්‍ය සංවිධානය දිසාව වරුන්ගෙ ප්‍රමුඛ රාජ කාරියක්.රාජ්‍යට එරෙහිව යුධ ආක්‍රමණයක් හෝ රජතුමාගේ නියමයෙන් පහතරට විදේශීන්ට එරෙහි යුධයක් ප්‍රකාශ කල වහාම දිසාවවරු තම බලප්‍රදේශයේ යුධයට යාහැකි මහජනයා අවිආයුධ සමග ඒ ඒ ආරච්චිවරු යටතේ ඒකරාශිකර අවශ්‍ය ආහාරපානද රැගෙන තමන්ටනියමිත යුධපෙරමුනට වාර්තා කරනවා.දිසාවයටතේ මුදලි වරුන්ගේ පාලනයෙන් ආරච්චිවරුන්ගේ නායකත්වයෙන් තමන්ට නියමිත යුධපෙරමුනේ කාර්‍ය ඉටු කිරීමට මේ මිනිසුන් ක්‍රියා කරනවා.එකදිගට දින දාහතරක් යුධපෙරමුනේ සටන් කරන ගම්වාසීන් ඊලඟ කන්ඩායමට ඉඩදී දින දාහතරෙන් පෙරමුනෙන් ඉවත් වෙනවා.අවි හා ආහාර සැපයුම තම දිසාවගේ ගම්වලින්ම වෙන නිසා රජ්ජුරුවන්ට අතිරේක සැපයුම් පිලිබඳ ගැටලුව එන්නේ නෑ.සාම කාමී කාලවල ගොවිතැන්කරන ජනයා යුධයේදී යුධ භටයාගේ කාර්‍ය ඉටුකරනවා.මහල්ලන් හා ලමුන් හැර අන් සියලු පිරිමින් දිසාවගේ කැඳවීමෙන් යුධයට යන්නෙ බොහොම කැමැත්තෙන්.මේවිදියෙ කාර්‍ය භාරයක් පැවරුණු එදා ප්‍රාදේශීය පාලනය හැදිනුනේ රට වසම යන නමිනුයි.

මේවිදියෙ පාලන ක්‍රමයක් තිබුනු අපේ සිංහලේ රාජ්‍ය බ්‍රිතාන්‍යන් අතට පත් උනේ යුධයෙන් නෙවෙයි.ගිවිසුමකින්1815 මාර්තු 2අත්සන් කරපු ගිවිසුමෙන් අපේ රජ්ජුරුවො වෙනුවට බ්‍රිතාන්‍යෙ රජ්ජුරුවන්ව අපේ නායකයො රාජ්‍ය නායකය හැටියට පිලිගත්තා.රජ්ජුරුවො වෙනුවෙන් ආණ්ඩුකාරවරය උඩරට කොමසාරිස් මංඩලයක් පත්කලා.ඒයටතෙ අපේ අදිකාරම්වරු ඇතුලු වාසල සේවෙසමහර නිලමේවරු වගේම දිසාවෙල වන්නියල රටේරාලල කෝරාල ආරච්චිල පාලනේ ගෙනගියා බ්‍රිතාන්‍යනුත් ඒකට එකඟවෙලා හිටිය.හැබැයි බ්‍රිතාන්‍යයන්ගෙ කටයුතුගැන බලාහිටපු අපේ රටේරාල ඇතුලු වෙල්ලස්සෙ පිරිස බ්‍රිතාන්‍යන්ට විරුද්ධව සටනක් පටන්ගත්ත.මේසටන සංවිධානය කලේ අපේ හාමුදුරුවරු කීප දෙනෙක්ගෙම මෙහෙයවීමෙන් කිවුලෙ ගෙදර මොහොට්ටාල කොහුකුඹුරෙ රටේරාල බූටෑවෙ රටේ රාල වාගෙ වෙල්ලස්සෙ ප්‍රභූවරු.මුලු වෙල්ලස්සම පුරුදුවිදියට මේසටනට එකතුවුනා.සටන මර්දනයට වෙල්ලස්සට ගිය කැප්පෙටිපොල ඌවේ දිසාවතුමත් ඊට එකතූනා.මීට මඩුගල්ලෙ නිලමෙවාගෙ මහනුවරනිලමෙලත් එකතුවෙලා ලොකු සටනක් බවට පත් උනා.බ්‍රිතාන්‍යන් මේසටන මර්දනය කරලා බැලුවම තේරුනා මේදිසාවෙලා රටේරාලලා ආරච්චිලා කෝරාලල සංවිධානය කල කැරැල්ලටමිනිස්සු මේතරම් එකතු උනේ නායකයො සතුවතිබුනු නිලතලවල බලේ නිසා නිසා කියල.ඒඅනුව 1818නොවැම්බර් 21වෙනිද ලංකාවෙ බ්‍රිතාන්‍ය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්ග්‍රිග් රාජාඥාවක් නිකුත් කරා කාරණා 56කින්‍යුතුව.ඒඈඥාව අනුව බ්‍රිතාන්‍ය ආණ්ඩුකාරයා හා ඒජන්තවරු මගින්ක්‍රියාත්මක කරන බ්‍රිතාන්‍ය රාජ්‍ය බලය අන්සියලු බලයනභිබවා ක්‍රියා කරන බවට නීතිය පැනෙව්වා.එදාඉඳන් අපේ සිංහලේ රාජ්‍යෙ අදිකාරම්වරු දිසාවවරු ඇතුලු අවශේෂ සියලු නිලයන් බ්‍රිතාන්‍ය බලය ට යටත් වුනා.සිංහලේ රාජ්‍යෙ විවිධ කොටස්වලට ආණ්ඩුවේ ඒජන්තවරු පත්කරල දිසාවෙලගෙ බලය ඊට යටකලා.1833වෙනකොට මුලු ලංකාවම ඒකීය පාලනක්‍රමයකට ගේන්න ලංකාව පලාත්පහකට බෙදුවා හැම පලාතක් භාරව ආණ්ඩුවේ ඒජන්ත කෙනෙක් පත් කරා.ඒ අනුව බස්නාහිර නැගෙනහිර උතුර දකුන මධ්‍යම කියන පලාත්වලට ආණ්ඩුකාරවරයා යටතේ කෙලින්ම ක්‍රියා කරන ආණ්ඩුවේ ඒජන්තලා පස්දෙනෙක් පත් කරාඒවනවිට ඒපලාත්වල රාජකාරිකල දේශීය නිලධාරීන් ආණ්ඩුවේ ඒජන්ත යටතට පත්කරා ආන්ඩුවේ ඒජන්ත පාලන යුධ හා අධිකරණ බලතල සහිත කෙනෙක්.දිසාව තනතුරු අහෝසිවෙන්න ඇරියා.ඒවෙනුවට ආන්ඩුවේ ඒජන්ත තනතුර මතුවුණා.සාමාන්‍ය මිනිස්සු දැක්කෙ එදා දිසාවෙ අධිපතිඋන දිසාවෙ වෙනුවට ඉන්න ආන්ඩුවෙ ඒජන්ත කෙනෙක්ව.ඉතින්මිනිස්සු ඒජන්ත වරයවත් දිසාහාමුදුරුවො කියලම කිව්වා.ක්‍රමයෙන් දිසාපති කියල ආණ්ඩුවෙ ඒජන්තව මිනිස්සු හදුන්වන්න පුරුදුවුනා.මේ පලාත්පහ පස්සෙ පලාත් නමය දක්වා සංශෝධනය වුනා.අවසානයේදී නිල තනතුරින් ආණ්ඩුවේ ඒජන්තල නමදෙනෙක් මගින් පලාත් නමය පාලනය වුනා.පලාතට අයිති දිස්ත්‍රික්කවලින් ආණ්ඩුවෙ ඒජන්තගෙ කාර්‍යාල තිබුනු දිස්ත්‍රික්කෙ ඒජන්ත තුමාම පාලනය කලා.අනිත් දිස්ත්‍රික්කෙ පාලනයට උප ඒජන්ත කෙනෙක් පත් කරා.ඒඋප ඒජන්ත ආණ්ඩුවේ ඒජන්ත යටතෙ අනිත් දිස්ත්‍රික්කෙ පාලනය කලා.ඉස්සර දිසාවෙ යටතෙ හිටපු කෝරාල රටේ රාල වන්නියා වාගෙ නිලධාරි තමන්ගෙ දිස්ත්‍රික්කෙ අනුව මහ ඒජන්ත හෝඋප ඒජන්තයටතෙ රාජකාරිකලා.කෝරාලලවගෙ නිලධාරියටතෙ ගම්වල ආරච්චිල දුරයල විදානෙල රාජකාරිකලා.දැන් ඔය හම්බන්තොට දිසාපති කියල හඳුන්වන සුප්‍රසිධ ලෙනාර්ඩ් වුල්ෆ් මහත්තයගෙ නිවැරදි නිල නාමය හම්බන්තොට සහකාර ආණ්ඩුවේ ඒජන්ත.උන්නැහෙගෙ ප්‍රධානියා උනේ ගාල්ලෙ රාජකාරිකල දකුණු පලාතේ ආණ්ඩුවේ ඒජන්ත තුමයි.අපේ කෝරල භාරව වැඩකරපු රටේ මහත්වරු කෝරාලල ඒජන්තවරු යටතෙ කටයුතු කරා.ඔය සුප්‍රසිද්ධ මඩුවන්වල දිසාව කියන නිලමෙ ඇත්තටම සබරගමුවෙ ආණ්ඩුවේ ඒජන්ත යටතෙ රාජකාරි කරපු කොලොන්න කෝරලේ රටේ මහත්තය.අපේ ලෝකෙ පලමු අගමැතිනි සිරිමාවෝ මැතිනියගෙ පියාමහවලතැන්නෙ දිසාව කියන්නෙ මැදකෝරලේ රටේ මහත්තයා.මේ වගේ සමහර ප්‍රදේශවල රටේ මහත්වරු වෙනුවට වන්නියා කියල නිලයක් තමයි තිබුනෙ.සමහරපහත රට ප්‍රදේශවල මුදලි කියල නිලයක් තිබුනෙ. තවසමහර ප්‍රදේශවල කෝරාල පදවිය තිබුනා.පෘතුගීසීන්හා ලංදේසින අතට මාරුවුනු පස්සෙ ඉංග්‍රීසීන්ට ලැබුනු ඉස්සර ආර්‍ය චක්‍රවර්ති හාසංකිලි රජුන් පාලනය කල යාපනේ නල්ලූර් ප්‍රාදේශීය රජය යටතේ තිබුනු පැතිවල තිබුනෙ මනි අගර්, දිස්ත්‍රික් අධිකාරි, කියන තනතුරු.ගම්වලත් ආරච්චි දුරය විදානෙ මුලාදැනි කියල තනතුරු තිබුන අය ඒපාලනය කරගෙන ගියා.

ඔයවිදියට තිබුනු පාලනේ ඊලඟවෙනස වෙන්නෙ 1943දියි.මේඅවුරුද්දෙ ගෙනාපු ආඥා පනතකින් ගම්වල පාලන කටයුතු කරපු තනතුරු 12ක් අහෝසි කරලා එක්තනතුරු නාමයක් ගම්පාලනයට හඳුන්වාදුන්නා.ඒ අහෝසි කරපු තනතුරු තමයි

මහ දුරයා

විදානෙ දුරයා

දුරයා

පොලිස් දුරයා

ටවුං ආරච්චි

ගම් ආරච්චි

කොස්තාපල් ආරච්චි

විදානෙ

පොලිස් විදානෙ

පොලිස් විදාන්

ටවුං මුලාදැනි

පොලිස් මුලා දෑනි කියන ඒවා.මේතනතුරු අහෝසි කරල ගම්පාලනය කල අයට අලුතින් දීපු නිල නාමය තමයි”.ගම් මුලාදෑනි “නැත්නම් “village Headman” කියන තනතුර.මේතනතුර මිනිස්සුන් අතින් “ගම්පති “වුනා.ඔය කිව්ව ආඥා පනතින්ම ප්‍රදේශ පාලනය කල නිල නාමත් වෙනස් කරල එක නිල නාමයක් හඳුන්වා දුන්නා.ඒ අහෝසිකරපු නිල නාම තමයි.

වන්නියා

රටේ මහත්තයා

මුදලියා

දිස්ත්‍රික් අධිකාරි

මනි අගර්

කෝරාල කියන තනතුරු.ඒවාවෙනුවට හදුන්වාදීපු තනතුර තමයි “ප්‍රාදේශීය ආදායම් නිලධාරි”කියන තනතුර මේතනතුර සිංහලෙන් ඔහොම කිව්වට ඒකාලෙ නිල භාෂාව ඉංග්‍රීසි නිසා නිල තනතුර Divisional Revenue Officer කියලයි නිවැරදි නාමය.මේතනතුර මිනිස්සු කිව්වෙ “ඩීආරෝ “කියලයි.දැන් එතකොට පේනවා නිල තනතුරු නාමය මිනිස්සු කටට හුරුවට හදාගන්න හැටි.Gavernment Agent නැත්නම් “ආණ්ඩුවේ ඒජන්ත” තනතුර මිනිස්සු “දිසාපති” හැටියටත් Divisional Revenue Officer නැත්නම් “ප්‍රාදේශීය ආදායම් නිලධාරි” තනතුර “ඩීආරෝ “හැටියටත් Village Headman නැතිනම් “ගම්මුලාදෑනි” තනතුර “ගම්පති” ලෙසටත් හදුන්වන්න අපේ උදවිය පුරුදු උනා.

මේවිදියට නිදහසත් ලැබිල ටික කලෙකින් 1955තවවෙනසක් ඇති කරනවා.ඒ එතෙක් පලාතක් භාරව හිටපු ආණ්ඩුවේ ඒජන්ත තනතුර දිස්ත්‍රික්කෙට ගෙන ඒම.ඒකට ගෙනාපු නීතිය හදුන්වන්නෙ පරිපාලන දිස්ත්‍රික්ක පනත කියලයි.ඒ අනුව එතෙක් පැවති පලාත යන පරිපාලන ඒකකය දිස්ත්‍රික්කය බවට පත්කරල ඒ දිස්ත්‍රික්කයක් ආණ්ඩුවේ ඒජන්ත භාරයට පත් කරනවා.එයින් පස්සෙ දිස්ත්‍රික්කෙ ආණ්ඩුවේ ඒජන්තගේ පාලනයට පත්වෙනවා.ඔහුන් යටතේ ප්‍රදේශ ඩීආර් ඕ වරුනුත් ගම් ගම්මුලාදෑනිවරුනුත් පාලනය කලා.1964දි ගම්මුලාදෑනිතනතුර අහෝසි කරල ග්‍රාමසේවක තනතුරත් 1973දි ඩීආර් ඕ තනතුර අහෝසි කර සහකාර ආණ්ඩුවේ ඒජන්ත තනතුරත් ඇතිකරනවා.එයින් නවතින්නෙ නෑ 1977දි ග්‍රාමසේවක තනතුර අහෝසිකර ග්‍රාමසේවා නිලධාරි තනතුරත්1993දි ග්‍රාමසේවා නිලධාරි තනතුර අහෝසිකර ග්‍රාම නිලධාරි තනතුරත් ඇති කරනවා.1992දි ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ හදල ප්‍රාදේශීය ලේකම් වරු පත් කරනවා.ඒපනතෙ එතෙක් දිසාපති වරුන්ට ලිඛිත නීතියෙන් පැවරුණුබලය ප්‍රාදේශීය ලේකම්වරුන්ට පවරනවා.වාරිමාර්ග ආඥා පනතෙ දෙවැනි කොටසේ දිසාපතිවරුන්ට පැවරනු බලතල දිස්ත්‍රික් ලේකම් හැටියට වෙනස්වෙනබවත් සඳහන් වෙනවා.හැබැයි මේ දිස්ත්‍රික් ලේකම් කියන තනතුර මොකක්ද කියල කොහේවත් සඳහනක් නෑ. ඔන්න ඔහොමයි.මේ දිසාපති කමේ යි ඒ එක්ක තියෙන අනික් ප්‍රාදේශීය පාලන තනතුරුවල සුල මුල.

14 thoughts on “දිසාපති පැටිකිරිය.

  1. සර් මේක ඉතා වටිනා ලිපියක්. ඔබතුමාට ඉදිරියේදී ඉතා හොඳ තනතුරක් ලැබේවා!
    නමුත් දැන් කාලයේ උගත් වැදගත් දේශපාලඥයින්ගේ හිඟයක් ඇත නිසා ඔබ වැනි කෙනෙකුගෙන් ප්‍රයෝජනයක් ගනීවිදැයි සැකයි. කොහොම උනත් ඔබතුමාගේ අත්දැකීම් හා දැනුම පොත් ලෙස එලි දැක්වුවහොත් අනාගත පරපුරට එය වැදගත් වේවි. සුභ පැතුම්.

    Like

    1. බොහොම ස්තූතියි.මගේ අදහස නම් ලැබී ඇති තනතුර හොඳම තනතුර යන්නයි.ඔය අනික් තනතුරුවලට අවශ්‍ය සමහර සුදුසුකම් අපිවගේ අය සතුව නැති නිසා ලැබෙයි කියල භයක් නම් නෑ.

      Like

  2. දුටු ගැමුණු තමයි මයෙ හිතේ පළමුවෙම්ම තමන්ට “මහරජ” කියල කියාගන්නෙ. එයිට කලින් ප්‍රාදේශීය රජවරු නිදහසෙ ්තමන්ගෙ පාලනය කරගෙන ගිය බව පේනව. රුහුණෙ දසබෑ රජවරු, මහානාගකුල හෙවත් මානාවුලු ප්‍රරයෙ රජ පරම්පරාව, සේරු නුවර සහ සෝමනුවර රජවරු… ඔය හැම කෙනෙක්ම ඤාති සම්බන්ධයකින් එකමුතුකරන කාවන්තිස්ස රටේ ඔය හැමප්‍රදේශයකින්ම හොයාගන්න වීර පුරුෂයන්ගෙන් හැදුණු දහයෙ ගුණාකාරවලින් බෙදුනු හමුදාවක් හදන අතර, ඒකෙ ප්‍රතිඵලය නෙළාගන්න දුටුගැමුණු මුළු රටම වගේ එක පාලනයක් යටතට ගේනව. ඒ නිසා එතුමා පළමුවෙනි “මහරජ” වෙන්නැති කියල මට හිතෙනව. එයා සෙල්ලිපි වල කියනවනෙ “දෙවන පිය ගමණි අබය මහරඣ” කියල.

    එතකොටම මතකෙට ආව තව නමක් තමයි, “දෙවන පිය ගමණි අබය මහරඣහ රමණිය බරිය කතිය” ඔතන ගැමුණු රජුගෙ භාර්යාවගෙ නම “කතී” කියල ගොඩක් අය විශ්වාස කළාට මං හිතන්නෙ “කතිය” කියන්නෙ කෘත්‍යය කියන එකයි – “රමණිය” කියන්නෙ රම්මැණිකා කියන එකයි කියල…

    Like

    1. කාවන්තිස්ස රජතුමාටත් මහරජ කියල හඳුන්වපු ශිලාලේඛනයක් ලාහුගල හුලංනුගේ කරඳහෙල විහාරෙ තියෙනව මම හිතන්නෙ.හැබැයි ඒලිපිය කාවන්තිස්ස රජුට පසුකාලෙක කරපු එකක් බවයි නිරීක්ෂණය කරපු විද්වතුන් කියන්නෙ.එනිසා ඉස්සෙල්ලම මහරජ යොදල ඇත්තෙ දුටුගැමුණු රජතුමා විය හැකියි.ඉන්දියාවෙ නම් මහරජ විරුදය මුලින්ම පාවිච්චි කරල තියෙන්නෙ ඇලෙක්සැන්ඩර් රජුගේ පසු උරුමකරුවෙක් උන ග්‍රීක යුක්‍රටයිඩීස් කියන රජුයි.ඔහු නිකුත් කල මහරජ ලෙස සටහන්වෙන කාසි සමුවී තිබෙනවා.ඒ අසෝකරජුගේ පියාගේ හෝ සීයාගේ කාලයේ.ශිලාලේඛනයක නම් ඉන්දියාවේ හත්ථිගුම්බා සෙල්ලිපියෙ තමයි මුල්වරට මහරජ අභිවාධනයෙන් රජෙකු හඳුන්වා ඇතිබව පැවසෙන්නෙ.

      Like

      1. ගොඩක් ස්තූතියි සර් ඒ කතිකාව පුළුල් පරාසයකට ගෙන ගියාට. මම ඒ තරම් දැනගෙන උන්නෙ නෑ.

        Like

  3. අප්පේ සුනිල් මහත්මය දිසාපති තනතුරෙන් පටන්ගෙන හිටි ගමන කාල යන්තරේකට නැග්ගුව වගේ අපිව අවුරුදු ලක්ෂයකටත් එපිටහට කැන්දන් ගිහින් ආපිට එක්ක ආපු එකම මදැයි 🙂

    දුටු ගැමුණු කියන්නෙ කාවන්තිස්ස රජතුමාට කාන්තා ආභරණ යවාපු නිසා දුෂ්ඨ + ගාමණී ලෙස නම් කිරීම නිසා කියලත් අහල තියනවා නමුත් දෙටු + ගාමණී කියන පැහැදිලි කිරීම ඇහුවෙ අදයි. එයත් බොහොම තර්කානුකූල අදහසක්.

    පැරණි සිංහල දිසාවන් දොලහකටයි රටවල් නමයටයි අදාළ සිතියමක් හොයා ගන්න බැරි වෙයිද ? දන ගන්න භෝම උවමනාවක් තිබුණත් මේ නම් ටිකවත් හොයා ගන්න බැරිව හිටියෙ. මේ තොරතුරු නැති වෙලා නැතත් අන්තර්ජාලය තුළින් සොයා ගැනීමට අපහසුයි.

    ඒ කාලයේ පාලන ඒකක බෙදීම වගේම පාලන ව්‍යූහය සිතියම්, වගු සහ රුක් සටහන් මගින් ඉදිරිපත් කරන්න තිබුණ නම් කදිමයි. එහෙම නැතිනම් එකක් හදමු, උදව් කරන්නම් පුළුවන් විදිහට. මම කිහිප විටක්ම මේ විස්තරේ කියෙව්වත් මොළයට වැටුනෙ නැහැ. මොළේ පුස්කාලද කොහෙද හොඳටෝම 🙂

    Like

    1. මම මේලිපියෙන් කියන්න උත්සාහ කරේ අපේ රාජ්‍ය සේවාවෙ ප්‍රදේශීය පාලනය කියල අදතියන ව්‍යුහය අපේ ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉඳන් විකාශය උනු ව්‍යුහයක්කියන එකත් ගෝත්‍රයුගයේ කන්ඩායම් නායකයා පසුව ගමක නායකයෙක් වීමත් ඉනනතුරුව ප්‍රදේශ නායකත්වයක් බිහිවීම හා පසුව රජතනතුර දක්වා විකාශය වීඉන්පසු ලංකාවටම මහරජකෙනෙක් හැදුනු බවත් ඒව්‍යුහයම බ්‍රිතාන්‍යන් රාජ්‍ය පාලනයට යොදාගෙන වර්තමානය දක්වා විකාශය වීඇති බවත් පෙන්වාදීමටයි.

      Liked by 1 person

  4. මේකනං රටක් වටින ලිපියක් …. සබැදියක් සහිතව උපාටාගන්න අවසර

    Like

  5. සුනිල් මහතාණෙනි,
    ” … විදේශ ආක්‍රමණිකයෙක් වූ එළාර පරාජය කරල රට පලමු වතාවට එක් රාජ්‍යක් බවට පත්කල ගමණි අබයව සියලු ගමණි වරුන්ගේ නායකයා යන අර්ථයෙන් දෙටු ගැමුනුලෙස හඳුන්වපු එක පස්සෙ දුටු ගැමුණු වුනා වෙන්න පුලුවන්නෙ.”
    “දුටු ගැමුණු” යන හැඳින්වීම පිළිබඳ ව දිවංගත මහ ඇදුරු සෙනරත් පරණවිතානයන්ගේ මතය සඳහන් ලිපියක් මා කුඩා කාලයේදී කියැවූවා මතකයි. (1950 දශකයේ මැද හරියේදී).
    දෘෂ්ඨ මංගලිකා – දිට්ඨ මංගලිකා – දිටු මගුලී
    ඊට අනුකූල ව යතොත්:
    දෘෂ්ඨ ග්‍රාමණී/ගාමණී – දිට්ඨ ගාමණී – දිටු ගැමුණු – දුටු ගැමුණු බවට පත් වේ.
    (තව ද, දෘෂ්ඨද්‍යුම්න රජතුමාගේ නම ද උදාහරණයකට ගෙන තිබුණා මතක යි.)
    ඔබ ලියා ඇති පරිදි “දෙටු ගැමුණු” පසු ව “දුටු ගැමුණු” වීමේ සම්භාවිතාව ද තිබෙනවා.
    කෙසේ වෙතත් පිය රජ තුමාට කාන්තා ඇඳුම් යැවීම නිසා ගැමුණු කුමරාට “දුෂ්ඨ ගාමණී” නාමය පටබැඳුණා යයි කීම නම් විශාල අපහාසයක්!
    .ඔබේ ලිපි කියවද්දී මට මායා රංජන්ගේ “දිගාමඩුල්ලේ ආශ්චර්යය” ග්‍රන්ථය සිහියට එනවා.

    Like

    1. අපි දුටු ගැමුනු කියා හදුන්වන රජතුමා ගැන යැයි සිතිය හැකි ශිලාලිපිවල ඔහුව හදුන්වන්නේ “ගමණි අබය” යන නමින්.ඔහු උපදින වකවානුව වනවිට රටේ ඒ ඒ ප්‍රදේශවල රාජ්‍යන් ගණනාවක් තිබූ බවයි පෙනෙන්නෙ.රජරට එලාර රජුගේ පාලනය.රුහුනේ මාගම කාවන්තිස්ස රජු.ගිරි නුවර තව රජ කෙනෙක්.සේරුනුවර තවරජ කෙනෙක්.මේවිදියට තැනතැන ස්වාධීන ගාමණී වරු හිටිය බවයි පෙනෙන්නෙ.කාවන්තිස්ස රජතුමා මේ ගාම ණීවරු එක්ක එලාරටවිරුද්ධපෙරමුනක් හදනවා.ඒකෙදි අවාහවිවාහ සබඳතා ආගමික කටයුතුවගේ උපාය යොදාගෙනයි මේ පෙරමුන හදන්නෙ.මේපෙරමුනේ නායකය හැටියට යුධයට යන්නෙ ගමණි අබය කුමාරයා.එලාර පරාජයකිරීමෙන් පස්සෙ මුලු රටටම ප්‍රධාන ගාමිණී ලෙස ඔහු පත්වෙනවා.එනම් ජේය්ෂ්ඨ ගාමණී වෙනවා.ඉතින් ඕක දෙටු ගැමුණු වෙලා දුටු ගැමුණුවෙන්නැතැයි සිතීමෙ වරදක් නෑ නොවැ.

      Like

  6. මේක අච්චු ගහල තියාගන්න වටින එකක්. ඊයෙ රාත්තිරියෙ මට ඉස්සර සිංහල රජ කාලෙ නිලධාරී තනතුරු හා රාජකාරි හොයාගන්න ඕනෑ වුනා. මෙන්න අද උදේ තනි ඇහෙන් බුකිය හරහා ලොව බලා වදාරත්දි ඔබතුමා ඒක ලියල.
    මෙපින් බලෙන් අමාත්‍යාංශ ප්‍රධාන ලේකම් තනතුරක් ලැබේවා.

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s