තරුණ දේශපාලඥයාගේ මරණ සහතිකේ

බොහොම දවසකින් පන්හිඳ අතට ගන්න බැරි උනා. ඒක එහෙම උනේ මට සිද්දවුන ජංජාලයක් නිසයි. පහුගිය දොහොක චීන දේශයේ සංචාරයක නිරතවෙන්න මට සිද්දවුනානෙ. ඔන්න ඔය අතරෙදි තමයි මේ ජංජාලෙ උනේ. චීන රටේදි ගූගල් මූනුපොත් වලට ඇතුල්වෙන්න බෑ. ඒකට වෙන වෙන සූත්‍ර කරන්න ඕනා. මගේ ටැබ් එකේ අලුත් කතාවක් සටහන් කර කර ඉඳල රාත්‍රියෙ නිදා ගත්තා. උදේ නැගිටල බලන කොට ටැබ් යන්ත්‍රේ පින් අංකයක් ඉල්ලනවා. අද තව වෙනකම් ඒකෙන් ගැලවෙන්න බැරි උනා. ඒකෙන්ම මගෙ ටැබ් එක අක්‍රියයි.

චීන රටේ සති තුනකට වැඩිය ගතකරන්න නියමිතව තිබුනත් හදිසියේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් කැඳවීමේ ආරංචිය ලැබුන ගමන් දැනගත්තා චීන සංචාරය මගින් නතර කරන්න වුනු බව. සති තුනේ චීන සංචාරයට ගිය පිරිස චීනයේ සිටියදී ආපහු ලංකාවට හදිසියේ කැඳවපු මට ටැබ් එක අක්‍රිය වීම විතරයි මතක තියෙන දෙයකට කෙරුනෙ. තවම ඒක හදනවා. ඒ නිසාම පංහිඳ නැවතුනා. ඒ අතර මගේ ගමේ සමීපතමයෙක් උන අපේ කේ. ඇල්. ගුණවර්ධන අයිය අප අතඇරල ගියා. හැමදාම පංහිඳේ කතාවට තමන්ගෙ අදහස කියල කොමෙන්ටුවක් දමන ගුණවර්ධන අයිය තවදුරටත් මගේ පංහිඳේ කතාවලට ප්‍රතිචාර දක්වන්නෙ නෑ. මොනව කරන්නද? සංසාරේ හැටි!

ගුනවර්ධන අයියගෙ මලගෙදර ගිහින් එන අතරෙදි තමයි අද කියන්න යන කතාව මතක් වුනේ.හදිසියෙ තමන්ගෙ කෙනෙක් මිය ගියහම ඕනෑම කෙනෙක් පත්වෙන තත්වය කියන්න දෙයක් නෑනෙ.ලොකු අසීරුතාවයකට පත්වෙනවා.දීර්ඝකාලයක් රෝගාතුරව හෝවයස්ගතව සිටි කෙනෙක් මිය ගියහම උනත් එකපාරට කලයුතුදේ මොකක්ද කියල හුඟ දෙනෙක් දන්නෙ නෑ.මේ නොදන්නා කමත් එක්ක බොහෝ අසීරුතාවයන්ට පත්වෙන පිරිස් ඉන්නවා.මෙන්න මේ විදියෙ අසීරුතාවයකට මූනදීපු කෙනෙකුගෙ ප්‍රශ්නයකට මට මැදිහත් වෙන්න සිද්ද උන කතාවක් තමයි මය මතක් උනේ.

මම ආණ්ඩුවේ ඒජන්ත පදවියක් ලැබිලා අවුරුදු පහකට පස්සෙ මට රත්නපුර දිස්ත්‍රික්කෙට ස්ථාන මාරුවක් ලැබුනා.ඒ 2011අවුරුද්දෙ අවසානයෙදි.එකදිගට අම්පාරෙ අවුරුදු පහක් මහ ඒජන්ත කම කරපු මට එකවරම රත්නපුරේට එනවද ඇහුවම බොහොම අසිරු තීරණයක් ගන්න සිද්ද උනා.අම්පාර බොහෝ පුරුදු තැනක්. හැමදෙනෙක්ම මගෙ නායකත්වය පිලිගන්නව.සිංහල දෙමල මුස්ලිම් සියලු ජනතාව මගේ සේවාව අගය කරනවා.සියලු ආගම් නායකයින් පූජ්‍ය ප්‍රසාදීන් අතර මට හොඳ ඇගයීමක් තියෙනවා.මේතරම් හොඳ දිස්ත්‍රික්කයක් වෙනුවට මට හුරුපුරුදු නැති රත්නපුර දෙන්න අහනවා.මට එතන ඇති එකම පහසුව ගෙදරට ලඟ වීම විතරයි.අනිත් අතට මට කල්පනා උනේ මේතනතුරු සදාකාලික නෑ.හිටිගමන් මේව අතාරින්න පුරුදුවෙලා සිටිය යුතුයි.පහසු පුරුදු තැනට වැඩිය අලුත් තැනක අලුත් අභියෝගයක් භාරගන්න සූදානම්විය යුතුයි.යම් තනතුරකින් සමු ගත යුත්තේ ඉහලම ජනප්‍රියත්වය තිබෙන විටදියි.ඔයවිදියට කල්පනා උනහම හිතුනා රත්නපුරේ භාරගන්න කැමැත්ත දෙන්න.ඒ අනුව 2011අවුරුද්දෙ නොවැම්බර් මාසෙ 14වෙනිද රත්නපුර ආන්ඩුවේ ඒජන්ත ධුරයේ රාජකාරි භාර ගත්තා.රත්නපුරේ කච්චේරිය බ්‍රිතාන්‍ය පාලන කාලෙ පටන්ගත්තු පැරණි කච්චේරියක් උනාට ඒ පරණ ගොඩනැගිල්ල මැනික් සංස්ථාවට පූජා කරල අපේ දිසාපති වරු නවනගරෙ අලුතින් හදාපු ස්ප්‍රිතාල වාට්ටු වගේ ශාලා සංකීරනයක කච්චේරිය ස්ථාපිත කරගෙනයි හිටියෙ.ඇහැලේපොල දිසාවගෙ වලව්වෙ ස්ථාපිත වෙලා තිබුනු දිසාපති මැදුර කෞතුකාගාරෙට භාරදීලා නවනගරෙ නිවාසෙකට දිසාපති මැදුර ගෙනැල්ල තිබුනෙ.මුලින්ම රත්නපුර කච්චේරිය කුඩා ශ්‍රවණාගාරයක් හදා ගන්න කටයුතු කරේ අම්පාරෙදි කල පුරුද්දට.අම්පාර කච්චේරියෙ නවීන ශ්‍රවණාගාරය සකස් කරල ඒකට හිටපු දිසාපති ඒඅයි වික්‍රම මහත්තයගෙ නම දාලා පොඩි ශ්‍රවණාගාරයක් හදල ඩී ඇම් ආරියරත්න ශ්‍රවනාගාරය කියල තවත් විශිෂ්ඨ දිසාපතිවරයෙක් නමින් නම් කල මට රත්නපුරේ කච්චේරියට නවීන පහසුකම් සහිත 75-80කට රැස්වෙන්න පුලුවන් ශ්‍රවනාගාරයක් හදන එක බොහොම පහසු උනා.

රත්නපුරේ ඔයවිදියට වැඩ පටන්ගෙන ටික දවසක් යන අතරදි දවසක් මට විශේෂ දුරකතන ඇමතුමක් ආවා..කතාකලේ ඇමති තුමෙක්..

“හලෝ ඔය රත්නපුර දිසාපතිතුමාද?”

“ඔව් කවුද මේ ?”

“දිසාපතිතුමා මම ඩලස් අලහප්පෙරුම.මටලොකු උදව්වක් ඉල්ලගන්න කතා කලේ.”

“ආ ඇමතිතුමා මොකක්ද අප්පේ ඔච්චර ලොකු උදව්ව?”

“දිසාපතිතුමා අපේ නාලන්දගෙ මරණ සහතිකේ ගන්න බැරුව එයාගෙ අම්ම බොහොම කණගාටුවෙන් ඉන්නෙ.මට මේ වැඩේ කරල දෙනවද?”

“අයියෝ ඇමතිතුමා නාලන්ද එල්ලාවල මංත්‍රීතුමාගෙ නේද? ඕක සුලුදෙයක්.කාට හරි එන්න කියන්න මම අරගෙන දෙන්නම්”.

“අනේ ඔව්.නාලන්ද මගේ මිත්‍රයනෙ.ඉතින් මට මේගැන දැනගත්තු ගමනුයි ඔබතුමාට කතාකලේ.”

“හරි හරි නාලන්ද මංත්‍රීතුමා මමත් බොහොම ප්‍රිය කරපු තරුණ දේශපාලනඥයෙක්.මම වැඩේ කර දෙන්නම් කාවහරි එවන්න කියන්න.”

කතාබහ එතනින් නිම උනා.පහුවෙනිද කෙනෙක් මම හමුවට ඇවිත් ඩලස් ඇමතිතුමාගෙ පණිවුඩේ මතක් කරලා ලිපියක් භාර දුන්නා.ලිපිය ලියලතිබුනෙ නාලන්ද එල්ලාවල මහතාගෙ මෑනියෝ.සුරංගනී එල්ලාවල මැතිනිය.ලිපියෙන් කියල තිබුනෙ ලොකු දුක් අඳෝනාවක්.තමන්ගෙ ආදරණීය පුත්‍රයා අහිමි කිරීමේ වේදනාවත් නොඅඩුව සටහන්වතිබූ ලිපියෙන් ඔහුගේ මරණ සහතිකය නිකුත් නොකිරීම ගැන රජයට ලොකු චෝදනාවක් කර තිබුනා.ලිපිය කියවූ විගස මම සුරංගනී එල්ලාවල මැතිනියට දුර කතන ඇමතුමක් ගත්තා.එතුමිය පැවසුවේ තම ආදරණීය පුත්‍රයා බිහිසුණු ලෙස ඝාතනය කලා පමනක් නොවෙයි ඔහු මියගිය බවට දෙන මරණ සහතිකය ලියාපදිංචි නොකිරීමෙන් තමන්ට බලවත් අසාධාරණයක් සිදුකර ඇති බවයි.තමා මේගැනාවුරුදු දොලහක් තිස්සේ විවිධ තැන්වලට කතාකලත් නිසි විසඳුමක් නොලැබුනු බවත් කියා සිටියා.මේ පිලිබඳව උසාවියේ නඩුවක් දමන ලෙස තමන්ට නිලධාරින් කියන බවද ඇය බිඳුණු හඬින් කියා සිටියා.තම පුත්‍රයාගේ මරණ සහතිකය ඉල්ලා මවකට උසාවියට යා හැක්කේ කෙසේදැයි ඇය මගෙන් විමසුවේ මා ද නිරුත්තර කරමිනුයි.මේගැන වහා සොයා බලන බව කියා මා දුර කතනය ආපසු තැබුවා.

මම වහාම මගේ කාර්‍යාලයට අනුයුක්ත රෙජිස්ට්‍රාර් ජනරාල් කාර්‍යාලයට අදාල අතිරේක දිස්ත්‍රික් රෙජිස්ට්‍රාර් වරයා කැඳෙව්වා.

“විජේසිරි අර නාලන්ද එල්ලාවල මහත්තයගෙ මරණෙ ලියා පදිංචි කරල නෑ කියන්නෙ ඇත්තද?”

“ඔව් සර් ඒකාලෙ ඒමරණෙ ලියල නෑ.”

“ලියල නෑ?ඇයි ඒ?හැම මරණයක්ම ලියා පදිංචි කරන්න ඕනනෙ.”

“ඒක තමයි සර්.මේ මරණෙ ලියන්න අදාල වාර්තාව උසාවියෙන් ඇවිල්ල නෑලු.ඒනිසා ඒකාලෙ ලිව්වෙ නැතිලු.මමත් ඒකාලෙ හිටියෙ නෑ.”

“හරි වහාම උසාවියෙන් ඔය කියන වාර්තාව ලබාගෙන මරණෙ ලියාපදිංචි කරන්න වැඩ කරන්න.මේක බර පතල අසාධාරණයක්නෙ.අපි අපේ වගකීම පැහැර ඇරල තියෙන්නෙ බරපතල විදියට.අම්ම කෙනෙක්ගෙ පුතාව තරුණ වයසෙදි අහිමි කරල කරපු අයුක්තිසහගත දේ වගේමයි අවුරුදු 14ක් ඒමරණෙ ලියාපදිංචි නොකිරීම හරිද?”

“ඔව් සර් මම උසාවියෙන් බලන්නම්.”

“හොඳයි.හැබැයි මම ආයෙ අහනකම් ඉන්නඑපා ප්‍රගතිය මට කියන්න ඕන.”

විජේසිරි මහත්තය ගියා.මම සාමාන්‍ය කටයුතුවල නිරත උනා දින දෙකකින් මා මුන ගැසුනු විජේසිරි මහත්තයා මට පැවසුවේ උසාවියේ මේපිලිබඳ ලිපි ගොනුව නොමැති බවයි.තවදුරටත් සොයා බලන ලෙස ඔහුට දන්වා සිටියා.තවත් දින කීපයකින් විජේසිරි මහතා පැමින පැවසුවේ ගොනුව නොමැති බව උසාවියෙන් කියන බවයි.නාලන්ද එල්ලාවල ඝාතනය පිලිබඳ මහාධිකරණයේ නඩුවක් තිබූ බැව් කල්පනාවූ මම වහාම මහාධිකරණ ලේඛනා ගාරයේ සොයා බලන්නයැයි මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයාට දන්වන ලෙස උපදෙස් දුන්නා.තවත් සතියකට පසු ලිපි ගොනුව මහාධිකරණයේ තිබී මහේස්ත්‍රාත් අධිකරණයට ගෙන්වාගෙන ඇතිබවත් ගොනුව පරීක්ෂා කර බැලීමේදී මහේස්ත්‍රාත් පරීක්ෂණය අවසානයේ මරණ රෙජිස්ට්‍රාර් වෙත එවියයුතු ආකෘතිය පරීක්ෂණය පැවැත්වූ මහේස්ත්‍රාත් වරයා විසින් අත්සන් කර නැති බැවින් වාර්තාව එවිය නොහැකි බව මහේස්ත්‍රාත් අධිකරණයේ රෙජිස්ට්‍රාර් වරයා දැන්වූ බවත් විජේසිරි මහතා මට දැන්වුවා.

“විජේ සිරි ,මේගැන ඉතින් මොකද උසාවියෙ අය කියන්නෙ.මේ මරණෙ ලියාපදිංචි කරන්න එපා කියලද?”

“නෑ සර් ඒඅය ලිපි ගොනුව ඒකාලෙ හිටපු මහේස්ත්‍රාත් තුමා ඉන්න තැන හොයල යවල අත්සන් ගන්න පොන කියනව.”

“විජේසිරි මට යක්ෂයා ආරූඩ වෙන්නෙ ඔන්න දැනුයි.ඔය පරීක්ෂණය කරපු නඩුකාරය දැන් මැරිල නම් නාලන්දගෙ මරණෙලියන්නබැරිවෙනවනෙ.එතකොට?”

“ඒක තමයි සර් මේක අපේ ප්‍රශ්නයක් නෙවෙයිනෙ අපි මොනව කරන්නද?”

“අපේ ප්‍රශ්නයක් නෙවෙයි.විජේසිරි මේක සම්පූර්ණයෙන්ම අපේ ප්‍රශ්නයක්.මේරටේ මරණ ලියා පදිංචි කිරීමේ වගකීම තියෙන්නෙ අපිටයි.ඔයාගෙ දෙපාර්ත මේන්තුව ස්වදේශ කටයුතු අමාත්‍යංශෙ යටතෙ තියෙන්නෙ.ඒ අමාත්‍යංශය භාර ඇමති රත්නපුරේ මංත්‍රීජෝන් සෙනවිරත්න මහත්තය.මම ඒඅමාත්‍යංශෙට අයිති මේදිස්ත්‍රික්කෙ ආණ්ඩුවෙ ඒජන්ත.නිල බලෙන් මම අතිරේක රෙජිස්ට්‍රාර් ජෙනරාල් එතකොට මේක අපේ ප්‍රශ්නයන් නෙවෙයිද?”

“මම පිලිගන්නව සර් මොකක්ද අපි කරන්න ඕන කියල මට තේරෙන්නෙ නෑ”

“හරි මම කියන්නම් කරන්න ඕනදේ.සාමාන්‍ය මරණයක් ලියන්නෙ කොහොමද?”

“ලඟම ඥාතියා මරණෙ ගැන තොරතුරු දුන්නම ලියන්න පුලුවන්.”

“එහෙනම් මම සුරංගනී එල්ලාවල මැඩම්ට ඒතොරතුරු රෙජිස්ට්‍රාර්ට දෙන්න කියනවා එතකොට හරිනෙ.”

“නෑ සර් මේවගේ හදිසි මරණ ලියන්න මරණ පරීක්ෂන වාර්තව ඕන.නැතුව බෑ.”

“කොහේද එහෙම කියල තියෙන්නෙ.?”

“සර් මරණ ලියා පදිංචි කිරීමේ පණතෙ.”

“ඔය පණත සුද්දො හදපු එකක් නේද?”

“ඔව් සර් ඒකාලෙ හදපු එකක් තමයි.”

“එහෙනම් ඔයා කියන විදියෙ දෙයක් තියෙන්න බෑ.සාමාන්‍ය මනුස්සයෙකුට ප්‍රශ්නයක් වෙන නීති සුද්දො හදල නෑ මම දන්න තරමට ගේන්න ඔය පණත.”

විජේසිරි මහත්තය පණත ගෙනාවා.

“මේතියෙන්නෙ සර් පනතෙ හදිසි මරණයක් හදිසි මරණ පරීක්ෂනයකට යොමු කරන්න ඕන කියල.”

“හරි එතකොට සමහර හදිසිමරණ පරීක්ෂන මාස තුන හතර යනවනෙ ඉවරවෙන්න.එතකොට භූමිදාන කරන්න මරණ සහතිකේ ගන්නෙ කොහොමද?”

“ඒවුනාට මේ කියලතියෙන්නෙ මරණ පරීක්ෂණය කල පරීක්ෂකවරයා ඒගැන වාර්තාවක් රෙජිස්ට්‍රාර්ට එවන්න ඕන කියල පනතෙම”.විජේසිරි පනත පෙරලල මට දුන්නා.මමත් බැලුවා ඒක ඇත්ත එහෙම පනතෙ තියෙනවා.මගේ අත් දැකීම් අනුව සුද්ද නීතිය එච්චර අසාධාරණව හදන්නෙ නෑ.මම තවත් ඕනෑ කමින් පණත බැලුවා.මට හිනා ගියා.

“විජේසිරි දැන් කියවන්න බලන්න ඔයා කිව්ව වගන්තියයි ඊට යටින් තියෙන වගන්තියයි දෙකම”.කියල පනත ආපහු දුන්නා.

හදිසි මරන පරීක්ෂකවරයා මරණය පිලිබඳ පරීක්ෂනය අවසානකර දින පහක්තුල ඒපිලිබඳ වාර්තාවක් රෙජිස්ට්‍රාර් වරයා වෙත එවිය යුතුය. විජේසිරි මත්තය පනත කියෙව්වා.

ඊලඟ වගන්තියත් කියවන්න.මම කිව්වා.

“එම වාර්තාව ලැබුනු පසු රෙජිස්ට්‍රාර්වරයා දැනටමත් ලියාපදිංචි කර ඇති මරණයක් නම් මරණයට හේතුව ලේඛනයේ සටහන් කලයුතුය.ලියාපදිංචි කර නැති මරණයක් නම් ලියාපදිංචි කල යුතුය.”

හරි විජේසිරි ඔය වගන්තියෙ තියෙනවා නේද?”දැනටමත් ලියා පදිංචි කර ඇති මරණයක් නම් “කියල කොටසක්.

ඔව් සර් තියෙනවා.

ඔයා කිව්ව විදියට වාර්තාව නැතුව හදිසි මරණ ලියන්න බැරි නම් ඔයවගන්තියෙ දැනට මත් ලියා පදිංචි කර ඇති කියල ලියල තියෙන්නෙ මොකටද?

විජේසිරි මහත්තය ඔලුව වැනුවා .මම කිව්වා වහාම රෙජිස්ට්‍රාර් ජෙනරාල්ට ලිපියක් ලියා මේතත්වය මත මරණය ලියාපදිංචි කිරීමට අනුමැතියක් ගන්නා ලෙස.එමෙන්ම අදාලවාර්තාව අත්සන් නොකල මරණ පරීක්ෂනය කල මහේස්ත්‍රාත්වරයා පිලිබඳ අධිකරණ සේවා කොමිසම් සභාවට පැමිනිලි කිරීමට ලිපියකුත් සකසන ලෙස ත් දැන්වූවා.රෙජිස්ට්‍රාර් ජෙනරාල් ඇමතූ ලිපිය සකසා මාවෙත ඉදිරිපත් කල විට මාඑය අත්සන් කලේ අනුමැතිය ලැබුනත් නැතත් මේලිපියට පිලිතුර ලද පසු නාලන්ද එල්ලාවල තරුණ මංත්‍රී වරයාගේ අවුරුදු 14කට පෙර සිදුවූ මරණය මගේ නියෝගයක් මත ලියාපදිංචි කෙරෙනු ඇති බව කියමිනුයි.අධිකරණසේවා කොමිසමට ලියන ලිපියද සකසා ගෙනෙන ලෙස දැන්වූවා.විජේසිරි මහතා කෙලින්ම මගේ කාර්‍යාලයෙන් මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් මහේස්ත්‍රාත් තුමා හමුවී මරණ පරීක්ෂණ වාර්තාව අත්සන් කර නොතිබුනු එම පරීක්ෂණය කල මහේස්ත්‍රාත් තුමාට එරෙහිව පැමිනිල්ලක් අධිකරණ සේවාකොමිසමට සිදු කිරීමට මා කටයුතු කරන බැව් පවසා තිබුනා.එය ඇසූඑවක ධුරාය දරමින් සිටි බුද්ධිමත් මහේස්ත්‍රාත්තුමා ගැටලුව විසඳීමට මරණ පරීක්ශක වාර්තාව තමා අත්සන්කර රෙජිස්ට්‍රාර් වරයාට එවීමට තීරණය කරා.විජේසිරි මහත්තය පසුවදා මා හමු උනේ අදාලවාර්තාව මත රෙජිස්ට්‍රාර් වරයා අවුරුදු 14කට පසුව නාලන්ද එල්ලාවල නම් තරුණ මංත්‍රී වරයාගේ මරණය ලියාපදිංචි කල බව දැන්වීමටයි.මම වහාම සුරංගනී එල්ලාවල මැතිනියට දුරකතනයෙන් කතාකර අදාල මරණ සහතිකය ගෙන යාමට කෙනෙක් එවන ලෙස දැන්වූවා.ඇය මට පිංදීමට විනාඩි පහලොවක් විතර ගත්තා.ඉන්පසු මගේ බිරිඳටත් කතාකර මේගැන ප්‍රශංසා කරතිබුනා.ඇයගේ නිවසට අපදෙදෙනාටම ආරාධනා කලා.මම නස්ලන්ද මැතිතුමාගේ අනුස්මරන වැඩඩටහනක් අතර ඇයගේ නිවසට ගියා.එතැන සිටි සියලුදෙනා ඉදිරියේ මේ කතාව පවසා මට ප්‍රශංසා කලා.මම කලේ මේකාර්‍ය වසර 14ගතවීමේ වරදට ඇයගෙන් සමාව ඉල්ලා සිටීමයි .ඒ මාත් අයත් ශ්‍රී ලංකා රාජ්‍ය සේවාව වෙනුවෙනුයි.මේ කාර්‍ය අතරතුර ඩලස් අලහප්පෙරුම මහතාවෙත මේ ගැටලුව ගෙනගිය වර්තමාන නියෝජ්‍ය අමාත්‍ය කරුනාරත්න පරණවිතාන මහතා කොලඹසිට මාසමග වරින්වට සම්බදිකරණ කාර්‍ය කල බවත් සඳහන් කලයුතුයි.

අවසානවශයෙන් රෙජිස්ට්‍රාර් ජෙනරාල් ට යැවූලිපියට ලැබුනු පිලිතුරේ මරණ පරීක්ශක වාර්තාව නැතුව ලියාපදිංචි කල නොහැකිබව සදහන් වූබවත් ඊට මවිසින් දීර්ඝ පිලිතුරක් සැර භාෂාවෙන් ඔහුට යැවූබවත් සටහන් කල යුතුමයි.

11 thoughts on “තරුණ දේශපාලඥයාගේ මරණ සහතිකේ

  1. ජනතා මෙහෙවරෙහි යෙදෙන අතලොස්සක් රජයේ නිළධාරීන් අතරින් කෙනෙකු හදුනාගතිමි. එල්ලාවල මැතිතුමාගේ මෙන්ම අමරලාගේ නයනලාගේ කටයුත්තකදීත් ඔබතුමා මෙලෙසින්ම මැදිහත් වනවා ඇතැයි විශ්වාස කරමි. ජය!!!

    Like

  2. රාජ්‍ය නිලධාරියෙක් විදිහට ඔබතුමා කටයුතු කර තිබෙන ආකාරය ගෞරවනීයයි. චිරං
    ජීවතු…!!!

    Like

  3. ප්‍රභූ පවුලක සාමාජිකයන්ටත් එහෙම වෙනවනං අපිට කවර කතාද දෙයියනේ

    Like

    1. රාජ්‍ය සේවා දඬු අඬුවට අහු වුනොත් ආයි ප්‍රභූ ය නැතිය කියල නෑ.මගේ අත් දැකීම රාජ්‍යසේවාවෙ නිලධාරි වාදෙන් වැඩිම බැටේ කන්නෙ ඉහල මධ්‍යම පංතිය.ඒ අය රාජ්‍යසේවෙට සම්බන්ද අය අඳුනන්නෙ නෑ.නීති විරෝධී විදියට වැඩ කරගන්න පෙලඹෙන්නෙත් නෑ.තර්ක විතර්ක ඇනුම් බැනුම් බලපෑම් කරන්න යන්නෙත් නෑ.ඉතින් බඩුම තමා.

      Like

  4. අම්මපා දිසාපති තුමා එල්ලාවල වගේ ඉහල පවුලක උදවියට මේ දේ කරගන්න අවුරුදු 14ක් ගිය නම්
    දුප්පත් මිනිහෙක් ගැන කවර කතාද

    දැනගන්න මම ඔබතුමාගෙන් අහන්නේ
    රාජ්‍ය සේවයට බැදෙන කොටම වැඩක් කරනවට වඩා නොකර සිටින්නේ කොහොමද කියන දේ ගැන මොනවහරි
    ඩිප්ලෝමා එකක් තියෙනවද

    Like

    1. මම මගේ නිලධාරින්ගෙන් අහපු ප්‍රශ්නෙමයි ඔබ මුලින් මගෙන් අහල තියෙන්නෙ.ඉහල පවුලකට මෙහෙම නම් දුප්පත් මිනිහෙක්ගෙ වැඩක් කොහොම කෙරෙයිද කියල.
      අවාසනාවට බොහො රාජ්‍ය නිලධාරීන් පුරුදුව ඇත්තේ වැඩක් නොකිරීමට ඇති කරුනු ගැන අවධානය යොමුකරන්නයි.මෙයයි රාජ්‍යස්‍රෙවයේ ගැටලුව.

      Like

  5. හනෙ අප්පේ ඇති යන්තං දිසාපතිතුමාට ආයි ඔන්න පංහිඳ අහුවෙලා.

    සබරගමුවේ මිනිස්සුන්ට අහිමි වූ යහපත් තරුණ ජීවිතයක් ගැන මතකය අලුත් කලාට ඉස්තූතියි. එතුමා හිටියා නං ඉඳගන්නට ගන්න පෙරමුණට සෑහෙන සෙතක්

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s