නිධන් හොරකම

දිසාපතිකම කරන එක ලේසි පහසු වැඩක් නෙවෙයි.ඊටත් අම්පාර වගේ පලාතක..අම්පාරෙ ඉන්න ජනතාව ගත්තම අම්පාර දිස්ත්‍රික්කෙ ඇතුලෙ මුලු රටම තියෙනවා.රටේ ජීවත් වන හැමප්‍රධාන ජන කොටසක්ම හැම ආගමක්ම අදහන ජනකොටස් විතරක් නෙවෙයි විවිධ වූ සුලු ජන සංස්කෘතීන් වලට අයිති ජනයා අම්පාර දිස්ත්‍රික්කෙ ජීවත් වෙනවා.බින්තැන්නෙ පොල්ලෙ බැද්දෙ අපේ ප්‍රෞඩ ආදිවාසින්ගෙන් පැවතඑන ජනතාව ඉන්නවා.ඒ අය අද බොහොම අසරණව හිටියත් සිංහල රජවරුන්ගෙ කාලෙ රජ්ජුරුවන්ගෙන් සමානයො හැටියට සැලකුම් ලබාපු මොරාන වරිගෙට අයිති බණ්ඩාර වැද්දො.දානිගල මහ බණ්ඩාරලගෙ කියල නමේ මුල වාසගම තියෙන අයයි තලා බන්ඩාරලගෙ කියන වාසගම තියෙන අයයි ඒ අභිමානවත් වැදි පරපුරේ වර්තමාන නියෝජනය.අනික් පැත්තෙන් ආලයඩිවෙම්බු කොට්ටාශෙ අලිගම්බේ ගමේ ජීවත් වෙන්නෙ තෙලිඟු ජනතාව.අතීතයේ සංචාරක ජීවිතයක් ගතකල ඔහුන් අලිගම්බේ ගමේ පදිංචිවෙලා ජීවනෝපාය වෙනස්කරගෙන ඔලුව උස්සන්න මහා උත්සාහයක් ගනිමිනුයි ඉන්නෙ.ඉස්ලාම් ආගම අදහන පිරිස බහුතරය වුනු දිස්ත්‍රික්කයක් තමයි අම්පාර.එහෙම කිව්වම කවුරුත් කලබල වෙන්න ඕනෙ නෑ අම්පාරදිස්ත්‍රික්කෙ ආරම්භ කරපු වෙලාවෙ ඒ කියන්නෙ 1960විතරවෙනකොටත් ඒ දිස්ත්‍රික්කෙ ඉස්ලාම් ආගම අදහන ජනතාව බහුතරය හැටියටයි හිටියෙ.ඒ අයත් ජීවත්වෙන ගම අනුව තමන්ගෙ අනන්‍ය තාවයක් වෙනම තිබුනා.මරඳමුනේ ඉස්ලාමය බොහොම ආඩම්බරයි තමන් මරඳමුනේ කියල කියන්න.ගම කල්මුනේ නේද ඇහුවම නොවරදවාම උත්තරේට කියන්නෙ මරඳමුනේ කියල.කල්මුනකුඩි ඉස්ලාම් සහෝදරවරු අපි කල්මුනේ කුඩි අය කියල කිව්ව.සායින්දමර්දු ත් එහෙමමයි .මේදවස්වල කල්මුන මහ නගර සභාවෙන් වෙන්වෙල සායින්දමර්දු කියල වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලගෙන ඒඅය මහ සටනක් කරනවා.ඒ තමන්ගෙ ගමේ අනන්‍යතාවය රැක ගන්න එක ලොකු වටිනාකමක් කියල හිතන නිසයි.නින්දවුර් ඔලුවිල් අඩ්ඩාලචේන අක්කරපත්තුව සමන්තුරේ එරගම පොතුවිල් මේ ඉස්ලාම් සහෝදර ජනයා ඉන්න ප්‍රදේශ .ඒහැමෝම තමන්ගෙ ගමේ අනන්‍යතාව ඉදිරියෙන් තියාගෙන ඉන්න අය.ඉස්ලාමීය නොවන බැහැර ජීවත් වෙන අය මේවා දන්නෙ නෑ.මේ අයත් අපි වගේම ගමේකම ආගම වගේම වටින දෙයක් කියල හිතන අය.දෙමල සහෝදර ජනතාව පෙරිය නීලාවනේ කල්මුනේ කාරතිවු,ආලයඩිවෙම්බු, තිරුක්කෝවිල්, සාගම,සංගමංකන්ඩිය,කෝමාරිය,පොතුවිල් වාගෙ ප්‍රදේශවල ජීවත්වෙනවා.බොහෝ ප්‍රදේශවල දරිද්‍රතාවයේ වැඩිම පීඩනයක ඉන්නෙ දෙමල සහෝදර ජනතාවයි.ඉතාමත් කුඩා ගේපැලවල් උනත් බොහොම පිරිසිදුව තියාගෙන ඉන්න පිරිසක් තමයි දෙමල සහෝදර ජනයා.

අම්පාරේ සිංහල ජනතාව ජීවත්වෙන්නෙ ජනපදවල වැඩිවශයෙන් ලංකාවේ විවිධ පලාත්වලින් ඇවිල්ල රටට බත හදන්න මහන්සිවුනු පරම්පරාවල උදවියත් අතීතෙ ඉදන් අම්පාරේ දුෂ්කර ගම්වල ජීවත් උන පැරනි ගැමියනුත් මහවැලි සී කලාපෙ පදිංචි අසූව දශකයෙ ජනපද වැසියනුත් එක්ක සිංහල උදවියත් තුල ලොකු විවිධත්වයක් තියෙනවා.හැබැයි මේ සිංහල උදවියත් බොහොම අපූරු මිනිස්සු.අම්පාරෙ සිංහල දෙමල මුස්ලිම් කතෝලික හිංදු ඉස්ලාම් මෙකීනොකී ඕනම ගෙදරකට ගියහම ආගන්තුක සත්කාරෙ බොහොම ඉහලින්ම කරන එක අපූරු සමානත්වයක් තියෙන සිරිතක්.මේසිරිතෙ වෙනස් කමට මම නිතර කියන උදාහරනයක් තියෙනවා.සිංහල ගෙදරක ආගන්තුක සත්කාරෙදි කෙසෙල් ඇවරිය පිගානක හරි බන්දේසියක හරිතියල පිලිගන්වනවා.ආගන්තුකයා කෙසෙල් ගෙඩියක් ඇවරියෙන් කඩාගෙන බුක්ති විඳිනවා.දෙමල ගෙදරකදි කෙසෙල් ගෙඩි ඇවරියෙන් එකිනෙකවෙන්කරලා බන්දේසියක දාල අල්ලනවා.ආගන්තුකයට වෙනවෙනම තියෙන කෙසෙල් ගෙඩිවලින් එකක් අරගෙන ලෙලි ඇරල කන්න පුලුවන්.මුස්ලිම් ගෙදරකදි කෙසෙල් ගෙඩි වෙන්කරල හෝ ඇවරියෙම තියෙන්න පුලුවන්.හැබැයි ආගන්තුක සත්කාරයේ යෙදෙන කෙනා කෙසෙල් ගෙඩිය බාගෙට ලෙලි ඇරලා ආගන්තුකයගෙ අතට දෙනවා කන්න.ඔන්න ඔහොමයි ආගන්තුක සත්කාරෙ වෙනස පැහැදිලි කරන්න පුලුවන්.

ඉතින් මේවගේ සුන්දර සංස්කෘතීන් අනන්‍යතාවයන් තියෙන දිස්ත්‍රික්කෙක දිසාපති කම කරන කොට මිනිස්සු තමතමන්ගෙ දුක් කම්කටොලු ප්‍රශ්න හදිසි කරදර වලදි ප්‍රාදේශීය පාලනේ ඉන්න නිලධාරීන් හැටියට ඒවට මැදිහත් වෙන්න වෙනවා.අම්පාරෙදි මම නිදාගන්න ඇඳලඟට දුරකතන දිගුවක් සවි කරගත්තෙ ඕනම රාත්‍රියක එන දුරකතන ඇමතුමකට උත්තර දෙන්න.

ඔන්න එක් දවසක් රාත්‍රියෙ නින්දෙ හිටපු මාව අවදිඋනේ දුරකතනෙ සද්දෙට.ඇඳේම ඉඳගෙන දුරකතනයට කතාකරා.

“ඔය දිසාපති තුමාගෙ බංගලාවද”?කවුදෝ කෙනෙක් අහනවා.

“ඔව් මම අම්පාර දිසාපති තමයි කතා කරන්නෙ.කවුද?මේ කතාකරන්නෙ.”

“සමාවෙන්න දිසාපතිතුමනි කරදර කරාට අපිට ලොකු ප්‍රශ්නයක් වෙලා ඒකයි කතාකරේ.”

“හරි ඉතින් කියමුකො බලන්න ප්‍රශ්නෙ”

“සර් අපි මේ වඩිනා ගල පැත්තෙ.මේදැන් අපේ ගමේ නිධානයක් ගන්න පිටින් කන්ඩායමක් ඇවිල්ලාමේකට මොකක් හරි කරන්න.ඒක දන්නන්නයි කතාකලේ.”

“කොහොමද දන්නෙ නිදන් හාරන්න කියල?”

“සර් මෙහෙ ඔය නිදානෙ ගැන හුඟක් ප්‍රසිද්ධයි.මීට කලිනුත් මේක හාරන්න කට්ටිය ආවා ඒත් ගමේ අය විරුද්ධ නිසා බැරි උනා”.

“ඉතින් පොලිසියට කියන්න.ඒ අය එයිනෙ.”

“සර් පොලිසියට අතගහන්න බැරි ලොක්කො මේකට ඇවිත් තියෙන්නෙ.අදහවස ඉදන් අපි පොලිසියට කිව්වා.ඒ අය එන්නම් කිව්වට එන්නෙ නෑ.බැරි තැනයි සර්ට කතාකරේ.”

“හරි දැන් ඔයා ඉන්නෙ කොහේද”?

“මම ඉන්නෙ පංසලේ.හාමුදුරුවොයි අපි ඒ කීපදෙනෙකුයි මෙතන ඉන්නවා.”

“දැන් නිධන් හාරන්න ආපු අය කොහේද ඉන්නෙ?”

“ඒ අය හේන් යාය පැත්තට ගියා.නිදානෙ තියෙන්නෙ එහෙ මෙතන ඉඳන්ලොකු දුරක් නෙවෙයි”.

“මොකේ ද ඒ අය ආවෙ?කීදෙනෙක්ද?”

“ලොකු ජීප් දෙකක කීදෙනෙක් ගිටියද දන්නෙ නෑ.හැබැයි හවස ඉඳන් දෙන්නෙක් ඒපැත්තෙ හිටියා.ජීප්වල කට්ටිය ඇවිත් දැන් පැයක් විතර ඇති.මොකක් හරි කරන්න සර්.”

“හරි.ගමේ මිනිස්සු කොහොමද?ඒඅය එකමුතුද?”

“ඔව් ඔව් අපේ ගමේ සේරම මේකට විරුද්ධයි.හැබැයි අපි මොනව කරන්නද සර්?”

“හරි මම උපදෙසක් දෙන්නම්.හැබැයි ඒක හරියට කරන්න ඕනා එතකොට මට මැදිහත් උනෑකි තේරුනාද?”

“ඔව් සර් මොකක්ද කියන්නකො.”

“දැන් පංසලේ ඝන්ටාරේ ගහල ගමේ අය එකතු කරල ඔයනිදන් ගන්න ආපු අයට ආපහු යන්න බැරිවෙන්න වට කරන්න.රාත්‍රි නිසා ඔයාලව පේන්නෙ නෑනෙ.ලොකුවට කෑගහල වට කරන්න.ඒක කරල මට වහාම කතාකරන්න.මම උදව්වට පොලිසිය එවන්නම්.හැබැයි පාරට ලොකු කොට දාල බ්ලොක් කරන්න .මිනිස්සු පැන්නත් වාහන දෙක අල්ලතහැකි.එතකොට”.

“සර් පොලිසිය එවනවනෙ එහෙනම්”

“හරිහරි වට කරල කියන්න.මමතොරතුර බලාගෙන ඉන්නවා.”

“හරි සර්.මෙන්න හාමුදුරුවන්ට කතා කරන්න ඕනලු.”

“හාමුදුරුවනේ මම කරන්න ඕනදේ කිව්වා.ඒකකරල කියන්න මම පොලිසියෙන් එවන්නම්.”

“දිසාපතිතුමා හවස ඉදන් මම පොලිසියට කතාකරා ආවෙ නෑ ඒගොල්ල දැනුවත්ව මේකවෙන්නෙ.”

“හරි ඔය මට කතාකල කෙනාට කිව්ව විදියට වැඩේ කරල කියන්න.හැබැයි කාටවත් ගහන්න හිරිහැර කරන්න එපා.ගන්ටාරේ ගහල මිනිස්සු රැස්කරල අරුන් ඉන්න තැන වටකරන්න. පැනල යන්න ආවොත් මරනව කිව්වට කමක් නෑ.ගලක් වත් ගහන්න දෙන්න එපා වටකරගෙන මට කෝලෙකක් දෙන්න.මම ආයුධත් එක්ක පොලිසිය එවන්නම්.හාමුදුරුවො එන පොලිසියෙ අයට විස්තරේ කියන්න.ඉක්මන් කරන්න හාමුදුරුවනේ.”

“හරි මහත්තයො මමවැඩේකරල පැය භාගෙන් කතා කරන්නම්.”

මේවෙනකොට මගේ නිදිමත අතුරුදහන් වෙලා.වහාම සාලෙට ඇවිත් මගේ ගෝලයට කතා කරල තේ එකක් වක් කරන්න කිව්වා. ආරක්ෂක පොලිස් නිලධාරීන් දෙදෙනටයි රියදුරු ජයසේනටයි හදිසි ගමනකට සූදානම් වෙන්න කිව්වා.මගේ මේ ටීම් එක ඕන වැඩකට ඔට්ටු කට්ටිය.

“සර් සාජන් මහත්තයට එන්න කියන්නද?”පොලිස් නිලධාරි සරත් ඇහුවා.

“නෑ සරත් ඔයයි කුමාරයි ලෑස්ති වෙන්න එක්කෙනෙක් යුනිෆෝම් දාගන්න.”

මේ දවස්වල මගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරිය පොලිස් සැරයන්ලක්ෂමන් කුමාරදාස.මගේ ගමේ එකට ස්කෝලෙ ගිය මිත්‍රයෙක්.මිනිහ රාත්‍රි ඩියුටියේ නෙවෙයි ඕෆ් වෙලා ගෙදර හිටියේ.

පැය භාගෙකින් විනාඩි හතලිස් පහකින් ටෙලිපෝන් එක වැදුනා.හාමුදුරුවෝ කතාකලා.

“හරි සර් වැඩේ නියමෙට කෙරුනා මුලු ගමම ඇවිත් දැන් අරුන් ඉන්න හරිය වටකරගෙන ඉන්නෙ.පාරත් කොටදාල අහුරල තියෙන්නෙ.”

“හරි හාමුදුරුවනෙ.විනාඩි පහෙන් මම කතාකරන්නම්.’

මම වහාම පොලිසියෙ ලොක්කෙකුට කතාකරා.තුන්හතර පාරක් ටෙලිපෝනෙක වදින කොට මිනිහ කතාකරා.

“බානගල(අන්වර්ත නමක්)මම ජී ඒ ලොකු හදිසියක්.”

“ඔව් සර් මොකක්ද? “මිනිහ නිදි මතේම කතාකලා

“මල කෙලියක් බානගල වඩිනාගල නිධානයක් ගන්න වාහනවලින් ආපු කන්ඩායමක් වටකරගෙන ගමේ එවුන්.දැන් එක කෙලියයි මුලු ගමම කුලප්පු වෙලාලු “.

“හත්තිලව්වයි .සර් ජංජාලයක් වෙන්නෙ එහෙනම්” මිනිහ කල බල උනා.

“ඔව් බානගල ගමේ එකාල පිස්සු හැදිල වගේ කැති උදලු අරගෙන අරුන්ව වටකරලලු.දැන්ම කට්ටියක් යවල.මිනිස්සුන්ව කොන්ට්‍රෝල් කරල අරුන්ව අල්ල ගනිං.නැත්නම් හෙට නිධන් කාරයින්ගෙ මිනී එකතු කරන්නයි වෙන්නෙ.”

“රයිට් සර් දැන්ම ටීම් එකක් යවන්නම්.”

“බානගල,මොලේ ඇති එකෙක්ව යවපන් ටීම් එක භාරව මිනිස්සු කිපිල ඉන්නෙ.මමත් ටිකකින් යනවා.”

“බුදුසර් සර් නම් යන්න එපා මම වැඩේ බලන්නම් .සර් ගිහින් ඔය කල බල අස්සෙ මොකක් හරි උනොත් මමත් ඉවරයි.අනිවාර් යයෙන් මම තත්වෙ කියන්නම් සර් ඉන්න.”

“හරි එහෙනම් පැය භාගයක්තුල වඩිනාගල හේන් යාය පාරට කට්ටිය යවපන් හාමුදුරුවන්ට කතාකරල මිනිස්සු ශේප් කරගන්නත් කියපං.නිධන් කාරයො ටික ඇරෙස්ට් කරල ගේන්නත් කියපං.”

“හරි සර් මම වැඩේ කරන්නම්.එහෙනම් සර් යන්නෙ නෑනෙ”.

“හරි මම යන්නෙ නෑ.උඹ වැඩේ බලා ගනින්”

දැන් වැඩේ හරි .අනික් අතට හාමුදුරුවන්ට කතාකරා.

“හාමුදුරුවනේ පැය භාගයක් තුල පොලිස් ටීම් එකක් එයි.ඔබවහන්සේ හමු වෙයි.කියන්න නිධන් කාරයො ඉවරයක් කරනකම් මිනිස්සු අයින් වෙන්නෙ නෑ කියල.මිනිස්සුන්ව ශේප් කරන්න නම් නිධන් කාරයින්ව අතඩංගුවට අරගෙන උසාවිදානව කියල පොරොන්දුවෙන්න කියලත් කියන්න.ඔබවහන්සෙ මේබව මටත් කිව්ව කියන්න..ගැටලුවක් උනොත් කතා කරන්න මමත් එනව එහෙම උනොත්.”

“හරි සර් බොහොම පිං කල උදව්වට.”

පැයකින් විතර හාමුදුරුවො කතාකරා.

“හරි සර් පොලිසියෙ ලොකු කන්ඩායමක් ආවා.ආපු මහත්තුරු හොඳයි නිදන් කාරයො හතර දෙනෙක් අල්ල ගත්තා.උසාවිදානව කියල අරංගියා.හැබැයි වාහන දෙක අත ඇරිය.”

“වාහනදෙකේ අංක බලා ගත්තෙ නැතිද?”

“බලාගත්ත බලා ගත්ත.”කියල අංක දෙක කිව්වා.මම ඒකත් ලියා ගත්තා.

තව ටිකවෙලාවකින් මගේ පොලිස් මිත්‍රය කතා කරා.

“සර් හරි හතරදෙනෙක් ඇරෙස්ට් කරා.හෙට උසාවි දානවා.මිනිස්සු ශේප්කරා දැන් ප්‍රශ්නෙ ඉවරයි.”

“බොහොම ස්තූතියි බානගල.උඹට වැඩක් කිව්වම මමදන්නවනෙ ඉතින්..”.

“තෑන්කිව් වෙරිමච් සර්.අපි සර් කියන දෙයක් නොකර ඉන්නවද ඉතින්”

“හරි බං ඒකනෙ මහ රෑත් උඹව කූද්දල එක එක මරාල පටවන්නෙ” කියල මම හිනාඋනා.මිනිහත් මට සුභ පතල කතාව ඉවර කලා.

පහුවෙනිද නිවාඩු දවස.මගේ හිතවතෙක් ඉන්නවා අම්පාර රිමාන්ඩ් බන්ධනාගාරෙ ලඟ.මිනිහ මම හමුවෙන්න ආපු වෙලාවෙ කියනව අපූරු කතාවක්

“සර් ඊයෙ නිධන් හාරන්න ආපු කට්ටියක් රාත්‍රියෙ වැටලීමකින් අහුවෙල රිමාන්ඩ් කරල.පිට පලාතකින් ආපු උන් හතර දෙනෙක්ලු.”

“ආ ඇත්තද කොහේ එවුන්ද දන්නෙ නෑ නේද?”මම ඇහුවා.

“දන්නෙ නෑ සර් ඒවුනාට ලොකු ජීපෙකක තමයි බලන්න එන අය එන්නෙ.කවුරු හරි ලොක්කෙක්ගෙ කට්ටිය වගෙයි”.

“ලොකු ජීප් එකක.ඔයාටබැරිද ඒ ජීප් නම්බර් එක බලා ගන්න.”

“හරිසර් ආයෙ ආවොත් මම බලා ගන කියන්නම්”

එදා හවසම මිනිහ වාහන නම්බර් එක බලාගෙන මට දුන්නා.එදාරාත්‍රි නිධන් කොල්ලයෙන් පැනල ගිය වාහන අංකදෙකෙන් එකක්.පහුවෙනිද මම මෝටර් රථ කොමසාරිස් කාර්‍යාලෙට කතා කරල වාහන අංක දෙක දීලා ඒවාහන ලියාපදිංචි කර ඇත්තේ කා නමටදැයි බලන්න කිව්වා.වහාම පිලිතුර ලැබුනෙ රජයේ ආයතනයක් නමට කියලයි.

මම අපේ පොලිස් මිත්‍රයට කතා කලා.

“බානගල,කොහොමද?මොකද උනේ අර නිධන් ඇකියුස්ලට,ඇපදුන්නද?”

“මොන පිස්සුද සර් ,උන් රිමාන්ඩ්.ඇපදෙන්න බෑනෙ නිධන් කේස් වලට.”

“හොඳයි හැබැයි එදාරාත්‍රි උඹල වාහන දෙක අල්ලගත්තෙ නැති එකයි වරද.”

“අනේ නෑ සර් වාහන තිබුනෙ නෑ කියලයි රේඩ් එකට ගිය එවුන් කිව්වෙ.තිබුන අනිවාර්‍යෙන් අල්ලනව.”

“නෑ බානගල වාහන තිබුනා මෙන්න මේ අංක වල වාහන දෙක තිබුනෙ.ඒවාහන අයිති …………………….. ආයතනෙට. ඒවිතරක් නෙවෙයි මේ කට්ටියගෙ මූමන්ට් එක පොලිසිය දැනගෙන හිටිය.ඒකයි ගමේ අය හවස ඉදන් කිව්වත් පැත්ත පලාතෙ නොගියෙ.”

“හැබැයි සර් මම නම් මොකුත් දැනගෙන හිටියෙ නෑ.එහෙමනම් මම මුන්ව අල්ලනවද?”

“නෑ උඹත් දැන ගෙන හිටිය කියලයි මම හිතන්නෙ.මටඑහෙම හිතුනු නිසයි.මම මිනිස්සුන්ට කිව්වෙ උන්ව වටකරල පාර බ්ලොක් කරල මට කියන්න කියල.මම උඹට කිව්වම ගමේ එවුන් නිධන් කාරයින්ට වැඩේ දෙයි කියල උඹ කලබල උනේ එතන ආපු එවුන්ගෙ සමහරඑවුන් ලොකු තැන්වලට සම්බන්ද අයනිසා තමයි.උඹලා ඔය අල්ලගෙන ඉන්නෙ එතන හිටපු සොක්කො ටිකනෙ.හැබැයි නිධන් හෑරිල්ල කරන්න බැරි උනේ මගෙ ප්ලෑන් එකට ගමේ එවුන් වැඩ කරපු නිසා.අර ආපු එවුන් එලිදරව් උනොත් උඹටත් ලොකු තැන්වලින් දෝස්මුරේ එනනිසා උන්ව බේරගන්න උඹ ඉක්මනින් කට්ටිය යවනව කියල මම දැනගෙනයි වැඩේ කරේ.හරිද?”

“බුදු අම්මේ සර් සර්ද ගමේ එවුන්ට උන්ව වටකරන්න කිව්වෙ මේපොලිසිය අවුරුදු තිහක් විතර පරණ මටත් නැති ප්ලෑන්නෙ සර්ට තියෙන්නෙ”.

“ඔව් බානගල මම එහෙම කිව්වෙ මම උඹට එහෙම නොකර කිව්වනම් උඹේ එවුන් යන්න ඉස්සෙල්ලා නිදන් කාරයො අයින් වෙන නිසයි.මගේ අනුමානෙ හරිනෙ.?”

“මොනව කරන්නද සර්.අපේ මේ රස්සාවෙ හැටියට කොරන්නවෙන අසමජ්ජාතිවැඩ වලට.සර් හිතන්න එපා ඒවා මේ හිතට එකඟව කෙරෙන ඒවා කියල.අපිත් ජීවත්වෙන්න කරන රස්සාවනෙ සර්.පුංචි දේකින් අපිව එලියට දාන්න ලොක්කන්ට පුලුවන්නෙ.එහෙම උනම අපිට කැඳ උගුරක් වත් දෙන්න කෙනෙක් නෑනෙ.ඉතින් ඉඳල හිටල ඔය ලොක්කොකියන පාහරවැඩ වලට අහක බලා ගන ඉන්න වෙනවනෙ හැබැයි මේ අයිඩියා එකට තෑගි දෙන්න වටිනවා සර්ට.”

“ඔයටික මටතේරුන නිසයි මම තොරතුර ලැබුන ගමන් උඹට නොකියා අර්බුදයක් හැදුවෙ.මේවගේ දිස්ත්‍රික්කයක් පාලනය කරන්න නම් ඔය වගේ හිතන්න තරම් මොලයක් නැතුව බෑ.”

මම කතාව ඉවර කලා.මේ පොලිස් නිලධාරයා නරක අයෙක් නොවන බවත් සැබවින්ම බලවතුන් ඉදිරියේ අසරණයෙක් බවත්ීන් පසුවත් මාහට බොහෝසේ මහජන ප්‍රශ්න වලදී උපකාර කල අයෙක් බවත් සටහන් කල යුතුයි.

19 thoughts on “නිධන් හොරකම

  1. මේ උදවිය රාජ්‍ය අනුග්‍රහය ඇතුව නිධන් හාරනව නම් මොනවා කරද්ද වැටත් නියරත් ගොයම් කා නම් …. 😦

    Like

  2. හැමතැනකම ඔබ වගේ නිලදාරින් හිටියනම්…
    ඔබතුමා තවමත් රාජකරි කරන්වද කොයි ඉසව්වෙද

    Like

  3. බානගල බා යන්න විතරක් ෙවනස් කරලා නම හිතාගත්තම හරි ෙන් සර්. ෙහාදම අත්දැකීමක්ද සහ පාඩමක්. දිගටම ලියන්න සර්.

    Like

  4. මම පොල්ලෙ බැද්දෙ ගෝඹාව මුණ ගැහෙන්න අවු කීපයකට කලින් ගියා. හරිම අහිංසක පුද්ගලයෙක්. දඹානෙ අයට වඩා වෙනස්.

    තෙලඟු අය අතරේ අහිගුණ්ඩික ජනතාවත් ඉන්නවද?
    මිස්ටර් කන්නන්ගරට මුහුදු වැදි ජනතාව ගැනත් ගැන අත්දැකීම් තියනවද?

    Like

  5. දිසා හාමුදුරුවො තමන්ගෙ වැයික්කිය රැක ගත්තෙ එහෙමයි එහෙනං.
    හැම කෙනාටම යා හැකි දුරක් තිබේ. ඔබතුමා ඒ හැකි දුරට වඩා බොහෝ දුර ගොස් තිබේ.

    Liked by 1 person

  6. නිදන් ගන්නා එක නිතිවිරෝධී නැහැ. ගොඩක් අය හිරේ යන්නේ නිදන් හැරුවට නෙමේ, පුරා විද්‍යා රක්ෂිත වල අනවසර කැනීම් සිදුකරලා. තමුන්ගේ ඉඩමක නිදානයක් තියෙනවා කියලා දන්නවා නං ඒකට අදාල අවසර අරං හාර ගන්න පුළුවන්. අවසර ගන්නා එකත් අමාරු නැහැ. ඉඩම පුරාවිද්‍යාත්මක වටිනාකමක් ඇති තැනක් නෙමේ කියලා අවසර ගන්න ඕනි, ආයේ භූ විද්‍යා සහ පතල් කැනීම් එකෙන්. ඒ අවසරය ඕනිත් යම්කිසි ගැඹුරකට පොලව හාරනවා නං විතරයි.

    ඒ වගේම මේවයින් ලැබෙන වස්තුව මෙරට වගේම විදේශ රටවලටත් විකුන්න පුළුවන්. පොලිසියත් නිතිය දන්නේ නෑ. මිනිස්සුත් නිතිය දන්නේ නැහැ. ඊට පස්සේ ආණ්ඩුවට පලු යන්න බනිනවා පොලව යට තියෙන නිදන් ගන්න දෙන්නේ නෑ අරක මේක කියලා. මෝඩ සිංහලු.

    Like

    1. ඔහොම වැඩ හුඟක් කරල තියෙනවා.ඒවායින් බලවතුන්ගේ වෛරයටත් පොදු ජනයාගේ ගෞරවයටත් ලක් වුනා.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s