කරංකෝව ඉඩම් කොල්ලය

හුඟ කාලෙකින් පන්හිඳ අතට ගන්න බැරුව හිටියෙ වෙන මොකවත් හින්ද නෙවෙයි රටේ සිද්ද වුන බිහිසුණු ත්‍රස්තවාදෙ නිසා යි. මේ බිහිසුනු ත්‍රස්තවාදෙ නිසා අපි සාමාන්‍ය මිනිස්සු හිරිවැටිල ගියා. හිරිවැටුනම හෙලවෙන්නවත් බෑනෙ. ඉතින් අනේ අපිට වෙච්චදේ! කියල විස්සෝප වෙවී කරන්න තියෙන කටයුතු ටික බලාගෙන හිටිය. මෙහෙම ඉන්න කොට ආපහු සැරයක් පන්හිඳේ ලියවෙන දිසාපති පට්ටම දරාපු මුල්‍ යුගයට ආපහු මාව අරගෙන ගිය ප්‍රවෘතියක් ගිය සතියෙ ඉරිදා ලංකාදීප පත්තරේ දැක්කා. අපේ රටේ බොහොම පළපුරුදු ජනමාධ්‍යවේදියෙක් වෙන අජිත් ශාන්තලාල් උදය තමයි මේ ලිපිය ලංකාදීපෙට කරල තිබුනෙ. අජිත් මහත්තයට බොහොම පිං ආපහු සැරයක් මාව මේ ගිනිවිජ්ජුම්බරවලින් අතීතෙට අරගෙන ගියාට. දැන් මම කරන්න යන්නෙ ඒ අජිත් ලියල තිබුන සිද්දියෙ පූර්ණ කතාව සටහන් කිරීමයි.

මම අම්පාර දිස්ත්‍රික්කෙ දිසාපති හැටියට වැඩ බාර ගෙන රාජකාරි කරගෙන යන අතර 2007 මාර්තු මාසෙ 21වෙනිද මගේ පුද්ගලික සහකාර සුමනසිරි මහත්තය මතක් කරා හෙට දිනයෙ පලාත් ඉඩම් කොමසාරිස් සහභාගි වෙන රැස්වීමක් මගේ කාර්‍යාලයෙදි පැවැත්වීමට නියමිතයි කියල. මගේ පූර්වගාමී දිසාපතිවරයා වූ හේරත් අබේවීර මහතා මේ රැස්වීමට දින යොදා තිබුනේ දෙසැම්බර් මාසෙ මුලදි තිබුනු රැස්වීමකදි බවත් සුමනසිරි මහත්තය නැත්නම් අම්පාර දිසාපතිවරයාගේ පුද්ගලික සහකාර නිලධාරිය දැනුම් දුන්නා.

නියමිත දවසෙ මේ රැස්වීමට වන දෙපාර්තමේන්තුවෙ දිසා වන නිලදාරි ලලිත් ගමගේ, ලාහුගල ප්‍ර.ලේ ආරියදාස, පොතුවිල් ප්‍රා.ලේ අන්සාර්, අතිරේක දිසාපති අසංක, පලාත් ඉඩම් කොමසාරිස් ඇතුලු නිලධාරින් පැමිණියා. ඒත් එක්කම සාමාන්‍ය ජනතාවගේ නියෝජිතයින්ද කීපදෙනෙක් ආවා. මේ අය අතර අධ්‍යාපන කාර්‍යාලෙ පොතුවිල්වල වැඩකරන නිලධාරියෙකුත් හිටියා. එයාව මම හඳුනන නිසා මම මිනිහට කතාකලා.

“ආ මිස්ටර් ජෙයිනුදීන්. අද මොකද මෙහේ?” මම විමසුවා.

“සර් මේ රැස්වීමට තමයි ආවෙ. මගෙත් ඉඩමක් තියෙනවා”

“මොනවා! ඔයාගෙ ඉඩමක් කොහොමද මෙතන තියෙන්නෙ? ඔයා රජයේ මාණ්ඩලික නිලධාරියෙක්නෙ. මේ ඉඩම් ප්‍රශ්නෙ ගොවීන්ගෙ එකක්නෙ.”

“නෑ සර්, මගෙ නෝනගෙ නමින් තියෙන්නෙ”

“ඔයා රජයේ නිලධාරියෙක් නිසා ගොවීන්ට දෙන ඉඩම් ගන්න බෑ. ඔයාගෙ නෝන නමිනුත් බෑනෙ”

මෙහෙම කියල මම රැස්වීමට වාඩි උනා. මේ රැස්වීමෙ හිටියෙ ලාහුගල පොතුවිල් ප්‍රා.ලේල දෙන්නයි, වන සංරක්ෂණ දිස්ත්‍රික් කාර්‍යාලෙයි පලාත් ඉඩම් කොමසාරිස්, අම්පාර සහකාර කොමසාරිස් ඉඩම් යන රජයේ නිලධාරිනුයි, ඉඩම් වගාකලේ යැයි කියන පොතුවිල් වාසීන් කීපදෙනෙක් සහ මේ ඉඩම් තමන් විසින් වගා කරමින් සිටියදී බලහත්කාරයෙන් පොතුවිල් වාසි පිරිස පැමිණ අල්ලගත් බව කියමින් අයිතිවාසිකම් ඉදිරිපත් කල ලාහුගල සිංහල වැසියන් කීප දෙනෙකුයි. පිරිස හඳුනගෙන රැස්වීම ආරම්භ කලා. පලාත් ඉඩම් කොමසාරිස් නෝනා පසුබිම විස්තර කරා.

– දෙදාස් දෙක අවුරුද්දෙ සාම ගිවිසුම අත්සන් කල පසු පොතුවිල්වාසී පිරිසක් ලාහුගල ගොටුකොලපිටිය ප්‍රදේශයේ ඉඩම් ශුධ කරමින් වගා කටයුතු ආරම්භ කර ඇත. වන දෙපාර්තමේන්තුව කීපදෙනෙකුට නඩුදමා දඩ ගසා ඇත. එහෙත් එය නොතකා අලුතින් ඉඩම් ශුධ කරමින් වගාබිම් ප්‍රමණය දිගින් දිගටම වැඩි කිරීමට පොතුවිල් වාසීන් ක්‍රියා කර ඇත. මේ අතර මෙම ඉඩම් ලහුගල් ප්‍ර.ලේ කොටසට අයත් බවත්, මේවා තමන්ගේ හේන් බිම් ලෙස වගාකල ඉඩම් බවත් පවසමින් ලාහුගල සිංහල වැසියන්ද අයිතිවාසිකම් කියා ඉදිරිපත්වීමෙන් සිංහල මුස්ලිම් ගැටලුවක් බවට පත් වී ඇත. මේ ගැටලුව ගැන වරින් වර රැස්වීම් පවත්වමින් කටයුතු කර ඇති අතර මේ අන්දමින් පුද්ගලයින් අනවසර්‍යෙන් වගා කරන බිම් ප්‍රමාණය මැනුම් කර එම බිම් ලහුගල ප්‍රා.ලේ කාර්‍යාලයට අයත් බවත්, දැනට වගා කරන බිම් ප්‍රමාණය අක්කර පන්සීයක් බවත් හඳුනාගෙන එම අක්කර පන්සීය අනවසරයෙන් වගා කරන්නන්ගෙන් ගොවි පංතියට අයත් පුද්ගලයින් හඳුනාගෙන ඔවුන් නමින් නියමානුකිරීම සඳහා කට්ටි කැඩීමේ සැලැස්මක්ද පිළියෙල කර ඇති බවත්, මෙතෙක් පොතුවිල් ප්‍රාදේශීය ලේකම් වගා කරුවන්ගේ නාම ලේඛනය ලබා නොදුන් බවත් විස්තර කෙරිනි. –

රැස්වීම ආරම්භයේදී ලැබුණු ඉහත විස්තරය ඇහුවම මට ලොකු අවබෝධයක් ගැටලුව ගැන ලැබුනා. මම පොතුවිල් ප්‍රා.ලේගෙන් විමසුවා.

“හරි, පොතුවිල් ප්‍රාදේශීය ලේකම් මිස්ටර් අන්සාර් මොකද මේ ගැන කියන්නෙ?”

“සර්, මට වගා කරන අයගෙ ලැයිස්තුව හදන්න ගියහම ගැටලු තියෙන නිසා ඒ වැඩේ ප්‍රමාද වෙනවා” අන්සාර් උත්තර දුන්නා.

“හරි ලාහුගල ප්‍රා.ලේ ආරියදාස මහත්තය මොකද මේ ගැන කියන්නෙ?”

“සර් මේ ඉඩම් අයිති ලාහුගලට. පොතුවිල් අය බලෙන් අල්ල ගත්තෙ ලාහුගල ඉඩම්. ලාහුගල මහ ජනතාව තමන් හේන්වගා කරපු ඉඩම් රජයෙන් දෙනවනම් ඒ අයට ඕන කියලයි කියන්නෙ. පොතුවිල් අයට ලාහුගලින් ඉඩම් දුන්නොත් ලාහුගල ප්‍රා.ලේ කොට්ටාසෙ ජනවර්ග අනුපාතයත් වෙනස් වෙනවා. මේකට ලාහුගල අය විරුද්ධයි. ඒත් දැන් වගා කරන අය නමින් නියමානුකූල කරන්න තීරණ අරගෙන තිබුනට මේ වගා කරන අය පොතුවිල් අය. අපේ ග්‍රාම නිලධාරි ඒ අයගෙ නම් වත් දන්නෙ නෑ. මේ කාරණා නිසා අපි හිරවෙලා ඉන්නවා.”

“හොඳයි ලාහුගල ගම්වාසින් මොකද කියන්නෙ?”

“සර් මේ ඉඩම් මංකොල්ලයක්. මේවා අපි හේන් කොටපු ඉඩම්. මේවා අයිති ලාහුගලට. මේ පොතුවිල් ඉඳන් සංවිධානාත්මකව කණ්ඩායම් අපේ ගම්වලට ඇවිල්ල මේ කැලෑව කොටල වගා කරනව. අපි කැලෑවට ගියොත් අපිට නඩු. ඒත් අක්කර හාර පන්සීය කැලේ කපන අයට මොකුත් නෑ. අපි තදින්ම විරුද්ධයි මේ ඉඩම් පොතුවිල් අයට දෙනවට.” ලාහුගල් ප්‍රදේශීය සභාවෙ උප සභාපති උදයලාල් මහ හයියෙන් කිව්වා.

“දැන් පොතුවිල් අය මොකද කියන්නෙ?”

“දිසාපතිතුමනි, අපි ඉස්සර වැහි කාලෙට වගා කරපු මේ ඉඩම් යුද්දෙ නිසා වගා කරන්න බැරුව ගිහින් තිබුනෙ. ඉතින් සාම ගිවිසුම ආවහම අපි ආපහු ඇවිල්ල ඉඩම් ශුධ කරල වැඩ කරා. ඒකට ෆොරස්ට් ඩිපාර්ට්මන්ට් එක අපිට කරදර කරනවා. ඉතින් අපි කලින් වගා කරපු ඉඩම් වගා කරන්න බාධා කරන්න එපා කියලයි ඉල්ලන්නෙ. ඒකට අපිට බලපත්‍රයක් දෙන්න. ලාහුගල මේ අය දන්නවා මේවා අපි වැඩ කරපු ඉඩම් කියල. ඇයි මේ අසාධාරණ විදියට අපිට බාධා කරන්නෙ?”

“හරි අපි අහල බලමු වන දෙපාර්තමේන්තුවෙ අදහස් මොනවද කියල. ඔව් ලලිත් ගමගේ මහත්තය?”

“සර් මේ ඉඩම් කැලෑ ඉඩම්. කලින් වගා කරා කිව්වට ඒක පිලිගන්න අමාරුයි. විශාල වන විනාශයක් කරමින් තමයි මේ වගාව වෙන්නෙ. විවිධ බලපෑම් නිසා මේ අනවසර අල්ලගැනීම් නවත්වන්න අමාරුවෙලා තියෙනවා. අපි නඩු රාශියක් දාල තිබුනට දඩේ ගෙවල ඇවිත් ආයිත් මේ ඉඩම් අල්ලනවා. වනජීවී දෙපාර්තමේන්තුව අලි මාරුවෙන කපොල්ලක් හැටියට යොදාගන්න සැලසුම් කල භූමිය තමයි මේ වගාව කෙරෙන්නෙ. කිසිම අවසරයකින් තොරව කැලෑ ඉඩම් එලිකිරීමට ඉඩ දෙන්න බෑ.”

මේ සියල්ල අහගෙන හිටපු මම කතා කලා.

“දැන් මේ ප්‍රශ්නෙට අදාල සියලු දෙනාටම අපි ඇහුම්කන් දුන්නා. මෙතන ලොකු ගැටලුවක් පැන නැඟිල තියෙන බව පැහැදිලියි. මේ ප්‍රශ්නගත ඉඩම් මිනිස්සුන්ගෙ පරිහරණයේ යුද්ධය ආරම්භයට පෙරදි තිබුනද? නැතිද?කියන එක මුලින්ම තෝරා බේරාගැනීම එක ගැටලුවක්. මිනිස්සුන්ගෙ පරිහරණයේ තිබුනනම් වන දෙපර්තමේන්තුව එක්ක තියෙන ප්‍රශ්නෙ ඉවරවෙනව. එහෙම නම් අපිට ඒ පරිහරණය කල අයට දැනුත් පරිහරණය කරන්න ඉඩ දෙන්න වෙනවා. ඒකට කලින් පරිහරණය කලේ පොතුවිල් අයද ලාහුගල අයද කියල දැන ගන්නත් ඕනා. ඒක තමයි දෙවනියට තෝරා බේරා ගන්න තියෙන්නෙ. දැන් මේ කාරණේ විසඳන්න තියෙන්නෙ රටේ නීතිය අනුව විතරයි. දැනට මේ ඉඩම පොතුවිල් අය අනවසරයෙන් වගා කරනවා. ප්‍රශ්නෙ හරියට පිළිවෙලට විසඳන්නෙ නැතුව ඒ අය නමින් නියමනුකූල කරන්න කට්ටි කැඩීමේ සැලැස්මක් හදන්න නීතිය අනුව බෑ. දැන් රටේ තියෙන නීතිය අනුව අනවසරයෙන් වගා කරන ඉඩම් නියමානුකූල කරන්න පුලුවන් වෙන්නෙ 1995 ජුනි 1දිනට කලින් ඒ ඉඩම් අනවසරයෙන් වගාකල බව ඔප්පු කලොත් විතරයි. එහෙම ඔප්පු කලත් ඒ වගාකරන ඉඩම රජයේ කාර්‍යකට අවශ්‍ය නම් නියමානුකූල කරන්න බෑ. මේ ප්‍රශ්නෙදි ඒ නීතිය අනුව කටයුතු කිරීමයි කලයුත්තේ. ඒ නිසා මුලින්ම ඉඩම්වලට අයිතිවාසිකම් කියන අය මාස දෙකක් ඇතුලත තමන් 1995/6/1 දිනට කලින් මේ ඉඩම් වගා කල බවට ලිඛිත සාධක කච්චේරියට ඉදිරිපත් කරන්න ඕන. ඒ විදියට සාධක ඇතුව ඔප්පු කරන කෙනා සිංහල උනත්, දෙමළ උනත්, මුස්ලිම් උනත් ඒ අය නමින් ඉඩම් නියමානුකූල කරල බලපත්‍ර දෙනව එක්කෙනෙකුට අක්කර දෙකක උපරිමයට යටත්ව. හැබැයි ඒ අය ගොවියො වෙන්නත් ඕන. රජයෙන් වගා කරන්න ඉඩම් ගන්න පුලුවන් ගොවීන්ට විතරයි. ඒ නිසා මේ කට්ටි කැඩීමේ සැලැස්ම එතෙක් පැත්තක තියනවා. ආයෙ කවුරු හරි ඉඩමට ඇතුල්වෙනව නම් අර මම කලින් කියපු ලිඛිත සාක්ෂි නැත්නම් වන නිලධාරීන් ඒ අයව උසාවියට ඉදිරිපත් කරල දඬුවම් කරන්න කටයුතු කරන්න ඕන. නැවත අපි රැස්වෙන්නෙ අර ලිඛිත සාක්ෂි ඉදිරිපත් උනොත් විතරයි. එතෙක් මේ ඉඩම්වලට ලාහුගල අයවත්, පොතුවිල් අයවත් ඇතුලුවීම තහනම්. මේ තමයි රටේ නීතිය. පුරවැසියො කවුරුත් රටේ නීතිය අනුව කටයුතු කරන්න බැඳිල ඉන්න බවත් කියන්න ඕනා. දැන් රැස්වීම අවසන්.” කියල රැස්වීම අවසන් කලා.

කවුරුත් සද්ද නැතුව පිටවෙලා ගියා. ලාහුගල කරංකෝව ඉඩම් මංකොල්ලෙ නීතිමය පොල්ලකින් අත් හිටුවන්න මට හැකි උනා.

මේ විදියටන් සතියක් විතර ගතවුනා. වන දෙපාර්තමේන්තුවෙ ලලිත් ගමගේ මහත්තයගෙ ගෝලයො ටික කාටවත් ඉඩම්වලට එන්න නොදී හිටියා.

ඔය අතර කොළඹ ඉඳන් පරිසර හා වනජීවි ඇමතිතුමා අම්පාරෙ ලාහුගල සංචාරයකට ආවා. දිස්ත්‍රික්කෙ දේශපාලන බලය දරාගෙන හිටි ලොක්කෙක් එතුමාට කිව්ව “ලාහුගල රජයේ ඉඩම් මුස්ලිම් අය බෙදා ගන්නයි හදන්නෙ, මේකට උදව්වට තමයි අලුතින් දිසාපති කෙනෙකුත් එවල තියෙන්නෙ” කියල. “මේ දිසාපති ෆේරියල් අෂ්‍ රොෆ් ඇමතිනියගෙ අමාත්‍යංශෙ ඉඳල ඇවිත් තියෙන්නෙ. එයා වැඩකරන්නෙ එතුමිය කියන හැටියටයි” කියලත් කිව්වා. සිංහල බෞද්ධකමට උණුවෙන මනසක් තිබුනු තරුණ ඇමතිතුමා මහජන රැස්වීමෙදි විවෘත ප්‍රකාශයක් කරල කිව්ව “කරංකෝව ඉඩම් මුස්ලිම් අයට දෙන්න දෙන්නෙ නෑ. ඒව කැලෑ වවන්න තියෙන ඉඩම්” කියල. මේ කතාව මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුනහම පොතුවිල් වල හිටපු මේ ඉඩම් වලට ඇහැ ගහගෙන හිටි කට්ටියට ආරංචි උනා. මගේ නීතිමය පොල්ලට මොකවත් කරන්න බැරුව හිටපු ඒ අයමේ ඉඩම් දීම නැවැත්තුවෙ පරිසර ඇමතිවරයයි කියල මුස්ලිම් දේශපාලකයින්ට පීඩනයක් දුන්න ආණ්ඩුවෙන් මේ ඉඩම් ටික අරගෙන දෙන්න කියල.

ආණ්ඩුවේ ප්‍රබල තනතුරු දරාගෙන හිටි මුස්ලිම් නායකයො මේ ප්‍රශ්නය එදා හිටි ජනාධිපතිතුමා ලඟට ගෙනිච්ච. ජනාධිපතිතුමාට මේ අය පැමිණිලි කරේ පරිසර ඇමතිතුමා තමන්ගෙ ජනතාවගෙ ඉඩම් වගාකිරීම තහනම් කරා කියලයි. ජනාධිපතිතුමා පරිසර ඇමතිතුමාට කිව්වා මේ මැතිඇමතිවරු එක්ක කතාබහ කරලා මේ ප්‍රශ්නය විසඳන්න කියල. පරිසර අමාත්‍යංශයෙන් අම්පාර දිසාපති, ලාහුගල, පොතුවිල් ප්‍රා.ලේවරු, වන දෙපාර්තමේන්තුවෙ දිසා වන නිලධාරි, ලාහුගල පොතුවිල් ඉඩම් ආරවුලට සම්බන්ධ අයගෙ නියෝජිතයො හා සියලුම මුස්ලිම් මැති ඇමතිතුමන්ලව සාකච්ජාවකට කැදෙව්වා.

රැස්වීමට දින කීපයකට පෙර අපේ ෆේරියල් අෂ්රොෆ් ඇමතිතුමිය මට දුරකතනයෙන් කතා කරල මේ ගැටලුව ගැන සම්පූර්ණ විස්තරයක් දින අනුපිලිවෙලට හදල එවන්න පුලුවන්ද ඇහුවා. මම ඒ වැඩේ භාර ගත්තා. මේ ඉඩම් ප්‍රශ්නයට අදාලව ලහුගල ප්‍රදේශීය ලේකම් කාර්‍යාලෙයි, පොතුවිල ප්‍රා.ලේ කාර්‍යාලෙයි, කච්චේරියෙයි තිබුණු ලිපිගොනු ටික පෝය නිවාඩුව යෙදුනු දවසෙ නිල නිවසට ගෙනැල්ලා සම්පූර්ණ අධ්‍යනයක් කරා. මේ ගැටලුව ගැන කාර්‍යාලවලට මුලින්ම ආපු ලිපියෙ ඉඳන් දින අනු පිලිවෙලට කරුණු සටහන් කරල ලේඛනයක් පිලියෙල කරා.

මේ සටහන අනුව මුලින්ම මේ ඉඩම් ප්‍රශ්නෙ ගැන නිල වාර්තාවක් නිකුත් වෙන්නෙ 2002/5/15. ඒ එවක ලාහුගල ප්‍රා.ලේ ගීතා ඉන්ද්‍රානි මහත්මිය මේ ඉඩම් අනවසරයෙන් එලි පෙහෙලිකර වගා කිරීමට ගන්නා ක්‍රියා මාර්ග වලක්වන ලෙසට පංසල්ගොඩ ග්‍රාම නිලධාරි අක්කරපත්තු අඩවි වන නිලධාරි යන අයවලුන්ට කරන දැන්වීමෙන්. එදා ඉඳල පරිසර ඇමතිතුමා මේ ඉඩම් අරබයා කරපු සිංහ නාදෙ දක්වා වැදගත් සිද්දීන් පෙලගස්සවල බලන කොට සිද්දීන් 66 එකතු උනා. වැදගත්ම සිද්දීන් අතර තිබුනෙ සෙංගමුව කරංකෝව කුඹුරුයායෙ වෙල් විදානෙ හැටියට හිටපු සෙයිනුලාබ්දීන් අබ්දුල් කාදර් මහත්තයා 2003/9/23 දිනෙන් ලාහුගල ප්‍රා.ලේට කරපු පැමිණිල්ලක්. ඒ පැමිණිල්ලෙන් කියවුනේ පොතුවිල් පදිංචි රජයේ නිලධාරින් කීපදෙනෙකු සමඟ තවත් අය එකතු වී රජයේ කැලෑ බලහත්කාරයෙන් ශුද්ධ කර ව්‍යාජ ගොවි සංවිධානයක් ලියාපදිංචි කර ඒ ඉඩම් වලට අයිතිවාසිකම් කියන බවත් ඊට ඉඩ නොදෙන ලෙසත් කල ඉල්ලීමක්. එක් එක් පුද්ගලයා අල්ලාගත් ඉඩම් ප්‍රමාණය ඔහුගේ නම තනතුර ආදී විස්තර මේ පැමිණිල්ලෙ අපූරුවට සටහන් කර තිබුනා. මේ ගොවි නායකයා මේ සමඟම ගරු ජනාධිපතිනියටත් පැමිණිල්ලක් කර තිබී පසුව දිසාපති වෙත එවා තිබීමත් මේ වැදගත් සිද්දීන් වලට ඇතුලත් උනා. මේ මුස්ලිම් ජාතික ගොවි නායකයා පෙනී සිටියේ රටේ නීතිය වෙනුවෙන්.

මේ මොනවා තිබුනත් දේශපාලනය හරහා මේ ඉඩම් වල වගා කටයුතු කිරීමට අනවසර පිරිස බලය ලබාගෙන තිබුනා. හෙක්ටෙයාර් එක බැගින් වූ ඉඩම් කට්ටි 235කට මේ අනවසර භූමිය මිනුම් සිතියමකින් බෙදා නියමානුකූල කරන්න ගියත් අනවසරයෙන් ඉඩම් ඇල්ලූ අය එක්කෙනෙකු අක්කර 40, 45 බැගින්වූ විශාල කැබලි අල්ලාගෙන තිබීම නිසා අනවසරකරුවන් ලෙස කට්ටිකරුවන් 235 ඉදිරිපත්කිරීමට නොහැකිවීම මත ඉඩම් බෙදීම ප්‍රමාද වී තිබුනා. මේ තොරතුරු ඇතුලත් වාර්තාව ගරු ෆේරියල් ඇමතිතුමියට යැව්වා. එතුමිය එම වාර්තාව අධ්‍යනය කර ඉඩම් අල්ලාගත් අය නොකියූ කතාව තේරුම් ගත් බව මට දුරකතනයෙන් පවසා වාර්තාවට ස්තූතිකලා.

නියමිත දින මම ලාහුගල ප්‍රා.ලේ ආරියදාස, දිසා වන නිලධාරි ලලිත් ගමගේ ඇතුලු නිලධාරි කන්ඩායම පරිසර අමාත්‍යංශයේ රැස්වීමට ගියා. අෂ්රෆ් මැතිනිය, හකීම් මැතිතුමා, අදාඋල්ලා මැතිතුමා, රිෂාඩ් මැතිතුමා, මයොන් මුස්තාපා මැතිතුමා ඇතුලු සියලු මුස්ලිම් ජාතික මැති ඇමති තුමන්ලා සහ පී.දයාරත්න මැතිතුමා ලාහුගල පොතුවිල් ගොවි නියෝජිතයින් රැස්වීමේ සිටියා. පරිසර අමාත්‍ය තුමා රැස්වීම ආරම්භ කරා.මුලින්ම වනදෙපාර්තමේන්තුව මේගැටලුව ගැන ඉදිරිපත්කිරීමක් කරා.ඉන්පසුව අෂ් රොෆ් ඇමතිතුමිය කතාකර මේගැටලුව රටේ ක්‍රියාත්මක නීතියට අනුව විසඳ දෙන ලෙසත් දේශපාලන නායකයින් මහජන ප්‍රශ්න ඉදිරිපත් කරනවා විනා නීතියට පටහැනි ක්‍රියා වලට පෙලඹවීම් නොකලයුතු බවත් නිලධාරීන්ද කරුනු මැනවින් සොයා බලා සාධාරණව නීත්‍යානුකූලව කල හැකිදේවල් කරදිය යුතු බවත් ද්‍ර්ර්ඝ කාලයක් තිස්සේ මේ අන්දමින් ගැටලු ඇදීගෙන යාම වෙනත් ප්‍රශ්න වලට මුල්වියහැකි බවින් අද සාකච්චාවෙන් මෙය නීත්‍යානුකූලව විසඳන ලෙස ඉල්ලා වෙනත් කටයුත්තකට යාමට පිටතට යායුතු බැව් පවසා බැහැරට ගියා.දයාරත්න මැතිතුමා මේඉඩම් ලාහුගලගම්වැසියන්ගේ හේන් ඉඩම් බැවින් ඉඩම් පුද්ගලයින් අතර බෙදන්නේ නම් ලාහුගල අයට ලබාදිය යුතු බව පැවසුවා.හකීම් මැතිතුමා මේඉඩම් පොතුවිල් අය වගා කල ඉඩම් බවත් ලාහුගල අයායිතිවාසිකම් කීම ගැන ප්‍රශ්නයක් නැති බවත් දෙපාර්ශවයටම අසාධාරණයක් නොවන ලෙස ලාහුගල අයටත් ඉඩම් කොටස් කීපයක් දීම ගැන විරුද්ධත්වයක් නැති බවත් පැවසුවා.ෆයිසාල් කාසිම්, හසන් අලි ,නිජාමුදීන්,යන මංත්‍රීවරු මුස්ලිම් ගොවිජනතාවට වගාකරන ඉඩම් වලට අවහිර කිරීමේ අසාධාරණයට එරෙහිව කතාකලා.අදා උල්ලා අමාත්‍යතුමා කතාකලේ මුස්ලිම් ජනයාගේ වගා ඉඩම් පරිසර ඇමති තුමා තහනම් කිරීමට එරෙහිවයි.ආන්ඩුවේ කොටස් කරුවන් හැටියට මුස්ලිම් මැති ඇමතිවරු දායකත්වය දෙද්දී ආන්ඩුවේම ඇමතිවරු මුස්ලිම් ජනතාවගේ වගා කටයුතු වලට බාධා කිරීම නිසා මුස්ලිම් ජනයා තමන් ඇතුලු මැති ඇමතිවරුන්ගෙන් ඒගැන ප්‍රශ්න කරන බවත් ඒනිසා මෙය දේශපාලන ප්‍රශ්නයක් බවට පත්ව ඇති බවත්මේ සඳහා දේශපාලඥයින් විසින් තීරණයක් ගතයුතු බවත් තරයේ කියා සිටියා.මේ ගැටලුව විසඳීමේදී දේශපාලන තීන්දුවක් ගෙන රජයේ නිලධාරින්ට උපදෙස් දීම හැරවෙන විසඳුමක් මීට නැති බවත් එතුමා කියා සිටියා.මයොන් මුස්තාපා මහතාකියාසිටියේ අම්පාරදිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව බහුතරයක් වුවත් ඔහුන්ජීවත්වන ප්‍රදේශවල ප්‍රමානවත් ඉඩම් නොමැති වීම නිසා බරපතල ගැටලු මතුව ඇති බවයි.සියලුම දේශපාලකයින් කතාකර අවසන්වූපසු මම කතාව පටන්ගත්තා.

“ගරු ඇමතිතුමනි අනිකුත් මැති ඇමති වරුනි,දැන් මේප්‍රශ්නයේ අපේ නිලධාරින්ගේ පැත්ත කතා කිරීමට ඉඩකඩ අවශ්‍යයි.මේ ප්‍රශ්නය සිංහල මුස්ලිම් ජනතස්ව අතර ගැටුමක් කරා යමින් තිබෙන බව පේනවා.ඒනිසා මෙය විසඳිය යුත්ට්ජේ අතිශය නීත්‍යානුකූලවයි.ගරු අදාඋල්ලා ඇමතිතුමා කිව් පරිදි ඔබතුමන්ලා දේශපාලන නායකයින් බැවින් දේශපාලනමය තීන්දු ගැනීමේ හැකියාව තිබෙනවා.දේශපාලනඥයින් ගනු ලබන දේශපාලන තීන්දු ක්‍රියාත්මක කිරීමේ වගකීම හැම විටම පැවරෙන්නේ නිලධාරීන්ටයි.මේ ගැටලුව අරබයා ඔබතුමන්ලා ගන්නා දේශපාලන තීන්දු ක්‍රියාත්මක කිරීම පැවරෙන්නේ මා ඇතුලු මගේ නිලධාරින්ටයි.ඔබලා ගන්නා දේශපාලන තීන්දුව කුමක් වුවත් එය රටේ පවතින නීතියට අනුකූලනම් පමනයි අපවිසින් ක්‍රියාත්මක කරන්නේ.ඒගැන විවුර්තවම කියන්නේ පසුව ගැටලු ඇතිවීම වැලැක්වීමටයි.මේගැටලුව අනවසරයෙන් වගාකරන ඉඩම් නියමානුකූල කිරීම ගැනයි.ඒසඳහා දැනට ඇති නීතිය වන්නේ 1995/6/15ටපෙර මේ ඉඩම් අනවසරයෙන් වගා කල බවඔප්පු කල හැකි ලිඛිත සාක්ෂි ඉදිරිපත් කිරීමෙන් පසුව රජයේ රක්ශිතයක් නොවන රජයේ කාර්‍යකට අවශ්‍ය නොවන ඉඩමක් නම් පමනක් ඒ ඉඩම නියමානුකූල කිරීමයි.මේ නීතිමය අවශ්‍යතාව මත පදනම්ව ඕනෑ තීන්දුවක් ගන්නා ලෙසත් ඊටපටහැනි කවර තීරණයක්වත් ක්‍රියාත්මක නොකරන බවත් පැහැදිලිවම කියනවා.ඒපරිද්දෙන් තමන්ගේ වගා කටයුතු නියමිත කාලයට පෙර කල බව ලිඛිතව සාක්ෂිවලින් ඔප්පු කරන අය සිංහල දෙමල මුස්ලිම් බේදයකින් තොරව ඉඩම් ලබාදෙන බවත් පැහදිලිවම කිවයුතුයි.අනික ඔබතුමන්ලා සියලු දෙනාම පරිසර ඇමතිතුමාගෙන් මේඉඩම් ලබාදෙන ලෙසට ඉල්ලුවාට එතුමා ඉඩම් අමාත්‍යවරයා නොවන නිසා ඒගැන කටයුතු කිරීමේ හැකියාවක් නෑ.පරිසර ඇමතිතුමාත් මෙතනින් අලිමංකඩක් සඳහා ඉඩම් ඉල්ලා තිබෙනවා.ඒනිසා එතුමාව මේ ප්‍රශ්නයට අල්ලා ගැනීමත් අසාධාරණයි.”

මේ ටික කිව්ව විගස කවුරුත් නිහඩ උනා.එක් අමාත්‍යතුමෙක් ලිඛිත සාක්ෂි ලෙස දිවුරුම්ප්‍රකාශ භාරගන්නේ දැයි විමසුව.ඒවා ඕනැම අයෙකුට ඉදිරිපත් කල හැකිනිසා ඒවා පිලිගැනීමට නොහැකි බවට මා පැවසුවා.පරිසර ඇමතිතුමා පැවසුවේ අලිමංකඩට ඉඩම වෙන්කල පසු ඉතිරි ඉඩම් ගැන තමාට ගැටලුවක් නැති බවයි.ඒ අනුව මගේ විසඳුමට අනුව කටයුතු කිරීමේ එකඟතාවයෙන් රැස්වීම නිම උනා.සියලුදෙනා පිටවගියා.

“දිසාපතිතුමා පොඩ්ඩක් ඉන්න මට කතා කරන්න ඕනා”.පරිසර ඇමතිතුමා මට කතාකලා.

“ඔව් ඇමතිතුමා”. මම එතුමාගෙ ඉදිරිපස පුටුවෙ වාඩි උනා.

“දිසාපතිතුමා ඔබතුමා මම හිතාහිටි විදියෙ කෙනෙක් නෙවෙයිනෙ”.

“ඔබතුමා හිතාඉන්න ඇත්තෙ මම මේ ප්‍රශ්නෙදි මුස්ලිම් අයට පක්ෂව වැඩකරයි කියල වෙන්න ඇති.මම පක්ශ වෙන්නෙ රටේ නීතියට විතරයි.මම නීතිය අනුව නවත්වල තිබුනු මේ ප්‍රශ්නය මේ මට්ටමට ආවෙ ඔබතුමා ලාහුගලදි මේඉඩම් ඒඅයට දෙන්නෙ නෑ කියල කියපු නිසයි.මේක නීතියෙන් විසඳන ප්‍රශ්නයක් මිස දේශපාලනෙන් විසඳන්න පුලුවන් එකක් නෙවෙයි ඇමතිතුමා”,

“ඇත්ත දිසාපතිතුමා අපිට එනතොරතුරු වැරදිනම් ප්‍රශ්නෙ දිහා අපි බලන විදිහත් වරදිනවා.කොහොම උනත් ඔබතුමාට බොහොම ස්තූතියි”.

“ඔබතුමාටත් බොහොම ස්තූතියි”.

මෙන්න මේ විදියට ලාහුගල පංසල්ගොඩ ග්‍රාමනිලධාරි වසමේ ගොටුකොල පිටිය කැලේ ඉඩම් ඇල්ලීමට තිත තියන්න අපිට පුලුවන් උනා.මෙතනදි අර මුස්ලිම් වෙල්විදානෙ මහත්තයවගේ විශාලමුස්ලිම් ගොවීන් පිරිසක් මේ ඉඩම් කොල්ලෙට විරුද්ධව දිගටමඅපට සහයදුන් බවත් සටහන් කලයුතුමයි ..ඒක නිසා මේසිද්දිය මුස්ලිම් අයගෙ ප්‍රශ්නයක් නොවෙයි.කොයි සමාජෙත් ඉන්න අවස්ථාවාදීන්ගෙ කූට වැඩක් කියල කියන්න පුලුවන්..මම 2011අවසානයෙදි අම්පාරෙන් සමුගන්න කම් ආයෙ ඒප්‍රශ්නෙ මතූනේ නෑ.ඊට පස්සෙත් වන දෙපාර්තමේන්තුවෙ ලලිත් ගමගේ රොෂන් ප්‍රනාන්දු නිශාන්ත මුනසිංහ වාගෙ අය මේ ඉඩම් ගැන බලා ගන්නෑති.අදකොහොමද දන්නෙ නෑ.

4 thoughts on “කරංකෝව ඉඩම් කොල්ලය

  1. ඒ කාලෙ ගූගල් අර්ත් ජනප්‍රියව තිබ්බෙ නෑ නොවැ. නැත්තං ඔය රැස්සීම මැද්දෙම Google Earth එක දිගෑරලා අරං අදාල ඉඩම් කට්ටිය ලොකුවට තිරේ දිගෑරලා ටයිම්ලයින් එක හිමීට ආපස්සට ගෙනිච්චා නං පෙන්නන්න තිබ්බා කවද්ද ඒ ඉඩං එලි කරේ කියන එක. එහෙනං ඔය දේශපාලනගඳයන්ගෙ රෙද්ද අහුලලා දෙන්නත් කවුරුත් නැති වෙනව.

    කොහොම නමුත් ඔබතුමා ඔය Google Earth එක පොඩ්ඩක් පුරුදු වෙන්නකො. ඉඩං වැඩවලදි බොරු අල්ලන්න හරිම පොරෝජනයක් ගන්න පුලුවං.

    Like

  2. තීන්දුවක් ගත යුතුව තියනවා හෙක්ටයාර් එක ගානේ බෙදල තව තවත් යෑපීම් ගොයියෝ බිහි කරනවද අක්කර 50වත් කෑලි බෙදල බදුගෙවන ව්‍යාපාරික ගොවියෝ බිහිකරනවද කියල. ඡන්ද ගණන් කරනා දේශපාලකයෝ එවැනි තීරණ නොගන්නා රටක අවංකයයි කියනා රජයේ සේවකයන්ට වඩා පගාවට වැඩ කරනා අයගේ සේවය රටේ ආර්ථිකයට වැදගත්.

    Like

    1. ඇණේ පගාවට වැඩකරන රජයේ සේවකයන් මගින් නම් විසඳුම් බලාපොරොත්තු වෙන්න බෑ .. අවශ්‍ය කාර්යක්ෂමතාව සහ දුර දැක්මක් .

      නමුත් ඔබ ඉදිරිපත් කරපු අදහසත් වැදගත් : // හෙක්ටයාර් එක ගානේ බෙදල තව තවත් යෑපීම් ගොයියෝ බිහි කරනවද අක්කර 50වත් කෑලි බෙදල බදුගෙවන ව්‍යාපාරික ගොවියෝ බිහිකරනවද//

      නමුත් ගැටළුව මේ විදිහට කරන්න තරම් ඉඩම් අප රටේ තියනවද ?

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s