නැගෙනහිර පලාත් සභා ඡන්දය 2008.

පරිපාලන දිස්ත්‍රික්කයක් භාර දිසාපති වුනහම ස්වයංක්‍රීයව ලැබෙන තනතුරු තියෙනවා. මැතිවරණ වලදි තේරීම්භාර නිලධාරි තනතුර එහෙම එකක්. මේ දක්වා පවත්වපු මැතිවරණ වලදී, දිස්ත්‍රික්කයෙ තේරීම්භාර නිලධාරි වෙලා තියෙන්නෙ ඒ දිස්ත්‍රික්කෙ භාර දිසාපතිවරයයි. සමහර විට අනාගතයේදී මේක වෙනස්වෙලා වෙන කාවහරි පත්කරන්න පුලුවන් කම තියෙනවා. මොකද දැන් තියෙන්නෙ අබුද්දස්ස කාලයක්නෙ! කොහොම උනත් මේ දිස්ත්‍රික්කයක් බාර ආන්ඩුවේ ඒජන්ත, නැත්නම් කට හුරුවට දිසාපති කියන තනතුර තවම ආරක්ශාවෙලා තියෙන්නෙ මේ රටේ හිටපු කීර්තිමත් මැතිවරණ කොමසාරිස්වරයෙක් උනු චන්දානන්ද සිල්වා මහත්තය නිසා කියන එකත් මේ වෙලාවෙ සටහන් කරන්නම ඕන.

1992 ප්‍රේමදාස ජනාධිපති උන්නාන්සෙට ඕනවෙනවා මේ දිසාපති ක්‍රමය වෙනස් කරල ප්‍රාදේශීය ලේකම් ක්‍රමය හදන්න. උන්නැහැ ඉතින් කිව්වොත් කිව්වනෙ! දිස්ත්‍රික් මට්ටමේ බලධාරියෙක් ඕනෙම නෑ කියල තමයි එයාගෙ මතය උනේ. ඒත් චන්දානන්ද සිල්වා මහත්තය ඇහුවලු “එතකොට චන්ද පවත්වන්න තේරීම් භාර නිලධාරිවරු කෝ?” කියල. එතුමා දැඩිවම කියා සිටියා දිස්ත්‍රික් මට්ටමේ නිලයක් අවශ්‍යම බව. අන්තිමට ප්‍රේමදාස ජනාධිපති උන්නාන්සෙට අකමැත්තෙන් උනත් මේ තනතුර ඉතිරි කරන්න සිදු උනා. ඉතින් ඔය ආකාරයට මැතිවරණ කොමසාරිස් කෙනෙක් නිසා ඉතුරුවුනු තනතුරට අම්පාරට පත් වුනු මට තේරීම්භාර නිලධාරි කම හා හාපුරා කරන්න උනේ 2008 පවත්වපු පළමුවැනි නැගෙනහිර පලාත්සභා ඡන්දෙදියි. මේ ඡන්දෙ මතක් උනේ ඒ ඡන්දෙදි තරඟ කරපු, නූගත් සල්ලිකාර පංචස්කන්දයක් පස්සෙ සල්ලි බලෙන් ලංකාවෙ ලොකු කෙරුමෙක් වෙලා මේ ලඟදි උත්සවයකදි කතාවක් කරද්දි කිව්ව අසද්ද බොරුවක් ඇහුනමයි.

නැගෙනහිර පලාතයි, උතුරු පලාතයි එකට ගැටගහල උතුරු නැගෙනහිර පලාත් සභාවට ඉස් ඉස්සෙල්ලම චන්දෙ පවත්වපු හැටි මීට ඉස්සර මම ලියල තියෙනවා. අධිකරණ නියෝගයක් පරිදි නැගෙනහිර පලාත උතුරෙන් වෙන්කරල නැගෙනහිර යුද්දෙත් අවසන් කරපු රජය, නැගෙනහිර පලාත් සභාවක් පත්කරන්න ඡන්දෙ පවත්වන්න ගත්තු තීරණය සුවිශේෂි එකක් උනා. ඒ වෙනකොට නැගෙනහිර ජනතාව වාසය කරන සියලු ප්‍රදේශවල රාජ්‍ය බලය ස්ථාපනය කරල ඉවරයි. ත්‍රස්තවාදීන් කංජිකුඩිච්චි ආරු වනාන්තරයට සීමා කරල තිබුනෙ. මේ තත්වෙ යටතෙ පලාත් සභා ඡන්දෙට නාමයෝජනා භාරගන්න දින ප්‍රකාශ කරා. තේරීම්භාර නිලධාරි හැටියට මගේ පළමු ඡන්දෙ නිසාම මමත් බොහොම සැලකිල්ලෙන් මේ ගැන ක්‍රියාකලා. මතක හැටියට නාමයෝජනා තිබුනෙ 2008 මාර්තු මාසෙ අග දින තුනක් සහ අප්‍රියෙල් මුල දින දෙක අහුවෙන්නයි. ඊට කලින් දයානන්ද දිශානායක මැතිවරණ කොමසාරිස්තුමා නැගෙනහිර තේරීම්භාර නිලධාරීන් තුන්දෙනාව ගෙන්නලා සාකච්ඡවක් කරා. අම්පාරෙන් මම, මඩකලපුවෙන් අරුමෙයිනායගම්, ත්‍රිකුණාමලයෙන් මේජර් ජෙනරාල් රංජිත් සිල්වා යන දිසාපතිවරු තුන්දෙනාට කොමසාරිස්තුමා උපදෙස් දුන්නා නාමයෝජනා බාරගන්නා අන්දම පිලිබඳව. අපි නියම කල පරිදි නාමයෝජනා භාරගත්තා. නාමයෝජනා වල විශේෂ සිද්දිය වුනේ එල් ටී ටී ඊ සංවිධානයට අයත් ලියාපදිංචි දේශපාලන පක්ශය උන විමුක්ති කොටි මහජන පෙරමුණ දිස්ත්‍රික්ක තුනටම නාමයෝජනා දීමයි.

නාමයෝජනා වලට පස්සෙ මැතිවරණය පැවැත්වීම සංවිධානය කිරීම පටන්ගත්තා. මැතිවරණය මැයි දහවෙනිදට නියම කර තිබුනා. අවශ්‍ය සංවිධාන කටයුතුවලදි මැතිවරණ කොමසාරිස්තුමා උපදෙස් ලබා දුන්නා. කාර්‍ය මංඩල, සුභසාධන පහසුකම්, ශාලා පහසුකම්, ප්‍රවාහන පහසුකම් ආදිය සංවිධානය අපේ මාණ්ඩලික නිලධාරීන්ට පැවරුනා. ආරක්ෂාව මුලුමනින්ම පැවරුනේ පොලිසියටයි. මේ වෙනකොට අම්පාර පොලිස් කොට්ඨාශය භාරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි “ආනන්ද විජේසූරිය” මහත්තය පත්වෙලා හිටියෙ.

ඡන්දෙ නිවේදනය කරන්න ඉස්සෙල්ල අම්පාරෙ හිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උනේ “පෙරමුනේ” මහත්තයයි. ඒ කාලෙ තමයි අම්පාර ගල්ගමුව බස් එකේ බෝම්බයක් පිපිරිලා පිරිසක් මැරුනෙ. ගල්ගමුව බස් එක අම්පාරෙ ප්‍රසිද්ධ බස් එකක්. හැමදාම හවස 5.00ට දවසේ අන්තිම ගල්ගමුව බස් එක අම්පාර බස් නැවතුමෙන් පිටත් වෙනවා. සාමාන්‍යයෙන් මේ බස් එකේ මිනිස්සු පිරිලා යනවා. අම්පාරෙ ඉදන් පරගහකැලේ, වාවින්න, පොල්වත්ත, නාමල්තලාව, නාමල්ඔය හරහා මොනරාගල දිස්ත්‍රික්කයේ ගල්ගමුව ගමට යන බස් එකේ ඔය ගම්වලට යන බොහෝදෙනා ගමන් කරනවා. අම්පාරෙ වැඩට එන අය, බේත් හේත් ගන්න එන අය වාගෙ සාමාන්‍ය ජනතාව පිරිල යන අන්තිම බස් එක මේ කියන දවසෙ සුපුරුදු විදියට සෙනගෙන් පිරුණා. පස්වරු 5.00ට පිටත්වෙන්න නියමිත වුනාට සෙනග පිරුණු හින්ද කොන්දොස්තර උන්නැහෙත් එක්ක කතාබහ කරපු රියදුරු මහත්තය, බස් එක 4.50ට බස් නැවතුමෙන් එලියට අරන් ඉඟිනියාගල පාරදිගේ සාමාන්‍ය විදියට ගල්ගමුවට යන්න පිටත් උනා. අම්පාරෙ ඉඳන් හැතැක්ම දෙකක් පහුකරහම හම්බුවෙන කොන්ඩවටුවාන වැවේ බැම්ම පහල සොරොව්ව ලඟ යුදහමුදා මාර්ග බාධකයෙ බස් එක නැවැත්තුවේ සුපුරුදු මගී පරීක්ෂාවටයි.

“ඔය හැමෝම බෑග් අරගෙන බැහැල පෝලිමේ ගිහින් චෙක් කරව ගන්න. ඉක්මන් කරන්න”කොන්දොස්තර මහත්තය සුපුරුදු නිවේදනය කරා. මිනිස්සු හැමෝම බස් එකෙන් බැස්සා. සාමාන්‍යයෙන් සිවිල් ඇඳුමෙන් හිටියත් හමුදා භටයො, පොලිස් භටයො බැරියර්වල බහින්නෙ නෑ. පුංචි දරුවො ඉන්න අම්මලත් බස්සවන්නෙ නෑ. මේ විදියට එදා ගල්ගමුව බස් එකෙත් පහලොවක් විස්සක් විතර ඒවගේ අය බැස්සෙ නෑ. වෙලාව හරියටම පහට උනා විතරයි මුලු පලාතම දෙදරවමින් බස් එක පිපිරුවා. දිසාපති කාර්‍යාලෙ රාජකාරියෙ හිටපු මට මේ පිපිරීම ඇහෙනවත් එක්ක තේරුනා ලොකු සිද්දියක් බව. විනාඩි කීපයක් තුල ආරංචි උනේ කොන්ඩවටුවාන කෑම්පෙක පැත්තෙ තමා පිපුරුනේ කියල. අම්පාර රෝහලේ අධිකාරි දොස්තර ලංකාතිලක ජයසිංහට මම දුරකතනෙන් කතා කලා.

“ලංකා, කෑම්ප් එක පැත්තෙ ලොකු පිපිරීමක්. ඇම්බියුලන්ස් යවන්න වහාම. ඔයාගෙ හදිසි සැලැස්ම ක්‍රියාත්මක කරන්න”

“සර් කෑම්ප් එකේ නෙවෙයි බැරියර් එකේ බස් එකක්ලු පිපිරිලා තියෙන්නෙ. ඇම්බියුලන්ස් පිටත් උනා සර්. අපි දැනටම රෙඩි” දොස්තර ලංකාතිලක ජයසිංහ බොහොම කලබලෙන් කිව්වා.

“ඕකේ ලංකා. මමත් දැන් ඒ පැත්තට යන්නම්”

“ඕකේ සර් ප්‍රවේසමෙන්!” ලංකා දුරකතනෙ තිබ්බා.

මගේ පුද්ගලික ආරක්ෂක නිලධාරි උප පොලිස් පරීක්ෂක විජේකෝන්, කොස්තාපල් සරත් හා කුමාර යන තුන්දෙනා එක්ක පහළ තට්ටුවට එනකොට මගේ විශ්වාසදායී රියදුරු ජයසේන වාහනේ ස්ටාර්ට් කරලා. “කොන්ඩවටුවාන” කියල විජේකෝන් කිව්ව විතරයි ජයසේන විදුලි වේගෙන් පිටත් උනා. විනාඩි දෙකක් විතර ඇතුලත අපි කොන්ඩවටුවානෙ බැරියර් එක ලඟ. බස් එකෙන් දුම් දානවා. හමුදා භටයො වතුර ගසමින් ගින්න නිවනවා. ලංකාගෙ ඇම්බියුලන්ස් එලාම් ගහගෙන එනවා. මිනිස්සු බැරියර් එක එහා පැත්තෙ පොදිගැහිලා එක සීරුවට විලාප කියනවා. තුවාල වූවන් ඉවත් කිරීමේ කටයුතුවලට ඉඩදීල මම මෙහායින් නැවතුනා. විනාඩි කීපයක් තුල මියගියවුන් හා තුවාල ලැබූ අය රෝහලට යැවුනා. ඒ කටයුතු නිමවීමත් එක්ක සිද්දිය ගැන එතන අයගෙන් විමසුවා.

“අනේ බුදු සර්, අපි බැරියර් එකේ බැහැල අඩි දහයක් යන්න හම්බු උනේ නෑ පිටිපස්සෙන් ලොකු පිපිරීමක් ඇහුනා. එච්චරයි දන්නෙ” එක්කෙනෙක් විලාප දුන්නා. මගේ ආරක්ශක නිලධාරියෙක් එයගෙ හිතවත් පොලිස් භටයෙක් කියල කෙනෙක් අල්ලගෙන ආවා.

“සර් මේ රාලහාමි බස් එකේ ඉඳල තියෙන්නෙ”

“ඔව් රාලහාමි මොකද උනේ?”

“මගෙ අම්මෝ බුදු මහත්තයෝ, මම බස් එකේ ඉඳල කෙල ගහන්න ඕනවෙල බිමට බැස්ස විතරයි පිපිරුවා! අපොයි මගෙ දෙයියො මාව බේරුව. ඒ වුනාට අනිත් අය ඉවරයිනේ. අපෝයි!” මිනිහ විලාප දෙනවා.ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි පෙරමුණ, පොලිස් අධිකාරි වික්‍රමසිංහ ආදී ඉහළ පොලිස් නිලධාරින් ඇවිත් පරීක්ෂණ ඇරඹුවා. පස්සෙ හෙලිදරව් වුනේ හරියට හවස පහට බස් එක පිටත් වෙනකොට ස්ටෑන්ඩ් එක ඇතුලෙදි පුපුරන්න සෙට් කරපු බෝම්බෙ බැරියර් එකේ මිනිස්සු බැස්සම පිපිරුවේ රියදුරු මහත්තය විනාඩි දහයකට කලින් බස් එකේ ගමන ආරම්භ කරපු හින්දයි කියල. රියදුරු මහත්තයට විනාඩි දහයකට කලින් ගමන ආරම්භ කරන්න සිතුවිල්ලක් ඒම, අර බස් එකේ හිටපු රාලහාමිට කෙල ගහන්න ඕනවෙලා බිමට බහින්න සිතුවිල්ලක් ඒම විද්‍යාත්මක චින්තනෙන් නම් පැහැදිලි කරන්න පුලුවන් දේවල් නෙවෙයි. අන්තිමට අඩවි 111 භාරව හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති මහින්ද බාලසූරිය මහත්තය තීරණය කරන්නෙ අම්පාරෙ නගරය තුලට ඇවිත් බස් එකක බෝම්බයක් හයි කරන්න පුලුවන් වුනේ පොලිස් ආරක්ෂාවෙ දුර්වලකමක් නිසයි කියලයි. ප්‍රතිපලය වුනේ දක්ෂ පොලිස් නිලධාරියෙක් වුනු පෙරමුණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිතුමා පොලිස් අධිකාරි වික්‍රමසිංහ සහ මූලස්ථාන පොලිස් පරීක්ෂක රත්නායක යන තුන්දෙනාවම වහාම ස්ථාන මාරු කරල දිස්ත්‍රික්කෙන් එලියට යැවීමයි. පෙරමුණ මහත්තයගෙ පුරප්පාඩුව පිරෙව්වෙ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ආනන්ද විජේසූරියගෙනුයි. මූලස්ථාන පොලිස් පරීක්ෂක අම්පාර විදියට ප්‍රධාන පොලිස් පරීක්ෂක වීරක්කොඩි කියල දක්ෂ නිලධාරියෙක් ආවා. ඔන්න ඔය ආනන්ද විජේසූරිය එස් එස් පී ට තමයි පලාත් සභා ඡන්දෙ ආරක්ෂාව භාර උනේ. ඡන්දෙ කැඳවීමත් එක්ක නියෝජ්‍ය පොලිස්පති ශාන්ත රාජපක්ෂ මහත්තයත් අම්පාරට ආවා.

මේ ඡන්දෙදි එක ප්‍රධාන පක්ෂෙකට අම්පාරෙන් තරඟ කරන්න හරි හමන් කෙනෙක් නැතුව හිටියෙ. නයා නැති තැන දියනයාත් නයෙක් කියල එක සල්ලිකාර නූගත් මනුස්සයෙක් ඒ පක්ෂෙන් නාමයෝජනා ඉල්ලුව. මිනිහට නිකම්ම නාමයෝජනා ලැබුනා. මිනිහ කරේ කොළඹ පුද්ගලික ආරක්ෂක සමාගමකින් හතර රියන් භටයො දහයක් පහලොවක් අරගෙන, ඩිෆෙන්ඩර් රථ තුනක උන්ව නග්ගගෙන ඒ වාහන වට කරගෙන රැස්වීම් කරන්න පටන්ගත්තා. මේ මිනිහට මිනිස්සු කිව්වෙ “කිලුටු ගමය” කියලයි. “කිලුටු ගමය” පාරෙ යනකොට ජනාධිපති යනව වගෙයි. ඉස්සරහින් හතර රියන් පුද්ගලික ආරක්ෂක භටයො දෙන්නෙක් මෝටර් සයිකල්වල. ඊලඟට කලුපාට ඩිෆෙන්ඩර් එකේ නැගපු අරවගේ භටයො. ඊලඟට “කිලුටු ගමයගෙ” කාරෙක පස්සෙන් තවත් ඩිපෙන්ඩරයක්. “කිලුටු ගමයගෙ” කාරෙක දෙපැත්තෙන් මෝටර් සයිකල් දෙකකුත්. මේවට පිටිපස්සෙන් මිනිහගෙ පැක්ටරියෙ කොල්ලො කෙල්ලො පටවගත්තු වාහන පෝලිමක්. මේවා දකින මිනිස්සු හිනාවුනාට “කිලුටුගමයගෙ” සල්ලි හින්ද පිරිසක් මිනිහට එකතුවෙලා හිටිය. මිනිහ දවස් දෙකකට සැරයක් පොලිසියට පැමිණිලි කරනව මිනිහට ජීවිත තර්ජන තියෙනවා කියල. මේ වගේ විහිලුත් බල බලා අපි ඡන්දෙ කටයුතු සංවිධානය කරා.

ඡන්දෙ බොහොම උණුසුම් ව්‍යාපාරයක් බවට පත් උනේ ප්‍රධාන පක්ෂ දෙකක් තරඟයේ ඉදිරියට ඒම නිසයි. මුස්ලිම් ජනයාත්, දෙමළ ජනයාත් ප්‍රධාන පක්ශ දෙකටම සම්බන්දව ඡන්දෙ ඉල්ලීමත් මේ ඡන්දෙ උනුසුම් වෙන්න බලපෑවා. දෙමළ ජනතාව ජීවත්වෙන ප්‍රදේශ වල ඡන්ද ව්‍යාපාරයේ පෙරමුණ ගත්තෙ එල් ටී ටී ඊ සංවිධානයෙන් කරුණා එක්ක ඉවත් උනු භාරතී කියන තරුණයා. සිංහල ප්‍රදේශවල සටන උණුසුම් උනේ ලංකාවෙම මැති ඇමතිවරු අම්පාරෙ ලැගුම් ගැනීම නිසයි. ප්‍රධාන පක්ශ දෙකේම මැති ඇමතිවරු අම්පාරෙ පදිංචි උනා. මේ විදියට දවසින් දවස ඡන්දෙ ලං උනා. මගේ සහායට මැතිවරණ කොමසාරිස්තුමා එතුමගෙ නිලධාරී කණ්ඩායමක්ම එව්වා. ඒ කණ්ඩායමේ හිටපු ජ්‍යෙෂ්ඨතම නිලධාරියා උනේ මගේ කල්‍යාන මිත්‍ර, එවක ජ්‍යෙෂ්ඨ සහකාර කොමසාරිස් එම් ඒ පී සී පෙරේරා මහත්තය. මේ එක්ක එවක පරිසර අමාත්‍යංශෙ වැඩකල තවත් මගේ කල්‍යාන මිත්‍රයෙක් උන ආර් සේමසිංහ මහත්තයත් ආවා. ඡන්දෙට පෙර දවසෙ උදෙන්ම ඡන්ද මධ්‍යස්ථානවලට නිලධාරින් හා ඡන්ද පෙට්ටි ඇතුලු ඡන්ද විමසීමට අවශ්‍ය බඩු බාහිරාදිය පිටත් කරල අපි පසුදිනට සූදානම් උනා.

මේ වෙනකොට කොලඹින් ආපු කාර්‍ය මංඩල අම්පාරෙ නැවතී සිටියා. ප්‍රධාන ඡන්ද ගණන් කිරීමේ නිලධාරීන්ට ඡන්දෙ ගණන් කිරීමට අදාල පුහුණුව හවස හතරට කච්චේරි සම්මන්ත්‍රණ ශාලාවෙ සූදානම් කරල තිබුනා. ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරී රැස්වීම ආරම්භ කල මම, ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරින්ගෙ වගකීම් පැහැදිලි කරල ගණන් කිරීම පිලිබඳ ප්‍රධාන උපදෙස් දීමට පෙරේරා මහතාට ආරාධනා කරා. පෙරේරා මහත්තයා එයාගෙ අත් දැකීම් එක්ක ගණන් කිරීමේ ක්‍රියාවලිය විස්තර කරල, පැන නඟින ගැටලු ගැන කියල බොහොම සාරගර්භව දේශනේ කරගෙන යනකොට, “ද්‍ රංංංංංං” කියන සද්දෙත් එක්ක පය තියාගෙන හිටිය බිම දෙදරවා ගියා! මට වහාම දැනුනේ ලඟක බෝම්බයක් පිපිරුනු බවයි. ඒත් පෙරේරා එයාගෙ කතාව කරනවා. අනිත් අයටත් එය දැනුනු බවක් පෙනුනෙ නෑ. වහාම ජංගම දුරකතනෙන් ආනන්ද විජේසූරිය ඇමතුවා.

“ආනන්ද, මොකක්ද සද්දෙ?”

“සර් බ්ලාස්ට් එකක්. මේ ළඟම වගෙයි. මම බලල කියන්නම්”

“හරි ආනන්ද.”

මම පෙරේරාට අතින් කතාකරල ලඟට ගෙන්නගෙන කිව්වාළඟ කොතන හරි ලොකු බ්ලාස්ට් එකක් උනා කියල. වහාම දේශනේ මඳකට නතර උනා. ඒ සැණෙන් මගේ දුරකතනය සද්ද උනා.

“හලෝ ජී ඒ හියර්”

“සර් ආනන්ද, ටවුමෙ බ්ලාස්ට් එක වෙලා තියෙන්නෙ.”

“මොනව! කොතනද? ගොඩක් ඩැමේජ් ඇති.”

“සර් නිව්සිටිය හරියෙ වෙලා තියෙන්නෙ. තොරතුරු නෑ. මම ගිහින් බලල කියන්නම්”

“හරි ආනන්ද, මමත් එතනට එන්නම් ඔයා යන්න.”

“සර් ඔබතුමා කච්චේරියෙන් එලියට මොහොතකටවත් මේ වෙලාවෙ බහින්න එපා. තත්වය හොඳ නෑ. මම ගිහින් විස්තර කියන්නම්.”

“හරි ආනන්ද. විස්තර කියන්නකො.”

අපි කඩිනමින් ප්‍රධාන ගණන් කිරීමේ නිලධාරි රැස්වීම අවසන් කරා. ආනන්ද විජේසූරිය එස් එස් පී මහත්තය ටවුමෙ ඉඳන් දීපු විස්තරේ අනුව “සිටි කැෆේ” ආපන ශාලාවෙ ඇතුලෙ තමයි බෝම්බය පිපිරී තියෙන්නෙ. බෝම්බකරු තේ බීමට පැමිණි අයෙක් ලෙස පැමිණ මේසය ලඟ බෝම්බෙ තියල මාරු වුනා කියල සැක කරන බවත් දැන ගත්තා. ඡන්ද රාජකාරිවලට පිටින් ආපු නිලධාරි කීපදෙනෙක් මේ සිද්දියෙදි තුවාලවෙලා රෝහල් ගතකල බවත් දැන ගත්තා. අම්පාරෙ කම්කරු සහකාර කොමසාරිස් හැටියට කලක් සේවය කල උමාර් ලෙබ්බේ මහත්තය කොලඹ ඉඳන් ඡන්දෙට සම්මන්තුරේ ගමට යන අතර සිටි කැෆේ එකෙන් තේ බොන්න ගිහින් මේ බෝම්බෙට අහුවෙලා මියගිය බවත් ආරංචි උනා. මේ වාගෙ කණගාටුදායක ආරංචිවලටත් වැඩිය මම කැලඹීමට ලක් වෙලා හිටියෙ ඡන්දෙ දවසෙ වෙන්න පුලුවන් දේ ගැන හිතලයි. ත්‍රස්තවාදීන් ඡන්දය කඩාකප්පල් කරන්න ඕනැම බිහිසුණු දෙයක් කරන්න සූදානම් කියන පණිවුඩය සිටි කැෆේ බෝම්බෙන් ලැබුණු බවයි මගේ අදහස උනේ.

පෙරේරා, සේමසිංහ දෙන්න එක්ක මේ ගැන කතාකරල පොලිස් ප්‍රධානීන් කැඳවා හදිසි රැස්වීමක් පැවැත්තුවා. මේ රැස්වීමේ නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාශ භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි, සහකාර පොලිස් අධිකාරිවරු පෙරේරා, සේමසිංහ, සහකාර මැතිවරණ කොමසාරිස් තෙන්නකෝන් ආදී නිලධාරින් හිටියා.

“අද හවස ඇතිවුනු පිපිරීමත් එක්ක මැතිවරණය පිලිබඳ ලොකු අවදානමක් පවතින බවයි පේන්නෙ. දැන් අපි ඊට මුහුණදීමට නම් සිදුවිය හැකි නරකම තත්වයන් හඳුනාගෙන ඒවා වැලැක්වීමට පියවර සූදානම් කල යුතුයි. ඒ නිසා හෙට මැතිවරණෙදි වෙන්න පුලුවන් නරකම දේවල් ගැනත්, ඒවා වලක්වන්න අපට තියෙන වැඩපිලිවෙලවල් ගැනත් බලමුද?නියෝජ්‍ය පොලිස්පතිතුමා, ඡන්ද ආරක්ශාව ඔබතුමාලගෙ වැඩක්නෙ. කොහොමද තත්වෙ?”

“දිසාපතිතුමනි, ඡන්දය පවත්වන දිනය ඇතුලු දින කීපයේම දිස්ත්‍රික්කයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිසිය විශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කර තියෙනවා. සෑම ඡන්ද මධ්‍යස්ථානයක් සඳහාම පොලිස් නිලධාරීන් යෙදවීම හැර සෑම විනාඩි පහලොවකට වරක් ඡන්ද මධ්‍යස්ථානවලට ජංගම රථ මඟින් ආරක්ෂාව ලබාදෙනවා. ඡන්ද මධ්‍යස්ථානයේ සිට කිලෝමීටරයක දුර හැර ඉතිරි ප්‍රදේශවල ආරක්ෂාව සඳහා යුධ හමුදාව යොදවා තිබෙනවා. ඡන්ද ගණන්කිරීමේ ස්ථානවලට වෙනම ආරක්ෂාව ලබාදී තිබෙනවා. හවස ඇතිවූ පිපිරීම නිසා නගරවලට ආරක්ෂාව තවදුරටත් වැඩි කිරීමටත්, ස්ථිර මාර්ග බාධක වලට අතිරේකව හදිසි මාර්ග බාධක යොදා වාහන හා පුද්ගලයින් පරීක්ශා කිරීමත් කෙරෙනවා” නියෝජ්‍ය පොලිස්පති ශාන්ත රාජපක්ෂ විස්තර කරා.

“මේ වෙලාවෙ කොලඹින් ඡන්ද ගණන් කිරීමේ කාර්‍යට ඇවිත් නවාතැන්වල ඉන්න නිලධාරින් බයෙන් ඉන්නෙ. ඒ අය කෑම ගන්න හෝටල්වලට යන්න බයෙන් ඉන්නෙ. ඒ අයගෙ කෑම ගැන ගැටලුවක් තියෙනවා” පෙරේරා මහත්තයා මතක් කරා.

“අපි ඒ අය ඉන්න තැන්වලට රාත්‍රි කෑම ගෙනිහින් දෙමු.” මම ගණකාධිකාරි ගලප්පත්තිට වැඩේ පැවරුවා.

“හරි. ප්‍රදේශෙ ආරක්ෂාව ගැන පොලිසිය බලා ගනීවි. ඔය කිව්ව වැඩපිලිවෙල අනුව ඒක පැහැදිලියි. අපිට ප්‍රශ්නෙ තියෙන්නෙ මැතිවරණය ගැටලුවක් නැතිව පැවැත්වීම. අද හවස සිටි කැෆේ ආපන ශාලාවෙ පිපිරවීමෙන් පේන්නෙ ඡන්දෙට බාධා කරන සැලැස්මක් ත්‍රස්තවාදීන් ලඟ තියෙන බවයි. ඡන්දය විමසීම සුරක්ෂිතව කරගෙන යන්න ආරක්ෂක වැඩපිලිවෙල තියෙනවා. හවස හතරට ඡන්දෙ ඉවරවෙලා ඡන්ද පෙට්ටි ගේනකොට ඒ වාහන අපි ගණන් කිරීමේ පරිශ්‍රයට ඇතුලු කරන්න දෙනවනෙ. ත්‍රස්තවාදීන් ඡන්ද පෙට්ටි ගේන වාහනයක් වගේ බෝම්බ වාහනයක් එව්වොත් අපි කොහොමද අඳුනගන්නෙ? අනික ඡන්ද මධ්‍යස්තානවල අද රාත්‍රි නතර කරල තියෙන අපේ වාහනයක බෝම්බයක් හොරෙන් අටවලා හෙට ඒ වාහනේ ගණන් කිරීමේ පරිශ්‍රයට ආවම පිපිරවීමේ සැලැස්මක් තිබුනොත් අපි කොහොමද ඒක වළක්වන්නෙ? මේ ප්‍රශ්නවලට මොකද කරන්නෙ?” මම සාකච්ඡ සභාවට ප්‍රශ්න යොමුකලා.

“වෙන දේවල්වල හැටියට ඔය සර් කියපු කාරණා බොහෝ දුරට වෙන්න පුලුවන් දේවල්. ඒ නිසා මේවට උත්තර හොයන්න වෙනව. ඔබතුමාල තීරණයක් අරගෙන අපෙන් කලයුතු දේ කියන්න. අපි ඒ ඕන දේකට ලැහැස්තියි” ආනන්ද විජේසූරිය එස්එස්පී මහත්තය කිව්වා.

“කොයි අන්දමකට හරි ඡන්ද පෙට්ටි අරගෙන එන වාහන වල ව්‍යාජයෙන් බෝම්බ වාහනයක් එන එක වලක්වන්න නම් ඡන්ද පෙට්ටි ගේන වාහන වලට අපි විශේෂිත සළකුණක් යොදන්න ඕන. ඒ සළකුණ අපි ලඟ විතරක් තියෙන දෙයක් වෙන්නත් ඕන. මොනවද එහෙම සළකුණු?” මම ඇහුව.

“මෙන්න මේ ස්ටිකර් එක විතරයි අපි ලඟ එහෙම දේකට තියෙන්නෙ” පෙරේරා මහත්තය කිව්වෙ තැපැල් ඡන්ද කවරයක් මුද්‍රා කරපු ස්ටිකර් එක පෙන්වන ගමන්. ඒක දැකපු මට පොඩි අදහසක් ආවා.

“පෙරේරා, ඔය ජාතියෙ ස්ටිකර් ගොඩක් තියේද?”

“මම බලන්නම්. මේක නම් පුංචි වැඩියි ඔය වැඩේට.”

“නෑ පෙරේරා ඔයා හරි. හැබැයි මේ ස්ටිකර් හතරක් එක ලඟ යා කරල ගැහුවම හොඳට පෙනෙයිනෙ.”

“ඔව් ඒක හරි. මම අවශ්‍ය ස්ටිකර් හොයන්නම්”

“පොලිසියට පුලුවන්ද මම දෙන ලිපිය අද රෑම ඡන්ද මධ්‍යස්ථානෙ ඉන්න එස් පී ඕලටයි ආරක්ශක පොලිස් නිලධාරින් අතටයි යවන්න?”

“අපොයි පුලුවන්. අපේ මොබයිල් අද පටන්ගත්තෙ. හෙට වෙනකම් දිවා රාත්‍රි වැඩ.”නියෝජ්‍ය පොලිස්පති කිව්වා.

“එහෙනම් මම රෑ නමය වෙනකොට ලියුම් ටික ලැහැස්ති කරනවා. සෑම පොලිස් ස්ථානයකටම යවල ඡන්ද මධ්‍යස්තානවලට යවන්න. හෙට උදේ වෙනකොට මේ ලියුම් බෙදල ඉවර වෙන්න ඕනා”

ඡන්ද මධ්‍යස්ථානාධිපතිවරුන්ට ලිවූ ලිපියෙ හෙට මධ්‍යස්තානෙට අදාල වාහනය උදේ 7.00 වනවිට මුලුමනින්ම පරීක්ෂා කර පුපුරන ද්‍රව්‍ය කිසිවක් නැති බවට සහතික කරගත යුතු බවත්, හවස 3.00 යලිත් පොලිස් නිලධාරින් ලවා වාහනය පරීක්ෂා කර කිසිදු අනතුරක් නැති බව සනාථ කරගැනීමෙන් අනතුරුව මේ සමඟ එවන ස්ටිකර් හතර වාහනයේ ඉදිරිපස වීදුරුවේ වම්පස ඉහලින් අලවන ලෙසත්, අනතුරුව ඡන්ද පෙට්ටි සමග වාහනයෙන් ගණන් කිරීමේ මධ්‍යස්ථානයට පැමිණෙන ලෙසටත් අඩංගු උපදෙස් සඳහන් කරන ලදී. මා හෝ පෙරේරා මහතා හැර මේ ගැන වෙනත් කිසිවෙකු ලබාදෙන උපදෙස් පිළිනොපදින ලෙසටත්, මීට වෙනස්ව යම් උපදෙසක් ලදහොත් ඒ ගැන පොලිස් ජංගම රථයෙන් තහවුරුවක් ලැබෙන තුරු ක්‍රියාත්මක නොවිය යුතු බවටත් වැඩිදුර සඳහන් කරන ලදී. මැතිවරණ ප්‍රවාහන අංශය භාර නියෝජ්‍ය කෘෂි අධ්‍යක්ෂ දයාරත්න මහතා කැඳවා හෙට හවස තුනට අම්පාර නගරයට ඇතුලු වන මාර්ග හතරේ මාර්ග බාධකවලට අදාල මාර්ගය ඔස්සේ පැමිණීමට නියමිත ඡන්ද පෙට්ටි රැගත් වාහනවල වර්ගය හා අංකය ඇතුලත් ලැයිස්තු සහිතව නිලධාරින් යොදවා ඡන්ද පෙට්ටි ගෙන එන වාහන වර්ගයෙන්, අංකයෙන්, ඡන්ද මධ්‍යස්ථාන නමින් හා අප යැවූ ස්ටිකරයෙන් හඳුනාගෙන ඇතුලු වීමට අවසර දීම සඳහා පොලිසියට සහය වන ලෙස නියම කලෙමි. පසුදා පාන්දර තුන පමණ වනවිට අපගේ උපදෙස් ලිපි සියලු මධ්‍යස්ථානවලට බෙදූ බවට සනාථ කිරීම පොලිසියෙන් ලැබුනි. එතෙක් අවදිව සිටි අප පැය දෙකක කෙටි නින්දක් ලබා පෙ.ව 7.00ට පෙර කාර්‍යාලයට වාර්තා කලෙමු. ඡන්ද විමසීම සාර්ථකව ආරම්භ වූ බවට සෑම තැනකින්ම ලැබුනු තොරතුරත්, ජනයා උද්‍යෝගයෙන් ඡන්ද පොලවල් කරා එමින් සිටින බවට ලද විස්තරත් අපගේ සතුටට හේතු විය.

පෙ ව 9.45ට පමණ පොලිස් ජංගම රථයකින් ලැබුනු පණිවුඩයක මාන්තොට්ටම ඡන්ද මධ්‍යස්ථානයකට මෝටාර් ප්‍රහාර එල්ල වන බව දැන ගන්නට ලැබීමෙන් අප කලබල වීමු.

මුලින්ම පොලිස් පණිවුඩයක් මඟින් ලැබුනු ආරංචිය වූයේ කංජි කුඩිච්චිආරු වනාන්තරයේ සිට මෝටාර් ප්‍රහාර මාන්තොට්ටම විදුහලේ ඡන්ද මධ්‍යස්ථානයට එල්ල කරන බව පමණි. ඒ සැනෙකින් දමන ප්‍රාදේශීය ලේකම් රෝහණ පුශ්පකුමාර මහතාගෙන් එය තහවුරු කරමින් දුරකතන ඇමතුමක් ලැබුනි. ඡන්දපොල කාර්‍ය මංඩලයට වූයේ කුමක්ද, කාටවත් අනතුරක් වී ඇති දැයි යන තොරතුරු විමසුවද කා වෙතවත් ඊට පිළිතුරු නොවිනි. යුධ හමුදා අණදෙන නිලධාරියාගෙන් විමසූ විට කාලතුවක්කු යොදාගනිමින් ප්‍රතිප්‍රහාර ඇරඹූ බව පමණක් දැනගන්නට ලැබුනි. පැය භාගයකට පසු මගේ ජංගම දුරකතනය නාදවිය.

“ඔය දිසාපතිතුමාද?”

“ඔව්. කවුද කතාකරන්නෙ?”

“සර් මම අංක …… මාන්තොට්ටම විද්‍යාලෙ මධ්‍යස්ථානෙ එස්. පී. ඕ.”

මට යම් අමුත්තක් දැණින.”මාන්තොට්ටම මාන්තොට්ටම” යැයි දෙවරක් කියවුනා හැර වෙනත් යමක් නොකියවිනි.

“සර් අපේ මධ්‍යස්තානෙට මෝටර් ගහනවා.” මට සැණෙන් සිහිපත් උනේ මේ අපි නොසන්සුන්වුනු කරුණට අදාල නිලධාරියා නේද යන්නයි.

“ඔව් එස් පී ඕ මහත්තය මොකද උනේ?”

“සර් කලබල වෙන්න එපා අපි කාටවත් අනතුරක් නෑ. ඔක්කොම හොඳින් මොනවත් හානිවුනෙත් නෑ.”

“අම්මේ දෙය්යන්ගෙ පිහිටයි! ඔයාල කොහෙද ඉන්නෙ?”

“අපි ඡන්ද මධ්‍යස්ථානෙ ලඟ ඉදල මීටර් පනහක් හැටක් දුරින් ලොකු ගහක් යට ඉන්නෙ. මුලු කාර්‍ය මංඩලයම ඉන්නවා. බඩුමුට්ටුත් ඔක්කොම තියෙනවා.”

“දැන් මොකද තත්වය එස්පීඕ මහත්තයා?”

“සර් දැන් මෝටාර් එන්නෙ නෑ. මේ පැත්තෙන් කාලතුවක්කු වලින් ගහනවා. පොලොවත් එක්ක හෙල්ලෙනවා.”

“ඔතනින් අයින්වෙන්න බැරිද තව ආරක්ෂිත තැනකට හිමිහිට?”

“නෑ සර් මෙතන හොඳයි. මම සර්ට කතාකලේ උපදෙසක් ගන්න”

“ඔව් මොකක්ද ඕනා? තව පොඩ්ඩෙන් වාහනයක් එවන්නම් ඔයාලට ආපහු එන්න.”

“අපොයි සර් එහෙම කොහොමද? මම අහන්න හැදුවෙ මෙතන පොඩි මඩුවක් තියෙනවා ඒකෙ ඉඳන් ඡන්දෙ කරන්නද? කියලයි”

මට අදහා ගත නොහැකි උනි. මෝටාර් ප්‍රහාරය අස්සේ ඡන්දය පවත්වන්නදැයි ජ්‍යෙෂ්ඨ ජන්ද නිලධාරියා විමසා සිටී!

“එහෙම පුලුවන්ද එස් පී ඕ මහත්මයා?”

“පුංචි පුංචි අපහසුකම් එයි සර්. ඒව තිබුන කියල ඡන්දෙ නොකර පුලුවනෑ?”

“එස් පී ඕ මහත්තයා, මට ඔයා ගැන හරි ආඩම්බරයි. මම ඉන්න රාජ්‍ය සේවයේ ඔයා වගේ නිලධාරින් ඉන්න එක ගැන මටත් ලොකු අභිමානයක් දැනෙනවා.”

“ඕව මොනවද සර්? අපි මලත් මේ රාජකාරිය නවත්වන එක අපේ යුතුකම නෙවෙයිනෙ!”

“හොඳයි එස් පී ඕ මහත්තයා. වැඩේ කරගෙන යන්න. ගැටලුවක් ආවොත් කතා කරන්න. ඔය කාර්‍යමංඩලයට මම ස්තූති කරා කියල කියන්න.”

“හොඳමයි සර්” ඒ මහත්තයා කතාව නිම කලා.

ඒ ඡන්ද මධ්‍යස්ථානෙත් ඇතුලුව හැම ඡන්ද මධ්‍යස්ථානෙකම නියමිත විදියට හවස හතර වෙනකම් ඡන්දෙ පැවැත්තුවා. හවස හතරෙන් පස්සෙ “කිලුටුගමයා” ඡන්ද මධ්‍යස්ථාන දාහතක ඡන්දෙ විමසීම නිසිලෙස සිදු නොවුනු බවට පැමිණිල්ලක් එව්වා. මේ පැමිණිල්ල නිසාම ඡන්ද ගණන්කිරීමට පෙර ඡන්ද විමසීම නිසි පරිදි සිදු වූයේද යන්න ගැන පරීක්ෂා කෙරෙන ක්‍රමවේද සියල්ල පරීක්ෂා කර බැලුවා. එසේ කිසිදු තොරතුරක් නොමැති බැවින් ඡන්ද ගණන් කිරීම ඇරඹුවා.

ඡන්දෙ ගණන් කරන්නෙ එක් එක් ඡන්ද කොට්ටාශය ගණන්කිරීමේ මධ්‍යස්ථානවලට වෙන් කරලයි. ඒ විදියට අම්පාරෙ ඡන්ද කොට්ටාශ හතර ගණන්කිරීමේ ශාලා විසිපහකට තිහකට විතර බෙදල, ඒවායේ ගණන්කිරීමේ කටයුත්ත කරනවා. මේ සෑම ගණන් කිරීමේ ශාලාවකටම තරඟ කරන පක්ශ හා කණ්ඩායම්වලට පස්දෙනෙකු බැගින් නියෝජිතයො නම් කරන්න පුලුවන්. මේ එක එක ගණන් කිරීමේ මධ්‍යස්ථාන වලින් ලැබෙන ප්‍රතිඵල එකතු කරල දිස්ත්‍රික්කෙ අවසාන ඡන්ද ප්‍රතිපලේ හදන්නෙ අවසාන ගණන්කිරීමේ මධ්‍යස්ථානෙ. මේ මධ්‍යස්ථානෙන් තමයි දිස්ත්‍රික්කෙ ඡන්ද ප්‍රතිඵලය නිකුත් කරන්නෙ. මෙතනට තමන්ගේ නියෝජිතයො දෙන්න ගණනෙ පත් කරන්න තරඟ කරන කණ්ඩායම්වලට පුලුවන්.

මේ ඡන්දෙ අවසන් ප්‍රතිඵල මධ්‍යස්ථානෙ තිබුනෙ අම්පාර කච්චේරියෙ රැස්වීම් ශාලාවෙ. සාමාන්‍යයෙන් ප්‍රතිඵල මධ්‍යස්ථානෙ වැඩ පටන් ගැනෙන්නෙ ගණන්කිරීමේ මධ්‍යස්ථානවල ප්‍රතිඵල එන්න පටන් ගත්තට පස්සෙ. එතෙක් එතන නිලධාරින් මූලික කටයුතු කරමින් ඉන්නවා. නියෝජිතයො පත්කරපු අයත් මහ රාත්‍රියෙ තමයි මෙතැනට එන්නෙ. මමත් මූලික කටයුතු සොයා බලල මගෙ කාර්‍යාලෙ රැඳී හිටියා. පෙරේරා මහත්තයයි, සේමසිංහ මහත්තයයි මගෙත් එක්ක කාර්‍යාලෙ අසුන්ගෙන යම්‍ යම් වැඩ කරමින් සිටියෙ. මේ වෙලාවෙ එක් නීතිඥ මහත්තයෙක් මම හමුවෙන්න ඉන්න බව මගේ ආරක්ෂක නිලධාරින් කිව්වා. ඔහුව මාවෙත යොමුකරන්න මම උපදෙස් දුන්නා.

“දිසාපතිතුමා, මම ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් විජේසූරිය” කාමරයට ඇතුලුවුනු තලතුනා කෙනෙක් කිව්වා.

“ඔව් මහත්මයා, වාඩිවෙන්න. මොකක්ද අවශ්‍යතාවය?”

“දිසාපතිතුමා, මට අවසන් ප්‍රතිඵල සකසන මධ්‍යස්ථානයට යන්න ජනාධිපතිතුමා කිව්වා. මේ නිලධාරින් ඒකට ඉඩ දෙන්නෙ නෑ.”

“ඔව් මිස්ටර් විජේසූරිය, අවසන් ප්‍රතිඵල කාමරයට යන්න පුලුවන් පක්ශ නියෝජිතයින්ටයි, එතන කටයුතු කරන නිලධාරින්ටයි විතරයි.”

“ඉතින් මටත් යන්න ඕන අපේ පක්ශෙ නියෝජිතයෙක් හැටියටයි.”

“ඔව්, දැන් ඔබතුමාලගෙ පක්ශෙ ලේකම්තුමා එතැනට නියෝජිතයො දෙන්නෙක් පත්කරල තියෙනවනෙ. ඒ අයට යන්න බාධාවක් නෑ. අපි ඒ අයට අවසරපත්‍ර දීල ඇති.”

“ඒ අය හොයා ගන්න නෑ ඒකයි ඒවැඩේ ජනාධිපතිතුමා මට පැවරුවෙ.”

“හරි ඔබතුමා පක්ශ ලේකම්ගෙන් පත්වීමක් ගෙනාවොත් යන්න දෙන්න පුලුවන්.”

ටිකක් නොරිස්සුමෙන් මිනිහ යන්න ගියේ “මම ඒක අරගෙන එන්නම්” කියාගෙනයි.ඒ සැනෙන් දුරකතනය නාදවුනා.දුරකතනයෙන් කතාකලේ ප්‍රධාන ගේට්ටුවේ ආරක්ෂාව භාර පොලිස් පරීක්ෂක වරයා.කිසියම් මංත්‍රී වරයෙකු මට කතා කරන්න ඉල්ලන බව පවසා දුරකතනය දුන්නා.

“දිසාපති තුමා මම දකුනු පලාත් සභාවේ මංත්‍රී අමුතු හෙට්ටිගම,මට ප්‍රතිපල කාමරේට යන්න ජනාධිපති තුමා කිව්වා.මේ අය ගේට්ටුවෙන් එන්න දෙන්නෙ නෑ.”

“මංත්‍රී තුමා ,ඔබ ලඟ ඇතුලුදීමේ අවසර පත්‍රයක් තියෙනවනම් විතරයි එතනට යන්න පුලුවන්.”

“අවසරපත්‍ර ගත්තු ඇමතිවරු කොලඹ ගිහින් ඒක නිසා මට වැඩේ බාර දුන්න ලොක්ක.ඒක හොන්ද මම ඇතුලට යන්නම ඕන”.

“එහෙම හැමෝටම ප්‍රතිපල කාමරේට යන්න බෑ පොලේ යනව වගෙ.අවසර නැත්නම් ඉඩදෙන්න බෑ”. මිනිහගෙන් ටෙලිපෝනෙක ගත්තු පොලිස්පරීෂකට මම කිව්වා අවසර පත්‍ර නැති අය ඇතුලු කරන්න එපා මොනම හේතුවටවත් කියල.

ටිකවේලාවකින් අරමුලින් කිව් නීතීඥ මහතා පක්ෂ ලේකම් විසින් අත්සන් කරන ලද පත්වීමේ ලිපියක් රැගෙන පැමිනියා.

පක්ෂ ලේකම්ගෙ ලියුම හරි දැන් මට පාස් එකදෙන්න. ඔහු ඉල්ලුවා.

“මේ පක්ශයට ප්‍රතිපල මධ්‍යස්ථානයට නියෝජිතයින් දෙදෙනෙකුට අවසර පත් නිකුත් කර තිබෙනවා මීටපෙර.ඔබට අවසරපත් නිකුත් කිරීමට නම් මීටපෙර නිකුත් කල අවසර පත් එකක් අවලංගු කල යුතුයි.කෝ ඒ මුල් අවසර පත්‍රය?”

“එහෙමඑකක් මට දුන්නේ නෑ.මට දුන්නෙ පත්වීමක් ඒනිසා මට යාමට ඉඩදියයුතුයි.”.ඔහු තර්ක කරා.මෙව්ගැන සාකච්චාව යන අතර කලබලෙන් දොර ඇරගෙන ආ මගේ ආරක්ෂක නිලධාරියා

“සර් අමුතු හෙට්ටි කියල මංත්‍රී කෙනෙක් කියනවා සර්ට ජනාධිපති තුමාගෙ පනිවුඩයක් දෙන්න ඕනලු.”

“හා එවන්න මිනිහව.”මම කිව්වෙ කේන්තියෙන්.

ආරක්ෂක නිලධාරියා දොර ඇරිය විගස දොරෙන් ඇතුලට ආවේඋස මහත කෙටි රැවුලකුත් ඇති මිනිහෙක්.අමුතු හෙට්ටි කොහොමවෙතත් පෙට්ටගමක් වගේ කියල දකිනකොටම හිතුන.

“ආ දිසාපති තුමා මෙන්න ජනාධිපතිතුමා කතා කරනවා.”මිනිහගෙ ජංගම දුරකතනෙ මගෙ දිහාවට දික් කරේ මහ හයියෙන් එහෙම කියමිනුයි.

මම දුරකතනෙ අතට ගත්තෙ දෙනව හොඳ උත්තරයක් කියල හිතාගෙනමයි.

“හලෝ “මම දුරකතනෙට කතාකලා.

“ඔය අම්පාර දිසාපති තුමාද ?”කවුදෝ ඇහුවා.

“ඔව් කවුද ඔය.?”

“සර් මම ජනාධිපති ආරක්ෂක අංශෙන්”

“ඔව් ඉතින්…”

“සර් ජනාධිපතිතුමා කිව්වා සර්ට කියන්න කියල ඔය මංත්‍රී තුමාව ප්‍රතිපල කාමරේට යවන්න කියල.”

“තමුන් ඉන්න තැනද ජනාධිපති තුමා එහෙම කිව්වෙ.”

“ඔව් සර් මට තමයි සර්ට කියන්න කිව්වෙ.”

“දැන් ජනාධිපතිතුමා තමුන්ගෙන් අහයිනෙ මට පනිවුඩේ කිව්වද ?”කියල

“ඔව්සර් අහයි.”

“අන්න එතකොට කියනවා පනිවුඩේ මට කිව්වය .මම එතකොට කිව්වය මේ මංත්‍රීතුමාට අවසරපත්‍රයක් නැති හින්ද යන්න දෙන්න බෑ කියල.හරිද ඔයවිදියට කියනවා හරිනෙ”.කියල මම ටෙලිපෝනෙක අමුතු හෙට්ටිට දිග්කරා.

“හරිනෙ මංත්‍රී තුමා ඔන්න.”මිනිහ ටෙලෙපෝන් එක කනේ ගහගෙන ඔව් මල්ලි කියන්න මේ දිසාපති තුමා කිව්ව එක ජනාධිපතො තුමාට කියල ටෙලෙපෝනෙක මේසෙ උඩින් තියල මගෙ ඉස්සර්හ පුටුවෙ වාඩි උනා.

“එතකොට මට යන්න බෑ.”මිනිහ ඇහුවා.

“ඇයිමම කිව්ව එක තේරුනේ නැද්ද?මේ තව එක්කෙනෙක් ඔයවැඩේටම කෙඳිරිගගා ඉන්නෙ මෙතන “මම අර නීතිඥයව පෙන්නුවා.මිනිහ දිහා බැලුව මංත්‍රී තුමා ඔලුවෙ අත ගහ ගත්තා.

“හත්තිලව්වයි මේ අපේ ජනාධිපති තුමා පුංචි කාලෙ ඉඳන් ආශ්‍රය කරන විජේසූරිය මහත්තයනෙ”.

“ඉතින් එතුමටත් ඔබතුමාටඕන කාරනේම කරගන්න බැරුව ඔය ඉන්නෙ.”

“හරි හැබැයි මම කොහොම හරි යනවා හරිද?”මංත්‍රී නැගිට්ටා.

“යනව බලන්න පුලුවන්නම් කොහොම හරි “මමත් නැගිට්ටා.

මිනිහ එලියට ගියා.මම අනිත් මනුස්සයට කිව්වා වහාම පිටවෙන ලෙස.මිනිහත් එලියට ගියෙ අපි හම්බන් තොටදි නම් දන්නවා යන හැටි කියාගෙනයි.

“ඒ හම්බන්තොට මේ අම්පාර කොහොමහරි කරන ඒවා මෙහෙ බෑ හරිද?”

මිනිහ ගියා විතරයි දුරකතන ඇමතුමක් ලැබුනේ දේශපාලන වැඩට අම්පාරෙ නතර වී සිටි නිමල් සිරිපාල ඇමති තුමාගෙන්.කේන්තියෙන් හිටපු මම දුර කතනෙට කෑ ගැහුවා

“මොනවද ඇමතිතුමා ඔබතුමාල අපිට මේ වැඩේ කරන්න දෙන්නෙ නැතිද?”

“ඇයි ඇයි දිසාපතිතුමා මොකක්ද ප්‍රශ්නෙ?” කලබල උන ඇමතිතුමා ඇහුවා.

“ඔබතුමාලගෙ මිනිස්සු ඇවිත් එකඑක ජාති දාන්නෙ ගනන්කිරීමේ මධ්‍යස්ථානවලට යන්න.ඕන කියකිය.එතකොට අපි කොගොමද මේවා පිලිවෙලට කරන්නෙ?”

“කවුද ඔහොම කියන්නෙ අපි කවුරුත් එව්වෙ නෑ.”

“එහෙනම් විජේසූරිය කියල ජනාධිපති සම්බන්ධිකරන ලේකම් කෙනෙකුයි අමුතු හෙට්ටි කියල පලාත් මංත්‍රියෙකුයි ඇවිත් අපේ නිලධාරීන්ට කරදර කරේ මොකටද?ඔබතුමා දන්නෙ නැතුවද?”

“අනේ දිසාපතිතුමා ගහල පන්නන්න ඕකුන්ව.මම බලා ගන්නම් ඉතුරු හරිය”.කියල ඇමතිතුමා දුරකතනෙ තිබ්බෙ කතාකරේ මොකටදැයිවත් කිව්වෙ නැතුව.

විනාඩි පහලොවක් විතර ගතවුනා.හදිසියේ ඇරුනු මගේ කාර්‍යාලෙ දොරෙන් ඇතුලු වුනෙ නියෝජ්‍ය පොලිස්පති ශාන්ත රාජපක්ෂ කෝට් එක හරිගස්සමින් ඇතුලට ආපු ඔහු

“දිසාපතිතුමා කවුරු හරි කචල් එකක් දැම්මද?”

“ඇයි ශාන්ත?”

“නෑ මට අරලියගහ මන්දිරයෙන් කතා කරල කිව්වා දිසාපතිතුමාගෙ කටයුතුවලට බාධා කරපු මිනිහෙක්ව වහාම ඇරෙස්ට් කරල නීතිමය පියවර ගන්න කියලඒකයි මම තකහනියෙම ආවෙ”

“ආ ඒකද?මේ අමුතු හෙට්ටි කියල පලාත්සභා මංත්‍රීයෙක් තමයි ඔයවගේ ආවෙ.”

“හා ඕකගැන මට චන්දෙ වෙලාවෙත් ආරචි ආවා.බීගෙන රංචු ගැහෙනව කියල.දෙන්නම් ඕකට ඕනෙ නැතිවැඩ කරනවට. “කියල ඩී අයි ජී මහත්තය ගමන්කථනයට කතාකරල අමුතු හෙට්ටි නම් පලාත්සභා මංත්‍රීවරයා වහාම දුටු තැනදිඕ අත් අඩංගුවට ගැනීමේ අණක් නිකුත් කලා

පැයක් හමාරක් ගිය තැන මට දුර කතනෙන් කතාකරේ ජෙයෂ්ජ්ඨ පොලිස් අධිකාරි ආනන්ද විජේසූරිය.

“සර් අමුතු හෙට්ටි කියල මංත්‍රී කෙනෙක් එක්ක මොකවත් උනාද?”

“ඔව් ඌ මේ ජාතිදාන්න ආවනෙ.දැන් අන්න ඩී අයි ජී කන්ඩායමක් යොදවල මිනිහ අල්ලන්න”

“ඔව් සර් මාර වැඩේනෙ”

“ඇයි ඉතින් මාර වැඩේ කියන්නෙ.”

“එහෙම නොකිය බෑනෙ සර් අමුතු හෙට්ටියා මගෙ ක්ලාස් මෙට්නෙ”

“අම්මප එහෙනම් කියපන් ඌට උගෙ හැසිරීම නින්දිතයි කියල මම කිව්වා කියල.”

“හරිසර්.ඒකනම් කිව්වෑකි මූව ඇරෙස්ට් කලොත් සතියක් දෙකක් ඇතුලෙ තමයි.”

“හැබැයි ඕක පැනල ගියාද දන්නෙ නෑ දැනටමත්”

“නෑ සර් ඌ පැනල ගියේ නෑ.මේවෙලාවෙ මගෙ ගෙදේර ඒකා ඉන්නෙ.”

“මරුනෙ හිටපන් මම ඩී අයි ජීට කියන්න අමුතු හෙට්ටියා උඹේ බොක්ක අස්සෙ ඉන්නව කියල.”

“සර් එහෙම කියන්නෙ නෑ කියල මම දන්නවා.මට ප්‍රශ්නෙ තියෙන්නෙ මූව පොලිසියෙන් බේරල යවන්න සර් මොනව හරි හිතයිද කියල.”

“මම මොනව හිතන්නද ?උඹ මගෙත් එක්කතියෙන විශ්වාසෙත් ආරක්ෂා කරගෙන යාලුවවත් බේරාගන්නනෙ හදන්නෙ.ඒකෙන් මට ප්‍රශ්නයක් නෑ”

“දැන් මගෙ හිතට හොඳයි සර්.සර්ට හොරෙන් මේක කරන්න හිත දුන්නෙ නෑ”

“හරි හරි ඕකට තව භාගයක් පොවල ඇඳයටින් පැදුරක් දාල දීපන්.පාන්දර ඩීඅයි ජීට නින්ද ගියහම අම්පාරෙන් එලියට පන්නපන් හරිද?”

“තෑන්කියුවෙරිමච් සර්.”

ඔයවිදියට වැඩේ සිද්ද උනා.අපි චන්දෙ ප්‍රතිපල දීල අවසන් කලා.ප්‍රතිපල අනුව ආන්ඩුවේ පැත්ත දිනලා තිබුනා.”කිලුටු ගමයගෙ” පක්ශෙ පැරදුනා.කිලුට්ටා නඩුවක් දාන්න ගියත් නඩුව භාරගත්තෙ නෑ.ඉනවුරුදූඑකොලහකටක් පස්සෙ මේ චන්දෙ ගැන ඕපාදූප කියන උන්දලයි පස්සෙ සල්ලි බලෙන් රටේලොක්කෙක් වුනු “කිලුටු ගමයයි” දැන් ප්‍රසිද්දියේ මේ චන්දෙ ගැන ඇද බාන බේගල් ඇහුනම තදවෙන්නෙ නැද්ද හැබෑවටම.

.

.

.

14 thoughts on “නැගෙනහිර පලාත් සභා ඡන්දය 2008.

  1. සර් ඔබතුමාවගේ පිට කොන්දක් ඇති රාජ්‍ය නිලධාරින් ගැන ඇසීමත් සතුටක් ,දෙපැතතෙ දෙන්නාටම එකම හැන්දකින් බෙදලාත් කවුද මෝඩයෙක් ඔබතුමා පොහොට්ටු වෙක් ද කියලා අහන්නෙ තුන්වේලටම අලි බෙටි වලඳන එකෙක් වෙන්නැති.රාජ්‍ය සේවයතුල ඔබ තුමා වැනි නිලධාරින් වැඩි වැඩියෙන් දකින්න ලැබෙන දිනක් උදාවෙයි කියලා බලා ඉඳමි.

    Liked by 1 person

  2. ඔබ වැනි නියම රාජ්‍ය නිළධාරියකු විශ්‍රාම යෑම කියන්නෙ රටකට ලොකූ පාඩුවක් ..ඔබගේ ක්‍රියාකලාපයන් පිළිබඳව මාර ආඩම්බරයක් දැණෙන්නෙ……👍👍👍

    Liked by 1 person

  3. මහත්මයා පොහොට්ටු පක්ෂයේ සාමාජිකයෙක්ද?

    Like

    1. කිසිම දේශපාලන පක්ශයක සාමාජිකයෙකු හෝ අඩුම තරමින් හොරෙන්හෝ චන්දයවත් දෙන්නෙක් නොවෙමිතේරීම්භාර නිලධාරියෙකු වූ පසු චන්දය භාවිතා කිරීමද අත හැරියෙමි.

      Liked by 2 people

    2. තේනුවර මහත්මයා අපේ දිසාපති තුමාගේ බ්ලොග් පෝස්ට්ටු කීයක් විතර කියවල තියනවද? අඩුම වශයෙන් අහඹු ලෙස 5ක් වත් කියෙව්වනම් දැනගන්නවා එතුමා රාජකාරිය සහ එතුමාගේ දේශපාලන කැමැත්ත (political preference) එකට පටලවාගෙන නැතිවග….

      Like

  4. අමුතු හෙට්ටිය නං වයර් මාරු උන අංගොඩ ඉන්න ඕන අමුම අමු පිස්සෙක් කියන එක රටම දන්න ජනාධිපති විතරක් නොදන්නා දෙයක්නෙ … ඒත් ඔය කිළුටු ගමය කියන හාදයට සීනි ගොමගේ කියල කියන්න ඇහැකිද ?

    Liked by 1 person

  5. “හරි හරි ඕකට තව භාගයක් පොවල ඇඳයටින් පැදුරක් දාල දීපන්.පාන්දර ඩීඅයි ජීට නින්ද ගියහම අම්පාරෙන් එලියට පන්නපන් හරිද?”

    Like

  6. මම ඡන්ද වැඩට ආසාවෙන් යන මූලික හේතුව තමයි එදාට හරියාකාරවම රටේ නීතියට අනුව වැඩ කරන්න පුළුවන් වෙන එක. අර පෙට්ටගමයයි, කිලුට්ටයි දෙන්නා ඔබතුමාට පස්සෙං පහු කචල් අදින්න ආවෙ නැතුවයි.

    Like

  7. අනේද කියන්නේ, කිලිටුවත් එක්කනේ ගේම තියෙන්නේ එන ඡන්දෙට අම්පාරෙන් ඉල්ලුවාම නේද 🙂

    Like

  8. 21/4 බෝම්බ සිද්දියෙන් පසුව රටේ ජනතාව ගැන වගකීමක් නැති ආරක්ෂක ඇමතියෙක් සහ අනෙකුත් වගකිවයුත්තන් නිසා කලකිරුණු අපට ඔබ වැනි කෙලින් වැඩ කරන නිලධාරීන් ගැන ඇසීමට ලැබීමත් සතුටක්….

    Liked by 1 person

    1. බොහොම ස්තූතියි.ඔය වචනය මට කෝටිගානකට වැඩිය වටිනවා.අවුරුදු තිස්පහක රාජ්‍ය සේවාවේ මා උපයා ගත් මහාධනය තමයි ජනතාවගෙන් ලැබෙන ඇගයීම.

      Liked by 1 person

Leave a comment