තේරීම් භාර නිලධාරියාගේ අවසාන චන්දය

අවුරුදු තිස් පහකට ආසන්න රාජ්‍ය සේවාවේ අවසාන චන්දය කට ලඟටම ඇවිත්. මේ ලියන්නෙ නොවැම්බර් දහතුන හවස. චන්දෙ කට ලඟ තියාගෙන අසූ හාරදාහක් රාජකාරි මැද්දෙ මේ ලියන්නෙ විශේෂතා කීපයක් මේ චන්දෙදි පේන නිසයි. 2006 අවුරුද්දෙ අවසානෙ දිසාපති කෙනෙක් උන මම, තේරීම් භාර නිලධාරියෙක් හැටියට පවත්වන 9වෙනි චන්දෙ. තුන්වන ජනාධිපතිවරනෙ. තේරීම්භාර නිලධාරියෙක් හැටියට චන්ද නමයක් කරපු, ජනාධිපති චන්ද තුනක් කරපු දිසාපති කෙනෙක් ලංකාවෙ ඉඳල නෑ මම දන්න තරමට. ඒ අතින් ඒක වාර්තාවක්. මේ හින්ද මේ ටික චන්දෙට ඉස්සෙල්ල ලියල තියන්න ඕන කියල හිතුවෙ චන්දෙන් පස්සෙ ලිව්වම ඒකට වෙනත් අර්ථකතන දෙන්නත් පුලුවන් නිසයි.

මම කරපු අනිත් හැම චන්දෙ වගේම මේකෙනුත් දිනන්නෙ කවුද කියන එක ගැන මගේ උනන්දුවක් නෑ. මගේ එකම අරමුණ වෙන්නෙ චන්දෙ කිසිදු ගැටලුවක් නොවෙන්න කරන එක. 2012 අවුරුද්දෙන් විතර පස්සෙ චන්ද කරනකොට මැතිවරණ නීතිය දිස්ත්‍රික්කය තුල බලාත්මක කරන්න විශේෂ වැඩපිලිවෙලවල් සංවිධානය කරා. මේ යටතේ අපි රත්නපුරේ එවක නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් මගේ කල්‍යාණ මිත්‍ර එම් ඒ පී සී පෙරේරා මහත්තය හදුන්වා දුන්නා එක් එක් චන්ද ප්‍රදේශ භාරව විශේෂිත සහකාර තේරීම්භාර නිලධාරින් පත්කරල, ඔහුන් මඟින් අදාල චන්ද ප්‍රදේශයේ මැතිවරණ නීති බලාත්මක බවට තහවුරු කර ගන්න වැඩපිලිවෙලක්. මේ සහකාර තේරීම්භාර නිලධාරීන් එක්ක පොලිස් නිලධාරීනුත් යොදවල, අදාල ප්‍රදේශය පුරා සෝදිසි සංචාරවල යෙදිල, මැතිවරණ නීතියට පට හැනි පෝස්ටර් බැනර් කටවුට් ඉවත් කිරීම, මහා මාර්ගයේ තීන්ත යොදාගෙන අඳින සලකුණු නම් මකා දැමීම, නීති විරෝධී සැරසිලි ඉවත් කිරීම, නීති විරෝධී ප්‍රචාරක වැඩසටහන් නතර කිරීම වාගේ නීතිය බලාත්මකව පවත්වාගෙන යන්න ඕන කරන දේ මේ හරහා කර ගන්න පුලුවන් උනා. මේ කාර්‍යෙදී විදුලිබල මංඩලයෙ, මාර්ග අධිකාරියෙ සේවකයො යොදාගන්න මම කටයුතු කලා. මම මෙතනදී ඒ ආයතන ගෙන්නල ඒ අයට පැහැදිලි කරා ඒ ආයතනවල නීතියෙනුත් මේ දේවල් තහනම් කියල. මහා මාර්ගෙ නීත්‍යානුකූලව ලියන්න පුලුවන් මාර්ග සංඥා විතරයි. ඒ නිසා පාරේ ලියන වෙනත් ලකුණු ඉවත් කිරීම මාර්ග අධිකාරියෙ රාජකාරියක් බව පෙන්නුවම ඒ අය ඒවා ඉවත් කරන්න කම්කරුවො, දියර තාර වාගෙ දේවල් දුන්නා. විදුලි පනතේ රෙගුලාසි අනුව විදුලි කණුවල විදුලි රැහැන් හැර වෙනත් සැරසිලි දැමීම තහනම් බවත් ඒවා ඉවත් කිරීමේ වගකීක්ම විදුලි බල මංඩලයට තියෙන බවත් පෙන්වලා දුන්නම විදුලි බල මංඩලයෙ සේවකයො දාල ඒවා ඉවත් කරා. අපේ පෙරේරා මහත්තය නීතිය බලාත්මක කරන්න හදුන්වා දීපු ක්‍රමය හුගක් දියුණු කලේ ඔහොමයි.

ඔය සේරම අපි 2015 ජනාධිපතිවරණෙදි යොදාගත්තා. අපේ නීති බලාත්මක කිරීමේ කණ්ඩායම් පොලිස් නිලධාරීන් කීපදෙනෙක් එක්ක ඔය ක්‍රමවේද යොදාගෙන නීතිය බලාත්මක කරා. එදත් ආණ්ඩුවෙ බලධාරීන් බඩු බෙදන ඒවා නැවැත්තුවා. ඒ අයගෙ ප්‍රචාරක කටයුතු නීතිය ඇතුලෙ තියාගන්නවද කියන එක අධීක්ෂණය කලා. මගේ ඇමතිවරයා උනු ස්වදේශ කටයුතු භාර ඇමතිතුමා රත්නපුරේ ආණ්ඩුවෙ නායකයා. අපේ බලාත්මක කිරීමේ කන්ඩායම් එතුමගෙ. ඩිජිටල් දැන්ව්ම් පුවරු ගැලෙව්ව. එතුමගෙ වාහනෙ එක අවස්තාවක කහවත්තෙ ටවුමෙදි නතර කරල ස්ටිකර් එක ගැලෙව්ව. වාහනේ හිටියෙ එතුමගෙ නෝන. පංසල්වලට ගිහින් අපේ අය බෙදන්න තිබුනු සිල් රෙදි භාරයට ගත්තා. පලාත් සභාවෙ ආණ්ඩුවෙ මංත්‍රීවරුන්ට සභාවෙන් දුන්නු වාහන අපේ භාරෙට ගත්තා. මේ මොනව කලත් ඒ මගේ ඇමතිතුමා මට මොකුත් කිව්වෙ නෑ. එක වෙලාවක එවක හිටපු ජනාධිපතිතුමාගෙ ලොකු පිංතූරයක් පිටිපස වීදුරුවේ අලවල තිබියදී ඇමතිතුමාගෙ වාහනේ කච්චේරියට ඇතුලු උනාම වාහනෙ තිබුනු ස්ටිකර් එක ගලවන්න නියම කරේ මම කොලඹ ඉන්න ගමන් දුරකතනෙන්. ඒත් බොහොම නිහතමානීව නීතියට ගරු කරලා ඒවා ඉවත් කරේ ඇමතිතුමාගෙ ආරක්ශක නිලධාරින් ලව්වා එතුමමයි. මේවා කරා කියල මට බැන්නෙවත් අමාත්‍ය මංඩලේට පැමිණිලි කරන්නවත් ඩබ්ලිව් ඩී ජේ සෙනවිරත්න මගේ ඇමතිතුමා කටයුතු කරේ නෑ. එක වෙලාවක බොහොම හිතේ අමාරුවෙන් අපේ මහින්ද දේශප්‍රිය කොමසාරිස්තුමාට කිව්වලු මෙහෙ ඉන්න ඉලෙක්ෂන් කාරයයි අපේ ජී.ඒ යි දෙන්නම එක්ක නම් චන්දෙ කරන්න ලේසි නෑ කියල. එතුමගෙ මුලු පීඩනේම එහෙම පිට කරල අපිත් එක්ක හොඳට කතා කලා. කිසිම වෙනසක් පෙන්නුවෙ නෑ.

ඊට පස්සෙ මැතිවරණ කොමිසම ඇවිල්ල කරන දෙවෙනි චන්දෙ මේ ජනාධිපතිවරනෙ. මීට පෙර 2018 දි පලාත් පාලන ආයතන චන්දෙ පැවැත්තුව. ඒක කරන්න සිදු උනේ බොහොම අමාරුවෙන්. විවිධ හේතු කියමින් කල් දදා හිටපු චන්දෙ අන්තිමට කරන්න කොමිසම තීරණය කරා. මුලින්ම පක්ෂ හා කණ්ඩායම් වලට ඇප බඳින්න දින නියම කරා. ඇප භාර ගැනීම ආරම්භ කරන දවසෙ උදේම මට දුරකතනෙන් කතා කලේ මගේ අමාත්‍යංශෙ ලේකම්තුමා. එතුමා මගේ මිත්‍රයෙක්.

“මචං, අද ඇප මුදල් භාර ගන්න එපා කියල කියන්න කිව්වා ඇමතිතුමා”

“මොකක් කිව්වා? උඹට පිස්සුද නැත්නම් මොකෙක් හරි යකෙක්වත් ගැහැව්වද?”

“ඇයි බං එහෙම කියන්නෙ?”

“යකෝ ඇප භාර නොගෙන ඉන්න දෙයියන්නාන්සෙ කිව්වත් බෑ. ඒවා මැතිවරණ නීතියට කරන දේවල්. ඒවට මැදිහත් වෙන්න අපේ ඇමතිතුමාට බෑ.”

“එහෙම බැරිද මචං?

“බෑ යකෝ බෑ. මේ ලංකාවෙ කිසිදවසක ඔහොම මැතිවරණ වැඩට ඇමතිවරු ඇඟිලි ගහල නෑ. උඹ ඇමතිට කියාදීපං ඕක”

“හොඳ වෙලාවට මුලින්ම උඹට කතාකරේ! හරි එහෙනම් ඒක අමතක කරපං. මම තියනවා.”

ලේකම්තුමා දුරකතනෙ තිබ්බා. මිත්‍රයො නිසා අපි දෙන්න අතර පුද්ගලික කතාබහ ඔහොම උනාට එතුමා මගේ රාජකාරි ප්‍රධානියා. මේ දවස මගෙ උපන්දිනේ නිසා ඉක්මනින් කාර්‍යාලෙට යන්න පිටත් උනා. කනත්ත හංදියට යනකොට මගෙ දුරකතනයට කෙටි පණිවුඩයක් ආවා. පණිවුඩයෙන් කියවුනේ අද ඇප මුදල් භාරගැනීම නතර කරන්න කියල. වැඩි විස්තර ලේකම්තුමාගෙන් විමසන්න කියලත් තිබුනා. මම වහාම අමාත්‍යංශෙට ගිහින් ලේකම්තුමා හමුවෙලා “ඇයි එපා කියද්දි මෙහෙම කලේ?” කියල ඇහුව. ලේකම්තුමා කිව්ව “ඔය පනිවිඩේ එවල තියෙන්නෙ ඇමතිතුමාගෙ කාර්‍යාලෙන්” කියල.

ඊට පස්සෙ ඇමතිතුමා එනකම් ඉඳල එතුමට කිව්වා මේ කරන්න කියන වැඩේ නීති විරෝධීයි කියල. ඇමතිතුමා කියනව “මම කලේ ආණ්ඩුවෙ ලොක්කො දෙන්නම මට කිව්ව දේ” කියල. එහෙම කියල මාවත්, ලේකම්තුමාවත් දාගෙන ඇමතිතුමා පාර්ලිමේන්තුවට ගියා. එතන ඇමතිතුමාගෙ කාමරේ ඉඳගෙන මේ ගැන කීපදෙනෙකුටම පැහැදිලි කරා. චන්දෙ ඇප භාර නොගෙන ඉන්න තේරීම්භාර නිලධාරියෙකුට නියම කරන්න ස්වදේශ කටයුතු ඇමතිට බලයක් දී නැති බවත්, තේරීම්භාර නිලධාරි මැතිවරණ නීතිය ක්‍රියාත්මක කලයුතු බවත් මම හොඳට පැහැදිලි කරා. එතනින් ඒ වැඩේ ඉවරයි. හැබැයි මට තේරුනේ ආණ්ඩුව චන්දෙ පැවැත්තුවෙ බොහොම අකමැත්තෙන් කියන එකයි. එහෙම අකමැති වෙන්න හේතුව චන්ද ප්‍රතිපලෙන් පෙණුනා.

මීට පස්සෙ දැනට මාස හතරකට විතර උඩදි දිසාපති සමුළුවට එක්තරා අමාත්‍යාංශෙකින් කරන ව්‍යාපෘතියක් ගැන විස්තරයක් කරා. ඒ විස්තරය අනුව ඒ අමාත්‍යංශය ස්වයං රැකියා ප්‍රවර්ධන වැඩසටහනක් කරනවා. ස්වයං රැකියාලාහී පුද්ගලයන් පුවත්පත් දැන්වීමක් මගින් හඳුනාගෙන ඔහුන්ට ස්වයං රැකියා උපකරණ අදාල අමාත්‍යංශෙ මගින් දීල ඒ අයට උදව් කිරීම තමා ව්‍යාපෘතිය. අපෙන් ඉල්ලා සිටියෙ මේ ස්වයං රැකියා උපකරණ මිලදී ගෙන ඔහුන්ට භාරදෙන්න කියලයි. බොහොම ලස්සනට ව්‍යාපෘතිය විස්තර කරනකොට මට තේරුනේ චන්දෙ ලඟ තියාගෙන බඩු බෙදන ව්‍යපෘතියක් නේද මේ කියලයි. ඒත් එක්කම නීතිවිරෝධී ලෙස චන්ද කාලෙ බෙදන්න බඩු අරගෙන දීල හිරේ යන හැටි පේන්නත් පටන් ගත්තා. මම ඇහුවේ එක ප්‍රශ්නයයි. ඒ “මේ ව්‍යාපෘතිය මුල කොටස අදාල අමාත්‍යංශෙන් කරා නම්, ඇයි මේ අගදි බඩු මිලදී ගැනීම අපිට භාර දෙන්න හදන්නෙ?” කියන එක. ඒකට උත්තරය ලැබුනෙ නෑ! මම සියලු දිසාපතිවරු වෙනුවෙන් යොජනා කලා මේ කාර්‍ය අදාල අමාත්‍යංශයෙන්ම කරගැනීම සුදුසු බවට. මගේ යෝජනාව අනුමත උනා.

දවස් කීපයකින් ආණ්ඩුවේ මැති ඇමතිවරු කීපදෙනෙක්ම මට දුරකතනෙන් කතාකරල ඒ අයගේ ලැයිස්තුවලට බෙදා දෙන්න නියමිත මේ බඩු මිලදී ගෙන අරංදෙන්න කියල ඉල්ලුවා. මම එය අදාල අමාත්‍යංශයෙන් කරගත හැකි දෙයක් බැව් පවසා ප්‍රතික්ෂේප කරා. ටික දවසකට පස්සෙ දිස්ත්‍රික් සමෘද්ධි හිමිකම් බෙදාදෙන උත්සවයේ අගමැතිතුමත් සිටියදී, සමෘද්ධි ඇමති එයාගෙ කතාවෙදි මම ගැන සඳහන් කරල 2008 අවුරුද්දෙ අම්පාර තේරිම්භාර නිලධාරියා ලෙස මහින්ද රාජපක්ෂට පලාත් සභාව දිනල දෙන්න ක්‍රියා කලා කියල චෝදනා කලා. මේ චෝදනාව බොරුවක් නිසා මම මැතිවරණ කොමිසමට පැමිණිලි කරා. කොමිසම තවම ඒ ගැන පරීක්ෂණ කරනවලු. පරිපාලන සේවා සංගමයෙනුත් ඒ ගැන ලොකු විරෝධයක් මතුවුනා.

මේ අතර ජනාධිපතිවරණෙ එන බවත් එය නොවැම්බර් දෙසැම්බර් මාසවලට නියමිත බවත් දැන ගන්න ලැබුනා. මේ හේතුව නිසාම මම තීරණය කලා චන්දෙට පෙර විශ්‍රාම යන්න. ඊට ඉස්සෙල්ල අපේ ඇමතිතුමා මට කතා කරල මගේ දිසාපති පත්වීම දෙන වෙලාවෙ ගත්තු අමාත්‍ය මංඩල තීරණයෙ තිබුනු අඩුපාඩුවක් නිසා මට වෙලා තියෙන අසාධාරණයක් ගැන මතක් කරල, ඒක වහාම නිවැරදි කල යුතුය කියල අමාත්‍ය මංඩල පත්‍රිකාවක් දැම්මා. ඒ වෙලාවෙ මගෙන් ඇහුව කවදද විශ්‍රාම යන්නෙ කියල. මම කිව්වා නොවැම්බර් 26 කියල. මේ අමාත්‍ය මංඩල පත්‍රිකාව දැම්මෙ අගෝස්තු 17. අගෝස්තු 30 මම ඉල්ලීමක් කරා ඔක්තෝම්බර් 1 සිට මාව විශ්‍රාම යවන්න කියල. ඒ ඉල්ලීම කරල දින තුනකින් මැතිවරණ කොමිසමේ සභාපතිතුමා මට කොමිසම වෙනුවෙන් ඉල්ලීමක් කරා ලිඛිතව. ඒ ඉල්ලීමෙ තිබුනෙ කලින් විශ්‍රාම ගැනීමේ තීරණය ඉවත් කරගෙන ජනාධිපතිවරණය පැවැත්වීමට සහාය දෙන්න කියලයි. රාජ්‍ය පරිපාලන ලේකම් රත්නසිරි මැතිතුමත් කිව්වෙ චන්දය ලඟ තියාගෙන කොහොමද කලින් විශ්‍රාම ගන්න අවසර දෙන්නෙ කියලයි. මේ සියල්ල සලකල බලල මගේ කලින් විශ්‍රාම යාමේ ඉල්ලීම සැප්තැම්බර් 12 වෙනිද ඉවත් කර ගත්තා.

මේවා වෙන අතර මට යෝජනාවක් එනවා ජනාධිපති ලේකම්තුමාගෙන්. ඒ විදේශ කටයුතු රාජ්‍ය ලේකම් තනතුරට එන්න කියල. අවුරුදු 13ක් දිසාපතිකම් කරපු මම, කිසිම වගකීමක් නැති රාජ්‍ය ලේකම්කමකට මාස දෙකක කාලෙකට යා යුත්තේ ඇයි ඇහුවම උත්තරේ උනේ ඒ තනතුර භාර ගත්තම මගෙ විශ්‍රාම වැටුප රුපියල් 25000/= කින් වැඩිවෙන නිසා ඒක භාර ගන්න කියන එකයි! අවුරුදු 35කට ආසන්න රාජ්‍ය සේවාවෙ මෙතෙක් ආර්ථික වාසිය වෙනුවෙන් තීරණ නොගත්ත මම, අන්තිම මාස දෙකේ එහෙම කරන්න බලාපොරොත්තුවක් නෑ කියල ඒ ඉල්ලීම ප්‍රතික්ෂේක කරා. ඊට පස්සෙ මට ආරංචි වෙනවා ඒ යෝජනාව පටන්ගත්තෙ අරලිය ගහක් ලඟ තියන මන්දිරයකින් කියල. මට වෙලා තිබුණු අසාධාරණයක් නිවැරදි කරන්න ලොකු ඕනෑකමකින් අපේ ඇමතිතුමා දාපු අමාත්‍ය මංඩල පත්‍රිකාව අනුමත කරගත්ත කියල ඇමතිතුමා මට කතා කරල කිව්වා. මම එතුමට ස්තූති කරා. ඊට පහුවෙනි සතියෙ මට ආරංචි වෙනව මම වෙනුවට වෙනත් කෙනෙක් කොලඹට පත් කරන්න අමාත්‍ය මංඩල පත්‍රිකාවක් ගිහින් කියල. හැබැයි ඒ අමාත්‍ය මංඩල පත්‍රිකාව දමල තියෙන්නෙ මම විශ්‍රාම යන්න අනුමැතිය ඉල්ලන්නත් ඉස්සෙල්ල. එතකොට තේරුණා හිමිහිට මාව අයින් කරන්න සැලැස්මක් යන බව! හැබැයි මැතිවරණ කොමිසම චන්දයක් ආසන්නයේ දිසාපතිවරු වෙනස් කිරීමට විරුද්ධ වීම මත අමාත්‍ය මංඩලය එම ඉල්ලීම ප්‍රතික්ශේප කරනවා. ඒත් එක්කම මට වූ අසාධාරණයක් නිවැරදි කරන්න දාල අනුමත උන අමාත්‍ය මංඩල පත්‍රිකාව ඇමතිතුමා ඉල්ලා අස්කර ගන්නවා. මාව මාරුකරන්න බැරි වෙනකොට මට වූ අසාධාරණය නිවැරදි කිරීමේ උවමනාවත් අහෝසිවෙන්නෙ ඔහොමයි.

මේ කොයි දේත් උපේක්ෂාවෙන් දරාගෙන අවසාන මැතිවරණ මෙහෙයුමට මම සූදානම් උනා. සුපුරුදු පරිදි නාමයෝජනා කැඳවීමේ නිවේදනය නිකුත්වීමත් එක්ක මැතිවරණ සමය ඇරඹුනා. මේත් එක්ක නීතියට අනුව රජයේ පත්වීම් උසස්වීම් ආදී දේ මැතිවරණ කොමිසමේ අනුමැතිය මත පමණයි කල හැකි වන්නේ. ඒත් නාම යෝජනා නිවේදනය නිකුත් කරල සතියකට පස්සෙ උදාවුනු සඳුදා මගෙ කාර්‍යාලයට තරුණ තරුණියො 250ක් විතර ආවෙ ව්‍යාපෘති සහකාර කියල තනතුරකට කොන්ත්‍රාත් පදනමෙන් පත් කරපු පත්වීම් ලිපි අරගෙනයි. මෙහෙම තනතුරක් අපේ කාර්‍යාලවල නෑ. ඒත් මේ පත්වීම් කරපු අමාත්‍යංශය අපිට නියම කරල තිබුන රාජකාරි බාරදී මේ අයගෙ සුදුසුකම් පරීක්ෂා කරන්න කියල. ඒකෙන් තේරුනේ සුදුසුකම් පරීක්ෂා නොකර කලබලේට පත්වීම් දීපු බවයි. මැතිවරණ කාලෙ මේ විදියෙ අනුමත කාර්‍ය මංඩලයට අයත් නොවන අවිධිමත්ව ලබාදුන් පත්වීම් වලට වැඩ භාර දෙන්න බෑ කියල බොහොම අමාරුවෙන් ඒ අය පිටත් කරා.

ඊලඟට දිගින් දිගටම පැමිණිලි එන්න පටන් ගත්තා රජයේ ආයතනවල පරණ දින දාලා පත්වීම් දෙනව කියල. අපේ නීතිය බලාත්මක කිරීමේ කණ්ඩායම මේ පැමිණිලි ගැන විමර්ශනයට යැව්වා. මේ ගොඩක් දේවල් නතර කරා. නිවාස අධිකාරිය මැතිවරණ නීතිය උල්ලංඝනය කරමින් පත්වීම් දෙන්න හැදුවා. 2000ක් ස්ථිර කරන්න අනුමැතිය අරගෙන 4000ක් ස්ථිර කරන්න යන බවත්, වෙනත් අරමුදල් යොදාගෙන මිනිස්සුන්ට සල්ලි බෙදන්න යන බවටත් පැමිණිලි එන්න පටන් ගත්තා. මැතිවරණවලදී රාජ්‍ය දේපල, මුදල් යොදාගෙන අපේක්ශකයො ප්‍රවර්ධනය නීති විරෝධී කියල පෙන්වල දීල අමාත්‍යාංශ ලේකම්ටයි, අධ්‍යක්ෂ මංඩලේටයි ලියුම් ගහල ඒවා නතර කරගත්ත. සමෘද්ධි අමාත්‍යංශෙයි, දෙපාර්තමේන්තුවයි පත්වීම් දීම, සමෘද්ධි දීමනා පත්‍ර බෙදීම, සේවකයින්ගෙ ණය මුදල් ඇමතිගෙ උත්සවයකදි බෙදීම, වැඩිහිටි උත්සවේදී භාණ්ඩ බෙදා දෙන්න උත්සාහ කිරීම, සේවකයින්ට බලපෑම් කිරීම ආදී නීතිවිරෝධී දේ අඛණ්ඩව කරා. බොහෝ රාජ්‍ය ආයතනවල සම්පත් චන්දෙට යොදවන බවට පැමිණිලි ආවා. දිස්ත්‍රික් පැමිණිලි විමර්ශන ඒකකය මේ ස්ථානවලට ගොහින් මේ අනීතික කටයුතු නතර කලා.

අධ්‍යාපන අමාත්‍යංශය පාසැල් වලට ළමුන් ඇතුලත් කරන්න ලියුම් දෙන්න පටන් ගත්තා. ජාතික පාසැල් වලට සුලු සේවක පත්වීම් දෙන්න පටන් ගත්තා. ජාතික භාෂා අමාත්‍යාංශෙන් විහාරස්ථාන, කෝවිල් වල ව්‍යාපෘති කරන්න, පාරවල්, ගොඩනැඟිලි හදන්න සල්ලි වෙන් කරන්න පටන් ගත්තා. මේ සේරම තමන්ගෙ අපේක්ෂකයාට චන්ද වාසියට කරන ව්‍යාපෘතියි. මේ සේරම නතර කරන්නත්, අවශ්‍ය අවස්ථාවල මැතිවරණ කොමිසමට වාර්තා කරන්නත් කටයුතු කරා. මේ අතර කොළඹ නගරාධිපතිනියගෙ නිල නිවාසෙ ජනාධිපතිවරණ අපේක්ශකයෙක් ප්‍රවර්ධනය කරන පෝස්ටර්, කටවුට්, බැනර් තොගයක් තියෙන බවට පැමිණිල්ලක් මැතිවරණ කොමිසමෙන් විමර්ශනයට අපිට එව්වා. මගේ පැමිණිලි විමර්ශන කණ්ඩායම රාජ්‍ය දේපලක් වන නිල නිවාසෙට පොලිස් නිලධාරින් සමග ගියා. තමන්ව හඳුන්වා දී නිල නිවාසෙ භාරකරුගෙ අවසරයෙන් ඊට ඇතුල් වුනු අපේ කණ්ඩායම විශාල ප්‍රමාණයක් පෝස්ටර්, බැනර් එතන තිබිල හොයාගත්ත. ඒ අය මට කතා කරල උපදෙස් ඉල්ලුව. මම කිව්වෙ රාජ්‍ය දේපල අපේක්ශකයෙකුගේ ප්‍රවර්ධනයට යොදාගැනීම තහනම් කර ඇති ආණ්ඩුක්‍රම ව්‍යවස්තා ප්‍රතිපාදන යටතේ පොලිසිය මඟින් විමර්ශන කරවන ලෙසයි. අපේ කණ්ඩායමේ සිටි පොලිස් නිලධාරීන් කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපතිවරයාට දැන්නුවා. ඔහු මඟ ඇරියා. ඒ අතර මැතිවරණ කොමිසමේ සභාපතිතුමා විමර්ශන කන්ඩායමට ආපසු යන්න දැනුම් දුන්නෙ අපේ වැටලීමේ නෛතික භාවයෙ ගැටලු ඇතෙයි කියලයි. අපේ අය ආපහු ආවා. මම මැතිවරණ කොමිසමට අප්‍රසාදය පලකරල ලිපියක් යැව්වා. රූපවාහිනියෙ චන්ද අපේක්ශකයෙකුට මඩ ගහන වැඩසටහනක් සැකසෙමින් ඇති බවට පැමිණිල්ලක් ආවා. මේ ගැන විමර්ශනයට ගිය අපේ කන්ඩායම ඇතුලෙ හිර කර ගත්තා. මම මහින්ද දේශප්‍රිය මැතිතුමාට කතා කරල කිව්වා. එතුමා විනාඩි දහයක ඇතුලත එතනට ගිහින් ගේට්ටු ඇරල අපේ කණ්ඩායම බේරා ගත්තා. රාජකාරියට ගිය නිලධාරීන්ට බාධා කරා කියල කුරුඳුවත්ත පොලිසියට කරපු පැමිණිල්ලට වුනු දෙයක් නෑ!

මේවා වෙන අතර බලවතුන්ට මාව පෙන්නන්නම බැරිඋනා. මගේ මූණු පොත යොදාගෙන ආණ්ඩුවෙ අපේක්ෂකයට එරෙහි පෝස්ට් ප්‍රචාරය කරනව කියල සමාජ මාධ්‍ය මඟින් මඩ ගැහුවා. අපේ ඇමතිතුමා මට එන්න කියල බොහොම සුහදව කිව්වා මම යවන කණ්ඩායම පක්ශග්‍රාහීව වැඩ කරන බව. උදාහරණයට කිව්වෙ නගරාධිපතිනියගෙ නිල නිවසෙ පෝස්ටර් අල්ලන්න ගියෙ පක්ශග්‍රාහී නිසා කියල. මම ඒ අදහස ප්‍රතික්ශේප කරා.

මැතිවරණ කොමිසම සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්ගෙ පක්ෂපාතී දේශපාලනික කටයුතු නිසා අමාත්‍ය මංඩල කාර්‍යාලයට දැන්වුවා ඔහුට එරෙහිව විනය පියවර ගන්න කියල. මේ කරුණ අමාත්‍ය මංඩලයට ඉදිරිපත් උනාම ඇමතිවරු කීපදෙනෙක් ඔහු වෙනුවෙන් පෙනී හිටියා. රජයට උදව් කරන නිලධාරීන් ආරක්ෂා කරගත යුතු බවටයි ඔහුන්ගෙ අදහස වෙලා තියෙන්නෙ. ඒත් මැතිවරණ කොමිසම එවූ පැමිණිල්ල නිසා මේ ගැන පියවර ගතයුතු බව පෙන්නුවාම ඇතැම් ඇමතිවරු කිව්වෙ කොලඹ ජී.ඒ තේරීම්භාර නිලධාරි හැටියට ඉඳගෙන මූණු පොත හරහා ආණ්ඩුවේ අපේක්ෂකයට අවාසි ව්‍යාපාරයක් ගෙනියන බවයි. ඒ ගැන නොබලන මැතිවරණ කොමිසම ආණ්ඩුවට හිතවත් නිලධාරීන්ට ලෙඩ අදින බවටත් චෝදනා කරමින් කොලඹ තේරිම් භාර නිලධාරියා පිළිබඳවද විමර්ශන කරන ලෙස දන්වා තීරණයක් ගත්තා. මැතිවරණ කොමිසම කොළඹ තේරීම් භාර නිලධාරියා මූණුපොත හරහා අන්ඩුවේ අපේක්ශකයාට අවාසි වන ලෙස බෙදාහැරි පෝස්ට් වල විස්තර අමාත්‍ය මංඩලයෙන් ඉල්ලා සිටියා. මේ සේරම අස්සේ මගේ මූණුපොතේ ගිය පෝස්ට් මොනවද කියල මමත් සෙව්වා. අපේ කාර්‍යාලෙ වැඩකරන තරුණ ළමයෙක් මට ඒ පෝස්ට් එක පෙන්නුවා. එහි සඳහන් වන්නේ “බූරු පුතා අද කිව් කතාව අහගෙන ඉන්නටත් බෑ ඕයි” යනුවෙන් වූ පාඨයක්. වෙනත් කිසිවක් නැති එම පාඨය මගේ මූණුපොත හරහා ගියේ කෙසේ දැයි මම අදවත් දන්නේ නෑ. එසේම එය ජනාධිපතිවරණෙට අදාල පාඨයක්දැයි මම දන්නෙත් නෑ. එහෙම වුනත් කොළඹ දිස්ත්‍රික්කයේ ආචාර්‍ය පට්ටම සහිත ඇමති මට්ටමේ දේශපාලකයෙක් සිය ටුවිටර් ගිණුමේම ඉන් කියවෙන්නේ තම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ගැන බව සටහන් කර තියෙනවා. ඒ මදිවාට අමාත්‍ය මංඩලයේ ඇතැම් ඇමතිවරුත් හිතාගෙන ඉන්නේත් එසේම බව මට එසේ චෝදනා කිරීමෙන්ම පැහැදිලි වෙනවා. අවසානයේ ඒ චෝදනාව පිළිගෙන, ඒ ගැන පරීක්ෂණයක් කර ඒ අනුව පියවර ගන්න කියල තීන්දු කරපු අමාත්‍ය මංඩලයත් එහෙම තීරණය කරල තියෙන්නෙ “බූරු පුතා” කියල හඳුන්වන්නෙ තමන්ගෙ ජනාධිපති අපේක්ෂකයව කියල පිලි අරගෙනයි!

අන්තිමේ මේ කිසිදේකින් නොසැලී අපි මේ ජනාධිපතිවරණෙ කරල ප්‍රතිඵල දුන්නා. දැන් මම ගැන විමර්ශනය කරන්න කියල කියපු කැබිනට් එක කොහේද කියල මම හොයනවා. ඒකට වෙච්ච දෙයක් නෑ!

(චන්ද කාලයේ මා හට රජයේ බලවතුන් විසින් කරන ලද අපහාස උපහාස, පරිභව, ගැසූ මඩ හා කෙනෙහෙලි මතක් වී ඇතිවූ චිත්ත වික්ශෝපය සමනය කරනු වස් හුදී ජන දැනුවත් වීමද උදෙසා දින ගණනක් තිස්සේ කොටස් වශයෙන් ලියන ලදී. මෙහි ලියා ඇති සියල්ල සත්‍ය ලෙසම සිදුවූ ඒවා බව පැහැදිලිවම ප්‍රකාශ කරමි. මේ අන්දමින් මැතිවරණ නීති කඩකරමින් තම තමන්ගෙ ඇමතිවරුන්ට ගොංපස් ඇල්ලූ අපේ මිත්‍ර නිලධාරීන් නව රජයේ ලොකු පුටු මත දකින්නට නොලැබේවායිද පතමි.)

11 thoughts on “තේරීම් භාර නිලධාරියාගේ අවසාන චන්දය

  1. Obathuma wage awanka kenek me kathawa pothak wasayen pala kireema ho Talk with Chathura wage programme ekakin ratata kiwayuthui. Samajaye sulu pirisak tamai tawama blog kiyawanne…

    Like

  2. ඔය වගේ වැඩ කරන රාජ්‍ය නිලදාරියො අපේ රටේ හරි අඩුයි. ඒ නිසා පුලුවන්නම් තව කාලයක් රට වෙනුවෙන් සේවය කරන්න.

    Like

  3. සුනිල් මහත්තය ලංකාව වෙනස් වී ගෙන එනවා .
    තරුණ පරම්පරාව තවදුරටත් දේශපාලකයෝ තුට්ටුවකටවත් මායිම් නොකරන තත්වයට
    පත්වෙමින් ඉන්නවා . ඒ වගේම ඉස්සර වගේ බලය තිබුන පලියට නටන්න ඉදිරියේදී බැරි වේවි.

    ඒ හින්ද තව ටික කාලයක් හරි ඔබේ සේවය දෙන්න මේ රටට

    Like

  4. සර් මේක ලියල තියෙන්නෙ බොහොම ලොකු හිතේ අමාරුවකින් කියල පේනවා. ඔබතුමාට තව ගොඩක් සේවය කරන්න හැකියි මේ සමාජයට. විශ්‍රාම ජීවිතයත් රාජකාරි ජීවිතය වගේම උසස් අන්දමින් සහ මානව දයාවෙන් යුක්තව සමාජයට කළ හැකි උපරිම සේවය ඉටු කරමින් ජීවත් වෙන්න ලැබේවා කියා පතනවා…

    සර් ඔය කියා තිබෙන දේ ඇත්ත. මම වැඩ කරන සහ කරපු තැන් හැම එකක්ම ඉතා තදින් දේශපාලනික වෙලා තියෙන්නෙ. ඒ වගේම ඒ නිලධාරීන් දෙශපාලන නායකත්වයට ගැති වෙලා වැඩකරන තරම දැක්කම සේවයට ආධුනිකයෙක් වශයෙන් පරිපාලන සේවය ගැන ඇති වෙන්නෙ පුදුමයක්…

    Like

  5. සුවබර විශ්‍රාම දිවියක් මැත්තුමනි.
    රත්තරරන් ගොම ඩෛ් තිබුනත් අගය අඩු නොවේ

    Like

  6. “මේ අන්දමින් මැතිවරණ නීති කඩකරමින් තම තමන්ගෙ ඇමතිවරුන්ට ගොංපස් ඇල්ලූ අපේ මිත්‍ර නිලධාරීන් නව රජයේ ලොකු පුටු මත දකින්නට නොලැබේවායිද පතමි” ඔව් සර්…කනගාටුවට කරුණ එසේ දැක ගන්න ලැබෙන එක තමයි…සර් වගේ ය නැති පාඩුව රටට තව දුරටත් දැනෙයි…සුව බර විශ්‍රාම දිවියක් ඔබට.

    Like

  7. මිණි කැට යට ගොස් ගොමරිටි උඩට නෑවිත් මේ චන්දෙන් පසුව වත් අපේ රටට සෙතක් වෙයිද කියා බලා සිටිනවා.
    විශ්‍රාම නොයා තවත් ටික කාලයක් වත් අපිට අපගේ රටට සේවය කරන්න.

    Like

  8. මූණුපොත හරහා ඔබට මඩ ගැසීම් රැසක් දුටුවා..ජාතික රූපවාහිනීය සම්බන්ධ කාරනය සම්බන්ධයෙන් ..බූරු පුතාණෝ සම්බන්ධයෙන් මැසෙන්ජර් තුල පල වූ එකත් දැක්කා..ඒක ක්ෂණයෙන් වරදින්න පුළුවන් තැනක්..ඒක අත් වැරද්දකින් සිදු වූ එකක් වෙන්න ඇතියි යන්න එවලෙම හිතුනා..ඒත් බූරු පුතාණෝ කියන්නෙ තමන්ගෙ අපේක්ෂකයා කියලා පිළිගත්ත බූරු පුතාණෝ ලාත් හිල්ලා තීන්නෙ🤣🤣…ඔබතුමාගේ විශ්‍රාම යෑම රටට පාඩුවක්.හේතුව කාටවත් යටත් නොවී සේවය කරන නිළධාරීන් ලංකාවේ විරල නිසා…
    ඔබතුමාට සුබ විශ්‍රාම දිවියක්…👏👏

    Liked by 1 person

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s