අපෙන් සමුගත් අසමසම මිතුරා පී බී අමරසේකර

ඊයේ දිනය උදා නොවුනේ නම් කෙතරම් හොඳදැයි සිතෙන්නේ ඊයේ දිනයේදී අහිමිවූ දේවල් ගැන සිතන විටදීය.ඊයේ දිනය අපට අහිමි කල පීබී අමරසේකර නම්වූ මිනිසා පිලිබඳව සටහනක් තැබීම ඉතා අසීරුවන්නේ ඔහු අපට අහිමි වූ බව පිලිගැනීමට මනස සූදානම් නොමැතිවීම නිසාය.දිසාපති පන්හිඳනම්වූ මගේ බ්ලොග් අඩවියේ ලියවෙන කතාවල ප්‍රධාන චරිතයක් වූ පී බී අමරසේකරයන් 1986වර්ශයේ මුල්වරට හමුවූ දින පටන්ම මියයන මොහොත දක්වාම අපගේ සමීපතම මිත්‍රයෙකු වුනා.පරිපාලන සේවවේ බොහෝ අත්දැකීම් අප ලැබුවේ ඔහු සමග එකටය.1986 වර්ශයේ මා අම්පාරට කච්චේරියේ උපදිසාපතිධුරයට පත්වන විට ඔහු උහන කොට්ඨාශය භාර උපදිසාපතිවරයායි. නාවලපිටිය ගම්වාසියෙකුවූ ඔහු කැලණිය සරසවියේ උපාධි දාරියෙක්.1982 වර්ශයේ විවෘත තරඟ විභාගයෙන් ශ්‍රීලංකා පරිපාලන සේවාවට පත්වන විටත් ලිපිකරු නිලධාරියෙකු ලෙස රාජ්‍ය සේවාවට සම්බන්ධ වී සිටි බව මා සමග කියා තියෙනවා.ඔහුගේ ප්‍රිය බිරිඳ මල්ලිකා හමුවූයේ එම රැකියාවේදී බව පැවසූ බවද මතකයි.

1986 වනවිට භද්‍ර යෞවන වියේ පසුවූ අමරසේකරයන් අම්පාරේ නවක පරිපාලන නිලධාරින් සැමට නායකයා වුනා.31ශ්‍රී2110ජීප්‍ රථය පදවාගෙන උහන සිට අම්පාරට පැමිනෙන අමරසේකරයන් දැකුම එකල අපේ මහත් සතුටට හේතුවක් වන්නේ රසවත් කතාබහක නිරත වීමට අවස්තාව ලැබෙන නිසයි.බොහෝ විට ඔහුගේ වැඩිමහල් පුතු කුඩා අනුරාධද ඔහු සමග එක්ක එනවා.. එවකටත් අම්පාරේ විශාලතම උපදිසාපති කොට්ටාශය වූ උහන කොට්ටාශය හා එහි වාසය කල ජනී ජනයා පිලිබඳ අතැඹුලක් සේ තොරතුරු දැන සිටි ඔහු බොහෝ විට ජීප්‍ රථය පදවාගෙන සන්ධ්‍යා භාගයේ ඇල කන්ඩි දිගේ වැටී ඇති පාරවල් ඔස්සේ සංචාරය කරනවා.මේ සංචාර ඔහුගේ ජනතා හමුවීම්‍ වලට හොඳ අවස්තාවන්..මෙබඳු සංචාර අතර තැන තැන රිය නතර කර දවසේ වැඩ නිමාවී.ඇලෙන් දියනාගෙන ගොඩවෙන ගොවීන්, ඇල ලඟ කුඩා කඩ අසල තේ එකක් රසවිඳින ගොවීන්,ඇලෙන් ගොඩ බැස නිවෙස් බලායන තරුණයින්, කාන්තාවන්, කුඩා ලමුන් සමග කතාබහක යෙදෙන අමරසේකරයන් එබඳු සබඳතා මගින් සිය කොට්ටාශයේ ජනයා සමග සමීප මහජන සබදතාවයක් පවත්වා ගත්තා.තනිකඩව සිටි මම ඔහු ගේ මෙබඳු සංචාරවලට නිතර එක් වුනා.ඔහු සමග සන්ධ්‍ය භාගයේ ඇල කන්ඩි ඔස්සේ සිදුකල මෙම සංචාර හා මහජන හමුවීම් නවක උපදිසාපතිවරයෙකු වූ මට මහජන සබ๬දතාවය පවත්වාගැනීම පිලිබඳ ලැබුනු වටිනා පුහුණුවක් වුනා.උහන උපදිසාපති කොටසේ ජීවත්වූ දුප්පත් ගැමියන්ද යමක් කමක් ඇති අයද රාජ්‍ය සේවකයින්ද,ව්‍යාපාරිකයින්ද ගොවියන්ද සෑම පක්ෂයකම ප්‍රාදේශීය දේශපාලඥයින්ද පී බී අමරසේකරයන් ට සැලකුවේ තමන්ගේ නායකයා මෙන්ම උපදේශකයා හැටියටයි.

.1988/89දකුණේ භීෂණ සමයේ අමරසේකරයන් සුපුරුදු ලෙස උහන උපදිසාපතිවරයා වූ අතර සී /ස උඩ පලාත ව්විධ සේවා සමුපකාර සමිතියේ සභාපති ධුරයද දැරුවේත් උපදිසාපතිවරයමයි..මේ අවධිය රජයෙන් සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන් යන දෙපැත්තෙන්ම ඇඳිරි නීතිය දමන යුගය.රජය දිස්ත්‍රික්කයක ඇඳිරිනීතිය පනවා සෝදිසි මෙහෙයුම් කර තරුණයින් අතඩංගුවට ගැනීම බොහෝවිට සිදුවුණා.දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය යනු යටි බිම්ගත සන්නද්ධ ගරිල්ලා ව්‍යාපාරයක්.රජය සමග බිහිසුණු අරගලයක නිරතව සිටි ඔවුන් රජයේ සේවා සැපයුම කඩා කප්පල් කිරීම රජයට පක්ෂපාතී ව දේශපාලනයේ නිරතවූවන් ඝාතනය කිරීම,රාජ්‍ය දේපල විනාශ කිරීම තුලින් රජයට මහත් අභියෝගයක් එල්ල කිරීමට සමත්ව තිබුනා.රාජ්‍ය පරිපාලනයේ නියුතු නිලධාරීන් ලෙස රජයේ සේවා සැපයුමට සම්බන්ධවසිටි උප දිසාපති වරුන්ටද තර්ජන එල්ලවී තිබූ අතර ඒවන ව්ටත් සියඹලාන්ඩුව උපදිසාපති ව සිටි මිත්‍රානන්ද මහතා සිය ලිපි කරුවෙකු සමග නිල වාහනයෙන් කොට්ටාශය තුල රාජකාරි ගමනක යෙදෙද්දී වෙඩිතබා ඝාතනය කර තිබුනා.

මේ අතරදේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අඛන්ඩ ඇඳිරි නීතියක් ප්‍රකාශයට පත් කරා. සියලු වෙලඳ සැල් රජයේ කාර්‍යාල වසාතබන ලෙසත් සියලු ප්‍රවාහන සේවා නතර කරන ලෙසටත් ජනතාවට නිවෙස්වලට වී සිටින ලෙසටත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ සන්නද්ධ නායක කීර්ති ව්ජේබාහු ගේ අත්සනින් යුතුව මහා නාගකුලදී නිකුත් කල නිවේදනයක් බෙදා ඇර තිබුනා.රජයේ ඇඳිරි නීතිය වගේ නෙවෙයි මේ ඇඳිරි නීතිය කඩ කලහොත් ජීවිතයෙන් සමුගැනීමට සිද්දවෙනවා.ඒහින්දද කොහෙද ඇඳිරි නීතිය අකුරටම ක්‍රියාත්මක වුනා දින දෙකතුනකට පසු මේ ඇඳිරි නීතිය මැද මගේ නිල නිවසට දුර කතන ඇමතුමක් ලැබුනේ අප හිතවත් අමරසේකරයන් ගෙන්.

“මචං සුනිලො,මේ කොල්ලන්ගෙ ඇඳිරි නීතිය හින්ද උහන දුප්පත් එවුන්ට තමයි හොඳටම වැදිල තියෙන්නෙ.මේමාසෙ මුල ආහාර මුද්දරේට දෙන බඩුටිකවත් ගන්න සමුපකාර ඇරල නෑ.එදාවේල කන්න නැති අහිංසකයො කොහොම ජීවත්වෙනවද දන්නෙ නෑ”

“එක නම් ඇත්ත මචං අපි ඉතින් මොනව කරන්නද?”

“නෑ සුනිලො.මම මේකට වැඩක් ප්ලෑන් කරා.ඒක කියන්නයි උඹට කතා කරේ.”

“ඔව් මොකක්ද උඹේ ප්ලෑන?”

“මෙහෙමයි.මම දේශප්‍රේමී කොල්ලන් එක්ක කතා කරල සමුපකාර ඇරල ආහාර මුද්දර බඩුටික බෙදන්න බලනවා”

“ඉතින් කොහොමද කොල්ලො එක්ක කතා කරන්නෙ.”?

“ආ ඒක ලෑස්ති කරගත්තා මට පණිවුඩයක් හම්බු උනා තැනකට එන්න කියල”

“යකෝ අමරෙ ඕකුන් කියන තැන්වලට යන්න එපා.මතකනෙ මිත්‍රා නන්දයට වෙච්චදේ.උඹට එන්න කියල වෙඩිතියල දාන්න ඉඩ තියෙනවා.උඹ උහන උපදිසාපති නිසා ලොකු ටාගට් එකක් වෙන්න පුලුවන් උන්ට.අනික රජයට ලොකුවට දැනෙනව උපදිසාපති ව මැරුවොත්.”

“මචං මේකෙ එහෙම අවදානමක් තියෙනවා ඒ වුනාට මේ මිනිස්සුන්ට කන්න බඩුටික දුන්නෙ නැත්නම් පොඩිඋන් බඩගින්නෙ මැරෙයි”

“අනිත් එක අමරෙ උඹ උන් එක්ක සාකච්චා කරද්දි ඔතනට පොලිසියෙන් හරි හමුදාවෙන් හරි පැන්නොත් උඹවත් අහුවෙනවාඑතකොට උඹවත් ගනන් ගන්නෙ උන්ගෙ කෙනෙක් හැටියටයි..එතකොට යන්නවෙන්නෙ ටයර් එකේ.”

“හරි මචං ඔය ඔක්කොම හරි.ඒවුනාට මෙප්‍රශ්නෙට උත්තරයක් හොයන්න අවදානමක් ගන්න වෙනවාමම ඒ අවදානම ගන්නවා.මේ ගැන කිසිකෙනෙක් දන්නෙ නෑ.මම යන්නෙ විසිඅටේ …………ගෙදරට. එතන තමයි සාකච්චාව තියෙන්නෙ .මම හවස 5.00ට ඉස්සෙල්ල ආපහු උඹට කෝල් එකක් දුන්නෙ නැත්නම් උඹ මම ගිය තැනයි කාරණෙයි උහන ඕඅයි සී ධනසේකරයට කියපන්.එහෙම උනොත් ධනසේකරයා මගෙ මිනිය හරි ගෙනෙයිනෙ මචං.මට කොල්ලො එක්ක කතාකරන්න හම්බු වුනොත් මේවැඩේ කරගන්න පුලුවන්.”

මේ අපි අතර කෙරුනු සංවාදය.ඒවෙන කොට වෙලාව පස්වරු 2.30ටවිතර ඇති.මම එහෙමම ටෙලිපෝන් එක ලඟටම වෙලා හිටියා.මගෙ හිත ලොකු බයකින් පිරිලා.කාටවත් මේගැන කියන්නත් බෑ.විසිඅටේ ජනපදේ දේශප්‍රේමීන් බලවත් ප්‍රදේශයක්. දේශප්‍රේමීන්ගෙ වෙඩි පාරෙන් මැරුණු මිත්‍රනන්දවත් සිහිවෙනවා.එතකොට අමරෙ ගැන කේන්තියකුත් එනවා..ඔය විදියට පැය දෙකක් විතර ගියා.ටෙලිපෝන් එක වැදුනා.

“හලෝ ”

“සුනිලො මං ආවා මචං වැඩේ හරි”

“බුදු අම්මේ ඇතියංතං මොකද උනේ.?”

“නෑ මචං කොල්ලො හම්බු උනා මම උන්ට කිව්වා ආණ්ඩුව එක්ක තියෙන සටන ගැන මම මොකුත් කියන්නෙ නෑ හැබැයි ඔයගොල්ලන්ගෙම පංතියෙ එදාවේල කන්න නැති දුප්පත් මිනිස්සු බඩගින්නෙ මැරෙන එක නවත්ත ගන්න. ආහාරමුද්දර බඩුටික බෙදන්න සමුපකාරෙ දවස් දෙකක් අරින්න ඉඩ දෙන්න කියල.”

“ඉතිං මොකද කිව්වෙ.?”

“මචං උන් කොල්ලොනෙ .අවංක එවුන් කියල පේනවා උන් එකඟවුනා.ඒවිතරක් නෙවෙයි ප්‍රාදේශික මැනේජර්ලට හෙට සමුපෙ අරින්න කියල පනිවිඩේ දෙන්නත් එකඟ වුනා මම එන ගමන්ම සමිතිය හෙට අරින්න ත් ප්‍රාදේශික වලට ඕන බඩු යවන්නත් සෙට් කරල ආවෙ.අපරාදෙ මචං මේ කොල්ලොන්ගෙ ප්‍රශ්න උන් එක්ක කතා බහ කරල ආණ්ඩුව විසඳනව නම් මේ හීෂණය නවත්ව ගන්න පුලුවන්නෙ.”

“අපොයි අම්මේ උඹ ආයිනම් ඔය මගුල්වල පැටලෙන්න එපා.මම ගිනිපත්තුවෙලා හිටියෙ හරිද?”

“හරි මචං මගෙ චේතනාව හොඳ හින්ද වරදින්නෙ නෑ කියන විශ්වාසෙ මට තිබුන මේ අවදානම ගත්තෙ ඒකයි”

ඔය විදියට උහන උඩපලාතෙත් මැද පලාතෙත් දුප්පත් උන්ට ආහාර මුද්දරේ බඩුටික බෙදන්න අපේ අමරසේකර මහත්තය තමන්ගෙ ජීවිතේ අවදානමක දාල වැඩකලා.ඒ තමයි ප්‍රාදේශීය පරිපාලනයේ අමරසේකර මොඩලය.

බෝගමුයායේ ත්‍රස්තවාදීන් කරපු සමූහ ඝාතනයෙන් මිය ගිය ගම්වාසීන්ගෙ මිනී එකතුකරල අපේ දමන උපදිසාපති එල්පී ජයම්පතියි කච්චේරියෙ ගණකාධිකාරී ප්‍රේමචන්ද්‍ර.යයි කර ගහගෙන එද්දි පොඩි රිවෝල්වර දෙකකින් අමරෙයි මමයි අරක්ශාව දීපු හැටි.,මහ කලු ගොල්ලෙදි වාහනේ හැප්පුනු උමතුරෝගී ලමයව රෝහල් ගත කරපු හැටි.,බන්ඩාරදූවෙ සමූලඝාතනය වෙලාවෙ උපදිසාපතිවරය කොට්ටාශෙ නැතිඑක නොදැනෙන්න පාන්දර පහට බණ්ඩාරදූවට ගිහින් දවසම ගත කරල අව්මගුල සංවිධානය කල හැටි,භීෂණ කාලෙ අමරෙගෙ වාහනේ බලෙන් පැහැරගෙන විරුද්ධවාදියෙක්ව උස්සල ඝාතනය කරපු දේශපාලකයෙකුගෙ ආරක්ෂකයින් පිරිසක් නිසා සිද්දවුනු අර්බුදය,, මනම්පිටියෙන් ඉස්සො සුදාගෙන් ඉස්සො ගෙනා හැට් ,වාගෙ කතා සිය ගානක් අමරෙත් එක්ක කරපුව තියෙනවා.ඒ අතර වුනු ඔය සාම සාකච්චාවෙ කතාව සටහන් කලේ පී බී අමරසේකර කියන්නෙ දුප්පත් ගැමියගෙ බඩගින්න නිවන්න ජීව්තේ පරදුවට තියල වැඩ කරපු මනුස්සයෙක් කියන එකට උදාහරණයක් හැටියටයි.

මේ සටහන ලියද්දි උහන වීරගොඩ ඒ ජී සිරිසේන කියන මගේ විශ්ව විද්‍යාලෙ මිත්‍රය මට කතා කලා.ඔහු අමරසේකර මහත්තයගෙ උහන කොට්ටාශෙ පදිංචි කරුවෙක්.අමරෙගෙ සමුගැනීම ගැන මගෙන් දැන ගත්තු සිරී ටිකක් නිහඬව ඉඳලා අමරෙ ගැන මේ විදියට කිව්වා..

“උහන උපදිසාපති කියල ඉස්සර අපි දැන ගෙන හිටියෙ ලොකු මිනිස්සු ආශ්‍රය කරන, සාමාන්‍ය මනුස්සයෙකුට වැඩිය කිට්ටුවෙන්න බැරි,. වැඩිය හිනාවෙන්නෙ නැති,ගමේ ගොඩේ වැඩවලට සම්බන්ධ වෙනව අඩු,මහා ලොක්කො කියල අපිට පෙනුනු උදවියයි.උපදිසාපති තුමා සාමාන්‍ය ගොවියන්ගෙ ගෙවල්දොරවල්වලට එන,මග තොටේදි දැක්කම කතා කරන තරුණ කොල්ලො එක්ක බෝල ගහන,ඕනෑම දවසක හම්බුවෙලා ප්‍රශ්නයක් කියන්න පුලුවන්, ගමේ ගොඩේ සිද්ද වෙන ඕනෑම විපත්තියකදි ඇවිල්ල මිනිස්සු එක්ක වැඩ කරන ,විහිලුතහලු කරල අපිත් එක්ක විනෝද වෙන, ඕන ප්‍රශ්නෙකදි මිනිස්සු එක්ක ඉන්න කෙනෙක් කියල අපිට ආදර්ශෙන්ම පෙන්නල දුන්නෙ අමරසේකර සර් තමයි.ඉන්පස්සෙ ආපු කව්රුත් ඒ පාරෙ තමයි ගියේ.ඒ අතින් බැලුවම අමරසේකර සර් කියන්නෙ නව පරිපාලන පරම්පරාවක පුරෝගාමියා හැට්යට යි උහන මිනිස්සු හැටියට අපි හිතන්නෙ”ඒ උහන උපදිසාපති අමරෙ ගැන මහජනතාවගෙ පැත්තෙ නිරීක්ෂණය.

මේ විදියට උහන අම්පාර උපදිසාපති,මූලස්ථාන උපදිසාපති, අම්පාර ප්‍රාදේශීය ලේකම්, බිබිල ප්‍රාදේශීය ලේකම්, සෞඛ්‍ය අමාත්‍යංශෙ ජේෂ්ඨ සහකාරලේකම්, මොනරාගල දිසාපති,,ඌව පලාතේ ප්‍රධාන ලේකම්,වගෙ තනතුරු දරල විශ්‍රාම ගත්තා.මූලස්තාන උපදිසාපති කාලෙ අමරෙ අම්පාරෙ සෞඛයසේවා ප්‍රාදේශීය් අධ්‍යක්ෂ හැටියටත් වැඩ කරා .මා දන්නා තරමින් ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ස්හ ධුරය දරපු අවසාන පරිපාලන් සේවා නිල ධාරිය අපේ පී බී අමරසේකර.විශ්‍රාමයට පස්සෙත් උමා ඔය ව්‍යාපෘතියේ පීඩාවට පත්වුනු ජනතාවට සහන සලසන වැඩසටහනක් භාරව වැඩකලා. මම අම්පාරෙ දිසාපති හැටියට පත්වෙලා වැඩ හාර ගන්න යනකොට මගේ මිත්‍ර අමරෙ මොනරාගල දිසාපති.කොලඹින් අම්පාරෙ යන්න අපි පිටත් වුනෙ හවස.මගදි මට දුරකතනෙන් කතාකල අමරෙ තේ එකක් බ්ල යන්න මොනරාගල දිසාපති මැදුරට එන්න ආරාධනා කලා .අපේ පවුලෙ ඔක්කොම අමරෙගෙ තේපැන් සංග්‍රහය භුක්තිවිදල අම්පාරට යන්න වාහනේට ගොඩවෙන්න හදන කොටම පොලිස් යතුරු පැදි දෙකක අවි සහිත පොලිස් භටයො හතර දෙනෙක් ආවා.අපේ වාහනය ආරක්ෂාවක් සහිතව අම්පාරට යැවීමට අමරෙ යොදාපු වැඩපිලිවෙලක්. . අම්පාරට යෑම සුපුරුදු දෙයක් නිසා ආරක්ෂාවක් අනවශ්‍යයැයි මම කියද්දි ඔහු කීවෙ බිහිසුණු යුධයක් පවතින අවස්තාවක යුධ ගැටුම් සහිත දිස්ත්‍රික්කයක ප්‍රධානියා ලෙස යද්දී වඩා කල්පනාවෙන් ආරක්ෂාව පිලිබඳව කටයුතු කරන ලෙසටයි.මොනරාගල දිස්ත්රික් සීමාව දක්වාඅපට ආරක්ෂාව එසේ සංවිධානය කල අමරෙ අම්පාරෙ පොලිසියට කතාකර එතැන් සිට අම්පාර දක්වා ආරක්ෂාවත් සංවිධානය කර තිබුනා.මේ තමයි මිත්‍රයින් වෙනුවෙන් අමරෙ වැඩ කරපු විදිය.

අවසන්කාලයේ රෝගාතුරව සිටි අමරේ ලෙඩ ඇඳේ සිට අම්පාරේ බොහෝ දෙනෙකුට කතා කර මගේ මැතිවරණ සංව්ධාන කටයුතුවලට උදව් කරන ලෙස ඉල්ලා සිට තිබුනා අවසන්වරට ඔහු මට කතා කලේ මාර්තු 20දින පාන්දරයි. මැතිවරණයට තරග කිරීමේ අවස්ථාව නොලැබීම ගැන පසුබට නොවන ලෙසත් අභියොගවලදී උපායශීලීව මුහුණදිය යුතු බවත් වඩා ශක්තිමත්ව හා සංවිධාන ගතව ඉදිරියට යාමේ අරමුනින් අඩියක් පසුපසට ගැනීම පරාජයක් සේ නොසලකා කටයුතු කරන ලෙසත් මට දීර්ඝව උපදෙස් දුන් අමරේ අවසානවරට පැවසුවේ “සුනිලො ගේම අත අරින්න එපා මචං” කියලයි.එසේ මට උපදෙස් දුන් අපගේ ආදරණීය අමරේ මේ ඇඳිරිය මධ්‍යයේ අප සියල්ල අතහැර නෙත් පියා ගත් බව විශ්වාස කිරීමටත් අපහසුය. අපේ මිත්‍ර පී බී අමරසේකරයන් මේ සංසාරය තුලදී යලිත් අප අතර අපගෙ සොයුරෙකු ලෙස ඉපිදේවා.

2 thoughts on “අපෙන් සමුගත් අසමසම මිතුරා පී බී අමරසේකර

  1. අමරසේකර මැතිතුමනී ඔබට සුබ ගමන්

    Like

  2. එතුමා ගැන අප අසා ඇති වටිනා කතා බොහොමයි. බොහෝ දෙනා ගෙන් ඒ තොරතුරු ගෙන වටිනා කෘතියක් ඔබතුමාට කල හැකියි. එවැන්නක් විවිධ මට්ටමේ පරිපාලන නිලධාරීන්ට වැදගත් වනවා සේම එතුමා ට ද උපහාරයක් වනු ඇති

    Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s