කපිලවස්තු සර්වඥ ධාතු ප්‍රදර්ශනය.

මට රත්නපුරේ දිසාපතිකම භාර ගන්න වුනේ 2011 නොවැම්බර් මාසෙදියි.එහෙම රත්නපුරේට ඇවිත් වැඩිකලක් යන්න ඉස්සෙල්ල රජයෙන් තීරණයක් ගත්ත කපිල වස්තු සර්වඥ ධාතූන් වහන්සේලා ලංකාවට වඩම්මවල රටපුරා ස්ථාන ගණනාවක ප්‍රදර්ශනය කරවන්න.

මේ කපිලවස්තු ධාතු ප්‍රදර්ශනය ගැන රැස්වීමක් ජනාධිපති කාර්‍යාලයේ සංවිධානය කරල දිසාපතිවරුන්ටත් ආරාධනා කරල තිබුනා.පලාත්සභා චන්දෙ නාමයෝජනා එ දවසටම යෙදිල තිබුන නිසා මම සහකාර දිස්ත්‍රික් ලේකම් එස් ඒ දිල් රුක් නෝනව ඒ රැස්වීමට යැව්වා.රැස්වීමට ගිහින් ආපු සහකාර දිසාපති තුමිය වාර්තා කලේ කපිල වස්තු ධාතූන් වහන්සේලා ඉන්දියාවෙන් වැඩමවා එක්දිනක් කැලණියේ මානෙල්වත්ත විහාරයේ ප්‍රදර්ශනය කර දෙවනුව රත්න පුරේ පැල්මඩුලු රජමහ විහාරස්තානයට තුන්දිනක් ප්‍රදර්ශනය සදහා වැඩමවීමටත්.ඉන් අනතුරුව අනුරාධපුරයට වැඩම වීමටත් සාකච්චාවේදී තීරණය කල බවයි..

ඒ අනුව ධාතු ප්‍රදර්ශනය සඳහා වන වැඩපිලිවෙල සංවිධානය කර ගැනීමට පැල්මඩුලු විහාරයේ නායක හිමියන් හා සාකච්චා කර රැස්වීමක් සංවිධානය කරන ලෙසට එවක පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් රෝහණ සේනාරත්න මහතාට දැන්වූවා.දක්ෂ නිලධාරියෙකු වූ සේනාරත්න ඒවනවිටත් රැස්වීමේ සාකච්චා කලයුතු කරුනු සකස් කර තිබුනා.පැල්මඩුලු පොත්ගුල් සහ ගල්පොත්තාවල, යන රජමහ විහාරතුනේ අධිපති ,ශ්‍රීපාදස්ථානාධිපති පූජ්‍ය පාද බෙංගමුවේ ධම්මදින්න රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝ නායක හාමුදුරුවන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් රැස්වීමක් පවත්වා සංවිධාන කටයුතු සිදු කලා.ධම්මදින්න නායක හාමුදුරුවන්ගේ ව්හාරස්ථානයක කෙරෙන කටයුත්තකදී රජයේ නිලධාරීන්ට එතරම් වගකීමක් පැවරෙන්නෙ නෑ.නායක හාමුදුරුවෝ සියලු බරසාර වැඩටික කරවනවා විතරක් නෙවෙයි ඒවාට යන වියදම්ද කරනවා.රාජ්‍ය නිලධාරීන් විහාරස්ථානයේ රැඳී සිටිමින් අවශ්‍ය වෙලාවල්වල ඉදිරිපත්වීම ප්‍රමානවත්..අනික් අතට සියලුම දෙනාට අවශ්‍ය ආහාර පාන සැපයෙන්නෙත් විහාරස්ථානයේ සංවිධායකත්වයෙන්.විහාරස්තානය තුල සියලු සංවිධාන කටයුතු නායක හාමුදුරුවන්ගේ නියමයන් අනුව සිදුවුනා. විහාරස්තාන භූමියෙන් පිටත සංවිධාන කටයුතු පැල්මඩුල්ල ප්‍රාදේශීය ලේකම් රෝහණ සේනාරත්න මැනවින් සිදු කලා.මම පුද්ගලිකවම විහාරස්තානයේ රැඳී සිටිමින් මතුවන ගැටලු විසදමින් කාලය ගෙව්වා..

ධාතූන්වහන්සේලා ලංකාවට වැඩමවා මානෙල්වත්ත විහාරස්තානයේ ප්‍රදර්ශනය කරද්දී ඉන්දියානු පුරාවිද්‍යා සංරක්ෂකයෙක් මූලික සංවිධාන කටයුතු සොයා බැලීම සඳහා පැල්මඩුලු විහාරයට පැමිනියා.ඔහු පැමිනියේ අග්‍රාමාත්‍ය කාර්‍යාලයේ නිලධාරියෙකු සමගයි.ධාතු ප්‍රදර්ශනයට අදාලව සූදානම් කර තිබූ වැඩපිලිවෙල එකින් එක මේ ඉන්දීය පුරාව්ද්‍යා සංරක්ෂක ඩෝසන් මහතාට මා විස්තර කලා.ඔහු එක කරුණක් හැර අන්සියල්ලට එකඟවුනා.ඔහු එකඟත්වය පල නොකලේ ලෝහ වර්ග අඳුනා ගැනීම සඳහා සවිකරන ආරක්ෂක ගේට්ටුව විහාර භූමියට ඇතුලුවන ප්‍රධාන ගේට්ටුව අසල සවිකිරීමට යොදාතිබූ වැඩ පිලිවෙලටයි.ඔහු පැවසුවේ එම ආරක්ෂක ගේට්ටු ප්‍රදර්ශන ශාලාවේ ප්‍රධාන දොර අසල සවි කිරීමටයි.ඊට නායක හාමුදුරුවො එකඟවුනේ නෑ.ඩෝසන් හා නායක හාමුදුරුවෝ යන දෙදෙනම දැඩිසේ තමන්ගේ මතයේම එල්ලී සිටීම නිසා ගැටලුව බරපතලවුනා. සෑහෙන අන්දමේ රාජ්‍ය තාන්ත්‍රික උත්සාහයක් ගත් මම ඒ ප්‍රශ්නය දෙපැත්තටම සාධාරණ ලෙස විසඳාගත්තා.එම උත්සාහයේ ප්‍රතිපල හැටියට ඩෝසන් මහතා මා සමග දැඩිසේ මිත්‍රවුනා.

සියලු සංවිධාන කටයුතු නිමවා තිබ්යදී ධාතූන් වැඩමවීමට පෙරදින රාත්‍රි 8.00පමන ඉන්දියානු මහ කොමසාරිස් කාර්‍යාලයේ නියෝජ්‍ය මහ කොමසාරිස් පී කුමරන් මහතා රත්න පුරයට පැමිනියා.පොලිස් නිලධාරීන් හා මාසමගත් සාකච්චාකරමින් නියෝජ්‍ය කොමසාරිස්වරයා අපගේ සංවිධාන කටයුතු පිලිබඳව ප්‍රශ්න රාශියක් විමසුවා.පසුදින උදයෙන්ම පැල්මඩුලු විහාරයට යාමට සූදානම්වන ලෙසත් එහිදී සියලු තත්වයන් නිරීක්ෂණය කල හැකිවනු ඇතිබවත් නායක ස්වාමීන් වහන්සේ ගෙන් ඕනෑම ප්‍රශ්නයක් විමසා දැන් ගත හැකිවනු ඇති බවත් කියා ඔහුව සැනසුවා.පසුදින උදයෙන්ම පොලිස් ආරක්ෂක යතුරුපැදි පෙරටු කොට නියෝජ්‍ය මහ කොමසාරිස් වරයාව පැල්මඩුලු විහාරයට යවා මම 9.00පමන එහි ගියා.මා විහාරයට යන විට ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා හා ඔහුගෙ සහායකයා නිවී සැනසිල්ලේ විහාරස්ථානයේ විවේක සුවයෙන් සිටියා.ඔහුගේ ප්‍රශ්න විසඳුනේදැයි විමසූ විට දකුනු අතේ මහපටැඟිල්ල ඔසවා දැක්වූවා..ඔහු උදෑසන පැමින නායක හිමියන් මුන ගැසී සංවිධාන කටයුතු ගැන විමසා ධාතූන්වහන්සේලාගේ ආරක්ෂාව සදහා ඇති වැඩපිලිවෙල ගැන කල විමසීමට නා හිමියන් දුන් එක පිලිතුරකින් පසු නිහඬවූ බව මා සමග පැවසුවේ නාහිමියන් පිලිබඳ සුවිෂේශ ගෞරවයකින්..ධාතූන්වහන්සේලා බෞධයින්ට ජීවමාන බුදුන් හා සමාන බවත් ධාතූන්වහන්සේලාගේ ආරක්ෂාව යනු ඉන්දීය නිලධාරීන්ට රකියාවට අදාල වගකීමක් වුවත් එය තමාට බුදුන්වහන්සේගේ ජීවිතය සමානව ඇති වගකීමක් බව නියෝජ්‍ය කොමසාරිස්වරයට පවසන ලෙස භාෂා පරිවර්තකයාට නාහිමියන් දුන් පිලිතුර නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා නිහඬ කිරීමට සමත්වූ බව ඔහු මාසමග පැවසුවේ සිනා සෙමිනුයි.

ධාතූන්වහන්සේලා වැඩමවීමෙන් පසු මැනවින් සංවිධානය කරතිබීම නිසා විනාඩියක කාලයක් තුලදී 60කට වැඩිපිරිසකට වන්දනා කිරීමට හැකි වුනා.පෝලිම් දෙකක් සක්‍රිය කරවීමෙන් පසුව මේසංඛයාව 120න් ඉහලට ගෙනයාමට හැකි වුනා.මේඅනුව දිනකට 150,000 පමන පිරිසකට ධාතු වන්දනාවට පහසුකම් සැලැස්වීම අපගේ ඉලක්කය වුනා.ආරම්භක අවස්තාවේදී බදුල්ල ප්‍රධාන මාර්ගය දිගට කිලෝමීටර් තුනක් ඉක්මවා පෝලිම් සැදී තිබුනාධාතු ප්‍රදර්ශනය ඇරඹූ අවස්තාවේ සිහින් පොද වැස්සක් පතිත වීමෙන් මහා මාර්ගයේ .පැවති අධික රස්නයට සහනයක් සැලසුනා.

ධාතූන් වහන්සේලාප්‍රදර්ශනය ඇරඹුනු පසු ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් කුමරන් මහතා සමග සතුටු සාමීචියේ පැයක් දෙකක් ගතකරන්නට මට අවස්තාව ලැබුනා.තමිල්නාඩු වැසියෙකු වූ කුමරන් මහතා සමග උතුරේ ප්‍රශ්නය පිලිබඳව ඇරඹුනු කතාව ක්‍රමානුකූලව ඉතිහාසය දෙසට යොමු වුනා.බුදුසමයේ සොලොස්මහ ජනපද බිම්බිසාර අජාසත් පියපුතුන්ගෙන් ඇරඹුනු මගධ රාජවංශය,ඉන්පසුව මහාපද්ම නන්දගෙන් ඇරඹී ධන නන්දගෙන් අවසන් උනු නන්ද රාජවංශය ,චන්ද්‍රගුප්ත ගෙන් ඇරඹි මෞර්‍ය ව්ංශය එහි දීප්තිමත් පාලකයාවූ අශෝක හා ඔහුවිසින් බුදු දහම අපරටට හදුන්වා දීම,වැඩිදෙනෙකු නොදන්නා අශෝකගෙන් පසු මෞර්‍ය පාලනය අවසන් මෞර්‍ය පාලකයාවූ වෘහදෘත මරා ශුංග වංශය බලය ගැනීම වැනි ඉන්දීය පුරාණ ඉතිහාසය මගෙන් කියවෙද්දී කුමරන් මහතා කතාව සුල්තාන් පාලනය දෙසට හිමිහිට හරවා ගත්තා.ඝෝර් මහමුද්ගේ ආක්‍රමණ වලින් ඇරඹුනු දිල්ලි සුල්තානයේ කීර්තිමත් පාලක අලාඋද්දීන් ඛල්ජි හා ඔහුගේ නිර්භීත සෙන්පති මලික් කපූර් යටතේ සමස්ත ඉන්දීය අධිරාජ්‍ය ගොඩ නැංවීම,අදී දේවල් මගෙන් ප්‍රකාශ වන විට කුමරන් මහතා මගෙන් විමසුවේ ඉන්දීය ඉතිහාසය පිලිබඳ උපාධියක් හදාරා ඇතිද යන ප්‍රශ්නයයි.අපොස සා පෙලින් පසුව ඉතිහාසය විෂයක් ලෙස හදාරා නැති බවත් ඉන්දීය ඉතිහාසය පිලිබ ඳව මගේ දැනුම කියවීමෙන් ලබා ගත් දැනුමක් බවත් එසේ ඉන්දීය ඉතිහාසය කියවූයේ ඉන්දියාව පිලිබඳව ඇති ආදරය නිසා බවත් ඔහුට පැහැදිලි කරා.ශ්‍රී ලංකාව මගේ මාතෲ බූමිය බවත් ඉන්දියාව මගේ මිත්තණිය ලෙසට මා සලකන බවත් ඔහුට පැහැදිලි කරා.ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා ධාතූන් වහන්සේලා භාරව පැමිනි ඩෝසන් මහතා ප්‍රමුඛ දිල්ලි ජාතික කෞතුකාගාර නිලධාරීන්ට “රත්නපුරේ කලෙක්ටර් වරයා” ඉන්දීය ඉතිහාසය කට පාඩමෙන් දන්නා අයෙකු බව විශේෂයෙන් කියා ගොස් තිබූ බව මා පසුව දැන ගත්තේ ඩෝසන් මහතාගෙනුයි.

මේ අන්දමින් ධාතූන් වහන්සේලා වන්දනාව අතරතුර ඉන්දීය කන්ඩායම සදහා අවශ්‍ය නවාතැන් කෑමබීම ආදීසියලු පහසුකම් නායක හිමියන්ගේ මෙහෙයවීමෙන් ලබාදීමගැන ඩෝසන් ප්‍රමුඛ ඉන්දීය කන්ඩායම බොහෝ සතුටෙන් හිටියා.ඩෝසන් මහතා හා මා අතර සාකච්චා කෙරුනේ කපිලවස්තු ධාතුන් පිලිබඳ කතාවයි.1898දීපමන ඇරඹුනු පිප්‍රාවා ප්‍රදේශයේ කැනීම්වලින් හමුවූ ධාතූන් කිහිපයක් වස්කඩුවේ සුභූති නාහිමියන්ට ලැබී තිබූ කතාව ඩෝසන් දැන සිටියේ නෑ කපිලවස්තු ධාතූන් හා .කපිලවස්තු නුවර පිලබඳව හොඳ සාකච්චාවක් අපි දෙදෙනා අතර කෙරුනා.ධාතු වන්දනාව නිමවීමට පෙරදින රාත්‍රි අටට පමන නායක හිමියන් පැවසුවේ උදෑසන ගිලන්පස පූජාවෙන් පසුව ධාතූන් වහන්සේලා අලි ඇතුන් සහිත පෙර හැරකින් හෙලිකොප්ටර් අංගනයට වැඩම කල යුතු බවයි.පෙරහැරෙන්වැඩම කිරීම පිලිබඳව ඩෝසන් මහතා දැක්වූ විරෝධය සමනය කරවා ගත්තත් පෙරවරු 7.00ට පැවැත්විය යුතු ගිලන්පස පූජාව ඒවෙලාවට පැවැත්විය නොහැකි බවත් පෙරවරු 8.00අනුරාධපුරයේ ප්‍රදර්ශනය ආරම්භ කිඊමට පෙරවරු 6.30ට හෙලිකොප්ටර් අංගනයට ගොස් අනුරාධපුරයට පිටත්විය යුතු බවට ඔහු දැඩිව කියා සිටියා.අවසානයේ නායක හිමියන්ට මේතත්වය විස්තර කිරීමට සිදුවුනේ මටයි.

“නායක හාමුදුරුවනේ දැන් මේ ඉන්දියන් කාරයො කියනවනෙ උදේ 6.30හෙලිකොප්ටරේට ගොඩවෙන්න ඕන.පූජාවතියන්න වෙලාවක් නෑ කියලමොකද දැන් කරන්නෙ?”

“ඒවුනාට දිසාපතිතුමා බුදු හාමුදුරුවෝ මගෙ පංසලේ වැඩ ඉඳල හෙට උදේ බැහැරට වඩිනව වගෙයි මේසිද්දිය ඉතින් මම කොහොමද උදේ බුද්ධපූජාව නොතියා ධාතූන්වහන්සේල වඩම්මවන්නෙ .ඒක කිව්වෙ නැද්ද ඉන්දියන් කට්ටියට ?”

“කිව්වා නායක හාමුදුරුවනේ ඒ අය පෙරහැරෙන් වඩම්මවන එකත් බෑකිව්වා.ඒකට නම් මම බොහොම අමාරුවෙන් කැමති කර ගත්තා..හෙලිකොප්ටරේ එනකොට පිට්ටනියෙ ඉන්නම ඕනලු.පූජාව අහවර වෙනකොට 7.00වෙනවලු.එච්චරවෙලා ඉන්න බැරිලු පිටත්වෙන්න.”

“”හරි එහෙනම් හෙලිකොප්ටරේ පරක්කු කරමු.””

“”එක කොහොමද කරන්නෙ.වෙලාවට රත්මලානෙන් හෙලිකොප්ටරේ එනවනෙ.?”

“හරි ඒක මම බලා ගන්නම් ඔබතුමා දැන් බංගලාවට ගිහින් පාන්දර 5.00පංසලට එන්නකො.ඉන්දියන් කාරයට මොකුත් කියන්න යන්න එපා.එතකොට ඒඅය දිනුම්නෙ .අපි බලමු බුදු හාමුදුරුවො හෙට උදේ පූජාව ලබන්න අධිෂ්ඨාන කරල තියෙන්නෙ මගෙ පංසලෙන්ද?අනුරාධපුරෙන්ද ?කියල.”

නායක හාමුදුරුවෝ කතාව නිමකලා.මම රත්නපුරේ නිල නිවසට ඇවිත් නිදාගෙන ඉඳල නෝනත් එක්ක පාන්දර 5.00පංසලට ගියා.මම පංසලට යනකොට වන්දනාව නිමවී ධාතූන් වහන්සේලා රන්සිවිගෙයි තැන්පත්කල ලෙසම තියෙනවා.පැල්මඩුලු ව්හාරයේ දායක සභාවේ සභාපති සමන් උපසේන ,ප්‍රධාන කැපකරු සුනිල් වීරසේකර නිලමේ ඇතුලු කට්ටියත් ඉන්දීය කට්ටියත් එතන රැස්වී හිටියා.පෙරවරු 5.15 සෙත්පිරිත් ආරම්භවුනා.සිහින් පොද වැස්සක් ඒ එක්කම වැටෙන්නට වුනා.සුනිල්වීරසේකර නිලමෙ මගෙ කණට කොඳුරලා කිව්වා ප්‍රදර්ශනය පටන් ගන්න කොට ආරම්භ උනා වාගෙ මල්වරුසාවක් නිමවෙනකොටත් වැටෙනවා කියල.ටිකින් ට්ක වර්ෂාව වැඩිවුනා ධාරාණ්පාත වැස්සක් ඇදවැටෙන්න වුනා.විදුලි ගසමින් ගොරවමින් වැටෙන වරුෂාව මැද පිටත්වීම්ට නියමිත වෙලාව පහු වුනා ඩොසන් මහතා වික්ෂිප්තව බලා සිටිනවා.හරියට 6.45ට නායක හාමුදුරුවො මට අසල කාමරයේ සිට පණිවුඩයක් එව්වා.මම එතැනට ගියා.

“ඈ අපේ දිසාපතිතුමා දැන් අපි පූජාව තිබ්බට කමක් නෑ නේද කියල අහන්නකො ඉන්දියන් මහත්තයගෙන්” කියල හයියෙන් හිනාවුනා..

“එහෙයි අපේ නායක හාමුදුරුවනේ පූජාව තියන්නම වෙනව.ඩෝසන් මහත්තය පැත්තක වාඩිවෙලා ඉන්නෙ උන්නැහැගෙන් බාධාවක් නෑ.”

පංච තූර්‍ය නාද මධ්‍යයේ බුද්ධ පූජාව තියල ගාථා කියෙව්වෙ නායක හාමුදුරුවෝමයි.බුද්ධපූජාව අතර මදක් තුරල් කල වැස්ස පූජාව නිමවූ පසු යලිත් තදවුනා.රත්මලාන ගුවන් හමුදා කඳවුරෙන් මට දුරකතන ඇමතුමක් ආවේ ඔය අතරයි මට කතාකල ගුවන්හමුදාවේ නිලධාරියා රත්මලාන ප්‍රදේශයට අධික වර්ෂාවක් පතිතවන බැවින් හෙලිකොප්ටර් යානා ගුවන් ගත කල නොහැකි බව දැනුම් දුන්නා..පැල්මඩුල්ලටත් එසේම දැඩිවර්ෂාවක් පවතින බැව් මම ප්‍රකාශ කලා.දිගින්දිගටම වර්ෂාව පතිතවෙද්දී අපි වරින් වර රත්මලාන සමග දුරකතන මගින් සම්බන්ද වුනා.පෙරවරු 10.00 පමන වන විට රත්මලානේ වර්ෂාව නතර වුනා.ඒත් ගුවන් හමුදාවෙන් පැවසුවේ කුරුවිට කඳු පංතිය වසාගත් දැඩි මීදුමක් පවතින බැවින් රත්නපුර පැල්මඩුල්ල යන ප්‍රදේශවලට හෙලිකොප්ටර් යානා ගොඩ බැස්සවීම අසීරු බවයි.මේබව නාහිමියන්ට දැනුම් දුන්න.

“අපේ නායක හාමුදුරුවනේ බුදු හාමුදුරුවො අධිෂ්ඨාන කරල තියෙනවා අද දවල් පූජාවත් ඔබවහන්සෙගෙ පංසලෙදි කරවන්න. ගුවන් හමුදාවකියනවා කුරුව්ට කඳු පංතිය වහගෙන තියෙන මීදුම අයින්වෙනකම් හෙලිකොප්ටර් එවන්න බෑ කියල.”

“ආ කුරුවිට කඳු අයිති සමන් දෙවියන්ට.අපි සමන් දෙවියන්ටත් පිංඅනුමෝදන් කරල දහවල් පූජාවත් කරමු දිසාපති තුමා”” කියල් නායක හාමුදුරුවෝ සමන් උපසේන මහත්තයට පූජාව සකසන්න නියම කරා.ඒවිදියටම දව්ල් බුද්ධ පූජාවත් කරා.

අනුරාධපුරේ දිසාපති අපේ මිත්‍ර මහින්ද සෙනවිරත්න දිසාපතිතුමා කලබලවෙලා නියමිත පරිදි ධාතූන්වහන්සේලා අනුරාධපුරයට වැඩම නොකිරීම ගැන.මම ඔහුට තත්වය පැහැදිලි කරා.මේ අතර විකල්ප විසඳුමක් සෙවීමට මමත් බුද්ධ ශාසන ලේකම් එම් කේ බී දිසානායක මහත්තයත් ඩෝසන් මහත්තයත් අතර සාකච්චාවක් පැවැත්තුවා.ගුවන් හමුදාවෙන් කියන්නෙ හෙලිකොප්ටර් එවිය හැක්කේ අවිස්සාවේල්ල ,ඇඹිලිපිටිය සමනල වැව ,යන ස්තානවලට පමනක් බවයි.මේ ස්තානවලින් ඇතුලතවූ රත්නපුර පැල්මඩුල්ල බලංගොඩ ආදී කිසිදු ස්තානයකට හෙලිකොප්ටර් ගොඩ බැස්ව්ය නොහැකිබව ඔහුන් දැනුම් දුන්නා.දීර්ඝ සාකච්චාවකින් පසුව අවිස්සාවේල්ල දක්වා රියපෙර හැරකින් ධාතූන් වහන්සේලා වැඩම වීමට ඩෝසන් මහතා එකඟවුනා.ඒ කොන්දේසි සහිතවයි.ධාතූන් සහිත මංජුසාව වැඩැම්ම්ය යුත්තේ වෙඩි නොවදින වාහනයකින්.එම වාහනය පැයට කිලෝම්ඊටර් 40කටවඩා වැඩිවේගයකින් ගමන් නොකලයුතු අතර ඉදිරියෙන් හා පසුපසින් සන්නද්ධ පොලිස් අරක්ෂාවත් දෙපසින් පොලිස් යතුරුපැදි ආර්ක්ෂාවත් ලබාදීය යුතුයි.කවර හේතුවක් නිසාවත් වාහනය අතර මග නොනැවැත්විය යුතුයි.මේ ආදී කොන්දේසි ඇතුලත් ගිවිසුමක් ඒඅවස්තාවේදීම පිලියෙල කර ඉන්දියාව වෙනුවෙන් ඩෝසන් හා ජින් මහත්වරුන්ද ශ්‍රීලංකාව වෙනුවෙන් රත්නපුරදිසාපතිද බුද්ධ ශාසන ලේකම් වරයාද අත්සන් කරා.මේ කටයුතු සඳහා මම දැක්වූ සහයොගය අගයීමට ධාතුන්වහන්සේලා සවිකරතිබූ පිරමිඩාකාර පුවරුව මගේ අතට තබා මගේ නෝනා අතටත් ලබා දෙන බවත් මේ වරප්‍රසාදය මෙරට කිසිවෙකුට ලබා නොදුන් බවත් ඩෝසන් මහතා මට දැන්වුවා.මම ක්ශනිකව පැවසුවේ එම වරප්‍රසාදය නායක හාමුදුරුවන්ට ලබාදෙන ලෙසටයි.එය අපට කරන ගෞරවයක් සේ සලකන බැව් මම ත් මගේ නෝනාත් ඔහුට පැහැදිලි කරා.මෙතනදී මම අපේ හාමුදුරුවෝ ලෙස ඉමහත් ගෞරවයෙන් සලකන බෞධ කටයුතු දිස්ත්‍රික් සමායෝජක පූජ්‍යපාද අටවක්වල සුගත ජෝති හාමුදුරුවන්ටත් මගේ අදහස පවසා උපදෙස් ගත්තා.උන්වහන්සේත් නායක හිමියන්ට මට ලැබුනු අවස්තාව ලබාදීම අතිශය උචිත බවට අනුශාසනා කලා.ඩෝසන් මහතා රන්සිවිගෙයි තැන්පත් කරතිබූ ධාතු වහන්සේලා තුන් නමක් සවිකරතිබූ පුවරුව නායකහිමියන් අතට දී මගේ නෝනාගේ අතටත් දී අවසානයේ මගේ දෑත් මතත් තබා මංජුසාව ඇර එහි තැන්පත්කලා.අවසන රථ පෙර හැරකින් අවිස්සාවේල්ල දක්වා වැඩමකර එහිදී හෙලිකොප්ටර් යානයෙන් අනුරාධපුරයට යැව්වා.මේසා දැඩි කොන්දේසි යොදාගනිමින් මේ ධාතූන් ආරක්ෂාකල ඩෝසන් මහතා හිංදු භක්තිකයෙක්.ඔහුගේ සහායක ජින් මහතා ජෛන ආගමිකයෙක්.මගේ නිලරථයෙන් අවිස්සාවේල්ලට පැමිනි ඩෝස්න් මහතාත් මමත් ගමනේ යෙදුනු පැය එකහමාරත් සාකච්චාකලේ ඉන්දියානු ඉතිහාසය ගැනයි.

එදා ඇතිවූවර්ෂාව අපිරත්නපුරෙන් අවිස්සාවේල්ලට එන අතරදී මුලුමනින්ම නැවතුනා.ධාතූවහන්සේලා අනුරාධපුරයට යවා ආපසු යනවිට හොඳින් ඉරපායා අව් රශ්මිය වැටී රත්නපුරයම ආලෝකමත්වී තිබුනා.එම වර්ෂාව සාමාන්ය වර්ෂාවක් යැයි පිලි ගැනීමට මට කිසිදාක හැකිවන්නේ නෑ.ඒ ගැන නායක හාමුදුරුවන්ගෙන් විමසූවිට අපූරු සිනාවක් පිලිතුරු ලෙස ලැබුනා.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s