හමුදාවේ චෞර පුත්‍රයා.

අද මේ කියන්න යන කතාව ඉතාම පුදුම සහගත කතාවක්.එක පැත්තකින් කිසියම් තේරුම්ගත නොහැකි බලවේගයක මැදිහත් වීමකින් සිද්දවුනු දෙයක් හැටියටත් අනුමාන කරන්න ඉඩ තියෙන දෙයක්.එතරම් දුරකට අද්භූත බලවේග පිලිබඳව විශ්වාස නොකලත් අපට තේරුම් ගත නොහැකි යම්‍ යම් සිද්දින් සිද්දවෙනවා කියල වැටහෙන ප්‍රබල සාක්ෂි කීපයක් හමුවුනේ මම රත්නපුරේ රාජකාරි කරද්දියි.එක් සිද්දියක් දැනටමත් කතාවක් හැටියට ලියල තියෙනවා කපිල වස්තු ධාතු ප්‍රදර්ශනය නමින්.තවත් සිද්දියක් සිද්දවුනේ මගේ රත්නපුර සම්ප්‍රාප්තිය වෙච්ච පලමු දවස් තුන ඇතුලතයි.මම රත්නපුරේට ස්තාන මාරුව ආවෙ අම්පාරෙන් දහවල් පිටත් වෙලා.රත්නපුර නිල නිවාසෙට එනකොට රාත්‍රි හත හමාර අට විතර වෙලා.මාත් එක්ක ආපු අජිත් සිසිර ගලප්පත්ති වගේ හිතවත් කන්ඩායමයි විශ්වසනීය රියදුරු ජයසේනයි මගෙ අයියගෙ පුතා නුවන්,ආදී පිරිස රත්නපුරේ පරිපාලන නිලධාරි කපිල මහත්තය සපයපු රාත්‍රි ආහාරෙ භුක්ති විඳල නිදාගෙන පහුවෙනිද උදේම අවදිවෙලා ලැස්තිවෙල නිල නිවාසෙන් පිටත්වුනේ රත්නපුර සම්ප්‍රදාය අනුව දිසාපතිවරයෙක් වැඩ භාරගන්න ඉස්සෙල්ල මුලින්ම මහ සමන් දේවාලෙට ගිහින් පූජාවක් තියල එන්න ඕන කියල සහකාර දිස්ත්‍රික් ලේකම් එස් ඒ දිල් රුක් මැතිනිය කලින් කියල තිබුනු නිසයි.වාහනේ නැගල නිවසෙ ගේට්ටුවෙන් එලියට එනකොට ඈත කඳුකරයේ බොහොම පැහැදිලිව දිස්වුනේ ශ්‍රීපාදස්තානය පිහිටා තියෙන කොත් මුදුනක් වාගේ පේන සමනල කන්දයි.මමත් රියදුරු ජයසේනත් මේ දර්ශනය දැක්කෙ එකවිටම බව තේරුනේ ඔහු වාහනය වේගය අඩුකර මට සර් ශ්‍රීපාදය පේනවා කිව්වමයි .බුදුරජානන් වහන්සෙගෙ දර්ශනය ගැන ලොකු පැහැදීමක ඉන්න මට ශ්‍රීපාදස්තානය දකිනකොට බුදුරජාණන් වහන්සේ සිහිපත්වෙලා දෑත් එකට එකතුවෙලා ශ්‍රීපාදය දෙසට නමස්කාර කෙරුනෙ ඉබේටම වගෙයි.ඉන් පසුව සමන් දේවාලෙ පූජාවෙන් පස්සෙ වැඩභාරගෙන නිලධාරීන් මුණ ගැහිල අවශ්‍ය හදුනා ගැනීම් කෙරුණා. එදා අම්පාරෙන් ආපු අපි ඔක්කොටම එවක රත්නපුර මැතිවරණ නියෝජ්‍ය කොමසාරිස් මගේ කල්‍යාණ මිත්‍ර එම් ඒ පී සී පෙරේරා මහත්තය ලගෙ ගෙදරින් දිවා ආහාරයත් සැපයුණා.

මේ විදියට දෙවෙනි දවසෙත් කාර්‍යාලෙට එනකොට ගේට්ටුවෙන් එලියට වාහනේ ගන්න කොට ශ්‍රීපාදස්තානෙ පෙනුනා ඒත් දර්ශන පථයට පොඩි බාධාවක් වගේ තිබුනෙ ලොකු වල් පදුරක තිබුනු උසම ගහේ කරටිය හුලඟට වැනෙන එකයි.මගේ හිතට ආවේ මේ ගහේ කරටිය කප්පලා දැම්මොත් ශ්‍රීපාදස්ථානෙ හොඳටම පේනවා නේද කියලයි.එතනදි එහෙම හිතුනට ආයි ත් ඒක මතක් වුනේ නෑ. තුන්වෙනි දවසෙ වාහනේට නගින කොට මතක්වුනා ඊයේ කච්චේරියෙ කාටවත් කියන්න බැරිවුනා නේද අර ගහේ කරටිය කප්පල දාන්න කියල.අදනම් ඒ ඕ කපිල මහත්තයට කියන්න ඕන කියල හිතාගෙන වාහනේට නැගල සුපුරුදු විදියට ගේට්ටුව ලඟදි ශ්‍රීපාදය පැත්ත බැලුවා.. ඉතාමත් පැහැදිලිව ත්‍රිකෝනාකාර සිරිපා කඳු ශිඛරයත් පරිවාර කඳු පංතියත් පැහැදිලිවම දර්ශනය වුනා අර බාධක ගහ සහිත පඳුරම පේන්නවත් නෑ.වහාම ඒගැන පරීක්ෂා කරල බැලුවම ඒපඳුර ස්වාභාවිකවම උදුරන් වැටිල තිබුන බව පෙනුනා.ඒකත් යම් තරමක අද්භූත සිද්දියක් කියලයි මට හැඟුනෙ.

ඊට මාස හය හතකට පස්සෙ සිද්දියක් තමයි මේ ප්‍රධාන සිද්දිය..දිනක් මම කාර්‍යාලේ ඉන්න වෙලාවක දිසාපති තනතුරට අදාලව පුද්ගලික සහකාර හැටියට සේවය කරන මල්ලිකා මහත්මිය මට අභ්‍යන්තර දුර කතනයෙන් කතා කරල තමන්ව හදුන්වා දෙන්න අකමැති කාන්තාවක් මට පුද්ගලිකව කතාකරන්න ඕන කියල බාහිර දුරකතන මාර්ගයේ රැඳී සිටින බවත් කතා කිරීමට බලාපොරොත්තු වන කරුණ පුද්ගලික බැව් පවසන බවත් කියා ඒගැන කුමක් කලයුතුද කියා විමසුවා.මම සැනෙන් කිව්වෙ දුරකතනයෙන් ඇයව සම්බන්ධ කරන ලෙසයි.මල්ලිකා මහත්මිය දුරකතනය මට සම්බන්ධ කලා.

“හලෝ ඔය රත්නපුරදිසාපති තුමාද?”කාන්තා කට හඬකින් විමසුවා.

“ඔව් කවුදමේ කතා කරන්නෙ..”?

“ඔබතුමාගෙ නම සුනිල් කන්නන්ගරද?”

“ඔව් .මම සුනිල් කන්නගර තමයි කවුද ඔබතුමිය ?”

“මගේ නම පොඩිවෙලාවකට නොකිය ඉන්න අවසරද?මට ගැටලුවක් තියෙනවා ඒක ගැන කතා කරන්න නම් මට ඔබතුමාගෙ පුද්ගලික විස්තර ටිකක් දැන ගන්න ඕනා.”

මට එකවරම ඇතිවුනේ සැකයක් .මීටපෙර අම්පාරේදී තර්ජනාත්මක දුර කතන ඇමතුමකින් කප්පමි ඉල්ලීමේ සිද්දියකට මුහුණදී තිබුන නිසා එවන් එකක්දෝ යන සැකයයි ඇතිවුනේ.”කොහොම වුනත් පුද්ගලික විස්තර අවශ්‍යදේ අනුව තමයි ඒවා කියනවද නැතිද කියල තීරණය කරන්නෙ.මොනවද තමුන්ට දැනගන්න අවශ්‍ය” මම ඇහුවා.

“සර් ඔබතුමාගෙ ගම දකුණෙ මාතරනේද?”

“නෑ මම මාතර නම් නෙවෙයි කොටින්ම දකුණු පලාතෙවත් නෙවෙයි.”

“ඈ.එහෙම නම් ඔබතුමාගේ නෝනා ගුරුවරියක් නේද?”

“ඒකත් වැරදියි මගෙ නෝනා රාජ්‍ය සේවෙ උනාට ගුරුවරියක් නෙවෙයි.”

“එහෙමද?එතකොට ඔබතුමාට එකදරුවයිනෙ.”

“ඔව් ඒකනම් හරි.”

“ඒ දරුව හමුදාවෙ කැප්ටන් කෙනෙක් නේද?”

“පිස්සුද?මගේ ඉන්නෙ දුවක් තවම ස්කෝලෙ යනවා.”

මේකතාව අතරමට දැනුනා කතා කරන කෙනාගෙ හඬේ වෙනසක් වුනා.

“සර් ඔබතුමා රත්නපුරේට එන්න ඉස්සෙල්ල අම්පාරේ ප්‍රාදේශීය ලේකම්නේද?”

“නෑ මම අවුරුදු පහලොවකට විතර ඉස්සරනම් අම්පාර ප්‍රාදේශීය ලේකම් කම කලා.”

“එතකොට හමුදාවෙ කැප්ටන් ………….කන්නන්ගර සර්ගෙ පුතෙක් නෙවෙයිද.”

“මම තමුන්ට කලිනුත් කිව්වා මගෙ ඉන්නෙ දුවක්.එයා තවම ස්කෝලෙ යන බව.දැන්මේ හොඳටම ඇතිතමුන්කවිද ඇයි මේ තොරතුරුඅහන්නෙ?”

ඒත් එක්කම හැඩුම් ස්වරයෙන් “සමාවෙන්න සර් මම සර්ට කරදරකරා නම් මට දැන් කතාකරන්න බෑ. දැන් මම තියනවා” කියල දුරකතනය විසන්ධි කලා.මට කිසිදෙයක් හිතා ගන්න බැරිවුනා.හැබැයි රාජකාරි කටයුතුත් එක්ක මේසිද්දිය යටගියා.සුමාන දෙකකට විතර පස්සෙ ආපහු අර කාන්තාව මට කතා කලා.එදා කෙලින්ම නමින් හඳුන්වලදීල ඉන්න නගරෙත් කිව්වා.රත්නපුර දිස්ත්‍රික්කෙ මැණික්වලට ප්‍රසිධ උපනගරයක් තමයි මේකාන්තාවගෙ පදිංචි ස්තානය.තමන් මධ්‍යම පරිමානයේ ව්‍යාපාර යක් පවත්වා ගෙනයන බවත් තමන්ගේ පියාප්‍රදේශයේ ජිවත්වන පිලිගත්වෘතියක නිරතවන යම්තාක් දුරකට ප්‍රභූ පවුලක් බවත් ඒවිස්තරයට ඇතුලත් වුනා.මේවිස්තරයත් එක්ක ඇය පැවසූයේ පුදුම හිතෙන කතාවක්.ඒ වනවිට වසර තුනක් පමන වන ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යනබවත් ඒ පෙම්වතා යුධහමුදාවේ කපිතාන්වරයකු බවත් ඔහු කියාසිටියේ අම්පාර ප්‍රාදේශීය ලේකම් සුනිල් කන්නන්ගර තමන්ගේ පියා බවත් ගම මාතර ප්‍රදේශය බවත් තමන්ගේ මව ගුරුවරියක් ලෙස මාතර සේවය කරන බවත්‍යැයි මේකාන්තාව කියා සිටියා.මේකතාව දුරකථනයෙන් අසා සිටි මම කිව්වේ කවුරුන් හරි ලෝක හොරෙක් ඔය මිනිහට අහුවෙන්න.එපා කියලයි.ඒ වනවිටත් මේ කාන්තාවගේ මුදල් රුපියල් ලක්ෂ හතක් පමන වරින් වර මේපුද්ගලයා විවිධ අවශ්‍යතා සඳහා ලබා ගන ඇතිබවත් ඇය කියාසිටියා.

මේ කාන්තාවට අහම්බෙන් මම රත්නපුරයේ දිසාපති ලෙස වැඩභාරගත් බව සඳහන් පුවත්පත් වාර්තාව දකින්නට ලැබුනු බවත්.මගේ පුතායැයි කියන කපිතාන්වරයා ගෙන් ඒගැන විමසූවිටදැන නොසිටි බව තේරුණු නිසා යම් සැකයක් ඇතිවූ බවත් ඇය පැවසුවා.තාත්තා රත්නපුරේ දිසාපති වූබව නොදන්නේ මාසතුන හතරක් හමුදාවේ රාජකාරී සඳහා රටපුරා ගිය නිසා බව කියා ඔහු මග ඇර තියෙනවා.එමෙන්ම ඔහු හමුදාවේ බුද්ධි අංශයේ සේවය කරන නිසා රාජකාරි කිරීමටනිශ්චිත කඳවුරක්ද නැතිබව මේකාන්තාවට කලින්ම කියා තිබුනු බවත්ඇය ක්‍යා සිටියා.වරින්වර තමන්ගෙන් හදිසියට කියා මුදල් එවන්න කියා දුන් පණිවුඩ හාමුදල් එවනලෙස දැන්වූයේ කවර තැපැල්කාර්‍යාලවලටද බැංකු ගිණුම්වලටද ආදී තොරතුරු තමන් මුල සිටම ලියා තැබූ බවත් ඇය පැවසුවා. වසරතුනක් පමණ ඇසුරු කලත් ගෙදර ආවා ගියත් විවාහය ගැන විමසනවිට තාත්තා හරි නපුරුයි.ඒනිසා අම්මා ලවා හිමිහිටකියවලා තමයිකැමැත්ත ගන්න වෙන්නෙ කියා එය කල්දැමූ බවත් ඇය වැඩිදුරටත් දුර කතනයෙන්ම විස්තර කලා.මා රත්නපුරේ දිසාපති ලෙස පත්වූ පුවත මගේපුතායැයි කියූකෙනා නොදැනසිටීම මත ඇතිවූ සැකය නිසා කලින් දිනක දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට පැමිණ මාව දැක බලාගත් බවත් එහිදී ඔහු පියා ගැන කියා තිබූ දේ පිලිබ්ඹු වන පෙනුමක් මගේ දක්නටනොතිබීම මත දුරකතනයෙන් කතාකර විමසා බැලීමට තීරණය කල බවත් ආදී දීර්ඝවිස්තරවලට මම නිහඬව සවන් දුන්නා.අවසානයේ මේතැනැත්තාවංචනිකයෙකු බව පැහැදීලි නිසා මේ ගැන කලයුතු කුමක්දැයි ඇය මගෙන් විමසුවා.මම ක්ෂණයකින් පිලිතුරු දුන්නේ වහාම පොලිසියට පැමිණිලි කරන ලෙසටයි. පොලිසියට පැමිණිලි කිරීම ගැන මේ කාන්තාව කැමැත්තක් දැක්වූවේ නෑ.එයින්තමන්ගේ පවුලට ලොකු අගෞරවයක් වීමට පුලුවන් කියන ආකල්පයෙනුයි කතා කලේ මම අවසානයට මෙහෙමකිව්වා.

දැන් තමුන් කියාපු විස්තරය අනුව එක්තරා පුද්ගලයෙක් මගේ පුතායැයි තමන්ව හඳුන්වාදෙමින් යම් ආකාරයක වංචාවකනිරත වනබවට පැහැදිලිතොරතුරු තියෙනවා.මෙය මට පෞද්ගලිකව බරපතල ගැටලුවක්.ඒනිසාතමුන් පැමින්ල් නොකලත් මම වහාම පොලිසියට පැමිනිලි කරන එක අනිවාර්‍යෙන්ම කරනවා.එතනදි මට මේ විස්තර දන්වපු කෙනා හැටියට තමුන් ගැන කියන්න වෙනවා.එතනදිපොලිසිය විමර්ශනය කරනකොට තමුන්ට ප්‍රකාශ දෙන්න වෙනවා. ඒත් එක්කම මේ පුද්ගලයා වංචාව කරන්නෙ තමුන්ටයි.තමුන්ගෙන් ගන්න පුලුවන් තරම් සල්ලි අරගෙන අවසානයේ ජීවිතයට කරදරයක් කරල මේක ඉවර කරන්නත් ඉඩ තියෙනවා.ඒනිසා ඒගැන බලාගන්නඑක තමුන්ට භාරයි.නමුත් මම මගේ පරම්පරාවෙ නමට කැලලක්වෙනඑකනතර කරන්න පොලිසියට පැමිනිලි කරනවා කියල කිව්වා

සර් මට තව දවස් තුනක් දෙන්න මම ආයිත් කතාකරන්නම් එතෙක් පොලිසියට නොකියා ඉන්න කියල දුරකතනය තිබ්බා

මම වහාම රත්නපුර ජේය්ෂ්ට පොලිස් අධිකාරි වරයට දුරකතනයෙන් කතා කරල සම්පූර්ණ විස්තරය කිව්වා.පොලිස් අධිකාරීවරයගෙ අදහස වුනෙත් අනිවාර්‍යෙන්ම සල්ලි අරගෙන ආවසානයේ ගැලවෙන්න බැරිවෙනකොට අපරාධයක් කරල හරි වංචන්කයා පනින්න ඉඩ ඇති බවයි.ඔහුගේ අදහස වුනේ මේ කාන්තාව ලවාම පැමිනිල්ලක් අරගැනීම සුදුසු බවයි.අදාල පැමිනිල්ල තම කාර්‍යාලයට සිදුකල හැකිබවත් ඒගැන ගැන රහසිගතව විමර්ශනය කල හැකි බව කාන්තාවට පවසන ලෙස ඔහු ඉල්ලා සිටියා.

දින කීපයකින් අර කාන්තාව යලිත් කතාකල අවස්තාවේ පොල්ස් අධිකාරිවරයා මුණගැසී පැමිනිල්ල කලහැකි බවත් එය රහසිගතව විමර්ශනය කල හැකි බවත් ඇයට පැවසුවා.ඇය මේ පුද්ගලයාගේ ලඟතිබුනු මා ප්‍රාදේශීය ලේකම් ලෙස අත්සන් කල පැරණි ලිපියක සඳහන් ලිපිනයක් ක්‍යා ලිපිනයක් මට දුන්නා.ඒඅම්පාරේ නගරයේ ලිපිනයක්.මම වහාම අම්පාරේ ප්‍රාදේශීය ලේකම්ට කතාකරා ග්‍රානිව එම ලිපිනයේ නිවසටයවා පදිංචිකරුවන් ගැන තොරතුරු ගත්තා.එම නිවස කාන්තාවක් සහ ලමුන් දෙදෙනෙකු පදිංචි බවත් ඇයගේ ස්වාමි පුරුෂයා

යුධ හමුදාවේ සෙබලෙකු ලෙස සේවය කරන බවත් දැනට කාලයක සිට නිවසට නොඑන බවත් පවුලේ නඩත්තුවට මුදල් නොඑවන බවත් කාන්තාව පවසාතිබුනා.ඔහුගේ නම සේවය කල හමුදා කඳවුරා ආදී විස්තරත් ග්‍රානි ලබාගෙන තිබීමට දුන්නා.මේ සියලු විස්තර මම ලිඛිතව සඳහන් කර පොලිස් අධිකාරිවරයාට යවා අර රත්නපුරේ කාන්තාව ලවා පැමිනිල්ලක් පොලිස් අධිකාරිට යොමු කෙරෙව්වා.

පොලිසිය මේපැමිනිල්ලගැනවිමර්ශනය කර අදාල පුද්ගලයාව හමුදාව හරහා පොලිස් අධිකාරි කාර්‍යලයට කැදවා අදාල කාන්තාවත් කැඳවා සිදුකල පරීක්ෂණයේදී අර අම්පාරේ යුධ හමුදා සෙබලා හමුදා කපිතාන්වරයෙකු ලෙස පෙනී සිටිමින් මේ කාන්තාව රවටා ඇතිබවත් හෙලි කරගත්තා.මගේ පුතකු හැටියට පෙනී සිටීමට කටයුතු කලේ ඇයිදැයි පොලිස් නිලධාරීන් විමසූවිට මේ පුද්ගලයා කියා තිබුනේ අම්පාර ප්‍රාදේශීය ලේකම් ලෙස මා ඔහුපදිංචි නිවස අසල උත්සවයකට පැමිනි අවස්තාවේ දුටු බවද එහිදී කියවුනු මගේ නම මතකයේ රැඳී තිබුනු නිසා මගේපුතායැයි කීම ට සිතුනු බවයි.අවසානයේ අර කාන්තාවගෙන් ගත් සියලු මුදල් ආපසුදීමට එකඟවී මේගැනවූ පැම්නිල්ල සමථයට පත් කිරීමට පොලිසියකටයුතු කර තිබුනා.ඉදිරියේකිසිදිනක යලි මෙවන් ක්‍රියා නොකරනලෙසත් ඔහුගේ සියලු විස්තර පොල්සිය භාරයේ ඇතිනිසා එබන්දක්සිදුවූ බවදැන ගත්විගස ඔහුඅත් අඩංගුවට ගන්නා බවත් කියා පොලිසියෙන් දැඩි අවවාදයක් කල බවත් පොලිස් අධිකාරිවරයා මට දැන්වූවා.මීට මාසයකට පමන පසු මා මුන ගැසුනුඅර කාන්තාව තමාගේ මුදල් ලැබුනු බව පවසා ජීවිතය බේරාගැනීමට උපකාර කිරීමගැන මට ස්තූතිකලා. ඒ කාන්තාව සාර්ථක ව්‍යවසායිකාවක් ලෙස මා රත්නපුරෙන් ස්තානමාරුවී එනතුරුම සිටියා.ඔන්න ඔය සිද්දිය ඔය විදියට එලිදරව් වුනේ කොහොමද?ක්‍යන එකත් මට නම්පුදුමයක් තවමත්.

.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s