මැණික් සොයා

මහ සිංහරාජ වනන්තරේට යාබද රූණ කන්ද රක්ෂිත වනයට මායිම් වුන අපේ ගම පස්යොදුන් කෝරලේ, නැගෙනහිර මායිමේ, සබරගමුව,දකුණු පලාත් වලට මායිම්වයි තියෙන්නෙ. සමන් දෙවියන්ට අයිති සබරගමුවෙ මායිමේ ඉන්න අපේ ගමට මැණික් ගැරීමේ පුරුද්දත් ආගන්තුක උනේ නැහැ. ගමේ බොහෝ උදවිය මැණික් ගැරීමට සම්බන්ද වුනා. මැණික් ගැරීම ගමේ සිද්ද උන තැන පුවක් දොල. පුවක්දොල හරක්ගැටගැහු හේනට එහා බොල්ලුන්න කඳුකරේ ඉපදිලා, පහලට ඇදී ගල්ලනවිල කුඹුරුයාය දිගේ ඇවිත්, ජනපද මාර්ගය පහු කරල, ගල්ගොඩවල් මැද්දෙන් ආපහු තැන්නකට බහින්නෙ සුදු වැලි පොතට. සුදුවැලිපොත තැන්නෙදි බොරලුගොඩ පාර පැනල ටික දුරක් ගිහින් අතලෙ වෙලට පල්ලම් බැහැල වෙල දිගේ ගිහින්, අතලෙ බාඳුරාගෙදර ලඟින් මගුරු ගඟට එකතු වෙන්නෙ පරිණත ඇලක් හැටියටයි.

මේ ගමනෙදි කදුකරෙන් එක්කාසු කර ගන්න මැණික් කැට ටික ආරක්ෂාවට හංගගෙන තියෙන්නෙ සුදුවැලිපොත තැන්නෙ. මේක ගැන කල්පනා කලහම මට හිතෙන්නෙ පුවක්දොල කියන රූමත් ලලනාව මගුරු ගඟ කියන ස්වාමියා හොයාගෙන යන ගමනෙදි තමන් සතු වටිනා මැණික් කැට ටික සුදුවැලිපොත කියන නෙරිපොටේ හංගාගෙන ඉන්නේ කියලයි. කොහොමහරි මේ නෙරිපොටේ තියෙන මැණික් ටික සොයාගන්න අපේ උදවිය පුවක්දොල පීරුවා. ඇලොන් මාම, සුමනෙ අයිය, තැපැල් මහත්තයල, ලක්ෂමන්ල, බන්ඩාරායියල, මහතුන් අයියල වගේ කවුරුත් මේ වැඩේට සම්බන්ද උනා. මේ මැණික් ගැරිල්ලට ආපු ඇලොන් මාමගෙ මිත්‍රයෙක් උන තොටලඟ හාමු මහත්තය මාමගෙ ඉල්ලීමට හදවපු බුදු පිලිමෙ තමා අදත් පුවක් දොලේ බෝධිය ලඟ තියෙන්නෙ. කාටකාටත් මේ මැනික් ගැරිල්ලෙන් වාසි උනා. ගම ඇතුලෙ මැණික් ඇති ප්‍රධාන තැන පුවක්දොල බවයි කාගෙත් අදහස උනේ.

තවත් විශේෂ මැණික් ගැරිල්ලක් කලේ අපේ නුගකඳ ගුණදාස අයිය. එයා මැණික් ගැරුවෙ තනියම. ගරන ස්ථානය දන්නෙත් එයාම පමණයි. නුගකඳ මහගෙවල්වලට උඩ කන්දෙ තිබුන පොඩි කුඹුරු කෑල්ලෙ තනියම ගරපු ගුණදාස අයියට ඉල්ලම් පාර අහු වුනා. අඩියක පරතරේට පාරක් වගේ දිගට තිබුන ඉල්ලම් පාරෙ හම්බු උන මැණික් විකුනුවෙ නුගකඳ මෙතියෙස් මාම නැත්නම් ගුණදාස අයියගෙ තාත්තා. මාම මැණික් විකුණන්න විතරක් නෙවෙයි, ඕනම ගමනක් යන්නෙ පාන්දර බස් එකේ. කුකුළ තුන්වෙනි පාර අඬලනකොට ගෙදරින් පිටත් වෙන මෙතියෙස් මාම, මඩිත්තවිල හන්දියට එන්නෙ බස් එක එන්න ඉස්සෙල්ල. සුදු කොටු සරම ඇඳල, පොකට් තියෙන පටිය බැඳල, උඩට කමිසෙ ඇඳල, වූල් තුවාය කරේ දාගෙන, සාගත මල්ල අතට අරගෙන ඉන්න මෙතියෙස් මාම බස් එකේ දෙවෙනි සීට් එකේ ජනේලෙ ලඟ තමයි වාඩි වෙන්නෙ. එතනින් කලුතර යන මාම මුස්තාපා මුදලාලිට මැණික් දීල මුදලාලි දෙන ගානක් අරං එනව. ලෙලි ඇරපු කරුංකා ගෙඩියක් විතර තිබුන ලොකුම මැණිකටත් මුදලාලි ලෝභ නැතුව රුපියල් අටසීයක්ම දුන්න කියල මාම කිව්වෙ පස්සෙ කාලෙ. එතකොට කලුතර හිටපු මුස්තාපා මුදලාලි කොලඹට ඇවිත් ලොකු බිස්නස් කාරයෙකුත් වෙලා. හැබැයි අපේ මෙතියෙස් මාමල හිටපු තැනමයි!

මැණික් ගැරිල්ල අපේ තාත්ත එච්චර සම්බන්ද වුන වැඩක් නෙවෙයි. තාත්ත වෙහෙස මහන්සිවෙලා උපයන දේ තමයි අගය කලේ. වාසනාව හොයාගෙන දඟලනවට වැඩිය කෙසෙල් ගහක් හිටෙව්වහම ප්‍රයෝජනවත් කියල තමයි තාත්ත කියන්නෙ. එහෙම හිටපු අපේ තාත්තට මැණික් ගැරිල්ලකට සම්බන්ද වෙන්න වුනා. ඒ මේ වැඩේට පෙරේරා මහත්තය සම්බන්ද උන නිසා. ඉඟුරුදලුවෙ ස්කෝලෙ ගුරුවරයෙක් වුන පෙරේර මහත්තය දරු පවුලම ගුරු නිවාසෙ නවත්තගෙන හිටියෙ. දක්ෂ ගොවියෙක් උන පෙරේරා මහත්තය මුලු ස්කෝලෙ වත්තම ලස්සනට වගා කලා. නෝනත් ගුරුවරියක් හැටියට මේ ස්කෝලෙම වැඩ කලා. අපේ තාත්තයි පෙරේර මහත්තයයි බොහොම ලොකු මිත්‍රයො උනා. මමත් ඒ නිසාම ගුරු නිවාසෙ ඇසුරු කරා. මේ කාලෙ ස්කෝලෙ ගුරුවරයෙක් උන නාමසේන මහත්තය යන්ත්‍ර මන්ත්‍ර කටයුතු ගැන හොද දැනුමක් සහිත කෙනෙක්. නාමසේන මහත්තය සූදනම් කලා අංජනමක් බලා මැණික් ඇති තැනක් සොයා ගැනීමේ මෙහෙයුමක්. ඉතාම රහසිගතව කල මේ වැඩේ නාමසේන මහත්තයයි, පෙරේරා මහත්තයයි, ඒ ගෙදර අයයි, අපේ තාත්තයි, මමයි විතරයි දැනගෙන උන්නෙ. අංජනම බැලීමට පාදුක්ක පැත්තෙ කෙනෙක් නාමසේන මහත්තය එක්ක ආව. මේ වැඩේට ඕන මල් එහෙම හොයාදීම මගේ කාර්‍ය උනා. සියල්ල සූදානම් කරලා අංජනම බැලුවා. නාමසේන මහත්තය මල් බුලත් තටුවක් හදල, පීරිසි තැටිල්ලක යට රවුමෙ අංජනම ගාල තටුවෙ තියල, ජීවම් කරල දුම් අල්ලල ඔන්න අංජනම් දේවිවයි හනුමන්තාවයි ගෙන්න ගත්ත.

“දැන් හනුමන්තා දේවතාවුන් වහන්සෙගෙන් ඉල්ලා සිටින්න මඟුරු ගඟේ මැණික් ඇති ස්ථාන පෙන්නුම් කරන්න කියල” නාමසේන මහතා අංජනම්කරුට කියනවා.

“ස්ථාන බොහොමයක් පෙන්නුම් කරනව, ඒ උනාට ඒ මැණික් ගන්න බෑ කියල දේවතාවුන් වහන්සෙ කියනව.” අංජනම්කරු පිළිතුරු දෙනවා.

“ගන්න පුලුවන් එක් ස්ථානයක් වත් පෙන්නුම් කරන්න කියල ඉල්ලාසිටින්න.” නාම්සේන මහත්තය කියනව.

“එක් ස්ථානයක් පෙන්නුම් කරනව”

“මොනවද ස්ථානයේ සළකුණු?”

“දකුණු දිසාවට ගලන ගඟ එකවරම බස්නාහිරට හැරිල ගමන් කරන තැනක්. එතනදි තවත් ලොකු දියපාරක් ගඟට සම්බන්ධ වෙනව. වටේම වනාන්තරය. මේ ස්ථානයේ වම් ඉවුරේ කන්ඩිය අසල පරණ ලී කොටයක් තියනවා. එතැන ඉහළ කපා දාපු වැලක් එල්ලෙනවා. හරියටම ඒ වැලයට අඩි පහක් යට මැනික් ගල් තුනක් තියනවා. ඒක ගන්න බාධාවක් නෑ” අංජනම්කරු කියනවා.

දැන් ලකුණු සහිත තැන සොයා ගඟ ඉහලට ගමන සූදානම් කරනවා. දවස් දෙකක් තුල ගඟේ සංචාරය යොදා ගත්තා. ගොඩින් මහ ඕකන්දට ගිහින් ගඟට බැහැපු අපි ගඟෙන් ගොඩවෙලා එහා ඉවුරදිගේ වැලි වළට ගියා. වැලි වළදි ආපහු මෙහා ඉවුරට මාරුවෙලා වටපාන ගල්පොත්තට ගඟදිගේ ගියා. ඊට පස්සෙ බූදල මෝදර පහු කරලා නැවනිංකඩ දිගනට වැටුනා. ගඟේ වතුර නිශ්චලව ගැඹුරට තියෙන දිගන පහු කරේ ගොඩින්. ආපහු ගඟ දිගේම උඩහට යනකොට බමරවැල්දොල මෝදර හමු උනා.

බමරවැල්දොල මෝදර ගඟේ ලොකු නැම්මක් සහිත තැනක්. අංශක 90ක හැරවුමකින් බස්නාහිරට හැරෙන ගඟේ දකුණු ඉවුරට බමරවැල්දොල එකතු වෙනවා. අපේ කට්ටිය තැන පරීක්ෂා කලා. ප්‍රධාන ලකුණු හරි. ගං ඉවුරෙ පරණ ලී කොටේ කපා දාල එල්ලෙන වැල ආදී අවශේෂ තොරතුරුත් සනාථ උනා. ඒ ගමනම ගං ඉවුරේ ගොඩින් වාඩියක් හදන්න වැඩකලා. වාඩියෙ සැකිල්ල හදලා එදා ආපසු ආව.

ආයෙත් දවස් දෙකකින් විතර නවතින්න කළමනා අරගෙන කට්ටියම මැණික් ගරන්න ගියා. අපේ තාත්ත, පෙරේරා මහතා, නාමසේන මහතා, අංජනම්කරු, පෙරේරා මහත්තයගෙ මස්සිනා, සිරි අයියා හා මම නඩේට අයිති උනා. මම පොඩි එකා නිසා හවුලෙ සාමාජිකයෙක් උනේ නෑ. ගිය දවසෙ වාඩිය හැදුවා. වහල බේරු කොළ වලින් හෙවිල්ලලා මැස්ස දාල ගිනිමැලේ සූදානම් කරල ඉවර වෙනකොට ලොකු වැස්සක් වැස්සා. ගඟේ වතුර වැඩිවෙලා බොර පාටට ගලන්න උනා. මේ අව් අස්සෙ මමයි, සිරි අයියයි මාලු බාන්න ගියා. බොර වතුරෙ වැඩිවෙලා නොගිහින් හොරපලයො තුන් හතර දෙනෙකුයි ලොකු හීත මස්සො කීපදෙනෙකුයි බාගන්න අපිට පුලුවන් උනා.

රාත්‍රි ආහාරයෙන් පස්සෙ නාමසේන මහත්තය අංජනම ජීවම් කලා. අංජනම්කරු පේවෙලා අංජනම ඉස්සරහ වාඩිවෙලා හරිබරි ගැහුනා. එදා වැඩේ හරිගියේ නෑ. අංජනමට මෙලෝ දෙයක් පේන්නෙ නෑ. දැන් වැඩේ නවත්තලා හේතු විමසනවා. අහු උනේ අපේ මාලු බෑම තමයි හේතුවට! මේ ගැන වටින් ගොඩින් නෝක්කාඩු කිව්වට වැඩිය මොකුත් කියන්න කාටවත් බෑ. අංජනම්කාරය ඇර හැමෝම අපි බාපු මාලු කෑවනෙ. කට්ටියම තීරණය කලා හෙට අවට පරිසරය ශුද්ධ කරන්න. පහුවදා කට්ටියම එකතු වෙලා වාඩිය අවට හොදට ශුද්ධ කලා. මැණික් තියෙන භූමියත් හොදට ශුද්ධ කරලා ඉවර වෙනකොට හවස් උනා. රාත්‍රි හතට විතර අංජනම ජීවම් කලා. එදා වැඩේ හරි. අංජනම් දේවියි, හනුමන්තායි එදා වැඩියා. අපි නියමිත ස්ථානයේ සිටින බවත්, දැනට ගැරීමට සකස් කල ස්ථානයේ අඩි හතරක් පමණ යට ඉබ්බෙකුගේ හැඩය සහිත ගලක් තිබෙන බවත්, ඒ ගලයට මැණික් ගල් තුනක් ඇති බවත් අංජනමට කිව්වා. පහුවදා මැණික් සෙවීමට නියමිත ස්ථානයේ බිම කැණීම ආරම්භ කලා. එදා තවත් කට්ටියක් යට්ටපාත පැත්තෙන් මෙතනට ගරන්න ආවා. ඒ අය ගඟේ එහා ඉවුරේ මැණික් සෙවීම පටන් ගත්තා. හවස් වෙනකොට අඩි තුනක් විතර ඉල්ලම කඩා ගන්න පුලුවන් උනා. තද ඉල්ලමක් නිසා වැඩ අමාරුයි කියල සිරි අයියා කිව්වා. එදා රාත්‍රි අංජනම බැලුවා කලින් වගේම තොරතුරු හරි. ගැටලු නෑ. නියමිත ස්ථානයේ සිටින බව කිව්වා.

පහුවදා ආයෙත් වැඩ පටන් ගත්තා. ගොඩදාපු ඉල්ලම් හෝදන්න සිරි අයියා භාරගත්තා. ඉල්ලම් කැඩීම නාමසේන මහත්තයා කලා. පෙරේරා මහත සහ තාත්තා ඉල්ලම් ගෙනඒම ඇතුලු වැඩකලා. මමයි අංජනම් කරුයි විතරයි නිකම්ම හිටියෙ. හවස තුනට විතර නාමසේන මහත්තය කට්ටියට වළ ලඟට කතාකලා. ඉල්ලමේ ඉබ්බෙකු වගේ ගලක් මතු වෙලා. අංජනම්කරු හොඳට මේක බලලා, “නෑ මීටත් වැඩිය හොදටම ඉබ්බෙක්ගෙ හැඩයෙ ගල තියෙන්න ඕන” කිව්වා. කිව්වත් වගේ තව ටිකක් යට ඉබ්බෙක් වගේ ගලක් හමු වුනා. පරිස්සමින් මේ ගල ගැලෙව්වෙ ඒ යට මැණික් ගල් තුනක් තියෙන බව ෂුවර් නිසා. ඒත් එහෙම තිබුනෙ නෑ! ටිකකින් ඉල්ලම ඉවර උනා. ගොඩදාපු ඉල්ලම් සෝදලා බැලුවත් නොවටිනා තෝරමල්ලි කට්ට ඇර මොකුත් තිබුනෙ නෑ.

බිම් කලුවර වැටෙද්දි වැඩ ඉවරයි. හැමෝම බොහොම දුකෙන් වාඩියට ආවා. රාත්‍රි අංජනම බැලුවා. කලින් තිබුනැයි කියපු මැණික් වලට මොකද උනේ කියල ඇහුවා. මැණික් අතට අරං ගඟට දමා ඇති බවයි පෙන්නුම් කලේ. එහෙම උනේ එහා ඉවුරෙ ගරන්න ආපු අයත් මේ මැණික් ගල් තුන අංජනමකින් බලාගෙන ආව බවත්, අපි ඉස්සර වී ඇති බව දැක්ක ඔවුන් රාත්‍රියේ ඉල්ලම් පස් ටිකක් අරගෙන බෙලි කටුවක හිරකර කරපු ගුරුකමක් නිසා බවත් අංජනමට කියවුනා. මොනව කරන්නද?නාමසේන මහත්තයා ඇතුලු කට්ටියගෙ දුක නිවන්න තාත්තා කිව්වෙ අපිට හිමි දෙයක් නම් ලැබෙන බවත්, හිමි නොමැතිදේ නොලැබීම ගැන දුක් වෙලා පලක් නැති බවත් හිතන්න කියලයි.

“දැන් මහත්තයා මේ වැඩෙන් අපි කාට වත් මොකුත් නැති උනේ නෑනෙ අලුතින් දෙයක් ලැබුන මිසක්” තාත්ත කිව්වම, “ඇයි මොනවද ගුණ මාමෙ අපිට ලැබුනෙ?” කියල නාමසේන මහත්තය ඇහුව.

“ඇයි මහත්තයා මේ මහපොළොව යට තියන වස්තුවක් ගන්න හිතාගෙන අංජනම් දේවින්නාන්සෙයි, හනුමන්තයි අල්ලගෙන ඒ ඇත්තන්ටත් ඉන්න නොදී කරපු වැඩෙන් ඉගන ගත්තු පාඩම මදිද?” කියල අහල තාත්ත කියනව, “මේ මනුස්සයො වුන අපිට තියෙන ශරීරයයි, මොළයයි හරියට පාවිච්චි කලොත් පොළොව යට තියෙන දේ නොගත්තට, පොළොව උඩ තියන දෙයින් හොදට ජීවත් වෙන්න පුලුවන්. මේ දෙවිවරුයි, යක්කුයි ඒගොල්ලන්ගෙ වැඩකරගත්තාවෙ. අපි අපේ වැඩ කරගමු උන්නැහැලට කරදර නොකර. අපි හරියට හිටියොත් දෙවිගොල්ලන්ටත් පිං පෙත්වලින් පිහිට වෙන්න අපිට පුලුවන්” කියල.

17 thoughts on “මැණික් සොයා

  1. ගුන මාමාගෙ කතාවනේ කාටත් තේරෙන්නේ නැත්තේ…… කවුරැ කවුරැත් තමන්ගෙ වගතුග හරියට කරගත්තනම් අනෙකට කරදරයක් නොකර එයාලට පාඩුවේ ඉන්න දිල ……… රටක් හැටියට අද අපි….කොයිතරම් දුරක් යන්න ඇත්ද?
    පාඩම් ඉගෙන ගන්න බැරිකම සාපයක්ද, දිසාපති මහත්තයෝ?

    Like

    1. අපේ ගම්වල අය කාටවත් කරදර කරන්න අකමැති අහිංසක පිරිසක් .ඒ අයගෙ අවශ්‍යතාසීමිතයි.තිබුනට ගන්නවත් අනුන් ගන්න නිසා ගන්නවත් ඒ අය පෙලඹුනේ නෑ.ඒජීවිතේ ඇතුලෙ විදපු සැනසිල්ල අසීමිතයි. මේ සැනසිල්ල ගැන අපි වත්මන් පරපුර දැනුවත් කරන්න ඕන මැඩම්.ඔබතුමිය ත් මේවාගෙ ගමක් නොවුනත් අර වාගෙ සැනසිල්ලක් ගන්න පුලුවන් පසුබිමක හැදුන බව මම දන්නවා.

      Like

    2. අශ්රොෆ් (nee ඉස්මායිල්) මහත්මිය ගැන හා ගම්පොල සහිරා විද්‍යාලය ගැන චන්ද්‍රසේකර මහතා තම සේවා ඉතිහාසය ගැන ලියපු පොතේ සඳහන් වෙනවා

      Like

      1. මට මුන ගැසුනු විශිෂ්ඨම දේශපාලකයා ඇයයි.මා යම් දිනයක ලියන මතක සටහන්වල ඒ ගැන අනිවාර්යයෙනම සදහන් වේවි.

        Like

  2. හරිම අපූරු ලිවිල්ල… එක හුස්මට කියවන්න පුළුවනි. ඒ විදියට හිතන්න පුළුවන් තාත්තා කෙනෙක් උන්න එක වාසනාවක් කියලයි මට හිතෙන්නෙ.

    Liked by 1 person

  3. කමියට ඉස්තුති ..
    මම ටික කාලයක් හිටියා කිරිඇල්ලේ රැට බාගයක් අරගෙන පක්ට්‍රියේ ගාඩ් රුම් එකට යනවා අඩියක් ගහන්න දෙකක් දපුවහම් එයාල මැණික් ගැන කතා කියනවා ..එදත් ඒ කතා ආසවෙන් ඇහෙව්වා
    මේ ලිපියත් අසාවෙන් කියව්වා

    Liked by 1 person

  4. දේවේන්ද්‍ර හා චන්ද්‍රසෝම (දෙදෙනාම 20 ශතවර්ෂයේ පලමු අර්ධයේ ලාංකික සිවිල් සේවා නිලධාරීන්) ලියා ඇති memoirs සිහිවුනා.
    පොතක් ලියන්න අදහසක් නැද්ද? දැනටම ලියල තියනවද

    Like

    1. තාම ලිව්වෙනෑ.ලියන අදහසින් ඉන්නෙ.ඔබගේ විමසීම තුලිනුත් දිරිමත් උනා ස්තූතියි.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s