ගල් ඔය වරුණෙ(නවබිමක කථන්දරේ)

අම්පාරෙ ප්‍රාලේකම කරද්දි බොහොම හොඳ වැඩ රාශියක් කරන්න පුලුවන් කම ලැබුනා.කවුරුත් දන්නවනෙඅම්පාර කියන්නෙ 1949පස්සෙ ගල් ඔය සංවර්ධන මංඩලයෙන් ගොඩනගපු ප්‍රදේශයක්බව.මේ ප්‍රදේශෙ ලොකු ජනාවාස තිබුනෙ වෙරලදිගට. ඒ කල්මුන කාරතිව් නින්දවුර් අඩ්ඩාලචේන අක්කරපත්තුව තිරුක්කෝවිල් පොතුවිල් සම්මන්තුර වාගෙ පලාත්වල.මේ ප්‍රදේශවල ලොකු ජනගහනයක් ජීවත් උනා.ඒ අය ඉස්ලාම් ආගම අදහපු අයයි හින්දු ආගම අදහපු අයයි.ඒත් අභ්‍යන්තර පලාත්වල සිංහල මිනිස්සු හිටපු ගම්මාන වල හිටියෙ බොහොම ටික දෙනයි.ඒ කාලෙ මුහුදුදුකරෙන් ඈත ගොඩබිමේ මහ වනන්තරේ මැද්දෙ පුංචි පුංචි ගම්මාන තිබුනා ඒගම්මානවල පවුල් හතර පහ ජීවත් උනා.වැහි කන්නෙට ගොඩබිමේ කොටන හේනකින් ජීවිතේ ගැට ගහ ගත්තු මේ ගැමියො හුඟ දෙනෙක් ආර්තික සම්බන්දතාවය පැවැත්තුවෙ මුස්ලිම් ජනතාවත් එක්ක.මුස්ලිම් වෙලෙන්දො මේ කැලෑ ගම්මානවල ගැමියන්ගෙ නිශ්පාදන එකතුකලා.මේඅයට ඕනකරන ලුනු රෙදිපිලි දුංකල වාගෙ දේවල් වලට ගැමියන්ගෙ නිශ්පාදන හුවමාරුකලා.ඒවිදියට ඔවුන්ගෙ ආර්තිකේ මුස්ලිම් ජාතිකයින්ගෙත් එක්කගැට ගහිලා තිබුනා.මේගැමියො සංස්කෘතික වශයෙන් දෙමල ජනතාවත් එක්ක බැදිල හිටිය .ඒවිතරක් නෙවෙයි අවාහ විවාහ පවා දෙමල ජනතාවත් එක්ක කලා.ඒඅයට දෙමල භාෂාවෙන් කතාබහ කරන්නත් හැකියාව තිබුනා.මේවිදියට සාමකාමීව මේඅය ජීවත්වෙන කාලෙ තමයි බ්‍රිතාන්‍ය ජාතිකයින්ගෙ අවධානය කෘෂි කර්මාන්තයට යොමු වෙන්නෙ.

මේකට මුල් උනේ එකදාස් අටසිය පනස් ගනන්වල මුලදි මේරට පාලනය කරපු හෙන්රි වෝඩ් කියන ආන්ඩුකාරවරය.එක්දාස් හත්සිය ගනන්වල මේ පලාත් පාලනය කල ලන්දේසි ජාතිකයො කෘෂි කර්මාන්තෙ ගැන උනන්දුවක් පෙන්නල යම්‍ යම් වැඩ කරල තිබුනා.විශේෂයෙන් ගල්ඔය හරස්කරල අමුණු බැදල ඒ වතුර මහ කෙත්‍ යායක් උන තැන්නට හරවගෙන වී වගාවට යොදාගැනීමට උදව් කරපු ෆ්‍රැරැන්කි සහ බර්නාඩ් කියල ලන්දේසි පාලකයො දෙන්න අම්පාර වැවයි එරගම වැවයි අලුත්වැඩියා කරා කියන්නත් සාධක ලියවිල තියෙනවා.ඉතින් හෙන්රි වෝඩ් ආන්ඩුකාරතුමා නැගෙනහිර මේ සම්මාන්තුර පලාතට ඇවිල්ල මඩකලපුවෙ ඒජන්තට උපදෙස් දෙනව වැව් අලුත් වැඩියා කරන්න.ඒ වැඩපිලිවෙල අනුව රූගම චඩයන්තලාව දිවුලාන,රොට්ටෙ වාගෙ වැව් අලුත්වැඩියාකෙරෙනවා.ඒත් එක්කම ප්‍රසිද්ධ වැඩ දෙපාර්තමේන්තුව ආරම්භ කරල දිගාමඩුල්ලෙ මහවෙල් යාය වුන සම්මන්තුරේ ඉද්න් අක්කරපත්තුව දිහාවට විහිදුනවෙල්‍ යායට ජල සැපයුම දෙන්න ගල්ඔය දිගේ අමුණු බදින්න පටන් ගන්නවා.මේ වැඩේ කරවන්නෙ ඇලන්සන් බේලි කියන දිසාපතිවරයා.මේ අමුණු බැදිල්ලට වල්බිහිවෙලා තිබුන දීඝවාපි මහ චෛත්‍යෙ ගඩොල් පාවිච්චි කරා කියලයි කියන්නෙ.හැබැයි දැන් අයනම් කියන්නෙ සුදටසුදේ බැබලුන දීඝවාපි මහා චෛත්‍ය බිදල ගඩොල් අරගෙන වීරයඩි අමුන සුද්දො බැන්දා කියලයි.ඒත් එක්දාස් අටසියදහයෙ නැගෙනහිර පලාතෙ අයකැමි(collector )සයිමන් සෝවර්ස් මහත්තය ලියාපු සටහනක් අනුව ඒවෙන කොටත් දීඝවාපි දාගැබ උඩ අඩි තිහක් හතලිහක් උස ගස් තියෙනවා.ඒකියන්නෙ එක්දාස් අටසිය දහය වෙනකොටත් දීඝවාපි චෛත්‍ය නටබුන් වෙලා ඉවරයි.ඉතින් සාධාරනව හිතන්න පුලුවන් ගරාවැටුනු චෛත්‍යෙ තිබුන පැරණි ගඩොල් අමුනුවලට යොදාගන්න ඇති කියල.

ඉතින් මේවිදියට අමුණු බැදල අර මහවෙල් යාය වවන්න ගියත් වැහිකාලෙට වතුර වැඩියි පායන කාලෙට වතුර නෑ.ඒක නිසාම අක්කර හතලිස් දාහක් වුන කුඹුරු යායෙන් විසිදාහකට වැඩිය වවන්න බැරි වුනා.ඔය ගල්ඔය දිගේ අමුණු බැදපු ව්‍යාපාරෙට කිව්වෙ පට්ටිපොල ආරු ව්‍යාපාරෙ කියලයි.ගල් ඔය නැත්නම් ගාල්හ නදී කියල පාලිපොත්වල හඳුන්වපු ඔය පට්ටි පොල ආරු උනෙත් හරි අපූරු විදියට.දැන් ඔය ගාල් කියන්නෙ හරක් රාත්‍රියට ඉන්න තැනටනෙ.එතකොට පට්ටි කියන්නෙත් ඔය ස්තානෙටම කියාපු දෙමල නම.ඒ අනුව ගාල් ඔය දෙමල ඌරුවට පට්ටිපොල ආරු උනා.

දැන් ඉතින් පට්ටිපොල ආරු ව්‍යාපාරෙනුත් එච්චර සාර්ථක ප්‍රතිපල නෑ.මේකට විසදුමක් හොයා ගන්න තවතවත් අය උත්සාහ කලා සුද්දන්ගෙ කාලෙ දැන්වගේ එකඑක දේශපාලන නායකයින් නෑනෙ.හිටියනම් උන්නැහෙලට පහලවෙන සංකල්පෙකින් මේප්‍රශ්නෙට විසදුමක් ගේන්න තිබ්බා.ඒක හින්ද මේ ප්‍රශ්නෙට විසඳුම් හොයන්න උනේ නිලධාරින්ට.ප්‍රශ්නෙ උනේ සම්මන්තුර අක්කරපත්තු මහවෙල් යායට (පරණ දිගාමඩුලු වෙල්‍ යාය)ස්තාවර ජල සැපයුමක් ලබාදීම කියන ප්‍රශ්නයයි.මේවෙනකොට හදපු අමුණුවලින් අක්කර විසිදාහක් විතර වවනවා මේතමයි ඒවෙනකොටත් රටේ තිබ්බ ලොකුම වෙල්‍ යාය.හැබැයි මාස් කන්නෙ වහින මහ වැස්සත් එක්ක එන ගංවතුරෙන් කුඹුරු විනාසවෙනවා.යලට එන පෑවිල්ල නිසා ඔයේ වතුර අඩුවෙලා අමුනුවලින් වතුර ගන්න ප්‍රමානය අඩුවෙනවා.මේප්‍රශ්නෙ විසඳන්න යෝජනාවක් ගේන්නෙ වාරිමාර්ග ඉන්ජිනේරුවෙක් වෙන කෙනඩි මහත්තය.

මේ කෙනඩි මහත්තය ලංකාවෙ වාරිමාර්ගෙට අලුත් සංකල්පයක් යෝජනා කරනවා.උන්නැහැ රටේ භූවිශමතාවය ගැනත් අපේවාරිමාර්ග ක්‍රමය ගැනත් අධ්‍යනය කරල තමයි මේඅලුත් සංකල්පෙ යෝජනා කරන්නෙ.මේයටතෙ කෙනඩි විග්‍රහ කරනවා අපේ පැරනිවාරි ක්‍රමය අනුව තැනිතලාවෙ නොගැඹුරු වැව් හදනවට වැඩිය ලංකාවෙ භූවිශමතාවයට අනුව කඳුකරය අයිනෙ ගැඹුරු ජලාශ ඉදිකරල වෙරල දක්වා ඉඩම් වලට වතුරගෙනියන්න පුලුවන් කියල පෙන්වා දුන්නා.මේසංකල්පෙ ගැඹුරු ජලාශ සංකල්පෙ කියල හදුන්වන්න පුලුවන්.ඉතින් කෙනඩි මහත්මයා මේසංකල්පෙ යටතෙ ගල් ඔය ජලාශයක් ඉදිකිරීමේ අඩහස ඉදිරියට ගෙනැල්ලා බැම්ම බදින තැනත් පෙන්නුවා.එයා 1930 විතර වර්තමාන ගල් ඔය මහවේල්ල තියන තැනට ඇවිල්ල පරීක්ෂා කරල කියපු ප්‍රකට කියමනකුත් තියෙනවා.

මෙන්නමේ අදහස අපේරටේ බ්‍රිතාන්‍ය පාලනයේදි මුල්වරට කෘශිකර්ම හා ඉඩම් ඇමතිඋන ඩී එස් සේනානායක මැතිතුමා හොදට සැලකිල්ලට අරගෙන තීරනයකලා ගල් ඔය හරස් කරල මහවේල්ලක් බඳින්න ඉඟිනියාගලදි.මේව්‍යාපෘතියෙ සැලැස්ම හැදුවඅලගරත්නම් කියන ඉන්ජිනේරු මහත්තය .ඒ මහත්තය සැලසුම්කරපු වේලි සැලැස්ම ලෝකප්‍රසිද්ධ වේලි විශේෂඤයෙකු වුන ඇමරිකාවෙ සැවේජ් මහත්තයට පෙන්නුවම එහෙමම අනුමතකරපු බව තමයි කියන්නෙ.මේව්‍යාපෘතියෙ අරමුනු කීපයක් තිබුනා.(1)අවුරුදුපතා ගල් ඔය මිටියාවතට එන ගංවතුර තර්ජනය වැලැක්වීම (2)පට්ටිපොල ආරු යෝජනාක්‍රමයට ස්ථාවර ජල සැපයුමක් ලබාදීම(3)අතිරික්ත ඉඩම් වගාවට යෙදවිම වාගේඑවා තමයි ප්‍රධාන අරමුනු උනේ.මේව්‍යාපෘතිය මුලුමනින්ම ශ්‍රී ලංකා රජයේ මුදලින් තමයි ක්‍රියාත්මක උනේ.ඒත් එක්කම මේව්‍යාපෘතිය බහු කාර්‍ය ව්‍යාපෘතියක් හැටියට සැලසුම් කෙරුනා. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්න වෙනම ආයතනයක් හැදුවා ඒ ගල් ඔය සංවර්ධන මංඩලය.පාර්ලිමේන්තු පනතකින් ස්ථාපිත කෙරුනු මේ මංඩලයට ගල් ඔය ව්‍යාපෘතියට අයත් නොදියුනු ප්‍රදේශ වල රජයේ සියලු ආයතනවල බලතල ලබා දුන්නා.ව්‍යාපෘතිය ඉදිකිරීමේ කාර්‍ය ජ්‍යාත්‍යන්තර සමාගමක් වූ මොරිසන් ඇන්ඩ් නඩ්සන් සමාගමට පැවරුවා.

1949වර්ශයේදී ඉදිකිරීම් ආරම්භ කලා.මේව්‍යාපෘතිය ඉදිකිරීම් කාර්‍යට දායක වූ ප්‍රමුඛ ඉංජිනේරු කන්ඩායම අතර අලගරත්නම්,කහවිට,ඉස්මායිල්,ජහන්ගීර්සිං,ස්කානිවල්,යනඅය සිටියා.ඉඟිනියාගලදී ගල් ඔය හරස් කරමින් මුහුදු මට්ටමේ සිට අඩි 120ක් දක්වා උස මහවේල්ලක් ඉදි කිරීමත්මුහුදු මට්ටමේ සිට අඩි110 උසට පිටාර බැම්ම ඉදිකිරීමත් මෙගාවොට් දහයක විදුලි බලාගාරය ඉදි කිරීමත් ජලාශයේ ඉදිකිරීම්වලට ඇතුලත් උනා.අවුරුදු තුනක් තුල ඉදිකිරීම් අවසන්කල මේජලාශය ඉදිකිරීමේ වියදම රුපියල් කෝටි හතක් උනා.අක්කර අඩි හත්ලක්ෂ හැත්තෑ දහසක ධාරිතාවයක් සහිත මේ ජලාශය ලංකාවේ විශාලතම වාරිමාර්ග ජලාශයයි.අක්කර එක්ලක්ෂ විසිදහසකට ජලය සැපයිය හැකි මෙම මහා ජලාශය “සේනානායක සමුද්‍රය”යන නමින් හැදින්වෙනවා.මේ යටතේ පට්ටිපොල ආරු යෝජනාක්‍රමයට ස්තාවර ජල සැපයුමක් ලැබුනා.දැන් ගල් ඔය ගඟ පෙදෙස ලෙස හදුන්වන පැරනි පට්ටිපොල ආරු කුඹුරුබිම් අදටත් ලංකාවේ විශාලතම වෙල් යාය වෙනවා.ගල් ඔය ගඟේ ඉදිකල අමුනු විසිදෙකක් යොදා ගනිමින් මේ මහා කුඹුරු යායට කන්න දෙකම ජලය සපයනවා.මීට අතිරේකව වම් ඉවුර ඇල මාර්ගයෙන් තවත් කුඹුරු අක්කර හතලිස් දහසක් පමනවගා කරනවා.වම් ඉවුර ජලය නවගිරි ආරු ජලාශය ඔස්සේ මඩකලපුව දිස්ත්‍රිකයටත් යැවෙනවා.දකුනු ඉවුර යටතේ තවත් අක්කර විසිදහසකට ජලය සැපයෙනවා.දකුනු ඉවුර යටතේ වැඩිවශයෙන් උක් වගාව කෙරෙනවා.

ගල් ඔය සංවර්දන මංඩලයත් එක්ක අලුත් ජනපදරාශියක් හැදෙනවා.පට්ටිපොල ආරු ව්‍යාපාරෙට වතුර දීමෙන් වැඩිවාසිය ලැබුනෙසම්මන්තුරේ නින්දවුර් අඩ්ඩාලචෙන අක්කරපත්තු ප්‍රදේශවල මුස්ලිම් ජනතාවට දෙමල ජනකොටසටත් යම් උදව්ලැබුනා.මම මුලදිම කිව්ව පුංචි පුංචි සිංහල ජනතාවජීවත් උන ගම්මාන වලට වමිවුර ඇලෙන් වතුර ගියා.ඒජලයෙන් මේගම්වල අතිරික්ත ඉඩම් වලට වගාජලය ලැබුනා.රජයෙන් තීරණයකලා උඩරට මුඩුබිම් පනතින් ඉඩම් අහිමි උන සිංහල ජනතාවට මේ සිංහල අය හිටපු ගම්වල අතිරික්ත ඉඩම් ටික දෙන්න.ඒ අනුව උඩරටින් වගේම වැවිලි වතු ඉඩම් තිබුන බස්නාහිර දකුනු පලාත් වලින්පවුල් හාරදහස් පන්සීයක් විතර ගල් ඔයට ගෙනැත් ඉඩම් දීල පදිංචි කලා.දෙමල ජනතාවත් ගම්මාන වල පදිංචි කලාවෙනම පරණ දෙමල ජනතාව හිටපු ගම්වල අතිරික්ත ඉඩම් වල කොටින්ම කිව්වොත් යාපනේ දිස්ත්‍රිකයෙනුත් පවුල් දහයක් දහසයේ කොලනියෙ පදිංචි කරල තියෙනවා.මුස්ලිම් ජනතාවටත් ජනපද දෙකක් දුන්නා.මේවිදියට ගල් ඔය ජාති ආගම්බේදයෙන් තොර සංවර්ධනව්‍යාපාරයක් හැටියටකරන්න ඩී එස් සේනානායක අගමැතිතුමා කටයුතු කලා.

ගල් ඔය ව්‍යාපාරෙන් අලුත් ගම්මාන වගාවට ජලය විතරක් නෙවෙයි තව බොහෝදේ ලැබුනා.මම මුලින් කිව්වා මේක බහු කාර්‍ය සංවර්ධනයක් කියල.මේයටතේ විදුලිබලය ප්‍රදේශෙට ලැබුනා.සීනිකර්මාන්තෙ ආරම්භ උනා.දැවනිෂ්පාදන සදහාතුනීලෑලි කම්හලක් ඇරඹුනා.චවලකඩේ ඔලුවිල් ඉගිනියාගල ලොකු වීමෝල් සංකීර්ණ ආරම්භ උනා ටයර් පිරවීමේ කම්හලක් විශාල යන්ත්‍රෝපකරන වැඩපොලක්,එහෙම ආරම්භ වෙන්නෙත් මේයටතේමයි.මීට අතිරේකව ගල් ඔය ජාතික උද්‍යානය අම්පාර අභය භූමිය වාගෙ වනසත්ව ආරක්ශකප්‍රදේශත් මේ යටතේ සැකසෙනවා.අම්පාර හාඩි කාර්මික ආයතනය පටන් ගන්නෙත් ගල් ඔය සංවර්ධනයට ආපු ලෝක ආහාර හාකෘශිකර්ම සංවිධානෙ විශේෂඤයෙක් උන මහාචාර්‍ය ඒවන් හාර්ඩි මහත්තය මුල් වෙලයි.ගල් ඔය මංඩලේ තාක්ශණ පුහුනු ඒකකය තමයි හාඩි කාර්මික විද්‍යාලය වෙන්නෙ.මේවාගෙවත් නැති පුංචි කාර්මික විද්‍යාලයක් අදවෙනකොට ලංකාවෙ සුප්‍රකට ඉංජිනේරු විශ්ව විද්‍යාලයක් වෙලා කටුබැද්දෙ තියනව දකිනකොට එදා ජ්‍යාත්‍යන්තර ශිෂ්‍යයො පුහුනු කරපු හාඩි ආයතනය දෙකටවෙන්වෙලා එක කෑල්ලක් උසස් තාක්ෂන ආයතනයක් හා අනිත් කෑල්ල පුංචි කාර්මික විද්‍යාලයක් උනේ කාගෙ අවාසනාවටදැයි කියල හිතෙනවා.

අම්පාර නගරෙ හැදෙන්නෙ මෙන්න මේ ගල් ඔය සංවර්ධන ව්‍යාපෘතියෙ කේන්ද්‍ර්ස්ථානෙ හැටියට.මේ නගරෙ සැලසුම් කරන්නෙ ගල් ඔය සංවර්ධන මංඩලේ ප්‍රධාන නගර සැලසුම් ශිල්පියා වූ චෙකොස්ලෝවැකියානු ජාතික රොස්ඩොවුස්කි කියන ශිල්පියයි.1952විතර මූලික වැඩ නිමකරන මේ නගරෙ ක්‍රමානුකූලව ගොඩනංවනවා.නගරෙ ප්‍රමුඛ ස්තානෙ සුවිසල් ලේකම් කාර්‍යාලය.එදා ගල් ඔය මංඩලේ බලකේන්ද්‍රය නැත්නම් මූලස්ථානය වුන මේ ගොඩනැගිල්ල පස්සෙ දිසාපති කාර්‍යාලය වෙනවා.ආගම් හතරටම අයත් ආගමික ස්තාන ගල් ඔය මංඩලෙන්ම හදනවා.මංඩල මහ විහාරය.කතෝලික පල්ලිය,ජුම්මා මුස්ලිම් පල්ලිය මෙතොදිසත දේවස්තානය ඒ ස්ථානයි.නගරෙ නිලනිවාස හැදුවා.මහාවිද්‍යාලය හැදුවා.වානිජ බිම්කට්ටි වෙන්දෙසියකින් බෙදල දුන්නා.නගරෙ පාරවල් හදල පිලිවෙලක් කරා.මුලුගල් ඔය බලප්‍රදේශෙම පුරාවස්තු ගවේශනයක් කරල හදුන ගත්තා.මේවිදියට නගරෙයි ප්‍රදේශයයි දියුනු කිරීමෙ ප්‍රතිපල හැටියට අම්පාර කියල වෙනම දිස්ත්‍රික්කයක් 1961/4/10 දින ප්‍රකාශයට පත් කලා.එතෙක් මඩකලපුවට අයිතිවතිබුන කරවාකු පත්තුව නින්දවුර් පත්තුව අක්කර පත්තුව පානම්පත්තුව නාඩුකාඩු පත්තුව පස්සෙකාලෙක නාඩුකාඩු පත්තුවෙනුයි අක්කරපත්තුවෙනුයි කැඩුනු වැව්ගම් පත්තුව අලුත් අම්පාර දිස් ත්‍රික්කයට අයිති වුනා.පස්සෙකාලෙකදි මොනරාගලින් බින්තැන්නපත්තුවත් මීට එකතු කලා.ඒත් එක්කම අම්පාර පාර්ලිමේන්තුවේ ආසනයකුත් නිර්මානය කරා. මේපලාතට ගල් ඔය සංවර්දන මංඩලේ බලපෑමකොච්චරද කියනවනම් ආසන හැටියට චන්ද තියෙන කම් අම්පාර මංත්‍රී උනේ ගල් ඔය සංවර්දන මංඩලේවැඩ කරපු කෙනෙක් විතරයි.1989දි පලමු වතාවටගල් ඔය ජනපදවාසී තරුනයෙක් මංත්‍රී වෙනව.ඒඅංකතුන විජයපුර ජනපදේ ටී ඒ කේ තෙවරප්පෙරුම මහත්තය.1994පලමු වරට උහන පරන ගම්වාසියෙක් උන වීරසිංහ මහත්තය මංත්‍රීවෙල පැරණි ගම්වාසී නියෝජනය බිහිකරනව.මේ අලුත් දිස්ත්‍රික්කෙ මුල්ම දිසාපති වෙන්නෙ ඩග්ලස් ලියනගේ මහත්තය.එතුමා මඩකලපුව දිසාපතිකමේ ඉදන් අම්පාරවැඩ බැලුවා.දිස්ත්‍රික්කෙටම පත්කල මුල් දිසාපති වෙන්නෙ ඩී බී අයි පී එස් සිරිවර්දන මහත්තයා.

මෙතෙක් වෙලා අම්පාරෙ කතාව මතකයෙන් කෙටුවෙ මගේ අත් දැකීම් කියවන අයට වටාපිටාව තේරුම් ගන්න පහසු වෙන්නයි.දැන් ඒක මදෑ.ඉස්සරහදි තවඕන උනොත් බලමු ආයුබෝවන්.

6 thoughts on “ගල් ඔය වරුණෙ(නවබිමක කථන්දරේ)

  1. මහ වැලි ගගට මහා වාලුකා නදිය කියනවා වගේ
    ගල් ඔය ට කියන පැරණි නම කුමක්ද?

    Like

  2. ස්තුතියි,අර එක දෙක වෙන හතරැස් නැටුම් තෙල් බෝතලෙන් විතරක් දැනගෙන හිටපු පළාතක් ගැන බොහොම වැදගත් විස්තරයක් දැන ගත්ත.

    Like

  3. ඔය බින්තැන්නෙ වරුණේ ගැන මෙයට ඉහත කියවලා තිබ්බේ මයා රන්ජන්ගේ පොත් වලින් විතරයි.මේ ලිපි ඊට පස්සේ ඉතිහාසය අපුරුවට සටහන් කරනවා.

    Like

Leave a comment