කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සංකීරණය

පහුගිය දවසක මගේ පරණ සේවාස්ථානෙ ඉස්සරහින් නාරාහේන්පිට බැංකුවට යන්න සිද්දවුනා.බොරැල්ල පැත්තෙ ඉඳන් ඇවිත් නාරාහේන්පිට ලංකාරෝහල ලඟ මාර්ග සංඥා පුවරුවේ නතරවෙලා ඉන්න ගමන් දකුනු පැත්තෙ අහස උසට තියෙන කාර්‍යාල ගොඩනැගිල්ලෙ “දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සංකීර්ණය කොලඹ “කියල භාෂා තුනෙන් ලියාපු නාමපුවරුව දැක්කම හිතට දැනුනෙ ලොකු අභිමානයක්.ඒ ඔය නාම පුවරුව ඔහොම තියෙන්නෙ මම නිසා නේද කියල ඇතිවුනු අභිමානය. ඒකත් එක්ක හිත අතීතෙට ගියා.

කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය කියල කියන පැරණි කච්චේරිය පිහිටා තිබුනෙ වේල්ල වීදියෙ.බස්නාහිර පලාතෙ ආන්ඩුවේ ඒජන්ත ගේ කාර්‍යාලය වුනු වේල්ල වීදියේ තිබුනු කච්චේරිය බ්‍රිතාන්‍ය යුගයේදී බස්නාහිර පලාතෙ පාලන මූලස්ථානෙ.1833 තමයි මුලින්ම රට පලාත් 5කට බෙදල ආණ්ඩුවේ ඒජන්තවරු 5දෙනෙක් පත්කරේ.ඒ හදාපු බස්නාහිර පලාත කියන්නෙ මහවිශාල ප්‍රදේශයක්.ඒ බස්නාහිර පලාතෙ දකුනු මායිම වුනේ අද වගේම බෙන්තර ගඟ.උතුරු මායිම කලා ඔය.බස්නාහිර මායිම ඉන්දියානු සාගරේ. මේ පලාතට අයිති ප්‍රදේශ වුනේ.පස්‍ යොදුන් කෝරලේ, රයිගම් කෝරලේ, සල්පිටි කෝරලේ, හේවාගම් කෝරලේ, සියනෑ කෝරලේ ,හාපිටිගම් කෝරලේ,අලුත්කුරු කෝරලේ, තුන් කෝරලේ ,පාත බුලත්ගම ,හතර කෝරලේ, හත්කෝරලේ ,පුත්තලම දිසාව, පිටිගල් කෝරලේ ඇතුලත් හලාවත දිසාව, කියන ප්‍රදේශයි.

මේ මහා පලාත පාලනය කරපු කේන්ද්‍රස්තානෙ වුනේ කොලඹ පිටකොටුවේ වේල්ල වීදියෙ තිබුන බස්නාහිර පලාතේ කච්චේරිය.. නැත්නම් ආණ්ඩුවේ ඒජන්තවරයගෙ කාර්‍යාලය.මේ කච්චේරි ගොඩනැගිල්ලෙ තිබුනු ආණ්ඩුවේ ඒජන්තගෙ කාර්‍යාලය කිසිදු වෙනසක් සිදු නූනට බස්නාහිර පලාත නම් පස්සෙ වෙනස් වුනා.බස්නාහිර පලාතෙ මුල්මවෙනස ඇතිවෙන්නෙ 1845 ඔක්තෝම්බර් 1 නිකුත් කරපු රාජ ආඥාවකින් වයඹ පලාත නිර්මානය කිරීමෙනුයි.මේ අලුතින්හදාපු වයඹ පලාතට එතෙක් බස්නාහිරට අයත්වෙලා තිබුන හලාවත පුත්තලම දිස්ත්‍රික්ක දෙකයි හත්කෝරලෙයි ඇතුලත් කරනවා.බස්නාහිර පලාතට අලුතින් සබරගමුව එකතු කරනවා.මේ සබර ගමුව කිව්වෙ වර්තමාන රත්නපුර දිස්ත්‍රික්කෙන් කොටසක්.සබරගමුවට අයිති යකාවෙල සහ හතරබාගෙ කියන කොටස් දෙක දකුනු පලාතට තියෙන්න ඇරිය .ඒ කොටස්දෙක වර්තමාන බාසාවෙන් කිව්වොත් කොලොන්න කෝරලේ කියන පලාතයි..හැබැයි ඔය කියන කාලෙ සබරගමුවට තමයි හෝටන් තැන්න අයිතිවෙල තිබුනෙත්.කොහොම හරි බස්නාහිර පලාත තවත් පුංචි වුනේ 1889 ජනවාරි 1දින නිකුත් කල රාජාඥාවකින් හතරකෝරලෙයි තුන්කෝරලෙයි පාත බුලත්ගමුවයි සබර ගමුවයි එකතු කරල සබරගමු පලාත හැදුවමයි.රටෙන් පහෙන් පංගුවක් අයිතිවුනු බස්නාහිර පලාත නමයෙන් පංගුවක් තරන් පුංචි වුනත් වේල්ල වීදියෙ මූලස්තානෙ දිගටම පැවතුනා. ඔය වේල්ල වීදියෙන් ලංකාවෙන් පහෙන් පංගුවක් පාලනය කරන කාලෙ කච්චේරියට වෙනම පොලිස් ස්තානයකුත් ස්තාපිත කරා.ඒක 1910 වගෙ කාලෙකත් කොලඹ කච්චේරි පොලිසිය හැටියට තිබුනා.අද වේල්ලවීදිය පොලිසිය වෙලා තියෙන්නෙ එදා කච්චේරි පොලිසියයි. බස්නාහිර පලාතෙ අග නගරෙ කොලඹ තිබුනු මේ කච්චේරිය පලාත පාලනයේ මූලස්තානෙ වගේම කොලඹ දිස්ත්‍රික්කෙ පාලන මූලස්තානෙත් වුනා..1833කොලඹ දිස්ත්‍රික්කෙ උතුරු සීමාව මහඔය.දකුනු සීමාව බෙන්තර ගඟ. 1875 ඔය කොලඹ දිස්ත්‍රික්කෙ කොටස් තුනකට බෙදලා තව දිස්ත්‍රික්ක දෙකක් හදනවා.ඒ උතුරු පැත්තෙන් මීගමුව දිස්ත්‍රික්කෙ.දකුනු පැත්තෙන් කලුත ර දිස්ත්‍රික්කෙ.ඒ අනුව මීගමුවටයි කලුතරටයි බස්නාහිර ඒජන්ත යටතෙ උප ඒජන්තවරු දෙන්නෙක් පත් කරනවා.1896 අවුරුද්දෙ මීගමුව දිස්ත්‍රික්කෙ අහෝසි කරනවා.එදා ඉඳන් කලුතරයි කොලඹයි දිස්ත්‍රික්ක දෙක ඉතුරුවෙනවා.

ඔය සේරම වෙනස්කම් වලට මුහුනදීගෙන කොලඹ පිටකොටුවෙ වේල්ල වීදියෙ වැජඹුන ප්‍රතාපවත් කච්චේරිය 1955 සිට කොලඹ දිස්ත්‍රික්කෙ පාලන මූලස්තානෙ බවට පත්වෙන්නෙ ඒ අවුරුද්දෙ ඉඳන් පලාත් මගින් රට පාලනය කිරීම වෙනස් කරල දිස්ත්‍රික්කවලට ආණ්ඩුවේ ඒජන්ත තනතුර ඇති කරල රට පාලනය ආරම්භ කල නිසයි..දිස්ත්‍රික් පාලන ක්‍රමයෙදිත් වේල්ල වීදියෙතිබුනු කච්චේරියට ඇතිවුනු බලපෑම නැතිවුනේ නෑ.1977අවුරුද්දෙ පාර්ලිමේන්තුවෙ සම්මත කරපු යෝජනාවකින් කොලඹ දිස්ත්‍රික්කෙ උතුරු පැත්තෙන් කලණි ගඟ මායිම්කරල ගම්පහ කියල අලුත් දිස්ත්‍රික්කයක් හදනවා මේකෙන් වේල්ල වීදියෙ කච්චේරියට අයිති බල ප්‍රදේශෙ හොඳටම පුංචිවෙලා පැරණි සල්පිටි කෝරලයයි හේවාගම් කෝරලයයි කොලඹ නගරෙයි විතරක්.ඉතුරු වුනා.(1881/9/18වෙනිදා දිනෙන් සබරගමුවෙ කුරුවිට කෝරලෙන් කොටසක් හේවාගම් කෝරලේට එකතු කිරීමකුත් ඔය අතරෙදි වුනා) ඔය විදියට රටෙන් පහෙන් පංගුවක් පාලනය කරන්න පටන්ගත්තු වේල්ලවීදියෙ කච්චේරිය පුංචි කොලඹ දිස්ත්‍රික්කෙ මූලස්තානෙ බවට පත්වෙලත් නොවෙනස්ව තිබුනට වේල්ල වීදියෙ වටාපිටාව මුලු මනින්ම ඔය කාලෙ පුරාම වෙනස්වුනා.පිටකොටුව මහා වාණිජ කේන්ද්‍රස්තානයක් වෙලා කච්චේරිය වටේම මහ විශාල වානිජ වීදියක් ඇතිවුනේ කාටවත් නොදැනෙන්න.

ඔය විදියට ප්‍රදේශෙ මුලුමනින්ම කඩ වීදියක් බවට පත්වීමත් එක්ක පාලන මූලස්තානෙට එන යන ජනතාවට රාජ්‍ය නිලධාරීන්ට අපහසුතා ඇතිවෙන්න වුනා දිගුවාහන පෝලිම් වාහන නතර කිරීමේ අපහසුතා ආදිය නිසා ඇතිවුනු කරදරය නිසාම වඩා සංකීර්ණ නොවන නාරාහේන්පිට ඇල්විටිගල මාවතේ පැරණි හිඟුරාන සීනිසමාගම පිහිටා තිබූ ඉඩමෙන් කොටසක තට්ටු 20ක ගොඩනැගිල්ලක් දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලෙ සඳහා ඉදිකරන්න රජය තීරණය කරනවා වේල්ල වීදියෙ ඉඩමෙ වාණිජ වටිනකම අනුව ඒක වානිජ කාර්‍ය්කට භාවිතා කිරීමටත් අදහසක් නොතිබුනා කියලත් කියන්න බෑ..කොහොමහරි 2001අවුරුද්දෙ මේ නවදිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සංකීර්ණයට එවක අගමැති රත්නසිරි වික්‍රම නායක මහතා අතින් මුල්ගල තියනවා.මේ මුල්ගල් තැබීමේ උත්සවය සංව්ධානය කලේ එවක කොලඹ දිසාපති කේ කේ ඩබ්ලිව් කුමාරසිරි මහතායි මේ උත්සවයට ආපු අගමැතිතුමාව ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන එල් ටී ටී ඊ සාමාජිකයෙකුත් එනව.අපේ බුද්ධි අංශ මේ බෝම්බ කාරයව චිත්‍රා පටුමගේදි කොටු කර ගන්නවා.ආරක්ශක අංශවලින් බේරෙන්න බැරිබවදැනුනු බෝම්බකාරය බෝම්බෙ පුපුරුවා ගෙන මැරෙන්නෙ අරක්ශක අංශෙ කීපදෙනෙක්වත් මරාගෙනයි.ඔහොම පටන්ගත්තු මේ කාර්‍යාල සංකීරණය ඉදි කිරීම බොහොම මන්දගාමීව තමයි කෙරෙන්නේ. ගොඩනැගිල්ල සැලසුම් කර ඉදිකිරීම රාජ්‍ය ආයතනයක් වුනු CECB ආයතනයට තමයි පැවරෙන්නෙ.කලටවෙලාවට මුදල් නොලැබීමවාගෙ කාරණා නිසා මේ ඉදිකිරීම බොහෝ ප්‍රමාද වෙනවා.2010 විතර වෙන කොට මහල් දෙකක් සම්පූර්ණවෙලා තිඹිරිගස් යාය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙ ඒ කොටසට ගේනවා. මේ වෙනකොට සිල්වෙස්ටර් දිසාපතිතුමා හිටියෙ.ඉන්පස්සෙ හපු ආරච්චි දිසාපති තුමා කොලඹට පත්වෙනව.එතුම මේවැඩේ කඩිනම් කරන්න බලනව.ඒත් ලේසි වෙන්න නෑ.ඉන්පස්සෙ කමල් පත්මසිරි දිසාපතිතුමා පත්වෙනව . එතුමගෙ පාලන කාලෙදි ගින්නක් ඇතිවෙල වේල්ලවීදියේ ඉතිහාසගත කච්චේරි ගොඩ නැගිල්ල සම්පූර්ණයෙන්ම විනාශවෙනවා.මේ නිසාම 1833සිට පවත්වාගෙන ගිය කච්චේරියේ ලේඛනාගාරෙත් සම්පූර්ණයෙන්ම විනාශ වෙනවා. මේ විනාශයෙන් අපේ පරිපාලන ඉතිහාසෙ බොහොම වටිනා කොටසක් අවසන් වෙනවා

.පලමුවතාවට කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලෙ අවතැන් වෙනවා බොහොම අසීරුවෙන් ඉතිරිවුනු අගුපිල්වල කාර්‍යාලෙ පවත්වගෙන ගිය කමල් පද්මසිරි දිසාපතිතුමා නාරාහේන්පිට හදාගෙන යමින් තිබුනු ගොඩනැගිල්ලෙ. තට්ටු දෙකක වැඩ ඉවර කරවල කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලෙ එතන ස්තාපිත කරන්නෙ 2014 අවුරුද්දෙදියි. මේ වෙන කොට අවසන්වෙලාතිබුනු තට්ටු හතරෙ ගොඩනැගිල්ලෙ ඉස්සරහ පැත්තෙ “දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සංකීර්ණය කොලඹ”යනුවෙන් අපූරු නාමපුවරුවකුත් සවි කරල ගොඩ නැගිල්ලෙ අනන්‍යතාවය පෙන්නුම් කරන්න කටයුතු කලේ ඒ වෙලාවෙදියි.ඊට පස්සෙ මේ ගොඩනැගිල්ල්ලෙ ඉතුරු මහල් 16 අවසන් කරන්න විවුර්ත ටෙන්ඩරයක් කැඳවලා කොන්ත්‍රාත්කරුවෙක් තෝරගෙන අමාත්‍ය මංඩල අනුමැතිය ගන්න තිබියදි ඉස්සෙල්ල තිබුනු ආන්ඩුව වෙනස් වෙනවා.අලුත් ආණ්ඩුවෙ මුල් කාලෙ හිටපු ඇමතිතුමා ඇමති මංඩලේ අනුමැතියට ටෙන්ඩරේ ඉදිරිපත් කලත් මුදල් ඇමතිතුමා විශාල මුදලක් වැයවෙන නිසා ගොඩනැගිල්ල තට්ටු ගාන අඩුකරන්න කියලයෝජනා කරනව.

ඔය තත්වය තිබියදී මම කොලඹ දිස්ත්‍රික්කෙ දිසාපති හැටියට පත්වෙනවා මගේ පලමු කාර්‍ය වුනේ ගොඩනැගිල්ලෙ තට්ටු අඩුකරන්න පුලුවන්දකියල බලන එක.ගොඩනැගිල්ලෙ අතිවාරමට දැරූ වියදමත් එක්ක තට්ටු අඩු කරන එක පාඩුයි කියල වාර්තාවක් හදල අමාත්‍යංශෙට මම ඉදිරිපත් කලා. ඒ වනවිට පත්වෙලා හිටපු අලුත් ආන්ඩුවෙ දෙවනි ස්වදේශ කටයුතු ඇමතිතුමා අමාත්‍යංශෙට ඉඩකඩ ලබා ගැනීම මේ ගොඩ නැගිල්ලෙන් කරගන්න පුලුවන් කියල ටෙන්ඩරය ඇමති මක්ඩලෙන් අනුමත කරගෙන “ඉදිකිරීම් “ආයතනයට මහල් 16 ඉදිකිරීම භාර දෙනවා.ඒ අනුව 5 වන මහලෙන් ඉහල ඉදිකිරීම් 2016 ජනවාරි 8 වෙනිද ආරම්භ කරනවා.2019 ජනවාරි 8 විවුර්ත කිරීම ඉලක්ක කරගෙන සීග්‍රයෙන් වැඩේ කරන්න ඉදිකිරීම් ආයතනය කටයුතු කරනවා.මෙතෙක් සිදුවුනු හැටියට සියලු අධීක්ෂණහා උපදේශනසේවා කටයුතු CECBආයතනයෙන් සිදු කලා. . දිස්ත්‍රික් ලෙකම් කාර්‍යාලෙ ඉංජිනේරු ලලිතා ගමගේ මහත්මිය සමස්ත අධීක්ෂණ කටයුතු හා ගෙවීම් නිර්දේශය සිදුකලා මුදල් ගෙවීම දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල වැය ශීර්ෂයෙන් සිද්ද කලා. සතියකට වරක් මගේ ප්‍රධානත්වයෙන් කොන්ත්‍රාත්කරු, උපදේශන ආයතනය හා දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය ඒකාබද්ධ රැස්වීමක් පවත්වමින් ප්‍රගතිය හා ගැටලු නිරාකරණය සිදුකලා.

හිටි හැටියේ ඉදිකිරීම් අධීක්ෂණ රැස්වීම අමාත්‍යංශයෙ ඇමතිතුමාගෙ සහභාගිත්වයෙන් කරන්න තීරණය කල බව ලේකම්තුමා මට දැන්වුවා.බොහොම හොඳයි කියල මමත් ඉංජිනේරු ලලිතා මහත්මියත් ඒ රැස්වීමට සහභාගිවෙන්න පටන් ගත්තා.මුල් සැලැස්මට පරිබාහිර වෙනස්කම් රැසක් ගොඩනැගිල්ලේ සිදුකිරීමට මේ අමාත්‍යංශ රැස්වීමෙදි තීරණ ගන්න පටන් ගත්තා. මුල් සැලැස්මෙන් බාහිර කෙරෙන සෑම කාර්‍යකටම ලේකම්තුමාගේ ලිඛිත අනුමැතිය නැතිනම් මුදල් නොගෙවන බව මම කොන්ත්‍රාත්කරු, උපදේශක ආයතනය හා අමාත්‍යංශයට දැනුම් දුන්නා. මේ වෙනකොට හිටපු ලේකම්තුමා රැස්වීමේදී ඇමතිතුමා කියන ඕනෑම දෙයක් කරබාගෙන අහගෙන ඉන්නවා. පස්සෙන් පහු ඇමතිතුමා නැතුව ඇමතිතුමාගෙ පුද්ගලික කාර්‍ය මංඩලේ නිලධාරි රැස්වීමට සම්බන්ධවුනා.මේ අයගේ මතය ඇමතිතුමාගේ මතයලෙස අමාත්‍යංශය සැලකුවා.මේ තත්වය මත ලේකම්වරයාගේ ලිඛිත අනුමැතිය නැති කිසිම කාර්‍යකට මුදල් ගෙවීම නිර්දේශ නොකරනලෙස ඉංජිනේරුතුමියට මම දැන්වුවා.මේඅතරදී ගොඩනැගිල්ලට නමක් දැමීමට ඇමතිතුමා යෝජනා කලා.ගොඩනැගිල්ලේ වහලය මත හතර දෙසටම දර්ශනය වීමට “නිල මැදුර “නම් නාමය සවිකරන්න තීරණය කලා. අමාත්‍යංශයේ සෑම සාකච්චාවකදීම මේ ගොඩ නැගිල්ල අමාත්‍යංශ ගොඩනැගිල්ල ලෙස හඳුන්වන්න පටන්ගත්තා.මම සෑම රැස්වීමකදීම මේගොඩ නැගිල්ල හැඳින්වුයේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සංකීරණය හැටියටයි .සියලුම ලිපි ලේඛනවල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සංකීරණය ඉදිකිරීම ලෙස නොකඩවා සඳහන්වුනා.ගොඩ නැගිල්ලේ ඉහලම මහල තරුපහේ හෝටලයකට ගැලපෙන ආපනශාලාවක් ලෙස වැඩිදියුනු කිරීමේ යෝජනාවකටත් ලේකම් තුමාගේ අනුමැතිය ලැබුනා.

මේ අතර හදිසියේම ගොඩනැගිල්ල 2018ජනවාරි 8 විවුර්ත කිරීමට ඉදිකිරීම් අවසන්කර භාර ගතයුතුයැයි ඇමතිතුමා තීරණය කලා.මමත් නියමිත කාලයෙන් අවුරුද්දකට කලින් වැඩ නිම කිරීම ගැන බොහෝ සතුටුවුනා.ඉදිකිරීම් ආයතනය නියම කල නව දිනයට ගොඩ නැගිල්ල භාර දීමට නම් ගොඩනැගිල්ලේ වායු සමන පද්ධතිය, ගිනිආරක්ෂන පද්ධතිය හා නඩත්තු පද්ධතිය, ඉදිකිරීමත් තම සමාගමට අවශ්‍ය බැව් දැන්වූවා.මේ පද්ධති වෙනම ටෙන්ඩර් කැඳවීමටයි නියමිතව තිබුනේ.වහාම ලේකම්තුමා අමාත්‍ය මංඩලයට ඉදිරිපත් කිරීමට සංදෙශයක් සැකසුවා.එයින් ඉදිකිරීමට නියමිත කාලයට වඩා අවුරුද්දකට කලින් ගොඩනැගිල්ල ඉදිකර අවසන් කිරීමෙන් ඇතිවන වාසි පෙන්වාදී දිස්ත්‍රික් ලේකම්කාර්යාල ගොඩ නැගිල් වායුසමන,ගිනිආරක්ෂන හා ගොඩනැගිලි නඩත්තු පද්ධති ඇස්තමේන්තුගත මුදලකට කෙලින්ම ඉදිකිරීම් ආයතනය මගින් ඉටු කරවා ගැනීමට අනුමැතිය ඉල්ලුවා.ඇමතිමංඩල අනුමැතිය ලැබුනා.එඅනුව මිලියන 450ක පමන අලුත් කොන්ත්‍රාත්තුවක් ඉදිකිරීම් සමාගමට තරඟයකින් තොරවම ලැබුනා.

ගොඩ නැගිල්ලට සවි කෙරෙන ජෙනරේටර් ,ගොන්ඩෝලා,වායු සමන යන්ත්‍ර,ගිනි ආරක්ෂණ පද්ධති ගොඩනැගිලි නඩත්තු පද්ධති ආදිය නිෂ්පාදනය කරන අවස්තාවේදී අධික්ෂණයට අවස්තාවක් භාවිතාකරන ආයතනෙට ලබා දෙනවා.මේවා නිෂ්පාදනය කලේ ඉන්දියාව මැලේසියාව කැනඩාව එංගලන්තය වාගෙ රටවල. මේවා අධීක්ෂණයට යායුත්තේ ඒ ගැන තාක්ෂණ දැනුමක් සහිත නිලධාරීන්.මේ සඳහා මම දිස්ත්‍රික් ඉංජිනේරු,,කාර්මික නිලධාරීන් විදුලි කාර්මික, පරිගනක වැඩසටහන් සම්පාදකයින්, ගණකාධිකාරි වගේ වෘතීය දැනුම ඇති දිස්ත්‍රික්ලේකම් කාර්‍යාලේ අදාල පිරිස නම්කරල අමාත්‍යංශෙට යැව්වා.අමාත්‍යංශෙ විදේශ සංචාරවලට නිලධාරීන් තේරුවෙ ඇමතිතුමාගෙ පුද්ගලික කාර්‍ය මංඩලයෙ ලේකම් කෙනෙක්.අමාත්‍යංශ ලේකම් ඒකට අත්සන ගහනව කියලයි ප්‍රසිධ වෙලා තිබුනෙ.කිව්වත් වගේ අපේ ඉංජිනේරුටයි ව්දුලි කාර්මිකටයි ඉංදියාවට ගිහින් ජෙනරේටරේ ගැන බලන්න පුලුවන් උනා.අනිත් ඒවට ගියෙ අමාත්‍යංශෙ ඇත්තොයි.වෙනත් අයයි. පුදුමෙ කියන්නෙ අමාත්‍යංශෙන් මේ වැඩේට ගියේ ඒවට සම්බන්ධ නිලධාරි නෙවෙයි කියලයි ආරංචි වුනේ. අමාත්‍යංශෙට කිසිම සම්බන්ධයක් නැති මහාචාර්‍යවරයෙක්ව කැනඩාවට ගොඩනැගිලි නඩත්තු පද්ධතිය පිලිබඳ පුහුනුවට යවන්න පුදුම උත්සාහයක අමාත්‍යංශයේ ඇමතිතුමාගෙ අංශයෙන් ගත් බවත් ඒ මහාචාර්‍යවරයාගේ ප්‍රතික්ෂේප කිරීම නිසා ඒ වැඩේ නොකෙරුන බවත් පසුව ආරංචි උනා.ඒකෙන් උනේ ගොඩනැගිලි නඩත්තු පද්ධතිය පිලිබඳව නිෂ්පාදන ආයතනය ලබා දෙන පුහුණුව ලබා ගන්න බැරි වුනු එක විතරයි.

හැබැයි අර තරඟයකින්තොරව මිලියන 450 ටෙන්ඩරය ඉදිකිරීම් සමාගමට දුන්නට පස්සෙ 2018ජනවාරිවලට වැඩ අව්සන් කරන්න බැරිකමට හේතු තමයි රැස්වීම්වල කතාවුනේ.මේසේරම බොරුවට හදිස්සිකලේ ඉදිකිර්ඊම් ආයතනෙට අර මිලියන 450කොන්ත්‍රාත් එක දෙන්න සාධාරණ හේතුවක් පෙන්නන්න කියලයි බොහෝදෙනා හිමිහිට කතාකලේ.මේ හදිස්සියම පෙන්නල මේගොඩ නැගිල්ලට අවශ්‍ය ලීබඩු මිලදී ගැනීමත් ඉදි කිරීම් කොම්පැනියටම දෙන්න ඇමති මංඩලෙන් අනුමැතිය ගත්තා.එතන ගනුදෙනුව මිලියන 200යිඒ ගැන වෙනම කතාවක් තියෙනවා.

අන්තිමට ගොඩ නැගිල්ලෙ ඉඩකඩ වෙන් කිරීම ගැන අමාත්‍යංශෙ ඇමතිතුමාගෙ පුද්ගලික කාර්‍ය මංඩලයෙ උදවිය සමහරු නිර්ණායක හදන බව ආරංචි වුනා.මම 12වන මහල දක්වා දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය බවත් ඉන් ඉහල ඕනෑ කෙනෙක්ට ගන්නා ලෙසත් රැස්වීමෙදි කිව්වා.මේ ගැන වෙනම සාකච්චාවක් ලේකම්තුමා මම සම්බන්ධිකරණ ලේකම් හා ඇමතිතුමාගේ උපදේශක අතර සිදු වුනා.ඇමති සම්බන්ධිකරණ ලේකම්ගේ මතය වුනේ දස්ත්‍රික් ලේකම් කාර්‍යාලයට හා ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලෙට මහල් 8 ප්‍රමානවත් බවයි.මමලේකම්තුමාදිහා බැලුවා.එතුමා නෑසූකන්ව ලිපිගොනුවක් පෙරලා ගත්තා.මම සම්බන්ධිකරණ ලේකම්ගෙන් ඇහුවේ කවදහරි දිස්ත්‍රික් ලේක්ම් කාර්‍යාලෙක වැඩකරල තියෙනවද?මොනවද ප්‍රාලේ කාර්‍යාලයක් හා දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයක් ගැන ඔහුට ඇති දැනුම?යනප්‍රශ්න දෙකයි.ඊලඟට අමාත්‍යංශය දිස්ත්‍රික් ලේකම්කාර්‍යාල ගොඩනැගිල්ලට එනව මිස දිස්ත්‍රික්ලේකම් කාර්‍යාලය අමාතයංශ ගොඩ නැගිල්ලකට නොඑන බව ඔහුට මතක් කරදී 12තට්ටුව සමග ඉහලට අමාත්‍යංශයට බවත් ඉන් පහල ප්‍රාලේ කාර්‍යාලය හා දිලේ කාර්‍යාලය බවත් අමාත්‍යංශය ගැන මිස අප කාර්‍යාල ගැන ඔහුන්ට කතාකිරීමට අයිතියක් නැති බවත් කියාදී මම කතාව නිම කලා ලේකම්තුමා ඒ ආසන්න දිනකදී විශ්‍රාම ගියා..

අලුත් ලේකම්තුමාවත් පත්කර ගත්තේ ඇමතිතුමාගෙ ඉල්ලීමට කියලයි කසුකුසු ගියේ.පරණ ලේකම්තුමා මග ඇරල අත්සන් කරන්නෙ නැතුව හිටපු සංශෝ ධන නව ලේකම්තුමා ක්ෂණිකව අත්සන්කරලා එව්වා.ගොඩ නැගිල්ලෙ ඉදිරිපස නාමපුවරුව ස්වදේශ කටයුතු අමාත්‍යංශය ලෙස වියයුතු බවට යෝජනාවක් සාකච්චාවට හිමිහිට ආවා.මම වහාම එයට විරෝධය පල කලා.ඉන්පස්සෙ සාකච්චාවලදි ඒ මාතෘකාව ගන්නෙ නැතුව මග ඇරියා.මේ අතරදි කෙලින්ම උපදේශක ආයතනයට උපදෙසක් අමාත්‍යංශයෙන් ලැබෙනවා “ස්වදේශ කටයුතු අමාත්‍යංශය ” යනුවෙන් නාම පුවරුවක් ගොඩ නැගිල්ලේ ඉදිරිපස සවි කිරීම සඳහා සැලැස්ම සකසා එවන ලෙසට.එබඳුනාම පුවරුවක් සකස් කිරීමට මගේ එකඟතාවයක් නැතිබවත් එබඳු නාමපුවරුවක් වෙනුවෙන් ගෙවීම් කිරීමට මගේ කාර්‍යාලයට හැකියාවක් නැති බවත් මම උපදේශක ආයතනයට දන්වනවා. එහි පිටපත් අමාත්‍යංශ ලේකම්ටත් යැව්වා.

එතනින් නිහඬ වන අමාත්‍යංශයට යලිත් නව ලේකම්වරයෙක් පත්වෙනවා.මෙසේ පත්වෙන්නේ කොලඹ දිසාපති පදවියදරා මේ ගොඩ නැගිල්ල භාවිතයට ගෙන දිස්ත්‍රික් ලේකම්කාර්‍යාලය පවත්වාගෙන ගිය නිලධාරියා බැවින් මේ ප්‍රශ්නය නිමාවූයේ යැයි අපේ කාර්‍යාලයේ නිලධාරීන් සැනසුම් සුසුම් හෙලනවා.ලේකම්තුමා පත්වී මාස දෙකකින් පමන ඉදිරිපස පලංචි සවිකර යමි ඉදිකිරීමකට ඉදිකිරීම් ආයතනය සැරසෙනවා.මේ ගැන විපරම් කිඊමේදී නවලේකම්තුමාගේ උපදෙස් මත “ස්වදේශ කටයුතු අමාත්‍යංශය” යනුවෙන් ගොඩ නැගිල්ලේ ඉදිරිපස පලමු මහලේ නාමපුවරුවට වෙන්කල ස්තානයේ සවිකිරීමට සූදානම්වන බව දැන ගත්තා. ඊට විරෝධය පලකර මෙම ගොඩ නැගිල්ල කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සංකීර්ණය බවත් එලෙස නම්කර මුල් නාම පුවරුව සවිකලේ ඔබ බවත් නව ඉදිකිරීම් සඳහා ඉවත්කල එම නාමපුවරුව හැර එමස්තානයේ වෙනත් නාමපුවරු සවිකිරීමට ඉඩදිය නොහැකි බවත් අමාත්‍යංශය නාමය වරින්වර වෙනස් වන බැවින් ගොඩ නැගිල්ල වර්තමාන අමාත්‍යංශයේ නමින් නම්කලහොත් නාමය වෙනස්වන සෑම අවස්තාවකම නාමපුවරුවද වෙනස් කිරීමට සිදුවන බවත් පෙන්වාදී ලිපියක් අමාත්‍යංශ ලේකම්ට යැව්වා.මෙය නොතකා නාමපුවරුව සවිකිරීමට කටයුතු කරන බව දැනගත් විගස ඉදිකිරීම් ආයතනයට එබඳු නාමපුවරුවක් සවි කලහොත් කිසිදු ගෙවීමක් කිරීම නො කරන බවට දන්වා ලිපියක් යැව්වා.ඉදිකිරීම් ආයතනය වැඩේ නැවැත්තුවා.ඉන්පසු එමලේකම්තුමා විශ්‍රාමගියා.

ඉන් පස්සෙ අලුත් ලේකම්තුමෙක් ආවා.එතුමා යටතෙ ගොඩනැගිල්ල විවෘත කිරීමේ උත්සව සංවිධාන සාකච්චා පවත්වන්න වුනා.ගරු ඇමතිතුමා එවක අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අමාත්‍යංශ ගොඩනැගිල්ල විවෘත කරවීමට බලාපොරොත්තු වුනා.ආරාධනා පත්‍ර පෝස්ටර් ගැහුවෙ අමාත්‍යංශයෙන් ඒ හැම එකකම දිස්ත්‍රික් ලෙකම් කාර්‍යාලෙ ගැන සඳහනක් නෑ. විවෘත කිරීමට දින තුන හතරක් තිබ්යදීත් ඉදිරිපස පලංචි ඉවත් කරේ නෑ.ඇමතිතුමා මට දුරකතනෙන් කතා කරා.උත්සවය ගැන තත්වය මගෙන් විමසුවා. අමාත්‍යංශය මගින් සංවිධාන කටයුතු සිදු කරන බවත් ගොඩ නැගිල්ලේ නාම පුවරුව සවිකිරීමේදී අමාත්‍යංශයේ නමින් ගොඩ නැගිල්ල නම් කලහොත් මම උත්සවයට සහභාගි නොවන බවත් ඇමති තුමාට දන්වා සිටියා.මේ ඉදිකලේ කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සංකීරණය බවත් එහි ඉහල මහල්වලට වෙනත් රජයේ කාර්‍යාල ගෙනඒමට තිබූ සැලස්ම අමාත්‍යංශය ගෙන ඒමෙන් වෙනස් වූවත් ගොඩ නැගිල්ලේ අනන්‍යතාවය සඳහන් විය යුත්තේ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලය නමින් බව පැහැදිලිව පැවසූ මම එය පිලිගැනීමට අමාත්‍යංශය ක්‍රියා නොකරන්නේ නම් උත්සවයට සහහාගිවීම ප්‍රතික්ෂේප කිරීම හැර වෙන විකල්පයක් නැති බව මම පැහදිලි කරා.සාවධානව මට සවන්දී සිටි ඇමතිතුමා ඒගැන පසුව කතා කරමු යැයි පවසා දුරකතන සංවාදය නිම කලා.

එදිනම ඇමතිතුමා පැමින මගේ නිල මැදිරියේදීම විවෘත කිරීමේ උත්සවය ගැන සාකච්චාවක් කලත් නාම පුවරුව ගැන කතා කලේ නෑ.නව ලේකම් තුමා පැහැදිලිවම මගේ මතය පිලිගෙන ස්වදේශ කටයුතු අමාත්‍යංශ සංකීර්ණය යන නාමය ගොඩ නැගිල්ලේ සවිකිරීම වලක්වා නියමයක් කරා.ඒඅනුව පලංචි ගලවා දැම්මා.උත්සවය අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉහලින්ම කලා. අනික් සියලු දෙනා ස්වදේශකටයුතු අමාත්‍යංශ සංකීර්ණයක් විවෘත කිරීම ගැන සිය කතාවන් වලදී සඳහන් කලත් අගමැතිතුමා කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාල සංකීර්ණය විවෘත කල බවත් අනාගත කොලඹ මහ නගරය බවට පත්වෙන වර්තමාන කොලඹ දිස්ත්‍රික්කය පාලන කේන්ද්‍රස්තානය පිලිබඳ වටිනා කතාවක් කරා.ස්වදේශකටයුතු අමාත්‍යංශය හා තිඹිරිගස්‍යාය ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය ඇතුලත් කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සංකීරණය විවෘතකිරීමට පැමිනි අයට ස්තූතිය ම විසින් සිදුකරනු ලැබුවා.

මින් පසුව රජයේ ජනාධිපතිවරයා වෙනස් වීමත් සමග නව අමාත්‍ය මංඩලයක් පත් වුනා.කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සංකීර්ණය යනුවෙන් සඳහන් නාමපුවරුව ඉදිරිපස නියමිත ස්තානයේ සවිකිරීමට මම උපදේශක හා ඉදිකිරීම් ආයතනවලට දැන්වුවා.හැරෙන තැපෑලෙන් මේ නාම පුවරුව සවි කිරීමෙන් වලකින ලෙසට අමාත්‍යංශයේ නව ලේකම්තුමාගෙන් ලිපියක් මට ලැබුනා.නිල වශයෙන් ඉදිකල දිස්ත්‍රික් ලේකම් කාර්‍යල සංකීරණයේ නාමපුවරුව අලුතින් සැකසීමක් නොවන බවත් පාර්ලිමේන්තුව් අයවැය ලේඛන තුනකින් මුදල් වෙන්වී සිදුකල මේ ගොඩ නැගිල්ලට යොදාතිබූ පැරණි නම යලි සවි කරන බවත් දන්වා පිලිතුරු ලිපියක් ලේකම්තුමාට යැව්වා.මාඉදිරිපත්කල කරුණු පිලිබඳව තමාගේ එකඟත්වයක් නැතිබව ලේකම්තුමා මට දැන්වූයේ ඇමතිතුමාගේ උපදෙස්ද එයබවයි සඳහන් කරමිනුයි.ලේකම්තුමාගේ එකී උපදෙස නොතකා නාමපුවරුව සවිකරන ලෙස මම නියම කරා.උපදේශක ආයතන්අයේ මෙහෙය වීමෙන් ඉදිකිරීම් ආයතනය එම නාම පුවරුව සවි කලා..කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සංකීර්ණයේ අනන්‍යතාවය රැකගැනීමට බාධාවන් ආවේ දේශපාලනඥයින්ගෙන්ට වඩා අපේම නිලධාරින්ගෙන් කියන එකත් සඳහන් කල යුතුමයි.මෙහිදී අපක්ෂපාතීව කොන්දක් ඇතිව ක්‍රියාකල ජේ ජේ රත්නසිරි හා ගාමිණී සෙනවිරත්න යන ලේකම්වරු දෙපලට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා.මේ කාර්‍යේදී මගේ සහයට සිටි දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ සියලු දෙනාවමත් CECBආයතනයේ අදාල නිලධාරිනුත් සිහිපත් කරනවා.ඔච්චර යුධ යක් කරල සවිකරපු නාමපුවරුව දැක්කම සතුටු වෙන්නෙ නැතුව ඉන්න පුලුවන්ද හැබෑටම මං අහන්නෙ.?

3 thoughts on “කොලඹ දිස්ත්‍රික් ලේකම් කාර්‍යාල සංකීරණය

  1. මට තියන ප්‍රශ්නය ඔය වගේ ගොඩනැගිල්ලක් හදන්න ඇයි ඔය වගේ තදබදය වැඩි තැනක් තෝරාගත්තෙ කියන එක

    Like

    1. ඕකටෛඩම තෝරගන මුල්ගල් තියල වැඩ පටන්ගත්තෙ අවුරුදු 19-20කට එහානෙ.ඒකාලෙ ඔච්චර තදබදයක් තියෙන්න නැතුව ඇති.

      Like

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s